Quantcast
Channel: Mahamevnawa Monastery
Viewing all 149 articles
Browse latest View live

අසිරිමත් පසේබුදු පෙළහර 10

$
0
0

හැර දමා ගිහි වෙස – සැරසිලි බැහැර කරමින
ගිලිහුන පතින් යුතු – කොබෝලීල රුක ලෙස
වීරියෙන් යුතු කෙනා – සිඳ දමා ගිහි බන්ධන
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….

pasebudu-pelahara10

පගේ ශාස්තෘන් වහන්සේ පසේබුදුවරයන් වහන්සේලා ගැන කරන විග‍්‍රහය අතිශයින් සුන්දරය. කෙනෙකුගේ ජීවිතයක් තුළ නුවණින් විමසීමේ හැකියාව පිහිටා ඇත්නම්, ඇතැම් විට එය ක‍්‍රියාත්මක වන්නේ ඔහුටත් නොදැනීමයි. එහෙත් සමහර කෙනෙක් කොතරම් දුක් දොම්නස් වින්දත් එය ජීවිතය අවබෝධ කරගැනීම පිණිස උපකාරී වන්නේ නෑ. එයට හේතුව විය හැක්කේ ඔහු තුළ නුවණින් විමසීමේ හැකියාව නොවැඞී තිබීමයි. ජීවිතාවබෝධය පිණිස කෙනෙක් දුක් විඳිය යුතු බවට ධර්මයේ සඳහන් වන්නේ නැහැ. සැබැවින්ම ඔහු කළ යුත්තේ ප‍්‍රඥාව දියුණු කිරීමමය. ප‍්‍රඥාව දියුණු කිරීම යනු දුක් විඳීමක් නොව යථාර්ථය විනිවිද දැකීමය.

පසේබුදුවරයන් වහන්සේලා බොහෝ විට ඉපදී සිටින්නේ රජකුලවලය. එමෙන්ම විමුක්තිය උදෙසා යෑම පිණිස ඔවුන් කළකිරුණු කරුණු දෙස බලද්දී ඒවා සාමාන්‍ය ජනතාව කිසිසේත් ගණන් නොගන්නා කරුණුය. එයට වඩා අතිශයින්ම බලවත් වූ, හෘදය දෘඪතර ලෙස කම්පා වන කරුණුවලදී පවා බොහෝ දෙනෙක් හඬා වැටෙමින් සිට පසුව එය අමතක කොට කෙළි දෙලෙන් කල් යවන අයුරු නිතර දකින්නට පුළුවනි. නමුත් පසේබුදුවරයන් වීම පිණිස පින සකස් වූ පුණ්‍යවන්තයන්ගේ ජීවිත එයට හාත්පසින්ම වෙනස්ය. ඔවුහු කම්පා වෙති. සංවේදී මනෝභාවයන් ගෙන් යුතු වෙති. එමෙන්ම නුවණින් මෙහෙයවා එම කරුණු යළි හට නොගැනීම පිණිස ප‍්‍රඥාව දියුණු කොට එයින් එතෙර වෙති.

මෙම පසේබුදුවරයන් වහන්සේගේ තොරතුර සඳහන් වන්නේ ඛග්ගවිසාණ සූත‍්‍රයෙහි දසවන ගාථාව ලෙසය. බරණැස් නුවර චතුමාසික නමින් රජෙක් විය. ඇතැම්විට ඔහුට මේ නම වැටෙන්නට ඇත්තේ ඒ ඒ ඍතුවට අයත් මාස හතරේ ඔහු උයන් කෙළියට යන නිසා වෙන්න ඇති.

ඉතින් මේ රජතුමා ගිම්හාන ඍතුවේ ප‍්‍රථම මාසයෙහි උයන් කෙළියට ගියා. ඒ උද්‍යානයෙහි ඝන නීල පත‍්‍රයන්ගෙන් සුසැදි කොබෝලීල රුකක් දැක්කා. රජතුමා මේ වෘක්ෂය දුටු වේලෙහි මහත් සතුටට පත්වුණා.

“එම්බා අමාත්‍යවරුනි, අර කොබෝලීල රුක දෙස බලන්න. හරි අපූරු වෘක්ෂයක්. තද නිල් පාට පත‍්‍රවලින් යුක්තයි. සුදුපාට කඳින් යුක්තයි. හැබෑම ලස්සනයි. ඔව්. මං කැමතියි හවස් වරුවේ මේ කොබෝලීල වෘක්ෂය සෙවණේ විවේක සුවයෙන් ඉන්න. එනිසා මට යහන පැණවිය යුත්තේ අන්න අතනයි.”

රජතුමා උද්‍යාන ක‍්‍රීඩාවට ගියා. ඉතා සතුටින් කල් ගෙව්වා. හවස් වරුවේ කොබෝලීල වෘක්ෂය සෙවණේ පණවන ලද අසුනෙහි සැතපුණා. හරි සතුටින් එම වෘක්ෂය දිහා බලාගෙන හිටියා.

ගිම්හාන ඍතුවෙහි මධ්‍යම මාසය පැමිණුනා. දැන් තරමක් රස්නෙයි. රජතුමා උයන් කෙළියට ආවා. කොබෝලීල වෘක්ෂය මලින් පිරී තියෙනවා. අලංකාර පුෂ්පයන්ගෙන් ගැවසී ගත් එම වෘක්ෂය දකිද්දී රජතුමා මහත් සතුටට පත්වුණා.

“ෂා! හරිම අපූරුයි. හැබෑම ලස්සනයි…. ඔව්. අද සවස් යාමයෙහි විවේක ගැනීම පිණිස මගේ යහන පැණවිය යුත්තේ අන්න අර සුපිපුණු මලින් යුතු කොබෝලීල වෘක්ෂය සෙවණේ.”

රජතුමා ක‍්‍රීඩා කළා. පොකුණට බැස පීනුවා. මල් පැළැඳ ගත්තා. මධුවිත පානය කළා. සුරූපී ලඳුන් පිරිවරා කොබෝලීල රුක් සෙවණට ආවා. මල් පිපීගිය වෘක්ෂය දෙස බලමින් මහත් සතුටට පත්වුණා.

ගිම්හානයේ දුෂ්කරම කාලය පැමිණුනා. ඉතාමත්ම රස්නෙයි. රජතුමා ඒ අධික රස්නෙ දවසක උද්‍යාන ක‍්‍රීඩාවට ගියා. එදා රජතුමා රස්නෙ වැඩි නිසා කෙළින්ම පොකුණට ගියා. යන අතරේ ඇමතිවරුන්ට පවසා සිටියේ අර කලින් කොබෝලීල රුක් සෙවණේම යහන පණවන්න කියලයි. ඇමතිවරු එතෙන්ට ගියා. කොබෝලීල වෘක්ෂය දුටු වේලෙහි පුදුමයට පත්වුණා.

“හරි වැඬේ! මේ ගසේ එක කොළයක් වත් නෑ. එක මලක්වත් නෑ. නිකම් දඬු ටිකක් විතරයි තියෙන්නේ. රජතුමාට යහන පණවන්න තියෙන්නේ මෙතනමයි. අපට රාජ අණ ඉක්මවා යන්නත් බෑ. මෙතන යහන පණවන්නත් බෑ. කමක් නෑ. වෙන කරන්න දෙයක් නෑ. රජ අණට කීකරු වෙමු” කියලා ඇමතිවරු යහන පැණෙව්වා.

රජතුමා ඇති පදම් වතුර නෑවා. මල් පැළැන්ඳා. රස්නෙ අඩුවක් නැහැ. හවස් වෙද්දී රස්නෙ ගතිය අඩුවුණා. කොබෝලීල වෘක්ෂය ළඟට ආවා. දුටු පමණින් රජතුමාගේ සිතට මහත් සංවේගයක් හටගත්තා. රජතුමා යහනේ වැතිරී වෘක්ෂය දෙස බලා සිටියා.

“හරිම පුදුමයි… ගසකට ගිය කලෙක්! එක් කාලයක් ආවා. මේ ගස හිතන්න බැරි තරම් ලස්සනයි. සෑම පත‍්‍රයක්ම මැණික්වලින් කළා වගේ අමුතු දිස්නයක් දුන්නා. අමුතු අලංකාරයක් දුන්නා. ඇත්තෙන්ම කොළ දළුවලින් විසිතුරු වූ කොබෝලීල ගස නම් මට සිහිනෙනුත් පේනවා.

තව කාලයක් ආවා. මල් පිපිලා… අමුතු සිරියාවක් තිබුණා. හැබෑම ලස්සනක් තිබුණා. පබුලූ කැට වගේ දිළිසුණා. මේ වැලි අතුල පොළොවේ මල් පෙති වැටිලා තිබුණේ රත් කම්බිලියක් ඇතිරෙව්වා වගෙයි. අහෝ! ඒ කොබෝලීල ගස කෝ…? ඒ නීල වර්ණ පත‍්‍ර කෝ…? ඒ සොඳුරු පුෂ්පයන් කෝ….? අහෝ! ඒ සියල්ල ගිලිහී ගොස් කොබෝලීල වෘක්ෂය කාලයේ පහර කෑමට ලක්වුණා. ජරාවට පත්වුණා. මේක තමයි ලෝක ස්වභාවය! හටගන්නවාද යමක් එය වැනසී යාම එහි ස්වභාවයයි.”

ඇඳේ වැතිර සිටි රජතුමා දඬු පමණක් ඉතිරි වූ කොබෝලීල ගස දෙස බලමින් සිතන්නට පටන් ගත්තා. රජතුමාගේ ප‍්‍රඥාව අවධි වෙන්නට එම වෘක්ෂය හොඳ අරමුණක් වුණා. ජීවිතය ගැන විමසා බලන්නට කැඩපතක් වුණා. කොබෝලීල රුක දෙස බලා සිටිද්දී ඉපිද මැරී යන ජීවිතයේ ඇත්තේ ද මෙවැනි ස්වභාවයක්ය යන කරුණ පැහැදිලි වුණා. රජතුමාගේ සිත මැනැවින් එකඟ වුණා. සමාධිය වැඞී ගියා. එසේ සැතැපී සිටිද්දීම ප‍්‍රඥාව ද වැඞී ගියා. ආදීනව ඤාණය ඇතිවුණා. කළකිරීම ඇතිවුණා. විරාගය ඇතිවුණා. ඒ රජුගේ සිත සියලූ කෙලෙසුන් ගෙන් නිදහස් වුණා. ඒ නිදා සිටි ඉරියව්වෙන්ම දකුණු පසට හැරෙද්දී පසේබුදුවරයෙක් බවට පත්වුණා.

ඇමතිවරුන් පැමිණ කාලය දැනුම් දුන්නා.

“පින්වත් රජ්ජුරුවන් වහන්ස, දැන් රෑ බෝ වීගෙන එනවා. අපට පිටත් වෙන්නට කාලයයි.”

එතුමා නැගිට්ටා. යහනේ පළඟක් බැඳ වාඩි වුණා. ඇමතිවරු ඇමතුවා.

“පින්වත්නි, මං දැන් රජකෙනෙක් නෙවෙයි. මට යථාර්ථය පෙන්වා දෙන්න පහළ වූ වෘක්ෂය ළඟයි මං දැන් ඉන්නේ. ජීවිතාවබෝධය කරන කැඩපත ලෙසින් මා ඉදිරියේ දිස්වූයේ මේ කොබෝලීල වෘක්ෂයයි. ජීවිතය කියන්නෙත් වෙනස් වන දෙයක් බව මට පසක් කරදුන්නේ මේ කොබෝලීල වෘක්ෂයයි. මාළිගාව යනු මට කැප දෙයක් නොවෙයි. මට කැප දෙය හැටියට තියෙන්නේ හුදෙකලාවේ වාසය කිරීමයි.”

ඇමතිවරු පුදුමයට පත්වුණා. ඔවුන්ට මෙය අදහා ගන්නට බැහැ. සුළු වේලාවකට කලින් පොකුණෙහි දිය නාමින්, මල් පැළැඳගනිමින්, කෙළිදෙලෙන් සිටි රජතුමා ද මේ? රාජ සැපයට ලොල්ව සුරූපී ළඳුන් පිරිවරා කාමරතියෙන් කල් ගෙවූ රජතුමා ද මේ? රස මසවුළු කෙරෙහි ලොල්ව, මධුවිත තොලගාමින් අභිරමණයෙහි යෙදුණු රජතුමා ද මේ? ඇමතිවරුන්ට මෙය සිහිනයක් වැනි දෙයක් වුණා.

“රජ්ජුරුවන් වහන්ස, ඔබවහන්සේගේ මේ වෙනස අපට තේරෙන්නෙ නෑ. ඔබවහන්සේට කුමක්ද වුණේ? අද ටිකක් රස්නෙ තමා. රස්නෙ පිට පැන්පහසු වීමෙන් පිත කිපුණා වත්ද?”

