Quantcast
Channel: Mahamevnawa Monastery
Viewing all 149 articles
Browse latest View live

නපුරට පිහිට වූ සිත තමාව පවිටෙකු කරයි…

$
0
0

10 ගාථා රත්නය
නන්ද ගොපල්ලාගේ කථා වස්තුව

“නපුරට පිහිට වූ සිත තමාව පවිටෙකු කරයි…”

පින්වතුනේ, පින්වත් දරුවනේ,

කාලෙ සැවැත් නුවර නන්ද කියල විශාල ගව පට්ටියක ප‍්‍රධානියෙක් හිටියා. මෙම නන්ද ගොපල්ලාට භාරව තිබෙන ගව පට්ටියේ හිමිකාරයා වුනේ අනේපිඬු සිටුතුමායි. මේ නන්ද ගොපල්ලා ඉතාමත් උත්සාහවන්තයි. එනිසාම අතිවිශාල ගවපට්ටියක් බවට තම ගොවිපල පත්වුනා. ඒ තුලින් මොහු මහා ධනවතෙකුත් වුනා. කොපමණ ධනය ලැබුනත් මොහු ඉතාමත්ම නිහතමානියි. එනිසා අනේපිඬු සිටුතුමා යටතේම දිගටම සේවය කළා. නන්ද ගොපල්ලාගේ මෙම ගුණවත් චරිතය ගැන අනේපිඬු සිටුතුමා ගොඩක් පැහැදුනා. මොහු අවංක සේවකයෙක් විතරක් නෙවෙයි, සැදැහැවත් ශ‍්‍රාවකයෙක්. මොහු තෙරුවන් කෙරෙහි මහත් පැහැදීමකින් හිටියා. නිතර නිතර දෙව්රම් වෙහෙරට ගොස් බුදුරජාණන් වහන්සේව බැහැදැක බණ අසනවා.

දවසක් නන්ද ගොපල්ලා බුදුන් ප‍්‍රමුඛ සංඝරත්නයට තම නිවසේ දානයක් පිළියෙල කළා. එදා පාර දෙපස ලස්සනට සැරසුවා. පාරේ සුදු වැලි ඇතිරුවා. මහත් ආදර භක්තියෙන් යුතුව බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ භික්ෂූන් වහන්සේලාට තම නිවසට වැඩැම්මුවා. ඉතාම ප‍්‍රණීත වූ දන් පැන් පූජා කළා. සත් දවසක් පුරාවට මහ දන් දුන්නා. සත්වන දිනයේදී බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද චතුරාර්ය සත්‍යය දේශනාව අසා සෝවාන් ඵලයට පත් වුනා.

බුදුරජාණන් වහන්සේ ආපසු විහාරයට වඩිද්දී නන්ද ගොපල්ලා ගෞරව භක්තියෙන් යුක්තව උන්වහන්සේ පසුපසින් ගියා. ”පින්වත් නන්ද, ඔය ඇති. දැන් ඔබ ආපසු යන්න” කියල බුදුරජාණන් වහන්සේ වදාළා. උන්වහන්සේට මහත් ආදරයෙන්ම වන්දනා කළ නන්ද ගොපල්ලා ආපසු නිවස කරා එන්නට පිටත් වුනා. අතරමගදී එක්තරා වැද්දෙක් විෂ පෙවූ හෙල්ලකින් නන්ද ගොපල්ලාට පහර දුන්නා. ඔහු මියගියා.

මේ ගැන භික්ෂූන් වහන්සේලා බුදුරජුන්ගෙන් ඇසූ වේලෙහි උන්වහන්සේ වදාළේ සසරේ කරන ලද කර්ම විපාකයක් නිසා නන්ද ගොපල්ලා මිය ගිය බවයි. ඔහුට එම අවස්ථාවෙන් බේරී සිටීමට හැකියාවක් නොතිබුන බවත් පෙන්වා දුන්නා. නමුත් නන්ද ගොපල්ලා ඒකාන්තයෙන්ම නිවන් අවබෝධ කරන සෝවාන් ශ‍්‍රාවකයෙක් බවට පත්ව සිටි නිසා දැන් සුගතියෙහි ඉපිද සිටින බවත් පෙන්වා වදාළා. මෙම ගාථාවත් දේශනා කොට වදාළා.

දිසෝ දිසං යන්තං කයිරා – වේරී වා පන වේරිනං
මිච්ඡාපණිහිතං චිත්තං – පාපියෝ නං තතෝ කරේ

සොරෙක් තව සොරෙකුට – අනතුරු කරන විලසට
වෛර කරනා කෙනෙකුට - වෛරයෙන් පහර දෙන ලෙස
නොමඟටම යොදවා ගෙන – පිහිටුවා ගත් විට සිත
ඒ පවිටු සිත මුල් වී – පවිටෙකු බවට පත් කරන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, සිත ගැන අපි දන්නවාට වඩා නොදන්නා දේවල්මයි ගොඩක් තියෙන්නෙ. සිත තුළ පින් රැස්වෙනවා. ඒ වගේම මේ සිත ඉතාම ශ්‍රෙෂ්ඨත්වයට පත්කරවන්නට පුළුවනි. එහෙම පුළුවන් වෙන්නෙ ධර්මය තුළ සිත හැසිරෙව්වොත් විතරයි.

සමහර කෙනෙක් තමන්ගේ සිත ගැන කිසිම සැලකිල්ලක් නැහැ. සිත කිලූටු වෙනවා. ගණන් ගන්නෙ නැහැ. සිත කිලූටු වීමේ අනතුර ගැන නුවණින් කල්පනා කරන්නෙ නැහැ. ඒ කිලූටු සිත නිසා තමන්ගේ කය, වචනය තුළිනුත් අකුසල් රැස්වෙන බවත් කල්පනා කරන්නෙ නැහැ. මෙනිසාම සිත කිලූටු වෙද්දි කිලූටු වෙද්දි තවදුරටත් ඒ කිලූට වැඩිවෙන විදිහටම හිතනවා. එතකොට ඒ කිලූටු වෙච්ච සිත අකුසල් නිසා විකෘති වෙනවා. නපුරු වෙනවා. දරුණු වෙනවා. අකීකරු වෙනවා. භයානක වෙනවා. ඒ භයානකකම ගැන මෙම ගාථාවෙන් ඉතා කදිම උපමාවලින් කියා දෙනවා.

හොරෙක් හොරෙකුට දරුණු දෙයක් කරනවා නම්, ඒ දේ කරන්නේ කිසිම අනුකම්පාවකින් තොරවයි. හොරෙක් හොරෙකුව විනාශ කිරීමේදී පොඩි බුරුලක්වත් දෙන්නෙ නැහැ. නැත්තටම නැති කරනවා. ඊටත් වඩා භයානකයි නොමඟ ගිය හිත. එතන කිසිම පාලනයක් නැහැ. හොඳ නරක විමසීමක් නැහැ. යහපත අයහපත ගැන සැළකීමක් නැහැ. හරි වැරදි ගැන මොහොතක් වත් සිතන්නෙ නැහැ. ඒ නොමඟ ගිය සිත විසින් හොරෙක් හොරෙකුට අනතුරක් කරනවාටත් වඩා මහත් විනාශයක් තමාට කරනවා.

වෛරක්කාරයෙක් ඉන්නවා. මේ පුද්ගලයාට තව කෙනෙකුත් ඒ විදිහටම වෛර කරනවා. එතකොට ඒ වෛරක්කාරයා තමාට වෛර කරන පුද්ගලයාට කිසිම අනුකම්පාවක් දක්වන්නේ නැහැ. කිසිම දයාවක් දක්වන්නේ නැහැ. දැඩි වෛරයෙන්ම විනාශ කරනවා. නොමඟ ගිය සිත, අකුසලයෙහි පිහිටුවන ලද සිත, මිත්‍යාවෙහි පිහිටුවන ලද සිත, නපුරු ලෙස යොදවන ලද සිත විසින් ඊටත් වඩා භයානක විපතක් තමාට කරනවා.

වෛරක්කාරයෙක් වේවා, හොරෙක් වේවා බොහෝ විට කරන්නේ කෙනෙකුගේ ධන ධාන්‍යවලට, ජීවිතවලට, දේපලට වස්තුවට හානි කිරීමයි. නමුත් නොමඟ ගිය හිත විසින් තමාව පවිටු දුෂ්ටයෙකු බවට පත්කළ විට නිරයේ ඉපදිලා කල්ප ගණනක් දුක්විඳින්න වෙනවා. තිරිසන් ලෝකයේ ඉපදිලා දුක් විඳින්න වෙනවා. පේ‍්‍රත ලෝකයේ ඉපදිලා දුක් විඳින්න වෙනවා. අහෝ! සතුරෙකුටවත් නපුරු පවිටු සිතක් ඇති නොවෙන එකමයි හොඳ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ


අසිරිමත් පොසොන් මංගල්‍යය

$
0
0
1016045_592302954137221_1634270510_n

ධර්ම රාජයන් වහන්සේගේ අසිරිමත් සදහම් දායාදයෙන් ලක්මව අභිෂේක ලැබූ උතුම් පොසොන් පුන් පොහෝ දිනයේ, සිරි ගෞතම සම්බුද්ධ රාජ මාළිගය පිහිටි පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු පරිශ්‍රයේ දී, අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති සදහම් මංගල්‍යයෙහි සොඳුරු දසුන්..

මෙම උතුම් සදහම් මංගල්‍යයට සමගාමීව, ශ්‍රද්ධා රූපවාහිනිය ඩයලොග් ටීවී ඔස්සේ විකාශන කටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක පුණ්‍යෝත්සවය ද පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දිනය පුරාවට ම ආමිස ප්‍රතිපත්ති පූජාවන්ගෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයෝ සියල්ලෝ ම සතුටින් අනුමෝදන් වෙත්වා! අමා නිවනින් නිවී සැනසෙත්වා!!!

සම්පූර්ණ ඡායාරූප එකතුව පහත ලිපිනයට පිවිසීමෙන් නැරඹිය හැකියි.!

https://www.facebook.com/media/set/?set=a.592293930804790.1073741844.183948351639352&type=1

Click to view slideshow.

මෙල්බර්න් අසපුවේ පොසොන් පින්කම

$
0
0
980221_562066893832501_1582517430_o

මේ ලෝකයට පහළ වී වදාළ අසාහාය මනුෂ්‍ය රත්නය වන ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ මීට වසර 2602 කට පෙර බරණැස ඉසිපතන මිගදායේදී පස්වග භික්ෂූන් වහන්සේලාට උතුම් දම්සක් පැවතුම් දේශනාවෙන් ආරම්භ කළා වූ දහම් සංදේශය පතුරවාලීම හේතු කරගෙන දෙව්,මිනිස් ලෝකසත්වයාට අප්‍රමාණ සෙතක් සැලසුණි. බුද්ධ පරිණිර්වාණයෙන් වසර 236 කට පසු ධර්මාශෝක රජතුමාගේ දායකත්වයෙන්, මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වුණු තුන් වන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස ඒ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය ලංකා ද්වීපයට දායාද වුනි. මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රධාන ධර්මදූත පිරිස උතුම් පොසොන් පුන් පොහොය දින ලංකාවට වැඩම කිරීමෙන් පසුව අද වන තුරු එම නිර්මල ශ්‍රී සද්ධර්මයෙන් පිහිට සලසා ගත්, දුකින් නිදහස් වූ ශ්‍රාවක පිරිස ගනණින් කිව නොහැකිය. එහෙයින් ශ්‍රී ලාංකික බෞද්ධ සෑම දෙනාටම පොසොන් පුන් පොහොය දිනය අති උතුම් දිනයක් වන්නේය.

මෙම උතුම් අවස්ථාව සිහියට නගමින් මෙල්බර්න් නුවර මහමෙව්නාව භාවනා අසපුව මගින් උතුම් පොසොන් පුන් පොහෙය දින එනම් 2013.06.23 වන දින උදෑසන 6.30 සිට රාත්‍රී 8.30 දක්වා සංවිධානයකළ සීල භාවනා වැඩසටහන සහ අසිරිමත් සත්බුදු වන්දනාව ඉතා සාර්ථක අන්දමින් නිමාවට පත් විය. නිර්මල ශ්‍රී සද්ධර්මය නැමැති දායාදය ජීවිතයට ලබා ගනු කැමති 200 කට අධික සැදැහැවත් පිරිසක් මේ උතුම් අවස්ථාව සදහා සහභාගී වූහ. මේ උතුම් පින්කම සංවිධානය කරන්නට සහය වූ සෑම සියලු දෙනාටත්, සහභාගි වූ සෑම සියලු දෙනාටත්, සහභාගි වීමට හැකියාවක් නැති වූ සියලු දෙනාටත් අප විසින් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අනමෝදන් වෙත්වා… සැපයෙන් සැපයට පත් වෙත්වා… උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා…

සම්පූර්ණ ඡායාරූප එකතුව පහත ලිපිනයට පිවිසීමෙන් නැරඹිය හැකියි.!

https://www.facebook.com/media/set/?set=a.562066713832519.1073741830.125880367451158&type=1

Click to view slideshow.

අසිරිමත් පසේබුදු පෙළහර – 1

$
0
0
IMG_2447

සියලූ සතුන් වෙත – නපුරක් නොකරන
කිසිවෙකු හට කිසි වෙහෙසක් නොකරන
දරුවන් නොකැමැති හේ – කොයින් ලබන්ට ද මිතුරන්!
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….

Sample Image

අප මේ ගත කරන්නේ බුද්ධ කාලයකයි. මෙය ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගයයි. වරින් වර බුදුවරුන්ගේ යුග ලෝකයෙහි පහළ වෙනවා. මේ කල්පයේදී දැනට බුදුවරුන්ගේ යුග සතරක් ඇති වී තිබෙනවා. මෛත‍්‍රී බුදුරජුන්ගේ යුගය තවම පහළ වී නෑ. එය පස්වෙනි යුගයයි. මේ පස් යුගයම ඇතිවෙන්නේ එකම කල්පයකයි. එනිසා වෙන්න ඇති මේ කල්පයට ‘මහා භද්‍ර කල්පය’ කියා කියන්නේ.මෙම මහා භද්‍ර කල්පයේදී මුලින්ම පහළ වූයේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ යුගයයි. එකල මිනිසුන්ගේ ආයුෂ හතළිස් දහස් අවුරුද්දකින් යුක්තයි. මිනිස් ආයුෂ වසර තිස් දාහ වෙද්දී කෝණාගමණ බුදුරජුන්ගේ යුගය පහළ වුණා. මිනිස් ආයුෂ වසර විසිදහසක්ව තිබියදී තමයි කාශ්‍යප බුදුරජුන්ගේ යුගය පහළ වුණේ. අප සරණ ගිය ගෞතම බුදුරජුන්ගේ යුගය පහළ වීමේදී මිනිස් ආයුෂ වසර එකසිය විස්සයි. දැන් ඒ මිනිස් ආයුෂ කෙමෙන් අඩු වී ගෙන යන බව ඉතාම පැහැදිලියි. මේ සියලූ යුග බිහිකළ බුදුවරු අයත් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටයි. උන්වහන්සේලාගේ ප‍්‍රධාන බුද්ධකෘත්‍යය වන්නේ තමන් අවබෝධ කළ ධර්මය ලොවට දේශනා කිරීමයි. එසේ දෙසනු ලබන ඒ ධර්මය ශ‍්‍රවණය කොට ශ‍්‍රද්ධාව ඇතිකරගත් ශ‍්‍රාවක පිරිස් බිහි වන්නේ සම්මා සම්බුද්ධ ශාසන තුළ පමණයි. එවිට ඒ ශ‍්‍රාවකයින් තම ශ‍්‍රද්ධාව මුල් කොට පැවිදි වෙනවා. ඒ බුදුවරුන් විසින් පෙන්වන ලද ආර්ය මාර්ගයෙහි ගමන් කරනවා. සසරෙන් එතෙර වෙනවා. එම වැඩපිළිවෙල හඳුන්වන්නේ ‘බුද්ධ ශාසනය’ යන නමිනුයි.

එසේ බුදුසසුනක් පිහිටුවන්නට නොහැකි බුදුවරුන්ද පහළ වෙනවා. උන්වහන්සේලා හඳුන්වන්නේ ‘පච්චේක බුද්ධ’ යන නාමයෙනුයි. හෙළ බස් වහරින් කියන්නේ ‘පසේබුදු’ කියාය. පසේබුදුවරයන් වහන්සේලා පහළ වන්නේ සම්මා සම්බුදු සසුනක් ජීවමානව පවතින යුගයක නොවේ. ඊට පෙරයි. අපේ බුදුරජාණන් වහන්සේ මනුලොව ඉපදීමට සුළු කලකට පෙර පවා ‘මාතංග’ නමින් පසේබුදුරජාණන් වහන්සේ නමක් වැඩසිට තිබෙනවා.

එසේ නම් පසේබුදුවරු පහළ වන්නේ කොයි කාලයකද? පසේබුදුවරු පහළ වන්නේ සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමට පෙර බව දැන් අපි දන්නවා. එය මෙසේ තේරුම් ගනිමු. දැන් පවතින්නේ ගෞතම බුදුසසුනයි. කෙමෙන් කෙමෙන් මේ බුදු සසුනද අතුරුදහන් වී යනු ඇත. එය බුදුරජාණන් වහන්සේ මහා කස්සප මහතෙරුන් හට පැහැදිලිව දේශනා කළ අයුරු සංයුත්ත නිකායේ ‘සද්ධම්ම පතිරූපක’ සූත‍්‍රයේ සඳහන්ව තිබේ. එනම් බුදු සසුනක් අතුරුදහන් වීමට කරුණු පහක් හේතු වෙනවා. යම් දිනෙක තථාගතයන් වහන්සේගේ සිව්වණක් පිරිස වන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ බුදුරජුන්ට ගෞරව නොකරත්ද, බුදුසරණින් බැහැරව සිටිත්ද, ධර්මයට ගෞරව නොකරත්ද, දහම් සරණින් බැහැරව සිටිත්ද, සංඝයාට ගෞරව නොකරත්ද, සඟ සරණින් බැහැරව සිටිත්ද, ශික්ෂාවට ගෞරව නොකරත්ද, ශික්ෂාවෙන් බැහැර වෙත්ද, සමාධියට ගෞරව නොකරත්ද, සමාධියෙන් බැහැරව සිටිත්ද, එකල්හී බුදු සසුන අතුරුදහන් වී යනු ඇත.

මේ අයුරින් ශාසනය අතුරුදහන් වෙමින් ගිය කල බලවත් වන්නේ අධර්මයයි. එවිට මව්පියන් නොහඳුනන, ගුරුවරුන් නොහඳුනන, කෙළෙහිගුණ නොදන්නා, අසත්පුරුෂ හැඟුමින් බලවත් පිරිස වැඩිවේ. ඒ හේතුවෙන් ආයුෂ කෙමෙන් අඩු වී යයි. වසර දහය දක්වා ආයුෂ අඩුවන බව ‘චක්කවත්තී සීහනාද’ සූත‍්‍රයේ පෙන්වා දී තිබේ. ආයුෂ වසර දහය දක්වා අඩු වූ විට එකිනෙකා කෙරෙහි පළිගැනීම බලවත් වන මෘග සඤ්ඤාව මිනිසුන් තුළ ඇති වේ. එවිට ඔවුන් පෙළඹෙන්නේ එකිනෙකා ඝාතනය කිරීම පිණිසයි. මේ හේතුවෙන් සත් දිනෙක මහා යුද්ධයක් ඇති වේ. එයින් බොහෝ ජනයා මරණයට පත් වේ. මෙසේ මිනිස් ආයුෂ දස වසරක් දක්වා අඩු වී යන මේ තාක් කාලය තුළ පසේබුදුවරු පහළ නොවේ.

සත් දිනක් පවතින යුද්ධයෙන් පසු ඉතිරි වන ජනයා එකිනෙකා වැළඳ ගෙන හඬන්නට පටන් ගනී. ඔවුන්ගේ දිවි ගැලවී තිබීම ඔවුන් ලද භාග්‍යයක් කොට සළකයි. ඉන්පසු ඔවුන් කරන්නේ පිරිහී යාමට හේතු පිරික්සීමයි. ඒ හේතුවෙන් යළිත් ක‍්‍රමක‍්‍රමයෙන් ඔවුන් තුළ ගුණදම් වැඞී යනු ඇත. ඒ අනුව මව්පිය ගුරුවර ගෞරවය, කෘතගුණ ආදී මානව ගුණධර්ම වැඬේ. ආයුෂයද සීඝ‍්‍රයෙන් වැඩෙන්නට පටන් ගනී.

එසේ ක‍්‍රමක‍්‍රමයෙන් වැඩි වී යන මිනිස් ආයුෂ වසර අසූ දහස දක්වා වැඞී ගිය කල දඹදිව කේතුමතී නුවර මෛත‍්‍රී නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යුගය පහළ වනු ඇත. ඒ සම්බුදු රජුන් පහළ වීමට පෙර පසේ බුදුවරුන්ගේ යුගයක් ඇති වේ. එම යුගය තුළ පසේබුදු බව පිණිස තම තමන්ගේ පින සකස් වූ මහා පින්වන්තයන් මනුලොව උපදිනු ඇත. තම තමන්ට වැටහෙන ක‍්‍රම ඔස්සේ නුවණ මෙහෙයවා පසේබුදු බවට පත්වෙනු ඇත.

සසර පුරා අනේක ආත්මභාවයන්හි ජීවිතාවබෝධය වෙනුවෙන් කරන ලද පිනෙන් සකස් වූ ඒ පසේබුදුවරුන්ගේ ජීවිත ගැන අප දැනගත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙනි. ඒ මෙසේය. දිනක් අනඳ මහතෙරුන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ පසේබුදුවරයන් වහන්සේලා ගැන කියා දෙන ලෙසයි. එවිට බුදුරජාණන් වහන්සේ අනඳ හිමියන්ට ගාථා වශයෙන් ‘ඛග්ගවිසාණ’ සූත‍්‍රය වදාළ සේක. එම ගාථාවලින් කියවෙන්නේ ඒ ඒ පසේබුදුවරයන් වහන්සේලා තමන්ගේ අවබෝධය සහ අත්දැකීම් එක්කොට වදාරණ ලද ගථාවන්ය. මෙම ගාථා සඳහන් වන්නේ සුත්ත නිපාතයෙහිය. මෙයද සම්බුදු මහිමයේ අසිරියෙකි. සම්බුදු නුවණින්ම මතුකරගත් අද්භූත දෙයකි. ලොව කිසිවෙක් නොදන්නා, නොවැටහුණු ඒ පසේබුදුවරුන්ගේ ලෝකය ගැන මේ අයුරින් හෝ දැනගන්නට ලැබීම පවා අප ලද වාසනාවකි.

මේ කථාව දෙස බලන්න. මෙය පසේබුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිත කථාවයි. මෙම පසේබුදුරජාණන් වහන්සේ පහළ වූයේ අපගේ ශාස්තෘන් වහන්සේ පහළ වෙන්නට පෙරයි. එනම් වසර විසිදහසක ආයුෂ තිබෙන කාලයේ ලොව පහළ වූ කාශ්‍යප බුදු සසුනෙහි තරුණයෙක් පැවිදිව සිටියා. එහිදී ඔහු විසිදහසක් අවුරුදු මහණදම් පුරද්දී වැඩිපුර පුරුදු කොට තිබෙන්නේ ‘ගත පච්චාගත’ වතයි. ඒ කියන්නේ භික්ෂුවක් ගමට පිඬු සිඟා වඩින විට, කුටියෙන් පළමු පියවර තබන්නේ කිසියම් භාවනා අරමුණකින් යුක්තවයි. ඒ භික්ෂුව පිඬු සිඟා වඩින අතරතුර මුණගැසෙන කිසිදු බාහිර අරමුණක් නිසා හෝ තම භාවනා මනසිකාරය වෙනස් කරගන්නේ නෑ. ඒ තුළම රැඳී ඉන්නවා. ඒ භාවනා අරමුණෙන්ම ආපසු කුටියට වඩිනවා. බාහිර ලෝකය හා එක් නොවී සිතෙහි නගා ගත් එම කුසල අරමුණු මත රැඳී පිඬු සිඟා යෑමත්, ආපසු ඒමත් එකම අයුරින් කරන නිසා එයට ගත පච්චාගත වත කියනවා. සැබැවින්ම මෙය ඉතා දුෂ්කරයි. නමුත් ඒ දුෂ්කර දේ පවා පිනැතියන් කරනවා.

ඉතින් මේ භික්ෂුවට එසේ ගත පච්චාගත වත පුරමින් පවා මහත් උත්සාහ කරද්දීත් කාශ්‍යප බුදුසසුනේදී මාර්ගඵලාවබෝධයක් ලබා ගන්නට නොහැකි වුණා. නමුත් එ් උත්සාහය අපතේ ගියේ නෑ. අපවත් වීමෙන් පසු දෙව්ලොව උපන්නා. පසේබුදුවරු පහළ වෙන යුගයේදී, එනම් සම්බුදුවරයෙක් පහළ වෙන්නට කලින් මේ පින්වත් දෙවියන් දෙව්ලොවින් චුත වුණා. මනුලොව බරණැස් රජුගේ අගමෙහෙසියගේ කුස පිළිසිඳගත්තා. මේ දරුවා මහා ප‍්‍රඥාවන්තයෙක්. පිය රජතුමා මේ පින්වත් කුමරා තරුණ වියට පැමිණෙද්දී රජකම පැවරුවා. මොහු දැන් ඉතාමත් දැහැමින් රජ කරනවා.

අවබෝධය පිණිස රැස් කරගත් පින විපාක දෙන අයුරු හරි පුදුමයි. රජකම කරන අතරේ මොහු භාවනාවට යොමු වුණා. රාත‍්‍රියට සඳළුතලයට ගොඩවෙනවා. පුන් සඳ දෙස ඇස් පිය නොහෙලා බලා සිටිනවා. ඉන්පසු දෑස පියා ගන්නවා. ඒ පුන්සඳේ ඡායාව සිතෙන් මතු කරගන්නවා. ඒ අනුව සිත පිහිටුවාගෙන කසිණ වඩනවා. මේ කාලය සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී නැති කලක් නිසා සතර සතිපට්ඨානය දන්න කවුරුවත් නෑ. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම දන්න කවුරුවත් නෑ. කසිණ වැනි කිසියම් භාවනාවක් තමයි කිරීමට තියෙන්නේ. ඉතින් මේ රජුගේ සිත එම භාවනාවෙන් එකඟ වුණා. ටිකෙන් ටික භාවනාවටම සිත ගියා. ඔහු ඇමතියෙකු කැඳවා රාජ කෘත්‍යය ඔහුට භාර දී උඩු මහලේම නැවතී භාවනා කරන්න පටන් ගත්තා.

අඩ මසක් ගතවුණා. රජතුමා පේන්න නෑ. වෙනදට එහෙම නොවෙයි. රජතුමාගේ ප‍්‍රධානත්වයෙන් රාජකීය උත්සව තියෙනවා. සම්භාෂණ තියනවා. උද්‍යාන ක‍්‍රීඩා තියෙනවා. දැන් මේ කිසිත් නැති නිසා රජතුමා කොහිදැයි බිසව ඇමතිවරුන්ගෙන් විමසුවා. එතකොට රජකම පිළිගත් ඇමතියා සියලූ දේ පවසා සිටියා. එවිට බිසවගේ මුවින් පිටවුණේ ඒ ඇමතියා කිසිසේත් අපේක්ෂා නොකළ දෙයක්.

“ඕහෝ…! එහෙමද? එතකොට රජකම පවරා තිබෙන්නේ ඔබටයි… ම්…. එහෙම නම් මාව අයිතිත් ඔබටයි. ඒ නිසා ඔබ මගේ යහන් ගැබට පැමිණිය යුතුයි.”

ඇමතියා තැති ගත්තා. හද ගැස්ම වැඩිවුණා. කම්පා වුණා.

“අහෝ…! බිසවුන් වහන්ස, මට සමාවුව මැනැව. රජතුමා මට මේ රාජ කෘත්‍ය පැවරුවේ උන්වහන්සේට භාවනා කිරීම පිණිස පමණයි. එනිසා මට එවැනි යෝජනාවකට එකඟ වෙන්න කිසිසේත් පුළුවන්කමක් නැහැ….”

එතකොට ඒ බිසව ඇමතියාට තව වතාවක් කියලා, තුන්වන වතාවේ තර්ජනය කළා.

“ඒයි ඇමතියා….! මං මේ රාජ්‍යයේ රාජ මහේෂිකාව බව නුඹ දැන සිටියොත් හොඳයි! මට ඔය රාජ කෘත්‍යයෙන් නුඹව බැහැර කිරීම සුළු දෙයක්. එමතුද නොවෙයි! නුඹට ජීවිතයෙන් පවා සමුගන්න සිදුවේවි…! එනිසා දැනගනින්… මේක යෝජනාවක් නෙවෙයි, රජ බිසවකගේ අණක්…!”

අන්තිමේදී බිසවගේ අණට කීකරු වෙන්න ඇමතියාට සිදුවුණා. ඇමතියාත් ක‍්‍රමක‍්‍රමයෙන් එයට ඇබ්බැහි වී ගියා. කලක් යද්දී මේ ඇමතියාගේ රහස් ක‍්‍රියා කලාපය ගැන රජතුමාට සැළවුණා. එක දවසක් රජතුමා අතටම අල්ලා ගත්තා. වධ හිංසා කිරීමට අසතුටු රජු මේ ඇමතියාව රාජ්‍යයෙන් නෙරපා හැරියා.

එතකොට ඇමතියා වෙනත් ප‍්‍රාදේශීය රජෙකු ළඟට ගියා. ගිහින් ඔහුගේ රාජ සේවයට බැඳුණා. ඒ ප‍්‍රාදේශීය රජුගේ සිත දිනා ගත්තා.

“මහරජතුමනි, පිළව් නැති මී වදයක් නම් තියෙනවා. නමුත් එය අනුභව කරන්නට කවුරුවත් නෑ.”

“එම්බා ඇමතිය…, ඒ කුමක්ද? නුඹ මට විහිළු කරනවාද…?”

“අනේ රජතුමනි, මට කමා වනු මැනැව. මා මේ පවසන්නේ සත්‍යයක්. එනම් බරණැස් නුවර රජකම ගැනයි. මා කියන්නේ අසත්‍යයක් නම්, ඔබවහන්සේගේ චරපුරුෂයන් ලවා විමසා බලන සේක්වා!”

ඒ ප‍්‍රාදේශීය රජු චරපුරුෂයන් යැව්වා. ඔවුන් බරණැස් නුවරට ගොස් උමං සාරාගෙන බරණැස් රාජ මාළිගාවේ රජුගේ යහන් ගැබින් මතුවුණා. එවිට රජු චර පුරුෂයන්ගෙන් ප‍්‍රශ්න කළා. ඔවුන් ප‍්‍රකාශ කර සිටියේ තමන් සොරුන් බවත්, සොරකම් කිරීමේ අදහසින් පැමිණි බවත්ය. එවිට බරණැස් රජු ඔවුන්ට සමාව දී අවවාද කොට, ධනයද දී පිටත් කළා.

ධනය රැගත් චර පුරුෂයන් ප‍්‍රාදේශීය රජු කරා පැමිණි සියල්ල සැළකළා.

“රජතුමනි, ඒ බරණැස් රජතුමා සිල්වත් කෙනෙක්. ප‍්‍රාණඝාත නොකරන කෙනෙක්. සොරකම් කිරීමට ගිය අපට තෑගි භෝග දුන්නා. තමන්ගේ බලය රාජ්‍ය තුළ පතුරුවා හැරීමක් නැති බවයි පෙනෙන්නේ…”

එයින් කරුණු තහවුරු කරගත් ඒ ප‍්‍රාදේශීය රජු බරණැස් නුවර මායිම් නගරයක් යටත් කර ගැනීම පිණිස පිටත්ව ගියා.

“මට මේ නගරය ඕන. දුන්නෙ නැත්නම් යුද්ධ කොට අල්ලා ගන්නවා” කියලා බරණැස් රජු වෙත ඇමතියෙක් පිටත් කළා. එතකොට බරණැස් රජතුමා මෙහෙම කිව්වා.

“මං යුද්ධ කරන්න කැමති නෑ. නගරය දෙන්නම්.”

එතකොට ඒ සතුරු රජතුමා පහසුවෙන්ම නගරය අල්ලා ගත්තා. බරණැස් රජුගේ ඇමතිවරු මෙයට කැමති වුණේ නෑ. ඔවුන් රජතුමාව දැනුවත් කළා.

“මහ රජතුමනි, මෙහෙම වෙන්න දෙන්න හොඳ නෑ. අපි යුද්ධ කරමු!”

“නෑ! මං කිසිම මනුෂ්‍ය ඝාතනයකට කැමති නෑ…. කොටින්ම යුද්ධය මං ප‍්‍රතික්ෂේප කරනවා.”

“මහ රජතුමනි, එහෙම නම් අපි ඔහුව ජීවග‍්‍රාහයෙන් අල්ලා ගනිමු. ඒ ගැන ඔබවහන්සේ නොසිතන සේක්වා! අප සමඟ වඩින සේක්වා!”

“හැබැයි ඇමැතිවරුනි, ඔය මනුෂ්‍ය ඝාතන, දරුණු වධහිංසා, මංකොල්ලකෑම් ආදියට මං කැමැති නෑ. එනිසා එ්වා නොකරන බවට පොරොන්දු වෙනවා නම් විතරක් මං එන්නම්.”

“මහ රජතුමනි, අපි ඔබවහන්සේගේ අදහසේමයි ඉන්නේ…. ඔවුන්ව භය කරලා පන්නමු.”

ඉතින් ඒ රජු සිව්රඟ සේනා සමඟ කළගෙඩි ඇතුළේ පහන් දල්වා ගෙන රාත‍්‍රියේම පිටත් වුණා.

ඒ වෙද්දී අර ප‍්‍රාදේශීය රජු බරණැස සමීපයේ නගරයක් අල්ලාගෙන සිටියා. ඔහු සේනාවට මෙහෙම කිව්වා.

“කොල්ලනේ…. මෙහෙ කා එක්ක සටන් කරන්නද? ඒ නිසා දැන් ? බෝ වුණා. නුඹලා හිතුමනාපේ නිදා ගනිල්ලා…” කියලා බලකායත් සමඟ නින්දට ගියා.

බරණැස් රජතුමා සේනාව සමඟ ගොස් සතුරු රජ ප‍්‍රධාන පිරිස වැටලූවා. කළගෙඩිවල තිබූ සියළු පහන් ඉවතට ගෙන එකවර දැල්වූවා. මහත් හඬ නැංවූවා. සතුරු රජුගේ බලසේනාව හොඳටම බියට පත්වුණා. රජතුමාව අවදිකළා. රජතුමාත් බියපත්ව විලාප නගා හැඬුවා.

බරණැස් රජුගේ ඇමතිවරු අර සතුරු රජු ජීවග‍්‍රාහයෙන් අල්ලා ගත්තා. මහරජතුමා ඒ රජුට පවා සමාව දුන්නා. බරණැස් නුවරට සමීප ජනපදයක රජකමට පත්කළා. ඔවුන් යහළුවන් වුණා.

ආයෙමත් රජතුමා ක‍්‍රමක‍්‍රමයෙන් මෙත් සිත දියුණු කරන්න පටන් ගත්තා. කිසි සත්වයෙකුට හිංසාවක්, පීඩාවක්, කරදරයක් නොවීමට මෙත් පැතිරුවා. ඒ තුළින් ධ්‍යාන උපදවා ගන්නට රජතුමා සමත් වුණා. නමුත් යුධ කෝළාහල, ලෙඩ දුක් ආදිය නිසා උපන් සත්වයා දුකට පත්ව සිටින අයුරු රජතුමාට හොඳින් වැටහුණා. උපදින තාක් මේ දුකට මුහුණ දිය යුතු බව රජතුමාට තේරුණා. ඉපදීමට හේතු විමසුවා. ඉපදීමට හේතුව භවය බවත්, භවයට හේතුව උපාදාන බවත්, උපාදායට හේතුව තණ්හාව බවත්, තණ්හාවට හේතුව විඳීම බවත්, විඳීමට හේතුව ස්පර්ශය බවත්, ස්පර්ශයට හේතුව ආයතන හය බවත්, ආයතන හයට හේතුව නාමරූප බවත්, නාමරූපවලට හේතුව විඤ්ඤාණය බවත්, විඤ්ඤාණයට හේතුව සංස්කාර බවත්, සංස්කාරවලට හේතුව අවිද්‍යාව බවත් අවබෝධ වුණා. එ් අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ කොට පටිච්චසමුප්පාදයෙන් නිදහස් වුණා. අරහත්වයට පත්වුණා. නිකෙලෙස් වුණා. පසේබුදු බවට පත්වුණා.

ඒත් තවම ඒ පසේබුදුන් සිටින්නේ රජඇඳුම් ඇතිවයි. එදා ඒ පසේබුදුන් හස්තිරාජයා පිට නැඟ සිටියා. ඇමතිවරු පැමිණ මෙහෙම කිව්වා.

“පින්වත් මහරජතුමනි, දැන් සුදුසු කාලය පැමිණුනා. බල සෙනඟට සත්කාර කළ යුතුයි. පරාජිත සේනාවට බත් වැටුප් දිය යුතුයි.”

“පින්වත් දරුවෙනි, මට තවදුරටත් රාජ්‍ය කෘත්‍ය අදාළ නෑ. මං මේ සියලූ බන්ධනයන්ගෙන් නිදහස්ව හුදෙකලාවේම ජීවිතාවබෝධය ලද කෙනෙක්.”

ඇමතිවරු පුදුම වුණා. රජකම් කරමින් සිටි මේ පින්වත් රජතුමා දැන් කතා කරන්නේ නිකෙලෙස් මුනිවරයෙකුගේ භාෂාවෙනුයි. ඔවුන්ට අදහා ගත නොහැකි වුණා.

“මහරජතුමනි, ඔබවහන්සේගේ මේ ප‍්‍රකාශ ගැන අපට පුදුම නොවී සිටින්නට බැහැ. අප අසා තිබෙනවා හුදෙකලාවේම ජීවිතාවබෝධය ලද උතුමන් ගැන. ‘පච්චේකබුද්ධ’ නමිනුයි ඒ උතුමන් හඳුන්වන්නේ. නමුත් එ් පසේබුදුවරයන් වහන්සේලා යනු ඔවැනි රාජාභරණයෙන් සැරසී සිටින අය නොවේ.”

“එසේ නම් පින්වත් දරුවෙනි, පසේබුදුවරුන් සිටින්නේ කවර වස්ත‍්‍ර දරමින්ද?”

“මහරජතුමනි, පසේබුදුවරුන් කෙස් රැුවුල් බාලයි සිටින්නේ. පොරවා ගෙන සිටින්නේ සිවුරු පිරිකරයි. ආහාර ගන්නේ පාත‍්‍රයකයි. ඒ උතුමන් අයිති වන්නේ ශ‍්‍රමණ පිරිසටයි.”

මොහොතක් නිහඬව සිටි රජතුමා දකුණතින් හිස පිරිමැද්දා. එසැණින්ම රාජවේශය නොපෙනී ගියා. කෙස් රැවුල් බාගත්, මනා ලෙස සිවුරු පොරවා ගත්, පාත‍්‍රයක් දරා ගත් සැට වයස් පිරුණු මහ තෙර නමකගේ රූපයක් පෙනී ගියා.

එකෙණෙහිම ඒ පසේබුදුරජුන් අභිඤ්ඤා බලයෙන් ඇතා පිටින් ඉවත්ව අහසට පැන නැංගා. මවාගත් නෙළුමක් තුළ භාවනා ඉරියව්වෙන් වැඩසිටියා. ඇමැතිවරු නමස්කාර කළා.

“අනේ ස්වාමීනී, ඔබවහන්සේ මෙවැනි අවබෝධයක් ඇති කරගත්තේ කොහොමද? ඔබවහන්සේ නම් ඒකාන්තයෙන්ම ඒ පච්චේකබුද්ධ කෙනෙක් විය යුතුයි. ඔබවහන්සේ සමඟ අපිත් එන්න කැමතියි. ඔබවහන්සේගේ ගමනට අපවත් කැඳවාගන්නා සේක්වා!”

“පින්වත් දරුවෙනි, මේ ජීවිතාවබෝධය පිණිස මට මෙත් සිත මුල් වුණා. කිසි කරුණක් නිසා හෝ මා තුළ වෛරයක් හටගත්තේ නෑ. අමනාපයක් හටගත්තේ නෑ. ඒ මෙත් සිතින්මයි මං මේ ලෝකය ගැන හිතුවේ. ඉපදෙන්නට හේතු වූ හැමදෙයක්ම මට වැටහුණා. මං ඒ සියලූ දේවල් ප‍්‍රහාණය කළා. දැන් මං නිදහස්…! මට තියෙන්නේ හුදෙකලාවේ යන ගමනක්.”

මෙසේ වදාළ පසේබුදුරජුන් මෙම ගාථාව වදාළා.

සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං
අවිහේඨයං අඤ්ඤතරම්පි තේසං
න පුත්තමිච්ඡෙය්‍ය කුතෝ සහායං
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

“මං ඉන්නෙ මේ ලෝකයේ සියලූ සත්වයන් කෙරෙහිම දඬුවම් කිරීම අත්හැරලයි. ඔවුන්ගෙන් කිසි කෙනෙකුටවත් මං පීඩාවක් කරන්නෙ නෑ. ඒ වගේම මං මේ යන ගමනේදී මගේ දරුවෙකු වත් එක්කගෙන යන්න කැමති නැති එකේ උදව්කාරයෙක් කොහොම එක්කං යන්නද? ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

මේ අයුරින් හුදෙකලාවේම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් පසේබුදුවරයන් වහන්සේලා පන්සිය නමක් දඹදිව ඉසිගිලි පර්වතයෙහි වැඩසිටි බවට අපගේ බුදුරජාණන් වහන්සේ වදාළා. උන්වහන්සේලාගේ නම්ගොත් පවා වදාළා.

මේ පසේබුදුවරයන් වහන්සේලා වැඩිපුර වාසය කරන්නේ හිමාලයේ ‘ගන්ධමාන’ නම් පර්වතය ඇසුරු කරගෙනයි. එහි ‘මංජූසක’ නම් විශාල වෘක්ෂයක් තියෙනවා. මේ වෘක්ෂයේ විශේෂ මල් වර්ගයක් පිපෙනවා. එය පිපෙන්නේ පසේබුදුවරයන් වහන්සේ නමක් පහළ වූ දවසකයි. එම මල ‘රන්මල්’ නමින් හඳුන්වනවා. රන්මල් යනු රත්තරනින් කරන ලද මලක් නොවේ. මෙය කෙඳි රාශියකින් සමන්විතව මුලට උඩින් යටි කඳෙන් මතුවන එක්තරා මුල් විශේෂයකි. මේවා වර්ණවත් රත් පැහැයෙන් යුක්තයි. සුදු සහ කහ පැහැයෙන් යුතු කෙඳිද මිශ‍්‍රව ඇත. මෙවැනි රන්මලක් මතු වූ විට අනෙත් පසේ බුදුවරයන් වහන්සේලා දැනගන්නේ තවත් පසේබුදුවරයෙක් පහළ වී ඇති බවයි.

එසේ රන්මල් හටගන්නා සුවිශාල වූ මංජූසක රුක්සෙවණට උන්වහන්සේලා රැස් වෙනවා. රැස් වී ඵලසමවත් සුවයෙන් වැඩසිටිනවා. පොහොය දවසට උන්වහන්සේලා තම තමන්ගේ ගුණධර්ම සතුටෙන් අනුමෝදන් වෙනවා. පිළිසඳර කථාවෙහි යෙදෙනවා. උන්වහන්සේලාගේ අවබෝධය සමාන බව වටහා ගන්නවා. නමුත් අවබෝධ කිරීමේදී එම අවබෝධය පිණිස ප‍්‍රවේශ වන ආකාරයේ වෙනස්කම් සාකච්ඡුා කරනවා. එවිටයි කලින් පහළ වී සිටි බුදුවරුන් අවබෝධය ලද ආකාරය ගැන අලූත් පසේබුදුවරුන්ගෙන් විමසන්නේ. ඒ මොහොතේදී තමයි උන්වහන්සේලා තමන් තමන්ගේ අත්දැකීම් පාදක කරගත් මෙවැනි ගාථාවන් වදාරන්නේ.

ඇත්තෙන්ම පසේබුදුවරු කියා කොටසක් මිනිස් ලොව වැඩසිටිය බවට පුරාවිද්‍යාත්මකව හෝ වෙනත් ඓතිහාසික මූලාශ‍්‍රයකින් හෝ දැනගත හැකි ක‍්‍රමයක් නැහැ. අතීත බුදුවරුන්ගේ ලෝකය වගෙයි. ඒ සියල්ල අනිත්‍ය නම් වූ සනාතන දහම තුළ සැඟවී යනවා. නමුත් මේ සියල්ල නිරාවරණය කරගත හැකි අනාවරණ ප‍්‍රඥා ඇති අපගේ සම්බුදුරජාණන් වහන්සේ විසින් මැනැවින් හෙළිදරව් කරනවා. අපගේ ශාස්තෘන් වහන්සේ පසේබුදුවරුන් පිළිබඳව මෙම විස්තරය නොකරන්නට අපට කිසිසේත්ම මෙවැනි දේ ගැන දැනගත හැකි ක‍්‍රමයක් නැහැ. කිසිවෙක් නොදන්නා අතීතයක හුදෙකලාවේ සැඟව ගිය මේ අපූර්ව ගාථා පවා යළි සොයා ගන්නවා. ශ‍්‍රාවකයන්ට හෙළිදරව් කරනවා. සම්බුදු පෙළහර සැබැවින්ම අසිරිමත්!

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴

අසිරිමත් පසේබුදු පෙළහර 2

$
0
0
pasebudu-pelahara-2


එක් වී වසන විට – හට ගනී සිත සෙනෙහස
ඒ සෙනෙහසින්මය – මේ දුක ඇති කරන්නේ
සෙනෙහසින් උපදින – මේ විපත හඳුනාගෙන
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….

Sample Image

පගේ සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද ඒ පසේබුදුවරුන්ගේ අතීත ගාථාවන් සැබැවින්ම අසිරිමත්! සුත්ත නිපාතයෙහි ඛග්ගවිසාණ සූත‍්‍රයෙහි ඇති දෙවෙනි ගාථාව සහ එහි අතීත ප‍්‍රවෘත්තියයි අද ඔබට කියාදෙන්නේ.

එක්තරා පින්වත් කුමරෙක් කාශ්‍යප බුදුරජුන්ගේ සසුනෙහි වසර විසි දහසක් කල් මහණදම් පිරුවා. වත්පිළිවෙත් කළා. සමථ විදර්ශනා භාවනා පුරුදු කළා. නොඇල්ම පුරුදු කළා. නමුත් මඟඵල ලබන්නට බැරිවුණා. කරන ලද පුණ්‍ය මහිමයෙන් ඔහු බඹලොව උපන්නා.

කලක් ගතවෙද්දී නැවතත් පසේබුදුවරුන්ගේ යුගය පැමිණුනා. එතකොට මේ මහා පින්වතා බඹලොවින් චුතව දඹදිව් තලයේ උපත ලැබුවා. මොහු මෙවර පිළිසිඳගත්තේ බරණැස් රජුගේ අගමෙහෙසියගේ කුස තුළයි. රජ පවුලට එක් වූ මේ අලූත් සිඟිත්තාට කවුරුත් ආදරය කළා. එහෙත් ‘මෝ ගැහැණියකි, මේ පිරිමියෙකි’ යන්න ටිකෙන් ටික තේරුම් යද්දී මේ දරු සිඟිත්තා තුළ අමුතුම වෙනසක් ඇතිවුණා. එනම්, ස්ත‍්‍රීන් ප‍්‍රතික්ෂේප කිරීමයි. දැන් මේ සිඟිත්තාට කිරිමවුවරුන් පවා රුස්සන්නේ නෑ. ස්ත‍්‍රීන් විසින් සුරතල් කරනු ලැබීම රුස්සන්නේ නෑ. ඔවුන්ගේ කටහඬවත් අසන්න කැමති නෑ.

මෙය හැමෝටම ප‍්‍රශ්නයක් වුණා. පුරෝහිත බමුණන් සමඟ සාකච්ඡාකළා. දරුවාට කිරි පෙවීම විසඳ ගන්නේ කොහොමද? අන්තිමේදී ඔවුන් උපක‍්‍රමයක් කළා. එනම් කිරිමව්වරුන්ට පිරිමින්ගේ වෙස්ගන්වා දරුවාට කිරි පෙවීමයි. දැන් මේ දරුවා වැඩෙන්නේ පිරිමින් අතරේ විතරයි. කැමති වන්නේ පිරිමින් සමඟ සිටීමට විතරයි.

රජතුමා ඇමතියෙක් කැඳෙව්වා.
”මාගේ පුත් කුමරා දැන් සොළොස් වස සම්පූර්ණයි. රාජ පරම්පරාව ඉදිරියට රැගෙන යාම කළ යුතුම දෙයක්…. එනිසා,.. කුමාරයාට ස්ත‍්‍රීන් කෙරෙහි ඇල්මක් ඇතිවෙන කුමක් හෝ දෙයක් කරන්නම ඕන” කියලා අණ කළා.

ඉතින් ඒ ඇමතියා උපායක් යෙදෙව්වා. කුමාරයාව සතුටු කරන්න ප‍්‍රසංගයක් සූදානම් කළා. ඒ ප‍්‍රසංගයේ ප‍්‍රධාන අමුත්තා වුණේ මේ කුමාරයයි. ඉතින් මොහු ඉතා සතුටින් ප‍්‍රසංගය නරඹන්න ගියා. වේදිකාව තිරයකින් වසා තිබුණා. ඒ තිරය පිටුපසින් ඉතාම මිහිරි ගීත ඇහෙනවා. වාදන ඇහෙනවා. ගෙජ්ජි සෙළවෙනවා ඇහෙනවා. හැබැයි ඒ හඬවල් ගොරෝසු නැහැ. කලක් තිස්සේ පිරිමි හඬ පමණක් ඇසූ කුමරුට මෙය අමුත්තක් වුණා.

”කාගෙද ඔය හඬ…?”

”කුමරුනි, ඔය තිරය පිටිපස්සේ ඉන්නේ කාන්තාවො කියල ජාතියක්… ඈලාගේ කටහඬ ඉතා මිහිරියි… ඈලා පින්වන්තයි… එබඳු පින්වතියන් ගැලපෙන්නේ ඔබ වැනි ලස්සන කුමාරයෙකුටයි. ඒ නිසා කුමාරයා කැමති නම්, ඒ කාන්තාවන් සමඟ සතුටු වෙන්න අවස්ථාවක් දැන් මං සළස්වලා දෙන්නම්…”

කුමාරයා තුළ පරණ අප‍්‍රසන්නකම ඇතිවුණා. අර ඇමතියාට තරවටු කොට එළවා ගත්තා. ඇමතියා අඬාගෙන ගොස් මහරජුට සැළකළා. කුමරු ලවා කමා කරවා ගත්තා. ඇමතිවරු ලවා මෙවැනි උපක‍්‍රම දිගින් දිගට කරද්දී කුමාරයාට මෙය මහා වධයක් වුණා. අන්තිමේදී කුමාරයා මෙහෙම කල්පනා කළා.

‘මට මහා වධයක්… මගේ ඇඟේ පටලවන්න හදන්නේ මං අකමැති දෙයක්මයි… හොඳයිකො! මං හොඳ වැඩක් කරන්න ඕන.’

