

බොහෝ දෙනෙක් තමන් බෞද්ධ යැයි මහත් ගර්වයකින් යුතුව පවසති. එහෙත් ඔවුන්ගේ ක්‍රියා කලාපයන් තුළින් දිස්වන්නේ ගෞතම බුදු රජාණන් වහන්සේ ගැන නො දැනීම විනා ශ්‍රද්ධාව තුළ පිහිටා සිටීමක් නොවේ. ශ්‍රද්ධාව යනු සිත පහදවා ගැනීම යි. එසේ සිත පහදවා ගැනීමේ දී ශ්‍රාවකයා ඉතා බුද්ධිමත්ව නුවණින් විමසයි. නුවණින් විමසන්නේ බුදුන් වදාළ ධර්මය විනා වෙන දෙයක් නොවේ. නුවණින් විමසන කල්හි ශ්‍රාවකයා තුළ චිත්ත ප්‍රසාදය ඇතිවන්නේ ප්‍රඥාසම්පන්න ලෙස ය. එවිට ඔහුගේ ශ්‍රද්ධාව කරුණු සහිත වේ. අවබෝධයකින් යුතු වේ. එම ශ්‍රද්ධාව හඳුන්වන්නේ ආකාරවතී ශ්‍රද්ධාව යනුවෙනි.
අවබෝධයකින් ලත් චිත්ත ප්‍රසාදයක් ලත් ශ්‍රාවකයා තුළ නිර්මාණශීලී කුසලතා තිබේ නම්, ඔහු එම කුසලතා තුළින් බුදු ගුණ වර්ණනා කරන්නේ මහත් හරසරින් යුක්තව ය. බුද්ධ වර්ෂ 26 වන සියවසේ කල්ගෙවන අපගේ ඇස් අරවන සිදුවීමක් මජ්ඣිම නිකායෙහි උපාලි සූත්‍රයේ සඳහන් වේ.
උපාලි නමින් සිටුවරයෙක් රජගහ නුවර සිටියේ ය. ඔහු නිගණ්ඨනාථ පුත්‍ර ගේ භක්තිමත් දායකයෙකි. ඔහු දිනක් නිගණ්ඨනාථ පුත්‍ර හමුවීමට පැමිණ ඔහු හා කථාබස් කරමින් සිටියේ ය. එවේලෙහි නිගණ්ඨනාථ පුත්‍ර ගේ ප්‍රධාන ශ්‍රාවකයෙක් වන දීඝ තපස්වී පැමිණියේ ය. පැමිණ විශේෂ සිදුවීමක් සැළ කළේ ය. එනම්, මොහු සමඟ අපගේ බුදුරජාණන් වහන්සේ කර්මය යන මාතෘකාව ගැන යම් සාකච්ඡාවක් කොට තිබීම යි. කර්මය යන වචනය පවා ඔවුනට රුචි නැත. ඔවුන් කථා කරන්නේ දණ්ඩ යන වචනය තුළිනි. එහිදී ජීවිතයක ඇති බරපතල ක්‍රියාකාරීත්වය කාය දණ්ඩ පදනම් කොට ඇති බව ඔවුන්ගේ මතය යි. බුදුරජුන් විසින් වදාරණ ලද්දේ ජීවිතයේ ප්‍රධාන ම මර්මස්ථානය වන්නේ මනෝ කර්මය බවයි. මෙයට එකඟ නො වූ දීඝතපස්වී හා නිගණ්ඨනාථ පුත්‍ර විසින් බුදුරජුන්ගේ කර්ම න්‍යාය විවේචනය කරන කල්හි එය අසා සිටි උපාලි සිටුවරයා උද්දාමයට පත් විය. නිගණ්ඨනාථ පුත්‍ර විසින් ගෞතම බුදු රජුන් සමඟ වාද කොට පරදවාලන්නැයි පවසා උපාලිව උනන්දු කරවීය.