“පින්වත්නි, මා ලද අවබෝධය කුමක්ද කියා විග‍්‍රහ කිරීමට මට පුළුවන්කමක් නැහැ. එක දෙයක් පැහැදිලි කරදෙන්න පුළුවනි. මං දැන් නිදහස් කෙනෙක්. මා නිදහස් වී සිටින්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බව මට වැටහෙනවා. කලින් නොතේරුණු දෙයක් තමයි මා දැන් පවසන්නේ. කලින් මා සතුටු වුණේ නිදහස් වීමෙන් නොව බැඳීයාමෙනුයි. දැන් මා සතුටු වන්නේ නිදහස් වීමෙනුයි. මේ නිදහස පිණිස මා කල්පනා කළ ආකාරය උදව් වුණා. නමුත් තව කෙනෙකුට තෝරා දෙන්න මට පුළුවන්කමක් නැහැ. මට හිතෙන්නේ මේ අලෞකික විරාගී සැපය ශ‍්‍රමණයන්ගේ අත්දැකීමක් බවයි.”

“රජ්ජුරුවන් වහන්ස, විරාගී සැපයට පත් වූ පච්චේකබුද්ධ නම් ශ‍්‍රමණ කොටසක් ගැන අප අසා තිබෙනවා. හැබැයි උන්වහන්සේලාගේ අදහසට ඔබවහන්සේගේ අදහස ගැලපෙනවා. නමුත් එක ගැටළුවක් තියෙනවා. ඒ සියලූ දෙනාම ශ‍්‍රමණයන් වහන්සේලා මිසක් ගිහි උදවිය නොවෙයි. කෙස් රැවුල් බහා, කසා වත් දරා සිටින උන්වහන්සේලා පිඬුසිඟා යෑමෙනුයි ජීවත් වෙන්නේ. ඉතින් ඔබවහන්සේ එහෙම කෙනෙක් නොවෙයිනේ.”

එතකොට එතුමා හිස අතගෑවා. තම සිරුර දෙස බැලූවා. සැණෙකින් කෙස් රැවුල් නොපෙනී ගියා. කසාවතක් ගත දැවටී ගියා. පාත‍්‍රයක් අත රැඳුණා. විස්මයට පත් ඇමතිවරු පසේබුදුරජාණන්වහන්සේට වන්දනා කළා. උන්වහන්සේ මෙම ගාථාව ප‍්‍රකාශ කොට වැඩම කළා.

ඕරෝපයිත්වා ගිහිව්‍යංජනානි
සංසීනපත්තෝ යථා කෝවිලාරෝ
ඡෙත්වාන වීරෝ ගිහිබන්ධනානි
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

“ගිහි ජීවිතයක ඇති ආටෝප සාටෝප සාඩම්බර සාලංකාරී ගති ඉවත් වූ විට මේ කොළ හැලිච්ච කොබෝලීල රුක වගේමයි. වීරියවන්ත පුද්ගලයා ගිහි බන්ධන සිඳ බිඳ දමා විමුක්තිය කරා යනවා. ඊට පස්සේ ඔහු නිදහස්. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴


සැප ලබන්නේ පින නිසාමයි

$
0
0
dp_4_10

෴  10 ගාථා රත්නය
විශාඛා මහෝපාසිකාවගේ කථා වස්තුව

“සැප ලබන්නේ පින නිසාමයි”

පින්වතුනේ, පින්වත් දරුවනේ,

පින කියන්නේ මහා පුදුම දෙයක්. පින තුළින් දෙවි මිනිසුන් හට පුදුම විදිහේ සැප ලැබෙනවා. පින් කරපු අය උපදින්නේ සැප විඳින්නමයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය බබලන කාලයේ ධර්මය තුළින්ම විශේෂත්වයට පත් පිරිස් භික්ෂූන් වහන්සේලා අතර සිටියා. භික්ෂුණීන් වහන්සේලා අතරත් සිටියා. උපාසකවරුන් අතරත් සිටියා. උපාසිකාවන් අතරත් සිටියා. ඒ සිව්වණක් පිරිස තුළ විශේෂ ගුණධර්මයන් වැඩුණු උතුමන් හට බුදුරජාණන් වහන්සේ අගතනතුරු දී වදාළා.

විශාඛා මහෝපාසිකාව ගැන ඔබ කවුරුත් දන්නවා. එතුමිය තමයි මේ බුද්ධ ශාසනයේ ප‍්‍රධානම උපාසිකාව වුනේ. එතුමියට දන් පැන් පූජා කරන උපාසිකාවන් අතර අග‍්‍ර දායිකාව බවට අගතනතුරු ලැබුනා. උපාසකවරුන් අතරේ අගතනතුරු ලැබුනේ අනේපිඬු සිටුතුමාටයි.

මෙම විශාඛා මහෝපාසිකාව සෝතාපන්න බවට පත්වුනේ සත්හැවිරිදි වියෙහිදීයි. එතකොට ඇය සිටියේ අංග ජනපදයේ භද්දිය කියන නගරයේ. සැවැත් නුවර මිගාර සිටාණන්ගේ පුත‍්‍රයා වන පූර්ණවර්ධන සිටුවරයාට විවාහ කරදීම නිසයි ඇය සැවැත් නුවරට පැමිණියේ. මිගාර සිටුපවුල කලින් නිගණ්ඨ නාතපුත‍්‍රගේ ශ‍්‍රාවකයන්. නමුත් විශාඛාව ඉතාමත් බුද්ධිමත්ව නිර්භීතව අභිමානවත්ව කටයුතු කිරීම නිසා ඒ මුළු පවුලම තෙරුවන් සරණ ගියා. බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් බවට පත්වුනා.

ඒ වගේම විශාඛා භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කළේ මවක් දරුවන්ව රැකගන්නා ආකාරයටයි. ඔබ දන්නවා ඇති විශාඛා පංචකල්‍යාණයෙන් යුක්තයි. ඒ කියන්නේ ඇයට ඉතාමත්ම සෝභාසම්පන්න කේශ කලාපයක් තිබුනා. ඒ කේශ කල්‍යාණයයි. ඇයගේ ශරීරයේ අත් පා ආදිය ඉතා සෝභාසම්පන්නව පිහිටා තිබුනා. එය මාංශ කල්‍යාණයයි. ඇයට ඉතාමත්ම අලංකාර සුදෝසුදු දත් දෙපෙළක් තිබුනා. එය අස්ථි කල්‍යාණයයි. ඇයට රන්වන් පැහැයෙන් දිලෙන සමක් තිබුනා. එය ඡවි කල්‍යාණයයි. ඇය දරුවන් විසි දෙනෙකුගේ මවක් වෙලා සිටියදී පවා ඉතාමත් ආකර්ෂණීය රූපයක් තිබුනා. ඇයගේ වයස කිසිකෙනෙකුට කියන්නට බැහැ. දියණිවරුන් අතරේ, මිණිබිරියන් අතරේ පවා ඇය දිස්වුනේ දියණියක් වගේ. එය වයඃ කල්‍යාණයයි. ඒ වගේම ඇයට මහාලතාපසාදනී නමින් ආභරණයකුත් තිබුනා. දඹදිව එවැනි වටිනා ආභරණ තුනක් තිබුනා. එකක් විශාඛා මහෝපාසිකාව සතු වුනා. අනෙක බන්ධුල මල්ලිකාව සතුවුනා. අනෙක බරණැස සිටුතුමාගේ දියණිය සතු වුනා.

දිනක් විශාඛාව මංගලෝත්සවයකට යන්නට මෙම ආභරණය පැළඳගත්තා. විසිහත් කෝටියක් වටිනා එම ආභරණය පැළඳගත් විට ඇයව මුළුමනින්ම බබලනවා. එය පැළැඳ ඇය ගමන් කරන විට ඇයගේ සිරුරින් රැස් විහිදෙනවා. ඉතින් එදා ඇය මංගලෝත්සවයට යන අතරේ ගිලන් වූ භික්ෂුවක් ගැන දැනගන්නට ලැබුනා. ඇය කෙළින්ම දෙව්රම් විහාරයට යන්නට පිටත් වුනා. එහෙත් ඇය මහාලතාපසාදනී නම් ආභරණය සමඟ වෙහෙරට යන්නට කැමති වුනේ නෑ. ඇය එම ආභරණය සිරුරෙන් ඉවත් කොට දාසියට දුන්නා. ඉන්පසු ඒ ගිලන් ස්වාමීන් වහන්සේව බැහැදකින්නට ගොස් ඇපඋපස්ථාන කටයුතු සොයා බැලූවා. ඇය කටයුතු අධික බැවින් ආපසු යන්නට පිටත් වුනා. අතරමගදී ඇයට මහාලතාපසාදනිය මතක් වුනා. එය රැගෙන එන්නට දාසිය පිටත් කළා. ඒ වන විට ඒ මහාලතාපසාදනිය විහාරයේ පසෙක තිබෙනු දුටු ආනන්ද තෙරුන් වහන්සේ සුරක්ෂාව පිණිස එය වෙන තැනකින් රැගෙන තිබ්බා. මෙය දැනගත් විශාඛාව මෙහෙමයි කල්පනා කළේ. “දැන් මේ ආභරණය ආර්යයන් වහන්සේලාගේ අතින් අරගෙන පැත්තකින් තියපු දෙයක්. ඒ නිසා මං මෙය පරිහරණය කරන එක හරි නෑ. ඒ නිසා මං මෙය විකුණනවා. විකුණලා සංඝයාට කැප වූ විශේෂ දෙයක් කරනවා” කියලා ඉතාම සතුටින් මෙම ආභරණය ගෙන්වා ගෙන සල්පිලට ගෙනිච්චා.

මෙය විසිහත් කෝටියකට ගන්නට කවුරුත් නෑ. අන්තිමේදී විශාඛාව විසින්ම විසිහත් කෝටියක ධනයදී ඒ ධනය ගැලක පටවා ගෙන වෙහෙරට ගියා. බුදුරජාණන් වහන්සේට වන්දනා කොට මෙසේ පැවසුවා. “ස්වාමීනී, ආනන්දයන් වහන්සේ විසින් මහාලතාපසාදනී අතින් ස්පර්ශ කොට පසෙකින් තිබ්බා. එතැන් පටන් එය මට පරිහරණය කරන්නට සිතෙන්නේ නෑ. මහා ගෞරවයක් ඇතිවෙනවා. ආර්යයන් වහන්සේ නමක් අතින් ස්පර්ශ කරපු දෙයක් ආර්යයන් වහන්සේලා කෙරෙහි මේ සා ආදර ගෞරව දක්වන මා කොහොමද පරිහරණය කරන්නේ? ඉතින් ස්වාමීනී, මං එය විකුණන්නට සල්පිලට ගෙනිච්චා. එය ගන්නට කිසිවෙක් නෑ. එය මම ම මිලට ගත්තා. ඒ මුදල් මේ ගැල්වල පටවාගෙන ආවා. ස්වාමීනී, මං මෙයට මොකද කරන්නේ?”

“එහෙමනම් පින්වත් විශාඛා, නැගෙනහිර දොරටුවේ සංඝයාට වාසය කිරීම පිණිස අසපුවක් තනවන්න.” ඉතින් විශාඛා ඉතාම සතුටින් යුතුව කෝටි නවයක් වියදම් කොට භූමිය මිලට ගත්තා. කෝටි නවයක් වියදම් කොට යට මහලේ කාමර පන්සියයකින් යුතුව, උඩු මහලේ කාමර පන්සියයකින් යුතුව කුටි දහසක අසපුවක් කෙරෙව්වා. නව කෝටියක් වියදම් කොට උත්සවාකාරයෙන් එය බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ සංඝයාට අතපැන් වත්කොට පූජා කළා.

එය පූජා කළ දවසේ ඇය පුදුමාකාර සතුටකට පත්වුනා. සතර මාසයක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ භික්ෂුසංඝයාට දන්පැන් පූජා කළා. අවසාන දවසේ දසදහස් ගණන් භික්ෂූන් වහන්සේලාට තුන්සිවුරු පූජා කළා. මේ ආකාරයට විසිහත් කෝටියක් වියදම් කරවමින් පූර්වාරාම මහා විහාරය බුද්ධශාසනයට පූජා කළා. ඇය එදා මහා සතුටට පත්වෙලා දූදරුවන්, යහළු යෙහෙළියන් පිරිවරාගෙන මිහිරි ගී ගය ගයා පූර්වාරාමය වටේ ඇවිද ඇවිද ගියා.