කුමාරයා රන්කරුවන් කැඳෙව්වා. ලස්සන ගෑණු ළමයෙකුගේ රූපයක් අඹන්න අණ කළා. ඉතින් ඒ රන්කරුවනුත් දුටුදුටුවන් වසඟ වන මනමෝහනීය සුන්දර ස්ත‍්‍රී රූපයක් තැනුවා. මෙය දුටු කුමාරයා පුදුමයට පත්වුණා. කිසි දවසක නොවුණු වෙනසක් ඔහුගේ සිතේ ඇතිවුණා. කිසි ස්ත‍්‍රියකට ආසා නොකළ කුමාරයාගේ සිත මේ කාන්තා රූපයට වසඟ වුණා. පුදුම විදිහට ආශා කරන්න පටන් ගත්තා.

”ඔව්! මං කැමතියි…. හැබැයි මට මේ විදිහම ලස්සන රූපයක් ඇති කෙනෙක් ලැබෙනවා නම් විතරක්!”

එතකොට රජතුමාත්, බිසවත් මෙහෙම කතා වුණා.

”අපේ පුත් කුමරා මහා පින්වන්තයෙක්…. බඹලොවින් ආපු කෙනෙක් වෙන්න ඇති… කාලයක් මුළුල්ලේ ස්ත‍්‍රීන් නැති ලෝකෙක ජීවත් වුණ නිසා වෙන්න ඇති ස්ත‍්‍රීන්ව රුස්සන්නෙ නැත්තේ… හැබැයි අපේ කුමක්දෝ වාසනාවකට පුත් කුමරා අර රන්රුවට සමාන ස්ත‍්‍රියක් ලබන්න කැමති වුණා නෙව. මේ දඹදිව් තලයේ මෙවැනි ලස්සන රූපයක් ඇති කුමරියක් මුණ ගැසුණොත් අපේ කුමාරයාගේ පින තමයි…”

රාජසේවකයන් ලස්සන යහනාවක අර ස්ත‍්‍රී රූපය තබාගෙන පෙරහැරකින් ජනපද පුරා රැගෙන ගියා. මදුරට සාගල නුවර දක්වාම රැගෙන ගියා. එදා සාගල නුවර මාළිගාවේ දාසියන් දියනෑම පිණිස තොටුපළට ඇවිත් සිටියා. ලස්සනට සැරසූ රථයක බබලමින් තිබෙන ස්ත‍්‍රී රූපය බලන්න ඒ සේවිකාවන් ගියා.

”අපෝ…! අපේ කුමාරි තරම් මේ රූපය ලස්සන නැහැ නෙව… ඇත්තෙන්ම අපේ කුමාරිගේ රූප සෝභාවට තරඟ කරන්න රන් රුවකටවත් බැහැ…. ඒකමයි මේකෙන් ඔප්පු වෙන්නේ…”

ඇමතිවරු පුදුම වුණා. මෙතෙක් ජනපද පුරා වීදි ඔස්සේ මේ රන්රුව ගෙනයද්දී හැමෝම නෙත් විදහාගෙන බලා සිටියා. හැමෝම කසුකුසු ගෑවා. කවුරුත් කිව්වේ මෙවැනි ලස්සන රූපයක් ඇති ගෑණු ළමයෙකු මිනිස් ලෝකයෙන් සොයාගත නොහැකි බවයි. නමුත් ඒ රන්රුව පරදවා එයට වඩා අතිශයින්ම ශෝභමාන රූපයක් ඇති දියණියක් මදුරට සාගල නුවර රජුට සිටී!

ඇමතිවරු මදුරජු මුණගැසීමට ගියා. බරණැස් රජුගේ පුත් කුමරුට මදුරජුගේ දියණිය ගැලපෙන බවත්, එම දියණියට අනාගත බරණැස් රජුගේ අග‍්‍රමහේෂිකාව වීමේ දුර්ලභ වාසනාව උරුම වන බවත්, එනිසා එම දියණිය බරණැස් රජුගේ පුත් කුමරාට සරණ කොට දීම සුදුසු බවත් දන්වා සිටියා. රජතුමා කැමති වුණා.

මේ තොරතුරු ඇසූ බරණැස් රජු අප‍්‍රමාණ සතුටට පත්වුණා.

”රාජ පෙරහැරින් මේ බොහෝ ජනපද පසුකොට මා එන්නට ගියොත්, ඒ හේතුවෙන් හැමෝම අපහසුතාවයකට පත්වෙනවා. එනිසා ඔබම කුමරිය කැඳවා ගෙන එන්න. අපි මෙහෙ සියල්ල සූදානම් කරන්නම්” කියලා අණ කළා.

රන්කරුවන් ලවා තනවන ලද ඒ මනමෝහනීය සුරූපී කුමරියටත් වඩා ලස්සන මිනිස් දුවක් තමා වෙනුවෙන් මදුරට රජමැදුරේ සිට පැමිණෙන බව ඇසූ කුමරු අපමණ ප‍්‍රීතියට පත්වුණා. ඒ වෙද්දී කුමාරයා තනියම භාවනා කරන්න පුරුදු වෙලයි හිටියේ. රජ මැදුරේදී හුදෙකලාවේ භාවනා කොට ප‍්‍රථම ධ්‍යානය උපදවාගෙනයි කුමාරයා හිටියේ. නමුත් දැන් ඔහුට මතක් වෙන්නේ අර ලස්සන කුමාරි ගැනමයි. ඒ කාම අරමුණු සිහි කිරීම නිසාම කුමාරයා ධ්‍යානයෙන් පිරිහී ගියා. දැන් ඔහු කරන්නේ ‘කවදාද ඈ එන්නේ…’ කියමින් ඇඟිලි ගණන් කර කර ඉන්න එකයි. කුමාරයාට වෙන සිහියක් නෑ. ඔහුගේ සිතේ ලස්සන ලෝකයක් මැවිලා. ඔහු දැන් තනියම කල්පනා කරනවා. නිසඳැස් ලියනවා. සමණල තටුවල ගීත ලියනවා. වළාකුළුවල ඔංචිලි පදිනවා. ලස්සන කුමාරිගෙ පියකරු කෙස් කළඹේ මල් ගසනවා. සිහිනෙනුත් හිනැහෙනවා. ඉස්සර වගේ නෙවෙයි, හැම තිස්සෙම කැඩපත ළඟටත් යනවා. කුමාරයා හරිම කඩිසරයි. හිනාවුණ ගමන් ඉන්නවා. ඉබේට සිංදු කියවෙනවා.

රජ යුවලටත් හරිම සතුටුයි. රජතුමා ලහි ලහියේ රාජකීය විවාහ මංගලෝත්සවයට සූදානම් වෙනවා. පාර දෙපස සරසනවා. ශාලා පිරිසිදු කරනවා. අලූත් තිර රෙදි දමනවා. මල් හිටවනවා. වියන් බඳිනවා. රජතුමා ඇමතිවරුන්ට අණ කළා.

”කුමාරිව රැගෙන එන්න අලංකාර උත්සවයක් කරන්න ඕන. සියලූම ප‍්‍රාදේශීය රජවරුන්ට මේ මංගලෝත්සවය දැනුම් දෙන්න ඕන. කවුරුවත් නොකළ මෙය හොඳ සිහිවටනයක ආකාරයෙන් කරන්න ඕන. එනිසා එකවරම කුමාරිව මාලිගාවට ගෙන එන්න එපා. පළමුව කළ යුත්තේ රාජකීය උද්‍යානයේ පිහිටි විවේක මණ්ඩපයේ කුමාරිය රඳවා ඇප උපස්ථාන කිරීමයි.”

කුමාරිව රැගෙන එන පෙරහැර ටිකෙන් ටික රාජකීය උද්‍යානයට ළංවුණා. කුමාරයාට හරිම සතුටුයි. එහෙත් රාජකීය සිිරිත් විරිත් අනුව තවම ඇය බලන්න අවසර නෑ. නමුත් කුමාරයා දැන් රාජ උද්‍යානය දෙස බලාගෙන සිටිනවා. රාජකීය උද්‍යානයේදී ලස්සනට සැරසූ අශ්ව කරත්තයෙන් කුමාරිව බිමට බස්සවන්න ඇමතිවරු ළං වුණා. තිර ඈත් කොට කුමාරිට ඉතා ගරුසරු ඇතිව කතා කළා.

”පින්වත් ලස්සන කුමාරියේ…. ඔබතුමියගේ විවේකය පිණිස පිය රජ්ජුරුවන් වහන්සේ ලස්සන මණ්ඩපයක් හදලා තියෙනවා. ටික දවසක් මෙහි විවේක ගන්න. තවම රජ මැදුර සරසනවා…. ඒ නිසා දැන් ඔය අශ්ව කරත්තයෙන් බිමට වඩින සේක්වා…!”

ඇතුළෙන් කිසිම සද්දයක් නෑ. ඇමතිවරු ආයෙමත් කතා කළා. කිසිම සද්දයක් නෑ. ඇමතිවරු අශ්ව රථයේ තිර මෑත් කොට බැලූවා. එතකොට දුටුවේ අශ්ව කරත්තය තුළ මැළවී ගිය මලක් මෙන් කුමරිය මිය ගොස් සිටි ආකාරයයි.

”අහෝ….! අපේ ලස්සන කුමාරිට මේ මොකද වුණේ…? අයියෝ…! අපි මෙතෙක් වෙහෙස මහන්සි වී සිනිඳු රෝස මලක් මෙන් රැකගෙන ආ පින්වත් කුමාරිට මොකද වුණේ…? අයියෝ…! බරණැස් රාජවංශය අලංකාර කිරීමට අප රැගෙන ආ ලස්සන පුන් සඳ මඬලට මොකද වුණේ…?”

ඇමතිවරු වැළපෙන්න පටන් ගත්තා. කුමරියට හදිසියේ හැදුණු වාත රෝගයකින් තමයි ඈ මිය ගොස් සිටියේ. රන් රුවකටත් වඩා ලස්සන අතිශයින්ම රූප ශෝභාසම්පන්න දෙව්ලියට නිගා දුන් මේ පියකරු කුමරියගේ අතැඟිල්ලෙහි පේරැස් මුදුවක් දවටන්නට බලා සිටි කුමරාගේ සිහිනය බොඳ වී ගියේ සිතාගත නොහැකි වේගයෙන්. කුමරුට තේරුණේ තමන්ගේ මුළු ලෝකයම කඩා වැටුණු බවයි. පැතූ සියල්ල වෙනස් වී ගියේ ගසක ගෙඩියක් වැටෙනවාටත් වඩා වේගයෙන්. කුමරා තනියම සුසුම් හෙලන්න පටන් ගත්තා.

‘මං මුළු ජීවිතයටම ආදරය කළේ එකම එක්කෙනකුටයි… නමුත් ඒ කෙනා ජීවත් වුණේ මගේ සිහින ලෝකයේ විතරයි… සැබෑ ලෝකය තුළ මා පැතූ ඒ සොඳුරු රුව මට මුණගැහෙන්නේ සීතල වී ගිය මළ කඳක් වශයෙන් නේද…? ඇත්ත…! ඈ තුළ අපූරු ලස්සනක් තිබුණා. හැබැයි, ජීවත්ව සිටිද්දී විතරයි… දැන් ඈ දරකඩක් සේ දැඩිව ගිය සීතල මළකඳක්. ඒ රන්වන් සම වෙනස් වෙලා. දෑස් වියැළිලා. දෙතොල් පුපුරලා. නාසයෙන් දුගඳ වැගිරෙමින් තියෙනවා. රන්වන් කෙස් කළඹ අවුල් වෙලා. ඇත්තෙන්ම අලංකාර රූපයක් මෙතරම්ම වේගයකින් වෙනස් වුණේ මක් නිසාද?’

සිත වෙලාගත් දුක, ශෝකය අතරින් මේ පින්වත් කුමාරාගේ නුවණ සියල්ල විනිවිද ගියා. ඔහු කවුරුත් නොසිතන විදිහට ජීවිතය ගැන සිතන්න පටන් ගත්තා. ඔහු කලබල වුණේ නෑ. නිශ්ශබ්ද වුණා. ඔහු අමුතුම ලෝකයක තනිවුණා.

‘ඇයි මේ ශෝකය හටගන්නේ? මා ආසා කරන දෙය මගෙන් වෙන්වුණු නිසා නේද? ඇයි මෙය මගෙන් වෙන් වුණේ…? ඈ මැරුණ නිසා නේද? ඇයි ඈ මැරුණේ? ඉපදුණු නිසා නේද? ඉපදුණු හැමෝටම ශෝක, වැළපීම්, දුක්, දොම්නස් උරුමයි. ඉපදීමෙන් නිදහස් වුණොත් මේ සියල්ලෙන්ම නිදහස් නේද? ඉපදීමෙන් නිදහස් වෙන්න බැරිද?

ඔව්! උපතට හේතුව නැති කළොත් නිදහස් වෙන්න පුළුවන් වේවි. ඇයි එහෙනම් ඉපදුනේ? අපි සංසාරේ කරපු දේවල් තමයි මේ උපත ගෙනාවේ. භවය තමයි ඉපදීමට මුල….’

කුමරුට ක‍්‍රමක‍්‍රමයෙන් පටිච්චසමුප්පාදය තමා තුළින්ම අවබෝධ වෙන්න පටන් ගත්තා. දුක අවබෝධ වෙන්න පටන් ගත්තා. දුකට හේතුව අවබෝධ වෙන්න පටන් ගත්තා. හේතුව නැති වූ විට දුක නැතිවෙන බව අවබෝධ වෙන්න පටන් ගත්තා. ඒ සඳහා කළ යුතු දෙය අවබෝධ වෙන්න පටන් ගත්තා. කුමරුට චතුරාර්ය සත්‍යය පූර්ණ වශයෙන්ම අවබෝධ වුණා. හුදෙකලාවේ තනිවම ධර්මය අවබෝධ කළ පසේබුදු කෙනෙක් බවට පත් වුණා.

පසේබුදුරජාණන් වහන්සේ ඉතාම සංසුන්ව, නිශ්ශබ්දව, ශාන්තව අර කුමරියගේ මළ මිනිය දෙස බලා සිටියා. ඇමතිවරු පැමිණ කුමරුට සැනසිලි බස් කියන්න පටන් ගත්තා.

”අහෝ…! පින්වත් කුමාරයාණෙනි, ජීවිතය ඔහොම තමයි. මේ විපත නිසා මුළු ජනපදයම හඬනවා…. මුළු මාලිගාවම කම්පා වෙනවා…. පින්වත් කුමාරයාණෙනි, ඔබතුමාගේ ශෝකය අපි හැමෝම බෙදා ගන්නවා. ආදරයක වේදනාව අපට වැටහෙනවා. දඹදිව කියන්නේ ජනපද රාශියකින් යුතු සුවිශාල දේශයක්. අපි ආයෙමත් අර රන් රූපය නංවාගෙන දඹදිව පුරා පිටත්ව යනවා. මේ වගේම ලස්සන කුමාරිකාවක් අපි ආයෙමත් රැගෙන එනවා…. අනේ අපේ පින්වත් කුමරුනි…. සෝක නොකරන සේක්වා!”

”පින්වත් ඇමතිවරුනි, කවුරු ගෙනාවත් මේ ස්වභාවය අපට උරුමයි. හැමෝම ඉපදෙන්නේ ජරා මරණ දෑතට රැගෙනයි. නැසෙන වැනසෙන දෙයට ඇලූම් කිරීමෙනුයි ශෝකය හටගන්නේ. මං ඒ ශෝකයෙන් නිදහස් වුණා. ඒ නිසා මට කුමරියකගේ අවශ්‍යතාවයක් නැහැ. කිසිවකට නොබැඳුණු අමුතුම ශාන්ත බවකින් මේ සිත පිරී ඉතිරී යනවා. මං හුදෙකලාවේම ජීවිතයේ යථාර්ථය අවබෝධ කළා.”

”කුමරුනි, ශෝකය හටගැනීම මිනිස් ස්වභාවයක්. අපි අසා තිබෙන්නේ ශෝක රහිත වන්නේ මුනිවරු කියලයි. හුදෙකලාවේ ජීවිතාවබෝධය ගැන අපි අසා තිබෙනවා. කුමරුනි, එය වනගත අසපුවක වෙන දෙයක් මිස, රජමැදුරක වෙන දෙයක් නම් නොවෙයි.”

”පින්වත් ඇමතිවරුනි, හුදෙකලාවේ ජීවිතාවබෝධය ලැබීම රජ මැදුරකදී සිදු නොවන බව ඔබ කියන්නේ මක් නිසාද?”

”කුමරුනි, ඒ මුනිවරු ජීවත් වෙන්නේ මෙවැනි රාජාභරණ සහිතව නොවෙයි. ඒ මුනිවරු කෙස් රැඑවුල් බාලයි ඉන්නේ. ගත පොරවා සිටින්නේ කසට පෙවූ චීවර නම් වූ වස්ත‍්‍රයකුයි. ඒ මුනිවරු ළඟ රන් බඳුන් නෑ… පිඬු සිඟා යෑමට නිසි පාත්තරයක් තමයි තියෙන්නේ. ඒ මුනිවරුන්ගේ ලෝකය තුළ නම් කුමරුන් පවසන ශෝක රහිත බව තියෙනවා. එතකොට කුමාරයා කියන්නේ තමා මුනිවරයෙක් කියාද?”

එතකොට පසේබුදු බවට පත් මෙතුමා තමන්ගේ සිරුර දිහා බැලූවා. හිස අතගෑවා. එසැණින්ම කෙස් රැවුල් නොපෙනී ගියා. රජ ඇඳුම් නොපෙනී ගියා. කෙස් රැවුල් බා ගත්, කසට පෙවූ චීවර පොරවා ගත්, පාත‍්‍රයක් අතැති ශාන්ත මුනිවරයෙක් දිස්වුණා.

සියලූ දෙනා පුදුමයට පත්වුණා. කරුණු වටහාගත නොහැකි බොහෝ දෙනෙක් හඬා වැළපෙන්න පටන් ගත්තා. සියල්ලන් සනසමින් ඒ පසේබුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළා.

සංසග්ග ජාතස්ස භවන්ති ස්නේහා
ස්නේහන්වයං දුක්ඛමිදං පහෝති
ආදීනවං ස්නේහජං පෙක්ඛමානෝ
එ්කෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

”මේ සිතේ ආශාව හටගන්නේ අරමුණු සමඟ එක්වී සිටින කෙනෙක් තුළමයි. ශෝක වැළපීම් ආදී අනේක දුක්ඛයන්ගේ උපත ඔය ආශාවමයි. ආශාවෙන් උපදින ආදීනව ගැන නුවණින් විමසද්දී එයා එයින් නිදහස් වෙනවා. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

පසේබුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද මෙම ගාථාව එදා අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ඒ අතීතය ඉස්මතු කොට අනඳ හිමියන්ට දේශනා කරද්දී අනඳ හිමියන් තුළ මොන තරම් අද්භූත වූ සිතුවිලි පහළ වෙන්නට ඇද්ද? ලොව පහළ වූ අසිරිමත් තථාගතයන් වහන්සේ නමක් තමා හමුවේ වැඩසිටිමින් හුදෙකලාවේ බුදු වූ නිර්මල සිත් ඇති, ‘පච්චේකබුද්ධ’ නමින් ප‍්‍රකට මුනිවරුන් ගැන පවසද්දී පුදුමයට පත්නොවී සිටින්නේ කොහොමද?

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴

යහපතෙහි පිහිට වූ සිත තමාව ශ්‍රෙෂ්ඨ කරයි…

$
0
0
DP_3_9

11 ගාථා රත්නය
සෝරෙය්ය සිටුවරයාගේ කථා වස්තුව

“යහපතෙහි පිහිට වූ සිත තමාව ශ්‍රෙෂ්ඨ කරයි…”

පින්වතුනේ, පින්වත් දරුවනේ,

මෙම කථාවෙහි සඳහන් වෙන්නෙ ඉතාමත් සංවේගජනක සිදුවීමක්. වැරදි ලෙස යෙදවූ විට මේ හිතේ ස්වභාවය මොනතරම් අස්වාභාවික තත්වයන්ට පත්වෙනවාද, එය ජීවිතයට මොන තරම් බලපානවාද කියන එකට මෙම කථාව හොඳම නිදසුනක්. අනවශ්‍ය දේවල් සිතීමේ භයානකකම මෙම කථාව තුළින් හොඳින් පේනවා. මෙම කථාව කියවන විට සිතට භයකුත් ඇතිවෙනවා. මේ සිත මෙතරම්ම දරුණුද කියලා පුදුමත් හිතෙනවා. හැබැයි ඒ සිතම යහපතට යෙද වූ විට ශ්‍රේෂ්ඨත්වයට පත්වන ආකාරය බලන විට ඒ ගැනත් පුදුමයි.

සෝරෙය්‍ය කියලා නගරයක් තිබුනා. මේ නගරයේ සෝරෙය්‍ය නමින්ම තරුණ සිටුවරයෙක් සිටියා. ඔහු විවාහකයි. දරු දෙදෙනෙකුගේ පියෙක්. දිනක් මේ සෝරෙය්‍ය සිටුවරයා යහළුවෙකු සමඟ වතුර නෑම පිණිස පිටත් වුනා. ඒ යන අතරමගදී අතිශයින්ම සෝභා සම්පන්න රන්වන් ශරීරයක් තියෙන භික්ෂූන් වහන්සේ නමක් දැක්කා. උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේගේ නම මහාකච්චායන රහතන් වහන්සේ. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බව සෝරෙය්‍ය සිටුතුමා දන්නෙ නැහැ. සෝරෙය්‍ය සිටුතුමා මහා කච්චාන රහතන් වහන්සේගේ මනමෝහනීය රූප විලාශය දැකීමෙන් වශී වෙලා ගියා. ඇස් දෙක දල්වාගෙන, ඇස් පිය නොහෙළා බලාගෙන හිටියා. හැබැයි, උන්වහන්සේ දෙස බලාගෙන සිටිද්දී මොහුට ශ‍්‍රද්ධාව ඇති වුනේ නැහැ. ඊට හාත්පසින්ම වෙනස් දෙයක් වුනේ. මොහු තුළ රාගය ඇති වුනා. ඉතාම පවිටු සිතුවිලි සිතෙන්න පටන් ගත්තා. “ෂා…. පුදුමාකාර ලස්සනක්…. රත්තරන් පාටයි…. අතපය වාත්තු කළා වගෙයි. මුහුණ බබළනවා. ඇස් දෙක නිල් පාටයි. පුදුමාකාර ලස්සනක්…. මනමෝහනීය රූප සෝභාවෙන් යුතු මේ තැනැත්තා වගේ කෙනෙක් තමයි මගේ බිරිඳ වෙන්න තිබුනේ. එහෙම නැත්නම් මගේ බිරිඳට තමයි මෙච්චර ලස්සන රූපයක් ලැබෙන්න තිබුනේ.”

මේ සෝරෙය්‍ය සිටුවරයා මහා කච්චායන මහරහතන් වහන්සේ දෙස එක හුස්මට බලාගෙන හිටියා. ලාමක පවිටු සිතුවිලි වේගයෙන් ඇතිවුනා. මහා කච්චායන මහරහතන් වහන්සේ බිමට නැඹුරු වූ නෙතින් යුතුව ශාන්ත ගමනින් වැඩම කළා. සෝරෙය්‍ය සිටුවරයාගේ සිත කැළඹිලා ගියා. ඔහු කැළඹුණු සිතින් යුතුව ඒ ගැනම සිතන්නට පටන් ගත්තා. එයම සිතින් සිත සිතා සිටිද්දී තමාගේ සිරුරට කුමක්දෝ මහා අමුත්තක් සිදුවෙනවා තේරුනා. මහා වෙනසක් සිදුවෙනවා තේරුනා. පුරුෂයෙකු වශයෙන් ඔහු තුළ තිබූ කායික ලක්ෂණ මොහොතකින් අතුරුදහන් වෙලා ගියා. සම්පූර්ණයෙන්ම කාන්තාවක් තුළ ඇති සියලූ කායික ලක්ෂණ පහළ වුනා. තමා තුළ මේ ඇති වුන වෙනස සෝරෙය්ය සිටුවරයා තුළ මහත් කම්පනයක් ඇති කළා. ඔහු කලබල වුනා. තමන් දිහා බැලූවා. තමන්ව තමන්ටම වෙනස්ව පේනවා.

“අයියෝ….! මොකක්ද මේ වුනේ…? අනේ… මං දැන් මොකද කරන්නේ…? මේ මං තවදුරටත් පිරිමි කෙනෙක් නෙවෙයි නෙව. මං ස්ත‍්‍රියක් වුනා. මොකක්ද මේ වුනේ…? මං කොහොමද මේ සමාජයට මුහුණ දෙන්නේ? මං කොහොමද ගෙදර යන්නේ..? දරුවන් ගේ මුහුණ බලන්නේ කොහොමද? බිරිඳගේ මුහුණ බලන්නේ කොහොමද? අයියෝ….! මං දැන් මොකද කරන්නේ…?”

ඔහුට සිතා ගන්නට බැහැ. ඔහු මහත් අසහනයට පත් වුනා. දැන් ඔහු පිරිමියෙක් නොවෙයි ගැහැණියක්. නාන්නට ගිය ගමන කෙළවර වුනේ පුදුමාකාර ශරීර පරිවර්තනයකින්. සෝරෙය්ය සිටුතුමා වෙනුවට දැන් සිටින්නේ සෝරෙය්ය කුමරියක්. ඇය නාන්නට ගියේ නෑ. එතැනින්ම කිසිවෙකුට හඳුනාගත නොහැකි පරිදි පැන ගියා. ඈත ජනපදයකට ගියා. එහිදී ඇයට සිටුවරයෙකු මුණගැහුනා. ඔහු සමඟ විවාහ වුනා. ඔහු නිසා දරු දෙදෙනෙකුත් ලැබුනා. හරිම පුදුමයි. පිරිමියෙක් වෙලා සිටිද්දී දරු දෙදෙනෙකුගේ පියෙක්. ගැහැණියක් වෙලා සිටිද්දී දරු දෙදෙනෙකුගේ මවක්. මෙතුමිය තමන්ගේ සිරුරේ වෙනස්වීම සිදුවූදා සිට අප‍්‍රමාණ මානසික පීඩා වින්ඳා. මම මෙයින් නිදහස් වෙන්නේ කවදාද කියා ඇඟිලි ගනිමින් සිටියා. දිනක් මෙතුමිය තම ස්වාමි පුරුෂයාට හඬ හඬා සත්‍ය සිද්ධිය කියා සිටියා. ඔහු තුළ මේ තැනැත්තිය කෙරෙහි මහත් අනුකම්පාවක් ඇති වුනා. මැයට පිහිට වෙන්නට ඕන කියා තදින් සිතට ගත්තා. මහා කච්චාන මහ රහතන් වහන්සේ වැඩසිටිනා තැන විපරම් කර කර බැලූවා. අන්තිමේදී උන්වහන්සේ සිටින තැන ආරංචි වුනා. මෙතුමිය උන්වහන්සේ ළඟට ගෙන ගියා.

මහත් වේදනාවෙන් යුතු හඬ හඬා තමන් එදා සිටි අකුසල් සිතුවිලි ගැන සමාව ඉල්ලා සිටියා. නැවත කිසි දින එවැනි පවිටු දේවල් නොසිතන බවට පොරොන්දු වුනා. මේ ගැන කිසිත් නොදැන සිටි මහා කච්චාන මහරහතන් වහන්සේ තුළ මහත් සංවේගයක් හටගත්තා. දයානුකම්පාවක් හටගත්තා. කරුණාබර සිතින් යුතුව මෙතුමියට සමාව දුන්නා. ඒ මොහොතේදීත් එදා අකුසල් සිතුවිලි සිතූ වේලෙහි කයෙහි සිදු වූ පරිවර්තනය වැනි යමක් තමා තුළ සිදුවෙන බව ඇයට තේරුනා. මොහොතකින් පිරිමියෙක් වුනා. නැවතත් පිරිමිබව ලැබීම ගැන සෝරෙය්ය සිටුවරයා අප‍්‍රමාණ සතුටට පත් වුනා.

“අනේ ස්වාමීනී, මට නැවතත් කොහේවත් යන්න බැහැ. මේ මායාකාරී සිතට රැවටිලා මේ සිතට වසඟ වෙලා මා අත්විඳි දුක් හොඳටෝම ඇති. මට මේ සියල්ලෙන් නිදහසක් ලබන්නට ඕන. අනේ ස්වාමීනී, මාව පැවිදි කරන සේක්වා…!”

මහා කච්චායන මහරහතන් වහන්සේ මහත් අනුකම්පාවෙන් යුතුව මෙතුමාව පැවිදි කළා. උතුම් සීලයේ පිහිටා සිටි සෝරෙය්ය ස්වාමීන් වහන්සේ සතර සතිපට්ඨානය වඩන්නට පටන් ගත්තා. මෙම ස්වාමීන් වහන්සේගේ සිරුර තුළ සිදු වූ විපර්යාසය අසා බොහෝ දෙනා පුදුම වුනා. සමහරුන් උන්වහන්සේගෙන් විවිධ ප‍්‍රශ්න අසන්නට පටන් ගත්තා. “පින්වත් ස්වාමීන් වහන්ස, ඔබවහන්සේට ගිහි කාලෙ පියෙකු වශයෙන් සිටියදී දරු දෙදෙනෙක් සිටියා. මවක වශයෙන් සිටියදීත් දරු දෙදෙනෙක් සිටියා. මේ දරුවන්ගෙන් ඔබවහන්සේ වඩාත් ආදරේ කාටද?” එතකොට සෝරෙය්ය ස්වාමීන් වහන්සේ ඉතා අහිංසක විදිහට පිළිතුරු දුන්නා. “ඇත්තෙන්ම මා තුළ වඩාත් ම ආදරේ තිබෙන්නේ මවක වශයෙන් සිටිද්දී ලැබූ දරුවන් ගැනයි.”

සෝරෙය්ය ස්වාමීන් වහන්සේ මහත් උත්සාහයෙන් ධර්ම මාර්ගය දියුණු කළා. චතුරාර්ය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත්තා. උතුම් රහතන් වහන්සේ නමක් බවට පත්වුනා. ඒ බව නොදත් සමහරුන් උන්වහන්සේගෙන් ඒ පරණ ප‍්‍රශ්නයම අහන්න පටන් ගත්තා. එවිට උන්වහන්සේ පිළිතුරු දුන්නේ ආදරය කරන සියලූ දෙයින්ම තමන් නිදහස් වූ බවයි. ඒ නිසා තමන් තුළ අමුතු විශේෂ ආදරයක් කිසිවෙකු ගැන හෝ ඇති නොවන බවයි.

මෙම ස්වාමීන් වහන්සේගේ සංවේගජනක ජීවිත කථාව අරභයා බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදාළා.

 න තං මාතා පිතා කයිරා - අඤ්ඤේ වා පි ච ඤාතකා
සම්මාපණිහිතං චිත්තං - සෙය්‍යසෝ නං තතෝ කරේ

නොහැක කිසිවිට මව්පියන් හට
තම සිතෙහි ගුණදම් වඩන්නට
එලෙසින්ම නෑයින් ද කිසිවිට
නොඑති තම සිත සුරැක දෙන්නට
දහම තුළ පිහිටුවා ගෙන සිත
මනා කොට පුහුණුව ලබන විට
ගුණ පිරුණු ඒ සිත තුළින් ඔහු
ලොවෙහි උතුමෙකු බවට පත් වේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපේ සිත කිලිටි වුනොත් එය පිරිසිදු කරදෙන්නට අම්මාට හෝ තාත්තාට පුළුවන්කමක් නැහැ. අපගේ සිතේ අකුසල් හටගත්තොත් වෙන නෑදෑයෙක්වත් ඇවිදින් ඒ අකුසල් දුරුකරවා දෙන්නෙ නැහැ. අකුසල් වලින් සිත මුදවා ගැනීම කළ යුත්තේ තමන්ගේ උත්සාහයෙන්මයි. කුසල් පිහිටුවා ගත යුත්තේත් තමන්ගේ උත්සාහයෙන්මයි. බුදුරජාණන් වහන්සේ විසින් තමාව පිහිට කරගන්න කියා දේශනා කොට වදාරණ ලද්දේ ඒ නිසාමයි.

අපේ සිතේ අකුසල් හටගෙන ඒ අකුසල් හේතුවෙන් අපගේ සිත, කය, වචනය යන තුන්දොරින් පව් රැස්වුනොත් විපාක විඳින්නට වෙන්නෙත් අපටමයි. ඒ අකුසල් විපාක විඳින්න වෙන්නෙත් නිරයේ ඉපදිලා. එහෙම නැත්නම් තිරිසන් යෝනියේ ඉපදිලා. එහෙමත් නැත්නම් පේ‍්‍රතයෙක් වෙලා. ඉතින් අපි මරණයට පත් වෙලා අපායේ ඉපදුනොත් අපගේ දෙමව්පියන්ට හෝ ඤාතීන්ට හෝ කවදාවත් ඒකෙන් බේරගන්නට පුළුවන් කමක් ලැබෙන්නෙ නැහැ. අප මියගියාට පසු කොහේ ගිහින් උපදිනවාද කියා කවුරුවත් අපේ පස්සෙන් එන්නෙ නැහැ. කර්මානුරූපවයි අපි උපතක් කරා යන්නෙ.

අපි සිත රැකගත්තොත් මනාකොට ධර්මය තුළ පිහිටුවා ගත්තොත් අපට සිත, කය, වචනය යන තුන්දොරින් පින් රැස්කිරීමේ අවස්ථාව උදාවෙනවා. එතකොට මරණින් මතු අපට සුගතියේ ඉපදීමේ වාසනාව උදාවෙනවා. එය කරලා දෙන්නේ දෙමව්පියන් හෝ ඤාතීන් හෝ නොවෙයි. අපගේ සිත තුළ රැස්වෙන පින විසිනුයි. එනිසා පින්වතුනේ, පින්වත් දරුවනේ, අපේ ජීවිතයේ යහපත් බව අප විසින් සිතාමතාම ඇති කරගත යුතුයි.

සැදැහැවතුන්ගේ සිත් සතන් දහම් රසයෙන් සනසනු පිණිස ලියන ලද “අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය” තුන්වෙනි කොටස වන චිත්ත වර්ගය නිමා විය….

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අසිරිමත් පසේබුදු පෙළහර 3

$
0
0
pasebudu-pelahara-3


මිතුරන් සමඟ සුහදව – අනුකම්පාවෙන්
සිටිනා විට බැඳී – යහපත යයි දුරු වී
එක ගොඬේ සිටින විට – තිබෙන භය හඳුනාගෙන
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….

Sample Image

පගේ ශාස්තෘන් වහන්සේ වදාළේ අතීතයේ වැඩසිටි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගැන පමණක් නොවෙයි. පසේබුදුරජාණන් වහන්සේලා ගැන පවා අපට හෙළිදරව් කොට වදාළා. අතීතය, වර්තමාන හා අනාගත යන තුන් කාලය පිළිබඳව කිසිවෙකුට වසාලිය නොහැකි ඤාණයක් අපගේ ශාස්තෘන් වහන්සේ තුළ තිබුණා. එය හඳුන්වන්නේ ‘අනාවරණ ඤාණය’ නමිනුයි. ඒ අනාවරණ ඤාණයෙන් යුතු භාග්‍යවතුන් වහන්සේගේ පුබ්බේනිවාසානුස්සති ඤාණය උන්වහන්සේගේ පෞද්ගලික ජීවිතයේ සසර පෙළගැස්ම දැකීමට පමණක් සීමා වෙලා තිබුණේ නැහැ. උන්වහන්සේට ඕනෑම කෙනෙකුගේ ගෙවුණු අතීතය දැකගැනීමේ හැකියාව තිබුණා. පසේබුදුවරයන් වහන්සේලා ගැනත් අපට විස්තර කොට දෙන්නේ ඒ අසිරිමත් බුදු නුවණ මනාව හැසිරවීමෙනුයි.

අද අපි තවත් පසේබුදුවරයන් වහන්සේ නමක් ගැන ඉගෙන ගනිමු. ඒ පසේබුදුවරයන් වහන්සේලා වදාළ උතුම් ගාථාවන් ගැන දැනගන්නටත් මේ තුළින් අපට අවස්ථාව ලැබෙනවා. මෙහි අගට සඳහන් වන්නේ සුත්ත නිපාතයේ ඛග්ගවිසාණ සූත‍්‍රයට අයත් තුන්වන ගාථාවයි.

අප මේ කරුණු ගැන දැනසිටිය යුතුමයි. එනම් බුදුවරයන් වහන්සේලා, පසේබුදුවරයන් වහන්සේලා මෙන්ම මහ බෝසතාණන් වහන්සේලාද පහළ වන්නේ දඹදිව් තලයේ පමණක් බව. ජම්බුද්වීපය යනු බුදුවරුන්ගේ භූමියයි. කෙලෙස් තවන උතුමන්ගේ භූමියයි. එයිනුත් මධ්‍ය මණ්ඩලය ඉතාම වැදගත්. හිමාල පර්වතයෙන් මෙපිට ඊසාන දිගට නැඹුරුව පහළ මැද කොටස තෙක් භූමිය මධ්‍ය මණ්ඩලයයි. බරණැස් නගරය පවා පිහිටා තිබෙන්නේ එම මධ්‍ය මණ්ඩලයේමයි. මිනිසුන්ගේ ආයුෂ අසූ දහසක් වූ කල්හි අද බරණැස් නුවර නමින් හඳුන්වන නගරය එකලට හඳුන්වනු ලබන්නේ ‘කේතුමතී’ නාමයෙන්. එම කේතුමතී නගරයේ තමයි මෛත‍්‍රී බුදුරජුන් පහළ වන්නේ.

මෙම කථාවේ සඳහන් වන පසේබුදුරජාණන් වහන්සේත් උපත ලැබුවේ බරණැස් නුවරයි. මුන්වහන්සේ ගිහි කල බරණැස් නුවර රජතුමා වශයෙනුයි කල් ගෙවා තිබුණේ. ලෝකයේ වෙන රටවල රජවරුන්ට වඩා දඹදිව රජවරුන්ගේ ප‍්‍රධාන වෙනසක් තියෙනවා. එනම්, ඒ රජවරුන් තුළ පවා සංසාර විමුක්තිය පිළිබඳව කිසියම් උද්වේගකර හැඟීම් තිබීමයි. ඇතැම් විට ඒ රජවරු ශ‍්‍රමණ බ‍්‍රාහ්මණවරු ගෙන්වාගෙන ධර්මය අසනවා. ඇතැම් රජවරු තමන්ගේ රාජකීය උද්‍යාන පවා ශ‍්‍රමණ බ‍්‍රාහ්මණවරුන්ට පුදනවා. ඇතැම් රජවරු සියල්ල දන් දී තම රාජ්‍ය පවා අන් අයට පවරා වනගතව තපස් රකිනවා. රජවරුන්ගේ ඉතිහාසයේ විමුක්ති සාධනය පිණිස අබිනික්මන් කළ තොරතුරු සඳහන් වන්නේ දඹදිව් තලයේ පමණයි.

අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පවා වෙස්සන්තර නමින් රජ කෙනෙක්ව සිටියා. එතුමා විමුක්තිය නාමයෙන් සියල්ල දන් දුන්නා. කොටින්ම තමන්ගේ නෙත් සඟල වන් ප‍්‍රියාදර දරු දෙදෙනා පවා දන් දුන්නා. තම බිසව පවා දන් දුන්නා. විමුක්තිය සෙවීම උදෙසා අසීමිත ආශාවකින් පෙළුණු මේ රජු දන් දෙන විට මහ පොළොව පවා කම්පා වී තිබෙනවා. වරෙක අප බෝසතාණන් වහන්සේ මඛාදේව නමින් රජ කළා. තවත් වරෙක දහම්සොඬ නමින් රජ වී ධර්මය ඇසීමෙහි කුල්මත් වූ ආශාවකින් යුතුව සියල්ල අත්හැර වනගත වුණා. මේ රජු ධර්ම ශ‍්‍රවණයට කොතරම් ගිජු ද යත්, යක්ෂයෙකුගේ වෙස් ගත් සක් දෙවිඳුගේ මුඛයට පනින්නට පවා පෙළඹුණා. මෙසේ විමසා බලද්දී දඹදිව රජ පරපුරෙහි ඇති මෙම සුවිශේෂත්වය ලෝකයෙහි වෙන කිසිදු රටක රජ පරපුරක් හා සසඳන්නට අසීරුයි.

පසේබුදුවරුන් පිළිබඳ කියැවෙන තොරතුරුවලදී පවා පැහැදිලි වන්නේ බොහෝ පසේබුදුවරු රජ මාළිගාවල රජකමට උරුම කියමින් ඉපදී ඇති බවයි. එමෙන්ම රජකම් කරමින් සිටියදී නිකෙලෙස් වී ඇති බවයි.

මෙම පසේබුදුවරයන් වහන්සේද බරණැස් නගරයෙහි රජ බවට පත්ව සිටියා. මොහු රජ කරමින් සිටියදී නොයෙකුත් උත්සව, සම්භාෂණ සහ පුදපූජාවන්වලටත් සහභාගී වුණා. නමුත් ක‍්‍රමක‍්‍රමයෙන් මේ රජුගේ සිත භාවනාවට යොමු වුණා. භාවනා කරද්දී සිත එකඟ වුණා. එහිදී රජතුමා කිසිසේත් අපේක්ෂා නොකළ දෙයක් සිදු වුණා. එනම් ප‍්‍රථම ධ්‍යානය උපදවා ගැනීමට සමත් වීමයි. ධ්‍යානයට සමවැදී එයින් නැඟිටි රජතුමා තමා ගත කරමින් සිටින ලෞකික ජීවිතයේත්, පංච නීවරණ යටපත් කොට ඇති කරගත් චිත්ත සමාධියේත් වෙනස පැහැදිලිව වටහා ගත්තා. රජතුමා කල්පනා කරන්න පටන් ගත්තා.
”ඔව්…! මං කුමාර අවධියේ කෙළිසෙල්ලමෙන් කල් ගෙව්වා. එකලත් මට සිතට ප‍්‍රීතිය දැනුණා. හැබැයි මෙම ධ්‍යාන සුවයෙන් ලබන නිරාමිස ප‍්‍රීතිය හා සසඳා බලද්දී කෙළි සෙල්ලමෙන් ලද ප‍්‍රීතිය නම් ලාමක දෙයක්මයි.

ඔව්…! මං උද්‍යාන ක‍්‍රීඩාවෙන් ප‍්‍රීතිමත් වුණා. මල් ගොමු සිසාරා ඇවිද ගියා. අශ්ව රේස් ගියා. සොබාදහමෙහි සොඳුරු දසුන් නරඹන්නට ගියා. ඒ සියලූ ප‍්‍රීතිය ඒ සැණෙකින්ම අවසන් වුණා. නමුත් ධ්‍යාන සුවයෙන් මා ලැබූ ප‍්‍රීතිය අභියස උයන් කෙළියෙන් ලබන ප‍්‍රීතිය නම් ලාමක දෙයක්මයි.

ඔව්…! අන්තඃපුරාංගනාවන් නිසා මට පංච කාමයම විඳින්න ලැබුණා. ලොව සිටින අභිරූපවත් සොඳුරු ළඳුන්ගේ පහස ලැබුණා. නමුත් ඒ වින්දනය හරිම වෙහෙසකරයි. පීඩාකාරීයි. සංසිඳීමක් නැති දෙයක්. යළි ඇවිස්සීමකට පත් කරවන දෙයක්. නමුත් නීවරණ සංසිඳවාගෙන මා ලද මේ දැහැන් සුවය සැබැවින්ම අසිරිමත්!

ඔව්…! රාජකෘත්‍යය නිසා මට යම්කිසි සතුටක් ලැබුණා. මගේ ආනුභාවය පැතිරවීමෙන් අමුතු සතුටක් මා වින්දා. මා බලය පැතිරවීමෙන් ලැබූ සතුට ඉතාමත්ම ගොරෝසුයි. එකිනෙකා කෙරෙහි සැකයෙන් යුතු, එකිනෙකා කෙරෙහි අධිපතිභාවය බලපැවැත්වීමෙන් ලබන සතුට මොනතරම් ලාමකද කියා මට වැටහෙන්නේ මේ දැහැන් සුවය හා සසඳා බලන විටයි.

ඔව්….! දැන් මට මේ රාජකීය ජීවිතය තුළ කිසි සැපතක් පෙනෙන්නෙ නෑ. එකවරම මෙය අත්හැරියොත් රට අවුල් වෙන්න පුළුවනි. නමුත්, මා ලද මේ විරාගී මානසික සුවය තරම් මගේ ජීවිතය සුවපත් කළ වෙන දෙයක් නෑ. මා කොහොමහරි බණ භාවනා කිරීම දිගටම ගෙනයන්න ඕන. දැන් කරන්න තියෙන්නේ ඇමතිවරුන් සතර දෙනෙකුට රජය පවරා මා වරින් වර සොයා බැලීමයි.”

ඉතින් ඒ රජතුමා විශ්වසනීය ඇමතිවරු හතර දෙනෙක් කැඳෙව්වා. රාජ්‍ය පාලනය දැහැමිව කරගෙන යාමේ වටිනාකම පවසා සිටියා.

”එම්බා ඇමතිවරුනි, රජකම් කිරීම නැණවතුන් විසින්ම කළ යුතු දෙයක්. මේ සඳහා විශේෂයෙන්ම හිතවත්කම අවශ්‍යයි. එකිනෙකා කෙරෙහි මිත‍්‍රභාවය අවශ්‍යයි. කිසි දිනෙක රාජ්‍ය ලෝභය උදෙසා එකිනෙකා කෙටවීම කළ යුතු නෑ. අල්ලස් ගණුදෙනු කළ යුතු නෑ. වංචා කළ යුතු නෑ. ඒ මිත‍්‍රත්වය තිබිය යුත්තේ පොදු ජනයාගේ යහපත උදෙසායි. හැබැයි, එකිනෙකා මිතුරු වී ජනතාව පෙළන්නට ගියහොත් රාජ්‍ය කෘත්‍යය අසාර්ථක වෙනවා.

ඇමතිවරුනි, ටික කලකට මට විවේකය අවශ්‍යයි. මට ටිකක් භාවනා කරගන්න ඕන. මං ඔබ පිටුපසින් ඉන්නවා. අවශ්‍ය විටෙක මා උපදෙස් දෙන්නම්. මා පරිද්දෙන්ම ඔබත් දැහැමින් සෙමෙන් රාජ්‍යය කරන්න.”

”එසේය, දේවයන් වහන්ස. ඔබවහන්සේ විවේකීව වැඩසිටින සේක්වා! බණ භාවනා කරන සේක්වා! අපි හතර දෙනා එකිනෙකාට මිත‍්‍රත්වයෙන්මයි වාසය කරන්නේ. අපි කවදාවත් සණ්ඩු සරුවල් කරගන්නෙ නෑ. අසමඟි වෙන්නෙ නෑ. ඔබතුමාගේ අදහස අපි ඉෂ්ට කරනවා.”

ඉතින් රජතුමා ඉතාමත් සතුටට පත්වුණා. ඒ ඇමතිවරුන් සිව් දෙනාට රජකම පැවරුවා. මේ ඇමතිවරුත් ඉතාමත් සතුටින් සහ ගෞරව භක්තියෙන් යුතුව ටික දවසක් රජකම් කරගෙන ගියා. ටිකෙන් ටික මොවුන් බලයෙන් මත් වුණා. ඉසුරුමත් බවෙන් මත් වුණා. අධිපතිබවෙන් මුළා වුණා. තම තමන්ගේ හිත මිතුරන්ට විශේෂ ලෙන්ගතුකම් දක්වන්නට පටන් ගත්තා. අමුතු අනුකම්පාවල් කරන්නට පටන් ගත්තා. ටිකෙන් ටික ඔවුන්ගේ සාධාරණ බව සහ දැහැමි බව වෙනස් වෙන්න පටන් ගත්තා. ඔවුන් අල්ලස් ගත්තා. හිමිකරුවා අහිමිකරුවා කළා. අහිමිකරුවා හිමිකරුවා කළා. කොතරම් උපදෙස් දුන්නත් ඔවුන්ගේ ක‍්‍රියාව අදැහැමි වූ නිසා රජය පිරිහෙන්නට පටන් ගත්තා.

එක්තරා දවසක් රජුගේ ළඟම හිතෛෂී කෙනෙකු පවා මහා කරදරයක වැටුණා. මේ ඇමතිවරුන්ගේ අල්ලස් ගැනිල්ල නිසා ඔහුට අසාධාරණයක් සිදුවුණා. ඔහු සතු දේ අහිමි වුණා. දිනක් මොහු රජුට ආහාර සපයන පිරිස සමඟ රජ මැදුරට ගියා. මේ සියලූ දූෂණ, වංචා පිළිබඳව හෙළිදරව් කළා.

රජතුමා මහත් සංවේගයට පත්වුණා. තමන් ඉතාමත් විශ්වාසයෙන් යුතුව පැවැරූ රාජ කෘත්‍යය මේ ඇමතිවරුන් විසින් ක‍්‍රමක‍්‍රමයෙන් පිරිහෙලා දැමීම ගැන කණස්සල්ලට පත්වුණා. රජතුමාගේ බණ භාවනා කටයුතු අඩාල වෙන්න පටන් ගත්තා. සිත විසිරෙන්න පටන් ගත්තා.

දිනක් රජතුමා නඩු විසඳන අධිකරණ සමථ ශාලාවට පැමිණියා. එහිදී රජතුමා දුටු මහජනයා මහා හඬින් ඝෝෂා කරමින් කෝළාහල කරන්නට පටන් ගත්තා.

”අහෝ! අපගේ දේවයන් වහන්ස, නුඹවහන්සේ කොහි වැඩසිටි සේක්ද? නුඹවහන්සේව දැකීම පවා අපට සැපයකි. නුඹවහන්සේගේ ඇමතිවරු මෙම රාජ්‍යය වනසනවා…. ඔවුන් අල්ලස් ගන්නවා. හිමිකරුවන්ව අහිමිකරුවන් කරවනවා. අහිමිකරුවන්ව හිමිකරුවන් කරවනවා. ඔවුන්ගේ එකම ඉලක්කය රාජ බලය තුළින් ධනවත් වීම විතරයි. අහෝ! දේවයන් වහන්ස, මෙයින් අපව මුදවා ගන්නා සේක්වා!”

හැඬූ කඳුලින් යුතුව පොදු ජනයා විසින් කරනු ලබන මෙම උද්ඝෝෂණය නිසා රජතුමා මහත් කම්පාවට පත්වුණා. දයා විරහිත ඇමතිවරුන් මිතුරන් අතරේ සම්පත් බෙදා ගන්නට ගොස් යහපත වනසා දමා ඇති අයුරු වැටහුණා. රජතුමාත් වෙනදා මෙන්ම භාවනා කරන්න පටන් ගත්තා. එදා භාවනා කරගත නොහැකි වුණා. චිත්ත සමාධිය නැතිවුණා. ධ්‍යානය නැතිවුණා.

එදා රාත‍්‍රියේ රජතුමා සඳළුතලයට ගොඩවුණා. කල්පනා කරන්නට පටන් ගත්තා.