වාදාභිමුඛ වූ උපාලි මහත් ගර්වයෙන් යුතුව බුදුරජුන් සොයා ගියේ ය. බුදුරජුන් සමඟ කළ කථා බහ තුළින් උපාලිගේ ඇස් පෑදුනේ ය. නිගණ්ඨනාථ පුත්‍ර ගේ මතය වැරදි බවත්, බුදුරජුන්ගේ මතය නිවැරදි බවත් අවබෝධ විය. අන්ධාණුකරණයෙන් නිගණ්ඨ සරණ නො ගිය උපාලි සිටුවරයා ඉතා නිදහස් ලෙස තම චින්තනය මෙහෙයවීය. උපාලි තුළ බුදුරජුන්ගේ අවබෝධය කෙරෙහි චිත්ත ප්‍රසාදය ඇති විය. එනම්, ශ්‍රද්ධාව ඇති විය. උපාලි ගෘහපතියා බුදුරජාණන් වහන්සේ ව සරණ ගියේ ය. ධර්මය හා ශ්‍රාවක සංඝරත්නය ද සරණ ගියේ ය. එවිට බුදුරජාණන් වහන්සේ වදාළේ උපාලි වැනි ප්‍රසිද්ධ කෙනෙක් තම ආගම වෙනස් කිරීමේ දී කලබල නො විය යුතු බවයි. ආගමික ඉතිහාසය තුළ තමා කෙරෙහි සිත පහන් කරගත් ශ්‍රාවකයාට පවා නිදහසේ තීරණ ගන්නට අවස්ථාව ලබා දී තිබෙන්නේ බුදු රජාණන් වහන්සේ පමණි. බුදුරජුන් තුළ පවතින මෙම උපේක්ෂා සහගත සහනශීලීත්වය කෙරෙහි උපාලි බලවත් ව පැහැදුනේ ය. දෙවෙන වතාවට ද තෙරුවන් සරණ ගියේ ය. එවේලෙහි බුදුරජුන් විසින් උපාලිගෙන් ඉල්ලීමක් කරන ලදී. එනම්, නිගණ්ඨනාථ පුත්‍රටත්, ඔහුගේ ශ්‍රාවකයන්ටත් පෙර පරිද්දෙන් ම සලකන ලෙස ය. උපාලි පුදුමයට පත් විය. අදහා ගත නො හැකි විය. ලාබ සත්කාර කීර්ති ප්‍රශංසා වලට මුලා වී ඒ මත්තේ ම නැහෙන ආගමික පිරිස් බහුල ලෝකයේ කලින් ඇදහූ ආගමටත් සත්කාර කරන්නට කියූ බුදුරජුන්ගේ අවවාදය උපාලිගේ පැහැදීම තීව්‍ර කරන්නට සමත් විය. ඔහු තුන්වෙනි වතාවට ද තෙරුවන් සරණ ගියේ ය. ඉන්පසු බුදුරජාණන් වහන්සේ විසින් චතුරාර්ය සත්‍යය ධර්මය කුළු ගන්වමින් කරන ලද දෙසුම තුළින් උපාලි සිටුවරයා සෝවාන් ඵලයට පත් විය. සතර අපායෙන් සදහට ම නිදහස් කෙනෙක් බවට පත් විය. නියත වශයෙන් ම නිවන් අවබෝධ කරන කෙනෙක් බවට පත් විය. දහම් ඇස ලැබූ කෙනෙක් බවට පත් විය.
උපාලි තෙරුවන් සරණ ගිය පුවත රජගහ නුවර පුරා ලැව්ගින්නක් සේ පැතිර ගියේ ය. දීඝතපස්වී කලබල විය. හේ වහා නිගණ්ඨනාථ පුත්‍ර සොයා ගියේ ය. උපාලිගේ කට කතාව සැල කළේ ය. එහෙත් නිගණ්ඨනාථ පුත්‍ර නැවත නැවතත් පවසා සිටියේ උපාලි ගෘහපති කිසිසේත් ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නො විය හැකි බව යි. සිදු විය යුත්තේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ උපාලිගේ ශ්‍රාවකයෙක් බවට පත් වීම බවයි. අන්තිමේ දී නිගණ්ඨනාථ පුත්‍රට පවා උපාලිගේ වෙනස්වීම ගැන සැක පහළ විය. ඔහු තම ශ්‍රාවකයන් පිරිවරා උපාලි සිටුවරයාගේ මාලිගයට ගියේ ය. එහිදී වෙන දා මෙන් නොව අමුතුම බුද්ධිමත් බවකින් උපාලි කථා බස් කරන අයුරු දුටු නිගණ්ඨනාථ පුත්‍ර අන්දුන් කුන්දුන් විය. තවදුරටත් කථා කිරීමෙන් ඵලක් නැත. නිගණ්ඨනාථ පුත්‍ර උපාලිගෙන් මෙකරුණ ඉල්ලා සිටියේ ය. “එම්බා උපාලි, තොප ඇත්ත කිය යුතුය. සැබැවින් ම තොප කාගේ ශ්‍රාවකයෙක් ද?” එවිට උපාලි ගෘහපතියා අසුනෙන් නැගිට්ටේය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ වසන්නේ යම් දිසාවක ද, එදෙසට හැරුණේ ය. දෝත නගා වැඳගත්තේ ය. එකෙණෙහි ම නිර්මාණය කරන ලද බුදු ගුණ සියයක නාමාවලියකින් යුතුව තම ශාස්තෘන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින් ශ්‍රාවකත්වය පවසන්නට විය. මෙම බුදුගුණ වර්ණනාව ඇසූ නිගණ්ඨනාථ පුත්‍රයන් ලේ වමනය කළේ ය. අන්‍යාගමික ශාස්තෘන් වෙව්ලුවා හළ ගිහිශ්‍රාවකයෙකු වූ උපාලි සිටුවරයා බුදුගුණ වැණූ අයුරු මෙසේ ය.