“සුදුපැහැයෙන් බබලන ඒ – සුරම්‍ය ප‍්‍රාසාදේ
විහාරයක් කොට දුන්නෙමි – සිතේ සතුට විහිදේ
සිහින සැබෑ විය මාගේ – පින් ගඟුලක් පෑදේ
ඇඳ පුටු හා මෙට්ට පැදුරු – ඇතුරුව ප‍්‍රාසාදේ
සේනාසන බඩු දුන්නෙමි – සිතේ සතුට විහිදේ
සිහින සැබෑ විය මාගේ – පින් ගඟුලක් පෑදේ
රස මසවුළු බොජුන් යුතුව – නිරතුරු දන් සාලේ
උතුම් සංඝ දාන දුනිමි – සිතේ සතුට විහිදේ
සිහින සැබෑ විය මාගේ – පින් ගඟුලක් පෑදේ
සිනිඳු කසී සළුවෙන් යුතු – සකසා තුන් සිවුරේ
දහස් ගණන් සිවුරු දුනිමි – සිතේ සතුට විහිදේ
සිහින සැබෑ විය මාගේ – පින් ගඟුලක් පෑදේ
ගිතෙල් වෙඬරු මී පැණි තෙල් – ගිලන්පසට සෑදේ
සංඝයාට බෙහෙත් දුනිමි – සිතේ සතුට විහිදේ
සිහින සැබෑ විය මාගේ – පින් ගඟුලක් පෑදේ ”

ඉතාමත් මිහිරි හඬින් ඇය මෙලෙසින් ගායනා කරමින් පූර්වාරාමය වටේ ඇවිදින විට භික්ෂූන් වහන්සේලා ඒ ගැන බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, විශාඛා මහෝපාසිකාව ඉතාම නිශ්ශබ්දව කටයුතු කළ කෙනෙක්. මහ හඬින් කතා කළේ නැහැ. සියලූ දෙනාටම ආදර්ශවත් වුනා. එහෙත් ස්වාමීනී, අද ඇයගේ වෙනසක් පේනවා. කිසිම අමුත්තක් නැතුව මහ හඬින් ගීත ගයමින් ප‍්‍රාසාදය වටා ඇවිදිනවා. සාර මාසයක් මුළුල්ලේ වෙහෙස මහන්සි වී දන්දීම නිසා පිත කිපුනා වත්ද? සෑහෙන්න නිදිවැරීම නිසා උමතු වුනා වත්ද?”

“පින්වත් මහණෙනි, විශාඛාව ගී ගයන්නේ ඇයගේ සසරේ පැතුමක් ඉටුවීම නිසයි. ඇය ඔය ගායනා කරන්නේ උදාන ගී” යයි වදාළ බුදුරජාණන් වහන්සේ යළි මේ ගාථා රත්නය මිහිරි හඬින් වදාළා.dp_4_10

යථාපි පුප්ඵරාසිම්හා – කයිරා මාලාගුණේ බහූ
ඒවං ජාතේන මච්චේන – කත්තබ්බං කුසලං බහුං

සුවඳ සුපිපි මල් අරගෙන – ගොතයි නේක මල් මාලා
එලෙසින් ලොව උපන් කෙනා – කළ යුතු පින් මාලා
සැප හා සැනසුම ලැබෙනා – කුසල් වැඩිය යුතු නිතිනා
නිරතුරු පින් කළ යුතුමයි – මාල ගොතන ලෙස නිතිනා

පින්වතුනේ, පින්වත් දරුවනේ, මල් මාලා ගොතන කෙනෙක් හැම තිස්සේම කල්පනා කරන්නේ ලස්සන මල් එකතු කිරීම ගැනයි. එයා යන යන තැන සොයා බලන්නේ ලස්සන මල් තියෙන්නේ කොහේද කියලයි. ඒ ඒ තැනට ගිහින් මල් නෙලා ගන්නවා. හොඳින් පරිස්සම් කරගන්නවා. ඉතාම අලංකාර ලෙස මල් මාලයට අමුණා ගන්නවා.

බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ විදිහට අපිත් කටයුතු කළ යුතු බවයි. පින ළඟට එනකම් බලාගෙන සිටීම නුවණක්කාර වැඩක් නොවෙයි. පිනට ආසා කෙනා පින සොයාගෙන යන්නට ඕන. විශාඛාව පූර්වාරාමය පූජා කරන දවසේ විශාඛාවගේ යෙහෙළියකට සංඝයා උදෙසා ලක්ෂයක් අගනා වස්ත‍්‍රයක් පූජා කරන්නට ඕන වුණා. ඇය එය එළන්නට සුදුසු තැනක් මුළු පූර්වාරාමයේම ඇවිද ඇවිද සෙව්වත් සොයන්නට බැරිව ගියා. ඇයට ලොකු දුකක් ඇති වුනා. අන්තිමේදී පසෙකට වාඩි වී හඬ හඬා සිටියා. ඇයගේ හැඬුම අසා ආනන්ද ස්වාමීන් වහන්සේ එතනට වැඩියා. “පින්වත් දියණිය, හඬන්නේ ඇයි?” ”අනේ ස්වාමීනී, මට මේ පිනට සහභාගී වෙන්නට ලොකු ආසාවක් තිබුනා. ඒ නිසයි මේ ලක්ෂයක් අගනා වස්ත‍්‍රය අරගෙන ආවේ. මෙය අතුරන්නට තැනක් සොයනවා සොයනවා. සොයා ගන්නට නැහැ.”

ආනන්ද ස්වාමීන් වහන්සේ ටිකක් වෙලා කල්පනා කළා. එයට සුදුසු තැනක් මතක් වුනා. “පින්වත් දියණිය දුක් වෙන්න එපා. මං ඔබට තැනක් කියන්නම්. අර පඩිපෙළ මුල පේනවාද? අන්න එතන තියෙනවා සංඝයා පා දෝවනය කරන තැන. සංඝයා පා දොවා අවසන් වූ ගමන් පා පිස්නාවක් හැටියට ඔබ එතන මෙය එළන්න. එය ඔබට මහත්ඵල ලබා දේවි.” ඉතින් ඇය ලක්ෂයක් අගනා ඇතිරිල්ල සංඝයා හට පා පිස්නාවක් කොට පූජා කළා.

මේ අයුරින් පින් කරනා කෙනා කවුරු මොනවා කිව්වත් තමන්ගේ පුණ්‍ය කටයුතු කඩාකප්පල් කරගන්නේ නෑ. දිගටම කරගෙන යනවා. ඔබත් දක්ෂ මල්කාරයෙක් මල් රාශියක් නෙලා ගෙන ලස්සන මල් මාලා ගොතනවා වගේ සෑම විටම පින් කිරීමට මහන්සි වෙන්න.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අසිරිමත් පසේබුදු පෙළහර 11

$
0
0

දිවිමග ගෙවන්නට සැනසුම ලැබෙන ලෙසින්
ගුණ නැණ පිරුණ මිතුරෙකු නොලැබේ ද ඉතින්
දිනූ රට හැර යන – රජ කෙනෙකුගේ විලසින
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….

pasebudu-pelahara11

පගේ ශාස්තෘන් වහන්සේ වන ගෞතම නම් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලොව කිසිවෙකුට දැක ගත නොහැකි අතීත සිදුවීම් විස්තර කරන අයුරු ඉතා මනහර ය. කොටින්ම කලින් කලට ලොව බුදුවරයන් වහන්සේලා පහළ වන බව දේශනා කොට වදාළේ අප බුදුරජුන් ය. දීඝ නිකායෙහි සඳහන් මහා පදාන සූත‍්‍රයේදී කල්ප සියයක් ඇතුළත පහළ වී වදාළ සම්බුදුවරයන් වහන්සේලා ගැන දේශනා නොකරන්නට අපට එය දැනගත හැකි ක‍්‍රමයක් නැත. කල්ප සියයක් ඇතුළත විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමණ, කාශ්‍යප යන බුදුවරුන්ගේ පහළ වීමත්, එකල ඒ ඒ අවස්ථාවන්හීදී මිනිසුන්ගේ ආයු ප‍්‍රමාණයත්, අගසව්වන් පිළිබඳවත්, තව නොයෙක් තොරතුරුත් එම සූත‍්‍රයෙහි ඇතුළත් වේ.

චක්කවත්තී සීහනාද සූත‍්‍රයෙහිදී බුදුරජුන් වදාළේ මිනිස් ආයුෂ අවුරුදු අසූ දහසක්ව පවතින කාලයේදී අනාගත මෛත‍්‍රී බුදුරජුන් පහළ වන බවයි. එය ද අප දැනගත්තේ අපගේ ශාස්තෘන් වහන්සේගෙනි. මේ අයුරින් අතීතයෙහි වැඩසිටි බුදුවරුන් ගැනත්, අනාගතයෙහි පහළ වන බුදුවරුන් ගැනත් අපට දැනගැනීමට වාසනාව උදාවිය.

පසේබුදු නමින් පහළ වන විශේෂ බුදුවරයන් වහන්සේලා පිළිබඳව ද සඳහන්ව ඇත්තේ බුද්ධ දේශනාවල ය. ඒ පසේබුදුවරුන් පහළ වී සිටි අවදියේ උන්වහන්සේලාගේ ස්වභාවය හඳුනාගත නොහැකිව උන්වහන්සේලාට හිරිහැර කොට අපාගත වූ පිරිස් ගැන ද අප බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.

එක්තරා අවස්ථාවක ගිජුකුළු පව්වෙන් පහළට වඩින මුගලන් මහතෙරුන් වහන්සේට ඇටසැකිළි පේ‍්‍රතයෙකුව දකින්නට ලැබුණා. ඒ ඇටසැකිළි පේ‍්‍රතයාගේ හිස මතට කුළුගෙඩි දහස් ගණනකින් පහර වදිද්දී ඔහු බැගෑ හඬින් වැළපෙමින් දුක් විඳිමින් සිටි අයුරු බුදුරජාණන් වහන්සේට පවසා සිටියා. එවේලෙහි බුදුරජුන් වදාළේ උන්වහන්සේටත් බෝධිමූලයේ සිටියදී එම ඇටසැකිළි පේ‍්‍රතයාව දකින්නට ලැබුණු බවත්, ඔහු ඒ කර්ම විපාකය විඳින්නේ එක්තරා පසේබුදුවරයන් වහන්සේ නමකට හිංසා කොට, අපවත් කිරීමේ පාපයේ ඉතිරි කොටසක් හැටියට බවත් ය.

බුද්ධ දේශනාවල පසේබුදුවරයන් ගැන තොරතුරු මතුවෙන මෙවැනි අවස්ථාවන් වරින් වර දැනගන්නට ලැබේ. පසේ බුදුවරුන්ගේ ස්වභාවය නම් අන් අයට දහම් දෙසීමට නොහැකි බවයි. තමන් විසින් හුදෙකලාවේම අවබෝධ කරගන්නා ධර්මය තුළින් තමාට පමණක් පිළිසරණ ලබාගෙන උන්වහන්සේලා පිරිනිවී යති. නමුත් ඒ පසේ බුදුවරයන් වහන්සේලා ගැන පවා සිත පහදවා ගෙන වන්දනා කිරීම සුදුසු බව ඉසිගිලි සූත‍්‍රයෙහි අවසාන ගාථාව තුළින් අපට පෙන්වා වදාළේ බුදුරජුන් ම ය.

මෙම කථාවෙහි ද පසේ බුදුවරයන් වහන්සේලා දෙනමක් ගැන සඳහන් වේ. උන්වහන්සේලා තම තමන්ගේ අත්දැකීම් ප‍්‍රකාශ කරන ලද ගාථා දෙකක් මෙහි ඇතුළත් ය. සුත්ත නිපාතයේ ඛග්ගවිසාණ සූත‍්‍රයෙහි එකොළොස් වෙනි හා දොළොස් වෙනි ගාථා දෙක හැටියට සඳහන් වන මෙහි පසුබිම් කථාව මෙයයි.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි තරුණ කුමාරවරු දෙදෙනෙක් පැවිදි වුණා. ඔවුන් ඉතාමත් ශ‍්‍රද්ධාවෙන්, සතුටින් මහණදම් පිරුවා. නිතරම උත්සාහ කළේ භාවනා අරමුණෙහි සිත රඳවා ගන්නටයි. ඒ වෙනුවෙන් මේ පැවිදි උතුම් දෙනම පුරුදු කරන ලද්දේ ‘ගතපච්චාගත’ වතයි. ‘ගතපච්චාගත’ යනු පිඬු සිඟා වඩිද්දී කුටියෙන් එළියට පියවර තබන විට සිතට ගන්නා භාවනා කමටහන නැවත ආපසු කුටියට පිවිසෙන තෙක්ම සිතෙහි රඳවාගෙන සිටීමයි. ඇත්තෙන්ම එය ලෙහෙසි කටයුත්තක් නොවේ. කෙනෙක් කුටියෙන් එළියට වඩිද්දී භාවනා අරමුණ සිතට ගත්තත් ටික දුරක් යනවිට අමතක වෙන්න ඉඩ තියෙනවා. ඇතැම් විට ඇසට පෙනෙන, කණට ඇසෙන බාහිර අරමුණු නිසාත් අමතක වෙන්න ඉඩ තියෙනවා. දායකයින් අසන ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්න යාමෙනුත් කමටහන අමතක වෙන්න ඉඩ තියෙනවා. එබඳු කිසිම කරුණකදී ඒ කමටහන අත්නොහැර දිගටම පවත්වාගැනීමට පුරුදු වූ විට ගතපච්චාගත වත පුරන්නට පුළුවනි.

ඉතින්, විසිදහසක් අවුරුදු කසුප් බුදු සසුනෙහි ගතපච්චාගත වත පිරූ ඒ තරුණ ශ‍්‍රමණයන් වහන්සේලා දෙනම විසින් අපේක්ෂා කරන ලද්දේ ඒ බුදු සසුනේ නිවන් අවබෝධ කිරීමටයි. නිවන් අවබෝධ වීම පිණිස අවංකව පිළිවෙත් පිරූ විට එය කිසිදා අපතේ නොයයි. අලාභයක් නොව, ලාභයක්ම උපදවයි. යහපතක්ම උපදවයි. අර භික්ෂූන් දෙනමට ඒ කාශ්‍යප බුදු සසුනෙහි නිවන් අවබෝධ කරගැනීමට නොහැකි වුවත් ගෞතම බුදු සසුනට පෙරාතුව පසේබුදුවරුන් වහන්සේලා හැටියට නිවන් අවබෝධ කරගැනීමට වාසනාව උදා වුණා.