”ඔව්! මං දැන් තීරණයක් ගත යුතුයි. එක්කො මේ භාවනා කටයුතු අත්හැර දමා නැවත රාජ්‍ය පාලනය කළ යුතුයි. එසේත් නැතිනම් රාජ්‍ය පාලනය අත්හැර දමා දිගටම භාවනාව කළ යුතුයි….. මේ බරණැස් නගරයේ පහළ වූ පළවෙනි රජු මං නොවෙයි. අවසාන රජුත් මං නොවෙයි. අවුරුදු දහස් ගණනක රාජාවලියක් තියෙනවා. අනිත් රජවරුන්ගේ කාලයේදීත් මේ තත්වයම තියෙන්න ඇති. කෙලෙස් සහිත ලෝකය තුළ අවංක රාජ්‍ය පාලනයක් නම් කිසිසේත් බලාපොරොත්තු වෙන්න බෑ.

අපේ පරපුරේ රජවරු හිටියා. සමහරු රජකම අත්හැර තපස් රැක්කා. සමහරු අවසන් සුසුම හෙලද්දීත් රජකමට ලොබ බැන්දා. සැබැවින්ම ජයගත්තේ රජකම අත්හළ පිරිසයි. එනිසා මාත් යම්කිසි තීරණයක් ගත යුතුයි.

ඔව්…! මේ රජකමට ආසා කිරීමෙන් ඇති ඵලය කුමක්ද? මං මෙය අත්හරිනවා අත්හරිනවාමයි.”

රජතුමා රජකමට ඇති ආශාව අත්හැරියා. මහජනයාට සිදු වී ඇති විපත ගැන හටගත් චිත්ත පීඩාවත් අත්හැරියා. ඇමැතිවරුන් ගැන හටගත් අමනාපයත් අත්හැරියා. නැවතත් භාවනා කරන්නට පටන් ගත්තා. රජුගේ සිත වහා එකඟ වුණා. සමාධිමත් වුණා. ධ්‍යානගත වුණා. රජතුමා නුවණින් විමසන්න පටන් ගත්තා.

‘මේ හැම කරදරයක්ම වෙන්නේ ඉපදීම නිසයි. එතකොට අපි ඉපදුණේ කවර හේතුවක් නිසාද? මේ උපන් හේතුව ප‍්‍රහාණය කළ නොහැකිද? ඉපදීමෙන් නිදහස් විය නොහැකිද? නෑ…. උපතින් නිදහස් වීමක් තිබිය යුතුමයි. උපදින හේතුව සොයා ගත යුතුමයි.’

රජතුමා ටිකෙන් ටික ඉපදීමට හේතුව සොයන්න පටන් ගත්තා. ජීවිතයේ කිසි දිනෙක නොඇසූ විරූ කිසියම් අද්භූත වැටහීමක් රජතුමා තුළ ඇතිවෙන්න පටන් ගත්තා. උපතට හේතුව භවය බව රජතුමාට වැටහුණා. භවයට හේතුව උපාදානය බව වැටහුණා. උපාදානයට හේතුව තෘෂ්ණාව බව වැටහුණා. තෘෂ්ණාවට හේතුව වින්දනය බව වැටහුණා. වින්දනයට හේතුව ස්පර්ශය බව වැටහුණා. ස්පර්ශයට හේතුව ආයතන හය බව වැටහුණා. ආයතන හයට හේතුව නාමරූප බව වැටහුණා. නාමරූපයට හේතුව විඤ්ඤාණය බව වැටහුණා. විඤ්ඤාණයට හේතුව සංස්කාර බව වැටහුණා. සංස්කාරවලට හේතුව අවිද්‍යාව බව වැටහුණා.

අවිද්‍යාවෙන් හටගන්නා මෙම වැඩපිළිවෙල නිසා උපන් සත්වයා පිළිසිඳගත් මොහොතෙහි පටන් මරණය දක්වාම අනාරක්ෂිත බව තුළින් හටගන්නා කිසියම් බියජනක ස්වභාවයකින් පෙළෙන බවත්, මෙය දුක බවත්, මෙය සනාතන සත්‍යයක් බවත් වැටහුණා. මේ දුක හටගන්නේ මෙයට ඇලූම් කිරීම නිසා බවත් වැටහුණා. ඇල්මෙන් නිදහස් වූ විට සියලූ බිය තැතිගැනීම් වලින්, සියලූ දුකින් නිදහස් විය හැකි බවත් වැටහුණා. මේ සඳහා කළ යුත්තේ ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව සමාධියත්, ප‍්‍රඥාවත් වැඞීම බවත් වැටහුණා. රජතුමා තුළ අවිද්‍යාව ක‍්‍රමක‍්‍රමයෙන් දුරු වී ගොස් චතුරාර්ය සත්‍යාවබෝධ්‍ය නම් වූ විද්‍යාව පහළ වුණා. ආසවක්ඛය ඤාණය ඇතිවුණා. නිකෙලෙස් වුණා. අරහත්වයට පත්වුණා. පසේබුදුරජාණන් වහන්සේ නමක් බවට පත්වුණා.

දැන් මේ පසේබුදුරජාණන් වහන්සේ උඩුමහල් තලයේ සිට පහතට වැඩියා. රාජාභරණයෙන් සැරසී සිටින රජු හැටියට තවමත් පෙනෙන නිසා ඇමතිවරු පැමිණ රජතුමා මුණගැසුණා. රාජ්‍යකරණයට අනුශාසනා කරන්න කියා පවසා සිටියා.

”මං දැන් රජ කෙනෙක් නෙවෙයි. රජකම ගැන සිතීම මේ සිතෙන් සදහටම අයින් වුණා. මගේ සිතේ යම්කිසි විරාගී සතුටක් තියෙනවා. ලොව කිසිවෙකුට නොඇලූණ කිසියම් අද්භූත චමත්කාරයක් මට දැනෙනවා. ඒ නිසා මං දැන් මේ රාජකීය ජීවිතයට අයත් නෑ කියලයි මට වැටහෙන්නේ. මට හිතෙන්නේ මං තුළ කුමක්දෝ අසිරිමත් වෙනසක් වෙලා තියෙනවා කියලයි.”

”ඒ කියන්නේ දේවයන්වහන්ස, ඔබවහන්සේ පවසා සිටින්නේ කිසියම් ජීවිතාවබෝධයක් ලැබුවා කියලද? අප අසා තිබෙන්නේ විරාගී සතුටක් විඳින ජීවිතාවබෝධය ලබන්නේ ‘පච්චේකබුද්ධ’ නම් වූ ශ‍්‍රමණයන් වහන්සේලා බවයි. ඉතින් ඔබවහන්සේ එවැනි කෙනෙක් නොවෙයිනේ…. ඒ පසේබුදුවරයන් වහන්සේලා කෙස් රැවුල් බාලා තියෙනවා. පාත‍්‍රා සිවුරු දරනවා. පිඬු සිඟා යැපෙනවා.”

එතකොට මෙතුමා හිස අතගෑවා. ඒ සැණින්ම කෙස් රැවුල් නොපෙනී ගියා. රාජකීය වස්ත‍්‍රාභරණ නොපෙනී ගියා. ඉර්ධිමය ආකාරයෙන් සිවුරු පිරිකර පෙරවී ගියා. අතට පාත‍්‍රයක් ලැබුණා. ශ‍්‍රමණයන් වහන්සේ නමක් බවට පත්වුණා. එවේලෙහි ඇමතිවරු උන්වහන්සේ පාමුල වැඳවැටුණා.

”අනේ පින්වතාණන් වහන්ස, ඔබවහන්සේ මේ රාජ්‍යය අත්හැර වඩින්න එපා! අපට අනුකම්පා කරන්න. ඔබවහන්සේගේ කරුණා මෛත‍්‍රියෙන් යුතු පාලනය අපි හැමෝටම සැපයක්. ඒ තුළින් අපට යහපත උදා වෙනවා.”

එවිට ඒ පසේබුදුරජාණන් වහන්සේ මෙම උදානය පහළ කොට අහසට පැන නැංගා.

මිත්තේ සුහජ්ජේ අනුකම්පමානෝ
හාපේති අත්ථං පටිබද්ධ චිත්තෝ
ඒතං භයං සන්ථවේ පෙක්ඛමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

”මිතුරන් සමඟ සුහද වෙලා ඔවුන්ට පමණක් අනුකම්පා කරන්නට ගියොත්, ඔවුන් කෙරෙහි දැඩි ලෙස ඇල්ම ඇතිව බැඳී ගියොත්, ලොවට සිදුවිය යුතු පොදු යහපත දුරුවෙලා යනවා. මිතුරන් සමඟ එක්ව වාසය කිරීමේ ඇති ඔය අනතුර මට පේනවා. දැන් මං නිදහස්! ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴

සත්‍යය දකින්නේ කවුද?

$
0
0
4_1-2 stanzas

1,2 ගාථා රත්න
පන්සියයක් තෙරුන් වහන්සේලාගේ කථා වස්තුව

“සත්‍යය දකින්නේ කවුද…?”

පින්වතුනේ, පින්වත් දරුවනේ,

පට එක එක දේවල් සිතෙනවා. එක එක දේවල් කතා බස් කරනවා. ලෝකය පිළිබඳ විවිධ තොරතුරු ලැබෙනවා. මහ මුහුද ගැන, ගලා බසිනා ගංගා ගැන, ගැඹුරු වනාන්තර ගැන, ප‍්‍රපාත ගැන මහ පුදුම විස්තර අපට අසන්නට ලැබෙනවා. ඒවා අහන්න අහන්න අප පුදුමයට පත්වෙනවා. ඉතින් රසවත් කෑමක් ලැබුනා වගේ ඒවා ගැනමයි අසන්නට සිතෙන්නේ. මේ නිසා සමහරු මුළු ජීවිත කාලයම බාහිර ලෝකය ගැන සොයන්නට මහන්සි වෙනවා.

සමහරු හිතන්නේ මෙහෙමයි. පොළොව කොයිතරම් විශාලද? මුහුද කොයිතරම් විශාලද? මුහුද පතුලේ ගැඹුරුම තැනට මතුපිට සිට කොතරම් දුර ඇද්ද? දවසකට මහා සයුරේ රැළි කීයක් නැගෙනවාද? මෙවැනි දේවල් ඉගෙන ගැනිල්ල මහා පුදුම දෙයක් හැටියටයි ලෝකයට පෙනෙන්නෙ.

සමහරු හිතන්නේ මෙහෙමයි. පරලොව තියෙනවාද? අපාය තියෙනවාද? ඒක තියෙන්නෙ කොහේද? එතකොට අපාය ගැන විස්තර දැනගන්නේ කොහොමද? අපට පෙරේත ලෝකේ පෙරේතයින්ව ෆොටෝ ගන්න බැරිද? අපට භූත ලෝකය ගැන විස්තර දැනගන්න බැරිද? එයාලා කන්නේ මොනවාද? ඒ ලෝකයෙත් පෙම් හබ තියෙනවාද? එයාලත් අපි වගේ යුද්ධ කරනවාද? එයාලට සතුටක් නැද්ද? ආදියයි.

තවත් සමහරු මෙහෙම හිතනවා. දිව්‍ය ලෝක තියෙනවාද? ඒවා තියෙන්නේ කොහේද? ශක‍්‍ර දෙවියන්ට පුතෙක් ඉන්නවාද? එයාගෙ නම වයිමාද? ඒක ඇත්තද? ඒවා කියන්නේ කොහොමද? දෙවිවරු දිව්‍ය සභාවල රැස් වෙනවා කියන්නේ ඇත්තක්ද? අපට දෙවියන් සමඟ කතාබස් කරන්නට බැරිද?

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඔවැනි මාතෘකාවන් කතා කරන්නට ගියොත් අපට නොතේරීම කාලය ගෙවිලා යනවා. කිසි මහන්සියකුත් නැහැ. විනෝදයකුත් තියෙනවා. අපට හිතෙන්නෙ අපි ලෝකය ගැන වැඩිපුර ඉගෙන ගන්නවා කියලයි. අපේ දැනුම වැඩිවෙනවා කියලයි. ඒ නිසා මෙවැනි මාතෘකා වලින් නිදහස්ව කතා බස් කරන එක ලෙහෙසි වැඩක් නම් නොවෙයි. ඇතැම් විට මහණ වුණත් එවැනි කතා වලින් නිදහස් වෙන්න අමාරුයි.

ඒ දිනවල අපගේ බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ. ඔයාලා දන්නවා ඇති. බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි තමයි වැඩිම කාලයක් වස් වසා වැඩසිටියේ. උන්වහන්සේ දහනව වතාවක් වස් වැසුවේ ඒ දෙව්රම් වෙහෙරේමයි. බොහෝ භික්ෂූන් වහන්සේලා වැඩසිටියේත් ඒ දෙව්රම් වෙහෙරේමයි.

ඒ කාලෙ දැන් වගේ නොවෙයි. මහණ වුනාට පස්සේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා යටතේ අවුරුදු පහක් පමණ ධර්මය ඉගෙන ගන්නවා. විනය ඉගෙන ගන්නවා. ඒ ධර්ම විනයට අනුව ජීවිතය සකස් කරගන්න මහන්සි ගන්නවා. ඒ කාලෙ ධර්මය පොත්වල ලියලා තිබුණෙ නෑ. කටපාඩම් කිරීම තමයි තිබුනේ. අනික ඒ කාලෙ ජීවත්වුන පින්වත් ජනතාවට හොඳ ස්මරණ ශක්තියක් තිබුනා. ඉක්මණින් වටහාගන්නට හැකියාවකුත් තිබුනා. අවබෝධ කිරීමේ හැකියාවකුත් තිබුනා. ඒ නිසයි බොහෝ දෙනෙක් මාර්ග ඵල ලැබුවේ.

මූලික ධර්ම අධ්‍යාපනයෙන් පස්සේ භික්ෂූන් වහන්සේලා හුදෙකලාවේ බණ භාවනා කිරීම පිණිස කණ්ඩායම් වශයෙන් චාරිකාවේ වඩිනවා. එදා එසේ චාරිකාවේ වැඩිය භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් දෙව්රම් වෙහෙරට වැඩම කළා. ගමන් විඩාව සංසිඳුවා ගත් ඒ භික්ෂූන් වහන්සේලා මෙන්න මෙවැනි කතාවක් පටන් ගත්තා. “ආයුෂ්මතුන් වහන්ස, මහ පොළොව පිහිටා තියෙන හැටි හරි පුදුමයි නෙව. සමහර තැන්වල කඳු පන්ති පෝලිමට තියෙනවා. සමහර තැන්වල සමතලයි. ඒ වගේම මහ පොළොවට වඩා ජලය කොයිතරම් වැඩිද?” “නෑ ආයුෂ්මතුනි, ඔයිට වඩා වැඩියි ආකාශය. ආකාශයට සම්බන්ධ වෙලා තියෙන්නෙ වායු තලයක්. ඒකත් පොළොව වගේ තමයි.” “නෑ ආයුෂ්මතුනි, ඊට වඩා පුදුමයි අපාය. යම රජ්ජුරුවෝ ඒ ලෝකය පාලනය කරන්නේ.” “නෑ ආයුෂ්මතුනි, පුදුම දෙය නම් දිව්‍ය ලෝකයයි. ශක‍්‍ර දෙවියන් තමයි චාතුම්මහාරාජික, තාවතිංස යන දිව්‍ය ලෝක පාලනය කරන්නේ.”

“හා… හා… ඕව වැඩක් නැහැ. දැන් ඔබවහන්සේලා වඩිද්දී කොයි පැත්තෙන්ද වැඩියේ?” “දකුණු ප‍්‍රදේශයට වෙන්නට නම් පාරේ බොරළු ගතිය වැඩියි. හැබැයි ටිකක් එහාට ගියාම හොඳ කළු පසක් තියෙනවා. පොළොව සරුසාරයි. කලට වැසි වැස්සොත් සරුවට භෝග වැවෙනවා.” “ඒ වුනාට ආයුෂ්මතුනි, අසවල් පැත්තේ නම් කිසිම සරුවක් නැහැ. ගස් කොළන් එච්චර උසට නැහැ. ගමනත් අපහසුයි. දූවිල්ල වැඩියි.” “නෑ ආයුෂ්මතුනි, ඔබවහන්සේලා අසවල් දිශාවේ වැඩියේ නැද්ද? ඒ පැත්ත හරි ලස්සනයි නෙව. හිමිදිරි උදෑසන මීදුම බාලා පින්න වැටිලා තියෙන කොට හරිම අගෙයි. වතුර ටික වුනත් ලස්සනයි.” “අනේ ආයුෂ්මතුනි, එහෙම නම් අපි ඊළඟ වතාවෙ චාරිකාවෙ වඩිද්දී ඒ පැත්තට යමු.”4_1-2 stanzas

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඒ ස්වාමීන් වහන්සේලාගේ කතාවට ඔවැනි දේවල් එකතු වෙද්දී ධර්මය අමතක වෙන අවස්ථාව වැඩි වුනා. බුදුරජාණන් වහන්සේට මෙම කතාව දිව්‍ය ශ‍්‍රවණයෙන් අසන්නට ලැබුනා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලා මහා රසවත් විදිහට මහ පොළොව ගැන, වෙනත් ලෝක ගැන කතා කර කර ඉන්න තැනට වැඩියා. “පින්වත් මහණෙනි, ඔබ ඔතරම් ප‍්‍රණීත විදිහට කුමක් ගැනද කතා කරන්නේ?” “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අපි මේ මහ පොළොව ගැන කතා කළා. යම ලොව ගැන කතා කළා. දිව්‍ය ලෝක ගැන කතා කළා. අපි ඇවිදගෙන යද්දී මුණ ගැසුන විවිධ පරිසර ගැන කතා කළා.” ආදී වශයෙන් ඒ භික්ෂූන් වහන්සේලා කිසිවක් සඟවා නොගෙන ඇත්තම කිව්වා. එවේලෙහි මහා කරුණා ගුණැති බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලා කෙරෙහි අනුකම්පාවෙන් මේ ගාථා රත්නයන් දෙක වදාළා.

කෝ ඉමං පඨවිං විජෙස්සති
යමලෝකඤ්ච ඉමං සදේවකං
කෝ ධම්මපදං සුදේසිතං
කුසලෝ පුප්ඵමිව පචෙස්සති

මෙලොව හා පරලොව – එලෙස දෙවියන් ඇති ලොව
ඒ අයුරින්ම දැනගෙන – ජය ලබන්නේ කවුරුද?
ලස්සන මල් නෙලන – දක්ෂ මල්කරු විලසින
සුදේසිත සදහම් පද – පසක් කරගන්නෙ කවුරුද?

සේඛෝ පඨවිං විජෙස්සති
යමලෝකඤ්ච ඉමං සදේවකං
සේඛෝ ධම්මපදං සුදේසිතං
කුසලෝ පුප්ඵමිව පචෙස්සති

මෙලොව හා පරලොව – එලෙස දෙවියන් ඇති ලොව
ඒ අයුරින්ම දැනගෙන – ජය ලබයි හික්මෙන කෙනා
ලස්සන මල් නෙලන – දක්ෂ මල්කරු විලසින
සුදේසිත සදහම් පද – පසක් කරලයි හික්මෙන කෙනා

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ මේ ගාථා වලින් ඉතාම අර්ථවත් විස්තරයක් කියා දෙනවා. ඒ කියන්නේ පළවෙනි ගාථාවෙන් කරන්නේ ප‍්‍රශ්න කීපයක් ඇසීමයි. මොනවාද ඒ ප‍්‍රශ්න? මේ පොළොව අවබෝධ කරන්නේ කවුද? ඒ වගේම යම ලෝකය හෙවත් අපාය අවබෝධ කරන්නේ කවුද? දිව්‍ය ලෝකය අවබෝධ කරන්නේ කවුද? ඒ වගේම ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් සදහම් පද දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් එකතු කරනවා වගේ එක්රැස් කරමින් නුවණින් දකින්නේ කවුද? කියලා. බලන්න කොයිතරම් ලස්සන ප‍්‍රශ්න කීපයක්ද මෙතන තියෙන්නේ. වර්තමානයේ ඔය ප‍්‍රශ්න ඇසුවොත් උත්තර දෙන එක ලෙහෙසි නෑ. ඒකට හේතුව දිව්‍ය ලෝක අපාය ආදිය අවබෝධ කරනවා තබා ඒ ගැන කිසිවක්ම දන්නෙ නෑ.

ඒ වගේම දක්ෂ මල් කාරයෙක් ලස්සන මල් එකතු කරනවා වගේ සුභාෂිත බුදු වදන් එකතු කරගෙන නුවණින් දකින්න දන්නෙත් නෑ. නමුත් එය කරන්නට පුළුවන් කෙනෙක් ලෝකයෙහි ඉන්නවා. ඒ කවුද කියන එක දෙවෙනි ගාථාවෙන් විස්තර වෙනවා.

දෙවෙනි ගාථාවේ තිබෙන්නේ පිළිතුරයි. ඒ පිළිතුර තුළින් බුදුරජාණන් වහන්සේ ඒ සියලූ ප‍්‍රශ්න විසඳාගත හැකි කෙනා මෙන්ම, අවබෝධය කරා යා හැකි කෙනාත් කවුදැයි කියා පෙන්වා දෙනවා. මේ ගාථාවේ විශේෂ පදයක් ඔබට හමුවෙනවා ඇති. එනම් ‘සේඛෝ’ යන වචනයයි. සේඛ කියන්නේ හික්මෙන තැනැත්තා කියන එකයි. හික්මෙන්නේ කොයි අයුරින්ද? ඔහු හික්මෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි පෙන්වා දී ඇති ආකාරයටයි.

ආර්ය අෂ්ටාංගික මාර්ගය පටන් ගන්නේ සම්මා දිට්ඨියෙන්. සම්මා දිට්ඨිය කියන්නේ ශ‍්‍රාවකයා තුළ බුදුරජාණන් වහන්සේ වදාළ දුක නම් වූ ආර්ය සත්‍යය ගැන පැහැදිලි අවබෝධයක් තියෙනවා. දුක හටගන්නට හේතු වූ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ගැන පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඒ දුක නිරුද්ධ වීම පිළිබඳව පැහැදිලි අවබෝධයක් තියෙනවා. දුක ඉබේ නිරුද්ධ වෙන්නෙ නෑ. ප‍්‍රාර්ථනා කොට නිරුද්ධ වෙන්නෙත් නෑ. නමුත් එය නිරුද්ධ වෙන ක‍්‍රමයක් තියෙනවා. මාර්ගයක් තියෙනවා. වැඩපිළිවෙලක් තියෙනවා. ප‍්‍රතිපදාවක් තියෙනවා. එය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනත් ශ‍්‍රාවකයා තුළ පැහැදිලි අවබෝධයක් තියෙනවා නම් ඔහු සම්මා දිට්ඨියෙන් යුක්තයි. ඔහුට තමයි සේඛ කියන්නේ. ඉතින් ඒ ශ‍්‍රාවකයා ඒ තුළින් තමයි සෝවාන් මාර්ගයටත්, ඵලයටත් පත්වන්නේ. දිගින් දිගටම ධර්මයේම හැසිරෙන විට තවදුරටත් ඒ ආර්ය සත්‍යය පසක්වෙනවා. එවිට ක‍්‍රම ක‍්‍රමයෙන් සකදාගාමී මාර්ගය ප‍්‍රගුණ කරනවා. සකදාගාමී ඵලයට පත්වෙනවා. අනාගාමී මාර්ගය ප‍්‍රගුණ කරනවා. අනාගාමී ඵලයට පත්වෙනවා. අරහත් මාර්ගය ප‍්‍රගුණ කරනවා. මෙතෙක් දියුණු කරන වැඩපිළිවෙල තුළ ශ‍්‍රාවකයා හික්මෙන නිසා සේඛ කියනවා.

අරහත් ඵලයට පත්වීමත් සමඟ හික්මෙන වැඩපිළිවෙල සම්පූර්ණයි. හික්මිලා ඉවරයි. එතකොට කියන්නේ ‘අසේඛ’ කියලයි. ඒ කියන්නේ හික්මෙන වැඩපිළිවෙල සම්පූර්ණ කරගත් කෙනා කියලයි. තවදුරටත් හික්මෙන්නට දෙයක් නැති කෙනා කියලයි. එතෙක් අවස්ථාවන්වලදී හඳුන්වන්නේ සේඛ කියලයි. එතකොට බලන්න සේඛ කියන වචනයට මොනතරම් පුළුල් අර්ථයක් තියෙනවාද?

ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, අන්න ඒ මාර්ග ඵල ලාභී ශ‍්‍රාවකයාට නම් මේ පොළොව ගැන අවබෝධයක් ඇතිකරගන්න පුළුවන්. එතැනදී බුදුරජාණන් වහන්සේ පොළොව කියා වදාළේ පස් ගැන හෝ ජලය ගැන හෝ ගස් වැල් ගැන හෝ පර්යේෂණ කිරීම නොවෙයි. එතනදී උන්වහන්සේ වදාළේ මේ මහා පොළොව මත ජීවත් වෙන අප ගැනයි. සත්වයා ගැනයි. පුද්ගලයා ගැනයි. ඒ කියන්නේ තමා ගැනයි. තමා ගැන අවබෝධ කරගත්තොත් ඔහු පොළොව ගැන අවබෝධ කළා වෙනවා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, කුමක්ද මේ පොළොව? එනම්; දුක නම් වූ ආර්ය සත්‍යයයි. කුමක්ද මේ පොළොවට අයිති දේ? එනම්; ඉපදීමයි. ජරාවට පත් වීමයි. රෝග පීඩාවන් වැළඳීමයි. අප‍්‍රිය පුද්ගලයින් සහ අප‍්‍රිය දේවල් සමඟ එක්වන්නට සිදුවීමයි. ප‍්‍රිය පුද්ගලයන් ගෙන් හා ප‍්‍රිය දේවල් වලින් වෙන්වන්නට සිදුවීමයි. තමා කැමති දේ නොලැබීමයි. මේ සියල්ලටම පදනම රූප, වේදනා, සඤ්ඤා, සංඛාර සහ විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයේ පැවැත්මයි. මෙය ඒ අයුරින්ම අවබෝධ කළොත් මහ පොළොව අවබෝධ කළා වෙනවා. ඒ වගේම කර්මානුරූපව මේ සත්වයා නිරයේ යන ආකාරය අවබෝධ කළොත්, යම ලෝකය අවබෝධ කළා වෙනවා. ඒ වගේම කර්මානුරූපව සත්වයා දෙව්ලොව උපදින ආකාරය ගැන අවබෝධ කළොත්, දෙව්ලොව අවබෝධ කළා වෙනවා.

ඒ වගේම සතර සතිපට්ඨාන, සතර සම්‍යක් පධාන වීර්යය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන බෝධි පාක්ෂික ධර්ම තිස් හත පිළිබඳව හොඳින් ඉගෙනගෙන ඒ උතුම් ධර්මයන් තමා තුළට පමුණුවා ගන්නට දක්ෂ වුනෝතින් ඔහු ලස්සන මල් එකතු කරන දක්ෂ මල්කාරයෙක් වගේ තමයි. ලෝකයේ තිබෙන ලස්සනම ලස්සන දේ වන, ඉතාමත්ම සුන්දර දේ වන, මුල මැද අග සෑම තැනම සුන්දර දේ වන, ඉතාමත් අර්ථවත් දේ වන, පැහැදිලි වචන වලින් යුක්ත දේ වන ඒ උතුම් සුභාෂිත දහම් පද ජීවිතයට රැස් කරගත් කෙනා බවට පත්වෙනවා.

බලන්න කොයිතරම් ලස්සන පිළිතුරක්ද. මේ පුංචි ගාථා දෙක තුළ ඇති පැහැදිලි අර්ථය හඳුනාගන්නට ඒ භික්ෂූන් වහන්සේලා සමර්ථ වුනා. උන්වහන්සේලාට හොඳින් වැටහුනා. ඉතින් ඒ භික්ෂූන් වහන්සේලා අනවශ්‍ය කතා බහ නැවැත්තුවා. අනවශ්‍ය මාතෘකාවල්වල පැටලි පැටලි ගියේ නැහැ. අනවශ්‍ය වාද විවාද හදාගත්තෙ නැහැ. ඉතාම නිහතමානීව ධර්මයේ හැසිරුනා. ඇත්තෙන්ම උන්වහන්සේලා මේ පොළොව අවබෝධ කළා. යම ලෝකයත් අවබෝධ කළා. දෙව්ලොවත් අවබෝධ කළා. දක්ෂ මල්කාරයෝ බවට පත්වුනා. දක්ෂ මල්කාරයන්ටත් වඩා දක්ෂ වුනා. ලොව තිබෙන ලස්සනම දේ රැස් කළා. ඒ රැස් කළේ අතට නොවෙයි, හදවතටයි. ඒ නිසා ඒ භික්ෂූන් වහන්සේලා චතුරාර්ය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කළා. නිකෙලෙස් වුනා. රහතන් වහන්සේලා බවට පත්වුනා. ඒ කාලේ ජීවත් වුන ශ‍්‍රාවකයින් මොනතරම් වාසනාවන්තද ?

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ


අසිරිමත් පසේබුදු පෙළහර 4

$
0
0
pasebudu-pelahara-4


එක පඳුරේ පැටලී ගිය – විශාල උණ ගසක් විලස
අඹු දරුවන් ගැනම තිබේ – සියලූ පැතුම් හිතේ හැදෙන
එනිසා පඳුරෙන් වෙන් වී – තනි වූ උණ ගොබයක් ලෙස
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….

Sample Image

පගේ ශාස්තෘන් වහන්සේ ගෙවුණු අතීතයෙහි සැඟවී ගිය අසිරිමත් මුනිවරුන්ගේ චරිතාපදානයන් පෙළගස්වා වදාරද්දී නැවත වතාවක් අපට පසේබුදුවරයන් වහන්සේ නමකගේ තොරතුරක් මුණ ගැසෙනවා. පසේබුදුවරුන් ද නිතර පහළ වන්නේ නෑ. උන්වහන්සේලා පවා පහළවන්නේ ඉතාමත්ම කලාතුරකින්. දෙඅසංඛෙය්ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා භව ගමන නිමා කරන පසේබුදුවරුන්ගේ ජීවිත බාහිර ලෝකයන්ට හඳුනාගැනීම ලෙහෙසි කටයුත්තක් නොවෙයි. එනිසාම පසේබුදුවරුන්ට අපහාස කොට, ගරහා, හිරිහැර කොට, ඇතැම් විට උන්වහන්සේලාව ඝාතනය කොට නිරයට ගිය ඇතැම් අවාසනාවන්ත පුද්ගලයන් ගැන පවා බුදුරජාණන් වහන්සේ හෙලිදරව් කොට තිබෙනවා.

තනි තනිවම ගුරූපදේශ රහිතව චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන ඒ පසේබුදුවරයන් වහන්සේලා ගැන අපට සිත පහදවා ගත හැකිව තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ පවසා වදාළ නිසාය. බුද්ධ ශූන්‍ය කල්පවල පවා පසේබුදුවරුන්ගේ තොරතුරු සුලභ නොවේ. බුද්ධ කල්පය පහළ වෙන්නට පෙරාතුව හෙවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නට කලිනුයි පසේබුදුවරුන්ගේ යුගය ඇතිවන්නේ. මෙය ලෝකයේ පවතින සුවිශේෂී ධර්මතාවක්.

අනන්ත සසර පුරාවට විමුක්තිය උදෙසා කෙනෙක් කරනු ලබන අසාමාන්‍ය කැපවීමක ප‍්‍රතිඵලයක් වශයෙනුයි මෙය හැඳින්විය හැක්කේ. අද අපි කතා කරන්නේ පසේබුදුවරයන් වහන්සේලා තුන් නමක් පිළිබඳවයි.

මිනිස් ආයුෂ වසර විසිදහසක් පැවති යුගයේදී තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ. එකල බුදු සසුනේ පැවිදි වූ ශ‍්‍රාවකයින්ද විසි දහසක් අවුරුදු පිළිවෙත් පුරමින් ධර්මයේ හැසිරුණා. එම කාශ්‍යප බුද්ධ ශාසනයෙහි අපූරු යහළුවන් තිදෙනෙක් පැවිදි වුණා. මේ තිදෙනා ඉතාමත්ම සමඟි සම්පන්නයි. පිළිවෙත් සරුයි. ගුණදහමට නැඹුරුයි. මේ සොඳුරු ශ‍්‍රමණයන් වහන්සේලා තුන්නම ඉතාමත් සතුටින් ‘ගතපච්චාගත’ නම් වතක් පුරුදු කළා.

ගතපච්චාගත වත පිරීමේදී ඒ සඳහා බලවත්ව සිහිනුවණ පුරුදු කළ යුතුයි. පිඬු සිඟා වඩින විටත්, පෙරළා කුටියට වඩින විටත් නොවෙනස්ව භාවනා අරමුණෙහි සිහිය පවත්වා ගැනීම ගතපච්චාගත වතෙහි ඇති සුවිශේෂී බවයි. එනම් භාවනානුයෝගී එක්තරා භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව ගතපච්චාගත වත පුරන කෙනෙක්. එය කරන්නේ මෙහෙමයි. දැන් උන්වහන්සේට පිඬු සිඟා වඩින්නට වෙලාව පැමිණෙනවා. එවිට මනා සිහි නුවණින් යුතුව ප‍්‍රත්‍යවෙක්ෂා කරමින් අඳනය අඳිනවා. ඉණ පටිය බඳිනවා. තනිපට සිවුර පොරවනවා. සඟල සිවුර පොරවනවා. පාත‍්‍රය සෝදා ප‍්‍රත්‍යවෙක්ෂා කරමින් දෝතට ගන්නවා. කුටියෙන් එළියට වඩින්නට පෙර භාවනා අරමුණ සළකා ගන්නවා. එය මෛත‍්‍රී භාවනාව හෝ අසුභ භාවනාව හෝ බුද්ධානුස්සති භාවනාව හෝ අනිත්‍යානුපස්සනාව හෝ විය හැකියි. එම භාවනාව සිහි කරමින් කුටියෙන් එළියට පළමු පියවර තබනවා. ඒ මොහොතේ සිට උන්වහන්සේ කරන්නේ බාහිර අරමුණකට සිත විසිරෙන්නට නොදී අර භාවනාවෙහිම සිහිය රඳවා ගැනීමයි.

එසේ පිඬු සිඟා වඩිද්දී මංමාවත්වල විවිධාකාර සතුන් මුණගැසෙනවා. මිනිසුන් මුණගැසෙනවා. කුඩා දරුවන් මුණගැසෙනවා. යානවාහන මුණගැසෙනවා. ඇතැම් විට නොයෙක් කලකෝලාහල, නැටුම්, ගැයුම්, වැයුම් ආදී අරමුණු මෙන්ම සිතෙහි කෙලෙස් ඇවිස්සෙන අරමුණු ද මුණගැහෙනවා. ඒ කිසිවකට තම සිත යා නොදී කුටියෙන් එළියට වඩිද්දී සිහි කළ අරමුණෙහිම සිත රඳවා ගැනීම ඒ භික්ෂුවගේ කාර්යභාරයයි.

පිඬු සිඟා වඩිද්දී නොයෙක් අයුරේ ආහාරපාන ලැබෙනවා. පිළුණු දේ ලැබෙනවා. වියළි දේ ලැබෙනවා. දියර දේ ලැබෙනවා. ඉතා ප‍්‍රණීත සුවඳින් යුතු දේ ද ලැබෙනවා. ඒ කිසිවකටත් නොගැටී, නොඇලී අර පටන් ගත් භාවනා අරමුණෙහිම සිත රඳවා ගැනීම ඒ භික්ෂුවගේ කාර්යභාරයයි.

මේ අයුරින් කුටියෙන් පිටතට වඩිද්දී සිහි කරන ලද්දේ යම් භාවනා අරමුණක් ද, ඒ අරමුණ නොවෙනස්ව පවත්වා ගනිමින් පෙරළා කුටියට පැමිණ තමන් එළියට වඩිද්දී පය තැබූ තැනම පය තබා සිහිය සම්පූර්ණ කිරීම ගතපච්චාගත වතයි.

මෙය කියන, ලියන පමණින් කිරීම ලෙහෙසි දෙයක් නොවෙයි. ඇතැම්විට ඉතා උනන්දුවෙන් භාවනා අරමුණ සිහියට ගෙන මෙනෙහි කරමින් පිටත් වෙනවා. ටික දුරක් යද්දී කිසියම් දායකයෙක් ඒ භික්ෂුව සමඟ කතා කරනවා. අර භික්ෂුවත් ඒ කතාවට පැටලෙනවා. භාවනා අරමුණ ගිලිහී යනවා. ඉන්පසු කරන්නේ නැවත බාහිර අරමුණු සමඟ එක්වීමයි. කමටහන අමතක වෙනවා. පෙරළා පැමිණෙද්දී ඇතැම්විට සම්පූර්ණයෙන්ම අමතක වෙනවා. එවිට ගතපච්චාගත වත සම්පූර්ණ වන්නේ නෑ.

තව කෙනෙකුට මෙහෙම වෙනවා. භාවනා අරමුණකින් තොරව පිණ්ඩපාතයේ වඩිනවා. පෙරලා කුටියට වඩිද්දී භාවනා අරමුණ මතක් වෙනවා. ‘බාහිර අරමුණුවලට විසිරුණු සිතින් පිඬු සිඟා ගිය මං දැන්වත් සිහි නුවණින් ආපසු වැඩිය යුතු යැ’යි සිතා කමටහනට සිත යොමු කරනවා. එබඳු ක‍්‍රමයකින් ගතපච්චාගත වත සම්පූර්ණ වන්නේ නෑ.

යම් කෙනෙක් මුලින් කියූ ආකාරයෙන් ගතපච්චාගත වත සම්පූර්ණ කරත් නම් ඒ තැනැත්තා අද්භූත වූ පිනක් රැස් කරගන්නවා. ඒ තැනැත්තාගේ විමුක්ති සාධනය පිණිස තමාව මෙහෙයවන අදිසි බලවේගය බවට පත්වන්නේ එසේ රැස් කරගත් පිනයි.

ඉතින් කසුප් බුදු සසුනෙහි පැවිදි වූ මේ තිදෙනා වහන්සේ ඉතාමත් ඕනෑකමින් යුතුව ගතපච්චාගත වත සම්පූර්ණ කළා. සමථ විදර්ශනා භාවනා ධර්මයන්හි යෙදුණා. කසුප් බුදු සසුනෙන් මඟපල ලබන්නට මේ තිදෙනාටම අවස්ථාව නැතිවුණා. නමුත් මුන්වහන්සේලා ගතපච්චාගත වත පුරමින් ගත කළ සසුන් ජීවිතය කිසිසේත් අපතේ ගියේ නෑ. තිදෙනා වහන්සේම දෙව්ලොව උපන්නා.

කාශ්‍යප බුද්ධ ශාසනය ක‍්‍රමක‍්‍රමයෙන් අතුරුදහන්ව ගියා. බුදු කෙනෙකුගේ ධර්මය නොඇසී ගියා. ආර්ය සත්‍යාවබෝධය පිළිබඳ කථාව නාමමාත‍්‍රයකින් හෝ ඉතුරු නොවී අතුරුදහන්ව ගියා. මිනිසුන්ගේ ආයුෂ ක‍්‍රමක‍්‍රමයෙන් අඩුවුණා. අපගේ ශාස්තෘන් වහන්සේ පහළ වන්නට පෙරාතුව එක්තරා සොඳුරු යුගයක් ලොව උදාවුණා. එනම් පසේබුදුවරුන්ගේ යුගයයි. ඒ පසේබුදුවරුන්ගේ යුගයේදී දෙව්ලොව ඉපිද සිටි අර ශ‍්‍රමණයන් වහන්සේලා අතරින් වැඩිමහලූ තැනැත්තා බරණැස් නුවර රජ කුලයේ උපන්නා. අනිත් දෙදෙනා ඈත පිටිසර ප‍්‍රාදේශීය රජකුලවල උපන්නා.

ප‍්‍රාදේශීය රජකුලවල උපන් අර කුමාරවරු දෙදෙනා ශිල්ප ශාලාවෙහිදී අඹයහළුවන් බවට පත්වුණා. ඔවුන්ගේ මිත‍්‍රත්වය ඉතාමත් පි‍්‍රයශීලී දෙයක් වුණා. රජවරුන් බවට පත් වූ පසුත් ඒ දෙදෙනාගේ මිත‍්‍රත්වය නොවෙනස්ව පැවතුණා. මේ රජවරු දෙදෙනා වරින්වර මුණගැසෙනවා. සාමාන්‍යයෙන් රජවරුන් මුණගැසෙද්දී කෙරෙන්නේ නෘත්‍ය සංදර්ශන පැවැත්වීමයි. නැතහොත් මධුපානෝත්සව පැවැත්වීමයි. අන්තඃපුරාංගනාවන් සේවනය කිරීමයි. නැතහොත් දඩයමේ යාමයි. නමුත් මේ රජවරු දෙදෙනා අර සියලූ රජවරුන්ගෙන් වෙන්ව කැපී පෙනෙනවා. මේ දෙදෙනා එකතු වූ විට භාවනා කරනවා. මෙසේ භාවනා කරගෙන යද්දී දෙදෙනා තුළම ටිකෙන් ටික චිත්ත සමාධිය වැඩුණා.

”ප‍්‍රිය මිත‍්‍රයාණෙනි, අපගේ මේ රාජකීය ජීවිතය මට වැටහෙන්නේ ඉතා නිසරු දෙයක් බවයි. මොහොතක් බලනු මැනැව. බොහෝවිට සෑම රජ කෙනෙක්ම මේ රජකම ලබන්නේ උපතින් ලැබෙන දායාදයක් ලෙසයි. නමුත් මේ රජකම ලැබූ විට ඔවුන් තමන්ගේ කාමභෝගී සුඛ විහරණය වෙනුවෙන් ඒ රාජානුභාවය කැප කරනවා. ඔය අතරේ නොයෙක් යුධ කෝළාහලවල පැටලෙනවා. ඇතැම් විට ප‍්‍රාදේශීය රාජ්‍යයන් ආක‍්‍රමණය කරනවා. රාජ්‍ය සීමා පුළුල් කරගන්නවා.

ප‍්‍රිය මිත‍්‍රයාණෙනි, කුමක්ද ඔවුන් සොයන්නේ? අසිපත්වල රුධිරය තවරමින් ජයග‍්‍රහණයක් උදෙසා ඔවුන් මෙහෙයවන සටන අවසන් වන්නේ මධුපානෝත්සව වලින් හා ස්ත‍්‍රී ලෝලත්වයෙන් නොවෙයිද?

ප‍්‍රිය මිත‍්‍රයාණෙනි, මා කල්පනා කරමින් සිටින්නේ මේ රාජ්‍යය මාගේ සොයුරාට පවරා දිගටම භාවනාවේ යෙදීමටයි.”
එතකොට අනිත් රජතුමා නෙත් විදහා සතුටින් සිනහසුණා.

”අගෙයි! අගෙයි! ප‍්‍රිය මිත‍්‍රයාණෙනි, සැබැවින්ම පසුගිය දින කිහිපය මුළුල්ලෙහි මාත් සිත සිතා සිටියේ ඔබ සිතූ කරුණුමයි. රාජකීය ජීවිතය තුළ ඇති ආනුභාව සම්පන්න ආටෝපයට වඩා මහත් මානසික වෙහෙසක් එහි තියෙනවා. නමුත් ප‍්‍රිය සගයාණෙනි, අප දැන් පුරුදු කරන භාවනාවෙන් මොනතරම් ශාන්තියක් අප අත්විඳිනවාද? මට වුණත් එහෙම තමයි. මා බොහෝ විට අස්වැසිල්ලක් ලබන්නේ චිත්ත සමාධිය පුරුදු කිරීමෙනුයි.”

දිනක් මේ රජවරු දෙදෙනා සඳළු තලයෙහි භාවනානුයෝගීව සිටියා. දෙදෙනා තුළම කිසියම් අපූර්ව වූ පරිවර්තනයක් සිදුවෙන්නට පටන් ගත්තා. දෙදෙනාගේම සිත් මැනැවින් එකඟ වී ගියා. දැහැන්ගත වුණා. සතරවෙනි ධ්‍යානය දක්වා සිත වැඞී ගියා. දෙදෙනාම ජීවිතය පිළිබඳව නුවණින් විමසන්නට පටන් ගත්තා. උපත හා මරණය අතර ජීවිතය භවයක් භවයක් පාසා ගැටගසන සියළු රහස් හෙළිදරව් වෙන්නට පටන් ගත්තා. දෙදෙනා තුළම විදර්ශනා ප‍්‍රඥාව වැඩෙන්නට පටන් ගත්තා. දෙදෙනාම නිකෙලෙස් බවට පත්වුණා. අරහත්වයට පත්වුණා. පසේබුදුවරයන් වහන්සේලා බවට පත්වුණා. දෙදෙනාම බොහෝ වේලාවක් අරහත්ඵල සුවයෙන් වැඩසිටියා.

ඇමතිවරු පැමිණ රජවරුන්ට යන්නට වේලා ඇතිබව දැනුම් දුන්නා.

”දේවයන් වහන්ස, දැන් රෑ බෝ වුණා. දැන් ඔබවහන්සේලා සිරියහන්ගැබට වඩින්නට වෙලාවයි.”

”පින්වත, අපි රජවරු නොවෙයි. අප තුළ කිසියම් විරාගී ශාන්ත බවක් ඇති වී තිබෙනවා. මේ මාළිගාව අපට දැන් කැප නෑ. සියලූ ලොවින් නිදහස් වූ අසීමිත තෘප්තිමත් බවක් දැන් අපි අත්විඳිනවා. ඇත්තෙන්ම අපි කැමතියි හුදෙකලා බවට.”

”ඈ! දේවයන් වහන්ස, ඒ කියන්නේ ඔබවහන්සේලා ජීවිතය පිළිබඳව කිසියම් අවබෝධයක් ලැබූ බවක්ද?”

”ඔව්! අපට කිසියම් අවබෝධයක් ලැබූ බවක් වැටහෙනවා. ඒ අවබෝධය මේ ලෝකයට අයත් දෙයක් නොවෙයි. මේ ලෝකය ඉක්මවා ගිය දෙයක්. අමුතු හුදෙකලාවක් ඒ අවබෝධය තුළ තියෙනවා. ඒ තුළ කිසි භයක් තැතිගැනීමක් නෑ. අපූර්ව ස්වාධීනත්වයක් තියෙනවා.”

එතකොට තව ඇමතියෙක් විමසුවා,
”දේවයන් වහන්ස, මං අහලා තියෙනවා භය, තැති ගැනීම් නැති මුනිවරයන් වහන්සේලා ගැන. උන්වහන්සේලාට කියන්නේ පච්චේකබුද්ධ කියලයි. හැබැයි දේවයන් වහන්ස, ඔබවහන්සේලාට මෙන් රාජාභරණ පැළඳ, සුවඳ පැනින් නහවා පන්තිවලට පීරූ කෙස් කළඹක් ඒ පසේබුදුවරුන්ට නැහැ. පසේබුදුවරු කියන්නේ ශ‍්‍රමණ පිරිසක්. කෙස් රැවුල් බාලා, පා සිවුරු ඇතිව කල් ගෙවන ශ‍්‍රමණ පිරිසක්. දැන් ඔබවහන්සේලා කියන්නේ තමන් වහන්සේලා ඒ ශ‍්‍රමණයන්ට අයිතියි කියාද?”

එතකොට රජ ඇඳුමින් සැරසී සිටි දෙදෙනාම හිසට අත තිබ්බා. සැණෙකින් කෙස් රැවුල් නොපෙනී ගියා. රජ ඇඳුම් නොපෙනී ගියා. සිවුරු පෙරවුණා. පාත‍්‍රා අත රැඳුණා. දෙදෙනාම මාළිගයෙන් බැස නොපෙනී ගියා.

මේ පසේබුදුවරයන් වහන්සේලා හිමාලයට වැඩම කළා. පසේබුදුවරුන්ගේ භූමිය වන නන්දමූලක නම් කඳුවලල්ලෙහි ගල් ලෙන් තුළ වැඩසිටියා.

දිනක් මේ පසේබුදුවරයන් වහන්සේලා දෙනම සමවත් සුවයෙන් නැගිට ජීවිතය පිළිබඳව කතා බස් කරන්නට පටන් ගත්තා.

”මං මගේ අතීතය විමසා බැලූවා. මේ අවබෝධය පිණිස පින් රැස්කරගෙන පැමිණි ගමනේදී මං කාශ්‍යප බුද්ධ ශාසනයෙහි පැවිදිව පිළිවෙත් පුරා තිබෙනවා. එකල අවුරුදු විසිදහසක් මා මහණදම් පුරා තිබෙනවා. එකල ඔබ මගේ යහළුවෙක්.”

”එය එසේමයි. මාත් මගේ අතීතය විමසා බැලූවා. අපි දෙදෙනා කාශ්‍යප බුදු සසුනේ රැස් කළ පිනක් උපකාර කරගෙන තියෙනවා. හැබැයි, ඒ කසුප් බුදු සසුනෙහි මිත‍්‍ර සන්ථවයෙන් යුතුව මහණදම් පිරුවේ අප දෙදෙනා පමණක් නොවේ. අපගේ කළණමිතුරු සභාවේ තවත් කෙනෙක් සිටිනවා. ඔහු ගැන ඔබ දුටුවාද?”

”එසේය. මම දිටිමි. දැන් ඔහු තමයි බරණැස රාජ්‍යයෙහි අධිපති රජතුමා. බලන්න ජීවිතයේ වෙනස. එදා කාශ්‍යප බුද්ධ ශාසනයෙහි පැවිදි කිස පුරද්දී ඔහු තමයි අපටත් අවවාද අනුශාසනා කරමින් වත්පිළිවෙත් කරන්නට අනුබල දුන් අපගේ වැඩිමහළු ස්වාමීන් වහන්සේ. එදා අප ලද ඒ අනුශාසනාවන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස දැන් අප විරාගී සුව විඳිනවා. එහෙත් තාම ඔහු රාජ්‍ය පාලනයෙන් සතුටු වෙනවා.”

”එසේය, මාත් අපගේ අතීත මිතුරාණන් තවම හමු නොවීම ගැන විමසා බැලූවා. ඔහු රාජ ඉර්ධියෙන් කුල්මත්ව සිටිනවා. කුසලයෙහි සිත නගාලන්නට වෙහෙසෙන බවක් පෙනෙන්නේ නෑ. නමුත් මා සිතන්නේ අප තුළ ඇති වූ වෙනස ඔහු තුළ ඇතිවීම පිණිස අප සහයෝගය දිය යුතු බවයි. එදා කසුප් බුදු සසුනෙහි පිළිවෙත් පුරන්නට අපව දිරිමත් කළ කරුණු අපට සිහිවෙන හෙයින් අපිත් ඔහුට කෘතගුණ සළකමු.”

ඉතින් දිනක් බරණැස් නුවර රජතුමා සියලූ රාජාභරණයෙන් සැරසී උද්‍යාන ක‍්‍රීඩාවට පිටත් වුණා. එවිට අහස් කුස වළා අතරින් එක්තරා සෙවණැලි දෙකක ලකුණු පෙනී ගියා. ක‍්‍රමක‍්‍රමයෙන් ඉතා පියකරු ශ‍්‍රමණයන් වහන්සේලා දෙනමක් මැවී ගියා. ඒ ශ‍්‍රමණයන් වහන්සේලා රාජකීය උද්‍යානයේ දොරටුව අසළ පිහිටි සුවිසල් උණ පඳුරු සෙවණේ වැඩසිටියා.

වෙනදාට රජතුමා උද්‍යාන ක‍්‍රීඩාවට වඩිද්දී ජනතාව ප‍්‍රීතියෙන් ඔල්වරසන් දෙනවා. නෙත් විදහා බලා සිටිනවා. ගුණ ගයනවා. එහෙත් අද ඊට වෙනස්. අද කරන්නේ රැස් වූ ජනතාව කිසියම් අද්භූත දෙයක් දෙස බලා සිටීමයි. ඇඟිලි දිගු කරමින් පෙන්වීමයි. රජතුමා මෙහෙම හිතුවා.