1. ධීරස්ස විගතමෝහස්ස පභින්නඛීලස්ස විජිතවිජයස්ස,
අනීඝස්ස සුසමචිත්තස්ස වුද්ධසීලස්ස සාධුපඤ්ඤස්ස,
වෙස්සන්තරස්ස විමලස්ස භගවතෝ තස්ස සාවකෝ’හමස්මි.
මහා නුවණැති හෙයින් ධීර නම් වූ, මොහඳුර දුරලූ හෙයින් විගතමෝහ නම් වූ, කෙලෙස් හුල් බිඳලූ හෙයින් පභිණ්හඛිල නම් වූ, මාර සේනා ජයගත් හෙයින් විජිතවිජය නම් වූ, කෙලෙස් දුක් රහිත හෙයින් අනීඝ නම් වූ, සොඳුරු සමසිත් ඇති හෙයින් සුසමචිත්ත නම් වූ, වැඩුණු සිල් ඇති හෙයින් වෘද්ධසීල නම් වූ, සොඳුරු ප්‍රඥා ඇති හෙයින් සාධුපඤ්හ නම් වූ, කෙලෙස් දුර්ගයෙන් එතෙරට වැඩි හෙයින් වෙස්සන්තර නම් වූ, නිමල ගුණ ඇති හෙයින් විමල නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්.
2. අකථංකථිස්ස තුසිතස්ස වන්තලෝකාමිසස්ස මුදිතස්ස,
කතසමණස්ස මනුජස්ස අන්තිමසාරීස්ස නරස්ස,
අනෝපමස්ස විරජස්ස භගවතෝ තස්ඉස සාවකෝ’හමස්මි.
සැකයෙන් එතෙරට වැඩි හෙයින් අකථංකථි නම් වූ, සතුටින් පිරුණු සිත් ඇති හෙයින් තුසිත නම් වූ, කාම ගුණ බැහැර කළ හෙයින් වංතලෝකාමිස නම් වූ, ලොවේ යහපත දැක සතුටු වන හෙයින් මුදිත නම් වූ, ශ්‍රමණ ගුණ සපුරා ගත් හෙයින් කතසමණ නම් වූ, උතුම් මිනිසෙක් හෙයින් මනුජ නම් වූ, අවසන් සිරුර දරනා හෙයින් අන්තිමසාරීර නම් වූ, උදාර මිනිසෙක් හෙයින් නර නම් වූ, අලාමක සිත් ඇති හෙයින් අනෝම නම් වූ, කෙලෙස් දුහුවිලි නැති හෙයින් විරජ නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්.
3. අසංසයස්ස කුලස්ස වේනයිකස්ස සාරථිවරස්ස,
අනුත්තරස්ස රුචිරධම්මස්ස නික්කංඛස්ස පභාසකරස්ස,
මානච්ඡිදස්ස වීරස්ස භගවතෝ තස්ස සාවකෝ’හමස්මි.
සංකා රහිත සිත් ඇති හෙයින් අසංසය නම් වූ, හැමට යහපත සදනා හෙයින් කුල නම් වූ, ලෝ සතුන් දමනය කරනා හෙයින් වේණයික නම් වූ, දහමේ මැනවින් හික්මවන උතුම් රථාචාර්යා බඳු හෙයින් සාරථිවර නම් වූ, උදාර ගුණ ඇති හෙයින් අනුත්තර නම් වූ, පිරිසිදු දහම් ඇති හෙයින් රුචිරධම්ම නම් වූ, නිසැක ගුණ ඇති හෙයින් නික්කංඛ නම් වූ, නුවණින් ලොව එළිය කරනා හෙයින් පභාසකර නම් වූ, මානය සිඳලූ හෙයින් මානච්ඡිද නම් වූ, මහා වීර ගුණ ඇති හෙයින් වීර නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්.