කාශ්‍යප බුදුරජුන්ගේ සසුනෙහි පිළිවෙත් පිරූ ඒ දෙනම අපවත් වීමෙන් පසු දිව්‍ය ලෝකයෙහි ඉපදුණා. පසේබුදුවරුන්ගේ යුගය පහළ වන තුරුම දිව්‍ය ලෝකයෙහි රැඳී සිටියා. පසේබුදුවරුන්ගේ යුගයෙහිදී දිව්‍ය ලෝකයෙන් චුත වුණා. ඉන් වැඩිමහළු තැනැත්තා බරණැස් රජමාළිගයෙහි උපන්නා. බාල තැනැත්තා පුරෝහිත බ‍්‍රාහ්මණයාගේ පවුලෙහි උපන්නා. මේ දෙදෙනා එකම දිනයෙහි උපත ලැබුවා. කුඩා කල පටන් එකට ඇති දැඩි වුණා.

දිනක් පුරෝහිත පුත‍්‍රයා අර රජකුමරාට මෙහෙම කිව්වා.

“ප‍්‍රිය මිත‍්‍රය, පිය රජුගේ ඇවෑමෙන් රජකම හිමි වන්නේ ඔබටයි. අනාගතයේ පුරෝහිත තනතුර ලැබෙන්නේ මටයි. අපි දෙදෙනා ඉතා හොඳින් ශිල්ප ශාස්ත‍්‍ර ඉගෙන ගත්තොත් අපට ධාර්මික ලෙස, යහපත් ලෙස රාජ්‍ය විචාරීම කළ හැකියි. එනිසා ඒ වෙනුවෙන් අපි සෑම ශිල්පයක්ම ඉගෙන ගනිමු.”

ඉතින් මේ කුමාරවරු දෙදෙනා ශිල්ප හැදෑරීම පිණිස ඈත පළාතකට පිටත් වුණා. ඒ පළාතේ එක්තරා විශේෂත්වයක් දැනගන්නට ලැබුණා. එනම් ඒ ගමට විශේෂ අමුත්තන් කිහිප දෙනෙක් පැමිණෙන බවත්, ඔවුන්ව පිළිගැනීමට මුළු ගම ම සූදානම්ව සිටින බවත්ය. කුමාරවරු දෙදෙනාත් මේ අමුත්තන් බැහැදැකීමට උනන්දු වුණා. ඔවුන් වෙන කවුරුවත් නොවේ. පසේබුදුවරයන් වහන්සේලාය.

“ප‍්‍රිය මිත‍්‍රය, දැන් බලන්න. මේ ශ‍්‍රමණයන් වහන්සේලාට මිනිස්සු හොඳින් සළකනවා. ආසන පණවනවා. ප‍්‍රණීත ආහාරපාන පිළිගන්වනවා. ගරු බුහුමන් දක්වනවා. මෙයට යම්කිසි විශේෂ හේතුවක් තිබිය යුතුයි. මුන්වහන්සේලා කිසියම් විශේෂ ශිල්පයක් දන්නා උදවිය හැඩයි. අපිත් මුන්වහන්සේලා ඇසුරේ සිට ඒ ශිල්පය ඉගෙන ගත්තොත් එය අනාගතය පිණිස අපට උපකාරී වේවි.”

මේ කුමාරවරු දෙදෙනා ද පසේබුදුවරයන් වහන්සේලාට උපස්ථාන කරන්න පෙළඹුණා. මුන්වහන්සේලාගේ හැසිරීම් රටාවේ කිසියම් විශේෂත්වයක් තිබෙන බව මොවුන් සොයාගත්තා. බාහිර ලෝකයට නොඇලූණු, හුදෙකලාවට ඇලූණු ස්වභාවය දුටු මෙම දෙදෙනා ඒ පසේබුදුවරුන්ගෙන් ශිල්ප ඉල්ලා සිටියා.

“පින්වත් කුමාරවරුනි, අපේ ජීවිතයත් එක්තරා ශිල්පයක ඵලයක් තමයි. හැබැයි, ගිහියන් වශයෙන් මේ ශිල්පයෙහි ප‍්‍රතිඵල ලැබිය හැකි බවක් අප දකින්නේ නැහැ. අප මෙන් ශ‍්‍රමණයන් බවට පත්වුවහොත් ඔබටත් මේ ශිල්පය කුමක්දැයි වැටහෙන්නට ඉඩ තිබේ.”

“අනේ පින්වත් ස්වාමීනී, එසේ නම් අපිත් කැමතියි ඒ ශිල්පය ඉගෙන ගන්නට. අනාගතයට අපට එය බොහෝ ප‍්‍රයෝජනවත් වේවි. එනිසා අප කෙරෙහි අනුකම්පා කොට අපව පැවිදි කළ මැනැව.”

“පින්වත් දරුවෙනි, එසේ නම් ඔබ කෙස් රැවුල් බා, ගිහි වත් ඉවත් කොට, මේ සිවුරු ගෙන අප මෙන් පොරවා ගන්න. මේ අයුරින් පාත‍්‍ර පරිහරණය කරන්න. මේ අයුරින් වත් පිළිවෙත් කරන්න.”

ඉතින් මේ කුමාරවරු දෙදෙනා ද ශ‍්‍රමණයන් වහන්සේලා බවට පත්වුණා. සිවුරු පොරවන්නටත්, පාත‍්‍ර පරිහරණයටත් පුරුදු වුණා. සක්මන් මළු ඇමදීම, කුටි ඇමදීම, පැන් පෙරා තැබීම ආදී කුදු මහත් වත්පිළිවෙත් ඉගෙන ගත්තා. ටික දිනක් ගෙවුණා. මේ දෙනම අර පසේබුදුවරයන් වහන්සේලා ළඟට ගොස් ශිල්ප ඉල්ලා සිටියා.

“පින්වත් ශ‍්‍රමණවරුනි, ශිල්පය නම් මෙයයි. එනම් හුදෙකලාව සිටීමයි.”

“පින්වත් ස්වාමීනී, හුදෙකලාවේ සිටීම යනු කුමක්ද?”

“හුදෙකලාවේ සිටින කෙනා සක්මන් කළ යුත්තේ ද හුදෙකලාවේමයි. භාවනා කළ යුත්තේ ද හුදෙකලාවේමයි. සැතැපිය යුත්තේ ද හුදෙකලාවේමයි. හුදෙකලාව යනු ඔහුය. ඔහු යනු හුදෙකලාවය.”

මේ අවවාද ලැබූ නවක ශ‍්‍රමණයන් වහන්සේලා දෙනම දෙපැත්තට වෙන් වුණා. හුදෙකලා වුණා. පුරෝහිත පුත‍්‍රව සිටි ශ‍්‍රමණයන් වහන්සේ හුදෙකලාවේ ගොස් කුටියෙහි භාවනා කොට නොබෝ වේලාවකින් සිත සමාධිමත් කරගන්නට පුළුවන් වුණා. නමුත් රාජපුත‍්‍රව සිටි ශ‍්‍රමණයන් වහන්සේට එය නොහැකි වුණා. උන්වහන්සේගේ සිතෙහි අරතිය හටගත්තා. මොහොතකින් භාවනාවෙහි නොඇලී ගියා. සිත විසිරුණා. කලබල වුණා. ඔහුට තම මිත‍්‍ර ශ‍්‍රමණයන් වහන්සේව මතක් වුණා. උන්වහන්සේව සොයාගෙන පැමිණුනා.

“අනේ හිමියනි, මට අමාරුයි. හිත විසිරෙනවා. අරතිය ඇතිවෙනවා. මං මොකද කරන්නේ?”

“එහෙනම් ඔබත් පසෙකින් වාඩිවෙන්න.”

වාඩි වී ස්වල්ප වේලාවක් ගත වූ විට ඔහුගේ සිත සංසිඳුණා.

“පින්වත් හිමියනි, මේ ශිල්පයෙහි අවසානය කුමක්දැයි කියා ඔබ දන්නවාද?”

“නැත, හිමියනි. නමුත් අප මේ ශිල්පයේ අවසානය දකිනා තුරුම හුදෙකලාවේ සිටිය යුතුයි.”

එතකොට රාජපුත‍්‍රව සිටි ශ‍්‍රමණයන් වහන්සේ ආයෙමත් තම කුටියට පිටත් වුණා. හුදෙකලා වුණා. සුළු කලෙකින් සිත විසිරෙන්නට පටන් ගත්තා. අරතිය ඇති වුණා. භාවනාවේ නොඇලී ගියා. හුදෙකලා බව එපා වුණා. කළකිරුණා. නැවතත් යහළු ශ‍්‍රමණයන් වහන්සේව සොයාගෙන ආවා.

පුරෝහිතපුත‍්‍රව සිටි ශ‍්‍රමණයන් වහන්සේ යළිත් මොහුව උනන්දු කෙරෙව්වා. හුදෙකලා බවට පිටත් කළා. තුන්වන වතාවෙත් මොහු අරතියෙන් පීඩා විඳින්නට පටන් ගත්තා. සිත විසිරෙන්න පටන් ගත්තා. භාවනාව එපා වුණා. නැවතත් දුවගෙන ආවා. පුරෝහිතපුත‍්‍රව සිටි ශ‍්‍රමණයන් වහන්සේ මොහුව යළි යළිත් උනන්දු කෙරෙව්වා. හුදෙකලාවටම ආශා කෙරෙව්වා. අන්තිමේදී උන්වහන්සේ මෙහෙම කල්පනා කළා.

‘රාජපුත‍්‍රව සිටි මේ ශ‍්‍රමණයන් වහන්සේ ශිල්ප හැදැරීමට කොතරම් ආසා වුණත් හුදෙකලාවේ සිටීමේ ශිල්පය නම් හදාරණ පාටක් නෑ. තමන්ගේ හුදෙකලාවත් වනසා ගන්නවා. මගේ හුදෙකලාවටත් හානි කරනවා. ඒ නිසා මම ඈතට යන්න ඕන.’

උන්වහන්සේ ඈත වනයට පිටත් වුණා. එදාත් රාජපුත‍්‍රව සිටි ශ‍්‍රමණයන් වහන්සේට අරතිය ඇතිවුණා. කළකිරුණා. පැවිද්දට සිත නොඇලී ගියා. වත් පිළිවෙත්වලට නොඇලී ගියා. එතකොට තම යහළු ශ‍්‍රමණයන් වහන්සේව මතක් වුණා. උන්වහන්සේව සොයාගෙන ආවා. ආරාමය ඉදිරිපිටට පැමිණ උගුර පෑදුවා. කවුරුවත් පේන්න නැති හැඩයි. හිමිහිට දොර හැර බැලූවා. කවුරුවත් නෑ. වතුර කළය බැලූවා. එය හිස්. ඒ ආරාමය අවට පාළුවෙලා. මොහු කල්පනා කරන්න පටන් ගත්තා.

‘ඉස්සර මං රාජකුමාරයෙක්ව සිටිද්දී මිනිසුන් තෑගි බෝග අරගෙන මාව දකින්නට එනවා. ඒත් මාව දකින්නට ලැබෙන්නේ නෑ. හිස් අතින් හැරිලා යනවා. නමුත් මොහුව හොයන්නට මා එද්දී මට මොහුව දකින්නට ඉඩ නොදී පිටත්ව ගිහින්.

එම්බා සිත! නුඹට ලැජ්ජා නැද්ද? භාවනාවට රැඳවිය යුතු සිත එහි නොඅලවා, අරතියට යටකොට මාව පෙළන්නේ නුඹ නොවේද?

එම්බා සිත! දැන් මා සිව් වතාවක්ම මෙතනට කැරකී ආවා. මේ ඇවිදිල්ලට මාව යොමු කළේ නුඹයි.

එම්බා සිත! ආයෙ කවදාවත් නුඹ කියන දේ කරන්න මම ලෑස්ති නෑ. නුඹ දැන් සිටින්නට ඕන මට ඕන හැටියටයි. නුඹ කැමති වුණත්, අකමැති වුණත් මා කැමති හුදෙකලාවටයි. එනිසා අද පටන් නුඹ සිටිය යුත්තේ හුදෙකලාවට අවනතවයි.’

ඉතින්, ඒරාජපුත‍්‍රව සිටි ශ‍්‍රමණයන් වහන්සේත් හුදෙකලා වුණා. අරතිය පහව ගියා. සිත සමාධිමත් වුණා. දැහැන්ගත වුණා. ක‍්‍රමක‍්‍රමයෙන් චතුරාර්ය සත්‍යය වෙත සිත යොමු වුණා. පසේබුදුවරයන් වහන්සේ නමක් බවට පත්වුණා. ඉර්ධිබලයෙන් හිමාලවනයෙහි නන්දමූලක පර්වතයෙහි ගිරිගුහාවට වැඩම කළා.