”අද මොකක්ද මේ වෙනස? මෙවැනි දෙයක් කවදාවත්ම වුණේ නෑ. මාගේ රටවැසියන් තම රජු වෙනුවෙන් නිරන්තරයෙන් යටහත්පහත් බව දක්වනවා. ආදර ගෞරව දක්වනවා. මා දෙසම ඇසිපිය නොහෙලා බලා සිටිනවා. මට ආසිරි පතනවා. අද කුමක්ද මේ සිදුවී තිබෙන්නේ? උද්‍යාන දොරටුව දෙසටමයි මහා ජනකාය නෙත් අයා සිටින්නේ….. අර…. කවුද? ඉතාම පියකරු ශ‍්‍රමණයන් වහන්සේලා දෙනමක්. ෂා….! සැබැවින්ම සුන්දරයි! මනස්කාන්තයි!”

රජතුමාට මේ ශ‍්‍රමණයන් වහන්සේලා දුටු පමණින් අද්භූත හැඟීම් පහළ වෙන්නට පටන් ගත්තා.

”හරි පුදුමයි! අපි ලස්සන වෙන්න මොනතරම් දේවල් කරනවාද? ගාම්භීර බව පෙන්වන්න මොනතරම් ආභරණ පළඳිනවද? ජනතා ආකර්ශනය ලබන්න මොනතරම් විවිධ විචිත‍්‍ර ඇඳුම් අඳිනවද? අර ශ‍්‍රමණයන් වහන්සේලාට කිසිවක් නැහැ. නමුත් උන්වහන්සේලා තුළ අද්භූත පියකරු බවක් තියෙනවා. අලෞකික සුන්දරත්වයක් තියෙනවා. දියෙහි නොතැවරී තිබෙන නෙළුමක් වැනි අපූර්වත්වයක් තියෙනවා.”

රජතුමා ඇතුපිටින් බැස්සේ තමාටත් නොදැනීමයි. රජතුමාගේ සිතෙහි මේ අහසින් වැඩි අද්භූත ශ‍්‍රමණයන් වහන්සේලා දෙනම දුටු කෙණෙහි අමුතු ආදරයක් හටගත්තා. ලෙන්ගතු කමක් හටගත්තා. සෙනෙහෙබර හැඟීම් ඇතිවෙන්න පටන් ගත්තා. රජතුමා ඒ ශ‍්‍රමණයන් වහන්සේලා ළඟට ගොස් මහත් ආදරෙන් කතා කළා.

”පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, ඔබවහන්සේලා දුටු පමණින් මගේ සිතෙහි ගැඹුරු සෙනෙහසක් ඇතිවුණා. පැහැදීමක් ඇතිවුණා. ඔබවහන්සේලාගේ ඉරියව්වල යම්කිසි උදාරත්වයක් පෙනෙනවා. ඇත්තෙන්ම මං කැමතියි ඔබවහන්සේලාගේ නම් දැනගන්න.”

”පින්වත් මහරජතුමනි, අපි ‘නොගැටී සිටින්නමෝ’ යන නම් ඇති අය වෙමු.”

එතකොට රජතුමා සතුටෙන් සිනහසුණා. ප‍්‍රීතියට පත්වුණා. ඒ නම තුළින් කියැවෙන අරුත දැනගන්න ආසා කළා.
”පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, සැබැවින්ම එය අපූරු නමක්. ඒ නම තුළින් කියවෙන අර්ථය දැනගන්නත් මා කැමතියි.”

”පින්වත් මහරජතුමනි, ඒ නමේ ලස්සන අරුතක් තියෙනවා. යම්කිසි දෙයකට ගැටෙන්න නම් එහි ඇලී සිටිය යුතුයි. නොගැටී සිටින්නට නම් නොඇලී සිටිය යුතුයි. පින්වත් මහරජතුමනි, නොඇලී සිටීමමයි එහි ඇති අර්ථය.

පින්වත් මහරජතුමනි, දැන් බලන්න මේ උණ පඳුර දෙස. මේ උණ පඳුර පුරාවට උණ ගසක් ගානේ කඳින් කඳ පවා එකට ඇලී තියෙනවා. වෙලී තියෙනවා. පැටලී තියෙනවා. මේ උණ පඳුරේ අත්තෙන් අත්ත පවා ඒ ඒ අතුවලට එකට වෙලී තියෙනවා. පැටලී තියෙනවා. ඒ වගේම මහරජතුමනි, මේ මුල් දෙස බලන්න. උණ ගසින් උණ ගසට මුල් පවා පැටලී තියෙනවා. වෙලී තියෙනවා. එකතු වී තියෙනවා. එකට සිර වී තියෙනවා.

ඉතින් මහරජතුමනි, අපි සිතමු මෙහෙම. ඔන්න තියුණු කඩුවක් අතින් ගෙන පුරුෂයෙක් එනවා. ඔහු මේ එකට වෙලී පැටලී තියෙන උණ ගසක මුල කපා ඒ ගස පිටතට අදින්නට ගියහොත් මොනතරම් අපහසු වෙයිද?

පින්වත් මහරජතුමනි, අපට සිතෙන්නේ මේ සුවිශාල ලෙස වැඞී එකට පැටලී මුලට මුල පෑස්සී අත්තෙන් අත්ත එකතු වී කඳින් කඳ ගැටී ඇති උණ ගසත් ඔබතුමා වගේමයි කියා. ඔබතුමාටත් මේ උණ පඳුර ලෙසින් වෙලී සිරවී බැඳී පැටලී ඇතුළට පිටත අවුල්ව ගිය ජීවිතයක් නොවෙයිද තිබෙන්නේ?

පින්වත් මහරජතුමනි, මේ බලන්න. කුඩා උණ ගොබයක් තියෙනවා. තවම මේ උණ ගොබය උණ පඳුර අස්සට වැඞී ගොස් සිරවෙලා නැහැ. අත්තෙන් අත්ත පැටලිලා නැහැ. කඳෙන් කඳ පැටලිලා නැහැ. මෙය යම් කෙනෙකුට මුලින් කපා පහසුවෙන් ගලවා ගන්නට පුළුවන් නේද?

පින්වත් මහරජතුමනි, අපිත් රජවරු වෙලා හිටියේ. අපේ රජකම උණ පඳුරේ සිර වූ මහා උණ ගසක් හැටියට නෙවෙයි තිබුණේ. කුඩා උණ ගොබයක් හැටියටයි. අපට ඉතාමත් ලේසියෙන් ඒ උණ ගොබය ගලවා ඉවත් කරගන්න පුළුවන් වුණා. දැන් අපි නිදහස්! අපි අමුතු සුන්දර හුදෙකලාවකයි ජීවත් වෙන්නේ. ඒ නිදහස තුළ සිටින අතරේ තමයි මේ අපි හමුවන්නේ.”

මෙසේ පැවසූ ඒ පසේබුදුවරයන් වහන්සේලා දෙනම රජතුමා බලාසිටියදීම අහසට පැනනැඟුණා. නොපෙනී ගියා. රජතුමා පුදුමයෙන් ගල් ගැසී බලා සිටියා. ඇඟ කිලිපොලා ගියා. ලොමු ඩැහැගත්තා. අද්භූත කම්පනයක් හටගත්තා. උගුර කට වියැළී ගියා. රජතුමා නිහඬව කල්පනා කරන්න පටන් ගත්තා. පෙරළා හැරී ගොස් ඇතු පිට නැග්ගා. උද්‍යාන ක‍්‍රීඩාවට ගියේ නැහැ. මාළිගාවට පිටත් වුණා.

මේ සිදුවීමෙන් පසු ඒ රජතුමාගේ ජීවිතය බලවත් විපර්යාසයකට පත්වුණා. සඳළුතලයට ගොඩවුණ රජතුමා ඈත අහස දෙස බලාසිටිමින් කල්පනා කරනවා.

”ඔව්! ඇලීමක් නිසාමයි ගැටීමක් හටගන්නේ. ඇලීමක් නැත්නම්, මොනවට ගැටෙන්නද? ඇත්ත! මමත් මේ ඇලීමත්, ගැටීමත් අතර නොවෙයිද සිරවී සිටින්නේ….?”

රජතුමා බිම වාඩි වුණා. පළඟක් බැඳගත්තා. නෙත් පියා ගත්තා. භාවනා කරන්නට පටන් ගත්තා. තමාටත් නොදැනීම සිත යොමු වුණේ ආශ්වාස ප‍්‍රශ්වාසයටයි. ක‍්‍රමක‍්‍රමයෙන් රජතුමාගේ සිත සංසිඳෙන්නට පටන් ගත්තා. සමාධිගත වෙන්නට පටන් ගත්තා. සසරේ පුරන ලද පුණ්‍යානුභාවය නිසා ඒ සිත වහා දැහැන්ගත වුණා. ඇලීමත්, ගැටීමත් අතර මේ සිත පවතින්නේ මක්නිසාද කියා රජතුමා විමසන්නට පටන් ගත්තා. ක‍්‍රමක‍්‍රමයෙන් ජීවිතය පිළිබඳව මෙතෙක් නොඇසූ විරූ අවබෝධයක් ඇතිවෙන්නට පටන්ගත්තා. විදර්ශනා ප‍්‍රඥාව වැඩෙන්නට පටන්ගත්තා. උණ පඳුරක සිරවී ඇති වැඩුණු උණ ගසේත්, පහසුවෙන් ගැලවිය හැකි උණ ගොබයේත් වෙනස වැටහෙන්නට පටන් ගත්තා. දූ පුතුන් කෙරෙහිත්, අඹුදරුවන් කෙරෙහිත් නොඇලී සිටින ප‍්‍රඥාව මතුවෙන්නට පටන් ගත්තා. නිකෙලෙස් බවට පත්වුණා. අරහත්වයට පත්වුණා. පසේබුදුවරයන් වහන්සේ නමක් බවට පත්වුණා.

රජතුමාගේ මේ වෙනස දැනගත් රජබිසවත්, දරුවනුත් රජතුමා වටකරගත්තා. ආදර බස් දොඩන්න පටන්ගත්තා. දිගටම රාජ්‍යකරණයේ යෙදෙන්න කියලා අයැදින්න පටන් ගත්තා. එතකොට රජතුමා මෙහෙම පිළිතුරු දුන්නා.

”මට දැන් ඒවා කිසිවක් කැප නෑ. මගේ ලෝකය තුළ ඒ කිසිවක් නෑ. මං දැන් අපූරු නිදහසක් භුක්ති විඳිනවා. අද්භූත විරාගී බවකින් මේ සිත පිරී තියෙනවා.”

”ඒ කියන්නේ අර ශ‍්‍රමණයන් වහන්සේලා පැවසූ නොඇලෙන, නොගැටෙන අපූර්වත්වය ඔබවහන්සේ තුළත් ඇතිවුණා කියලද? ඔබතුමා රජෙක් නොවැ! රජෙක් තුළ කොහොමද එවැනි දෙයක් ඇතිවෙන්නේ? එවැනි දේ ඇතිවෙන්නේ කෙස් රැවුල් බා, කසාවත් දරා සිටින ශ‍්‍රමණයන් වහන්සේලා තුළ නොවේද?”

එතකොට තවමත් රජකෙනෙකුගේ වේශයෙන් සිටින මෙතුමා හිස අතගෑවා. සැණෙකින් කෙස් රැවුල් අතුරුදහන්ව ගියා. කසාවත් පෙරැවී ගියා. සොඳුරු ශ‍්‍රමණයන් වහන්සේ නමක් දිස්වුණා. ඒ පසේබුදුවරයන් වහන්සේ මෙම ගාථාව වදාළා.

වංසෝ විසාලෝ ව යථා විසත්තෝ
පුත්තේසු දාරේසු ච යා අපේඛා
වංසකලීරෝ ව අසජ්ජමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

”අඹුදරුවන් ගැන මේ හිත බැඳී ඇති ආකාරය පිළිබඳව හරි විදිහට කල්පනා කොට බැලූවොත් එක පඳුරේ පැටලී ගිය සුවිශාල උණ ගසක් වගෙයි. නමුත් උණ ගොබය එහෙම නෑ. එය තිබෙන්නේ කිසිවක නොපැටලී. මං කැමති එයටයි. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴

ලොකුම දක්ෂකම නුවණින් විමසීමමයි.

$
0
0
4_3 stanza

3 ගාථා රත්නය
මිරිඟුවක් මුල්කොට භාවනා කළ භික්ෂුවගේ කථා වස්තුව

“ලොකුම දක්ෂකම නුවණින් විමසීමමයි.”

පින්වතුනේ, පින්වත් දරුවනේ,

“අපට ඕනතරම් දේවල් සිතන්න පුළුවන්. ඒකට කවුරුත් බාධා කරන්නෙත් නෑ. කාටවත් පේන්නෙත් නෑ. කාටවත් හොයන්නත් බෑ. ඒ නිසා හොඳ වේවා, නරක වේවා ඕන දෙයක් හිතන්න පුළුවන්” කියලයි අපට සිතෙන්නේ. ඒ වුනාට අප සිතන දේවල් දකින්න පුළුවන් අය මේ ලෝකයේ ඉන්නවා. ඒ වගේම සිතන්න ඕන ආකාරය කියා දීමට දක්ෂ අයත් මේ ලෝකයේ ඉන්නවා. ඒ වගේම ඒ අනුව සිතා යහපත සලසා ගත් අයත් ලෝකයේ ඉන්නවා.

කෙනෙකුට තිබිය යුතු ලොකුම දක්ෂකම නම් නුවණින් විමසීමමයි. නුවණින් විමසීම බාහිර දෙයක් නොවෙයි. තමා තුළ තිබෙන දෙයක්. ඒක මේ විදිහයි. දැන් චුට්ටක් හිතන්න. අපට ඇසක් තිබෙනවා. ඒ වගේම කණ්, නාසය, දිව, ශරීරය ආදිය තිබෙනවා. මේවා අපි හඳුන්වන්නේ අපගේ කියල නෙ. ඒ වගේම අපි කල්පනා කරනවා, සිතනවා, සිතින් නොයෙකුත් නිර්මාණ කරනවා. මේවා තිබෙන්නේ අප තුළමයි. ඉතින් අප තුළ තිබෙන මේ දේවල් අතර වටිනාම දේ කුමක්ද? එය හඳුනාගත්තේ බුදුරජාණන් වහන්සේ පමණයි. උන්වහන්සේ මෙහෙමයි වදාළේ.

“පින්වත් මහණෙනි, තමා තුළ තිබෙන දේවල් අතර මෙතරම්ම තමාගේ යහපත පිණිස බලපාන යමක් ඇද්ද, පින්වත් මහණෙනි, නුවණින් විමසීම තරම් අන් කිසිම දෙයක් මං බුදු ඇසින් දකින්නෙ නෑ. පින්වත් මහණෙනි, මහත් වූ යහපත පිණිස පවතින්නේ නුවණින් විමසීමමයි.”

(අංගුත්තර නිකාය – ඒකක නිපාතය)

ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, නුවණින් විමසීමේ දක්ෂතාවය නැති කෙනෙකුට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ වටිනාකම තේරෙන්නෙ නෑ. එතකොට එබඳු අය වටිනා දේ අත්හැරලා නොවටිනා දේ අල්ලගන්නවා. නමුත් නුවණින් විමසන කෙනා එහෙම නොවෙයි. ඒ තැනැත්තා ඉතාමත් දක්ෂ විදිහට වටිනාම දේ අල්ලගන්නවා. නොවටිනා දේ අත්හරිනවා.

ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසූ එක්තරා පින්වත් දරුවෙකුට මහණ වෙන්නට සිතුනා. ඉතින් ඔහු ගෙදරින් අවසර ගෙන සියලූ දේම අත්හැරලා මහණ වුනා. ඔහුගේ බලාපොරොත්තුව කුමක්ද? අපේක්ෂාව කුමක්ද? පැතුම කුමක්ද? සිහිනය කුමක්ද? එය හරිම අමුතු දෙයක්. විශේෂ දෙයක්. නුවණින් විමසන කෙනෙක් විතරක්ම දකින දෙයක්. ඒ ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ මෙහෙමයි.

”පින්වත් මහණෙනි, අතීත කාලේ වුනත් යම් පින්වත් දරුවන් ගිහි ජීවිතය අත්හැර බුද්ධ ශාසනයෙහි ඉතා යහපත් ලෙස පැවිදි වුනා නම්, ඒ සියලූ දෙනාම පැවිදි වුනේ චතුරාර්ය සත්‍යය ධර්මය ඒ ආකාරයෙන්ම අවබෝධ කරගැනීම පිණිස පමණයි. ඒ වගේම පින්වත් මහණෙනි, අනාගත කාලෙදී වුනත් යම් පින්වත් දරුවන් ගිහි ජීවිතය අත්හැර බුද්ධ ශාසනයෙහි ඉතා යහපත් ලෙස පැවිදි වෙනවා නම්, ඒ සියලූ දෙනාම පැවිදි වෙන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය ඒ ආකාරයෙන්ම අවබෝධ කර ගැනීම පිණිස පමණයි. ඒ  වගේම පින්වත් මහණෙනි, අද වුණත් යම් පින්වත් දරුවන් ගිහි ජීවිතය අත්හැර බුද්ධ ශාසනයෙහි ඉතා යහපත් ලෙස පැවිදි වෙනවා නම්, ඒ සියලූ දෙනාම පැවිදි වෙන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය ඒ ආකාරයෙන්ම අවබෝධ කරගැනීම පිණිස පමණයි.”

(සංයුත්ත නිකාය 5-2 – සච්ච සංයුත්තය)

ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, පැවිදි ජීවිතයේ සැබෑම අර්ථය ඒ ස්වාමීන් වහන්සේ හොඳින් දැනගෙන හිටියා. පැවිදිව උපසම්පදා වෙලා හුදෙකලාවේ භාවනා කිරීමට කැමැත්තක් ඇතිවුනා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේව බැහැදැක, උන්වහන්සේගේ ශ‍්‍රී පතුල් නළළ තබා වන්දනා කළා. එකත්පස්ව වාඩි වුනා. මෙහෙම කිව්වා. ”ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මං ටික කලක් හුදෙකලාවේ භාවනා කරන්නටයි කැමති. එනිසා මං ටිකක් ඈතට යනවා. මට ප‍්‍රගුණ කළ යුතු උතුම් ධර්මය අනුකම්පාවෙන් කියා දෙන සේක්වා!”

”හොඳයි, පින්වත් භික්ෂුව. ඔබ කළ යුත්තේ නුවණින් විමසීමමයි. නුවණින් විමසන කෙනෙකුට පංච උපාදානස්කන්ධයේ සැබෑ ස්වභාවය දකින්නට අවස්ථාව ලැබෙනවා. එතකොට තමයි ‘මමය, මාගේය, මාගේ ආත්මයය’ කියා සිතා සිටින්නා වූ දේ පිළිබඳව සත්‍යය අවබෝධ වෙන්නේ. එදාට එය අත්හරීවි. ඒ සඳහා කළ යුත්තේ නුවණින් විමසීම මයි.”

මේ ස්වාමීන් වහන්සේ මෙය හොඳට හිතට ගත්තා. බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට ප‍්‍රදක්ෂිණා කොට පාත‍්‍රයත්, තුන්සිවුරත් ඇතිව පිටත් වුනා. ඈත පළාතකට වැඩියා. ලස්සන වන ගොමුවකුත් ලැබුනා. හුදෙකලා කුටියකුත් ලැබුනා. ගමට පිණ්ඩපාතෙ වඩිනවා. සිහිය දියුණු කරන්නට හරියට මහන්සි ගන්නවා. අකුසල් බැහැර කරන්න ගොඩාක් වීරිය කරනවා. නුවණිනුත් විමසනවා. හැබැයි චිත්ත සමාධිය වැඩෙන්නෙ නැහැ. මහන්සියේ තරමට ප‍්‍රතිඵල නැහැ. කොයිතරම් වීරිය කළත් චිත්ත සමාධිය වැඩෙන්නේ නැතිවෙන කොට අවබෝධය පිණිස සිත සකස් වෙන්නෙ නැහැ. ඉතින් අන්තිමේදී මේ ස්වාමීන් වහන්සේ ආයෙමත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව සොයාගෙන වඩින්නට තීරණය කළා. නැවත සැවැත් නුවර බලා එන්නට පිටත් වුනා.

ඒ දිනවල අව්ව සැරයි. උන්වහන්සේ පාරේ වඩිද්දී ඈතින් පේන්නෙ පාර මැද ජලාශයක් තියෙනවා වගෙයි. හොඳින් බැලූවා. “අර පේන්නේ කුමක්ද? වැස්සෙ නැහැ නෙව. මෙතරම් වතුර කොහෙන්ද? පාර මැද්දේ ජලාශයක් කොහෙන්ද? නෑ. මේක වෙන්න බෑ.” ඉතින් උන්වහන්සේ එතනට ළං වෙන කොට ජලාශය එතන නැහැ. දැන් ජලාශය පේන්නෙ ගොඩක් ඈතින්. උන්වහන්සේ මෙහෙම හිතුවා.

“ඇත්තෙන්ම මේක තමයි මිරිඟුව. මිරිඟුව කියන්නේ මහා පුදුම දෙයක්. ඇත්ත වගේමයි පෙනෙන්නේ. යමක් තියෙනවා වගේමයි පෙනෙන්නේ. නමුත් ළං වෙලා බලද්දී එය එතන නැහැ. ඈත තියෙන්නේ. කවරදාකවත් මිරිඟුව අල්ලන්න බැහැ. මට හිතෙන්නේ මේ අපට පේන ලෝකයත් මිරිඟුවක් වගේ කියලයි. අප හඳුනාගන්නා දෙය කවදාවත් අප ළඟ රඳවා ගන්නට බැහැ. වෙනස් වෙලා යනවා. බලාපොරොත්තුවක් හැටියට සිතා සිටින දේත් අපගේ අතට පත්වෙද්දී වෙන බලාපොරොත්තුවක් ඈතින් දිස්වෙනවා. මිරිඟුවක් පසුපස යාම වගේමයි.”

මේ විදිහට ඒ ස්වාමීන් වහන්සේ ඉතා හොඳින් නුවණින් විමසන්නට පටන්ගත්තා. දැන් සැවැත් නුවරට සමීපයි. අචිරවතී නදිය ළඟට පැමිණුනා. උඩ පළාතට වැහැලා. නදියේ වතුර මඩ පාටින් ගලා බසිනවා. නදිය පුරාවට පෙණ කැටි පිරිලා තියෙනවා. ඒවා ගඳයි. ටිකෙන් ටික වියැකී යනවා. උන්වහන්සේ මේ ගංගාවේ පහළට ගලා යන පෙණ කැටි දිහා බලා සිටියා. ගං ඉවුරේ රැඳී තියෙන විශාල පෙණ කැටි දිහා බලා සිටියා. උන්වහන්සේට මතක් වුනේ මේ ශරීරයයි. මේ ශරීරයත් මේ විශාල පෙණ ගුලිය වගෙයි. ගඳයි. ක‍්‍රමක‍්‍රමයෙන් රෝගී වෙලා වයසට ගිහින් දිරලා මැරිලා යනවා. පෙණ ගොඩක ඇති අර්ථය කුමක්ද? පෙණ ගොඩක් සමඟ සෙල්ලම් කිරීමෙන් කුමක් ලබන්නද? පෙණ ගොඩකට ආසා කිරීමෙන් කුමක් ලබන්නද? පෙණ ගොඬේ ස්වභාවය නම් කෙමෙන් කෙමෙන් අභාවයට පත්වීමයි.”

4_3 stanzaඋන්වහන්සේ ගං ඉවුරේ වාඩි වුනා. පෙණගොඩ දෙස බලා මෙලෙසින් නුවණින් මෙනෙහි කරන විට විසුරුණු සිත ටිකෙන් ටික තැන්පත් වෙන්නට පටන්ගත්තා. දෙව්රම් වෙහෙරේ වැඩසිටි අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙය නුවණින් දුටු සේක. තමන්ගේ ශ‍්‍රාවකයන් වහන්සේ නමක් ගං ඉවුර මත වාඩි වී සත්‍යය දකින්නට වෙහෙසෙන අයුරු උන්වහන්සේ දුටු සේක. කෙමෙන් කෙමෙන් ඒ ශ‍්‍රාවකයන් වහන්සේගේ සිත තැන්පත් වී යන අයුරු නුවණින් දුටු සේක. එවිට බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේ ඉදිරියේ ආලෝකයක් පතුරුවා මෙම ගාථා රත්නය ඇසෙන්නට සැලැස්සුවා. දැන් ඒ භික්ෂුව පෙණ ගොඩ දෙස බලාසිටිද්දී ඉතාම මිහිරි ස්වරයෙන් අර්ථවත් ගාථාවක් ඇහෙන්නට පටන් ගත්තා. එහි අරුත් ටිකෙන් ටික වැටහෙන්නට පටන් ගත්තා. සිහි නුවණ හොඳින් පිහිටියා. හිත ඉතා හොඳින් සමාධිමත් වුනා. මුලාව විනිවිද සත්‍යය මතුවුනා. නිකෙලෙස් වුනා. රහතන් වහන්සේ නමක් බවට පත්වුනා. උන්වහන්සේගේ ජීවිතය අමා නිවන කරා රැගෙන ගිය ඒ ගාථාව මෙයයි.

ඵේණූපමං කායමිමං විදිත්වා
මරීචිධම්මං අභිසම්බුධානෝ
ඡෙත්වාන මාරස්ස සපුප්ඵකානි
අදස්සනං මච්චුරාජස්ස ගච්ඡේ

දැනගෙන මේ කය නුවණින් - නිසරු පෙණ පිඬක් විලසින්
හඳුනාගන්නා සියල්ල - දැනගෙන මිරිඟුවක් ලෙසින්
මාරයාගෙ ලොවට බැඳෙන - මල් දම් සිඳගෙන නුවණින්
මරු නොදකින ඒ නිවනට - යන්නට පුළුවනි සැණෙකින්

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේට මේ කය දෙස නුවණින් දකින්න කීවේ පෙණ ගොඩක් දෙස බලන විදිහටයි. මේ කය දෙස ඒ විදිහට බලන එක ලෙහෙසි නෑ. ලෝකයේ බොහෝ දෙනා කතා කරන්නේ ලස්සන කොණ්ඩයක් ලැබීම ගැනයි. එහෙම නැත්නම් සුදෝ සුදු දත් දෙපලක් ලැබීම ගැනයි. එහෙම නැත්නම් කුරුලෑ නැතිකර ගැනීම ගැනයි. එහෙම නැත්නම් දිලිසෙන සමක් ලැබීම ගැනයි. එහෙමත් නැත්නම් ලස්සනට ඇඟපත සකස් කරගැනීම ගැනයි. මෙයට වසඟ වී සිටින සාමාන්‍ය ලෝක සත්වයාට සත්‍යය දකින්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ සියලූ දෙනාම අසත්‍යය තුළ තෘප්තියක් විඳින්නට හරි ආසයි. ඒ අසත්‍යයට තමයි සම්මාන ලැබෙන්නේ. ගෞරව ලැබෙන්නේ. ප‍්‍රශංසා ලැබෙන්නේ.

කවුරුන් හෝ කිව්වොත් මේ කය පෙණ ගොඩකට උපමා කොට බලන්න කියා, එයාට ඒක තේරෙන්නෙ නෑ. එයාට හිතෙන්නෙ මහා අමුතු දෙයක් කිව්වා කියලයි. මහා වැරැද්දක් වගෙයි පෙනෙන්නේ. ජීවිතය දිහා අසුභවාදීව බැලූවා කියලයි හිතෙන්නේ. ඒක ඍණාත්මක චින්තනයක් කියලයි කියන්නේ. ඒ නිසා බැලූ බැල්මට මතුපිටින් සොයද්දී මේ තුළ ජීවිත අවබෝධයට ඍජු උපකාරයක් තියෙනවා කියා මෝඩ කෙනෙකුට සොයන්නට බැහැ. මෝඩ කෙනා ආශ්වාදය සොයන්නේ මේ කය තුළින්ම නෙ.

බුද්ධිමත් අය ලෝකයේ ඉන්නවා. ඒ අය නුවණින් විමසන්නට දක්ෂයි. ඒ බුද්ධිමත් අය උදෙසා තමයි බුදු කෙනෙකුගේ ධර්මය තියෙන්නේ. ඒ බුද්ධිමත් කෙනා බුදුරජාණන් වහන්සේ සත්‍යය මතුකොට පෙන්වද්දී අසත්‍යය මැකී යන ආකාරයෙන් සත්‍යය ඉස්මතු කරගන්නට සමත් වෙනවා. ඉතින් ඒ සමර්ථකම කෙනෙකුට තිබුනොත් ගඳ ගසන පෙණ ගොඩක් වියැකී යන ස්වභාවයෙන්ම මේ ශරීරයත් යුක්ත යැයි නුවණින් දකිනවා.

ඒ වගේම අප හඳුනාගන්නා රූප, අපට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගඳසුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස ගැන චුට්ටක් සිතන්න. ලස්සන රූප දකින්නට අපි කොයිතරම් ආසයිද? ඒවා තියෙන තැන් සොයාගෙන යනවා. මිහිරි සංගීතයට අපි කොයිතරම් ආසයිද? ලස්සන කටහඬ සොයන්නට අපි තරඟ පවත්වනවා. දිවා රෑ දෙකේ නිදිවරාගෙන මිහිරි හඬ සොයනවා. මිහිරි හඬක් ලැබුනා කියා සතුටු වෙනවා. නමුත් ආයෙමත් මිහිරි හඬක් සොයලා අලූතෙන් තරඟ තියෙනවා. මේකෙ ඉවරයක් නෑ. ඈතට මිරිඟුව පේනවා. මිරිඟුවට ළං වෙනවා. එතකොට මිරිඟුව එතන නෑ. නමුත් ඈතින් ආයෙමත් මිරිඟුව පේනවා.

නාසයෙන් සුවඳ දැනගනිද්දිත් මොන තරම් අපි සුවඳ වර්ග සොයනවාද? ප‍්‍රණීත ආහාරයක රසය සොයන්නට කොයිතරම් සිහින මවනවාද? මහන්සි වෙනවාද? නමුත් රසය සෙවීමේ අවසානයක් නෑ. කයට දැනෙන පහස සොයන්නට ගිහින් සම්මතය දෙදරවාගෙන අමාරුවෙ වැටෙන අය කොතරම් ඇද්ද? ගිම්හාන කාලයට ජලය හිඟයි. එතකොට පිපාසයෙන් තොළ කට වේලූන මුවරංචු දිය සොයාගෙන පියමං කරනවා. ඔවුන්ට ඈතින් මිරිඟුව පෙනෙද්දි හරිම සතුටුයි. තව මොහොතකින් මගේ පිපාසය සංසිඳේවි කියල වතුර බොන හැටි සිත සිතා ඒ තුළම ජීවත් වෙමින් මිරිඟුව පසුපස යනවා. හඹාගෙන යනවා. නමුත් ඒ පෙනෙන මිරිඟුව හැමදාම ඈතයි. අන්තිමේදී ඒ මුවරංචුව පිපාසය නිසාම මැරී වැටෙන්නේ මිරිඟුවට රැවටිලයි. එසේ මැරී වැටෙද්දී පවා සිතෙන්නේ තව පොඩි වෙලාවක් සිටියොත් වතුර බොන්න පුළුවන් කියලමයි. මිරිඟුව තුළ මායාවක් තියෙන බව ඒ අහිංසක සතුන් කිසි දවසක තේරුම් ගන්නෙ නෑ. අපේ ජීවිතයත් ඔය වගේම තමයි.

මේ ඇස, කණ, නාසය, දිව, කය, මනස යන හයට බලපුළුවන්කාරකම් කරන පුද්ගලයෙක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඔහුව හඳුනාගත්තා. ඔහුට තමයි ‘මාරයා’ කියන්නේ. ඔහු ලෝකයට අතිවිශාල බලපෑමක් කරනවා. ලෝක සත්වයා තමාගේ යටතේ රඳවාගන්නට ගොඩාක් මහන්සි වෙනවා.

මාරයා කියන්නේ තනතුරක්. එතැනට කර්මානුරූපව පුද්ගලයෙක් උපත ලබනවා. ඊට පස්සේ ඔහු මේ ලෝකය හසුරුවන්නට පටන් ගන්නවා. ඔහු කැමති නෑ ලෝක සත්වයා මෙයින් නිදහස් වෙනවාට. ඇස, කණ, නාසය, දිව, කය, මනස අවබෝධ කරනවාට ඔහු කිසිසේත් කැමැති නෑ. ඔහු කැමති වෙන්නේ එයට මුළා වී සිටිනවාටයි. මේ මාරයා බුදුරජාණන් වහන්සේට හරියට බාධා කළා. ඒ සියලූ බාධා මැඬගෙන මාර බලය මර්ධනය කොට බුදුරජාණන් වහන්සේ ජයගත්තා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් වහන්සේලාට හරියට කරදර කළා. ධර්ම මාර්ගයට බාධා කළා. ඒ ගැන බුදුරජාණන් වහන්සේ නිතර නිතර පෙන්වා දෙනවා. සිහියෙන්ම ඉන්න කියල කිව්වා. මෙයින් බේරෙන්නට තිබෙන්නේ සතර සතිපට්ඨානය වැඞීමෙන් පමණයි කියලා පෙන්වා දුන්නා.

මේ ගාථාවේ පෙන්වා දෙනවා මාරයාට මල් තියෙනවා කියලා. මාරයාගේ මල් මාලාව තමයි ලස්සන රූප. මිහිරි ශබ්ද. මිහිරි සුවඳ. ප‍්‍රණීත රස. සිනිඳු පහස. මේ පංච කාම ගුණයන්ට ලෝක සත්වයා හසුවෙන්නෙ තොණ්ඩුවකට හසුවෙන සතෙක් වගෙයි. ඇමයක් ගිලින මාළුවෙක් වගෙයි. එය සිඳබිඳගෙන යන එක ලෙහෙසි නෑ. එයට ලොකු වීරියක් ඕන. ඉතාමත් දක්ෂ නුවණක් ඕන. කැපවීමක් ඕන. ප‍්‍රමාද නොවීමක් ඕන. අතිශයින්ම දක්ෂ වෙන්නට ඕන. ඉතින් මේ ස්වාමීන් වහන්සේට පංච කාමය කෙරෙහි ඇති ආශාව සිඳ දමන්නට පුළුවන් වුනා.

මාරයා පුද්ගලයාව හසුරුවන්නේ ඔහු තුළ ඇති කෙලෙස් වලිනුයි. ඉතින් කෙනෙක් ඒ කෙලෙස්වලට ඉඩ නොදී පංච කාමය කෙරෙහි ආශාව නැතිකොට සිත සමාධිගත කරගත්තොත් ඒ වෙලාවට ඔහුගේ ධර්ම මාර්ගයට බාධා කරන්නට මාරයාට පුළුවන්කමක් නැහැ. ඒ වගේම හොඳට සමථ විදර්ශනා වඩා නිකෙලෙස් භාවයට පත්වුනොත් ඒ කෙනා පිරිනිවන් පානවා. මාරයාට කිසිසේත්ම රහතන් වහන්සේගේ උපතක් සොයන්නට බැහැ. මේ නිසයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් මාරයා නොදකින තැනට යන්න කියල පවසා වදාළේ. මාරයා නොදකින තැනට යන්නට ඇත්නම් කොයිතරම් අගේද!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අසිරිමත් පසේබුදු පෙළහර 5

$
0
0
pasebudu-pelahara-5


නොබැඳී කිසිවකට – වනයේ සිටින මුවා
රිසි ලෙස සැරිසරයි – ගොදුරු ද සොයන නියා
නුවණැති කෙනා මෙලෙසින් – නිදහසේ අගය දකිමින්
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….

Sample Image

පගේ ශාස්තෘන් වහන්සේ පසේබුදුවරයන් වහන්සේ නමක් පැවසූ තවත් ගාථාවක් ගැන වදාළා. සසරෙහි කරන ලද අනන්ත පුණ්‍යානුභාවයෙන් යුතු එක්තරා දිව්‍ය පුත‍්‍රයෙක් දිව්‍ය සැප විඳිමින් වාසය කළා. මේ දිව්‍ය පුත‍්‍රයාගේ ආයුෂ ක‍්‍රමක‍්‍රමයෙන් නිමා වෙමින් තිබුණා.

ඔය අතරේ මිනිස් ලොව ද පසේබුදුවරුන්ගේ යුගය පහළව තිබුණා. එකල බරණැස් නුවර රජුගේ අන්තඃපුරයෙහි විසිදහසක් පුරාංගනාවන් සිටියා. ඔවුන් කිසිවෙකුටත් පිරිමි දරුවෙකු පිළිසිඳගත්තේ නෑ. මේ නිසා අමාත්‍ය මණ්ඩලය පවා රජතුමාට රජ පරපුර අවසන් වීමෙහි අනතුර පෙන්වා දුන්නා.

“පින්වත් දේවයන් වහන්ස, රජ පරම්පරාව ඔබවහන්සේගෙන් අවසන් විය යුතු නෑ. ඉදිරියටත් රජ පරම්පරාව පැවැත්විය යුතුයි. එසේ නොවුණහොත් අප සියලූ දෙනාටම අනතුරක්. එනිසා දේවයන් වහන්ස, ඔබවහන්සේට දාව පුත් කුමරෙක් ලබාගැනීම අප අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙන දෙයක්මයි.”

මේ ගැන රජතුමාත් කල්පනාවට වැටුණා. රජකමට සුදුසු පින්වත් දරුවෙක් ලබන්නට නම් බිසව සිල්වත් විය යුතු බව එකල කවුරුත් දැනසිටියා. ඉතින් රජතුමා ඒ සඳහා යම්කිසි උපෝසථ සීලයක අගබිසව සමාදන් කරවන්නට කල්පනා කළා. ඇමතිවරු රජතුමාට උපදෙස් දුන්නා.

“දේවයන් වහන්ස, ඔබවහන්සේගේ බිසවුන් වහන්සේලා අතර අගබිසව ඉතාමත් ඤාණවන්තයි. ඉතාමත් සීලවන්තයි. එනිසා මහරජතුමනි, යම් කුලාංගනාවක් සැබෑ බස් තෙපලන්නී ද, සිල්වත් වන්නී ද ඕ තොමෝ උදාර වූ පුණ්‍යවන්ත වූ පුත‍්‍රලාභය පිණිස භාග්‍ය දරන්නීය. මහරජතුමනි, හිරිඔතප් දරණ අපගේ අගබිසවුන් වහන්සේ පුත‍්‍රලාභයට සුදුසුවන බව අපගේ ඒකාන්ත විශ්වාසයයි.”

මෙකරුණ සැළ වූ විට රජබිසව මහත් ප‍්‍රීතියට පත් වුණා. සතුටු වුණා. උදාර වූ පුත්රුවනක් ලැබීමට තරම් තමා පිනැත්තියක බව සිහි කරමින් සතුටු වුණා. ඇය පුන් පොහෝ දිනයෙහි සුවඳ පැන් නා, සුදු වත් හැඳ, උඩු මහලට ගොස් සිල් සමාදන් වුණා. වත් පිළිවෙත් පිරුවා. මෙත් වැඩුවා. ඇයගේ පුණ්‍යානුභාවය තව්තිසා දෙව්ලොව දක්වා පැතිර ගියා.

දිනක් එලෙස මෙත් වඩමින් සිටියදී ඇය ඉදිරියෙහි එක්තරා දෙවියෙක් පෙනී සිටියා. ඒ දෙවියා අන් කවරෙකුවත් නොව සක්දෙවිඳු බව ඇය දැනසිටියේ නෑ. ඒ සක් දෙවිඳුන් ඇය ඉදිරියේ සිට මෙසේ විමසුවා.

“පින්වත් රාජදියණියෙනි, මම ඔබ කෙරෙහි පහන් වූ සිතැත්තෙමි. එනිසා ඔබට වරයක් දෙනු කැමැත්තෙමි.”

මෙය ඇසූ අගබිසව මහත් ප‍්‍රීතියට පත්වුණා. සිත පිනා ගියා. බබලන නෙතින් යුතුව ගෞරවාචාර කරමින් දෑත් බැඳගත් ඕ තොමෝ සක් දෙවිඳුන් හට මෙසේ පැවසුවා.

“අනේ පින්වත් දේවතාවුන් වහන්ස, මම මහත් දුකට පත් වූ තැනැත්තියක් වෙමි. පින්වත් පුත් රුවනක් පතාගෙන මා උතුම් සීලයක් දරා සිටින්නියක වෙමි. වත්පිළිවෙත් කරමින් මෙත් වඩමි. මා කෙරෙහි අනුකම්පාවෙන් මා හට පුත් රුවනක් ලබා දෙන වරයක් දෙන සේක්වා!”

“පින්වත් රාජදියණියෙනි, සතුටින් වසනු මැනැව. නොබෝ දිනෙකින් නුඹගේ මන දොළ සපිරෙන්නේය!”

එසේ පැවසු සක් දෙවිඳු නොපෙනී ගියා. දෙව්ලොව පහළ වුණා. දිව්‍ය සභාව රැස් කළ සක් දෙවිඳු විමසන්නට පටන් ගත්තා.
“පින්වත් දෙවිවරුනි, මනුලොව එක්තරා රාජ දියණියක් පින්වත් පුත් රුවනක් පතා බොහෝ පින් කරයි. සිල් ගුණදම් රකියි. මේ සභාවෙහි ආයුෂයාගේ අවසානය කරා යන දෙව්පුත්හු සිටිත්ද?”

“පින්වත් ශක‍්‍ර දේවේන්ද්‍රය, මෙතැන සිටිනා අපගේ මහා පදුම නම් දෙව්පුතු දෙස බලනු මැනැව. මේ දිව්‍යපුත‍්‍රයාගේ ආයුෂ අවසන් වෙමින් තිබේ. දැන් මොහුගේ අදහස ඉහළ දිව්‍ය ලෝකයක ඉපදීමටයි.”

“දරුව, මහා පදුම. ඔබට ගැලපෙන්නේ ඉහළ දෙව්ලොවක ඉපදෙන්නට නොවේ. ඔබට ගැලපෙන්නේ මිනිස් ලොවයි.”

“පින්වත් ශක‍්‍ර දේවේන්ද්‍රය, මා සිතා සිටින්නේ මනු ලොව යෑමට නොවෙයි. ඇත්තෙන්ම මට මිනිස් ලොව පිළිකුල්. මා කැමති මීට වඩා උසස් දිව්‍ය ලෝකයක උපදින්නටයි.”

“දරුව, එසේ නොකියන්න. මේ දෙව්ලොව එන්නට පළමු පින් රැස් කරගන්නා ලද්දේ මිනිස් ලොවදී බව අමතක කරන්නේ මන්ද? එනිසා යළිත් ඔබට පින් කරගැනීමට අවස්ථාවක් ලැබී තිබේ.”

“අහෝ! ශක‍්‍ර දේවේන්ද්‍රය, දස මාසයක් මාතෘ ගර්භයක වාසය කිරීමට මා තුළ කිසි කැමැත්තක් නැහැ. ඇත්තෙන්ම මව් කුසක උපදින්නට මට වුවමනාවක් නැහැ…. නැහැ… නැහැමයි.”

“පින්වත් දරුව, ඇත්ත. මව්කුසක උපදින්නට ඔබේ කැමැත්තක් නැති බව මට වැටහේ. මිනිස් ලොව උපදින්නට මව්කුසක්ම වුවමනාද? පින්වත් දරුව, ඔබට ඕපපාතිකව මිනිස් ලොව උපදින්නට වාසනාව තිබේ. එනිසා ඔබට උපත උරුමව තිබෙන්නේ නෙළුම් මලක උපදීමටයි. එය ඔබ විසින් පෙර භවයේ කරන ලද පිනක් නිසා ලැබෙන දෙයක්.”

සක් දෙවිඳුන් එසේ පැවසූ විට මහා පදුම දිව්‍යපුත‍්‍රයා මිනිස් ලොව ඉපදීමට කැමති වුණා. ඔහු දෙව්ලොවින් චුත වුණා. බරණැස් රජුගේ උද්‍යානයෙහි ගල් තලාවක් මැද ඇති පොකුණෙහි විශාල නෙළුම් කෙමියක මෙම දිව්‍යපුත‍්‍රයා ඕපපාතිකව ඉපදුණා.

එදා හරි අපූරු දෙයක් සිදුවුණා. එනම් අගබිසව සිහිනයක් දැකීමයි. විසි දහසක් කුලාංගනාවන් පිරිවරා උයන් පොකුණට පැමිණි ඇයට නෙළුම් කෙමියක සිඟිත්තෙක් දකින්නට ලැබීමයි. ඈ පසුදින උදෑසන සිල් සමාදන් වුණා. වත්පිළිවෙත් කළා. මෙත් වැඩුවා. අන්තඃපුරාංගනාවන් පිරිවරා පොකුණ වෙත පැමිණියා. එසේ පැමිණෙද්දී එක්තරා මල් කෙමියක ඇති විශේෂත්වයක් ඇය දුරදීම දැක්කා. ඇය දුවගෙන ගොස් ඒ මල් පොහොට්ටුව ආදරයෙන් වැළඳගත්තා. ඒ මොහොතේ ඒ මල් කෙමියේ මල් පෙති එකින් එක විහිදෙන්නට පටන් ගත්තා. රන්වන් පාටින් බැබලෙන සියුමැලි සිඟිත්තෙක් ඒ මල් කෙමිය මැද නිදා සිටියා.

මේ අසිරිය දුටු සියලූ කුලාංගනාවන් ප‍්‍රීතිඝෝෂා කළා. මහත් උත්සවශ‍්‍රීයෙන් මේ පින්වත් සිඟිත්තාව මාළිගය කරා රැගෙන ගියා. සියලූ දෙනාගේම ආදරය මේ දරුවාට ලැබුණා. අන්තඃපුරයේ සියලූ කාන්තාවන්ගේ අතින් අත යන මේ දරුවාට ආදර සැලකිලි දක්වන්නට හැමෝම එක්වුණා. ‘අනේ පුතේ, මෙයත් කන්න. මෙයත් බොන්න. මෙයත් අනුභව කරන්න’ කියමින් පෙරැත්ත කර කර ආහාරපාන කැවීම නිසා මේ දරුවාට හැම දෙයක්ම එපා වුණා. මේ කුමරා ඒ වධයෙන් බේරීම පිණිස දොරටුව ළඟට දුව යනවා. ලෝහ ගුලියක් ගෙන සෙල්ලම් කරනවා.

දිනක් එක්තරා පසේබුදුවරයන් වහන්සේ නමක් පිඬු සිඟා වඩිද්දී මේ කුමරා අසලටත් පැමිණියා. මේ ශ‍්‍රමණයන් වහන්සේ දුටු කුමාරයා කෑ ගසා මෙහෙම කිව්වා.

“අනේ පින්වත් ශ‍්‍රමණය, මේ පැත්තෙ එන්න එපා! මෙහෙ මිනිසුන්ගෙන් හරී කරදරයි. අරක කන්නලූ. මේක කන්නලූ. කිසි නිදහසක් නෑ.”

කුමරා දුටු පමණින් පසේබුදුවරයන් වහන්සේ කරුණු තේරුම් ගත්තා. හුදෙකලාවේම ජීවිතය අවබෝධ කරන වාසනාව මොහු තුළ ඇති බව හඳුනාගත්තා. එනිසාම කුමරා කියූ වදන් ඇසූ සැණින් උන්වහන්සේ ඉදිරියට නොගොස් පෙරළා ආපසු වැඩියා. කුමාරයාට මෙය මහත් ප‍්‍රහේලිකාවක් වුණා.

“අනේ…. ශ‍්‍රමණයන් වහන්සේ නැවතුණා. ආපසු හැරිලා වැඩියා. එහෙම වුණේ මා කියූ දෙයට උන්වහන්සේගේ සිත රිදුණා වත්ද? මා සමඟ අමනාප වුණා වත්ද? තරහා ගත්තා වත්ද?”

පිරිවර ජනයා මෙහෙම පිළිතුරු දුන්නා.

“පින්වත් කුමරුනි, ශ‍්‍රමණයන් වහන්සේ ඔය වගේ සුළු කතාවකින් විතරක් නොවෙයි, ඔයිට වඩා සැරට බැන්නත් හිත රිද්දා ගන්නෙ නෑ. තරහ වෙන්නෙත් නෑ. උන්වහන්සේලා අනුන් පූජා කරන දෙයින් යැපී මෙත් සිතින් නෙව වාසය කරන්නේ.”

“අනේ… එහෙම කිව්වට මට නම් සිතෙන්නේ මාගෙන් වරදක් වුණා කියලයි. මා කියූ දෙය නිසා උන්වහන්සේගේ සිත රිදී ඇති බවයි මට සිතෙන්නේ.”

ඉන්පසුව කුමාරයා මව්පියන්ට සැළකර රාජ පිරිවර සමඟ බරණැස ඉසිපතනයට ගියා. එවකට ඉසිපතනයේ වැඩසිටියේ පසේබුදුවරයන් වහන්සේලාය. කුමාරයා පිරිස සමඟ ඉසිපතනයට ගිය විට ඇස් විදහා ගත් මුව පැටවුන් එහාට මෙහාට දුව පැන යන අයුරු දැක ඉතා සතුටට පත්වුණා.

“අනේ අර මුවන් නේද? උන් හරි සතුටින් නේද ඉන්නේ?”

“ඔව්, කුමාරයාණෙනි, ඒ මුවන් තමයි. උන් හරි සතුටින් ඉන්නේ.”

“එතකොට ඔය මුවන්ට ‘මේකත් කන්න, අරකත් කන්න’ කියලා වධ කරන්න කවුරුවත් නෑ?”

“අනේ කුමරුනි. මේ මුවන්ට එහෙම වධයක් නෑ. යම් තැනක කෑමට තණකොළ තියෙනවා නම්, බීමට ජලය තියෙනවා නම්, අනතුරකුත් නැත්නම්, උන් හරි නිදහසේ වාසය කරනවා. කැමති විදිහට වාසය කරනවා.”

මේ ප‍්‍රකාශයත් සමඟම කුමාරයාගේ සිත වෙනස් වෙන්න පටන් ගත්තා. නිදහසක ඇති අගය වැටහෙන්න පටන් ගත්තා. මුවෙක් මෙන් සැහැල්ලූවෙන් වසන්නට ඇත්නම් කොතරම් අගේදැයි සිතෙන්නට පටන් ගත්තා. කුමාරයා තවදුරටත් පසේබුදුවරයන් වහන්සේ වැඩසිටින තැන සොයමින් ගියා. එසේ සොයමින් යද්දී ඒ වන රුප්පා සෙවණේ සුදු වැලි අතුල මනා කොට හැමද ඇති සක්මන් මලූවක් දකින්නට ලැබුණා. ඉතා ශාන්ත වටපිටාවක් දකින්නට ලැබුණා. එහෙත් ඒ කුමාරයා සොයන ශ‍්‍රමණයන් වහන්සේ දකින්නට ලැබුණේ නෑ.

“කුමාරයාණෙනි, නිසැකවම මෙතන තමයි ඒ ශ‍්‍රමණයන් වහන්සේ ඉන්නවා ඇත්තේ. උන්වහන්සේ වඩිනකම් අපි ටිකක් ඉමු.”

“අනේ මට නම් සැකයි. මං උදේ පැවසූ දෙය නිසා උන්වහන්සේගේ සිත රිදුණා. දැන් මහා පිරිවර සේනාවක් සමඟ මං මේ පැමිණි නිසා උන්වහන්සේගේ සිත තවත් රිදෙන්න ඇති. ඒ නිසා ඔබලා මෙතන නවතින්න. මෙතනින් ඔබ්බට කවුරුත් එන්න එපා. මං තනියම උන්වහන්සේව හෙයාගෙන යනවා.”

