Quantcast
Channel: Mahamevnawa Monastery
Viewing all articles
Browse latest Browse all 149

තමාව පිළිසරණ කරගන්නේ කොහොමද…?

$
0
0
thamawa-pilisarana-karaganne-kohomada

thamawa-pilisarana-karaganne-kohomada

පින්වත්නි,

මේ මිනිස් ජීවිතය, දීර්ඝ ගමනක පුංචි නවාතැන්පලක්. හැබැයි කෙනෙක් මේ නවාතැන්පලේදී විශාල දෙයක් රැස්කර ගන්නවා. ඒ තමයි තමන්ගේ සිත, කය, වචනය හසුරුවාලීමෙන් රැස් කරගන්න දේ. ඒ විදිහට සිත, කය, වචනය සංවර කරගෙන, බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දේශනා කරපු ධර්මය අවබෝධ කරගන්න දක්ෂ වුණේ ජීවිතය තේරුම් ගන්න දක්ෂ මිනිසුන් විතරයි.

අපේ හිතේ පැති දෙකක් තියෙනවා. අපේ හිතේ එක පැත්තක් තියෙනවා, ඒක නිර්මාණශීලියි. ඒ පැත්තෙන් ඕන දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. බලන්න, අහස් යානා, අලූත් තාක්ෂණය, පරිගණක මේ ඔක්කොම මනස මුල්කරගෙනනේ නිර්මාණය වුණේ. මනසේ තමයි මේ නිර්මාණ ඉස්සර වෙලාම හැදෙන්නේ. එහෙම නම් මනසේ තියෙනවා යම්කිසි දෙයක් අලූතින් නිර්මාණය කරන්න පුළුවන් කුසලතාවයක්.

යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒක නෙවෙයි. ඒක අපි හොඳට මතක තියාගන්න ඕන. සමහරු ධර්මය අහනවා. ඒ වගේම ඒක ලස්සනට කියන්නත් පුළුවන්. මනස නිර්මාණශීලී නම් එයාට ඒක කරන්න පුළුවන්. සමහරු ලස්සනට කවි ගොතනවා. සමහරු ලස්සනට නිසඳැස් ලියනවා. මේ ඔක්කොම මනසේ තියෙන නිර්මාණශීලී කුසලතාවයයි.

නමුත් අවබෝධය කියන්නේ නිර්මාණශීලී කුසලතාවය නෙවෙයි. අවබෝධය කියලා කියන්නේ මනසේ තියෙන සැබෑ ස්වභාවය හඳුනාගෙන, නොමඟට යන්න නොදී සුමගට ගන්න පුළුවන්කමයි. ඒක කරන්න ලේසි නෑ. ඒකට සතිපට්ඨානය වුවමනයි. ඒ කියන්නේ සිහිය පිහිටුවාගෙන තමන් දිහා බලාගෙන ඉන්න ඕන.

සිහිය පිහිටුවාගෙන තමන් දිහා බලාගෙන ඉන්න එක තමයි අපට තියෙන අමාරුම වැඬේ. තමන් දිහා බලාගෙන, තමන්ගේ සිත දිහා බලාගෙන, තමන්ගේ ක‍්‍රියාව දිහා බලාගෙන, තමන්ගේ මානසික ස්වභාවය දිහා බලාගෙන, තමන්ව පරිස්සම් කරන එක තමයි යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ. ඒක කිරීමට විශාල පිනක් ඕන. මොකද, තමන්ගේ දිහා බලාගෙන තමන්ව පරිස්සම් කරගන්න ඇති දක්ෂකම මනුෂ්‍යයින් අතර තියෙන දුර්ලභ දක්ෂකමක්. ඒ වගේම මනුෂ්‍යයින් අතර තියෙන විශේෂම දක්ෂකමක්. ඒක නිර්මාණශීලී එකක් නොවෙයි.

දැන් අපි ගත්තොත් සමහරු ඉන්න පුළුවන් පාඩම් කරන්න බැහැ. පාඩම් හිටින්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ කාලයේ යාළුවෝ දෙන්නෙක් පැවිදි වුණා. එක්කෙනෙක් වයසයි. අනිත් කෙනා තරුණයි. පැවිදි වුණාට පස්සේ අර වයසක ස්වාමීන් වහන්සේ කල්පනා කළා, ‘මට පාඩම් හිටින්නෙත් නෑ. මට බණ කියන්නත් බෑ. නමුත් මට සතිපට්ඨානය වඩන්න පුළුවන්. මං මේක කරගෙන යන්න ඕන’ කියලා.