පුරෝහිතපුත‍්‍රව සිටි ශ‍්‍රමණයන් වහන්සේත් චිත්ත සමාධිය දියුණු කළා. විදර්ශනා ප‍්‍රඥාව දියුණු කළා. හුදෙකලාවේ ම ආර්ය සත්‍යය අවබෝධ කළා. පසේබුදුවරයන් වහන්සේ නමක් බවට පත්වුණා. ඉර්ධියෙන් නන්දමූලක පර්වතයෙහි ගුහාවට වැඩම කළා.

දිනක් මේ පසේබුදුවරයන් වහන්සේලා දෙනම රත්හිරියල් ගල් තලාවෙහි වැඩහිඳ තමන්ගේ ජීවිතාවබෝධයට උපකාරී වූ අත්දැකීම් ගැන කතාබස් කරමින් සිටි වේලෙහි මේ උදාන පහළ කළා. යට දැක්වෙන ගාථාව වදාරණ ලද්දේ රාජපුත‍්‍රව සිටි ශ‍්‍රමණයන් වහන්සේ විසිනුයි.

සචේ ලභේථ නිපකං සහායං
සද්ධිං චරං සාධු විහාරි ධීරං
අභිභුය්ය සබ්බානි පරිස්සයානි
චරෙය්ය තේනත්තමනෝ සතීමා

“ඉදින් කෙනෙකුට අවස්ථාවෝචිත ප‍්‍රඥාවෙන් හෙබි යහළුවෙක් මුණ ගැහෙනවා නම්, නුවණැති කෙනා ඔහු සමඟ වාසය කරන්න ඕන. හැබැයි හැම කරදරයක්ම මැඬ ගෙන වීරියෙන් යුක්තව, සතුටින් යුක්තව, සිහියෙන් යුක්තවයි ඔහු හැසිරිය යුත්තේ.”

එතකොට අනිත් පසේබුදුවරයන් වහන්සේ මේ ගාථාව වදාළා.

නෝචේ ලභේථ නිපකං සහායං
සද්ධිං චරං සාධු විහාරි ධීරං
රාජා’ව රට්ඨං විජිතං පහාය
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

“ඉදින් කෙනෙකුට අවස්ථාවෝචිත ප‍්‍රඥාවෙන් යුක්ත, වීරියවන්ත යහළුවෙක් තමන්ගේ ආශ‍්‍රයට සුදුසු ආකාරයට ලැබෙන්නේ නැත්නම්, ඔහු කළ යුත්තේ මෙයයි. දිනපු රට අත්හැර යන රජෙක් වගේ හැසිරිය යුත්තේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴

දස දිසාවේ පැතිරෙන සුවඳක් වෙන්න…

$
0
0
එ

෴  11,12 ගාථා රත්න
අනඳ මහ තෙරුන් වහන්සේගේ කථා වස්තුව

“දස දිසාවේ පැතිරෙන සුවඳක් වෙන්න…”

පින්වතුනේ, පින්වත් දරුවනේ,

බ දන්නවා ඇති අපේ බුදුරජාණන් වහන්සේට නිරන්තරයෙන් උපස්ථාන කරන පින්වත් ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ තමයි ආනන්ද නමින් හඳුන්වන්නේ. ඒ  ආනන්ද ස්වාමීන් වහන්සේ ඉතාමත්ම ශ‍්‍රද්ධාවෙනුයි බුදුරජාණන් වහන්සේට ඇප උපස්ථාන කළේ.

දිනක් ආනන්ද ස්වාමීන් වහන්සේ සවස් වරුවේ භාවනා කරමින් සිටින විට මෙවැනි සිතුවිල්ලක් ඇතිවුනා. “අපගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සුවඳ වර්ග තුනක් ගැන අපට වදාළා. ඒ තමයි; මුල් වලින් හමන සුවඳ, අරටුවෙන් හමන සුවඳ, ඒ වගේම මල් සුවඳ. ඇත්තෙන්ම මේ සුවඳ හමන්නේ යටි සුළෙඟ් විතරයි. උඩු සුළඟට හමන්නේ නෑ. ඉතාමත් ඈතට විහිද යන්නෙ නෑ. නමුත් අපි නොදන්නා ඈතට විහිද යන සුවඳ වර්ග ගැන බුදුරජාණන් වහන්සේ දන්නවා ඇති. ඒ ගැන මං දැනගන්න කැමතියි” කියා කල්පනා කළා.

එඉතින් බුදුරජාණන් වහන්සේ බැහැදැක ආදරයෙන් වන්දනා කළ ආනන්ද ස්වාමීන් වහන්සේ  ‘ඈත එපිට දක්වා විහිද යන සුවඳ කුමක්ද?’ කියා අසා සිටියා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ ඈතට විහිද යන්නේ කවර සුවඳක්ද යන වග මේ අයුරින් පහදා දුන්නා. “පින්වත් ආනන්ද, එක්තරා සුවඳක් තියෙනවා. ඒ සුවඳ උඩු සුළඟටත් හමනවා. යටි සුළඟටත් හමනවා. හැම දිශාවටත් හමනවා. එය හොඳම හොඳ සුවඳක්.” “ස්වාමීනී, ඒ සුවඳ කුමක්ද?”

“පින්වත් ආනන්ද, යම් ගමක හෝ ප‍්‍රදේශයක කාන්තාවක් හෝ පුරුෂයෙක් හෝ බුදුරජාණන් වහන්සේව සරණ ගියොත්, ධර්මය සරණ ගියොත්, ආර්ය සංඝයා සරණ ගියොත්, ඒ වගේම ඒ තැනැත්තිය හෝ තැනැත්තා සතුන් මැරීමෙන් වැළකී සිටිනවා නම්, සොරකමින් වැළකී සිටිනවා නම්, වැරදි කාම සේවනයෙන් වැළකී සිටිනවා නම්, බොරු කීමෙන් වැළකී සිටිනවා නම්, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටිනවා නම්, ඒ වගේම සිල්වත් නම්, යහපත් ගුණධර්මයන් ගෙන් යුක්ත නම්, ලෝභ නැත්නම්, නිතර දන්පැන් පුදනවා නම්, අන් අයට උදව්පදව් කරනවා නම් ඒ කෙනා ගැන ශ‍්‍රමණ බ‍්‍රාහ්මණවරු මෙහෙම කතා කරනවා. ‘එම්බා පින්වත්නි, දන්නවාද? අසවල් ගමේ, අසවල් ප‍්‍රදේශයේ ස්ත‍්‍රියක් ඉන්නවා. පුරුෂයෙක් ඉන්නවා. මේ විදිහටයි තෙරුවන් සරණ ගිහින් ඉන්නේ. මේ විදිහටයි සිල් රකින්නේ. මේ විදිහටයි දන් දෙන්නේ’ කියල ගුණ කියනවා.

එපමණක් නොවෙයි, දෙවියනුත් ඔවුන්ගේ ගුණ කියනවා. ඉතින් පින්වත් ආනන්ද, උඩු සුළඟටත් හමනා, යටි සුළඟටත් හමනා, හැම දිශාවටත් හමනා, හොඳම හොඳ සුවඳ නම් එයයි.” මෙය වදාළ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය වදාළා.

න පුප්ඵගන්ධෝ පටිවාතමේති – න චන්දනං තගරමල්ලිකා වා
සතඤ්ච ගන්ධෝ පටිවාතමේති – සබ්බා දිසා සප්පුරිසෝ පවාති

නැත මල් සුවඳ උඩු සුළෙඟහි ගැවසෙන්නේ
තුවරල, සඳුන් හර නැත දුර විහිදෙන්නේ
තිසරණ සිල් ගුණැති යහපත් මිනිසුන්නේ
ගතිගුණ පැතිර යයි සුවඳක් විලසින්නේ

චන්දනං තගරං වාපි – උප්පලං අථ වස්සිතී
ඒතේසං ගන්ධජාතානං – සීලගන්ධෝ අනුත්තරෝ

සඳුන් තුවරල සමන් මහනෙල් - සුවඳ විහිදෙන නමුත් සුළෙඟ්
පරදවා ඒ සුවඳ මනකල් - හමයි උත්තම සීල සුවඳේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, ලෝකයෙහි විවිධාකාර සුවඳ වර්ග තියෙනවා තමයි. විශාල මල් වතු යායවල් තියෙන්න පුළුවනි. නමුත් ඒ සෑම සුවඳක්ම හමන්නේ යටි සුළෙඟ් විතරයි. උඩු සුළෙඟ් හමාගෙන යන්නේ නෑ. යම් කෙනෙක් තිසරණ සිල් රකිනවා නම්, උඩු සුළඟට ඒ සුවඳ හමාගෙන යනවා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, දවසක් හරි අපූරු දෙයක් වුනා. සක්දෙව් රජතුමා දිව්‍ය මාළිගාවෙන් එළියට බැස හැම දිශාවටම වන්දනා කළා. එතකොට මාතලී රථාචාර්යයා සක් දෙවිඳුගෙන් මෙහෙම ඇහුවා. “පින්වත් ශක‍්‍ර දේවේන්ද්‍රය, ඔබවහන්සේට සියලූ බ‍්‍රාහ්මණයන්, රජවරුන්, සතරවරම් දෙවි මහරජදරුවන්, තව්තිසා දෙවියන් ආදී සියලූ දෙනාම වඳිනවා. ඒ විදිහට වැඳුම් ලබන ඔබ ඔය වන්දනා කළේ කාටද?”

“මාතලී, බ‍්‍රාහ්මණයන්, රජවරුන්, පොළොවවැසි සියල්ලන්, සතරවරම් දෙවි මහරජදරුවන්, තව්තිසා දෙවියන් ආදී සියල්ලන්ම මට වන්දනා කරන බව හැබෑව. මමත් මේ වන්දනා කරන්නේ සීලයෙන් යුක්ත, භාවනාව තුළින් චිත්ත සමාධිය ලබාගෙන බොහෝ කල් වාසය කරන, පිරිසිදු බ‍්‍රහ්මචාරී ජීවිත ගෙවන ශ‍්‍රමණයන් වහන්සේලාටයි. ඒ වගේම මම මේ වන්දනා කරන්නේ තෙරුවන් සරණ ගිය සිල්වත්ව ගිහි ජීවිතය ගත කරමින්, පින්දහම් කරමින් ධාර්මිකව අඹුදරුවන් පෝෂණය කරන ගිහි පින්වතුන්ටයි.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපි අහලා තියෙනවා ‘හිටියොත් හොඳට හැදී – දෙවියොත් නමට වඳී’ කියල කියමනක්. එහෙමනම් අපිත් මුළු හදවතින්ම තෙරුවන් සරණ යමු. සමාදන් වන පන්සිල් හොඳින් ආරක්ෂා කරගනිමු. ලෝභ රහිත සිතින් දන්පැන් පූජා කරමු. ඒ වගේම ධාර්මිකව මිල මුදල් උපයාගෙන සියලූ දෙනාට සලකමින් සතුටින් කල් ගෙවමු. ඒක ගිහි ජීවිතය ගතකරන කෙනෙකුට කොයිතරම් වාසනාවක්ද!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අසිරිමත් පසේබුදු පෙළහර 12

$
0
0
pasebudu-pelahara12

පසසමු මිතුරු සම්පත අපි සැබැවින්ම
උසස් හෝ සම අය – සොයා ගත යුතු සුමිතුරන් ලෙස
නොලැබෙන විටදි ඒ අය – දැහැමින් බොජුන් ලැබගෙන
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….

pasebudu-pelahara12

පගේ ශාස්තෘන් වහන්සේ විසින් ලෝකය පිළිබඳව අවබෝධ කරන ලද ධර්මය සැබැවින්ම පුදුම සහගතය. අතීතයෙහි වැඩසිටි බුදුවරයන් වහන්සේලා ගැන පමණක් නොව පසේ බුදුවරයන් වහන්සේලා ගැන ද ඉස්මතු කොට පෙන්වන අයුරු ඉතා මනහරය.

මේ සසරේ ස්වභාවය නම් ඇරඹුණු තැනක් දැක්ක නොහැකි වීමයි. ආරම්භක මුල් ස්වභාවයක් නොපෙනීමයි. අසවල් දවසේ සිට සසර ගමන ඇරඹුනේය කියා කිසිදු සත්වයෙකුගේ සසර ගමන පිළිබඳව පැවැසිය නොහැකි බවයි බුදුරජුන් වදාළේ. එනිසාය භව ගමනක පැටලූණු සත්වයාගේ මූලාරම්භය සෙවීම වෙනුවට භව ගමනින් නිදහස් වීමට මඟක් සොයන්න යැයි අවධාරණ කරන ලද්දේ. ඇත්තෙන්ම අතීත බුදුවරුන් ගැන හෝ පසේබුදුවරුන් ගැන හෝ බුදුරජාණන් වහන්සේ විසින් නොවදාරණ ලද්දාහු නම් අද අපි ඒ කිසිවක් නොදනිමු. උන්වහන්සේ විසින් කෙළවරක් දැක්ක නොහැකි අතීතයෙහි යම් යම් අවස්ථාවන්හීදී පහළ වූ මේ සුවිශේෂී උතුමන් පිළිබඳව වදාළේ ලොවෙහි පවතින එක්තරා විශේෂ ස්වභාවයක් පෙන්වා දීමටය. එනම් විමුක්තියක් උදෙසා කෙනෙකුන් විසින් අවංකව ගන්නා ලද වෑයම මල් ඵල ගන්නා අයුරු පෙන්වා දීමටයි.