කුමාරයා තනිවම රුක් සෙවණේ සොය සොය ගියා. සිනිදු වැලි අතුරා ඇති මාවතේ කෙනෙක් ඇවිද ගිය පියවර සටහන් තියෙනවා. ඒ පියවර සටහන් ඔස්සේ කුමරු තවත් ඈතට ගියා. කුඩා කුටියක් දැක්කා. ඒ කුටිය ළඟට ගියා. හිමිහිට දොර ඇරියා. කවුරුවත් නෑ. වටපිට බැලූවා. භාවනාව පිණිස වාඩිවෙන්නට සුදුසු ලස්සන ගල් තලාවක් තිබුණා. කුමාරයාට මෙහෙම හිතුණා.

”ඔව්! මෙතන තමයි ශ‍්‍රමණයන් වහන්සේ වැඩඉන්නවා ඇත්තේ. උන්වහන්සේ වඩින තුරු මා මේ ආසනයේ වාඩිවෙන්නට ඕන. උන්වහන්සේ මේ අසුනේ වාඩිවෙලා කල්පනා කරන්න ඇත්තේ වෙළහෙලදාම් ගැන නොවෙයි. රජකම් ගැන නොවෙයි. ජීවිතය ගැනයි. මාත් මේ ජීවිතය ගැන හිතන්න ඕන.”

කුමරා දෑස පියාගෙන භාවනා කරන්නට පටන් ගත්තා. ටිකෙන් ටික චිත්ත සමාධිය දියුණු වුණා. ධ්‍යාන සමාපත්ති ඇතිවුණා. ජීවිතය ගැන විමසන්නට සිත යොමු කරද්දී ප‍්‍රඥාව වැඩෙන්නට පටන් ගත්තා. සියල්ල අනිත්‍ය බවත්, එනිසාම අනාරක්ෂිත බවෙන් ඇතිවන බිය හටගන්නා බවත්, එයම දුක බවත්, එනිසාම තමාගේ වසඟයේ පවත්වාලිය නොහැකි බවත් අවබෝධ වුණා. හේතුඵල දහමෙන් හටගත් සියල්ලේ ආදීනව ප‍්‍රකට වුණා. අවබෝධයෙන්ම කළකිරීම ඇතිවුණා. විරාගය ඇතිවුණා. කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. අරහත්වයට පත්වුණා. පසේබුදුවරයන් වහන්සේ නමක් බවට පත්වුණා.
කුමාරයා සමඟ පැමිණි පිරිවර සේනාව සෑහෙන වේලාවක් මඟ බලා සිටියා. කුමාරයා හැරී එන පාටක් නෑ. ඔවුන් ටික ටික ඇතුළට ආවා. වටපිට සොයන්න පටන් ගත්තා. එතකොට ගල් තලාවක භාවනානුයෝගීව සිටින කුමාරයාව දැකගන්නට ලැබුණා. ඔවුන් ළංවෙද්දී කුමාරයා ඇස් පිය හැර බැලූවා.

“පින්වත් කුමාරයාණෙනි, ශ‍්‍රමණයන් වහන්සේ බැහැදකින්නට අපි හෙට එමු. දැන් අපට කල් ගත වෙනවා. රජ්ජුරුවන් වහන්සේ අපගේ ප‍්‍රමාදය ගැන උදහස් වෙන්නටත් පුළුවනි. එනිසා පින්වත් කුමරුනි, අපි හෙට පැමිණ ශ‍්‍රමණයන් වහන්සේ කමා කරගනිමු. දැන් ඉතින් අපි යමු. එනිසා ඔය ගැන එච්චර හිතන්න ඕන නෑ.”

“ඒක ඇත්ත. මං ඒ ගැන කොහෙත්ම හිතන්නේ නෑ. වෙන දෙයක් ගැන සිතන්නෙත් නෑ. සිත පැටලී යන ලෝකයෙන් මං නිදහස් වෙලයි ඉන්නේ. විරාගී සිතක අසිරිය මට දැන් වැටහෙනවා.”

සේනාව පුදුමයට පත්වුණා. ඇසිපිය නොහෙළා කුමරු දෙස බලා සිටියා. ඔවුන්ට මෙය අදහා ගන්නට බෑ.

“අනේ පින්වත් කුමරුනි, මේ වචන හරි වෙනස්. මොහොතකට පෙර අප සමඟ කතා කළ කුමාරයා නොවෙයිද මේ ඉන්නේ? මෙතරම් ඉක්මනින් මේ ඇති වූ පරිවර්තනය කුමක්ද? ලෝකය සමඟ නොපැටලී ගිය සිතක් ඇති කරගැනීම ලෙහෙසි වැඩක් නොවෙයි. අප සොයා පැමිණි ශ‍්‍රමණයන් වහන්සේ අයිති වන්නේ පච්චේක බුද්ධ යන උතුමන්ටයි. ඔබත් එවැනි පච්චේකබුද්ධ කෙනෙක් බවට පත්වුණා වත්ද? ඒ පසේබුදුවරයන් වහන්සේලා ඔබ වගේ නොවෙයි. උන්වහන්සේලා කෙස් රැවුල් බාලා කසාවත් පොරවාගෙනයි ඉන්නේ.”

එතකොට කුමාරයා තමන්ගේ හිස අතගෑවා. සැණෙකින් කෙස් රැවුල් අතුරුදහන් වුණා. ගිහි වස්ත‍්‍ර අතුරුදහන් වුණා. කසාවත් පෙරැවුණා. සියුමැලි ශ‍්‍රමණයන් වහන්සේ නමකගේ රුවක් දිස්වුණා. ඒ පසේබුදුවරයන් වහන්සේ මිහිරි ස්වරයෙන් මේ ගාථාව පැවසුවා.

මිගෝ අරඤ්ඤම්හි යථා අබද්ධෝ
යේ නිච්ඡකං ගච්ඡති ගෝචරාය
විඤ්ඤූ නරෝ සේරිතං පෙක්ඛමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

“තොණ්ඩුවකට හසු නොවී ඉන්න මුවා නිදහසේ මයි වනයේ හැසිරෙන්නේ. තණ කොළ බුදින්නට කැමති කැමති අයුරින් ඒ සතා නිදහසේ යනවා. බුද්ධිමත් මනුෂ්‍යයා කිසිවෙකුට නොබැඳී ස්වෛරීව නිදහසේ ජීවත් වීමට මං සොයනවා නම්, මාත් දැන් ඒ වගේ කෙනෙක්. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

සාදු! සාදු!! සාදු!!!

ආශාව පසුපස ගිහින් මාරයාට ගොදුරු වෙනකම් දන්නෙම නෑ

$
0
0
4_4 stanza

෴  4 ගාථා රත්නය
විඩූඪභගේ කථා වස්තුව

“ආශාව පසුපස ගිහින් මාරයාට ගොදුරු වෙනකම් දන්නෙම නෑ”

පින්වතුනේ, පින්වත් දරුවනේ,

විඩූඩභගේ අවසානය පිළිබඳව අනුවේදනීය කතාව තමයි දැන් ඔබට අසන්නට ලැබෙන්නේ. කාමයන් පසුපස යන මිනිසා නවතින්නේ නිරයේ බව කිසිකෙනෙකුට සිතාගන්නටවත් බැහැ. කාමයන් වටා ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, බද්ධ වෛරය, පළිගැනීම, එකට එක කිරීම පෙළගැසෙන්නේ තමාටත් නොදැනීමයි. රජවරුන්ගේ ජීවිතවල සිට සාමාන්‍ය මනුෂ්‍යයාගේ ජීවිතය දක්වා වෙලී ඇති කාමාශාව විසින් ඔවුන්ව ඉතාමත් සංකීර්ණ වූ දයාවිරහිත වූ විකෘති පළිගැනීම් තෙක් ගෙන යනවා. එහි අනිෂ්ට විපාක පොදු ජනයාට විඳවන්නට සිදුවන ආකාරය විඩූඩභගේ සිද්ධිය තුළින් දිස්වෙන්නේ කැඩපතකින් දකින්නාක් පරිද්දෙන්.

කොසොල් රජ්ජුරුවන්ට විඩූඩභ කියලා පුතෙක් සිටියා. ඒ පිළිබඳව පසුබිම් කතාව මේකයි. අනේපිඬු සිටුතුමා, විශාකා මහෝපාසිකාව, සුප්පියා උපාසිකාව ආදීන් දිනපතා භික්ෂූන් වහන්සේලාට දන් දුන්නා. අනේපිඬු සිටු මාලිගාවේ දිනපතා දෙදහසක් භික්ෂූන්ට දන් දුන්නා. විශාඛාවද, සුප්පියාද දිනපතා පන්සියයක් භික්ෂූන්ට දන් දුන්නා.

මෙය දුටු කොසොල් රජතුමාටත් පන්සියයක් භික්ෂූන්ට දිනපතා දන්දෙන්නට ආසා ඇතිවුනත්, භික්ෂූන් වහන්සේලා රාජමාලිගයෙහි දන් පිණිස එතරම් කැමැත්තකින් වැඩියේ නෑ. එනිසා සංඝයාගේ විශ්වාසය දියුණු කරගැනීමේ අදහසින් කොසොල් රජ්ජුරුවන්ට ශාක්‍ය වංශය සමඟ ඤාති සම්බන්ධයක් ඇතිකරගන්නට වුවමනා වුනා. රජතුමා ශාක්‍ය වංශික රජවරුන්ට සංදේශයක් යැව්වා. රාජමාලිගාවට වහාම ශාක්‍ය කුමාරිකාවක් එවන්න කියලා.

ශාක්‍යවරුන් රැස්වුනා. ඔවුන් කිසි කෙනෙක් ශාක්‍ය කුමාරිකාවක් රජතුමාට දෙන්නට කැමැති වුනේ නෑ. කොසොල් රජතුමා ක්ෂත‍්‍රීය වංශිකයෙක් වුනත් ශාක්‍ය වංශයෙන් පහළයි. මේ නිසා ‘යවලත් බෑ. නොයවාත් බෑ’ යන තත්වයට පත්වුනා. අන්තිමේදී මහානාම ශාක්‍ය රජු නිසා එම මාලිගයේ දාසියකගේ කුසේ උපන් වාසභ ඛත්තියා කියන දාසිය යවන්නට තීරණය කළා.

ශාක්‍ය වංශිකයන් ශාක්‍ය රාජකුමාරිකාවක් දෙන්නට පොරොන්දු වූ බවට කොසොල් රජතුමාට පණිවිඩය ආවා. රජතුමා මෙහෙම කිව්වා. ”ශාක්‍ය වංශිකයන්ගේ කතා විශ්වාස කරන්නට බැහැ. නුඹ මෙහෙම කරපන්. නුඹ ගිහින් බලාපන් මහානාම ශාක්‍ය රජු සමඟ වාසභඛත්තියා එකට වාඩි වී කෑම කනවාද කියා. හැබැයි ශාක්‍ය වංශිකයන් වෙන කිසිවෙකු සමඟ එකට වාඩි වී කෑම කන්නේ නෑ. ඔය කුමාරිය රජවංශයේ නොවෙයි නම් ලේසියෙන්ම සොයාගන්න පුළුවන් ක‍්‍රමය ඒකයි.”

රාජපුරුෂයන් ගියා. හොයලා බැලූවා. මේ බව දැනගත් මහානාම ශාක්‍යයා වාසභඛත්තියාව ලස්සනට සරසලා එකම කෑම මේසේ වාඩිකරවා ගත්තා. පොදුවේ ආහාර ගන්නා බව හැඟෙව්වා. ඊට පස්සේ රාජකීය පෙරහැරකින් වාසභඛත්තියාව කොසොල් රාජමාලිගාවට කැඳවාගෙන ආවා. වාසභඛත්තියා අතිශයින්ම රූප සම්පන්නයි. ඇ ගේ රූපයට කොසොල් රජු වසඟ වුනා. ඇයටත් ප‍්‍රධාන බිසෝ තනතුරක් ලැබුනා. ටික කලකදී ලස්සන රූපයක් තියෙන පුංචි කුමාරයෙක් වාසභඛත්තියා විසින් බිහි කළා.

කුමාරයාට නමක් තබන්නට රජතුමා තම මිත්තණිය ළඟට ඇමතියෙක් පිටත් කළා. ඇමතියාට මිත්තණිය කීවේ “වාසභඛත්තියා මාළිගාවට පැමිණ සියලූ දෙනාම අබිභවා ගියා. දැන් ඉතින් සියලූම සම්පත්තියට වල්ලභ (ස්වාමියා) වෙනවා” කියලයි. මේ වල්ලභ කියන වචනය ඇමැතියාට ඇහුනේ ‘විඩූඩභ’ කියලයි. ඔහු ගිහින් රජතුමාට ඒ නම කිව්වා. රජතුමා කුමාරයාට විඩූඩභ කියන නම තිබ්බා.

කුමාරයාට කුඩා කාලයේදීම සේනාපතිකමක් ලැබුනා. කොසොල් රජතුමාට ගොඩාක්ම ඕන කළේ ශාස්තෘන් වහන්සේ සමඟ සමීප සම්බන්ධතාවයක් මේ කුමාරයා තුළින් ගොඩනගන්නයි. විඩූඩභ කුමාරයා කුඩා අවදියේ සිට වාසභඛත්තියාට නිතර නිතර කීවේ නෑදෑයන් බලන්න යන්න ඕන කියලයි. ඒ සෑම වතාවකදීම ඇය කුමක් හෝ බොරුවක් කියා එය මඟහරිනවා. විඩූඩභ කුමාරයාට වයස දහසය වෙද්දී නෑදෑයන් බලන්න යන්න ඕන කියල දැඩි තීරණයක් ගත්තා. වාසභඛත්තියා මහානාම ශාක්‍ය රජුට මෙය දැනුම් දුන්නා.

ශාක්‍යවංශිකයන් නොසන්සුන් වුනා. ඔවුන් විඩූඩභට වඩා වයසින් බාල කුඩා කුමාරවරුන් රාශියක් කැඳෙව්වා. පිළිගැනීමේ උත්සවයක් තිබ්බා. එහෙත් වැඩිහිටි කුමාරවරු කෝ? ඒ අය විඩූඩභ කුමරාට ගෞරව කරන්නට නොඑන්නේ ඇයි? මේ සියල්ල විඩූඩභට හරි ප‍්‍රශ්නයක් වුනා. ඉතින් විඩූඩභ කිසියම් අපහසුතාවයකට පත්වෙන බව ශාක්‍ය රජවරුන්ට තේරුනා. ඔවුන් ඉතාමත්ම හොඳින් රාජකීය ආකාරයට කුමාරයාට සැළකුවා. ටික දවසක් රැඳී සිට රාජකීය පෙරහැරකින් නැවත සැවැත් නුවරට පිටත් වුනා. එදා එක්තරා රාජපුරුෂයෙකුට තමන්ගේ ආයුධය අමතක වුනා. ඔහු ඉක්මනින් අමතක වූ ආයුධය ගෙනයන්න ආවා. ඒ වෙලාවේ ශාක්‍ය දාසියක් “වාසභඛත්තියා නම් වූ ශාක්‍ය දාසියගේ පුතා අපගේ ආර්යයන් වහන්සේලාගේ ආසනය කිලූටු කළා නෙව” කියා කෑගසමින් විඩූඩභ වාඩි වූ පුටුව කිරි දියරයෙන් සෝදන අයුරු අර පුද්ගලයාට දකින්නට ලැබුනා. වාසභඛත්තියා ක්ෂත‍්‍රීය වංශික කුමාරිකාවක් නොවන බවත්, දාසියක් බවත් දැනගන්නට ලැබුනා. එතකොට විඩූඩභ කියන්නේ මව් පාර්ශවයෙන් කිලූටු වූ දාසියකගේ පුතෙක් බවත් දැනගන්නට ලැබුනා. මෙය දැනගත් විඩූඩභ විෂඝෝර සර්පයෙක් වගේ කිපුනා. ඇස් ලොකු කළා. දත්මිටි කෑවා. අත මිටි මොලවාගෙන මෙහෙම කිව්වා. “හොඳයිකො, දැන් තොපි මං වාඩි වූ ආසනය කිරි දියරයෙන් සෝදාපල්ලා. මං තොපේ බෙලි කපා එයින් ගලනා ලෙයින් ඔය ආසනය සෝදන කාලය වැඩි ඈතක නෑ.” කියල වෛරය හිතේ පිහිටුවාගත්තා.

වාසභඛත්තියා දාසියක් යන කරුණ ලැව්ගින්නක් වගේ පැතිර ගියා. රජමාලිගාවේ සියලූ දෙනාගේ විහිළුවට ලක්වුනා. මෙය ඇසූ කොසොල් රජු කිපුනා. වාසභඛත්තියාටත්, විඩූඩභටත් තිබුණ සැලකිල්ල නැතුව ගියා. ඔවුන්ගේ සත්කාර සම්මාන පහතට වැටුනා. පිළිගැනීම් නැතුව ගියා. කැළැඹුණු සිතින් යුතු රජතුමා බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගියා. බුදුරජාණන් වහන්සේට වන්දනා කොට මෙය පැමිණිලි කළා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේගේ ඤාතීන් විසින් මට එවලා තියෙන්නේ දාසියකගේ දුවක් නෙව. ඒනිසා මං ඇයගේ පුතාවත්, ඇයවත් සියලූ තනතුරු වලින් පහකළා.” “පින්වත් මහාරාජ, ශාක්‍යවරුන් කරලා තියෙන්නේ අයුක්තක්. ලබා දෙනවා නම් දිය යුත්තේ සමාන ජාතියට අයිති කෙනෙක්ව නෙව. පින්වත් මහාරාජ, වාසභඛත්තියා ක්ෂත‍්‍රීය වංශික රජුගේ මාලිගයෙහි ක්ෂත‍්‍රීය රාජකුමාරිකාවක් ලෙස අභිෂේක ලැබුවා නෙව. විඩූඩභ උපන්නෙත් ක්ෂත‍්‍රීය රජු කෙනෙක් නිසා නෙව. ඒ නිසා මවගේ ගෝත‍්‍රයෙන් ඇති ඵලය කිම? පියාණන්ගේ ගෝත‍්‍රය ප‍්‍රමාණවත් නෙව. පුරාණ පණ්ඩිතවරු දර අදින කුලයේ උපන් දිළිඳු දියණියක් අග‍්‍රමහේෂිකා ස්ථානයේ තැබූ කතාවක් තියෙනවා. ඇයගේ කුසින් උපන් කුමාරයා යොදුන් දොළහක් විශාල බරණැස ජනපදයෙහි රජ වෙලා ‘කට්ඨවාහන රාජා’ නමින් ප‍්‍රසිද්ධ වුනා නෙව” කියල බුදුරජාණන් වහන්සේ කට්ඨහාරි ජාතකය දේශනා කළා. මෙය ඇසූ රජතුමා සිත සනසාගත්තා. “ඒක ඇත්ත. පිය පාර්ශවයෙන් තියෙන පිරිසිදුකම ප‍්‍රමාණවත් නෙව” කියල නැවතත් වාසභඛත්තියාටත් විඩූඩභටත් කලින් ලැබූ තනතුරු ලබාදුන්නා.

ඔය අතරේ තව සිදුවීමක් වුනා. කුසිනාරාවේ මල්ල රාජපුත‍්‍රයෙක් වන බන්ධුල නම් කුමාරයෙක් කොසොල් රජ්ජුරුවන්ගේ ප‍්‍රධාන සෙන්පතියෙක් වුනා. බන්ධුල සේනාපතිට කුසිනාරාවේ මල්ල රාජකුමාරිකාවක් වන මල්ලිකා කියා කුමරියක් හිටියා. මේ දෙදෙනාට දරුවන් නැහැ. දවසක් මේ ගැන බහින් බස් වීමක් ඇති වුනා. බන්ධුල සේනාපතියා “දැන් ඉතින් ඔහේට කරන්න තියෙන්නේ ආපහු ගෙදර යන එකයි” කියා ඇයව පිටත් කළා. ඉතින් ඇය කල්පනා කළා මං ගෙදර යන්නට කළින් ශාස්තෘන් වහන්සේව බැහැදැකලා වන්දනා කරලා යනවා කියලා. ඇය බුදුරජාණන් වහන්සේට හඬ හඬා කිව්වා “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මට ගෙදර යන්න සිද්ධ වෙලා තියෙනවා.” “ඒ මොකද මල්ලිකා?” “ස්වාමීනී, මං වඳ එකියක්ලූ. දරුවන් බිහිකරන්නට අසමර්ථයිලූ. අවාසනාවන්තයිලූ.” “මල්ලිකා, ගෙදර යන්න ඕන නෑ. ආපහු බන්ධුලගේ නිවසට යන්න.” මල්ලිකාට හරි සතුටුයි. ඈ ලෝකයක් ජයගෙන වගේ මහා ප‍්‍රීතියකින් ශාස්තෘන් වහන්සේට වන්දනා කොට බන්ධුල සෙනෙවියාගේ නිවසට ගියා. ගිහින් ඇය මෙහෙම කිව්වා. “මං කොහේවත් යන්නෙ නෑ. දසබලයන් වහන්සේ මට වදාළේ කොහේවත් යන්න එපා කියලයි.” එතකොට බන්ධුල සෙනෙවියත් හිතුවා බුදුරජාණන් වහන්සේ කුමක් හෝ දුරදක්නා නුවණකින් තමයි මෙය වදාළේ කියල. ටික දවසකින් ඇයට දරු උපතක ලකුණු පහළ වුනා. ඒ සමඟම ඇයට දොළදුකක් හටගත්තා. එය ඉෂ්ට කරන්නට හරි අමාරුයි. ඒ තමයි විශාලා මහනුවර ඉතාමත්ම ආරක්ෂා සම්පන්නව තිබෙන අභිෂේක මංගල පොකුණේ වතුර නා එම පැන් පානය කරන්නට ඇති ආශාවයි. බන්ධුල සෙනෙවියාට මෙය පැවසූ විට නිර්භීත සෙනෙවියා එය කරන්නට එකඟ වුනා. අශ්ව රථයකට නැගුණු දෙදෙනාම පොකුණ බලා පිටත් වුනා. ඔවුන් ඇතුළු වුනේ මහාලි නම් ලිච්ඡවී රජතුමා විසින් කරවන ලද දොරටුවෙනුයි. මහාලි රජතුමාගේ මාලිගය තියෙන්නේ ඒ අසලමයි. ඒ රථයේ ශබ්දය අසා මහාලි රජතුමා මෙහෙම සිතුවා. “නොවැරදීම මේ ශබ්දය නම් බන්ධුලයාගේ රථයේ ශබ්දයයි. අද ලිච්ඡවීන්ට කිසියම් භයක් උපදිනා හැඩයි.”

පොකුණේ ආරක්ෂාව අතිශයින්ම තරකරලයි තියෙන්නෙ. පොකුණේ ඇතුළට යන්නටත් බැහැ. පිටත සිටින්නටත් බැහැ. උඩින් ලෝහ දැලක් අතුරලයි තියෙන්නෙ. නමුත් බන්ධුල සේනාපතියා රථයෙන් බැස ආරක්ෂක භටයින්ට පහර දී ඔවුන්ව පළවා හැර ලෝහ දැල සිඳ මල්ලිකාව පොකුණට බැස්සෙව්වා. ඇය සිතු මනාපයට නා ගත්තා. බන්ධුල සෙනෙවියාත් වතුර නෑවා. රථයට නැගී සැණෙකින් පලා ගියා.

පොකුණ ආරක්ෂක භටයන් ලිච්ඡවී රජවරුන්ට දැනුම් දුන්නා. රජවරුන් හොඳටම කිපුනා. “බන්ධුල මල්ලයා අල්ලාපියව්.” කියා කෑ ගසාගෙන පන්සියයක් අශ්වරථවල නැගී පසුපස හඹා ගියා. ඒ ප‍්‍රවෘත්තිය මහාලි රජ්ජුරුවන්ට දැනගන්න ලැබුනා. “නුඹලා කවුරුවත් යන්නට එපා! හැමදෙනාම විනාශ වේවි.” “බැහැ…. අපි යනවාමයි.” “එහෙම නම් බන්ධුලයාගේ රථ රෝදය වැල්ලේ භාගයක්ම බැස්සොත් හැරිලා වරෙල්ලා. එයිනුත් නොහැරී පසුපස්සෙන් යනවා නම් හෙණ හඬ වැනි ශබ්දයක් ඇසුනොත් ආපසු හැරී වරෙල්ලා. නුඹලාගේ රථවල සිදුරක් දැක්කොත් යන්නට එපා! හැරී වරෙල්ලා….”

ලිච්ඡවී කුමාරවරුන් දැඩි කෝපයෙන් සිටියේ. ඔවුන් මහාලි ලිච්ඡවී රජුට සවන් දුන්නේ නෑ. පස්සෙන් පන්නාගෙන ගියා. පසු පස්සෙන් එන සේනාව දුටු මල්ලිකා කෑගසන්නට පටන් ගත්තා. “ස්වාමීනී, අන්න මහාසේනාවක් පේනවා….” “මල්ලිකා, ඔය සේනාව එකම පෙළට එන විට මට කියන්න.” “ස්වාමීනී, දැන් සේනාව එන්නෙ එකම පෙළටයි.” “එහෙම නම් මේ රැහැන් පට අල්ලා ගන්න. මං වැඬේ කරන්නම්” කියල බන්ධුල සෙනෙවියා ඊතලය සූදානම් කොට වේගයෙන් අදින්නට වීරිය ගනිද්දී කරත්ත රෝදයේ භාගයක්ම පොළොවේ එරුනා. ලිච්ඡුවීන් එය දැකලත් ආපස්සට හැරුනේ නැහැ. තව සුළු වෙලාවකින් හෙණ හඬක් වැනි ශබ්දයක් ඇසුනා. ඒත් ලිච්ඡවී රජවරු නැවතුනේ නැහැ. එතකොට බන්ධුල සෙනෙවියා තව එක ඊතලයක් විද්දා. එය රථ පන්සීයේම වහලවල් සිදුරු කරගෙන ගිහින් පොළොවට වැටුනා. එතකොට ඔවුන් “ඔහොම නැවතියන්…. ඔහොම නැවතියන්….” කියල බන්ධුල සෙනෙවියාට කෑ ගැසුවා. බන්ධුල සෙනෙවියා රථය නවත්වා “නුඹලා මැරිලා ඉන්නෙ. මැරිච්ච උදවිය සමඟ මගේ යුද්ධ කිරීමක් නෑ.” “නෑ… අපි මැරිලා නෑ… මැරිච්ච අය අපි වගේ නොවෙයි.” “එහෙමනම් සියල්ලන්ටම පිටිපස්සේ ඉන්න කෙනාගේ යුධ සැට්ටය ගලවන්න. මොකක්ද වුනේ කියා බලාගන්න පුළුවනි.”

එතකොට ඔවුන් සියල්ලන්ටම පිටුපසින් සිටිය ලිච්ඡවි කුමාරයාගේ යුධ සැට්ටය ගැලෙව්වා. ඒ මොහොතේම ඔහු මැරී වැටුනා. “නුඹලා සියලූ දෙනාම ඔය වගේ තමයි. ඒ නිසා තමන්ගේ ගෙවල්වලට ගිහින් දූ දරුවන්ට අනුශාසනා කොට නුඹලාගේ යුධ සැට්ටත් ගලවාගන්න එකයි තියෙන්නෙ.” ඒ සියලූ දෙනාම ජීවිතක්ෂයට පත්වුනා.

ඉතින් බන්ධුලමල්ලිකාවට නිවුන් දරු උපතක් ලැබුනා. ඇයට දහසය වතාවක්ම නිවුන් දරුවන් ලැබුනා. සියලූ දෙනාම පුතාලා. ඔවුනුත් තාත්තා වගේම අතිශයින්ම දක්ෂයි. උස මහතින් යුක්තයි. ඒ එක එක්කෙනාට පරිවාර පුරුෂයන් දාහ බැගින් හිටියා. තමන්ගේ පියා සමඟ රාජ මාලිගාවේ මිදුලට රැස් වූ විට ඔවුන්ගෙන්ම රාජාංගණය පිරිලා යනවා.

රජ මාලිගාවෙහි නඩු විභාග කරන තැනට බන්ධුල සෙනෙවියා පැමිණි විට යම්කිසි අසාධාරණ විනිශ්චයක් සිදුවෙමින් තිබුනා. බන්ධුල සෙනෙවියා එහි සැබෑ තතු විචාරා අයිතිකාරයින්ට ඔවුන් සතු දේවල් දුන්නා. ජනතාව මෙයට පැහැදී මහා හඬින් සාදුකාර දුන්නා. ඒ සාදුකාරය ඇසුණු රජතුමා විනිශ්චය ස්ථානයට බන්ධුල සෙනෙවියා පත්කොට අනිත් ඇමතිවරුන්ව තනතුරු වලින් පහකළා. ඒ ඇමතිවරු බන්ධුල සෙනෙවියා කෙරෙහි වෛර බැඳගත්තා. බන්ධුල සෙනෙවියාට විරුද්ධව කොසොල් රජතුමාට කේළාම් කිව්වා. බන්ධුල සෙනෙවියා රජකම ලබන්නට කූට සැලසුමක් කරන බවට දිගින් දිගටම කියන විට කොසොල් රජ්ජුරුවන්ට ඒ ගැන සැකයක් ඇතිවුනා. නමුත් කරන්නට කිසි දෙයක් නැහැ. “මං බැරිවෙලාවත් බන්ධුල සෙනෙවියාව මැරුවොත් ඒක ලොකු අර්බුදයක් බවට පත්වෙනවා. ඒ නිසා කරන්නට තිබෙන්නේ ඈත ජනපදයකට පිටත් කොට යවා මරවන එකයි.”

රජතුමා බන්ධුල සෙනෙවියා කැඳෙව්වා. “ප‍්‍රිය සේනාපතිය, අසවල් ඈත ජනපදය තුළ සොර බියක් ඇතිවෙලා තියෙනවා. ඔබේ පුතුන් තිස් දෙදෙනා සමඟ වහාම ඒ ප‍්‍රදේශයට ගිහින් එය සමථයට පත්කරන්න” කියල පිටත් කොට යැව්වා. බන්ධුල සෙනෙවියා ඇතුළු පුතුන් තිස්දෙදෙනාගේ හිස් රැගෙන එන ලෙස වෙනත් යෝධයන්ව රහසේ පිටත් කළා. මේ කිසිවක් නොදත් බන්ධුල සෙනෙවියා යන විට සොරු පළා ගියා. ඔහු එම ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් පිණිස නැවතී සිට ආපසු එද්දී නගරාසන්නයේ තැනකදී යෝධයින් ලවා සියලූ දෙනාම මැරුම් කෑවා.

රජතුමා මෙම ශෝක පණිවිඩය බන්ධුලමල්ලිකාවට ලැබෙන්නට සැලැස්සුවා. රජතුමා බොහෝ දුක්වුනා. මල්ලිකාවට වරයක් දෙන්නටත් පොරොන්දු වුනා. මේ සිද්ධියෙන් පස්සේ බන්ධුල සෙනෙවියාගේ දරුවන් විවාහ වී සිටි කුමාරිකාවන් සියලූ දෙනා ඔවුන්ගේ නිවෙස්වලට යන්නට තීරණය කළා. බන්ධුලමල්ලිකාවත් නැවත කුසිනාරාවට යන්නට තීරණය කළා. බන්ධුලමල්ලිකාව රජතුමාගෙන් වරයක් හැටියට තම තමන්ගේ නිවෙස් බලා යන්නට අවසර ගත්තා.

රජතුමා බන්ධුල සේනාපතියාගේ සහෝදරයෙකු වන දීඝකාරායන නම් කුමරාට සේනාපති තනතුර දුන්නා. ‘මාගේ මලනුවන් මැරුවේ මොහු විසින් තමයි. මටත් අවස්ථාවක් ඒවි’ කියල දීඝකාරායන රජුගෙන් පළිගන්නට අවස්ථාවක් බල බලා සිටියා.

රජතුමාට බන්ධුල සෙනෙවියාව නිරපරාදේ ඝාතනය කරවීම නිසා කිසි සැනසිල්ලක් ලැබුනෙ නැහැ. කිසි සතුටක් තිබුනේ නෑ. රාජසැපයක් වින්ඳෙ නෑ. එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේදතලූම්ප නම් නියම්ගමේ වැඩසිටිද්දී රජතුමාද බුදුරජාණන් වහන්සේව සොයාගෙන පැමිණියා. එහිදී බුදුරජාණන් වහන්සේ සමඟ හුදෙකලාවේ කතා කරන්නට ආසා වෙලා රජතුමාගේ පංචකකුධ භාණ්ඩ දීඝකාරායන අතට දුන්නා. ගන්ධ කුටියට පිවිසුනා. බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී පාද පත්මය අල්ලා ගෙන සිඹිමින් වන්දනා කළා. ඒ අවස්ථාවේ සියලූ විස්තර ධම්මචේතිය නම් සූත‍්‍ර දේශනාවේ සඳහන් වෙනවා. රජතුමා එළියට එන විට කවුරුවත් නැහැ. දීඝකාරායන සෙනෙවියා පංචකකුධ භාණ්ඩ රැගෙන සේනාව සමඟ ආපහු ගිහින් රජතුමාට උපස්ථාන කරන්නට එක් ස්ත‍්‍රියක් පමණක් නැවතී සිටියා.

කොසොල් රජතුමා මෙහෙම හිතුවා. “හොඳයි…. මං සහෝදරයා ළඟට ගිහින් සේනාව පිළියෙල කරගෙන විඩූඩභයාව අල්ලගන්නවා” කියා රජගහ නුවරට යද්දී හොඳටම රෑ වුනා. නගරයේ ප‍්‍රධාන දොරටුව වසා තිබුනා. එදා හුදෙකලාවේම එක් ශාලාවක සීතල සුළං හමද්දී කලන්තෙ හැදිලා දාසියගේ ඔඩොක්කුව මත නිදාසිටියා. මධ්‍යම රාත‍්‍රියේදී එතනදීම රජතුමා මරණයට පත්වුනා.

විඩූඩභ තනියම ඔටුණු පළඳාගෙන රජවුනා. දැන් පලිගන්නට වාරයයි. ”හහ් …. හහ්… හා…! දැන් එක ශාක්‍යයෙක්වත් ඉතුරු කරන්නෙ නෑ.” ආයුධ සන්නද්ධ මහා සේනාව පැමිණ පන්සිල් රකින ශාක්‍ය වංශිකයන් ඝාතනය කරන්නට පිටත් වුනා. එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර සිට කපිලවස්තු නගරය ආසන්නයට අහසින් වැඩියා. එතන හොඳට සෙවණ තියෙන විශාල නුගරුකක් තියෙනවා. එයට ආසන්නව යන්තම් කොළ තියෙන ගසක් තියෙනවා. ඒ ගස් සෙවණේ ගිනිමද්දහනේ වැඩසිටියා.

විඩූඩභ කපිලවස්තු රාජ සීමාවට පැමිණුනා. බුදුරජාණන් වහන්සේව දැක ළඟට ගිහින් වන්දනා කළා. “ස්වාමීනී, මේ මහා රස්නෙ වෙලාවෙ සෙවනක් නැති ඔය රුක් සෙවනෙහි මොනවට ඉන්නවාද? අතන විශාල නුගරුක ළඟ හොඳ සිසිල් සෙවණක් තියෙන්නෙ. එතන වැඩසිටින සේක්වා!” “මහරජතුමනි, එය එසේ වේවා! නමුත් ඤාතීන්ගේ ඡායාවමයි මට සිසිල දෙන්නේ.”

4_4 stanzaශාස්තෘන් වහන්සේ ඤාතීන්ව දැකගන්නට පැමිණ සිටින්නේ යැයි සිතා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ විඩූඩභ නැවත සැවැත් නුවරට පැමිණුනා. ඔහුගේ වෛරය අවසන් වෙන්නෙ නෑ. පළිගන්නා තුරු සිතට සහනයක් නෑ.

දෙවෙනි වතාවෙත් සේනාව සමඟ පිටත් වුනා. බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවෙදිත් ඔහුගේ ගමන වැළැක්වුවා. තුන්වෙනි වතාවෙදිත් සේනාව සමඟ පිටත් වුනා. තුන්වෙනි වතාවෙදිත් බුදුරජාණන් වහන්සේ ඔහුගේ ගමන වැළැක්වුවා.

සතරවෙනි වතාවෙදිත් ඔහු ශාක්‍යයන්ගෙන් පළිගන්නට තීරණය කළා. සසරේ කරන ලද කර්ම විපාකයක් පල දෙන්නට සූදානම්ව තිබෙන බව බුදුරජාණන් වහන්සේට අවබෝධ වුනා. තම ඤාති වර්ගයා මහපොළොවෙන් අතුගා දමන්නට කඩු තල මුවහත් කරමින් සිටින පවිටු විඩූඩභ නවත්වන්නට නොහැකිව තිබෙන්නේ ඒ කර්ම විපාකය නිසා බව වටහා ගත් බුදුරජාණන් වහන්සේ ඒ වතාවේදී නිශ්ශබ්ද වුනා.

බුදුරජාණන් වහන්සේගේ ඤාතීන් වන ශාක්‍ය වංශිකයන් කිසි දවසක මනුෂ්‍ය ඝාතනයක් කරන්නෙ නැහැ. ඔවුන්ට නම වැටිලා තිබුනේ ‘අසත්තඝාතක’ කියලයි. එනම් තමන් මරද්දීත් අනුන්ගේ ජීවිත ඝාතනය නොකරන අය කියලයි. ශාක්‍ය වංශිකයන් මෙහෙම හිතුවා. “මහා ඍෂි වූ අපගේ ඤාතිවරයාණන් වහන්සේ අපව හික්මවා තිබෙන්නේ සියලූ සතුන් කෙරෙහි මෙත් සිත වඩන්නටයි. අපට අනුන්ව මරන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි විඩූඩභගේ සේනාවට රිංගලා ඔවුන්ගේම කොටසක් වගේ ඉඳලා පැනලා යමු.”

මෙය සැළ වූ විඩූඩභ සේනාවට මෙහෙම කිව්වා. ”එම්බා පුරුෂයෙනි, කවුරුහරි කිව්වොත් අපි ශාක්‍යවරුන් කියලා, ඔවුන් සියලූ දෙනාම මරාපල්ලා. මගේ මෑණියන්ගේ පරපුරේ මහානාම ශාක්‍යයාගේ දූවරුන්ට පමණයි ජීවත් වෙන්න දිය යුත්තේ.”

සේනාව ශාක්‍යවරුන්ව මරද්දී ඇතැම් ශාක්‍යවරුන් ගිහින් තණකොළ බදාගන්නවා. ඇතැම් ශාක්‍යවරුන් ගිහින් උණ පඳුරු බදාගන්නවා. “කියාපල්ලා…. තොපි ශාක්‍යවරු නේද?” “අනේ…. මේවා ශාක නොවේ. මේවා තෘණ. අනේ… මේවා ශාක නොවේ. මේවා උණ” කියා කියන්න පටන් ගත්තා. ඒ කවුරුවත් ඉතුරු කළේ නෑ. නමුත් ඔවුන් ගෙන් බේරුන අයට තෘණ ශාක්‍යයන්, උණ ශාක්‍යයන් කියල නම් පටබැඳුනා. ශාක්‍ය වංශිකයන්ගේ මළකඳන් රැස්වීම් ශාලාවල් පුරා ගොඩගැහුවා. එදා විඩූඩභ වාඩි වී සිටි කිරි වලින් දෙවූ ආසනය ශාක්‍යයන්ගේ හිස ගසා ගලා ගිය උණු ලේ වලින් සේදුවා.

ඔවුන් මහානාම ශාක්‍යයාව අල්ලාගත්තා. “නුඹ දැන් අපිත් සමඟ උදේ ආහාර ගන්නට ආ යුතුයි” කිව්වා. ශාක්‍ය වංශිකයන් හීන කුලීනයන් සමඟ ආහාර නොගන්න බව මොවුන් දන්නවා. ජීවිතය ගියත් දාසියෙකුගේ පුත‍්‍රයෙකු සමඟ ආහාර නොගන්න බව දන්නවා. මහානාම ශාක්‍යයා විඩූඩභට මෙහෙම කිව්වා. “පුත‍්‍රය, මගේ ශරීරය අපවිත‍්‍රයි. මට දැන් නාගන්නට ඕන” කියල. මහානාම ශාක්‍යයා මෙහෙම සිතුවා. “මං මොවුන් සමඟ ආහාර නොගත්තොත් මේ උදවිය මාව මරනවාමයි. ඊට වඩා හොඳයි මම තනියම මැරෙනවා” කියල මහානාම රජු කෙස් කළඹ ලිහා දැම්මා. එහි කොණ ගැටයක් ගැසුවා. ඒ ගැටය පාදයේ ඇඟිලිවල පටලවා ගත්තා. ඉන්පසු වතුරේ ගිලූනා. ගඟ යටට කිමිදුනා. මහානාම ශාක්‍යයා විසින් මෙය කරන ලද්දේ දියේ ගිලී මිය යන්නටයි. මහානාම ශාක්‍යයාගේ ගුණ තේජස නිසා දිය යටින් පැමිණි නාගරාජයෙක් ඔහුව පෙණය මත හිඳුවා ගෙන නාග භවනයට රැගෙන ගියා. මහානාම ශාක්‍ය රජු ඒ නාග භවනයෙහි දොළොස් අවුරුද්දක් ජීවත් වුනා.

විඩූඩභ එදා “මාගේ මුත්තණුවන් දැන් ගොඩට ඒවි. දැන් ගොඩට ඒවි” කියා බලගෙන සිටියා. නම කියා කෑ ගැසුවා. මිනිසුන්ව දිය යටට බස්සලා සෙව්වා. හමුවුනේ නෑ. ඉන්පසු ඔවුන් සේනාව සමඟ ආපසු හැරී ආවා. අචිරවතී ගංගාව අසබඩ වැලිතලාවේ ඔවුන් ගිමන් හැරියා. ඔවුන් අතරින් ඒ පවට සහභාගී නොවුන අය වාඩිවුන වාඩිවුන තැන තෙල් කුහුඹි මතු වුනා. ඉතින් ඔවුන් වැලිතලාවෙන් ඔබ්බට නැඟී ගොස් කඳු ගැටයක නිදාගත්තා. පව්කාරයන් සියලූ දෙනාම වැලිතලාවේ හාන්සි වුනා. හොඳට නින්ද ගියා. උඩහ ප‍්‍රදේශයට කඩා හැලූණු මහා වැස්සක් නිසා අචිරවතී ගෙඟහි ජල පහර වේගයෙන් ගසාගෙන විත් විඩූඩභ ඇතුලූ සියලූ දෙනාම ගසාගෙන ගියා. ඔවුන් සියලූ දෙනාම මරණයට පත්වුනා.

මේ අතිශයින්ම සංවේගජනක අනුවේදනීය කථාව අංග, මගධ, කාසි, කෝසල ආදී සියලූ ජනපදවාසීන් තුළ මහා කම්පාවක් ඇතිකළා. ඔවුන් දින ගණනාවක් කම්පාවෙන් සිටියේ. ශාක්‍ය වංශිකයන් මහ පොළොවෙන් සදහටම අතුරුදහන් කරන්නට එකම එක පව්කාරයෙකුගේ පවිටු සිතුවිල්ල ප‍්‍රමාණවත් වුනා.

භික්ෂූන් වහන්සේලා අතරද මේ සංවේගජනක ප‍්‍රවෘත්තිය රැව් පිළිරැව් දුන්නා. විඩූඩභ මෙතරම් ශාක්‍යයන් මරලා තමන්ගේ මනෝ රථය මුදුන්පත් කරගන්නට නොහැකිවම මහා සාගරය දක්වා ගසාගෙන ගොස් මාළුන් හට ආහාර බවට පත්වුනා කියා කතා බස් වන විට බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ගාථා රත්නයයි.

පුප්ඵානි හේ’ව පවිනන්තං – බ්‍යාසත්තමනසං නරං
සුත්තං ගාමං මහෝඝෝ’ව – මච්චු ආදාය ගච්ඡති

මල්වලට ආසා කොට – මල් සොයා යන මිනිසා
මල්ම සොයමින් ගොස් – එයම රැස්කරනා ලෙස
කාමයම පසුපස යන – එයට මත් වූ මිනිසා
මාරයා රැගෙන යන්නේ – ඔහු නොසිතනා මොහොතේ
නිදා සිටි ගම්වැසියන් – ගසා යන සැඩ පහර විලසින්

පින්වතුනේ, පින්වත් දරුවනේ, පංච කාම සැපයට ආශා කරනා පුද්ගලයා එයමයි සොය සොයා යන්නේ. මොනතරම් දේවල් ලැබුනත්, ඔහු සෑහීමකට පත්වෙන්නේ නෑ. දැසිදස්සන්, කෙත් වතු, යාන වාහන, රන් රිදී මුතු මැණික් ආදී මොනතරම් දේවල් ලැබුනත් ඔහුගේ ආශාව ඉවරයක් වෙන්නෙ නෑ. මල්කාරයෙක් මේ ගසින් මල් නෙළනවා. ඊළඟට අනිත් ගසට යනවා. එතනින් මල් නෙළනවා. තව ගසකට යනවා. එතනින් මල් නෙළනවා. මේ විදිහටයි ඔහු දිගින් දිගට මල් නෙළන්නේ. සාමාන්‍ය මනුෂ්‍යයා කාම වස්තූන් රැස්කරන්නෙත් ඒ විදිහටයි. මේ තුළින් ඔහු ප‍්‍රමාදයට පත්වෙනවා. පින් පව් සොයන්නෙ නෑ. හොඳ නරක සොයන්නෙ නෑ. සාධාරණය සොයන්නෙ නෑ. අනුන් සතු දේවලූත් තමා සතු කරගන්න කල්පනා කරනවා. ඒ වෙනුවෙන් කේලාම් කියනවා. බොරු කියනවා. මායා දක්වනවා. අනුන්ව රවට්ටනවා. කුමන්ත‍්‍රණ කරනවා. ඒ සියල්ල තුළින් ඔවුන් රැස් කරගන්නේ පව්. අන්තිමේදී ඔහු මරණයට පත්වෙලා නිරයේ උපදිනවා. ගම්වැසියන් නිදා සිටිද්දී මහා සැඩ පහරක් ඇවිදින් ඒ සියලූදෙනාම මුහුදට ගසාගෙන යනවා වගෙයි.

පින්වතුනේ, පින්වත් දරුවනේ. බුද්ධ කාලයේ පවා කෙලෙස් සහිත මිනිසුන් විසින් කරන ලද අපරාධවල කිසි අඩුවක් නැති බව මෙයින් පැහැදිලිව පෙනෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළ විට බොහෝ දෙනෙක් කාම වස්තූන් නිසා පව් කිරීම පිළිබඳව කළකිරුනා. ඔවුන් ධර්මයේ හැසිරුනා. සෝවාන් ආදී මාර්ගඵලයන්ට පත්වුනා. ඊර්ෂ්‍යයා, ක්‍රෝධ දුරුකොට ධාර්මික ජීවිත ඇතිකරගන්නට මහන්සි ගත්තා.

අපට කරන්නට තිබෙන්නෙත් ඒ දෙයම තමයි. නැත්නම් මේ ලද මිනිස් ජීවිතය අවසන් වෙද්දී බොහෝ දෙනෙකුට උපදින්නට සිදුවෙන්නේ අපායේ තමයි. එම අනතුර තේරුම් නොගත්තොත් දුර්ලභ මිනිසත් බවත්, ඒ වගේම දුර්ලභව මුණගැසුණු චතුරාර්ය සත්‍යය ධර්මයත්, ධර්මයේ හැසිරෙන්නට ලැබුණු දුර්ලභ අවස්ථාවත් අපට මඟහැරී යනවා. එහෙම සිදුවුනොත් මොනතරම් අවාසනාවක්ද ?

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අසිරිමත් පසේබුදු පෙළහර 6

$
0
0
pasebudu-pelahara-6


ඇරයුම් ලැබෙයි සිටි විට මිතුරන් අතර
නවතින, හිඳින, යන එන හැම තැන නිතර
ඒ කෙරෙහි නොම ඇලෙමින් – නිදහසේ අගය දකිමින්
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….

Sample Image

පගේ ශාස්තෘන් වහන්සේ තවත් පසේබුදුවරයන් වහන්සේ නමක් වදාළ ගාථාවක් අනඳ මහතෙරුන් වහන්සේට වදාළා. පසේබුදුවරයන් වහන්සේලා පිළිබඳව තොරතුරු ස්වල්පයක් අප දැන් දන්නවා. උන්වහන්සේලා තුළ ඇතිවෙන ඒ හුදෙකලා අවබෝධය පිණිස පාදක වෙන්නේ යම්කිසි අත්දැකීමක්. එම අත්දැකීම ඔස්සේ ප‍්‍රඥාව මෙහෙයවාලීමෙහි අපූර්ව කුසලතාවක් උන්වහන්සේලා තුළ තිබී තියෙනවා. බොහෝ විට පසේබුද්ධත්වය ලබා තිබෙන්නේ රජ පවුලේ උපන් කෙනෙක්මයි. මෙය ද පුදුම සහගත දෙයක් ලෙසයි අපට වැටහෙන්නේ. එමෙන්ම වර්තමානයේ පවතින නොයෙකුත් සාමාජික, ආර්ථික, දේශපාලනික මතිමතාන්තර ඔස්සේ විමසා බලා පසේබුදුවරුන් ගැන වටහා ගැනීම දුෂ්කර බව අප තේරුම් ගත යුතුයි. උන්වහන්සේලා ගැන සිත පහදවා ගන්නට නම් පච්චේකබුද්ධ බවට පත්වන ඒ මුනිවරයන් වහන්සේලාගේ විස්මිත චරිතාපදානයන් ඒ අයුරින්ම වටහා ගත යුතුයි.

පසේබුදුවරුන් පිළිබඳව නම් ගොත් රාශියක් අපට පෙන්වා වදාළ ඉසිගිලි සූත‍්‍රයෙහි අවසානයට මෙසේ සඳහන් වෙනවා.

“ඒතේ ච අඤ්ඤේ ච මහානුභාවා
පච්චේකබුද්ධා භවනෙත්තිඛීණා
තේ සබ්බසංගාතිගතේ මහේසී
පරිනිබ්බුතේ වන්දථ අප්පමෙය්යෝ’ති”

“මේ බුදුවරු හා අනෙකුත් මහානුභාව බුදුවරුන් ද
භව බන්ධන සිඳ බිඳ ලූ උතුම් පසේ බුදුවරුන් ද
මහ ඉසිවර මේ බුදුවරු සියලූ කෙලෙස් නැති මුනිවරු
පිරිනිවනට වැඩි මුනිවරු අපමණ ගුණ ඇති බුදුවරු
පින්වත් මහණෙනී ඔබත්, වන්දනා කරව් නිරතුරු”

මෙයින් පැහැදිලි වන්නේ පසේබුදු රජාණන් වහන්සේලා වන්දනා කිරීමට අපව පොළොඹවන ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින් මය. එමෙන්ම උන්වහන්සේ කිසිවිටෙකත් බෝසතාණන් වහන්සේලා වන්දනා කරන්න කියා හෝ, බෝසතාණන් වහන්සේලාට පුද පුජා පවත්වන්නට කියා හෝ බාරහාර වෙන්නට කියා හෝ වදාළ තැනක් අපට හමු නොවේ.