4. නිසභස්ස අප්පමෙය්‍යස්ස ගම්භීරස්ස මෝනපත්තස්ස,
ඛේමංකරස්ස දේවස්ස ධම්මට්ඨස්ස සංවුතත්තස්ස,
සංඝාතිගස්ස මුත්තස්ස භගවතෝ තස්ස සාවකෝ’හමස්මි.
අසම ගුණ ඇති හෙයින් නිසභ නම් වූ, පමණ කළ නො හැකි ගුණ ඇති හෙයින් අප්පමෙය්ය නම් වූ, ගැඹුරු නුවණැති හෙයින් ගම්භීර නම් වූ, මුනි දහමට පත් වූ හෙයින් මෝනපත්ත නම් වූ, බිය රහිත ගුණයෙන් යුතු හෙයින් ඛේමංකර නම් වූ, ලොවෙහි දෙවියන් බඳු හෙයින් දේව නම් වූ, ධර්මයෙහි පිහිටි හෙයින් ධම්මට්ඨ නම් වූ, සංවර සිත් ඇති හෙයින් සංවුතත්ත නම් වූ, කෙලෙස් ඉක්ම ගිය හෙයින් සංඝාතික නම් වූ, දුකින් නිදහස් වූ හෙයින් මුත්ත නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්.
5. නාගස්ස පන්තසේනස්ස ඛීණසංයෝජනස්ස මුත්තස්ස,
පටිමන්තකස්ස ධෝනස්ස පන්නද්ධජස්ස වීතරාගස්ස,
දන්තස්ස නිප්පපඤ්චස්ස භගවතෝ තස්ස සාවකෝ’හමස්මි.
මහා ඇත් රජෙකු වැනි හෙයින් නාග නම් වූ, ඈත වනයේ වසනා හෙයින් පංතසේන නම් වූ, කෙලෙස් බැඳීම් ගෙවා දැමූ හෙයින් ඛීණසංයෝජන නම් වූ, කෙලෙසුන්ගෙන් නිදහස් වූ හෙයින් මුත්ත නම් වූ, නුවණින් යුතු කථාබහ ඇති හෙයින් පටිමංතක නම් වූ, කෙලෙස් සෝදා හළ හෙයින් ධෝණ නම් වූ, මානධජ බිම හෙලූ හෙයින් පන්නද්ධජ නම් වූ, වීතරාගී හෙයින් වීතරාග නම් වූ, දමනය වූ හෙයින් දමිත නම් වූ, කෙලෙස් සිතිවිලි රහිත වූ හෙයින් නිප්පපංච නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්.
6. ඉසිසත්තමස්ස අකුහස්ස තේවිජ්ජස්ස බ්‍රහ්මපත්තස්ස,
නාහාතකස්ස පදකස්ස පස්සද්ධස්ස විදිතවේදස්ස,
පුරින්දදස්ස සක්කස්ස භගවතෝ තස්ස සාවකෝ’හමස්මි.
සත් බුදුවරුන් අතරේ සත් වැනි මහා සෘෂි වූ හෙයින් ඉසිසත්තම නම් වූ, කුහක ගති නැති හෙයින් අකුහ නම් වූ, ත්‍රිවිද්‍යාව ලද හෙයින් තේවිජ්ජ නම් වූ, ශ්‍රේෂ්ඨත්වයට පත් වූ හෙයින් බ්‍රහ්මපත්ත නම් වූ, කෙලෙස් සෝදා හළ හෙයින් නහාතක නම් වූ, දහම් පද මැනවින් දෙසනා හෙයින් පදක නම් වූ, සැහැල්ලු සිත කය ඇති හෙයින් පස්සද්ධ නම් වූ, දුටු දහම් ඇති හෙයින් විදිතවේද නම් වූ, හැමට පළමුව ධර්ම දානය බෙදා දුන් හෙයින් පුරින්දද නම් වූ, සියලු ගුණයට දක්ෂ හෙයින් සක්ක නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්.
7. අරියස්ස භාවිතත්තස්ස පත්තිපත්තස්ස වෙය්‍යාකරණස්ස,
සතීමතෝ විපස්සිස්ස අනභිනතස්ස නෝ අපනතස්ස,
අනේජස්ස වසිප්පත්තස්ස භගවතෝ තස්ස සාවකෝ’හමස්මි.