එක්තරා අවස්ථාවක එක් භික්ෂුවක් බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ ‘ගෙවී ගිය අතීතය කොතරම් වර්ෂ වලින් කිව හැකිද?’ කියාය. එවිට බුදුරජාණන් වහන්සේ වදාළේ ගෙවී ගිය අතීතය කිසිසේත්ම වර්ෂ වලින් කිව නොහැකි බවයි. කල්ප වලින් ද කිව නොහැකි බවයි. උපමාවකින් වදාළේ මහා සාගර ජලයට වඩා වැඩි ප‍්‍රමාණයක කඳුලූ එක් පුද්ගලයෙකු විසින් ගෙවන ලද සසරේ වගුරුවා ඇති බවයි. මෙවැනි උපමා ඔස්සේ බුදුරජුන් දහම් දෙසා වදාළේ සසරෙහි සැරිසරන සත්වයාට එහි ඇති අන්තාරායදායක ස්වභාවය ප‍්‍රකට කර දෙනු පිණිසය.

බුදුරජුන් විසින් වදාරණ ලද දේශනා විමසන විට පැහැදිලිවම කරුණු දෙකක් හඳුනාගත හැකිය. එනම් භව ගමනක පැටැලී සිටින සත්වයා එයින් මුදවා නිර්වාණාවබෝධයට යොමු කරවීම මූලික කරුණයි. දෙවන කරුණ සුගතියෙහි උපතක් කරා සත්වයාව යොමු කරවීමයි. මෙවැනි අදහසක තරව පිහිටා උන්වහන්සේ විසින් දහම් දෙසන ලද්දේ සසරෙහි පැටැලී ගිය සත්වයා සතර අපායට අභිමුඛව ගමන් ගන්නා බව පසක් කරගත් නිසාවෙනි. එසේ යන සත්වයන් අතුරින් බුදු බව ලැබිය හැකි වන්නේ ඉතාමත් කලාතුරකින් කෙනෙකුට ය. එනිසා උන්වහන්සේ කිසිදු දේශනාවක බුදු බව ලබනු පිණිස සත්වයන්ව උනන්දු කරවා නැත. හැමවිටම උන්වහන්සේ උනන්දු කරවන ලද්දේ ශ‍්‍රාවකත්වය ලබාගෙන සසරෙන් එතෙර වීමටයි. කොටින්ම පසේබුදු බව ලබාගැනීම පිණිසවත් තම ශ‍්‍රාවකයන්ව උනන්දු කළ අවස්ථාවක් ධර්මයෙහි සඳහන්ව නැත.

නමුත් යම් පින්වත් කෙනෙකු විසින් ආර්ය සත්‍යාවබෝධය පිණිස අවංකව වෙහෙසෙන්නේ නම් ඇතැම් විට කලාතුරකින් කෙනෙකුගේ ගමන පසේබුදු බව දක්වා වැඞීයන බව අටුවා කථා කියැවීමෙන් අපට තේරුම්ගත හැකිය. ඒ පසේබුදුවරුන්ගේ අවබෝධයට උපකාරී වී තිබෙන්නේ ධර්ම ශ‍්‍රවණය වැනි දෙයක් නොවේ. සාමාන්‍යයෙන් කෙනෙකුට ප‍්‍රඥාව ලබාගැනීම පිණිස කල්‍යාණමිත‍්‍ර සේවනය හා ධර්ම ශ‍්‍රවණය අනිවාර්යයෙන්ම උපකාරී විය යුතුය. යෝනිසෝ මනසිකාරයෙන් යුතු තැනැත්තා ප‍්‍රඥාව උපදවා ගන්නේ එම හේතුව නිසාය. නමුත් පසේබුදුවරුන්ගේ ජීවිතාවබෝධය සිදුවන්නේ බොහෝ විට අහඹු ලෙසය.

සුත්ත නිපාතයේ ඛග්ග විසාණ සූත‍්‍රයෙහි සඳහන් දොළොස්වෙනි ගාථාවට අයිති කථා වස්තුව මෙයයි.

මිනිස් ආයුෂ වසර විසි දහසක්ව තිබියදී කාශ්‍යප බුදු සසුන පහළ වුණා. මේ බුදු සසුනෙහි මහා පින්වන්තයින් තම තමන්ගේ නිවන් මඟ මුහුකුරාගන්නට නිසි පින් පුරා ගනු පිණිස පැවිදි වුණා. ඒ පැවිදි වූ පිරිසෙන් බොහෝ දෙනෙක් ඒ බුදු සසුනෙහිදීම පිරිනිවන් පෑවා. තවත් පිරිසක් මඟ ඵල නොලබා දෙව්ලොව උපන්නා. ගෞතම බුදුරජුන් පහළ වීමට පෙර එක්තරා යුගයක් එළැඹුණා. ඒ පසේබුදුවරුන්ගේ යුගයයි. එම යුගයෙහිදී දෙව්ලොව ඉපිද සිටි අර පුණ්‍යවන්තයින් වරින් වර මිනිස් ලොවට පැමිණ පසේබුදුවරුන් බවට පත්ව සසරෙන් එතෙර වුණා.

කාශ්‍යප බුදුසසුනෙහි ‘ගතපච්චාගත’ වත පිරූ යහළු ශ‍්‍රමණයන් වහන්සේලා කිහිප නමක් දෙව්ලොව ඉපිද සිටියා. පසේබුදුවරුන්ගේ යුගයේදී ඔවුන් දඹදිව උපන්නා. වැඩිමහළු කෙනා බරණැස් රජු බවට පත් වී සිටියා. අනිත් පිරිස අවට ජනපදයන්හි රජ පවුල්වලත් උපන්නා. සසරෙහි පුරන ලද පුණ්‍යානුභාවයෙන් යහළුවන් බවට පත් වූ ඔවුන් පැවිදි වුණා. තම තමන්ට ආවේණික විමසීම් නුවණ හුරු කරගනිමින් පසේබුදුවරයන් වහන්සේලා බවට පත් වුණා.

දිනක් මේ පසේබුදුවරු නන්දමූලක පර්වත ගුහාවට වැඩම කොට තම තමන් මේ අත්විඳින්නේ කවර පුණ්‍ය විපාකයක් දැයි සොයා බැලූවා. එවිට බොහෝ වාර ගණනක් පැවිදිව ධර්මාවබෝධය පිණිස කැපවීමේ ප‍්‍රතිඵලය තමන් අත්විඳින බවත්, තමන් සමඟ එකට සිටි වැඩිමහල් තැනැත්තා දැනට බරණැස් නුවර රජ බවට පත් වී සිටින බවත් දැනගත්තා. ඔහු ද පසේබුදු බවට පත්වෙන කෙනෙක් බව නියත වශයෙන්ම දැනගත් මෙම පසේබුදුවරයන් වහන්සේලා දිනක් බරණැස් රජ මාළිගා මිදුලට අහසින් සැපත් වුණා. ආසනවල වාඩිනොවී අහසේම පළඟක් බැඳ වැඩසිටියා. සියලූ සේනාවම මේ ආශ්චර්යය දැක ඒ දෙසම බලා සිටියා.

සසරෙහි පුරුදු සෙනෙහසින් යුතුව රජතුමා ද ශ‍්‍රමණයන් වහන්සේලාට වන්දනා කොට මෙසේ විමසුවා.

“පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, ඔබවහන්සේලා කවුද?”

“මහරජතුමනි, අපි වනාහී නිවැරදි අයුරින් ලැබෙන බොජුන් වළදින ‘අනවජ්ජ භෝජී’ නම් අය වෙමු.”

“අනේ…. ශ‍්‍රමණයන් වහන්ස, මට එහි අරුත වැටහෙන්නේ නැහැ.”

“පින්වත් රජතුමනි, ලෝකයෙහි බොහෝ දෙනෙක් රස ආහාරයට ලොල් වෙනවා. කටුක ආහාරයට ගැටෙනවා. රස ආහාරය ලැබෙන තැන ඇලී වාසය කරනවා. කටුක ආහාරය ලැබුණ විට ගැටී බැහැරට යනවා. නමුත් රජතුමනි, අපට ලැබෙන ආහාරය කටුක වේවා, ප‍්‍රණීත වේවා එය අපට ප‍්‍රශ්නයක් නොවෙයි. එම ආහාරයට අප සිත තුළ ඇලීම් ගැටීම් කිසිවක් ඇති කිරීමට හැකියාවක් නැහැ.”

රජතුමා පුදුමයට පත් වුණා. හිතන්න පටන් ගත්තා.

“හරිම පුදුමයි! අපට ආහාරයේ රස නැතුව ගියොත් කේන්ති යනවා. ආහාරය රසවත් වුණත් පෙනුමට සකස් කොට නැත්නම් ඒත් කේන්ති යනවා. පළතුරු හැඩයකට කපා නැත්නම් ඒත් කේන්ති යනවා. ආහාරයේ සුවඳක් නැත්නම් ඒත් කේන්ති යනවා. නමුත් මේ ශ‍්‍රමණයන් වහන්සේලාට ආහාරය පිළිබඳ කිසි ගැටළුවක් නැහැ. සැබැවින්ම මෙය විය හැකි දෙයක්ද? මා මෙය පිරික්සා බැලිය යුතුයි.”

“අනේ ස්වාමීනී, ‘අනවජ්ජ භෝජී’ නම් වූ ශ‍්‍රමණයන් වහන්සේලාව මං මේ දැක්කාමයි. මා කොතෙකුත් ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයින්ට ආහාර පුදා තියෙනවා. මිහිරි ආහාරය ඔවුන් සතුටින් වළඳනවා. අමිහිරි ආහාරය ඔවුන් පිළිකුල් කරනවා. නමුත් ඔබවහන්සේලා එය ඉක්මවා ගිහින් ඉන්නේ. එසේ නම් හෙට දවසේ මාළිගයේ දානය පිණිස වඩින සේක්වා!”

ඉතින් අර පසේබුදුවරයන් වහන්සේලා දානයට වැඩියා. රජතුමා සූදානම් කොට තිබුණේ කුඩු සහලින් සැකසූ බතක් සහ කාඩි හොද්දක් පමණයි. රජතුමාට වුවමනා වී තිබුණේ මේ ශ‍්‍රමණයන් වහන්සේලා ආහාරයට ඇලෙන ගැටෙන අයුරු විමසා බැලීමටයි. උන්වහන්සේලා නිසි කලට වැඩම කළා. ආහාරපාන පිළිගැන්නුවා. ඒ පිළිගත් දානය උන්වහන්සේලා ඉතාමත්ම සතුටින් වැළඳුවා. හැම ඉරියව්වක්ම ප‍්‍රසන්නයි. කිසිදු වෙනසක් නැහැ. ඉතාමත්ම කරුණාවෙන් රජතුමාට සෙත් පැතුවා. රජතුමා නැවතත් ආරාධනා කළා.

“අනේ ස්වාමීනී, හෙට දවසේත් දානයට වඩින සේක්වා!”

අර පසේබුදුවරයන් වහන්සේ ඒ ඇරයුම පිළිගත්තා. පසුවදාත් කාඩි හොදියි, කුඩු සහලින් කළ බතකුයි පිළියෙල කොට තිබුණා. එදාත් ඒ පසේබුදුවරුන් වැඩි වේලෙහි රජතුමා එය පිළිගැන්නුවා. හරි පුදුමයි! කිසි වෙනසක් නැහැ. උන්වහන්සේලාගේ ශාන්ත ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. ඇලූණු බවක් හෝ, ගැටුණු බවක් හෝ රජතුමාට පෙනෙන්න තිබුණෙ නැහැ. රජතුමාට වෙනදා මෙන් කරුණාවෙන් සෙත් පැතුවා. රජතුමා පසුවදා දානයටත් ආරාධනා කළා. ඒ පසේබුදුවරුන් එම ඇරයුමත් පිළිගත්තා.

අරක්කැමියා ඇමතූ රජතුමා මෙහෙම කිව්වා.

“එම්බා සගය, හෙට ශ‍්‍රමණයන් වහන්සේලාට දානය පිණිස ඉතාම ප‍්‍රණීත අයුරින් රාජ භෝජන පිළියෙල කළ යුතුයි. එහි මිහිරි සුගන්ධය සිව් දිශාවේ පැතිර යන පරිද්දෙන් පිළියෙල කළ යුතුයි.”

දැන් රජතුමා කල්පනා කළේ කටුක ආහාරයට නොගැටුණත්, ප‍්‍රණීත ආහාරයට ඇලිය හැකි බවයි. සුදුසු වේලාවෙහි පසේ බුදුවරයන් වහන්සේලා වැඩම කළා. රජතුමා දානය පූජා කරන විට ප‍්‍රණීත රාජ භෝජනයක මිහිරි සුවඳ මාළිඟය පුරා පැතිර ගියා.