පසේබුදුවරයන් වහන්සේලා ගැන සඳහන් ඛග්ගවිසාණ සූත‍්‍රයෙහි හයවෙනි ගාථාවට අයත් පසුබිම් කථාව මෙයයි. බරණැස් නුවර එක රජකෙනෙක් හිටියා. ඔහුගේ නම ඒකවජ්ජික. මොහු ඉතාමත් මෘදු ගති පැවැතුම් ඇති කෙනෙක්. කිසි කෙනෙකුගේ හිත රිද්දවන්න අකමැති කෙනෙක්. තමන් රජෙක් බවවත් නොසළකා ඇමතිවරුන් කියන ඕනෑම ගමනක් යන්න මේ රජු සූදානම්. මොහුගේ ගුණවත්කමින් ඇමතිවරු අයුතු ප‍්‍රයෝජන ගත්තා.

රාජපුරුෂයන් යුතු අයුතුබව නොසළකා, යහපත අයහපත නොසළකා, සුදුසු නුදුසු බව නොසළකා රජතුමාට කරදර කරනවා. එක ඇමතියෙක් මුල්ලකට කතා කොට රජතුමාගේ කණට කොඳුරා මොනවා හරි දෙයක් කියනවා. තව ඇමතියෙක් රජතුමා ආහාර පාන ගන්නට ගිය විට කණට කොඳුරා තව දෙයක් කියනවා. ඇතැම් විට රජතුමාට අවශ්‍ය දෙයක් කරගන්නට ලැබෙන්නේ නෑ.

එක් දිනක් රජතුමා සිරියහන් ගැබෙහි සැතැපී සිටියා. එතකොට රජතුමාට පණිවිඩයක් ආවා.

“දේවයන් වහන්ස, මට කතා කරගත යුතු වැදගත් කරුණක් තියෙනවා. එය පැවසිය යුත්තේ අනිවාර්යයෙන්ම ඔබවහන්සේ සමඟ පමණයි. ඔබවහන්සේ මුණගැසීම මට වුවමනාමයි.”

පණිවිඩකරු කියූ ආකාරයට රජතුමා සිතුවේ කිසියම් වැදගත් භාරදූර රාජකාරියක් අරභයා යම්කිසි කතාබහක් කරන්නට තියෙන බවයි. රජතුමා සිරියහනෙන් නැගිට්ටා. ඇමතියා අඬගැසූ තැනට ගියා. මෙතරම් කඩිමුඩියේ කලබලයේ බරපතල ආකාරයෙන් පැවසූ කරුණ කුමක්දැයි ඇසීමට රජතුමාත් විස්මයෙන් බලා සිටියා. නමුත් ඇමතියා ප‍්‍රකාශ කළේ කිසි වැදගැම්මකට නැති දෙයක්!

තව දිනක් වෙන ඇමතියෙක් කතා කළා.

“මෙය කිව යුත්තේ ඔබවහන්සේටමයි. මෙකරුණ වෙන කෙනෙක් සමඟ කතා කොට පලක් නැහැ. එනිසා ඔබවහන්සේව මට අසවල් තැනදී අනිවාර්යයෙන්ම මුණ ගැසෙන්නට ඕන.”

ඉතින් රජතුමා එතනට ගියා. අර ඇමතියා උගුර පාදලා, රැල්බුරුල් හැරලා, නළලෙහි රැළි නංවා, දෙකණ් සොළවා, උඩු රැවුල පිරිමැද කිසි වැදගැම්මකට නැති දෙයක් කිව්වා.

එක දවසක් තව ඇමතියෙක් රජතුමාට කිව්වා,
“රජතුමනි, මහා වැදගත් කරුණක් තියෙනවා. ඔබවහන්සේට මෙය සැළකිරීමට මහා උපස්ථාන ශාලාවට වඩින්නට ඕන. ඔබවහන්සේ වෙනුවෙන් සියලූ ආරක්ෂාව තියෙනවා. මේ කරුණේ වැදගත්කම සළකා ඔබවහන්සේ වඩින්න.”

රජතුමා කලබල වුණා. වහාම උපස්ථාන ශාලාවට සැපත් වුණා. එහි ආසනයෙහි වැඩසිටියා. අර ඇමතියා කලබලයෙන් ආවා. කිසි වැදගැම්මකට නැති කරුණක් කිව්වා. ඔය ආකාරයට රජතුමා ඇතා පිට සිටිද්දීත්, රාජ අශ්වයා පිට සිටිද්දීත් ඇමතිවරු ඇවිත් නොයෙක් දේවල් කණට කොඳුරනවා.

දවසක් රජතුමා දෝලාවක නැගී උයනට යමින් සිටියා. අතරමගදී ඇමතියෙක් හමුවුණා. දෝලාව නැවැත්තුවා. පණිවිඩයක් යැව්වා.

“රජතුමනි, ඉතා වැදගත් කරුණක් කතා කරන්නට තියෙනවා. මෙය කතා කළ යුත්තේ හුදෙකලාවේමයි. ඔබවහන්සේ දෝලාවෙන් බිමට සැපත් වී අසවල් ගස ළඟට වඩින සේක්වා.”

රජතුමා දෝලාවෙන් බැස්සා. ගස ළඟට ගියා. ඇමතියත් ආවා. දෙදෙනාම හුදෙකලා වුණා. ඇමතියා ඉතා හෙමිහිට රහසේ රජතුමාට කිව්වේ කිසි වැදගැම්මකට නැති දෙයක්.

දිනක් රජතුමා රාජ හස්තියා පිට නැගී ජනපද චාරිකාවේ යනවා. ඇමතියෙක් රජතුමාට පෞද්ගලිකව කතා කළ යුතු යැයි දන්වා සිටියා. රජතුමා ඇතු පිටින් බැස්සා. ඇමතියා ළඟට ගියා. ඇමතියා අත්වල ඇඟිලි පටලවාගෙන ශබ්ද ඇසෙනා ලෙස ඇඟිලි කඩමින් මහා ගරු ගාම්භීර ස්වරයෙන් කිසි වැදගැම්මකට නැති දෙයක් කිව්වා.

අන්තිමේදී රජතුමාට ඇමතිවරු දකින කොටත් වමනෙට ආවා. රාජකෘත්‍යය පිළිකුල් වුණා. හැමදෙයක්ම එපා වුණා.
“මොන වදයක්ද මේ…? මේ ඇමතිවරු හදන්නේ එක එක්කෙනා මට ළං වෙන්නයි. මුන්දැලාගේ අදහස හරි ආත්මාර්ථකාමියි. මට ළං වෙන්නේ මට ඇති ආදරයකට නොවෙයි. මගෙන් අයුතු ප‍්‍රයෝජනයක් ගන්නයි. කුමක් හෝ ලාභයක් ලබා ගන්නයි. මගේ ළඟට ළං වෙලා කණට කොඳුරන්නේ මුන්දැලාට ඇති අසනීපය කුමක්ද? එක එක්කෙනා පෙන්නන්නට හදන්නේ තමා තමයි රජතුමාට වඩාත් සමීප කියා ඉස්මතු කරන්නයි. හනේ හපොයි! මේ රජකමක් නිසා මං විඳින දුකක්!”

රජතුමා ටිකෙන් ටික හුදෙකලා වුණා. භාවනාවට පෙළඹුණා. ඇමතිවරු හිතු මනාපෙට රාජකෘත්‍යය කරගෙන ගියා. හොඳට හම්බ කළා. අල්ලස් ගත්තා. වංචා කළා. තමන්ට හිතවත් අයට තනතුරු දුන්නා. අහිතවත් අය තනතුරුවලින් පහ කළා.

දිනක් ඇමතියෙක් රජතුමා ළඟට ආවා.
“මහරජ්ජුරුවන් වහන්ස, ඔබවහන්සේ මං ගැන දන්නවානේ. මං මේ රාජ මාළිගයෙහි අවංකව සේවාව කරන ඇමතියෙක්. මෙතෙක් කලක් ඔබවහන්සේට ඇප උපස්ථාන කරපු දේට සම්මානයක් මට ඕනෙමයි. ඒ වෙනුවෙන් මං ඔබවහන්සේගෙන් ඉල්ලා සිටින්නේ අසවල් ජනපදයේ මහඇමතිකම මට භාර දෙන ලෙසයි.”

“නෑ… නෑ… එහෙම දෙන්න විදිහක් නෑ. ඔහේ කියන විදිහට කොහොමද මහඇමතිකම් දෙන්නේ? මං එය වෙන කෙනෙකුට දීලයි තියෙන්නේ.”

ඇමතියා කිපුණා. නිශ්ශබ්දව සිටියා. වචනයක් කිව්වෙ නෑ. කෝපයෙන් හැරිලා ගියා. සේනාව සමඟ ජනපදය ආක‍්‍රමණය කළා. කෝළාහලයක් ලොකුවට ඇතිවුණා. ජනපදය භාරදුන් ඇමතියයි, විරුද්ධවාදීකම් කරන ඇමතියයි ඇවිදින් රජතුමාට පැමිණිලි කළා. එකිනෙකාට දොස් කියාගන්නවා. අපහාස කරගන්නවා. මේ ගාලගෝට්ටිය රජතුමාට මහ වදයක් වුණා.

“ඒක හරි වැඩක් නෙව. මෙවුන්ට ඇමතිකමුත් දුන්නා. මෙවුන් එකෙක්වත් සංතෝෂ කරන්න බැහැ නෙව.” රජතුමා කළකිරුණා. සඳළුතලයට නැංගා. භාවනා කරන්න පටන් ගත්තා. විසිරෙන සිත සංසිඳී ගියා. චිත්ත සමාධිය ඇතිවුණා. සමථ භාවනාව දියුණු වුණා. සිත වැඞී ගියා. මේ තෘෂ්ණාවට හේතුව විමසන්න පටන් ගත්තා. මේ සියල්ලට හේතුව වින්දනය බවත්, ආස්වාදය නිසාම තෘෂ්ණාව හටගන්නා බවත්, තෘෂ්ණාව නිසාම ඒ අරමුණට සිරවෙන බවත්, ඒ සිර වූ අරමුණෙන් නිදහස් විය නොහැකිව ඒ තුළම චේතනා පහළ කරමින් සිත, කය, වචනයෙන් කර්ම රැස් කරන බවත් වැටහෙන්න පටන් ගත්තා. රජතුමා තවත් ගැඹුරට විමසුවා. ප‍්‍රඥාව වැඞී ගියා. ඇල්ම නිසා හටගන්නා සියළු ආදීනව මැනැවින් වැටහී ගියා. අවබෝධයෙන්ම කළකිරුණා. නොඇල්ම ඇතිවුණා. සියල්ලෙන් නිදහස් වී ගියා. නිකෙලෙස් වුණා. අරහත්වයට පත්වුණා. පසේබුදුරජාණන් වහන්සේ නමක් බවට පත්වුණා.

ඇමතියෙක් දුවගෙන ආවා. “පින්වත් මහරජාණන් වහන්ස, තමුන්නාන්සේට විතරක් පැවසිය යුතු ඉතා වැදගත් කරුණක් තියෙනවා. මෙය නම් කියන්න ඕනමයි. ඒ නිසා ස්වල්පයක් මෙතැනට වඩින සේක්වා!”

“පින්වත් ඇමතිය, මේ රජකම නැමැති අවුලෙන් මං දැන් නිදහස්! මෙය මට අකැප දෙයක්. මෙය කෙරෙහි මගේ සිත දැන් පිහිටන්නේ නෑ. මට මෙයින් පලක් නෑ. මෙයින් නිදහස් වූ සිත උදාරයි. ඇල්ම රහිත වූ සිත මට මහ සතුටක් උපදවා දෙනවා. ඒ විරාගී සතුට තමයි දැන් මට අයිති දෙය.”

ඇමතියා කලබල වුණා. රජතුමා වෙනස්. වෙනදා කතා කරන රජතුමාට වඩා කිසියම් මුනිවරයෙකුගේ කතාබහක් රජුගේ වචන තුළින් ඉස්මතු වුණා. ඇමතිවරු රැස්වුණා. රජතුමාට කරුණු පැහැදිලි කළා.

“පින්වත් රජ්ජුරුවන් වහන්ස, ඔබවහන්සේ නිසාමයි අපි මේ සැපසේ වාසය කරන්නේ. ඔබවහන්සේ අපට ඉතාමත් ලෙන්ගතුව සිටියා. දැන් ඔබවහන්සේ අපෙන් වෙන් වූ කෙනෙක් වගේ කතා කරන්නේ. අපෙන් වරදක් වුණා වත්ද? අපේ ඒ වරදට කමා කරන සේක්වා! රාජ්‍යානුසාසනාව අපට ලබාදෙන සේක්වා! අපි ඔබවහන්සේට ලබැඳි සෙනෙහසින් රාජකෘත්‍යය කරන්නට කැපවී සිටින්නමෝ වෙමු.”

“ඇමතිවරුනි, රාජකෘත්‍යය මට අයත් දෙයක් නොවේ. මට අයත්ව තිබෙන්නේ හුදෙකලාවේ ලබන විරාගී සුවයයි. රුක් සෙවණක, ගිරි ගුහාවක, කඳු රැුළියක, ගං තෙර වැලි තලාවෙක හුදෙකලාවේ බවුන් වැඞීමයි මට අයත්ව තිබෙන්නේ.”

“පින්වත් රජ්ජුරුවන් වහන්ස, ඔබවහන්සේ පවසන දෑ ශ‍්‍රමණයන් වහන්සේලාගේ කෘත්‍යයටයි අයිති. පච්චේකබුද්ධ නමින් ශ‍්‍රමණ කොටසක් ඉන්නවා. උන්වහන්සේලා නම් ඔවැනි බස් පවසනවා. නමුත් ඔබවහන්සේ රජෙක් මිස ඒ වගේ කෙනෙක් නොවේ. ඔබවහන්සේ සුවඳ පැනින් නහා, සුවඳ ගල්වා, කෙස් සාදා, රන් රුවන් අබරණ පැළැඳ, සිනිඳු කසී සළු දරමින් රන් මිරිවැඩි පය ලා සිටින කෙනෙක්. පසේබුදුවරු වනාහී කෙස් රැවුල් බහා, කසා වත් දරා, පාත‍්‍ර අතෙහි දරා හුදෙකලාවේ පිඬු සිඟා වඩින ශ‍්‍රමණයන් වහන්සේලාය. එවැනි දෙයක් අපි ඔබවහන්සේගෙන් නොදකිමු.”

එතකොට රාජවේශයෙන් සිටි මෙතුමා හිස අතගෑවා. වස්ත‍්‍ර දෙස බැලූවා. ඒ සැණින්ම කෙස් රැවුල් අතුරුදහන් වුණා. ඉර්ධියෙන් කසාවත් පෙරවුණා. පාත‍්‍රයක් අත රැඳුණා. මිහිරි ස්වරයෙන් මේ ගාථාව ප‍්‍රකාශ කොට පසේබුදුවරුන්ගේ ලොවට වැඩම කළා.

ආමන්තණා හෝතු සහාය මජ්ඣේ
වාසේ ඨානේ ගමනේ චාරිකාය
අනභිජ්ඣිතං සේරිතං පෙක්ඛමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

“මිත‍්‍රාමාත්‍යයන්ට මැදි වී සිටිද්දී කෙළවරක් නැති ආමන්ත‍්‍රණ තියෙනවා. වාසය කරන තැන, ඉන්න තැන, ගමන් යන තැන, චාරිකාවේ යන තැන කියලා නෑ. කණට කොඳුර කොඳුර කියනවා, ඉල්ලනවා. මෙයට මං කැමති නෑ. මං කැමති නිදහසටයි. ඒ නිදහසයි මං සොයමින් හිටියේ. ඇත්තෙන්ම මං දැන් හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴

ආශාව පසුපස ගියොත් මැරෙන්නට වෙන්නේ සෑහීමකට පත් නොවීමයි.

$
0
0
4_5 stanza

෴  5 ගාථා රත්නය
පතිපූජිකාවගේ කථා වස්තුව

“ආශාව පසුපස ගියොත් මැරෙන්නට වෙන්නේ සෑහීමකට පත් නොවීමයි.”

පින්වතුනේ, පින්වත් දරුවනේ,

මේ කතාවත් හරිම අගෙයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩසිටිද්දී තමයි මෙය සිදුවුනේ. තව්තිසා දෙව්ලොව මාලභාරී කියලා දිව්‍ය පුත‍්‍රයෙක් සිටියා. ඔහුට දිව්‍ය අප්සරාවන් දාහක් හිටියා. ඉතින් මාලභාරී දිව්‍ය පුත‍්‍රයා මේ දාහක් අප්සරාවන් පිරිවරාගෙන උද්‍යාන ක‍්‍රීඩාවට යනවා. එහිදී පන්සියයක් අප්සරාවන් මල් ගස්වලට නගිනවා. නැග මල් ගස් සොලවනවා. ඒ වැටෙන වැටෙන මල් අනික් අප්සරාවන් පන්සිය දෙනා ඇහිඳිනවා. ඉන්පසු ඒ මල් ගෙන අර දිව්‍ය පුත‍්‍රයාව අලංකාර කරනවා. දවසක් එක දෙව්දුවක් මල් ගසට නැඟ ඒ මල් ගසේ අත්තක් සොලවා සිටිද්දී එතනම චුත වුනා. පහන් සිලක් නොපෙනී ගියා වගේ ඇය චුත වුනා. ඉතින් ඒ දෙව්දුව සැවැත් නුවර මිනිස් පවුලක ඉපදුනා. ඇය හරිම ලස්සනයි. ඇයට කුඩා කාලයේදීම ඇගේ අතීත ජන්මය මතක් වුනා. “අනේ මං මාලභාරී කියන දිව්‍යපුත‍්‍රයාට බිරිඳ වෙලා සිටිය කෙනෙක්. මට මේ මොකද වුනේ?” කියල ඈ මිනිස් උපත ගැන කැමති වුනේ නෑ. ආයෙමත් ස්වාමියා ළඟම උපදින්නට ඕන කියල නිතර නිතර ප‍්‍රාර්ථනා කළා. මෙය ඉෂ්ට කරගන්නට පුළුවන් වන්නේ හොඳින් පින් කිරීමෙන් බව ඇය දැනගත්තා.

ඉතින් මේ දැරිය සොළොස් වස් වූ කළ විවාහ කොට දුන්නා. දැන් ඇය නිතර නිතර භික්ෂූන් වහන්සේලාට දන් දෙනවා. සෑම පින්කමක්ම කරලා ඇය කියන්නේ “මේ පින මට මා කලින් සිටිය ස්වාමියා ළඟම උපදින්නට උපකාරී වේවා!” කියලයි. එනිසාම ඇය චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්නට උත්සාහ කළේ නෑ. දිව්‍ය කාම සැපයටම ආශා කර කර සිටියා. නමුත් හොඳට පින්කළා. භික්ෂූන් වහන්සේලා ඇගේ පතිභක්තිය දැක පතිපූජිකා කියන නම දැම්මා. ඊට පස්සේ ඇය ප‍්‍රසිද්ධ වුනේ ඒ නමින්.

ඇය චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්නට මහන්සි නොවුනාට ඉතාමත්ම ශ‍්‍රද්ධාවන්තයි. ඇය විශේෂයෙන්ම කළේ දන්දීමයි. සිල් රැකීමයි. ඈට දරුවන් සතර දෙනෙක් ලැබුනා. කිසි කටයුත්තක් අතපසු නොකොට සෑම දෙයක්ම කරමින් නිතර දන් දුන්නා. ප‍්‍රණීතව දන් දුන්නා. දාන ශාලා ඇමදීම, පැන් පෙරාගෙන පැමිණීම, ආසන පැණවීම ආදී සෑම දෙයක්ම ඇගේ අතින්ම කරනවා.

දිනක් ඈ දන් දී සිල් සමාදන් වී සතුටෙන් සිටිද්දී හදිස්සියේ ඇති වූ රෝගාබාධයකින් කළුරිය කළා. එසැණින් ඈ මාලභාරී දිව්‍ය පුත‍්‍රයා ළඟ ඉපදුනා. දිව්‍ය පුත‍්‍රයා ඇය දැක “භවතී, උදේ සිට මේ සවස් වන තුරු දැක්කෙ නෑ. කොහේද ගියේ?” “ස්වාමීනී, මං චුත වුනා.” “චුත වුනා…?” “එසේය ස්වාමීනී” “ඉතින් මොකද වුනේ?” “ස්වාමීනී, මං මිනිස් ලෝකෙ උපන්නා. සැවැත් නුවර ගෙදරකයි ඉපදුනේ.”

4_5 stanza

“ඉතින් එහේ ඔයා කොච්චර කල් හිටියද?” “මව් කුසේ දස මාසයක් හිටියා. වයස දාසයේදී විවාහ වුනා. දරුවො හතර දෙනෙකුත් ලැබුනා. මං හැබැයි ගොඩාක් පින් කරගත්තා. ඊට පස්සේ තමයි ආයෙමත් මගේ දිව්‍ය පුත‍්‍රයා ළඟට මං ආවෙ.” “මනුෂ්‍යයින්ට ආයුෂ කොච්චරක් තියෙනවද?” “අවුරුදු සීයයක් විතර තියෙනවා” “අපොයි! එච්චරක්ද?” “එසේය ස්වාමීනී.” “ඉතින් එහෙමනම් මිනිස් ලොව ඉපදුන අය කෑමට, බීමට, නින්දටද වැඩිය කාලය යොදන්නේ? එහෙම නැත්නම් දානාදී පින්කම් කරනවාද?” “අනේ ස්වාමීනී, මොනවද මේ අහන්නෙ? මිනිස්සු හිතාගෙන ඉන්නේ අසංඛෙය්ය ගණන් ආයුෂ තියෙනවා කියලයි. උන්දැලා අජරාමර වෙලා කියලයි හිතාගෙන ඉන්නේ. කිසි ගාණක්වත් නෑ.”

එතකොට මාලාභාරී දිව්‍ය පුත‍්‍රයා මහා සංවේගයට පත් වුනා. “අනේ… අවුරුදු සියයක් ආයුෂ ඇතුව උපත ලබා මේ මිනිස්සු ලෞකික ජීවිතය ගැනම ප‍්‍රමාද වෙවී ඉන්නවා නම්, ඒ මිනිස්සු දුකින් මිදෙන්නේ කවදාද?”

“මිනිසුන්ගේ ආයුෂ අවුරුදු සියයක් තව්තිසාවේ එක දවසයි. එවැනි දවස් වලින් තිස් දවසක් මාසයයි. එවැනි මාස දොළහක් අවුරුද්දයි. එවැනි අවුරුදු දහසක ආයුෂ තව්තිසා දෙවියන්ට තියෙනවා. මිනිසුන්ගේ ආයුෂ වලින් ගත්තොත් අවුරුදු කෝටි හැට ලක්ෂයක් වෙනවා. එහේ දිව්‍ය පුත‍්‍රයෙකුගේ එක දවසක් ගෙවී යන්නටත් කලින් මිනිස් ලෝකෙ ආයුෂ ඉවර වෙලා යනවා.

භික්ෂූන් වහන්සේලා පසුවදා දානයට වඩිද්දී වෙනදා තරම් දාන ශාලාව ලස්සන නැහැ. හොඳින් අතුපතු ගාලත් නෑ. පිළිවෙලකට ආසන පණවලත් නෑ. පැන් පෙරලා ගෙනැවිල්ලත් නෑ. භික්ෂූන් වහන්සේලා විමසුවා. “පතිපූජිකාව කොහෙවත් ගියාද?” “ස්වාමීනී, ඔබවහන්සේලා දැක්කෙ නැහැ නෙව. ඔබවහන්සේලා දන් වළඳා වැඩියාට පස්සේ හවස් වරුවේ ඇය මියගියා.”

භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් මෙම කරුණ විමසුවා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, සංඝයාට ඉතාමත්ම හොඳින් ඇප උපස්ථාන කළ, වත් පිළිවෙත් කළ පතිපූජිකාව මිය ගිහින්. ඈ කොහේද උපන්නේ?” “පින්වත් මහණෙනි, ඇය තමන්ගේ ස්වාමියා ළඟ නෙව ඉන්නේ” “අනේ ස්වාමීනී, පතිපූජිකාවගේ ස්වාමියා ළඟ අද ඇය නැහැ.” “පින්වත් මහණෙනි, පතිපූජිකාව මේ ස්වාමියාව පැතුවෙ නෑ. ඇය පැතූ ස්වාමියා සිටියේ දෙව්ලොවයි. ඔහුගේ නම මාලභාරී. ඔහු සිටින තැන දිව්‍ය අප්සාරාවන් මල් සරස සරසා ඉන්නේ. දැන් ඇය එතන මල් නෙලනවා.” මෙසේ වදාළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉතාමත් මිහිරි ස්වරයෙන් මෙම ගාථාව වදාළා.

පුප්ඵානි හේව පචිනන්තං – බ්‍යාසත්තමනසං නරං
අතිත්තං යේ’ව කාමේසු – අන්තකෝ කුරුතේ වසං

මල්වලට ආසා කොට – මල් සොයා යන මිනිසා
මල්ම සොයමින් ගොස් – එයම රැස්කරනා ලෙස
කාමයම පසුපස යන – එයට මත් වූ මිනිසා
කිසිදින නොසෑහී – මාරයා වසඟයට යයි

පින්වතුනේ, පින්වත් දරුවනේ, මල්කාරයෙක් මල් රැස්කරනවා වගේ කම් සැපයම සොයන කෙනා ඒ ගැනමයි කල්පනා කර කර ඉන්නේ. මල්කාරයත් එහෙමයි නෙ. ඔහු සිතන්නේ ලස්සන මල් එකතු කිරීම ගැනයි. එයම යි කල්පනා කර කර ඉන්නේ. රැස් කරන්නෙත් ඒවාමයි. කාමයට ඇළුණු මිනිසාත් ඒ ගැනමයි සිත සිතා ඉන්නේ. එයින්මයි තෘප්තියක් සොයන්නේ.

නමුත් ඔහුට මොනවා තිබුනත් ඔහුගේ ආශාවේ ඉවරයක් නෑ. තෘප්තියට පත්වීමේ නිමාවක් නෑ. ඉතින් කාමයන්ට තෘප්තිමත් නොවීම, ඔහු මාරයාගේ වසඟයට පත්වෙනවා. මැරිලා යනවා.

මේ නිසා නුවණැති කෙනා කාමයන්ට මුළා නොවී පින් කරගන්නට මහන්සි විය යුතුයි. දන් දීම පුරුදු කළ යුතුයි. සිල් රැකීමත් පුරුදු කළ යුතුයි. භාවනා කිරීමත් පුරුදු කළ යුතුයි. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට ලැබුනොත් ඒ තැනැත්තාට නම් භය වෙන්නට කිසි දෙයක් නෑ. සතර අපායේ උපදින්නෙ නැහැ නෙව. සෝවාන් වුන කෙනෙක් ඉපදුනොත් උපදින්නේ දෙව්ලොවත්, මනු ලොවත් විතරයි. එනිසා සෝවාන් වෙන්නට ලැබුනොත්, ඒ කියන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට ලැබුනොත් කොයිතරම් ලාභයක්ද?

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අසිරිමත් පසේබුදු පෙළහර 7

$
0
0
pasebudu-pelahara7


මිතුරන් අතරේ සිටි විට – සෙල්ලමට ඇලේ
දරුවන් අතර සිටි විට – පෙම බලවත් වේ
ප‍්‍රියයන් කෙරෙන් වෙන් වන – දුකට පිළිකුල් කරමින
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….

pasebudu-pelahara7

පගේ ශාස්තෘන් වහන්සේ සසර පිළිබඳවත් භව ගමනේ ඇති විවිධ විචිත‍්‍රත්වය පිළිබඳවත් අතැඹුලක් සේ පසක් කොටයි ලොවට පහදා දෙන්නේ. පසේබුදුවරුන් පිළිබඳව මේ අසිරිමත් වෘත්තාන්තයන් අපට දැනගන්නට ලැබුණේත් ඒ නිසාමයි.

පසේබුදුවරුන් පහළ වූ යුගයේදී අද අපි අසන අයුරින් චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස දහම් දෙසන්නට ලොව කවුරුවත් සිටියේ නැහැ. එයට හේතුව සම්මා සම්බුදු කෙනෙකුන් පහළ නොවී තිබීමයි. එනිසා ලොව කිසිවෙකුට සම්බුදු කෙනෙකුගේ මුවින් මුල, මැද, අග පිරිසිදු පැහැදිලි අරුත් ඇති, පැහැදිලි වදනින් සපිරි, ඒ අමා නිවන් මග නම් අබුද්ධෝත්පාද කාලයක අසන්නට ලැබෙන්නේ නෑ.

පසේබුදුවරයන් වහන්සේලා අවබෝධය ලබන්නේ සද්ධර්මශ‍්‍රවණයෙන් තොරවයි. අප අයිති වන්නේ ශ‍්‍රාවක ගණයටයි. ශ‍්‍රාවකයන් කරනු ලබන්නේ ශ‍්‍රවණය කොට දැනුම ලබාගැනීමයි. එසේ ලබාගත් ධර්මඥානය ඇසුරෙන් නුවණ මෙහෙයවා සත්පුරුෂ භූමියට පැමිණෙන්ට ශ‍්‍රාවකයන්ට වාසනාව ලැබෙනවා. සත්පුරුෂ භූමියට පත් ශ‍්‍රාවකයන් තුළ පළමුව පිහිටන්නේ කෙළෙහි ගුණයි. කෙළෙහිගුණ දන්නා බව සත්පුරුෂ භූමිය හඳුනාගන්නා සළකුණ වේ. ඒ සඳහා බාහිරින් ලැබෙන සද්ධර්ම ශ‍්‍රවණය පිණිස කල්‍යාණමිත‍්‍ර සේවනය අතිශයින්ම උපකාරී වේ. අභ්‍යන්තරව ඇති යෝනිසෝ මනසිකාරය නම් වූ නුවණින් විමසීම අතිශයින්ම උපකාරී වේ. මෙසේ අභ්‍යන්තර බාහිර හේතු කාරක ධර්මයන්ගේ සමෝධානයෙන් සත්පුරුෂ භූමියට පත් ශ‍්‍රාවකයා පෘථග්ජන භාවයෙන් අත්මිදී ආර්යශ‍්‍රාවකභාවයට පත් වේ.

පසේබුදුවරයන් වහන්සේලාගේ ස්වභාවයට මෙයට වෙනස්ය. උන්වහන්සේලාට සද්ධර්ම ශ‍්‍රවණය නොලැබේ. සමථ භාවනාව දියුණු කරගත යුතු ආකාරය හෝ ස්කන්ධ, ධාතු, ආයතන විමසමින් විදර්ශනා ප‍්‍රඥාව දියුණු කරගත හැකි ආකාරය හෝ සවිස්තරව පෙන්වා දෙන කළණ මිතුරන්ගේ ඇසුර එකලට නැත. මෙහිදී සිදුවන්නේ බාහිර උපකාරයකින් තොරව ස්වකීය ප‍්‍රඥාව දියුණු වීමයි. මේ සඳහා පුණ්‍ය මහිමයෙන් සකස් වූ නුවණින් විමසීමේ හැකියාව නිසැකවම උපකාරී වෙනවා.
ඛග්ගවිසාණ සූත‍්‍රයෙහි ඇතුළත් හත්වෙනි ගාථාවට අදාළ කථා ප‍්‍රවෘත්තිය මෙයයි. එක්තරා අවධියක බරණැස් නුවර බ‍්‍රහ්මදත්ත නම් රජෙක් වාසය කළා. මොහුට එක පුත් කුමරෙක් සිටියා. ඉතින් මේ රජතුමා ඒ පුත් කුමරාට අසීමිත ආදරයක් දක්වන්නට පටන් ගත්තා. මේ කුමරා නොදැක නොසිටිය හැකි තරමටම දරු ස්නේහය ලියලා තිබුණා. ඒ රජතුමා බොහෝ විට ආහාර ගන්නේ, වාසය කරන්නේ, නිදාගන්නේ, මේ පුත් කුමරා සමඟයි. එනිසාම රජතුමාට ‘ඒකපුත්තික බඹදත් රජු’ යන නම පටබැඳුණා. එනම් එකම දරුවෙක් සිටින බඹදත් රජා යන්නයි.

දිනක් රජතුමා උද්‍යාන ක‍්‍රීඩාවට ගියා. එදා පුත් කුමරාට මාළිගයේ රැඳී සිටින්නට අවශ්‍ය වුණා. ඒ නිසා පිය රජු සමඟ උයන් කෙළියට ගියේ නෑ. රජතුමා සාංකාවෙන් වගේ උයන් කෙළියට ගියේ. රජතුමාට කිසි සතුටක් තිබුණේ නෑ. ඒ නිසාම පුතු පැමිණියේ නැති සාංකාව මග හැරගන්නට රජතුමා ඇති පදමට මද්‍ය පානය කළා. එනිසාම කුමරුව අමතක වුණා.
ඔය අතරේ මාළිගයේ සෙල්ලම් කරමින් සිටි පුත් කුමරා හදිසියේ අසනීප වුණා. අසාධ්‍ය වුණා. රාජකීය වෛද්‍යවරුන් කැඳවා ප‍්‍රතිකාර කරන්නට උත්සාහ කළත් අසාර්ථක වුණා. මිය ගියා. ඇමතිවරු කලබල වුණා.

“හරි වැඬේ! දැන් අපි මොකද කරන්නේ? රජ්ජුරුවන් වහන්සේ මේ විපතට කොයි ආකාරයෙන් මුහුණ දෙයිදැයි කාට නම් කිව හැකිද? රජ්ජුරුවන්ට තමාගේ නෙත් සඟල වන් ප‍්‍රිය පුත‍්‍ර රත්නය මේ අයුරින් මළකඳක් ලෙස දකින්නට ලැබුණහොත් මක් වේවිද? හදවත පැළී යාවිද? සිහි විකල් වේවිද? උමතුවේවිද?”

එතකොට ප‍්‍රධාන පුරෝහිත බ‍්‍රාහ්මණයා මෙහෙම කිව්වා.

“ඇමතිවරුනි, අපට කරන්නට තියෙන්නේ එක දෙයයි. අපි රජතුමාට මෙය නොදන්වා සිටිමු. මෙය දැනගත හොත් කුමක් වේවිදැයි කිව නොහැකියි. එනිසා රජතුමාට නොදන්වාම කුමාරයාගේ ආදාහන කටයුතු අවසන් කරමු.”

ඉන්පසු පුරෝහිත බ‍්‍රාහ්මණයා ප‍්‍රධාන අමාත්‍ය මණ්ඩලය රැස්වුණා. අගබිසව ප‍්‍රධාන කුලාංගනාවන් රැස් වුණා. රජතුමාගේ ජීවිතය බේරා ගැනීම පිණිස කළ යුතු දේ ගැන ගැඹුරින් සාකච්ඡා කළා. කිසිවෙකුටත් මේ ගැන සිතා ගත නොහැකියි. රජතුමා එතරම්ම තම පුත් කුමරාට වසඟව සිටියා. රජතුමාගේ ජීවිතය රැක ගැනීම උදෙසා දරුවාගේ මෘත ශරීරය නොපෙන්විය යුතු යැයි පැවසූ පුරෝහිත බ‍්‍රාහ්මණයාගේ තීරණයට එකඟ වෙන්නට සියල්ලන්ටම සිදුවුණා. එනිසා සියලූ දෙනා හැඬූ කඳුලින් යුතුව පුත් කුමරාගේ අවසන් කටයුතු සිදු කළා.

උද්‍යාන ක‍්‍රීඩාවට ගිය රජතුමා එදා බොහෝ වේලාවක් උයනේම ගත කළා. දිගින් දිගටම මද්‍ය පානය කළා. සවස් වෙද්දී රජතුමා පැමිණ කෙළින්ම සිරියහන් ගබඩාවට ගොස් පුත් කුමරා සිහි නොකොට නින්දට බැස ගත්තා. දෙවෙනි දවසේ සුවඳ පැන් ස්නානය කොට ආහාර අනුභව කරන වේලෙහි පුත් කුමරාව සිහි වුණා.

“ඇමතිවරුනි, කෝ…. කුමාරයා? ඊයෙ දවස පුරාම මට කුමාරයාව දකින්නට ලැබුණේ නෑ. වෙනදාට මාළිගය පුරා දුව පැන ඇවිදින හඬ ඇසෙනවා. අද කිසිවක් නොඇසේ. කුමාරයා වෙන තැනක සෙල්ලමෙන් කල් ගෙවනවා වත්ද? කමක් නෑ. ඉක්මනින් කුමාරයාව ගෙන එන්න. මගේ අතින්ම මගේ පුතුට බත් කවන්නට ඕන.”

ඇමතිවරු බිම බලාගත්තා. බිසවුන් වහන්සේ තිරයට මුවා වී කඳුළු වැකුණු මුහුණුන් රජතුමා දෙස බලා සිටියා. සියලූ දෙනා නිශ්ශබ්ද වුණා. මොහොතකට මුළු මාළිගාවම ගොළු වී ගිය බවක් දිස්වුණා. ආයෙමත් රජතුමා කතා කළා.

“මොකෝ මේ….? ඇයි? කුමාරයා කොහේවත් ගියාද? මොකද නිශ්ශබ්ද?”

සියල්ලන්ටම මෙම ශෝකජනක ප‍්‍රවෘත්තිය හදවතෙහි දරා සිටින්නට බැරිව ගියා. එසැණින්ම සියලූ දෙනා හඬා වැටුණා. බිසවුන් වහන්සේ පැමිණ රජතුමා පාමුල වැටී වැළපෙන්න පටන් ගත්තා.

රජතුමා අන්දමන්ද වුණා. නෙත් විදහාගෙන වටපිට බැලූවා. තැති ගත්තා. කිසිවක් තේරුණේ නෑ.

“ඇයි මේ? ඇයි මේ වැළපෙන්නේ? මොකද වුණේ? ඔව්… කියන්න. මොකද වුණේ?”

“දේවයන් වහන්ස, අපේ රත්තරන් පුත් කුමරා ඊයේ අභාවයට පත් වුණා. අපට උහුලගන්න බෑ. සිත් වේදනයි. ඔබවහන්සේ අපේ පුත් කුමරාට දැක්වූ අසීමිත ආදරය නිසා එකවරම මේ කාරණය අපි කිව්වෙ නෑ. පුත් කුමරා මිය ගියා. ඊයේම ආදාහන කටයුතු කළා. අනේ දෙවියනේ…. මෙවැනි දෙයක් අපි කොහොමද ඉවසන්නේ? ඔබවහන්සේට මෙය උසුලන්නට නොහැකි වුවහොත් කරදරයකට පත්වේවි යන අදහසිනුයි මෙතෙක් වේලා නොකියා සිටියේ. ඔබවහන්සේට ඇති ආදරය නිසාමයි අපි නොකියා සිටියේ.”

රජතුමා දෑස පියා ගත්තා. හිත හදාගන්නට මහන්සි ගත්තා. හදවත පැළී යන තරම් දරුණු වූ දරු ශෝකයක් ඉස්මතු වෙවී ආවා. සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු රිදුම්කන වේදනාවක් පැනනැංගා. රජතුමා දැඩි ආයාසයකින් එය මැඬ ගත්තා. රජතුමා ශෝකය මඬින්නට වෙර වඩද්දී ඇඟ මවිල් කෙලින් වී යන අයුරු හැමෝම බලා සිටියා. රජතුමා ඇස් ඇරියේ නෑ. බොහෝ වේලාවක් ඒ ඉරියව්වේම සිටියා.

ජීවිතය යනු ඇති වී නැති වී යන දෙයක් බව තේරුම් ගන්නට රජතුමා මහන්සි ගත්තා. ක‍්‍රමක‍්‍රමයෙන් වේදනාව තුනී වී ගියා. ශෝකය අඩු වී ගියා. කායික මානසික අපහසුතා සංසිඳී ගියා. සිත එකඟ වී ගියා. රජතුමාට හිතෙන්නට පටන් ගත්තා, “ඔව්. මරණයට පත්වීම උපන් මොහොතේ සිටම තියෙන එකක්. මෙය ධර්මතාවයක්. උපන් සත්වයාට මෙයින් මිදෙන්නට පිළිවෙලක් නෑ. ඉපදීම ඇති කල්හි ජරා මරණ තියෙනවාමයි. උපදින්නේ මක් නිසාද? උපන් සත්වයා තුළ පැහැදිලි විවිධත්වයක් තියෙනවා. මේ සත්වයා ඉපිද සිටින්නේ ඒකාකාරී ලෙස නොවෙයි. මෙයට හේතුව තම තමා තුළ සකස් වූ කර්ම විපාකයන්ගේ වෙනස්කම බව පැහැදිලියි. භවය ඇති කල්හි ඉපදීම සිදුවේ. භවය හටගන්නේ මක් නිසාද? කෙනෙක් තුළ උපතක් පිණිස කර්ම සකස් වන්නේ යමකට සිරවී සිටි විටයි. උපාදානය ඇති විටයි. එසේ නම් උපාදානය ඇති කල්හි භවය ඇත. මේ අයුරින් ‘මෙය ඇති කල්හි මෙය ඇත’ යන ධර්මතාවයත්, ‘මෙය උපදින විට මෙය උපදී’ යන ධර්මතාවයත් වැටහෙන ආර්ය න්‍යාය රජතුමාට අවබෝධ වෙන්න පටන් ගත්තා.

එමෙන්ම හේතු ප‍්‍රත්‍යයන්ගෙන් හටගන්නා යම් දෙයක් ඇද්ද, ඒ හේතු නිරුද්ධ වීමෙන් ඒ පල ද නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්ත බව රජතුමාට අවබෝධ වුණා. ‘මෙය නැති කල්හි මෙය නැත’ යන ධර්මතාවයත්, ‘මෙය නිරුද්ධ වන කල්හි මෙය නිරුද්ධ වේ’ යන ධර්මතාවයත් රජතුමාට අවබෝධ වුණා.

රජතුමා තුළ සමාධියත්, ප‍්‍රඥාවත් මැනැවින් වැඞී ගියා. ලොවෙහි පැවැත්ම තුළ තිබෙන්නේ ආස්වාදයට මුලා වී සිටීම නිසා, ආදීනව වැළඳගෙන සිටීම බව මැනැවින් පසක් වී ගියා. ආස්වාදයෙනුත් ආදීනවයෙනුත් නිදහස් වීම පිණිස අවබෝධයෙන්ම ඒවා අත්හළ යුතු බවත් රජතුමාට පසක් වුණා. අවබෝධයෙන්ම කළකිරීම ඇතිවුණා. විරාගය ඇතිවුණා. සියල්ලෙන් නිදහස් වී ගියා. නිකෙලෙස් වුණා. අරහත්වයට පත්වුණා. පසේබුදුරජාණන් වහන්සේ නමක් බවට පත්වුණා.

රජතුමා තුළ ඇති වූ මේ වෙනස එක්වරම හඳුනාගන්නට කිසිවෙකුටත් බැරිවුණා. හැබැයි, රජතුමා ශෝකය සංසිඳුවා ගත් බව හැමෝටම පැහැදිලි වුණා. සියලූ දෙනා පුදුම වුණා. අසීමිත දරු සෙනෙහසකින් වෙළී සිටි රජතුමා අතිශයින්ම දක්ෂ අයුරින් ශෝක හුල ඉවත් කරගත් අයුරු දකින විට පුදුම නොවී සිටින්නේ කොහොමද? ඉතාමත් ශාන්ත ඉරියව්වකට පත්වුණා. මුහුණේ තිබූ ශෝකාකූල බව නැත්තටම නැතිවුණා. සංසුන් වුණා. තැන්පත් වුණා.

බිසවුන් වහන්සේ ආදරයෙන් රජතුමාව ඇමතුවා.

“අපගේ පින්වත් මහරජ්ජුරුවන් වහන්ස, ජීවිතය ඔහොම තමයි. අපි කොතරම් ආදරය කළත් වෙනස් වී යන දෙය, වෙනස් වී යනවා මයි. මේ බරණැස් නගරයේ කොතරම් පොඩි දරුවන් මිය යනවාද? අපේ පුතුටත් සිදුවූයේ ඒ දේම නොවේද? එනිසා රජතුමනි, ඒ ගැන මුසුප්පු නොවී වැඩවසන සේක්වා! ඔබවහන්සේගේ සිත් වේදනා සංසිඳවීම පිණිස අපි සියලූ දෙනාම හැම කැපවීමක්ම කරන්නෙමු.”

“පින්වත් නැගණිය, වෙනස් වන සියල්ල වෙනස් වී යාම ධර්මතාවයක්. ඒ ලෝක ස්වභාවයක්. ලෝක ස්වභාවයට අයත් දේ ආශාවෙන් පිළිඅරගෙන දුක් විඳින්නේ අපමයි. මට වැටහුණා. හොඳින්ම වැටහුණා. මේ ලෝක ස්වභාවයෙන් මං දැන් නිදහස්.”

බිසවුන් වහන්සේ බියට පත්වුණා. නෙත් විදහාගත්තා. කඳුළු පුරවා ගත්තා. මුව අයා ගත්තා. වටපිට බැලූවා. ඇය තුළ ඒ වෙනස ඇතිවුණේ මක්නිසාද යන්න තේරුම් ගැනීමට ඇමතිවරුන්ට වැඩි වෙලාවක් ගියේ නෑ. ඇමතිවරු ඉදිරිපත් වුණා.
“පින්වත් රජ්ජුරුවන් වහන්ස, මේ ඉන්නේ නැගණියක් නොවෙයි. ඔබවහන්සේගේ බිසවුන් වහන්සේය. පින්වත් රජ්ජුරුවන් වහන්ස, සිහිය උපදවා ගන්නා සේක්වා!”

“පින්වත, මා තවදුරටත් රජෙක් නොවෙයි. මට මේ සියල්ල අකැපයි. මගේ ලෝකයට මේ කිසිවක් අයිති නැහැ. මගේ ලෝකයට අයත් එක දෙයක් තියෙනවා. එනම් මේ සියල්ලෙන් අත්මිදී ගිය බවයි. නිදහස් වී ගිය බවයි. විමුක්තියට පත් වූ බවයි. දුක ශෝකය, වේදනාව, වැළපීම, බිය, තැතිගැනීම, කම්පාව, කඳුළු සැළීම යන සියල්ලෙන් මං දැන් නිදහස්. ඒවා මට අයිති නෑ. ආදරය, සෙනෙහස, ළබැඳියාව ආදී කිසිවක් මට අයිති නෑ. ඇලෙන, ගැටෙන කිසිවක් මා සිතේ නොරැඳේ.”

“දේවයන් වහන්ස, ඔබවහන්සේ කතා කරන්නේ මුනිවරයෙකුගේ දෙයක් මිස රජෙකුගේ දෙයක් නොවෙයි. ඊයේ උද්‍යාන ක‍්‍රීඩාවට ගොස් ඔබවහන්සේ ඇතිපදම් මධුවිත පානය කළා. සිහි නුවණින් තොරව සිටියා. අද දරු ශෝකයෙන් ඔබවහන්සේගේ හදවත දෙදරා ගියා. ඒ මොහොතේම ඔබවහන්සේ මුනිවරයෙකුගේ බස් තෙපළන්නේ කෙසේදැයි අපි නොදනිමු.”

“පින්වත, ඇත්ත! ඒ සියල්ලම ඇත්ත. ඊයේ සිදු වූ දෙය අතීතයට ගියා. අද සිදු වූ දෙයත් අතීතයට ගියා. නමුත් මුනිවරයෙකුගේ බස් තෙපළන මා තුළ යම් වෙනසක් ඇද්ද, එය මට තවමත් දැනෙනවා. එය විස්තර කරන්නට මම නොදනිමි. නමුත් එක් දෙයක් දනිමි. මා තුළ කිසි කලබලයක් නැහැ. නොවැටහීමක් නැහැ. සිහි මුලාවීමක් නැහැ. මෝහයක් නැහැ. වෙනස් වන ලෝකය හොඳින් හඳුනාගෙනයි මා ඉන්නේ. මා කම්පා නොවී සිටින්නේ සිහි මුලාව නොව, සිහි නුවණ වැඞීම නිසාමය.”

“දේවයන් වහන්ස, සිහි නුවණ වැඞී ගොස් විමුක්තිය කරා යන්නේ ශ‍්‍රමණයන් වහන්සේලායි. පච්චේකබුද්ධ නමින් උන්වහන්සේලා ප‍්‍රසිද්ධයි. උන්වහන්සේලා කෙස් රැවුල් බහා, කසාවත් දරා, පාත‍්‍රා අතැතිවයි සිටින්නේ. දේවයන් වහන්ස, ඔබවහන්සේ එයට වෙනස් බව දන්නා සේක්වා!”

එවිට රාජ වේශයේ සිටි පසේබුදුරජාණන් වහන්සේ අතින් හිස පිරිමැද්දා. සළු පිළි දෙස බැලූවා. සැණෙකින් කෙස් රැවුල් අතුරුදහන් වුණා. රාජකීය වස්ත‍්‍ර අතුරුදහන් වුණා. කසාවත් පෙරැවුණා. පාත‍්‍රයක් අත රැඳුණා. උන්වහන්සේ මිහිරි ස්වරයෙන් මෙම ගාථාව වදාළා.

ඛිඞ්ඩා රතී හෝති සහාය මජ්ඣේ
පුත්තේසු ච විපුලං හෝති පේමං
පියවිප්පයෝගඤ්ච ජිගුච්ඡමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

“යහළු මිත‍්‍රයන් අතර සිටිද්දී කෙළි සෙල්ලම්වලටයි සිත ඇදී යන්නේ. කාම සැපයටමයි සිත ඇදී යන්නේ. දරුවන්ට මැදි වී සිටිද්දී දාරක පේ‍්‍රමයමයි බලවත් වී යන්නේ. ඒ හේතුවෙන් තමන්ට පි‍්‍රය වන දේ අහිමි වී ගිය විට සෝක හුලෙන් පහර කන්නට වෙනවා. මං එයට කැමති නැහැ. මට එය පිළිකුල්. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴


ලෝභකම අත්හැරීමෙන් ජීවිතය පුදුමාකාර සැපයක් ලබන්න පුළුවන්.

$
0
0
4_6 stanza

෴  6 ගාථා රත්නය
මච්ඡරිය කෝසිය සිටාණන්ගේ කථා වස්තුව

“ලෝභකම අත්හැරීමෙන් ජීවිතය පුදුමාකාර සැපයක් ලබන්න පුළුවන්.”

පින්වතුනේ, පින්වත් දරුවනේ,

මේයත් හරි අපූරු කථාවක්. ලෝභ මිනිසුන් තමන්ගේ ලෝභකම නිසාම දුක් විඳිනවා. නමුත් ඔවුන් දුක් විඳින බව ඔවුන්ට තේරෙන්නෙ නෑ. ඒ තරම්ම ලෝභකම විසින් ඔවුන්ගේ ජීවිත යටකරගෙන තියෙනවා.

අද විතරක් නොවෙයි, බුද්ධ කාලයේත් ලෝභ මිනිස්සු ඕන තරම් හිටියා. දැන් අපි මේ කතා කරන්නෙ එවැනි ලෝභ කෙනෙක් ගැනයි.