නමුත් අනිත් ස්වාමීන් වහන්සේ හරිම නිර්මාණශීලියි. හොඳට මතක හිටිනවා. ලස්සනට කියන්න පුළුවන්. දැන් අර වයසක ස්වාමීන් වහන්සේ පැත්තකට වෙලා බණ භාවනා කරනවා. ටික ටික භාවනා කළා. මාර්ගඵල ලැබුවා. රහත් වුණා. අනිත් ස්වාමීන් වහන්සේට දක්ෂතා තියෙනවා. බණ කිව්වා. ගෝල බාලයෝ හැදුවා. එයා ඒ පැත්තෙන් ගියා. නමුත් මාර්ගඵල අවබෝධයක් ලබන්න බැරිව ගියා.

අර භාවනා කරලා නිවන් අවබෝධ කරපු රහතන් වහන්සේ බණ කියන්න දක්ෂ නෑ. ධර්මය මතක හිටිනවත් අඩුයි. නමුත් වුවමනා කාරණය කරගත්තා.

ඉතින් මේකෙන් අපට පේනවා, ධර්ම මාර්ගය දියුණු කිරීමේදී ඒකට අවශ්‍ය බුද්ධිමත්කම උපතින් එන්න ඕන එකක්. ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උපතින් එන්න ඕන එකක්. අපට බැලූ බැල්මට ඒක තියෙනවද, නැද්ද කියලා හොයන්න බෑ. හොයන්න ක‍්‍රමයක් ඇත්තෙත් නෑ. දිගටම ධර්මය පුරුදු කිරීමෙන් තමයි ඒ වාසනාව මතුවෙන්නේ. ඒ වාසනාව මතුකරගන්න වෙන ක‍්‍රමයක් නෑ. ඒකට නුවණින් කල්පනා කරන්න පුළුවන් වෙන්න ඕන.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ධර්මය තුළ අපි කරුණු දෙකක් පිළිසරණ කරගන්නවා. පළවෙනි එක තමයි, අපි තමාව පිළිසරණ කරගන්නවා. දෙවෙනි එක තමයි, අපි ධර්මය පිළිසරණ කරගන්නවා. තමාව පිළිසරණ කරගන්නේ කොහොමද? තමන්ගේ සිතේ අකුසල් හටගනිද්දී, ඒ අකුසල් දුරුකරන්නේ නැත්නම් එයා තමාව පිළිසරණ කරගෙන නෑ. තමන්ට වෛරය එද්දී, ඒ වෛරය දුරුකරන්නේ නැත්නම්, තමන් තමාව පිළිසරණ කරගෙන නෑ. තමන් දුස්සීලව ඉන්දැද්දී, සිල්වත් වෙන්නේ නැත්නම්, තමන් තමාව පිළිසරණ කරගෙන නෑ.

එහෙම නම් තමන් තමාව පිළිසරණ කරගන්නවා කියන්නේ මොකක්ද? දුස්සීල කෙනෙක්, ‘මේ දුස්සීලභාවය මට අහිත පිණිස පවතින එකක්. මං මේකෙන් බැහැර වෙන්න ඕන’ කියල කල්පනා කරලා සිල්වත් වෙනවා. අන්න තමා තමාව පිළිසරණ කරගත්තා. අකුසල්වලට යට වුණු කෙනා, ‘මේවා කල්පනා කර කර ඉඳලා නම් මට හරියන්නේ නෑ. මං මගේ ජීවිතය තුළ අකුසල් බැහැර කරන්න ඕන. කුසල් වඩන්න ඕන’ කියලා කල්පනා කරලා වීරිය කරන්න පටන් ගන්නවා. අන්න එයා තමාව පිළිසරණ කරගත්තා.