නමුත් මේ පසේබුදුවරයන් වහන්සේලාට එහි කිසි අමුත්තක් දැනුනේ නැහැ. පෙර පරිද්දෙන්ම සතුටින් වැළඳුවා. පෙර පරිද්දෙන්ම රජතුමාට සෙත් පැතුවා. නික්ම ගියා.

රජතුමා කල්පනා කරන්න පටන් ගත්තා.

“ඇත්ත! ආහාරයට නොඇලී ඉන්නත් පුළුවන්. නොගැටී ඉන්නත් පුළුවන්. දැන් මේ ශ‍්‍රමණයන් වහන්සේලා ඉන්නෙ. ඉතින් ඒ විදිහට මටත් පුළුවන් වෙන්න ඕන.”

රජතුමා රජකම අත්හැරියා. පැවිදි වුණා. හුදෙකලා වුණා. නිදහසේ භාවනා කළා. රජතුමාගේ සිතත් ඉක්මනින්ම සමාධිමත් වුණා. විදර්ශනාවට යොමු වුණා. ආර්ය සත්‍යය අවබෝධයට පත්වුණා. ආහාරයට නොඇලෙන, නොගැටෙන කෙනෙක් බවට පත්වුණා. පසේබුදුවරයන් වහන්සේ නමක් බවට පත්වුණා. ඉර්ධි බලයෙන් නන්දමූලක පර්වත ගුහාවට වැඩම කළා.

එහිදී මංජූසක රුක් සෙවණෙහි වැඩසිටි පසේ බුදුවරුන් මැද මේ නවක පසේබුදුවරයන් වහන්සේ මෙම උදානය වදාළා.

අද්ධා පසංසාම සහාය සම්පදං
සෙට්ඨා සමාසේවිතබ්බා සහායා
ඒතේ අලද්ධා අනවජ්ජ භෝජී
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

“ඇත්තෙන්ම යහපත් මිතුරන්ගේ ඇසුරමයි අපි ප‍්‍රශංසා කරන්නේ. යහළුවන් ඇසුරු කිරීමේදී එක්කො තමන්ට වඩා ශ්‍රේෂ්ඨ උදවිය විය යුතුයි. එක්කො තමා හා සමාන උදවිය විය යුතුයි. එවැනි යහළුවන් ඇසුරට නොලැබෙන විට වළඳන ආහාරයේ පවා නොඇලෙමින්, නොගැටෙමින් වැළඳිය යුතුයි. එතකොට ඔහු හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴

සිල්වතුන්, ගුණවතුන් හොයාගෙන දෙවියන් එන හැටි පුදුමයි

$
0
0
dp_4_13

෴  13 ගාථා රත්නය
මහා කස්සප තෙරුන් වහන්සේට පිණ්ඩපාතය පූජා කිරීම ගැන කථා වස්තුව

“සිල්වතුන්, ගුණවතුන් හොයාගෙන දෙවියන් එන හැටි පුදුමයි.”

පින්වතුනේ, පින්වත් දරුවනේ,

පේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහා පුණ්‍යවන්ත උත්තමයන් පැවිදි වෙලා සිටියා. ඒ අතරේ මහා කස්සප මහරහතන් වහන්සේ පරම ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේ සියලූ තපස් ගුණයන්ගෙනුත් අග‍්‍ර වුනා. වැඩි කාලයක් වාසය කළේ මහා වනාන්තරයේමයි. උන්වහන්සේට දෙවිවරු ඉතාමත් ආදරෙයි.

ඇතැම් දිනවලදී උන්වහන්සේ කුටියෙන් එළියට වඩින විට කුටිය අවට ලස්සනට ඇමදලා තියෙනවා. භාජනවල පැන් පෙරා තියෙනවා. හැමතැනම ලස්සනට මල් අතුරලා තියෙනවා. ඒවා කරපු කෙනෙක් නෑ. ඒ සියල්ල කරන්නේ උන්වහන්සේට මහත් සේ ආදර ගෞරව දක්වන දෙවිවරුන් විසිනුයි.

එක දවසක් මහා කස්සප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදුනා. පින්වතුනේ, පින්වත් දරුවනේ, නිරෝධ සමාපත්තිය කියන්නේ හරිම ආශ්චර්යවත් සමාධි බලයක්. ඒ සමාධියට කෙනෙක් සමවැදුන විට ඉතාම පහසුවෙන් එකම ඉරියව්වෙන් සතියක් ගත කරන්න පුළුවන්. ඉතින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ නිරෝධ සමාපත්තිය තුළ සතියක් ගත කළා. ඒ සතිය ඇවෑමෙන් සමාධියෙන් නැගිට්ටා. රජගහ නුවර පිඬුසිඟා වඩින්නට පිටත්වුනා.

එවේලෙහි සක්දෙව් රජතුමා ගේ පිරිවර වූ පන්සියයක් දිව්‍ය අප්සරාවන් මෙහෙම කතා බස් කරගත්තා. “පින්වත් අප්සරාවියනි, එන්න යන්න. අපගේ පරම පූජනීය ආර්යයන් වහන්සේ වන මහා කස්සප මහරහතන් වහන්සේ අන්න දින හතක් සමාධියෙන් වැඩසිට රජගහ නුවර පිණ්ඩපාතයේ වඩිනවා. අපි උන්වහන්සේට දානයක් පූජා කරමු.” සියලූ දිව්‍ය අප්සරාවියන් හරි සතුටු වුනා. ඉතින් ඒ සියළු දෙනා ඉතාම ප‍්‍රණීත ආහාරපාන ඉර්ධි බලයෙන් මවාගෙන මහාකාශ්‍යප මහරහතන් වහන්සේ වඩින මාවතේ පහළ වුනා. “ස්වාමීනී, මේ පිණ්ඩපාතය පිළිගන්නා සේක්වා! අපටද අනුග‍්‍රහ කරන සේක්වා!”

මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මෙහෙම වදාළා. “පින්වත් දෙවිවරුනි, ඔබට පින් තියෙනවා. පින නිසයි ඔබ දෙවියන් අතර ඔය සැප විඳින්නේ. ඒ නිසා ඔබ මෙතනින් යන්න. මම මේ සූදානම් වන්නේ ඉතාම දිළිඳු මිනිසුන්ට පින් කරගන්නට අවස්ථාවක් ලබාදෙන්නටයි.” “අනේ ස්වාමීනී, එහෙම කියන්නට එපා! අපටත් අනුකම්පාවෙන් උපකාර කළ මැනැව.” එසේ කියමින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට කරදර කරන්නට පටන් ගත්තා. එවිට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එම දිව්‍ය අප්සරාවියන්ට මෙහෙම කිව්වා. “එම්බා අප්සරාවියනි, ඇයි මගේ වචනය අහන්නේ නැත්තේ? තමන්ගේ ප‍්‍රමාණය දන්නේ නැද්ද? යනවා යන්න මෙතනින්.”

එතකොට ඒ අප්සරාවියන්ට තෙරුන් වහන්සේ ඉදිරියේ සිටින්නට බැරිව ඉතා දුකින් අතුරුදහන් වුනා. දෙව්ලොවටම ගියා. ශක‍්‍ර දෙවියන්ට මේ කරුණ සැළකළා. ශක‍්‍ර දෙවියන් එම අප්සරාවියන් ගෙන් විමසුවා “අප්සරාවියනේ, මහා කස්සප මහරහතන් වහන්සේ ඉතාමත් කරුණාවන්තයි. උන්වහන්සේගේ සිතේ තියෙන්නේ ඉතා දුගී දුප්පත් මනුෂ්‍යයන් හට දුර්ලභ පිනක් අත්පත් කර දෙන්නයි. ඒකයි උන්වහන්සේ එහෙම කළේ. ඉතින් ඔබ උන්වහන්සේ ඉදිරියේ පෙනී සිටියේ කොහොමද?” “දේවේන්ද්‍රය, අපි දිව්‍ය වස්ත‍්‍රාභරයෙන් සැරසිලයි උන්වහන්සේ ඉදිරියේ පෙනී සිටියේ.” ශක‍්‍ර දෙවියන් සිනහ වුනා. “අනේ… අනේ… මහා කස්සප මහරහතන් වහන්සේට නුඹලා කොහොම නම් දන් දෙන්නද? හැබැයි අප්සරාවියනි, මමත් ආසයි උන්වහන්සේට දානෙ ටිකක් පූජා කරගන්නට.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඊට පස්සේ ශක‍්‍ර දෙවියන් ඉතාමත්ම දුර්වල, ජරා ජීර්ණ වූ මහල්ලෙකුගේ වේශයකින් රජගහ නුවර රෙදි වියන මිනිසුන් සිටින වීදියේ කොණක පහළ වුනා. එතන පුංචි පැල්පතක් මැවුනා. ශක‍්‍ර දෙවියන්ගේ බිසව වන සුජම්පතී දිව්‍යාංගනාව ඉතා දුගී මැහැල්ලියකගේ වේශයෙන් එතන පහළ වුනා. දැන් අර මහල්ලා නූල් කටිනවා. මැහැල්ලී බොහෝම අමාරුවෙන් හැළි වළන් පිරිසිදු කරනවා.

මහා කස්සප මහරහතන් වහන්සේ ඒ රෙදි වියන මිනිසුන්ගේ වීදිය දෙස බලද්දී ඉතා අසරණව සිටින මේ ජෝඩුව දැක්කා. දැකලා මෙහෙම කල්පනා කළා. “අනේ…. මෙතරම් වයසට ගිහිනුත් මේ තැනැත්තා වැඩ කරනවා. මේ වයසක උපාසිකාවත් වෙහෙස මහන්සි වෙනවා. මේ ඇත්තන්ට පින් පිණිස මේ පැල්පතටයි පිඬු සිඟා පැමිණිය යුත්තේ. මේ ඇත්තන්ටමයි උපකාර කළ යුත්තේ. මේ වෙලාවේ කුඩු රොටියක් පූජා කළත් මේ ඇත්තන්ට පින් ලැබෙනවා.”

මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පැල්පත ඉදිරියට වැඩම කළා. අර මහල්ලා අමාරුවෙන් කෙඳිරි ගගා මෙහෙම කියනවා. “හාමිනේ, ……. මෙහෙට එන්න. අපගේ ආර්යයන් වහන්සේ නමක් වැඩම කරලා සිටිනවා. අපි පිණ්ඩපාතේ දානෙ ටිකක් පූජා කරගනිමු” කියලා මහල්ලා තෙරුන් වහන්සේට වන්දනා කළා. අමාරුවෙන් වගේ ඇස් දෙක පොඩිකර නළලට අත තබා තෙරුන්ගේ මුහුණ දෙස බැලූවා.

“හප්පේ…. අපගේ මේ මහා කස්සප තෙරුන් වහන්සේ නොවැ. අනේ…. වාසනාවන්! අපගේ මේ දුගී පැලටත් වැඩියා නොවැ. හාමිනේ පූජා කරගන්න මොනවා හරි ගෙදර තියෙනවාද?” “ස්වාමීනී, තියෙනවා.” “අනේ පින්වත් ආර්යයන් වහන්ස, රස නීරස නොබලා අප කෙරෙහි අනුකම්පාවෙන් අපට අනුග‍්‍රහ කරන සේක්වා!” කියමින් දෝතින්ම පාත‍්‍රය ලබා ගැනීම පිණිස දෑත දිගුකළා. මහා කස්සප මහරහතන් වහන්සේ “අනේ… මේ ඇත්තන්ට පිහිටක් වෙන්නම ඕන” කියා සිතමින් පාත‍්‍රය දුන්නා. ඒ මහල්ලා පැල්පත ඇතුළට ගොස් අනේක රස මසවුළු පිරි ප‍්‍රණීත භෝජනයක් පුරවා පාත‍්‍රය රැගෙන එන විට රජගහ නුවර හාත්පස සිසාරා මිහිරි සුවඳක් පැති ගියා.

dp_4_13

මහා කස්සප මහරහතන් වහන්සේට මෙහෙම සිතුනා. “ම්….. මේ කෙනා බොහොම දුගී කෙනෙක් නෙව. ඒ වුනාට පිණ්ඩපාතෙ දානය නම් මහේශාක්‍යයයි. ශක‍්‍ර දෙවියන්ගේ භෝජනය වගෙයි. එතකොට මෙයා කවුද?” සැණෙකින්ම මොහු ශක‍්‍ර දෙවියන් බව තෙරුන් වහන්සේ හඳුනාගත්තා.

“පින්වත් දෙවිඳ, කරපු වැඬේ නම් හරි නෑ. අසරණ දුගී කෙනෙකුට ලබන්න තියෙන සම්පත්තිය නේද ඔය පැහැර ගත්තේ? අද යම්කිසි දුගී දුප්පතෙක් මේ දානය පූජා කරගත්තා නම් ඔහුට සිටු තනතුර ලැබෙනවා.” “අනේ ස්වාමීනී, මමත් දුගී කෙනෙක් තමයි.” “පින්වත් දෙවිඳ, ඔබ දුගියෙක් වෙන්නෙ කොහොමද? දෙව්ලොව රාජශ‍්‍රීයෙන් අනුභව කරන කෙනෙක් නෙව.”