රජගහ නුවර ආසන්නයේ සක්කාර නමින් සෑහෙන ලොකු ගමක් තිබුනා. මේ ගමෙහි අසූ කෝටියක ධන සම්පත් පිරුණු සිටුවරයෙක් හිටියා. මොහුගේ නම කෝසිය. අධික මසුරුකම නිසා මොහුට කිව්වේ ‘මච්ඡරිය කෝසිය’ කියලයි. ඒ කියන්නේ ‘මසුරු කෝසිය’ කියලයි. මේ පුද්ගලයා සතු ධනයෙන් ස්වල්පයක් වත් අනුන්ට දෙන්නෙ නෑ. කොටින්ම තණ කොළයක අග තැවරුණ තෙල් බින්දුවක ප‍්‍රමාණයක් වත් අනුන්ට දෙන්නේ නෑ. තමන් කන්නෙ බොන්නෙත් නෑ. අඹු දරුවන්ට වියදම් කිරීමකුත් නෑ. සිල්වතුන්, ගුණවතුන්ට දීමකුත් නෑ. ඔහුගේ සම්පත් රකුසෙක් අරක් ගත්තු විලක් වගෙයි.

දිනක් බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියට සමවැදී ලෝක සත්වයා දෙස බැලූවා. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා බුදු නෙතට මේ මසුරු කෝසිය සිටාණන්ව පෙනුනා. මොහු මසුරු බව හැබෑව. මහ ලෝබ කුණා බව හැබෑව. නමුත් සෝවාන් ඵලයට පත්වෙන්නට තරම් උදාර පිනකුත් මොහුට තියෙනවා. ඒ නිසා සතර අපායේ වැටෙන සසරින් මේ තැනැත්තාව ගොඩ දමන්නට ඕන කියා මහා කරුණා අදහසක් ඒ බුදු සිතේ පැන නැංගා. ඔහුට ධර්මාවබෝධයට සුදුසු අවස්ථාව බුදුරජාණන් වහන්සේ දුටුවා.

එදා උදේ වරුවේ මසුරු කෝසිය බිම්බිසාර රජතුමාගේ රාජ සේවයට ගියා. ගිහින් ආපසු එන අතරේ ඉතාමත් බඩගින්නේ පෙළෙන දුගී මිනිසෙකු දුටුවා. ඔහු මහා ගිජුකමින් කැවුමක් කකා හිටියා. මසුරු කෝසිය සිටාණන් නැවතුනා. හොඳට බැලූවා. අර දුගියා කැවුම කද්දී සිටුතුමාගේ කටට කෙළ ඉනුවා. කැවුම් කන්නට පුදුමාකාර ආසාවක් ඇතිවුනා. “අනේ… ඒත් මං කොහොමද කැවුම් කන්නේ..? මං කැවුම් කන්ට ගියොත් බොහෝ දෙනෙක් කැවුම් කන්නට වටවේවි. එතකොට හාල්, ගිතෙල්, පැණි, තෙල් සෑහෙන වියදම් වේවි. හපොයි…! හපොයි…! එහෙම කරන්න බැහැ” කියල හිත ඇතුලේ කැවුම් කෑමේ ආසාව තියාගෙන කෙළ ගිල ගිල සිටු මාළිගාවට ගියා.

අලූ යට ගින්නක් වගේ මෙයාගෙ හිතේ මතු වෙවී එන්නේ කැවුම් කෑමේ ආසාවමයි. අර දුගී මනුස්සයා රස කර කර කැවුම් කාපු හැටි මතක් වෙනවා. මේ ගැනම සිතමින් සිටිද්දී මොහු මැලවිලා ගියා. මුහුණ විරූපී වුනා. ඇඟපත අප‍්‍රාණික වුනා. හුස්ම ගන්නත් අමාරු වුනා. කෙලින්ම ඇඳට ගිහින් ඇද වැටුනා. කවුරුන් සමඟ වත් කතා බස් කළේ නැහැ.

සිටුතුමාගේ බිරිඳට විශාල දුකක් ඇතිවුනා. තමන්ගේ ස්වාමියාට වුනේ මොකක්ද කියා ඇයට තේරුම් ගන්නට බැහැ. ඇය සිටුතුමා ළඟට ගිහින් පිට අතගාමින් ආදරයෙන් කතා කළා. “අනේ ස්වාමීනී, මොකක්ද මේ ඔයාට වුනේ?” “නෑ…. මට මොකුත් වුනේ නෑ.” “ඇයි එහෙම කියන්නේ..? ඔයා හරි අමුතුයි. මහා දුකෙන් වගෙයි ඉන්නෙ. මූණ කට වේලිලා ගිහින්. රජ්ජුරුවන් වහන්සේ කිපුණා වත්ද?” “නෑ… එහෙම දෙයක් වුනේ නෑ.” “එහෙම දෙයක් වුනේ නැත්නම්, දූදරුවන් ගෙන්, දැසි දස්සන් ගෙන් ඔයාට යම්කිසි වරදක් වුනාද?” “නෑ… එහෙම දෙයක් වුනෙත් නෑ.” “එහෙනම්…? ඔයාට යම් කිසි ආසාවක් ඇතිවුනා ද?” එතකොට සිටුතුමා නිශ්ශබ්ද වුනා. උත්තරයක් දුන්නෙ නෑ. සිටු බිරිඳ මෙහෙම කිව්වා. “අනේ ස්වාමීනී, ආසාවක් තියෙනවා නම් කියන්න. මං හැකි සෑම ආකාරයකින් ම ඒ ආසාව ඉෂ්ට කරන්නම්.”

එතකොට සිටුතුමා මළානික ඇස් දෙකෙන් බිරිඳ දෙස බැලූවා. නිශ්ශබ්දව ටිකක් වෙලා හිටියා. කෙඳිරි ගගා කිව්වා, “ඔව්…. මට…. මට…. එක්තරා …. ඉතාමත්…. ඉතාමත්….. ආසාවක්…. තියෙනවා…..” “ඉතින් ස්වාමීනී, කියන්න මොකක්ද ඒ ආසාව?” “ම්…. ම්…. මං කොහොමද ඒක කියන්නේ…..?” “අනේ ස්වාමීනී, කියන්න….” එතකොට සිටුතුමා අමාරුවෙන් වගේ මෙහෙම කිව්වා. “මට හිතේ තියෙනවා ලොකූ ආසාවක්…. මං ආසයි…. ඔව්…. මං ආසයි…. කැවුමක් කන්න.” සිටු බිරිඳ හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා. “අනේ ස්වාමීනී, ඕක ඉතින් සුළු දෙයක් නෙ. ඔබතුමා දිළින්දෙක්ද? අපි මේ මුළු ගම්මානයටම සෑහෙන්න කැවුම් හදමු.” “ඈ…. මොකක්….? ගම්මානෙටම….? එවුන්ට ඕන නම් කැවුම් හදාගෙන කාපුවාවෙ.” “එහෙමනම් ස්වාමීනී, අපි මේ වීදියේ සිටින සියලූ දෙනාට සෑහෙන්න කැවුම් හදමු.” “ඇති…. ඇති…. මං දන්නවා ඔහේට බොහොම සල්ලි තියෙනවා කියල.” “එහෙම නම් ස්වාමීනී, අපේ අවට ගෙවල්වලට සෑහෙන්න කැවුම් හදමු.” “හා…. හා…. ඒ තරම්ම වියදම් කරන්න ලෑස්තිද ඔහේ…?” “එහෙනම් ස්වාමීනී, අපේ දරුවන්ට සෑහෙන්න කැවුම් හදමු.” “මේ කැවුමකට දරුවන්ව පටලවාගන්නෙ අසවල් දේකටද?” “එහෙම නම් ස්වාමීනී, අපි දෙන්නට කැවුම් හදමු.” “ඔහේට කැවුම් වලින් වැඩක් නැහැ. ඔහේට මොකටද?” “එහෙනම් ස්වාමීනී, ඔබතුමාට විතරක් කැවුමක් හදන්නම්.” “අන්න හොඳයි. බොහොම අගෙයි. හැබැයි සොඳුරී, වැඬේ ලේසි නෑ. මෙහිදිම කැවුම් හැදුවොත් බොහෝ දෙනෙක් වටවේවි!” ඉතින් සිටුතුමා අහස පොළොව ගැටලන්න වගේ කල්පනා කරන්න පටන් ගත්තා. එකපාරටම උඩ පැනල හිනහ වෙලා අත්පුඩියක් ගහලා මෙහෙම කිව්වා. “හරි… මට ක‍්‍රමයක් අහුවුනා. කැවුමට වුවමනා කරන ජාති ටික ලෑස්ති කරන්න. සුණු සහල් තිබුනාම ඇති. පැන් ටිකත්, ගිතෙල් ටිකත්, තෙල් ටිකත් අරගෙන උඩතට්ටුවට යං. එහිදි නිවිහැනහිල්ලේ කැවුම් කන්න පුළුවන්.”

සිටුතුමාත්, සිටු දේවියත් කැවුම්වලට වුවමනා ද්‍රව්‍ය පිළියෙල කරගෙන උඩ තට්ටුවට නගින්න පිටත් වුනා. යට මහලේ ඉඳලාම දොරවල් වසමින් සිටුතුමා උඩු මහලට ඇවිදින් සැනසුම් සුසුම් හෙලූවා. “හප්පේ…. යන්තම් ඇති. නිදහසේ කැවුමක් කන්න දැනුයි පිළිවෙලක් වුනේ.”

බුදුරජාණන් වහන්සේ එදා වැඩසිටියේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ. ඉතින් උන්වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ අමතා මෙය වදාළා.

පින්වත් මොග්ගල්ලාන, අද රජගහ නුවර සක්කාර කියන ගමේ මච්ඡරිය කෝසිය සිටුතුමා කැවුම් කන්නට ආසාවෙන් සත්වෙනි උඩුමහල් තලයේ ඉන්නවා. අනිත් අයට කැවුම් දෙන්නට වෙයි කියන භයෙන් තමයි උඩු මහලට නැග්ගේ. ඔබ ගිහින් ඔහුව දමනය කරන්න. ඉර්ධි බලයෙන් ඒ දෙදෙනාව සැවැත් නුවරට කැඳවාගෙන එන්න. අද මමත්, මේ පන්සීයක් භික්ෂූන් වහන්සේලාත්, ඒ දෙදෙනා පූජා කරන කැවුම් වලින් තමයි දානය පිරිමසා ගන්නේ.

මච්ඡරිය කෝසිය සිටුතුමා තම බිරිඳ කැවුමට පිටි සූදානම් කරන හැටි මහා ආසාවෙන් බලා සිටියා. තාච්චිය ලිප තබා තෙල් රත්වන විට ඒ ආසන්නයේ ඇති ජනේලයෙන් අමුත්තෙක් පෙනුනා. සිටුතුමාගේ දෑස් උඩ ගියා. පපුව ගැහෙන්න ගත්තා. ඇඟ වෙව්ලූවා. “හපොයි…. මේ වගේ උදවියගේ දැක්මට භයෙන්මයි මං මෙතනට ආවෙ. මේ භික්ෂූන් වහන්සේලාගෙන් බේරෙන්නට බැහැ නෙව. අහසෙන්ම ඇවිල්ලා ඉන්නවා.”

අහස් තලයේ වැඩසිටි මුගලන් මහරහතන් වහන්සේ දුටු සිටුතුමා තොල කට වෙව්ල වෙව්ල මෙහෙම කිව්වා. “එම්බා ශ‍්‍රමණය, අහසේ වැඩහිඳ ඔය මොකද කරන්නේ? ඔහොම නොවෙයි, අහසේ පියවර තබ තබා සක්මන් කළත්, කැවුම් ලැබෙයි කියලද හිතන්නේ?” එතකොට මුගලන් මහරහතන් වහන්සේ අහසේ සක්මන් කළා. “ආහා…. සක්මන් කළේ මොකුත් ලැබෙයි කියලද? මේ ඇහුනද. ඔහොම නොවෙයි පළඟක් බැඳගෙන වාඩි වුනත් කැවුම් ලැබෙන්නෙ නෑ ඕං…” එතකොට මුගලන් මහරහතන් වහන්සේ පළඟක් බැඳගෙන වාඩිවුනා. “එහෙමද? එතකොට පළඟකුත් බැඳගත්තා නෙව. තමුන්නාසෙට වැරදීමක්. ඔහොම නෙවෙයි ජනෙල් කවුළුව ගාවට ඇවිදින් සිටගත්තත් කැවුම් නෑ ඔන්න….” එතකොට මුගලන් මහරහතන් වහන්සේ ජනෙල් කවුළුව ළඟ සිටගත්තා. “සිටගත්තට වැඩක් නෑ. මුළු ශරීරයෙන් දුම් පිටකළත් කැවුම් නෑ ඕං….” එතකොට මුගලන් මහරහතන් වහන්සේ සිරුරින් දුම් පිටකළා. ඒ දුමින් උඩුමහල් තලය වැසී ගියා. සිටුතුමාගේ ඇස්වලට හරි අමාරුයි. ඇස් කුඩා කරගෙන කේන්තියෙන් බලා සිටියා. “ඔහොම නෙවෙයි, ගිනි ඇවිලිලා ගියත් කැවුම් නෑ ඔන්න…” කියල කියන්න හිතුනත් මාලිගයට අනතුරක් වෙයි කියල හිතල එහෙම කිව්වෙ නෑ.

“මේ ශ‍්‍රමණයා මහා කෑදරයෙක්. කැවුම් ලබාගෙන මිසක් යන පාටක් නෑ. ඉක්මනට කැවුමක් දීලා පිටත් කරන්නට ඕන” කියා සිතා බිරිඳට මෙහෙම කිව්වා. “සොඳුරියේ, චූටියට කැවුමක් හදාපන්. මේ ශ‍්‍රමණයාව ඉක්මනට පිටත් කරපන්.” ඉතින් බිරිඳ පිටි ස්වල්පයක් තෙලට දැම්මා. හරි පුදුමයි! තාච්චිය පුරාවට ලොකු කැවුමක් හැදුනා. සිටුතුමාට හරි කේන්තියි. “ඔහේට තේරෙන්නෙ නැද්ද? ඔහොම පිටි දාන සිරිතක් තියෙනවාද? ඔය කැවුම අයින් කරපන්. හැන්ඳ මට දීපන්.” ඉතින් සිටුතුමා තමන්ගේ අතින්ම ඉතාම ස්වල්පයක් පිටි ගෙන තාච්චියට දැම්මා. කලින් කැවුමටත් වඩා විශාල කැවුමක් හැදුනා. ඒ කැවුමත් අයින් කරලා තව පිටි ස්වල්පයක් දැම්මා. හදන හදන කැවුම විශාලයි. අන්තිමේදී සිටුතුමා බිරිඳට මෙහෙම කිව්වා. “කරන්න දෙයක් නැහැ. ඔය කැවුම් වලින් එකක් දීලා පිටත් කරන්න.”4_6 stanza

ඇය කැවුමක් ගනිද්දී සියලූම කැවුම් එකට ඇලූනා. “ස්වාමීනී, හරි වැඬේ… ඔක්කොම කැවුම් එකට අලූනා නෙව. අයින් කරන්න බැහැනෙ.” “බැරි වෙන්නෙ කොහොමද? මෙහෙ දීපන්. මං ඕක අයින් කරන්නම්” ඔහුටත් කැවුම් වෙන්කරන්නට බැරුව ගියා. දෙන්න දෙපැත්තට කැවුම් ඇද්දා. සිටුතුමාට හොඳටම මහන්සියි. ඇඟෙන් දහඩිය දැම්මා. පිපාසය ඇතිවුනා. බිරිඳට මෙහෙම කිව්වා. “අනේ…. බිරින්ඳේ, මට කැවුම් වලින් කම් නැතේ….! මේ ඔක්කොම කැවුම් පූජා කරපන්.”

ඇය සියලූම කැවුම් මුගලන් මහරහතන් වහන්සේට පූජා කළා. උන්වහන්සේ මේ දෙදෙනාට ධර්මය දේශනා කළා. පින් පව්වල විපාක පෙන්වා දුන්නා. දන් දීමේ අනුසස් පෙන්වා දුන්නා. දෙදෙනාගේම සිත පැහැදුනා. සිටුතුමාට හරි සතුටුයි. සිටුතුමා සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. “අනේ ස්වාමීනී, දීමේ අනුසස් මං කළින් දැනගෙන හිටියේ නැහැ. මං සතුටු වුනේ ලෝභකමින් විතරයි. නමුත් දැන් මට දීමේ වටිනාකම තේරෙනවා. ස්වාමීනී, මේ ආසනයේ වැඩහිඳ දන් වළඳන සේක්වා!” “සිටුතුමනි, අපගේ ශාස්තෘන් වහන්සේ පන්සීයයක් රහතන් වහන්සේලා පිරිවරා කැවුම් වළඳින්නට සූදානමින් සිටිනවා. ඒ නිසා මේ කැවුම් මා ඔබ අතට දෙන්නම්. ඔබේ අතින්ම බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ භික්ෂුසංඝයාට පූජා කරන්න.” “ස්වාමීනී, ඒක හරි පුදුම කතාවක් නෙ. අපි මේ ඉන්නෙ හත්වෙනි තට්ටුවෙහි නෙ. මෙතන කොහේද බුදුරජාණන් වහන්සේ?” “සිටුතුමනි, මෙයින් යොදුන් හතළිස් පහක් ඈතින් පිහිටි ජේතවනාරාමයේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩඉන්නේ. අපි එතනට යමු.”

“ස්වාමීනී, එච්චර දුරක් අපි කොහොමද යන්නේ?” “සිටුතුමනි, ඒ ගැන හිතන්න එපා! ඔබට තියෙන්නේ පහත මාලයට බැස එළියට පිය නැගීම විතරයි. එතන දෙව්රම් වෙහෙර තියෙනවා.” මුගලන් මහරහතන් වහන්සේ ඉර්ධි බලයෙන් එම මාලිගා දොරටුව දෙව්රම් වෙහෙරට රැගෙන ගියා. සිටු යුවළ පහළ මහලට බැස දොර විවර කළ විට දෙව්රම් වෙහෙර දුටුවා.

ඒ දෙදෙනාම බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ භික්ෂු සංඝයාට කැවුම් පූජා කළා. ඉර්ධි බලය නිසා කැවුම් අවසන් වූයේ නැහැ. සංඝයා වැළඳූ පසු ඒ දෙදෙනාත් බඩ කට පුරා කැවුම් අනුභව කළා. සියලූ දෙනාටම කැවුම් බෙදුවා. ඒත් අවසන් වෙන්නෙ නැහැ. “ස්වාමීනී, කැවුම් ඉවර වෙන්නේ නැහැ නෙව.” එතකොට බුදුරජාණන් වහන්සේ මෙය වදාළා. “එසේ වී නම් සිටුතුමනි, ජේතවන දොරටුව අසළ ඇති වළට දමන්න.”

සිටුතුමා ජේතවන දොරටුව අසළ බෑවුම් වළට දැම්මා. එතන කැවුම් දැමූවල නමින් කවුරුත් දැන් හඳුන්වනවා. ඉතින් ඒ දෙදෙනා බුදුරජාණන් වහන්සේ ගෙන් ධර්මය ඇසුවා. දෙදෙනාම සෝවාන් ඵලයට පත්වුනා. බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ‍්‍රාවකත්වය ලබාගත් මේ දෙදෙනා ශාස්තෘන් වහන්සේ පා කමල් වැඳ යළි තම මාළිගය ඇතුළට පිවිසුනා. රජගහ නුවර සක්කාර ගමේ සිටි තැනටම යළි පැමිණුනා.

එදා සිට මේ සිටුතුමා කිසි ලෝභකමක් නැතුව හැමෝටම උදව් කළා. වැව් පොකුණු තැනුවා. ආරාම හැදුවා. භික්ෂුසංඝයා උදෙසා වෙහෙර විහාරත් හැදුවා. එක දවසක් දම්සභා මණ්ඩපයේ රැස් වූ භික්ෂූන් වහන්සේලා මේ ගැන කතාබස් කරමින් සිටියා. “ප‍්‍රිය ආයුෂ්මත්නි, බලන්න. මුගලන් මහතෙරුන් වහන්සේගේ ආනුභාවය හරි පුදුමයි. සිටුතුමාගේ ශ‍්‍රද්ධාවටත් හානි නොකොට, ධනයටත් හානි නොකොට මොහොතකින් දමනය කළා නෙව. ජේතවනයටත් රැගෙන ආවා නෙව. ශාස්තෘන් වහන්සේටත් මුණගස්සවලා මාර්ග ඵල අවබෝධයටත් අවස්ථාව සැලැස්සුවා නෙව. මුගලන් මහතෙරුන් වහන්සේගේ ආනුභාවය හරි පුදුමයි.”

මේ විදිහට මුගලන් මහරහතන් වහන්සේගේ ගුණවත්කම කතා කරමින් සිටිද්දී බුදුරජාණන් වහන්සේට මෙය දිව්‍ය ශ‍්‍රවණයෙන් ඇසුනා. ඒ නිසා එය අරභයා බුදුරජාණන් වහන්සේ මෙය වදාළා.

“පින්වත් මහණෙනි, භික්ෂුවක් කටයුතු කරන්නට ඕන ඔය විදිහටයි. දායකයින්ගේ ශ‍්‍රද්ධාවට හානි කරන්නේ නැතුව ඔවුන්ගේ භෝග සම්පත්වලටත් හානි කරන්නේ නැතුව ඔවුන්ගේ පවුල් පීඩාවට පත්කරන්නෙත් නැතුව කරුණාවෙන් කටයුතු කරන්නට ඕන. මලකින් රොන් ගන්නා බඹරෙක් වගෙයි කටයුතු කළ යුත්තේ. මොග්ගල්ලානයන් කටයුතු කරන්නේ ඒ විදිහටයි.”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ එහි අර්ථය ගාථාවකට කැටිකොට ඉතාම මිහිරි ස්වරයෙන් වදාළා.

යථාපි භමරෝ පුප්ඵං – වණ්ණගන්ධං අහේඨයං
පළේති රසමාදාය – ඒවං ගාමේ මුනී චරේ

මිහිරි සුවඳැ’ති සොඳුරු පෙනුමැ’ති
මල කරා එයි පැණි සොයා යන බමරා
උරා රොන් රස රැගෙන මල් පැණි
යන්නෙ බමරා කිසිවිටෙක එය නොතලා
එලෙස මහණෙනි පිඬු සිඟා යයි සමණා

පින්වතුනේ, පින්වත් දරුවනේ, බඹරා මල් පැණි වලට හරි ආසයි. ඉතින් ඌ ලස්සන මල් සොයා ගෙන යනවා. ගිහින් ඒ කිසි මලකට හානි නොකොට, මල නොතලා මල් පැණි ගෙන යනවා. එයින් ඒ මලේ සුන්දරත්වයට හානියක් සිදුවෙන්නේ නෑ. බඹරාට පැණිත් ලැබෙනවා. ඉතින් ඒ බඹරා මල් පැණි බිඳ බිඳ එකතු කරලයි මී වදයක් හදන්නේ. මුනිවරයාත් ගමේ හැසිරිය යුත්තේ ඒ විදිහටයි. කාටවත් පීඩාවක් නොකොට, කපටිකමකින්, වංචාවකින් තොරව, බලපෑමකින් තොරව තමයි සිව්පසය ලබාගන්නේ. එතකොට ඒ මුනිවරයාගේ හැසිරීම නිසා ගම්වැසියාගේ ශ‍්‍රද්ධාවට හානියක් සිදුවන්නේ නැහැ. භෝග සම්පත්වලට හානියක් සිදුවන්නෙත් නැහැ. ධර්මයේ හැසිරෙන මුනිවරයා තුවාලයකට බෙහෙතක් දමනවා වගේ, කාන්තාරයෙන් එතෙර වෙන කෙනෙකුට ලැබෙන ආහාරයක් වගේ, සිහි නුවණින් යුතුව පරිහරණය කරලා තම තමන්ගේ බණ භාවනා කටයුතුවල යෙදෙනවා. මාර්ග ඵල උපදවා ගන්නට අවස්ථාව ලබාගන්නවා. රහතන් වහන්සේලා කරන්නේ දන් වළඳා අරහත් ඵල සුවයෙන් වැඩසිටීමයි.

බුදුරජාණන් වහන්සේගේ සදහම් පදය ඇසූ බොහෝ දෙනෙකුට විශාල යහපතක් සිදුවුනා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අසිරිමත් පසේබුදු පෙළහර 8

$
0
0
pasebudu-pelahara-8

පතුරන සිව් දිසාවට මෙත් ගුණය නිති
ලද යම් කිසිවකින් තුටුවන සිත පැවති
සියලූ කරදර මැද – තැති ගැනීමක් නැතිවම
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….

pasebudu-pelahara8

පගේ ශාස්තෘන් වහන්සේ පසේබුදුවරයන් වහන්සේලා පිළිබඳව කරනු ලබන අතිශයින්ම දුර්ලභ චරිතාපදානයන් ගැන සිත පහදවාගැනීමෙන් පවා අපට පින් රැස් කරගන්නට පුළුවනි. බුදුවරයන් වහන්සේලා ගැන, පසේබුදුවරයන් වහන්සේලා ගැන, රහතන් වහන්සේලා ගැන සිත පහදවා ගන්නට හැකි ආකාරයට නුවණ මෙහෙය වීමට අප දක්ෂ විය යුතුය. එය සැබැවින්ම අපගේ සසර ගමනට මහෝපකාරී වනු ඇත.

මෙම කථාවේ සඳහන් වන්නේ ද පසේබුදුවරයන් වහන්සේ නමකගේ විස්තරයයි. ඛග්ගවිසාණ ගාථා දේශනාවට අයත් අටවන ගාථාවෙහි සඳහන් වෙන පසේබුදුවරයන් වහන්සේගේ ප‍්‍රවෘත්තියයි අප දැන් දැනගන්නේ.

මේ මහා භද්‍ර කල්පයෙහි තුන්වැනිව පහළ වූයේ කාශ්‍යප නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේය. එකල මිනිසුන්ගේ ආයුෂ වසර විසිදහසක්ව තිබුණා. බොහෝ පිනැතියන් කසුප් බුදු සසුනෙහි පැවිදිව සරණ සිල්හි පිහිටා පින් රැස් කරගත්තා. එක්තරා යහළුවන් පස් දෙනෙක් ද කසුප් බුදු සසුනෙහි පැවිදි වුණා. ඉතාමත් ආදර ගෞරවයෙන් යුතුව කාශ්‍යප බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ශ‍්‍රී සද්ධර්මයත් සරණ ගියා. ශ‍්‍රාවක සඟරුවනත් සරණ ගියා. සීල සම්පත්තියෙහි පිහිටියා. පිළිවෙත් පිරුවා. නමුත් මේ පින්වත් ස්වාමීන් වහන්සේලා නිවන් අවබෝධ කරන්නේ පච්චේකබෝධියෙන් බව උන්වහන්සේලා දැනසිටියේ නැහැ. ප‍්‍රාර්ථනාවන්ට සීමා කොට වාසය කළේ නෑ. අද අදම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත යුතුයි යන අවංක අදහසින් මහණ දම් පිරුවා. ගතපච්චාගත වතත් පිරුවා.

නමුත් උන්වහන්සේලාට ඒ ජීවිතයේදී මාර්ගඵලාවබෝධයක් ඇති කරගන්නට බැරිවුණා. විසිදහසක් අවුරුදු මහණදම් පුරද්දී පවා මාර්ගඵලාවබෝධයක් නොලැබී යාම පිළිබඳව උන්වහන්සේලා පසුතැවුණේ නෑ. ඉතාමත් සතුටින් සරණ සිල් ආරක්ෂා කළා. ධර්මයේ හැසිරුණා. ධර්මාවබෝධ කිරීමේ අදහස වෙනස් කරගත්තේ නෑ. එනිසාම උන්වහන්සේලා තුළ සසරේ රැස් කරගෙන ආ පුණ්‍ය ධර්මයන් බලවත්ව මෝරා ගියා. එසේ බලවත් වූ පුණ්‍යානුභාවයෙන් යුතුව දෙව්ලොව උපන්නා.

වසර දහස් ගණනක් දිව්‍ය සැප විඳිමින් දෙව්ලොව වාසය කළා. අපගේ ශාස්තෘන් වහන්සේ වන ගෞතම බුදුරජුන්ගේ ශාසනය පහළ වෙන්නට පෙර පසේබුදුවරුන්ගේ යුගයක් ඇතිවුණා. ඒ යුගයේදී අර දෙව්ලොව උපන් දිව්‍ය පුත‍්‍රයන් පස්දෙනා දෙව්ලොවින් චුත වුණා. ජ්‍යෙෂ්ඨ දිව්‍යපුත‍්‍රයා බරණැස් රජපවුලේ උපන්නා. අනෙක් දිව්‍යපුත‍්‍රවරුන් ප‍්‍රාදේශීය රජපවුල්වල උපන්නා.

සසරේ රැස් කළ පිනට අනුව ප‍්‍රාදේශීය රජ පවුල්වල උපන් රාජකුමාරවරුන් යහළුවන් බවට පත්වුණා. මේ යහළු රජවරුන් හතර දෙනා කැමති වූයේ රාජ්‍ය උත්සව, ප‍්‍රිය සම්භාෂණ, මධුපානෝත්සව ආදී කාමරතියෙහි ඇලීම නොව, හුදෙකලා පරිසරයට ආසා කිරීමයි. මොවුන් සිත්කලූ උද්‍යාන බලන්න යනවා. වනාන්තර බලන්න යනවා. ගල්තලාවල වාඩි වී ඉන්නවා. මොවුන් තුළ ක‍්‍රමක‍්‍රමයෙන් රාජ සැපයෙහි ඇල්ම අඩුවුණා. බණභාවනාවට යොමු වුණා. දැන් මේ හතර දෙනාම වරින් වර එකතු වෙන්නේ භාවනා කිරීමටයි. තම තමන්ගේ මාළිගාවන්හි උඩුමහලට යන මේ රජවරු දිගටම භාවනා කරන්න පටන් ගත්තා. පුණ්‍ය මහිමය නිසා කිසි අපහසුවකින් තොරව චිත්ත සමාධිය වැඩුණා. ප‍්‍රඥාවත් වැඩුණා. සමථ විදර්ශනා භාවනාවන් මුහුකුරා ගියා. හතර දෙනා වෙන වෙනම හුදෙකලාවේම චතුරාර්ය සත්‍යය අවබෝධ කළා. නිකෙලෙස් බවට පත්වුණා. පසේබුදුවරයන් වහන්සේලා බවට පත්වුණා.

මේ පසේබුදුවරයන් වහන්සේලා සිව්නම හිමාලයෙහි නන්දමූලක පර්වතයට වැඩියා. එහි ගුහාවල සමවත් සුවයෙන් කල් ගෙව්වා. දිනක් මුන්වහන්සේලා තම තමන් පැමිණි සසර ගමනේදී කරන ලද පින් මෙනෙහි කළා. එසේ අතීත භවයන් මෙනෙහි කරන විට කසුප් බුදු සසුනෙහි මිතුරන් පස් දෙනෙක්ව එකට මහණදම් පිරූ අයුරු දැනගන්නට පුළුවන් වුණා. දැන් හතර දෙනෙක් එක් වී සිටිනවා. පස්වැනියා ඉන්නේ කොහේදැයි විමසා බැලූවා. ඔහු තමා සියල්ලන්ගෙන්ම ජ්‍යෙෂ්ඨයාව සිටියේ. දැන් ඔහු බරණැස් නුවර රජ බවට පත් වී දැහැමින් රජ කරනවා.

බරණැස් නුවර රජතුමාට මෑතක සිට බලවත් ප‍්‍රශ්නයක් ඇති වුණා. එනම් රාත‍්‍රී මධ්‍යම යාමයේ තුන්වරක්ම බියට පත් වී අවදි වීමයි. එවිට මේ රජතුමා නින්දෙන් කෑ ගසනවා. ඇතැම් විට උඩුමහලට දුවගෙන යනවා. රජතුමා මේ හේතුවෙන් බලවත් පීඩාවක් වින්දා. හිතට කිසි සතුටක් තිබුණේ නෑ. නමුත් කාටවත් කියන්න විදිහකුත් නෑ. හිතේ තෙරපා ගෙන හිටියා. සුවදායක නින්දක් නොමැති නිසා රජතුමාගේ මුහුණේ වෙනසක් ඇතිවුණා. මෙය පුරෝහිත බ‍්‍රාහ්මණයා දැක්කා.

“පින්වත් රජ්ජුරුවන් වහන්ස, දැන් දින කිහිපයක් තිස්සේ මං ඔබවහන්සේගේ මුව මඬලෙහි ඉරියව් පිරික්සා බැලූවා. එයට හේතු වුණේ වෙනදා තිබුණු ප‍්‍රීතිමත් සැපදායක සෝභාසම්පන්න බව නැති වී ඇති බව මට පෙනී ගිය නිසා. ඔබවහන්සේගේ මුව මඬලෙහි කිසියම් වෙහෙසකර බවක් පෙන්නුම් කරනවා.

පින්වත් රජ්ජුරුවන් වහන්ස, ඔබවහන්සේට කිසියම් චිත්ත පීඩාවක් තිබෙනවාද? වේදනාකාරී කරුණක් තිබෙනවාද? ඔබවහන්සේ සුවසේ සැතපෙන සේක්ද?”

“ආචාර්යපාදයෙනි, මා මෙතෙක් සඟවා ගෙන සිටි කරුණක් ඔබ සොයා ගත්තා. ඔබගේ ප‍්‍රකාශයෙහි කිසියම් සත්‍යයක් තිබේ. මා හට දැන් කලක් තිස්සේ සුව නින්දක් නෑ. රාත‍්‍රී මධ්‍යම යාමයෙහි කිසියම් අද්භූත බියජනක දෙයකින් තුන් වතාවක් අවදි වෙනවා. ඇතැම් විට මට කෑ ගැසෙනවා. ඇතැම් අවස්ථාවන්හීදී මා උඩුමහලට දුව යනවා. මෙය කිසියම් රෝගයක් දැයි මට නොවැටහේ.”

එතකොට පුරෝහිත බ‍්‍රාහ්මණයා නළල රැළි නංවා ගත්තා. තඹවන් රැවුල අතින් පිරිමදින්නට පටන් ගත්තා. උගුරේ රැල් බුරුල් හරින්නට පටන් ගත්තා.

“රජ්ජුරුවන් වහන්ස, මේ ගැන කල්පනා නොකරන සේක්වා! මා අපගේ වේද ශාස්ත‍්‍රය අනුව සිදු වී ඇති කාරණාව වහා සොයා ගන්නම්. ඇතැම් විට බලවත් ග‍්‍රහ කෝපයක් වෙන්නට පුළුවනි. ඒරාෂ්ටකයක් වෙන්නට පුළුවනි. සමහර විට බලවත් ග‍්‍රහ මාරුවක් නිසා ඇති වූ දරුණු දෙයක් වෙන්නටත් පුළුවනි. කෙසේවෙතත් මේ සියල්ලේ සත්‍ය ස්වභාවයත්, මෙයට කළ යුතු නොවරදින ප‍්‍රතිකාරත් ඔබවහන්සේට මා හෙට දවස තුළම දැනුම් දෙන්නම්.”

පුරෝහිත බ‍්‍රාහ්මණයාට කිසි කරුණක් සොයා ගන්නට නොහැකි වුණා. ඔහු සිතුවේ බොහෝ වියදම් කොට සතුන් මරා මහා යාගයක් කළ විට රජතුමාගේ ප‍්‍රශ්නය විසඳෙන බවයි. ඔහු පසුවදාම රාජ මාළිගයට ගොස් රජතුමාට සැළ කළා.

“පින්වත් රජ්ජුරුවන් වහන්ස, මා ඊයේ කළ ප‍්‍රකාශය අනුව කරුණු සොයා බැලූවා. ඔබවහන්සේගේ ජීවිතයට බලවත් අන්තරායක් තියෙනවා. ඔබවහන්සේගේ රාජ්‍යයට බලවත් අන්තරායක් තියෙනවා. මෙය විසඳීම පිණිස සුභ නැකතක් බලා යාගයක් කළ යුතුයි.”

“ආචාර්යපාදයන් වහන්ස, ඉතා මැනැවි. ඉතා මැනැවි. කෙසේ හෝ මා මේ ප‍්‍රශ්නයෙන් නිදහස් විය යුතුයි. ඒ සඳහා ඔබ කරන ඕනෑම යාගයකට මා සූදානම්.”

“එසේ නම් රජ්ජුරුවන් වහන්ස, මෙතෙක් ගණනක් ඇතුන් මට ලැබේවා. අසුන් මට ලැබේවා. ගවයින් මට ලැබේවා. එළුවන්, බැටළුවන්, ඌරන්, කුකුලන් මට ලැබේවා. මෙතෙක් පමණට රන්, රිදී, මාණික්‍යය මට ලැබේවා. මා ඔබවහන්සේට සදාකාලික රැකවරණය ඇති උදාර වූ යාගයක් කොට සෙත් පතන්නම්.”

දැන් යාගය පිණිස සියලූ කටයුතු ලහි ලහියේ සූදානම් වෙනවා. අතිවිශේෂ වූ සුභ මුහුර්තියකින් රාජාංගනයෙහි යාග කණුව සිටෙව්වා. සිය ගණන් සතුන් යාගය පිණිස එක් රැස් කරන්න පටන් ගත්තා. රාජාංගනය පුරා සතුන්ගේ හඬින් ඒක නින්නාද වී ගියා. බවුන් වඩමින් සිටි පසේබුදුවරයන් වහන්සේලා තමා සමඟ පිළිවෙත් පිරූ තම වැඩිමහළු ශ‍්‍රමණයන් වහන්සේ දැන් රජෙක් වී කරගන්නට යන විපත දුටුවා.

“අහෝ! අපගේ සහෝදර වූ බරණැස් රජතුමා සත්ව ඝාතනය කොට මහා යාගයකට සූදානම් වෙනවා. මේ අනතුර සිදුවුවහොත් මොහුටත් විමුක්ති සාධනය පිණිස ඇති වාසනාවට බාධා වෙන්නට පුළුවනි. එයට පෙර ඔහු රැක ගත යුතුයි.”

එදා රජතුමා සීමැදුරු කවුළුවෙන් යාගය පිණිස කටයුතු සූදානම් වන අයුරු බලමින් සිටියා. එවේලෙහි රාජාංගනයෙහි ශාන්ත ඉරියව්වෙන් යුතුව පාත‍්‍රා අතැතිව පිඬු සිඟා වඩින ශ‍්‍රමණයන් වහන්සේලා සිව් නමක් දකින්නට ලැබුණා. උන්වහන්සේලා දුටු සැණින්ම රජුගේ සිතෙහි මහත් ස්නේහයක් හටගත්තා. ගෞරවාදරයක් හටගත්තා. විශ්වාසයක් හටගත්තා. රජතුමා උන්වහන්සේලාව මාළිගයට වඩම්මවා ගත්තා. ආසනවල වඩා හිඳුවා දානය පූජා කරගත්තා.

“පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, ඔබවහන්සේලාගේ ඉරියව් ඉතාමත් ශාන්තයි. ඔබවහන්සේලාගේ ඇවතුම් පැවැතුම් ප‍්‍රියජනකයි. ඔබවහන්සේලාගේ සිතෙහි ඇති පිවිතුරු බව බාහිරටත් දැනෙනවා. පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, මං කැමතියි ඔබවහන්සේලාගේ නම් දැනගන්න.”

“ප‍්‍රිය මහරජ්ජුරුවන් වහන්ස, අපි හතර දෙනාව ‘සිව්දිසා’ නමින් හැඳින්නුවාට කමක් නැහැ.”

“සිව්දිසා….? ඇත්තෙන්ම ශ‍්‍රමණයන් වහන්ස, එහි තේරුම කුමක්ද?”

“ප‍්‍රිය මහරජ්ජුරුවන් වහන්ස, උතුර, නැගෙනහිර, දකුණ, බටහිර යන මේ සිව් දිශාව තුළ අපට භයක් හෝ තැතිගැනීමක් හෝ ඇතිවෙන කිසි කරුණක් නොපෙනෙන නිසයි සිව්දිශාව නමින් අපව හඳුන්වන්නේ.”

“පින්වත් ශ‍්‍රමණයන් වහන්සේ සිව්දිශාව තුළ බිය තැතිගැනීම් ඇති නොවන්න හේතුව කුමක්ද?”

“ප‍්‍රිය මහරජ්ජුරුවන් වහන්ස, අපි මෛත‍්‍රී භාවනාව කරනවා. කරුණා භාවනාවත් කරනවා. අනුන්ගේ සැපයෙහි සතුටු වීම නම් මුදිතා භාවනාවත් කරනවා. ලෝක සත්වයා තම තමන්ගේ කර්මානුරූපව උපත ලැබූ බව සිහි කොට උපේක්ෂා භාවනාවත් කරනවා. මේ නිසයි අපට කිසි දිශාවකින් භයක් හට නොගන්නේ.”

මෙසේ පැවසූ පසේබුදුවරයන් වහන්සේලා සිව්නම ආපසු වැඩියා. රජතුමාගේ සිතේ මේ මෙත් සිත පැතිරවීම ගැන ඇසූ කරුණු දෝංකාර දුන්නා. රැව් පිළිරැව් දුන්නා. රජතුමා කල්පනා කරන්න පටන් ගත්තා.

“ඇත්ත. මේ ශ‍්‍රමණයන් වහන්සේලා පැවසූ කරුණේ ඉතාමත්ම සාධාරණ පදනමක් තියෙනවා. අප තුළ මෛත‍්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂා යන භාව ගුණයන් වැඞී තියෙනවා නම් කිසි කෙනෙකුට භයක් හටගන්නේ නැහැ නෙව. දැන් මේ සතුන් මරණ බියෙන් තැති ගෙන හඬ නගනවා. වැළපෙනවා. බොහෝ දෙනෙක් දඬුවමට බියෙන් කඳුළු වැකුණු මුහුණින් යුතුවයි යාගය උදෙසා සේවය කරන්නේ. හැමෝගෙම සිත් තුළ තියෙන්නේ භයක්. තැති ගැනීමක්. මගේ ප‍්‍රශ්නයට විසඳුමක් හැටියට පුරෝහිත බ‍්‍රාහ්මණතුමා පැවසුවේ සතුන් මරා බිලි පූජා කොට යාගයක් කළ යුතු බවයි. මේ බිලි පූජාව නම් මෛත‍්‍රියෙන් යුක්තව කළ හැකි දෙයක් නොවෙයි.

බලාගෙන ගියාම සත්‍යය ප‍්‍රකාශ වුණේ අර ශ‍්‍රමණයන් වහන්සේලාගෙන් විතරයි. පිරිසිදු බවක් සෙවිය යුත්තේ පිරිසිදු බවක් තුළින්මයි. වේදයේ උගන්වන පිළිවෙලට නම් පිරිසිදු බව සොයාගත යුත්තේ අපිරිසිදු බව තුළිනුයි. නමුත් අපිරිසිදු බවකින් පිරිසිදු බවක් ලැබෙන්න කිසිදු පිළිවෙලක් නැහැ. ඒ නිසා මමත් මෙත් සිත වඩන්න ඕන. වෛර, තරහ, පළිගැනීම ආදියෙන් ඉවත් වෙන්න ඕන. අනුන්ගේ දුක දැක උණුවෙන හදවතක් ඇති කරගන්න ඕන. හැම දෙනාගේම සැපය ඔවුන් ළඟ නිරතුරුව පවතීවා කියන මුදිතාව ඇති කරගන්න ඕන. මධ්‍යස්ථ භාවය ඇති කරගන්න ඕන.”

ඉතින් රජතුමා බ‍්‍රහ්මවිහාර භාවනාවන් වඩන්න පටන් ගත්තා. ටිකෙන් ටික රජතුමාගේ සිත තුළ අර සතුන් කෙරෙහි මහත් දයානුකම්පාවක් ඇතිවුණා. සෙනෙහසක් ඇතිවුණා. පුරෝහිත බ‍්‍රාහ්මණයා කෙරෙහිත් අනුකම්පාවක් ඇතිවුණා. ඔහු කළේ වේදයේ සඳහන් අන්ධ විශ්වාසයෙන් ප‍්‍රකාශ කිරීම පමණයි. ඔහුට පවා මේ ගැන අවබෝධයක් තිබුණේ නෑ. හැමදෙනා කෙරෙහිම රජතුමාගේ සිතේ අනුකම්පාව හටගත්තා. පුරෝහිත බ‍්‍රාහ්මණයා කැඳෙව්වා.

“භවත් ආචාර්යපාදයෙනි, සැබෑ යාගය කුමක්දැයි මට දැන් වැටහේ. මා මේ සතුන් කෙරෙහි හොඳින් බලා සිටියා. ඔවුන් බියට පත් වී සිටිනවා. තැතිගැනීමට පත් වී සිටිනවා. මරණ භයෙන් මළ මුත‍්‍රා පහවෙමින් තියෙනවා. වෙව්ලා සිටිනවා. යාගයට උදව් වෙන කිසිවෙක් තුළ ප‍්‍රීති චිත්තයක් දකින්නට නොලැබේ. එනිසා ආචාර්යපාදයෙනි, මා අලූත්ම යාගයක් සොයා ගත්තා. ඒ යාගය ඔබටත්, මටත්, අපි හැමෝටමත් බොහෝ කල් හිතසුව පිණිස පවතිනවා.

එනිසා භවත් ආචාර්යපාදයෙනි, යාගය වෙනුවෙන් ඔබට ගෙවිය යුතු යම් මුදලක් ඇද්ද, මා ඒ මුදල ගෙවීම පිණිස අණ කළා. මං අලූත්ම යාගයක් කරනවා. මේ සියලූ සතුන් මං නිදහස් කොට යවනවා. මේ සියලූ සත්වයෝ සුවසේ නිල් තණ බුදිත්වා! සිහිල් පැන් පානය කොට පවස නිවා ගනිත්වා! මේ සතුන්ගේ සිරුරු කරා සිහිලැල් පවන් වැදගනිත්වා!”

රජතුමාගේ මේ තීරණය නිසා සියලූ දෙනාම සතුටට පත් වුණා. දෙවියනුත් සතුටට පත් වුණා. රජතුමා උඩුමහල් තලයේ සිට භාවනාව දියුණු කළා. ටිකෙන් ටික සමාධිය බලවත් වුණා. ධ්‍යාන උපදවා ගත්තා. අර සතුන් විඳි පීඩාව මතක් වෙද්දී රජතුමා නුවණින් කල්පනා කළා. මේ සියලූ දෙයට හේතුව ඉපදීමයි. ඉපදීම නිසාමයි මෙම ඇස, කණ, නාසය, දිව, කය, මනස ලැබුණේ. මේවා නිසාමයි ජරා, මරණ, ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් හටගන්නේ. මෙවැනි උපතක් ලැබුවේ මක් නිසාද? මේ අයුරින් නුවණින් විමසමින් යද්දී රජතුමාට පටිච්චසමුප්පාදය වැටහෙන්න පටන් ගත්තා. එය හටගන්නා ආකාරයත්, නිරුද්ධ වී යන ආකාරයත් වැටහෙන්න පටන් ගත්තා. චතුරාර්ය සත්‍යය අවබෝධ වෙන්න පටන් ගත්තා. රජතුමාට හේතුඵල දහමින් හටගත් සියල්ලේ ඇති අසාරත්වය වැටහුණා. එහි නොඇල්ම ඇතිවුණා. ඒ සියල්ලෙන් නිදහස් වුණා. අරහත්වයට පත්වුණා. පසේබුද්ධත්වයට පත්වුණා.

දහවල් භෝජන වෙලාව පැමිණුණා. රාජභෝජන පිළියෙල කළ ඇමතිවරු විසින් රජතුමාට ඒ බව දැනුම් දුන්නා.

“මහරජ්ජුරුවන් වහන්ස, දැන් බොජුන් වළඳන වෙලාවයි.”

“පින්වත්නි, මම රජකෙනෙක් නෙවෙමි. රජෙක් තුළ තිබිය යුතු කිසිදු කල්පනාවක් දැන් මා තුළ නැහැ. මට මේ සියලූ සතුන් කෙරෙහි මහත් අනුකම්පාවක් තියෙනවා. රාජකීය ජීවිතය හා බැඳුණු සියල්ලෙන්ම මා දැන් නිදහස් වෙලයි ඉන්නේ. මා ලැබූ අත්දැකීම් ගැන ඔබට විස්තර වශයෙන් පවසන්නට මට තේරෙන්නේ නැහැ. නමුත් යම් දෙයක් මට කියන්නට පුළුවනි. මා තුළ වචනයෙන් කිව නොහැකි අමුතු අලෞකික සතුටක් තියෙනවා. ඒ තුළ කිසි ඇලීමක් ගැටීමක් නැහැ. රැවටීමකුත් නැහැ. හැම දෙයින්ම නිදහස් වූ බවක් මං අත්විඳිනවා.”

“මහරජ්ජුරුවන් වහන්ස, හරි අසිරිමත්! ඔබවහන්සේගේ මුවින් පිටවන්නේ රජ කෙනෙකුගේ කතාවක් නම් නොවෙයි. පච්චේකබුද්ධ නම් වූ ශ‍්‍රමණයන් වහන්සේලා ගැන අප අසා තිබෙනවා. උන්වහන්සේලා කරුණු විස්තර කරන්නේ ඔය ආකාරයෙනුයි. ඉතින් ඔබවහන්සේ තුළ එවැනි පරිවර්තනයක් ඇතිවූයේ කෙසේද? තවම ඔබවහන්සේ රජ කෙනෙක්! ඔබවහන්සේ කෙස් රැවුල් බා ගත්, කසාවත් පොරවා ගත්, ශ‍්‍රමණයෙක් නොවෙයි.”

එතකොට රාජවේශයෙන් සිටි එතුමා හිස අතගා බැලූවා. වස්ත‍්‍ර දෙස බැලූවා. එසැණින්ම ඒ කෙස් රැවුල් නොපෙනී ගියා. රාජකීය වස්ත‍්‍ර වෙනුවට කසාවත් ඇඟ දැවටුණා. පාත‍්‍රයක් අතට ලැබුණා. එවිට ඇමතිවරු වැඳ වැටුණා.

“අනේ ඔබවහන්සේ අප අත්හැර වඩිනා සේක්ද?”

එවිට පසේබුදුවරයන් වහන්සේ මෙම ගාථාව වදාළා.

චාතුද්දිසෝ අප්පටිඝෝ ච හෝති
සන්තුස්සමානෝ ඉතරීතරේන
පරිස්සයානං සහිතා අඡම්භී
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

“සතර දිශාවටම මා මෙත් සිත පතුරුවන නිසා කිසිම ගැටීමක් කොහෙන්වත් ඇතිවන්නේ නෑ. මා තුළ මෙත් සිත පැතිරවීම නිසා හටගත් විරාගී සතුටක් තියෙනවා. මට ලැබෙන ඕනෑම දේකින් යැපෙන්න පුළුවනි. මගේ සිත කය වචනය යන තිදොරින් භයක් හටගන්නේ නෑ. තැති ගැනීමක් හටගන්නෙ නෑ. බාහිර අරමුණු තුළිනුත් දැන් මා තුළ භයක්, තැතිගැනීමක් හටගන්නෙ නෑ. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴

හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ

$
0
0
4_7 stanza

෴  7 ගාථා රත්නය
පාවෙය්‍යක ආජීවකයාගේ කථා වස්තුව

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”

පින්වතුනේ, පින්වත් දරුවනේ,

මේ ලෝකය හරිම අමුතු යි. යහපත් දෙයක් කළත් බණිනවා. නොකළත් බණිනවා. භාවනා කළත් බණිනවා. භාවනා නොකළත් බණිනවා. බණ කිව්වත් බණිනවා. බණ නොකිව්වත් බණිනවා. සිල්වත්ව ජීවිතය ගත කළත් බණිනවා. දුස්සීලයන්ටත් බණිනවා. ඒ නිසා නින්දා අපහාස කියන්නේ අසත්පුරුෂයන්ගේ සතුට පිණිස පවතින දෙයක්. අසත්පුරුෂයන් සතුටු වන්නේ අනුන්ට නින්දා අපහාස කිරීමෙන්. අනුන්ට ගැරහීමෙන්.