ඒ සඳහා දැනුම ගන්නේ ධර්මයෙන්. එතකොට එයා ධර්මය පිළිසරණ කරගත්තා. මේකේ තියෙන්නේ අන්න එහෙම වැඩපිළිවෙලක්. එහෙම නැතුව තවත් කෙනෙකුට තවත් කෙනෙකුගේ ජීවිතය පිරිසිදු කරන්න බෑ. තවත් කෙනෙකුට තවත් කෙනෙකුගේ සිතුවිලි රටාව හරිගස්සන්න බෑ. තවත් කෙනෙකුට තවත් කෙනෙකුගේ ජීවිතය අමුතුවෙන් සකස් කරලා දෙන්න බෑ. ඒක කරගන්න ඕන තමන්මයි. මේක තමයි ලෝකයේ තිබෙන ඇත්ත. ලෝකයේ වෙන කිසිම ආගමකින් මේ ඇත්ත පෙන්නුවේ නෑ. බුදුරජාණන් වහන්සේ විතරයි මේ ඇත්ත පෙන්නුවේ. බුදුරජාණන් වහන්සේ විතරයි ”තමන් තුළ නුවණ තියෙනවා. ඒක උපදවා ගන්න. තමන් තුළ අකුසල් දුරුකිරීමේ, කුසල් උපදවා ගැනීමේ වීරිය තියෙනවා. ඒක ඇතිකර ගන්න. තමන් තුළ සිහිය තියෙනවා. ඒක ඇති කරගන්න” කියලා ඒ දේවල් පැහැදිලි කරලා දුන්නේ. මේක නේද ධර්මයෙන් උගන්වන්නේ?

අපට බුදුරජාණන් වහන්සේව දකින්න ඕන නම්, උන්වහන්සේව දකින්න තියෙන්නේ ධර්මයෙන් විතරයි. යමෙක් ධර්මය දැක්කොත් එයා බුදුරජාණන් වහන්සේ කවුද කියලා තේරුම් ගන්නවා.

අපි මේ වෙලාවේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන පොඞ්ඩක් ඉගෙන ගන්නයි. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සුවිශේෂී එකක්. බුදුරජාණන් වහන්සේ මිනිස් ලෝකයේ උපදින කොට මේ මිනිස් ලෝකයේ අමුතුම පරිසරයක් තිබුණා. මිනිස්සු ‘කුසල් මොනවද? සත්‍යය මොකක්ද?’ කිය කිය හොයන ඝෝෂාවක් තිබුණා. බුද්ධිමත් මිනිස්සු ඉපදිලා මුළු හදවතින්ම ජීවිතාවබෝධයට යොමු වුණු යුගයක තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ.

බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ විශේෂ ලක්ෂණ තිබුණා. උන්වහන්සේ ඉපදුණාට පස්සේ ඒ ශාරීරික ලක්ෂණ බලලා තමයි අනාවැකි කිව්වේ. උන්වහන්සේගේ ශරීරයේ විශේෂ ලකුණු තිස් දෙකක් තිබුණා. උන්වහන්සේගේ ශරීරයේ ලක්ෂණ බලලා තමයි, ‘මේ ලක්ෂණ තිස් දෙක තියෙනවා නම් එයා විශේෂ කෙනෙක්. එයාට තියෙනවා ගති දෙකක්. ඔය ලක්ෂණ තිස් දෙක තියෙන කෙනා ගිහි ගෙදර රැඳුණොත් එයා විශේෂ රජ කෙනෙක් වෙනවා; මේ ලෝකයම ධර්මයෙන් හසුරුවන්න පුළුවන් දේශපාලන නායකයෙක් වෙනවා; පැවිදි වුණොත් මුළු ලෝකයෙන්ම නිදහස් වෙනවා; මුළු ලෝකයාටම විමුක්තිය සලසා දෙනවා’ කියලා කිව්වේ.

ඉතින් බුදුරජාණන් වහන්සේ පුංචි කාලේ බොහෝ දෙනා නිවැරදි විදිහට අනාවැකි කිව්වා. ඒ අනාවැකිය තමයි, ‘මේ දරුවා ගිහි ගෙදර රැඳෙන්නේ නෑ. මේ දරුවා ගිහිගෙදර අත්හැරලා පැවිදි වෙනවාමයි. මේ දරුවා පැවිදි වෙලා සම්මා සම්බුදු බවට පත්වෙනවාමයි’ කියලා. අපේ වාසනාවට ඒ දේ සිද්ධ වුණා.

සක්විති රජ කෙනෙක් වුණා නම් ඉතිහාසයේ නමක් විතරක් සටහන් වෙලා ඉතුරු වෙනවා. ධර්මයක් ඉතුරු වෙන්නේ නෑ. සම්මා සම්බුදු කෙනෙක් පහළ වුණු නිසා උන්වහන්සේ අවබෝධයෙන්ම දේශනා කරපු ධර්මයක් අපට ඉතුරු වුණා.

බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ එකම එක කාරණාවකටයි. මේ ලෝක සත්වයාට යම්කිසි දෙයක් අවබෝධ කරවන්නයි. ඒ දේ තමයි චතුරාර්ය සත්‍යය. ඇයි මේ සත්වයන් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත යුත්තේ? බොහෝ මනුෂ්‍යයන් තුළ තියෙනවා, තමාව තමන්ට පාලනය කරගන්න බැරි බවක්. සමහරුන්ට තමන්ට ඇතිවෙන හැඟීම් පාලනය කරගන්න බෑ. තමන්ට තරහක් ඇතිවුණොත්, ඒක පාලනය කරගන්න බෑ. තමන්ට රාගය ඇතිවුණොත්, ඒක පාලනය කරගන්න බෑ. තමන්ට ලාමක ආශාවන් ඇතිවුණොත්, ඒවා පාලනය කරගන්න බෑ. තමන්ට පහත් සිතුවිලි ඇතිවුණොත් පාලනය කරගන්න බෑ. බොහෝ මනුෂ්‍යයන්ට තමන් තුළ ඇතිවෙන මේ සිතුවිලි පාලනය කරගන්න බෑ.

ඒකට හේතුව තමයි, මේවා ඇතිවෙන්නේ යම්කිසි අපවිත‍්‍ර වූ ගති ලක්ෂණ වලින්. ඒවාට කියන්නේ කෙලෙස් කියලා. මේ කෙලෙස් පවතින්නේ ජීවිතය පිළිබඳ අවබෝධයක් නැතිකම නිසයි. එහෙම නම් අපට ජීවිතය පිළිබඳ අවබෝධයක් ඇතිවුණ දවසට මේ කෙලෙසුන්ගේ තියෙන ලාමක ස්වභාවය හඳුනාගන්න පුළුවන්. එදාට එයා බුද්ධිමත් මනුෂ්‍යයෙක් බවට පත්වෙනවා. අන්න ඒ දේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා.

ලෝකයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොමැති තාක් මිනිස්සු එක එක දේවල් කරනවා. පසුගිය දවස්වල ඉන්දියාවේ ‘කුම්භමේලා’ කියලා උත්සවයක් තිබුණා. සාධුවරුයි, මිනිස්සුයි මිලියන විස්සක් (මිලියන විස්සක් කියන්නේ කෝටි දෙකක්!) සීතලේ ගැහි ගැහී වතුරට පැන්නා. වතුරට පැන්නේ හිත පිරිසිදු කරන්නලූ! ශරීරය හේදුවාම හිත පිරිසිදු වෙනවා නම්, මේ ලෝකයේ සියලූ ජලචර සතුන්ගේ හිත පිරිසිදුයි. මොකද, ඒ අය හැම තිස්සෙම ඇඟ තෙත් කර කරනේ ඉන්නේ.

නමුත් අපි දන්නවා, සිත හෝ කය හෝ වචනය හෝ පිරිසිදු කරන්න තියෙන්නේ වතුරෙන් සෝදලා නෙවෙයි. ඒක කරන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් සිහිය, නුවණ, වීරිය දියුණු කරගැනීමෙන්. කොහොමද අපට මේ බුද්ධිය ලැබුණේ? අපිත් අර ගොඬේනේ ඉන්න ඕන. අපි ඒ ගොඩෙන් බේරුණේ කොහොමද? බුදුරජාණන් වහන්සේ නමක් ජීවිතය ගැන කියපු දෙය, බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය, මේ ලෝකයට අලූත් දැක්මක්, අලූත් අවබෝධයක් ලබාදෙනවා. අන්න ඒකෙන් තමයි අපට බුද්ධිය ලැබුණේ. ඒකෙන් තමයි අපි බේරුණේ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්
සදහම් වැඩසටහන් වලදී පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සකස් කළ
සැපයක්ය එය නුඹට සැනසෙන්න මෙත් සිතින්…’ සදහම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී

The post තමාව පිළිසරණ කරගන්නේ කොහොමද…? appeared first on Mahamevnawa Monastery.


Viewing all articles
Browse latest Browse all 149

Trending Articles