ආර්ය ගුණ ඇති හෙයින් අරිය නම් වූ, වඩන ලද සිත් ඇති හෙයින් භාවිතත්ත නම් වූ, උතුම් ගුණයට සපැමිණි හෙයින් පත්තිපත්ත නම් වූ, දහම මැනවින් තෝරා දෙන හෙයින් වෙය්යාකරණ නම් වූ, මනා සිහි නුවණ ඇති හෙයින් සතිමා නම් වූ, නුවණින් ලොව දක්නා හෙයින් විපස්සී නම් වූ, රහත් ගුණයෙන් යුතු හෙයින් අනභිනත නම් වූ, සියලු නුගුණින් බැහැර වූ හෙයින් අනපණත නම් වූ, තෘෂ්ණා නැති හෙයින් අනේජ නම් වූ, වසඟ කළ සිත් ඇති හෙයින් වසිප්පත්ත නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්.
8. සම්මග්ගතස්ස ඣායිස්ස අනනුගතන්තරස්ස සුද්ධස්ස,
අසිතස්ස අප්පහීනස්ස පවිවිත්තස්ස අග්ගපත්තස්ස,
තිණ්ණස්ස තාරයන්තස්ස භගවතෝ තස්ස සාවකෝ’හමස්මි.
යහපත් මග වැඩි හෙයින් සම්මග්ගත නම් වූ, ධ්‍යාන වඩනා හෙයින් ඣායී නම් වූ, කෙලෙස් හා එක් නො වූ සිත් ඇති හෙයින් අනනුගතන්තර නම් වූ, පාරිශුද්ධ හෙයින් ශුද්ධ නම් වූ, කෙලෙස් රහිත හෙයින් අසිත නම් වූ, නැති නො වන ගුණ ඇති හෙයින් අප්පහීණ නම් වූ, හුදෙකලාවේ ඇලුණු සිත් ඇති හෙයින් පවිවිත්ත නම් වූ, ලොවෙහි මුදුනට පත් වූ හෙයින් අග්ගපත්ත නම් වූ, සසරෙන් එතෙරට වැඩි හෙයින් තිණ්ණ නම් වූ, අනුන් එතෙර කරවන හෙයින් තාරයන්ත නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්.
9. සන්තස්ස භූරිපඤ්ඤස්ස මහාපඤ්ඤස්ස වීතලෝභස්ස,
තථාගතස්ස සුගතස්ස අප්පටිපුග්ගලස්ස අසමස්ස,
විසාරද්ස්ස නිපුණස්ස භගවතෝ තස්ස සාවකෝ’හමස්මි.
ශාන්ත විහරණ ඇති හෙයින් සන්ත නම් වූ, ගම්භීර ප්‍රඥා ඇති හෙයින් භූරිපඤ්ඤ නම් වූ, මහා ප්‍රඥා ඇති හෙයින් මහාපඤ්ඤ නම් වූ, ලෝභය දුරු වී ඇති හෙයින් වීතලෝභ නම් වූ, සත්‍යයට පත් වූ හෙයින් තථාගත නම් වූ, සොඳුරු ගමනක් වැඩි හෙයින් සුගත නම් වූ, එවැනි වෙන කෙනෙකු නැති හෙයින් අප්පටිපුග්ගල නම් වූ, සමාන කෙනෙක් නැති හෙයින් අසම නම් වූ, විශාරද ඤාණ ඇති හෙයින් විසාරද නම් වූ, සියුම් නුවණැති හෙයින් නිපුණ නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්.
10. තණ්හච්ýදස්ස බුද්ධස්ස විතධූමස්ස අනුපලිත්තස්ස,
ආහුණෙය්‍යස්ස යක්ඛස්ස උත්තමපුග්ගලස්ස අතුලස්ස,
මහතෝ යස්ග්ගපත්තස්ස භගවතෝ තස්ස සාවකෝ’හමස්මි.
තණ්හාව සිඳලූ හෙයින් තණ්හච්ඡිද නම් වූ, අවබෝධයට පත් වූ හෙයින් බුද්ධ නම් වූ, කෙලෙස් දුම් බැහැර කළ හෙයින් වීතධූම නම් වූ, කෙලෙස් හා නො තැවරී සිටිනා හෙයින් අනුපලිත්ත නම් වූ, පුද පූජාවන්ට සුදුසු හෙයින් ආහුණෙය්ය නම් වූ, ශ්‍රේෂ්ඨ උතුමෙකු හෙයින් යක්ඛ නම් වූ, උතුම් පුද්ගලයෙකු හෙයින් උත්තමපුග්ගල නම් වූ, අසාමාන්‍ය ගුණ ඇති හෙයින් අතුල නම් වූ, මහා ගුණ ඇති හෙයින් මහා නම් වූ, මහා යසසට පත් වූ හෙයින් මහතෝයසග්ගපත්ත නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්.
සාදු ! සාදු !! සාදු !!!
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
The post වැණුවා නම් බුදු ගුණ වැණුවා ම ය appeared first on Mahamevnawa Monastery.