පව්කාර පුද්ගලයන් නිතරම ඊර්ෂ්‍යාවෙන් කල්ගෙවනවා. තව කෙනෙකුට ගෞරවයක් ලැබෙනවාට, ප‍්‍රශංසාවක් ලැබෙනවාට කැමති නැහැ. ඒ නිසා යහපත් වැඩක් කරන්නට හදන විටත්, එය කඩාකප්පල් කරන අදහසින් යහපත් පුද්ගලයාට පවා නින්දා අපහාස කරනවා. ගරහනවා. අභූත චෝදනා කරනවා. එවැනි පුද්ගලයන්ගේ ඇසුර ඉතාමත්ම භයානකයි. එවැනි පුද්ගලයන්ගේ ඇසුරෙන් ලෝකයේ කාටවත් යහපතක් සිදුවන්නේ නැහැ. තමාටත් අයහපතක් සලසන, අනුන්ටත් අයහපතක් සලසන එවැනි පුද්ගලයන්ව හඳුනාගෙන දුරින්ම දුරු කළ යුතුයි.

පවිටු පුද්ගලයන් ලාභ සත්කාර, කීර්ති ප‍්‍රශංසා වලට ඉතාමත්ම කෑදරයි. ඉතින් එබඳු පුද්ගලයන් හැම තිස්සේම කල්පනා කරන්නේ ලාභ, සත්කාර, කීර්ති, ප‍්‍රශංසා ලබාගෙන ජීවත් වෙන ආකාරය විතරයි. ඔවුන්ට කෙලෙහි ගුණ මාත‍්‍රයක්වත් පිහිටන්නේ නැහැ. කෙලෙහි ගුණ නැති අසත්පුරුෂයන්ට උදව් කිරීමෙන් අමාරුවේ වැටෙන්නේ උදව් කරන පුද්ගලයාමයි.

අසත්පුරුෂයාට කොච්චර උදව් ලැබුනත් ඒ හේතුවෙන් ඔහු සත්පුරුෂයෙක් වෙන්නේ නැහැ. අසත්පුරුෂයාගේ ස්වභාවය අඟුරු කෑල්ල වගෙයි. මොනතරම් කිරෙන් සේදුවත් අඟුරු කැබැල්ල සුදු වෙන්නෙ නැහැ. ඒ නිසා අපේ පැරණි කවියන් අසත්පුරුෂයන්ව මේ විදිහට හඳුන්වා දී තිබෙනවා.

“කොතරම් ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්
කිරි දියෙන් දෙවියත් අඟුරු සුදුවෙන කලෙක් නම් නැත්”

මෙහි තේරුම මෙයයි; කොයිතරම් ඇප උපස්ථාන කළත්, උදව්පදව් කළත්, දුර්ජනයන් කිසිදවසක යහපත් වෙන්නෙ නැහැ. කොයිතරම් වාරයක් කිරි වතුරෙන් අඟුරු සේදුවත් සුදු වෙන්නෙ නැහැ. එනිසා අසත්පුරුෂයන්ට සැලකීම නිසා දුක් විඳින්නට සිදුවෙද්දී බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගාථාව සිහි කිරීම ඉතාමත්ම ප‍්‍රයෝජනවත් වෙනවා.

කෙලෙහි ගුණ නොදත් අසත්පුරුෂයෙකුගෙන් බැට කෑ අහිංසක අම්මා කෙනෙකුගේ කතාවක් තමයි මේ ගාථාවට පසුබිම වන්නේ.

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කාලයේ ඉතා අහිංසක පවුලක් වාසය කළා. ඒ නිවසේ ඉතාමත් කාරුණික අම්මා කෙනෙක් හිටියා. ඇයට දරුවන් කිහිප දෙනෙක් හිටියා. ඇය දරුවන්ට වගේම එක්තරා මිත්‍යා දෘෂ්ටික පැවිද්දෙකුට උපස්ථාන කළා. පාවෙය්‍යක ආජීවක නමිනුයි ඒ මිත්‍යා දෘෂ්ටික පැවිද්දාව හඳුන්වන්නේ. මේ අහිංසක අම්මාත්, දරුවනුත් මේ හිස් පුද්ගලයාට උදව් කළේ ශ‍්‍රද්ධාවෙන්මයි. පවුලෙ කෙනෙකුට වගේ සැලකුවා. ආදරයෙන් ඇප උපස්ථාන කළා. පවුලේ හැම කටයුත්තක්ම කිරීමට මොහුගේ ආශිර්වාද ගත්තා. අන්තිමේදී මොහුගෙන් නොඅසා කිසි දෙයක් නොකරන මට්ටමට මේ පවුල පත්වුනා.

මිත්‍යා දෘෂ්ටික පැවිද්දෙකුගේ ග‍්‍රහණයට හසු වූ මේ පවුලට වටිනා දේවල් කරා යන්නට ලැබුනේ නැහැ. ඒ සැවැත් නුවර බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරමින් වැඩසිටි කාලයයි. ඒ බණ අසන්නට යන මිනිසුන් සවසට සුවඳ මල්ගෙන සැවැත් නුවර දෙසට යද්දී අර අම්මා පුදුමයෙන් වගේ බලා සිටියා. නමුත් මේ අම්මාට ජේතවනාරාමයට යාමට අර පාවෙය්‍යක නම් වූ ආජීවකයා තහනම් කරලයි තිබුනේ. හැමතිස්සේම බුදුරජාණන් වහන්සේ ගැනත්, ශ‍්‍රාවකයන් ගැනත් මොහු ඉතා අසාධාරණ විදිහට විවේචනය කරමින් සිටියා.

බුදුබණ අසා පැහැදෙන මිනිසුන් ඉතාම සතුටෙන් බුදුගුණ කිය කියා, බුදුරජාණන් වහන්සේගේ අසිරිය කිය කියා එන අයුරු මේ අම්මා ආශාවෙන් බලා සිටියා. ඇයටත් දෙව්රම් වෙහෙරට යන්නට ආශාවක් ඇතිවුනා. ඉතින් ඇය උපස්ථාන කරන ආජීවකයා ළඟට ගියා. “පින්වත් ආර්යයන් වහන්ස, දෙව්රම් වෙහෙරට යන අය බුදුගුණ කිය කියා ආපසු යන හැටි අසන විට අනේ…. මටත් දෙව්රම් වෙහෙරට යන්නට ආශාවක් ඇති වුනා. ඉතින් මං කල්පනා කළේ බණ අසන්නට යන්නයි. ඔබ වහන්සේ ඒ ගැන මොකක්ද කියන්නේ?”

“අහෝ…! රත්තරන් මෑණියනි, දෙව්රම පැත්ත පළාතෙ යන්න එපා! එතන ගුරුකම් කරනවා. යන යන අය මුලා කොට රවටා ගන්නවා. තරුණ පිරිස මහණ වෙනවා. එතකොට ජාතිය වඳවෙලා යනවා. ඒ නිසා ඔය පැත්ත පළාතට යන්න එපා! භාවනා කරන්න ගිහින් පවුල් අවුල් වෙලා තියෙන්නෙ. ඒ නිසා ශ‍්‍රමණ ගෞතමයන්ගේ උපදෙස් ගන්න යන්න එපා!” කියල මේ අසත්පුරුෂයා අර අම්මාගේ ධර්මශ‍්‍රවණයට බාධා කළා. තමන් මේ සා භක්තිමත්, ආජීවක තැන විසින් දෙන උපදෙස් වලට පිටුපාන්නට අම්මා බිය වුනා. ඒ නිසා ඒ ගමන නැවතුනා.

සැදැහැවතුන් ගේ ජීවිත වලට පින් රැස්වන අයුරු දකිනා විට ඒ අම්මාට නැවත නැවතත් ආශාව ඇතිවුනේ දෙව්රම් විහාරයට යන්නටයි. ඒ සෑම අවස්ථාවේදීම අම්මා කළේ අර මිත්‍යා දෘෂ්ටික පැවිද්දාගෙන් අවසර ඉල්ලීමයි. ඒ පුද්ගලයා කිසිසේත්ම අවසර දුන්නේ නැහැ. අන්තිමේදී අම්මාට මෙහෙම හිතුනා. “අනේ පුතේ, අපේ ආර්යයන් වහන්සේ අපි දෙව්රම් විහාරයට යනවාට කැමැති නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අසනවාට කැමැති නැහැ. මිනිසුන්ට නිවනක් වුවමනා නැහැලූ. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ කියලයි. අපේ ආර්යයන් වහන්සේ කියන්නේ ඒ අමා නිවන් සුව බොහෝ දුරලූ! අනේ පුතේ, මට නම් වුවමනා බුදුබණ අසන්නමයි. මේ නිසා පුතා ගිහින් බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න අපගේ නිවසට වඩින්න කියලා. මං දානෙ ටිකකුත් සූදානම් කරන්නම්.”

අම්මා ගේ වචනය පිළිගත් පුතා කෙළින්ම ගියේ අර මිත්‍යා දෘෂ්ටික පැවිද්දා ළඟටයි. ගිහින් කාරණාව කියා හිටියා. ඒ පැවිද්දාට හොඳටම කේන්ති ගියා. “ඒයි රත්තරන් දරුවා, නුඹට පිස්සුද? නුඹලාගේ අම්මාට මනස්ගාතයක් වැදිලා. ඔය අලූත් විලාසිතාවට අහුවෙලා ඉන්නෙ. ආපහු ගෙදර පලයන්.”

“අනේ ආර්යයන් වහන්ස, එහෙම කරන්න බැහැ. අම්මා මට බනීවි.” “නෑ… නෑ… අම්මා බනින්නේ නැහැ. දානෙ හදාපුවාවෙ. මං දානෙට වඩින්නම්. වෙන කවුරුවත් ඕන නැහැ. නුඹ හැරිලා පලයන්.” “අනේ ආර්යයන් වහන්ස, මට නම් එහෙම කරන්න බැහැ. අම්මා මට කුමක් කරාවිද දන්නෙ නැහැ.” “රත්තරන් දරුවෝ, එහෙනම් නුඹ මෙහෙම කරපන්. දෙව්රම් වෙහෙරට ගිහින් ශ‍්‍රමණ ගෞතමයන්ට දුර පාරක් කියාපන්. එතකොට දානෙට වඩිද්දී රවුම ගහගෙන එනවිට වෙලාව ගිහින් ඉවරයි. ඊට පස්සේ දානෙ අපට තමයි. හික්…. හික්….”

රත්තරන් දරුවෝ කියපු නිසා මේ දරුවා මේ මිත්‍යා දෘෂ්ටික පැවිද්දාට හසුවුනා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ඉතාමත්ම දුර පාරක් කිව්වා. කියල නැවත අර මිත්‍යා දෘෂ්ටික පැවිද්දා මුණගැසුනා. “පින්වත් ආර්යයන් වහන්ස, නුඹ වහන්සේ කියූ පරිද්දෙන්ම මං පාර වරදින විදිහට ආරාධනා කළා.” “මගේ රත්තරන් පුතේ, යසයි! ශ‍්‍රමණ ගෞතමයන්ට පාර වරද්දවන්නමයි තියෙන්නෙ.”

අර පින්වත් අම්මා ඉතාමත් සතුටට පත්වුනා. ගොම ගා ගෙය පිරිසිදු කළා. මල් විසිරෙව්වා. බුදුරජාණන් වහන්සේට වැඩසිටින්නට ගරු සරු ඇතිව ආසනයක් පැණෙව්වා. එදා කාටත් හොරා අර පාවෙය්‍යක ආජීවකයා කුස්සිය පැත්තෙන් ගෙට රිංගුවා. කාමරයට වැදිලා නිශ්ශබ්දව හිටියා. උන්දෑ බලාපොරොත්තු වුනේ කාල වේලා ඉක්මගිය පසු පිසින ලද දානය අනුභව කිරීමටයි.

මහා කාරුණික බුදුරජාණන් වහන්සේව නොමඟ යවන්නට දෙවියන්, මරුන්, බඹුන් සහිත ලෝකයේ කිසිවෙකුටවත් බැරි බව අර මිත්‍යා දෘෂ්ටික පැවිද්දා දන්නෙ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මහත් කරුණාවෙන් යුතුව ඒ නිවසට වැඩම කළා. අම්මාට පුදුමාකාර සතුටක්. ඒ අම්මා ඉතාමත්ම ශ‍්‍රද්ධාවෙන් දන්පැන් පූජා කළා. දන් වළඳා අවසානයේ බුදුරජාණන් වහන්සේ ඒ අම්මාට චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කරන්නට පටන් ගත්තා. සතුට ඉවසුම් නැති අම්මා, ඉතාම ප‍්‍රීතියෙන් යුක්තව තුන් යලක් “සාදු! සාදු! සාදු!” කියා සාදුකාර දුන්නා. එතකොට කාමරයේ සිටි පාවෙය්‍යක ආජීවකයාට මේ සාදුනාදය ඇසුනා. ඔහුට ඊර්ෂ්‍යාව ඉහිලූම් නැතුව ගියා. “තට… තට…” ගාමින් වෙව්ලන්න පටන් ගත්තා. මැද්දට කඩා පැන්නා. “ඒයි කාලකණ්ණි ගැහැණිය, තී විනාශ වෙලා පල! තිට දැන්ද සත්කාර කරන්න පැවිද්දන් ඕන වුනේ? තිට සාදුකාර කියවෙන්නේ දැන්ද? නීච ගැහැණිය, තී මගේ බසට පිටුපා මේ ශ‍්‍රමණයාගේ බණ අසා චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්නටද තී හදන්නේ…?” කියා නින්දා අපහාස කොට පලා ගියා.4_7 stanza

ඒ අම්මාගේ හදවත කඩාගෙන වැටුනා වගෙයි. විශාල කම්පනයක් ඇතිවුනා. අම්මා දෑස වසාගෙන හඬන්න පටන්ගත්තා. අම්මාගේ සිත නොසන්සුන් වුනා. ධර්ම දේශනාවට එකඟ වෙලා තිබුණු සිත වේදනාවෙන් භරිත වුනා. සිහිය යොමුකරගන්නට බැරි වුනා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අම්මා දිහා ආදරයෙන් බැලූවා. “පින්වත් උපාසිකාව, ලෝකයේ පවතින ඔය විසම කතාබහට අපි පැටලෙන්න ඕන නැහැ. අන් අයගේ නින්දා අපහාස ගණන් ගත යුතු නැහැ. ඒවා ගැන අපි සිතන්නට ඕනත් නැහැ. ඒවා නොසලකා හැර අපි තම තමා කළ නොකළ දේ ගැන පමණක් කල්පනා කරමු. දැන් කළ යුතු දේ ධර්මශ‍්‍රවණයයි. ඒ ගැන විතරක් දැන් හිතන්න. මේ ධර්මශ‍්‍රවණයටම සවන් දෙන්න. මේ ගැනම හිතන්න” කියා බුදුරජාණන් වහන්සේ මිහිරි ස්වරයෙන් මෙම ගාථාරත්නය වදාළා.

න පරේසං විලෝමානි – න පරේසං කතාකතං
අත්තනෝ’ව අවෙක්ඛෙය්‍ය – කතානි අකතානි ච

අනුන්ගෙ නින්දා ගැරහිලි – අනුන් කරපු නොකරපු දේ
සිතමින් අපගේ සිතුවිලි – අවුල් නොකර ගන්නේ
තමන්ගෙ දියුණුව සිතමින් – තමන් කරපු නොකරපු දේ
සිතමින් අපගේ දියුණුව – නිති සලසා ගන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, මෙය ඉතාම වැදගත් උපදේශයක්. අපි ඉතාම ශ‍්‍රද්ධාවෙන් හඬ නගා බුදුන් වැන්දොත් සමහර විට තව කෙනෙක් ඒකට දොස් කියාවි. “ඔයාගෙ පාඩුවෙ ඔයා වඳින්න. ඔච්චර හයියෙන් ගාථා කියන්නේ මොකද? ඔයා ශ‍්‍රද්ධාවන්ත කෙනෙක් කියල ලෝකෙට පෙන්නන්න ඕනද?” මෙවැනි දේ කියල අනුන්ට ගරහන අය හැමතැනම ඉන්නවා. ඒ නිසා අනුන්ගේ නින්දා අපහාස අපට වැඩක් නැහැ.

අපි තව එකක් මතක තබාගන්න ඕන. අනුන්ට නින්දා අපහාස කරන, අනුන්ට ගරහන සියලූ දෙනාම ඒ කරන්නේ පිරිසිදු සිතකින් නොව, පිරිහුන සිතකිනුයි. ඒ නිසා ඔවුන් හානිකරගන්නේ තමන්ටමයි. තමන්මයි පිරිහිලා යන්නේ. අනුන්ට ගරහලා නින්දා අපහාස කරලා අභූත චෝදනා කරලා ඒ හේතුවෙන් සැපයට පත් වුන කෙනෙක් ලෝකයේ නැහැ. ඒ නිසා ඕන කෙනෙක් ඕන දෙයක් කියපුවාවෙ. අපි කරන හොඳ වැඩ දිගටම කරමු. අපිත් රකින සිල් තව තවත් හොඳින් රකිමු. අපි තව තවත් හොඳින් බණ භාවනා කරමු. ධර්මය ඉගෙන ගනිමු. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිමු. බුදුරජාණන් වහන්සේ වදාළේ  ‘ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ’ කියලයි. හැබැයි එය අදාල වෙන්නේ ධර්මයේ හැසිරෙන කෙනාට මිසක් ධර්මයේ නොහැසිරෙන කෙනාට නොවෙයි. ඒ නිසා අපි ධර්මයේ හැසිරෙන අය වෙමු.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අසිරිමත් පසේබුදු පෙළහර 9

$
0
0
pasebudu-pelahara-9

දුෂ්කරය සලකන්නට – සමහර පැවිද්දන් හට
එලෙසය ඇතැම් ගිහියොත් – ගෙවල්වල ගත කරනා
අනුන්ගේ දරුවන් ගැන – තම හිතට බර නොම ගෙන
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….

pasebudu-pelahara-9

පගේ ශාස්තෘන් වහන්සේ අනඳ මහතෙරුන් වහන්සේට පසේබුදුවරයන් වහන්සේලා ගැන වදාළ තොරතුරුවලදී මෙකරුණ සඳහන්ව තිබෙන්නේ ඛග්ගවිසාණ සූත‍්‍රයෙහි නව වෙනි ගාථාව ලෙසයි. සම්මා සම්බුදුවරුන් පරිද්දෙන් අන් අයට චතුරාර්ය සත්‍යය අවබෝධ වන ආකාරයෙන් විවිධ විචිත‍්‍ර වූ මධුර මනෝහර දම්දෙසුම් පැවැත්වීමේ හැකියාවක් පසේබුදුවරුන්ට නැත. නමුත් උන්වහන්සේලා හුදෙකලාවේම ආර්ය සත්‍ය අවබෝධ කරන සේක. අමා නිවන් සුව අත්විඳින සේක.

පසේබුදුවරුන්ගේ යුගයේදී සිය ගණන් පසේබුදුවරු පහළ වන බව ඉසිගිලි සූත‍්‍රය දෙස බැලීමෙන් පැහැදිලි වේ. බොහෝ විට බරණැස් නුවර ඇසුරු කොට පසේබුදුවරු පහළ වෙන බවකුයි දේශනා තුළින් පෙනෙන්නේ. බරණැස සමීපයෙහි වූ ඉසිපතනය යන නාමය පවා පසේබුදුවරුන් පිළිබඳ කිසියම් ඉඟියක් කරයි. ඉසිපතනය මිගදායකි. එනම් මුවන්ගේ අභය භූමියකි. එම භූමිය තුළ සතුන් දඩයම් කිරීම සපුරා තහනම්ය. එනිසා මිගදාය යැයි කියනු ලැබේ. ඉසිපතන යනු ඍෂිවරුන් අහසින් එම භූමියට පැමිණෙන තැනයි. මෙහිලා ඍෂිවරුන් යනුවෙන් අදහස් කෙරෙන්නේ පසේබුදුවරයන් වහන්සේලා ගැනය. ඍෂි යන වචනය ජම්බුද්වීපයට අලූත් වචනයක් නොවේ. ඉසිගිලි සූත‍්‍රයෙහිදී බුදුරජාණන් වහන්සේ වදාළේ එම පර්වතයට ඉසිගිලි යන නාමය ලැබුණේ අන්වර්ථ ලෙසිනි. එනම් ඍෂිවරුන් අහසින් පැමිණ පර්වතයට වඩින බවත්, එසේ වඩින ඍෂිවරු පෙරළා ආපසු වැඞීමක් දක්නට නොලැබෙන බවත් හේතුවෙන් මිනිසුන් එම පර්වතය ‘ඍෂිවරුන් ගිලින්නේය’ යන අර්ථයෙන් ඉසිගිලි යන නාමය ලද බවත්ය.
බුදුරජාණන් වහන්සේට ද ඍෂි යන නම භාවිත කොට තිබේ. ‘ඉසිසත්තම’ හෙවත් සත්වන ඍෂිවරයාණන් ලෙස උන්වහන්සේව හඳුන්වා තිබේ. එනම් සියයක් කල්ප ඇතුළත පහළ වූ සම්බුදුවරයන් වහන්සේලා සත් නමටම ඍෂි යන නාමය භාවිත කොට තිබේ.

බොහෝ පසේබුදුවරයන් වහන්සේලා ඉසිපතන මිගදායෙහි වැඩවාසය කොට තිබේ. බරණැස රාජ පරම්පරාව තුළ බොහෝ පසේබුදුවරුන් බිහි වී තිබේ. මෙම කථාවෙහි සඳහන් පසේබුදුවරයන් වහන්සේ ද බරණැසෙහි රජකම් කළ කෙනෙකි.

මෙම බරණැස් රජතුමාගේ අග‍්‍ර මහේෂිකාව කළුරිය කළාය. අගබිසව කළුරිය කිරීම නිසා රජයෙන් පණවන ලද ශෝකාකූල කාලපරිච්ඡේදය ඉක්මගිය විට ඇමතිවරු
රැස්වුණා. ඔවුන් රජතුමාට මේ අයුරින් කරුණු පහදා දුන්නා.

“මහරජතුමනි, අගමෙහෙසියක් නොමැතිව රාජකෘත්‍ය කිරීම අසීරුයි. නොයෙකුත් කටයුතුවලදී කරුණු කාරණා පිළිබඳව දක්ෂ වූ අගමෙහෙසියක් සමඟ සාකච්ඡා කිරීම රජවරුන්ගේ සිරිතයි. එනිසා ඔබවහන්සේට සහාය පිණිස අග‍්‍ර මහේෂිකාවක් පත්කර ගන්නා සේක්වා!”

“ඇමතිවරුනි, ඔබ එසේ සළකනවා නම්, මහේෂිකාවක් පත්කර ගැනීම ගැන මාගේ අසතුටක් නැත. එසේ නම් එයට සුදුසු වූ කාන්තාවක් සෙව්ව මනාය.”

ඇමතිවරු තම රජතුමා හට ගැලපෙන අගමෙහෙසියක් සෙවීමේ කටයුත්තෙහි නියැලූණා. ප‍්‍රාදේශීය රජෙක් මියගිය බවත්, ඔහුට ඉතා ගුණවත් සුරූපී බිසවක් සිටි බවත්, ඇමතිවරුන්ට සැළවුණා. ඇමතිවරු ඒ බිසව සොයාගෙන ගියා. ඇත්ත! ඇය රූපවත්. ගුණවත්. නමුත් ඇය ගර්භනී මාතාවක්.

ඇමතිවරු ගොස් ඇය කෙරෙහි ඇමතිවරුන් පහන්ව සිටින බවත්, බරණැස් රජුගේ අගමෙහෙසිය බවට පත්වන්නට ඇයගේ කැමැත්ත දැනගන්නට අවශ්‍ය බවත් සැළකර සිටියා. එවිට ඇය මෙසේ කරුණු පහදා දුන්නා.

“පින්වත් අමාත්‍යවරුනි, ස්ත‍්‍රිය ගර්භනී වූ කල්හි ඇතැම් පුරුෂයෙකුගේ සිත සතුටු නොකරන්නී වේ. ස්ත‍්‍රිය ඇවැතුම් පැවැතුම් තුළින් පුරුෂයෙකුගේ මන නොබඳින්නී නම් එය නොමැනවි. යම් හෙයකින් මා කුසේ සිටිනා දරුවා වදනා තාක් මෙකී යෝජනාව කල් දමන්නට හැකි නම්, මම ද එයට සතුටු වෙමි. එසේ අකමැති වන්නේ නම් ඔබ කැමති තැනකින්, කැමති කුලයකින්, කැමති ස්ත‍්‍රියක් රැගෙන යත්වා!”

එම බිසවගේ කතාවට ඇමතිවරු බොහෝ සේ සතුටු වුණා. සියලූ කරුණු රජතුමාට පහදා දුන්නා. එවිට රජතුමා සතුටු වූයේ එම බිසවටමයි. එම ගර්භනී බිසව රාජමාළිගාවට කැඳවා අගබිසෝ තනතුර ලබා දුන්නා. ඒ සඳහා ලැබෙන සියලූ සත්කාර සම්මාන ලබා දුන්නා. ඇයගේ පිරිවර සේනාව ද, නෑ හිත මිතුරන් ද රජ මාළිගාවට කැඳවා ගත්තා. ඔවුන්ට ද සත්කාර සම්මාන ලැබුණා.

සුදුසු කාලයේදී ඇය පුත්කුමරෙක් බිහි කළා. රජතුමාට හරි සතුටුයි. තමාට දාව ලද පුතෙකුට පරිද්දෙන් මෙකී කුමරාට සැලකුවා. හැම තිස්සේම රජතුමා අර පුංචි කුමාරයාව උකුලෙහි තබාගෙන සුරතල් කරමින් සිටියා. නමුත් බිසවගේ නෑ හිතමිතුරන්ට මේ කුමාරයාට ඇති අධික ස්නේහය ගැන බියක් ඇතිවුණා.

“රජවරු විශ්වාස නෑ. මේ පහදිනවා. මේ උදහස් වෙනවා. මේ සත්කාර සම්මාන දෙනවා. මේ දඬුවම් දෙනවා. බැරිවෙලාවත් අපේ කුමාරයා කෙරෙහි උදහස් වුණොත් මොනවා වේවිද දන්නෙ නෑ. රජ්ජුරුවෝ කුමාරායාගේ පියා නොවන නිසා රජතුමාගේ සිත වෙනස් වෙන්න වැඩිකල් යන එකක් නෑ.”

නෑ පිරිස මේ සඳහා උපක‍්‍රමයක් කළා. පුංචි කුමාරයාට කරුණු කිව්වා. ඒ වනවිට කුමාරයත් රජතුමා කෙරෙහි අධික ස්නේහයකිනුයි හිටියේ. කුමාරයාගේ සිත වෙනස් කරන්නට ඔවුන් උත්සාහ කළා.

“පුංචි කුමාරයාණෙනි, ඔයා දන්නෙ නෑ. ඔය රජ්ජුරුවෝ ඔයාගේ අප්පච්චි නොවෙයි. ඔයාගේ අප්පච්චි අභාවයට පත්වෙලා. මැරිලා ගියා. අපි මේ ඉන්නේ අනුන්ගේ මාළිගාවකයි. ඔයාගේ අම්මා අගබිසව කරගත්තේ මේ රජ්ජුරුවන්ගේ බිසවුන් වහන්සේ මියගිය නිසයි. ඉතින් පුංචි කුමාරයාණෙනි, මේ රජ්ජුරුවෝ ඔයාගේ අප්පච්චි නොවෙයිනේ. ඇතැම් විට පිය රජවරු පවා පුත්කුමාරවරුන්ව මරලා දානවා. ඒ නිසා ඔයා වුණත් කල්පනාවෙන් ඉන්න. අපිට ඔයා ගැන හරි භයයි.”

මේ සිඟිත්තා හොඳටම භය වුණා. රජ්ජුරුවෝ දකිද්දී තැති ගත්තා. පපුව ගැහෙන්න පටන් ගත්තා. රජ්ජුරුවෝ ආදරයෙන් අඬ ගැහුවා.

“කෝ….? ඉතින් මෙහෙ එන්න. මගෙ පුංචි පැටියෝ…”

රජ්ජුරුවෝ අතින් ඇද්දා. කුමාරයා පොඞ්ඩක් වත් කැමති නැහැ. අඬන්න පටන් ගත්තා. ළඟට යන්න බැහැ කියනවා. භය වෙනවා. රජ්ජුරුවෝ කුමාරයාව තුරුළු කරගන්න යනවා. කුමාරයා රජතුමාව තල්ලූ කරලා දුවනවා. මෙය රජතුමාට මහත් ප‍්‍රහේලිකාවක් වුණා. රජතුමා කරුණු සොයා බැලූවා. මෙතරම් සංග‍්‍රහ කරද්දී, සත්කාර සම්මාන කරද්දී අගමෙහෙසියගේ නෑදෑයින් විසින් කුමාරයාව නොමඟ යවා ඇති බව රජතුමාට දැනගන්න ලැබුණා. රජතුමා හොඳටම කළකිරුණා. රජකම වෙන කෙනෙකුට පැවරුවා. රජතුමා පැවිදි වෙන්න ගියා.

රජතුමා පැවිදි වූ කරුණ ඇමතිවරුන්ට සිත් වේදනාවට හේතුවක් වුණා. ඇමතිවරු රජතුමාට ඉතාමත් ආදරය කළ නිසා බොහෝ දෙනෙක් රජතුමා අනුව ගොස් පැවිදි වුණා. රජතුමාගේ පිරිවර සෙනඟටත් මෙය දැනගන්න ලැබුණා. ඔවුනුත් කළකිරුණා. ඔවුනුත් පැවිදි වුණා.

දැන් මේ ශ‍්‍රමණයන් වහන්සේලා පිඬු සිඟා වඩිද්දී මිනිසුන් නොයෙක් අයුරින් ප‍්‍රණීත, රස මසවුළු වලින් පිරි ආහාරපාන පූජා කළා. මේ සියලූ පූජාවන් ලැබුණේ රාජ ඉර්ෂීන් වහන්සේටයි. රාජ ඉර්ෂීන් වහන්සේ ඒ ප‍්‍රණීත ආහාරපාන ආදිය වැඩිමහළු පිළිවෙලින් බෙදා දුන්නා. ඇතැම් ශ‍්‍රමණවරුන්ට ප‍්‍රණීත දේ ලැබුණා. එතකොට ඔවුන් ඒ ගැන ගොඩාක් සතුටු වුණා. ඇතැම් ශ‍්‍රමණවරුන්ට නීරස දේ ලැබුණා. ඔවුන් දොස් කියන්න පටන් ගත්තා.

“මේක හරි වැඩක් නෙව. අපි තමයි මිදුල අමදින්නේ. අපි තමයි සක්මන් මළු අමදින්නේ. අපි තමයි භාජනවලට පැන් පුරවන්නේ. අපි තමයි ගිනිහල් ගේ සකසන්නේ. නමුත් අපටමයි කටුක දේ ලැබෙන්නේ. ප‍්‍රණීත දේ ලැබෙන්නේ වෙනත් උදවියටයි” කියමින් ගෝරනාඩු කරන්න පටන් ගත්තා.

රාජඉර්ෂීන් වහන්සේ මේ පැවිද්දන් ගැන හොඳටෝම කළකිරුණා.

“මට ලැබෙන දේවල් මං වැඩිමහළු පිළිවෙලින් බෙදලා දුන්නේ. කොච්චර දුන්නත් මුන්දැලාට පිරිමසන්නේ නෑ නෙව. දුන්නත් බනිනවා. නොදුන්නත් බනිනවා. ප‍්‍රණීත දේ දුන්නත් බණිනවා. මේ පිරිසත් සමඟ ඉන්න එකේ තේරුම මොකක්ද? කවදාවත් මෙයාලව නම් සලකලා සතුටු කරන්න බෑ.”

රාජඉර්ෂීන් වහන්සේ කිසිවෙකුටත් නොකියාම පාත‍්‍ර සිවුරු ගෙන හුදෙකලාවේ පිටත් වුණා. මහා වනය ඇතුළට ගියා. තනියම ජීවත් වෙන්න පටන් ගත්තා. තනියම භාවනා කරන්න පටන් ගත්තා. පිරිසෙන් වෙන්වී හුදෙකලාව වාසය කිරීම නිසා රාජ ඉර්ෂීන් වහන්සේට මහත් සැනසිල්ලක් ඇතිවුණා. සැපයක් ඇතිවුණා. භාවනාවට වඩ වඩාත් යොමු වුණා. කෙමෙන් කෙමෙන් පංච නීවරණ සංසිඳී ගියා. සමාධිය දියුණු වුණා. ධ්‍යාන ලැබුණා. රාජඉර්ෂීන් වහන්සේ පැවිද්දන් තුළත්, ගිහියන් තුළත් ඇති තෘප්තියට පත් නොවන ස්වභාවය විමසන්න පටන් ගත්තා. තෘෂ්ණාව හේතු කොට ගෙන මනස තුළ ඇතිවෙන විකෘතිය හඳුනා ගන්නට උන්වහන්සේ සමත් වුණා. තෘෂ්ණාව හටගන්නේ වින්දනය තුළින් බවත්, වින්දනය හටගන්නේ ස්පර්ශය තුළින් බවත්, ස්පර්ශය හටගන්නේ ආයතන හය තුළින් බවත්, එයට නාමරූප ප‍්‍රත්‍ය වන බවත්, නාමරූපයට විඤ්ඤාණය ප‍්‍රත්‍ය වන බවත්, විඤ්ඤාණයට සංස්කාර ප‍්‍රත්‍යය වන බවත්, මේ සියල්ලටම අවිද්‍යාව ප‍්‍රත්‍ය වන බවත් අවබෝධ වුණා. ආර්ය සත්‍යාවබෝධය නම් විද්‍යාව පහළ වීමෙන් අවිද්‍යාව ප‍්‍රහාණය වුණා. විද්‍යා විමුක්ති ඇතිවුණා. නිකෙලෙස් වුණා. අරහත්වයට පත්වුණා. පසේබුදුරජාණන් වහන්සේ නමක් බවට පත්වුණා.

ඒ පසේබුදුරජාණන් වහන්සේ නන්දමූලක නම් පර්වතයේ ඇති ගල්ලෙනට වැඩම කළා. සමාපත්ති සුවයෙන් වැඩසිටි පසේබුදුවරයන් වහන්සේලා මේ නවක පසේ බුදුවරයන් වහන්සේගේ අත්දැකීම් විමසුවා. ඒ පසේ බුදුවරයන් වහන්සේ මෙය වදාළා.

දුස්සංගහා පබ්බජිතාපි ඒකේ
අථෝ ගහට්ඨා ඝරමාවසන්තා
අප්පෝස්සුක්කෝ පරපුත්තේසු හුත්වා
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

“කොටින්ම සමහර පැවිද්දන්ට නම් කොයිතරම් සැළකුවත් සංග‍්‍රහ කොට සතුටු කරන්න බැහැ. ඇතැම් ගිහියොත් ඒ වගේමයි. මොනතරම් සැළකුවත් සෑහීමකට පත්වෙන්නෙ නෑ. අනුන්ගේ දරුවන් ගැන ඕනෑවට වඩා සෙනෙහෙ ඇති කරගෙන හිතට බර ගැනිල්ල වැඩකට නැති දෙයක්. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴

සුවඳ නැති මල කොතරම් ලස්සන වුනත් ඇති පලය කිම?

$
0
0
4_8,9-stanzas

෴  8,9 ගාථා රත්න
ඡත්තපාණී උපාසකයාගේ කථා වස්තුව

“සුවඳ නැති මල කොතරම් ලස්සන වුනත් ඇති පලය කිම?”

පින්වතුනේ, පින්වත් දරුවනේ,

බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් ශ‍්‍රද්ධාවෙන් බණ අසපු අය හිටියා. ශ‍්‍රද්ධාවෙන්ම ඒ ධර්මය පාඩම් කරගත්තු අයත් හිටියා. එහි අර්ථ මෙනෙහි කළ අයත් හිටියා. ඒ වගේම සමහර උදවිය බණ ඇහුවා විතරයි. පාඩම් කරගත්තෙත් නැහැ. අර්ථ මෙනෙහි කළෙත් නැහැ. ඇත්තෙන්ම ධර්මය කියන්නේ අපේ ජීවිතයට සැප ලබාගන්න, මග පෙන්වන දෙයයි. ඒ ධර්මය අපි ඉතා ශ‍්‍රද්ධාවෙන්මයි ඇසිය යුත්තේ. ශ‍්‍රද්ධාවෙන්මයි පාඩම් කරගත යුත්තේ. ශ‍්‍රද්ධාවෙන්මයි අර්ථ දැනගත යුත්තේ.

ඒ ගැන විස්තර වෙන ලස්සන කතාවක් දැන් ඔබට අසන්නට ලැබෙනවා. සැවැත් නුවර බුදුරජාණන් වහන්සේ වැඩසිටින කාලයේ ඡත්තපාණී නම් පින්වත් උපාසක මහත්මයෙක් සිටියා. මෙතුමා අනාගාමී තත්වයට සිත දියුණු කළ ගිහි ශ‍්‍රාවකයෙක්.

පින්වතුනේ, පින්වත් දරුවනේ, ධර්මය අවබෝධ වීමේ පියවර සතරක් තියෙනවා. පළමුවෙනි පියවරට කියන්නේ සෝතාපන්න වෙනවා කියලයි. දෙවන පියවරට කියන්නේ සකදාගාමී වෙනවා කියලයි. තුන්වන පියවරට කියන්නේ අනාගාමී වෙනවා කියලයි. සතරවෙනි පියවරට කියන්නේ අරහත් වෙනවා කියලයි. එතනින් ධර්ම මාර්ගය සම්පූර්ණයි. අරහත්වයෙන් එහාට කළ යුතු දෙයක් නැහැ.

ගිහි ජීවිතය ගත කරන සැදැහැවත් ශ‍්‍රාවක ශ‍්‍රාවිකාවන් අතරින් සෝතාපන්න වූ බොහෝ දෙනෙක් සිටියා. සෝතාපන්න කියන්නේ කුමක්ද?

පින්වතුනේ, පින්වත් දරුවනේ, ‘සෝත’ කියන්නේ සැඩ පහරට කියන නමක්. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ත් සෝත කියලා ප‍්‍රකාශ කළා. සැඩපහරක් ඍජුවම මහා සාගරය බලා ගමන් කරනවා වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ඍජුවම නිවන කරා යොමු වෙනවා. ඉතින් යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම පිණිස පළමුවෙනි මාර්ග අංගය වන සම්මා දිට්ඨිය ඇතිකර ගන්නවාද, එයාට සෝතාපන්න කියලා කියනවා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුන කෙනා කියන අර්ථයයි.

සකදාගාමී කියන්නේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුන කෙනා, ඒ කියන්නේ සෝතාපන්න කෙනා තවදුරටත් ධර්මය ප‍්‍රගුණ කිරීමේදී කාම ලෝකයේ එක වතාවක් පමණක් ඉපදී නිවන් දැකීමට සුදුස්සෙක් වෙනවා. සකදාගාමී කියන වචනයේ තේරුම එකවරක් පමණක් කාම ලෝකයට පැමිණෙන තැනැත්තා යන්නයි.

අනාගාමී කියන්නේ කාම ලෝකයට නොඑන තැනැත්තා යන්නයි. අනාගාමී කෙනෙක් උපදින්නේ බ‍්‍රහ්ම ලෝකවලයි. අනාගාමී උතුමන් උපදින බ‍්‍රහ්ම ලෝකවලට කියන්නේ සුද්ධාවාස බ‍්‍රහ්ම ලෝක කියලයි. ඒ උතුමන් නැවත වෙන ලෝකෙක උපදින්නේ නැහැ. සුද්ධාවාස බඹ ලොවදීම පිරිනිවන් පානවා.

අරහත් කියන්නේ කිසිම ලෝකයක උපදින්නේ නැහැ. මේ ජීවිතයේදීම පිරිනිවන් පානවා.

මේ ඡත්තපාණී උපාසකතුමා අනාගාමී තත්වයට පත්වෙලයි හිටියේ. මෙතුමා ඉතා හොඳින් ධර්මය ඉගෙන ගත් කෙනෙක්. බණ භාවනා කළ කෙනෙක්. ඒ වගේම සැදැහැවතුන් අතර ආදර ගෞරවයට පාත‍්‍ර වූ කෙනෙක්.

එදා පොහොය දවසක්. ඡත්තපාණී උපාසකතුමා උපෝසථ සිල් සමාදන් වෙලා බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට ගියා. ගිහින් බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ ඒ ඡත්තපාණී උපාසකතුමා සමඟ දහම් කථාවෙහි යෙදුනා. ඒ අතර වාරයේදී කොසොල් රජතුමා ත් එතනට පැමිණුනා. එතකොට ඡත්තපාණී උපාසකතුමාට මෙහෙම හිතුනා. “දැන් කොසොල් රජතුමා පැමිණුනා. සාමාන්‍යයෙන් අපගේ රජ්ජුරුවන් වහන්සේ පැමිණෙද්දී අප සියලූ දෙනාම නැගිට්ට යුතුයි. නමුත් මා දැන් වාඩි වී සිටින්නේ තුන් ලෝකයට අග‍්‍ර රාජ වූ, දෙවි මිනිසුන්ගේ ශාස්තෘ වූ, ධර්ම රාජයන් වහන්සේ ඉදිරියේයි.4_8,9-stanzas ඉතින් මං දැන් නැගිට්ටොත් ඒ ධර්ම රාජයන් වහන්සේට අගෞරවයක් කළා වෙනවා. රජතුමා මං ගැන කිපී මට මොනවා කළත් කමක් නැහැ. මං මේ විදිහටම ඉන්නවා.” කියල කල්පනා කොට ඒ විදිහටම සිටියා. තමන් පැමිණෙද්දී නොනැගිටින මේ අහංකාර පුද්ගලයා කවුද? මොහු තමන් ගැන සිතාගෙන සිටින්නේ කොයි ආකාරයෙන්ද? මගේ යටත්විජිතයේ යටත්වැසියෙක් නොවෙයිද? ආදී සිතුවිලි සිතමින් කොසොල් රජතුමා මොහු දෙස බලනවා. බුදුරජාණන් වහන්සේ දෙස බලනවා. හැබැයි කටින් කිසිවක් කිව්වේ නැහැ. නමුත් ඡත්තපාණී උපාසකතුමාගේ හැසිරීම ගැන රජතුමා කිපුණු බව බුදුරජාණන් වහන්සේ දිවැසින් දැක වදාළා. “පින්වත් මහරජ, ඔබතුමා සමහර විට මේ උපාසකතුමා ගැන නොදන්නවා ඇති. මේ උපාසක උදේ වරුවේ පමණක් දන් වළඳන කෙනෙක්. මිළ මුදල් පරිහරණයෙන් වැළකුණු කෙනෙක්. බ‍්‍රහ්මචාරී කෙනෙක්. සමාහිත සිත් ඇති කෙනෙක්. ඉතාම සිල්වත් කෙනෙක්. මේ උපාසකතුමා ඉතා වටිනා ගුණධර්මයන්ගෙන් සමන්විතයි. මෙවැනි උපාසක කෙනෙක් හඳුනාගෙන සිටීමත් ප‍්‍රයෝජනයි.”

බුදුරජාණන් වහන්සේගේ මෙම ප‍්‍රකාශය සමඟ කොසොල් රජතුමාගේ සිත මෘදු වුනා. තරහ ගතිය නැතිවුනා. කොසොල් රජතුමා ත්, ඡත්තපාණී උපාසක සමඟ සතුටින් කතාබස් කළා.

දිනක් ඡත්තපාණී උපාසකතුමා රජමාලිගයේ මිදුලේ ගමන් කරමින් සිටියා. එවේලෙහි ඔහු සෙරප්පු දෙකක් දාගෙන සිටියා. කුඩයක් ඉහලාගෙන සිටියා. කොසොල් රජතුමා සඳළුතලයට ඇවිදින් පහළ බලද්දී ඡත්තපාණී උපාසකතුමා රජමිදුල හරහට ගමන් කරමින් සිටියා. ඡත්තපාණී උපාසකතුමාත් රජතුමාව දැක්කා. දැකලා කුඩය හැකිළුවා. සෙරප්පු දෙක ගැලෙව්වා. රජතුමාට වන්දනා කළා. ස්වල්ප වෙලාවකින් රාජපුරුෂයෙක් ඡත්තපාණී උපාසකතුමා ළඟට පැමිණුනා. රජතුමා තමන්ව මාලිගයට කැඳවන බව දැනුම් දුන්නා.

මාලිගයට පිවිසුන ඡත්තපාණී උපාසකතුමා රජතුමාට වන්දනා කොට එකත්පස් ව සිටගත්තා. “එම්බා උපාසකය, එදා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මා එන බව දැන දැනත් නොනැගිට සිටියේ මක් නිසාද?” “පින්වත් දේවයන් වහන්ස, කමා කරන සේක්වා! එදා මා ඔබවහන්සේ සැපත් වෙද්දී නොනැගිට සිටියේ අර්ථයක් ඇතුවයි. ඔබවහන්සේ අධිපතිබව දරන්නේ මේ කෝසල රාජ්‍යයට පමණයි. නමුත් අපගේ බුදුරජාණන් වහන්සේ සමස්ත පෘථිවියටත්, සියලූ කාම, රූප, අරූප යන ලෝකයන්ටත් අධිපතිබව දරනවා. දෙවියන්ට හා මිනිසුන්ට ශාස්තෘත්වය දරනවා. උන්වහන්සේ ධර්මරාජයන් වහන්සේ. උන්වහන්සේ ගේ ධර්ම රාජ්‍යය දෙවි මිනිස් ලෝකය පුරා පැතිරගොස් තිබෙනවා. ඉතින් මා සිතුවේ ඔබවහන්සේ සැපත් වෙද්දී මා නැගිට සිටියොත් එය ධර්මරාජයන් වහන්සේට මදිපුංචි කමක් වේය කියලයි. එසේ නැතුව ඔබවහන්සේට අගෞරව කිරීමේ අදහසක් මට කිසිසේත්ම තිබුනේ නෑ. ඒ හේතුවෙන් ඔබවහන්සේගේ සිතට යම් අපහසුවක් ඇතිවුනේ නම් මට කමා කළ මැනව.”

මේ ප‍්‍රකාශයෙන් රජතුමා බොහොම පැහැදුනා. පැහැදිලා මෙහෙම කියනවා. “එම්බා උපාසක, බොහොම හොඳයි. කල්පනා කරපු විදිහ හරි. එහෙම නම් මං දැන් තමන්ට වැඩක් පවරනවා. මාගේ අන්තඃපුරයේ සිටින බිසවුන් වහන්සේලාට බණ කියන්නට කෙනෙක් සොය සොයා මං හිටියේ. දැන් සුදුස්සා මුණ ගැසුනා. එහෙම නම් ඔබ ඒ අන්තඃපුර බිසවුන්ට බණ කියන්නට ඕන.” “අනේ දේවයන් වහන්ස, මට කමා කළ මැනව. අන්තඃපුරය යනු ගිහි උදවිය හැසිරිය යුතු තැනක් නොවෙයි. ඒ නිසා බොහෝ අරමුණු ඇති අන්තඃපුරය වැනි තැනකට, වඩාත්ම සුදුසු වන්නේ ඉන්ද්‍රිය දමනය බලවත්ව පවත්නා ස්වාමීන් වහන්සේ නමක් වැඩමවාගෙන ධර්ම දේශනා කරවීමයි. ඒ අදහස ඔබවහන්සේ සලකා බලත්වා!” “ඒකත් බොහොම හොඳයි” කියා පිළිතුරු දුන් කොසොල් රජතුමා එම කාරණය බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නා. බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට එම වගකීම බාර දුන්නා.

දිනක් බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා වදාළා. “පින්වත් ආනන්දය, උපාසිකාවන් හොඳින් ධර්මය ඉගෙන ගන්නවාද?” “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මල්ලිකා දේවිය ඉතාමත් හොඳින් ධර්මය ඉගෙන ගන්නවා. ඉතාමත් හොඳින් සජ්ඣායනා කරනවා. ඉතාමත් හොඳින් ධර්මයේ අර්ථ කියනවා. නමුත් ඔබවහන්සේගේ ඤාති දියණියක් වන වාසභඛත්තියා බිසවුන් වහන්සේ ධර්මය ඉගෙන ගන්නට කිසි උනන්දුවක් නැහැ. ඇය උත්සාහයකින් සජ්ඣායනා කරන්නේ නැහැ. ධර්මයෙහි අර්ථ කියන්නෙත් නැහැ.”

“පින්වත් ආනන්දය, මා විසින් පවසන ලද්දා වූ ධර්මය ශ‍්‍රද්ධාවෙන් ශ‍්‍රවණය කරන්නේ නැත්නම්, ශ‍්‍රද්ධාවෙන් ග‍්‍රහණය කරගන්නේ නැත්නම්, ශ‍්‍රද්ධාවෙන් සජ්ඣායනා කරන්නෙත් නැත්නම්, ශ‍්‍රද්ධාවෙන් දේශනා කරන්නෙත් නැත්නම්, ඉතාමත් ලස්සන මලක් සුවඳ රහිතව තියෙනවා වගෙයි. ඒකෙන් ප‍්‍රයෝජනයක් නැහැ. නමුත් ශ‍්‍රද්ධාව මුල් කරගෙන ධර්මශ‍්‍රවණය, ධර්මධාරණය, සජ්ඣායනය, අර්ථ මෙනෙහි කිරීම, දේශනය සහ හැසිරීම කරනවා නම් මල ලස්සන වගේම සුවඳිනුත් යුක්තයි.” මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ ඉතා මිහිරි ස්වරය විහිදුවමින් මෙම ගාථාරත්නයන් වදාළා.

යථාපි රුචිරං පුප්ඵං – වණ්ණවන්තං අගන්ධකං
ඒවං සුභාසිතා වාචා – අඵලා හෝති අකුබ්බතෝ

සිත්කළු ලස්සන මලක් තිබෙන්නේ - එහෙත් සුවඳ මල් පැණි නොතිබෙන්නේ
එලෙසින් බුදුබණ ගැන පවසන්නේ - නොම හැසිරෙන විට ඵලක් නොවන්නේ

යථාපි රුචිරං පුප්ඵං – වණ්ණවන්තං සගන්ධකං
ඒවං සුභාසිතා වාචා – සඵලා හෝති පකුබ්බතෝ

සිත්කළු ලස්සන මලක් තිබෙන්නේ - මල් පැණි බර වී සුවඳ හමන්නේ
එලෙසින් බුදුබණ ගැන පවසන්නේ - හැසිරෙන විට එහි ඵල ලැබදෙන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, දැන් තේරුනා නේද? ධර්මය තිබෙන්නේ ලස්සනට කීමට පමණක් නොවෙයි. තාලයකට කීමට පමණක් නොවෙයි. එය ශ‍්‍රද්ධාවෙන් ශ‍්‍රවණය කරන්නට ඕන. සජ්ඣායනා කරන්නටත් ඉගෙන ගන්නට ඕන. ධාරණය කරගන්නටත් ඕන. අර්ථ නුවණින් විමසන්නටත් ඕන. ඒ අනුව හැසිරෙන්නටත් ඕන. එතකොට තමයි සුභාෂිත බුද්ධ වචනය පැණි පිරුණු සුවඳ පිරුණු ලස්සන මලක් වගේ දස දිශාවටම සුවඳ හමන්නේ….

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Viewing all 149 articles
Browse latest View live