“අනේ ස්වාමීනී, මම අබුද්ධෝත්පාද කාලයක කරපු පින්වලිනුයි මේ දිව්‍ය සම්පත් ලැබුවේ. ඒ වුනාට මේ බුද්ධෝත්පාද කාලයේදී පින් කරපු බොහෝ දෙනෙක් දෙව්ලොව ඉපදිලා සිටිනවා. ඔවුන් මට වඩා තේජවන්තයි. ඔවුන්ගේ පුණ්‍ය වාසනාව හරිම බලවත්. ඒ නිසා මමත් දුගියෙක් නේද?” එ“පින්වත් දෙවිඳ, ඒ වුනාට මීට පස්සෙ නම් මෙවැනි වංචා කොට දන් දෙන්න එපා!” “අනේ ස්වාමීනී, එහෙනම් මේ ප‍්‍රශ්නයට මට උත්තරයක් දෙන්න. වංචාවෙන් හරි මං ඔබවහන්සේට දානෙ ටිකක් පූජා කරගත්තා. මේකෙන් මට පිනක් තියෙනවාද? නැද්ද?” “දෙවිඳ, පිනක් තියෙනවාමයි.” “එහෙමනම් ස්වාමීනී, ඒ පින කිරීමේ වාසනාව මට ලැබුනා නොවේද?” කියා සුජම්පතී දිව්‍යාංගනාව සමඟ දිව්‍ය වේශයෙන් තෙරුන් වහන්සේ වන්දනා කොට අහසට පැන නැගී “අහෝ…! කස්සප මහරහතන් වහන්සේට පූජා කළ දානයමයි උතුම්. එය මනා කොට පිහිටි දානයක්මයි.” කියා උදම් ඇනුවා.

එතකොට වේළුවනයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ මෙය දිවැසින් දැක්කා. මේ සියලූ කතාබහ දිව්‍ය ශ‍්‍රවණයෙන් ඇසුවා. “මහණෙනි, මහා කස්සපයන්ගේ සිල් සුවඳට වශීකෘත වූ සක් දෙවිඳුන්ද පිණ්ඩපාතේ දානය පූජා කිරීමට නොයෙකුත් වෙස් ගන්නවා” කියා වදාරමින් මෙම ගාථා රත්නය වදාළා.

අප්පමත්තෝ අයං ගන්ධෝ යායං තගරචන්දනී
යෝ ච සීලවතං ගන්ධෝ වාති දේවේසු උත්තමෝ

තුවරල සඳුන් මල්වල – විහිදෙනා සුවඳක් වෙද
යටි සුළෙඟ පමණක් යන – අල්ප වූ සුවඳක්මය
සුවඳ සිල්වතුනගෙ – පැතිර යන විට දසදෙස
උතුම් දෙව්ලොව පවා ඒ – සුවඳ පැතිරී යන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඒ නිසා ඔබත් ඉතාම ගුණවත් කෙනෙක් වෙන්න. සිල්වත් කෙනෙක් වෙන්න. හොඳින් තිසරණයෙහි පිහිටි කෙනෙක් වෙන්න. හැකි සෑම මොහොතකම පින් දහම් රැස් කරන්න. බුද්ධානුස්සති භාවනාවෙහි යෙදෙන්න. මෛත‍්‍රිය පුරුදු කරන්න. දයානුකම්පාව දියුණු කරගන්න. ආඩම්බර වෙන්න එපා. අනුන්ගේ දියුණුව දැක සතුටු වෙන්න. ඊර්ෂ්‍යයා කරන්න එපා. නිහතමානී සිතින් වාසය කරන්න. එවිට ටිකෙන් ටික ඔබේ ජීවිතයත් සුවඳ හමන මලක් වගේ වේවි.

අසිරිමත් පසේබුදු පෙළහර 13

$
0
0
pasebudu-pelahara13

රන්කරු තැනූ මැනැවින් – දිලෙස රන් වළළු යුගලක්
අතෙහි ලා ගත් විට – එකිනෙක ගැටෙනු දකිමින
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….

pasebudu-pelahara13

පගේ ශාස්තෘන් වහන්සේ විසින් පෙන්වා දුන් පසේබුදුවරුන්ගේ අසිරිමත් චරිතාපදානයන් ගැන ඉගෙන ගනිද්දී සැබැවින්ම පුදුම සහගතයි. නිවන් අවබෝධය පිණිස හුදෙකලාවේම මෝරා ගිය සිත් ඇති මහා පුණ්‍යවන්තයින් පසේබුදුවරුන්ගේ යුගයේදී ලොවට පහළ වෙනවා. ඒ පසේබුදුවරුන් පවා උපදින්නේ ජම්බුද්වීපයෙහි පමණක් බව අප අමතක නොකළ යුතුයි. කොටින්ම බුදු බව ලබන්නට පෙරුම් දම් පුරමින් සිටි අප මහා බෝසතාණන් වහන්සේ පවා ජම්බුද්වීපයෙන් බැහැර වූ රටක උපත ලැබූ බවක් සඳහන් වන්නේ නැහැ. මෙනිසා සියළු බුදුවරුන් හට, පසේබුදුවරුන් හට වාසභූමිය වූ ජම්බුද්වීපයෙහි බොහෝ විට මුනිවරුන්ගෙන් හිස් වීමක් නැහැ.

මෙහි සඳහන් වන්නේ එක්තරා පසේබුදුවරයන් වහන්සේ නමක් පහළ වූ ආකාරයයි. එනම් කාශ්‍යප බුද්ධ ශාසනයෙහි පැවිදි වූ එක්තරා භික්ෂුවක් ‘ගතපච්චාගත‘ වත පුරමින් ආර්ය සත්‍යාවබෝධය මුල් කොට ඉතාමත් ශ්‍රද්ධාවෙන් මහණදම් පිරුවා. උන්වහන්සේට එම සසුන තුළදී මාර්ගඵලාවබෝධයක් ඇති කරගන්නට බැරිවුණා. අපවත් වීමෙන් පසු දෙව්ලොව උපත ලැබුවා. පසේබුදුවරුන්ගේ යුගයෙහිදී බරණැස් රාජ්‍යයෙහි රජු ලෙස මනු ලොවට පැමිණ සිටියා.

දිනක් මේ රජතුමා උද්‍යාන ක්‍රීඩාවට ගියා. ඒ ග්‍රීෂ්ම කාලයයි. රජතුමා රුක් සෙවණේ සැතැපී සිටියා. රජු අසල ම එක්තරා ස්ත්‍රියක් සඳුන් කල්ක පිණිස සඳුන් කුඩු කරමින් සිටියා. එසේ සඳුන් කුඩු කරමින් සිටිද්දී එම දාසියගේ අත්දෙක නිතර සෙළවුණා. හාන්සි වී සිටි රජතුමාගේ දෙනෙත් අර දාසියගේ දෑත වෙත යොමු වුණා. එක අතක තනි වළල්ලක් දමා සිටියා. අනිත් අතේ රන් වළළු දෙකක් දමා සිටියා. තනි වළල්ල ඇති අත කොපමණ සෙළවුණත් කිසි හඬක් නැඟුණේ නෑ. නමුත් වළළු දෙකක් දමා සිටි අත සෙළවෙන සෑම වාරයකදීම හඬ නැගුණා. රජතුමා ඒ දෙස අවධානයෙන් බලා සිටියා.

‘හරි පුදුමයි! මේ තනි වළල්ල සෙළවෙනවා. නමුත් හඬක් නැඟෙන්නේ නෑ. හුදෙකලා බවක් තියෙනවා. වළළු දෙක දැමූ අත සෙළවෙන වාරයක් පාසා නද දෙනවා. මට හිතෙන්නේ ජීවිතයත් මේ වගේ කියලයි. පිරිසක් එක්ක එකතු වුණොත් තමයි මේ සිතට හැම අර්බුදයක්ම හටගන්නේ. නමුත් හුදෙකලාව සිටිද්දී එයාට ලැබෙන සැප, දුක සතුටින් විඳ දරාගෙන අවුලක් නැතුව ඉන්නවා.’

එතකොට රජ බිසව සියළු ආභරණ වලින් සැරසී රජු අසළම වාඩි වී සිටියා. බිසවට අමුත්තක් තේරුණා.

“ම්…! මොකද මේ… රජ්ජුරුවන් වහන්සේ මේ කාන්තාව දෙස ඇසිපිය නොහෙලා බලා සිටින්නේ…..? මෑ ගැන සිතක් පහළ වෙලා වත් ද….? මෑට සිත ගියෝතින් මගේ සැප සම්පත් වලින් කොටසක් මෑට දෙන්න වේවි! මං දැන් සෑහෙන වෙලාවක් බලාගෙන සිටියා. රජතුමා වශී වෙලා වගේ…. එහෙම වෙන්න දෙන්න බෑ…!”

ඉතින් බිසව අර ස්ත්‍රියට මෙහෙම කිව්වා.

“අනේ…. ඔයාට හරි මහන්සි හැඩයි. සඳුන් කල්ක හදන්නට සඳුන් කුඩු කිරීම ලෙහෙසි නෑ තමයි. නමුත් මාත් හරී ආසයි සඳුන් කුඩු කරන්න. එනිසා මේ ඔයා සඳුන් කුඩු කළා ඇති. කෝ දෙන්න මට….”

ඉතින් දාසිය නැගිටුවා ඇයගේ තැනින් වාඩි වුණා. සඳුන් කුඩු කරන්න පටන් ගත්තා. රජතුමා එවරත් ඇසිපිය නොහෙලා බිසවුන් වහන්සේ සඳුන් කුඩු කරන අයුරු බලා සිටියා.

‘ඔව්! අර අත්දෙකෙයි මේ අත්දෙකෙයි ලොකු වෙනසක් තියෙනවා… කලින් තනි වළල්ලක අතක් තිබුණා. වළළු දෙකක අතක් තිබුණා. තනි වළල්ල හඬ නැඟුවේ නෑ. වළළු දෙක ඝෝෂා කළා…. දැන් මේ අත් දෙක ඊට වෙනස්. මේ අත් දෙකේම රන් වළළු පුරෝලා තියෙනවා. මේ වළළු ගැටෙද්දී මහා ඝෝරණාඩුවක් ඇහෙනවා….. හුදෙකලාවමයි හොඳ! හුදෙකලාවමයි හොඳ!’

රජතුමා අනිත් පැත්ත හැරුණා. ඒ ගැන හිතන්න පටන් ගත්තා. හුදෙකලා බවෙහි අරුත විමසන්න පටන් ගත්තා. පසේබුදුවරයන් වහන්සේ නමක් බවට පත්වුණා. සංසුන් සිතින් වැතිර සිටි ඒ පසේබුදුවරයන් වහන්සේ ළඟට බිසොවුන් වහන්සේ පැමිණියා.

“ස්වාමීනී, මේ බලන්න…. හරී සුවඳයි. මං මගේ අතින්මයි මේ සඳුන් කල්ක හැදුවේ…. ඔබතුමාගේ නළලත මං සඳුන් තිලකයක් තබන්නද….?”

පසේබුදුවරයන් වහන්සේ සැණෙකින් නැගිට්ටා.

“පින්වත් නැගණිය, ඉවත් වෙන්න! සඳුන් කල්කයෙන් මට කම් නැත.”

ඕ පුදුමයට පත්වුණාය. දල්වා ගත් දෑසින් යුතුව රජතුමාගෙන් විමසා සිටියාය.

“මා ප්‍රියාදර ස්වාමීනී, ඔබවහන්සේට කිසියම් සිත් තැවුලක් ඇතිවුණාද? ප්‍රිය රජ්ජුරුවන් වහන්ස, පවසන සේක්වා…!”

“නැත. මම දැන් රජෙක් නොවෙමි. සියළු දෙයින්ම නිදහස් වූ යම්කිසි අපූර්වත්වයක් මට දැනෙනවා…”

රජතුමාගේ මේ වෙනස ලැව් ගින්නක් සේ පැතිරුණා. ඇමතිවරුන් හනිකට පැමිණුනා.

“පින්වත් රජ්ජුරුවන් වහන්ස, ඔබවහන්සේට මේ මොකද වුණේ?”

“දරුවෙනි, මා දැන් රජෙක් නොවෙයි. නිදහස් පුද්ගලයෙක්. ඔව්! ඒ නිදහස එක්තරා හුදෙකලා බවක්. ඇලෙන, ගැටෙන ලෝකයට අයිති නැති බවක්, ශාන්ත බවක්.”

“ඒ කියන්නේ ඔබවහන්සේ පසේබුදු බවට පත්වුණාද? පසේබුදුවරයන් වහන්සේලා රාජකීය වස්ත්‍රාභරණ වලින් සැරසිලා නෑ. උන්වහන්සේලා ඉන්නේ කෙස් රැවුල් බාලා, සිවුරු පාත්‍රා අරගෙනයි. නමුත් ඔබවහන්සේගේ හිසෙහි කෙස් තියෙනවා. ගතෙහි සළු පිළි තියෙනවා.”

එතකොට රජතුමා හිස අතගෑවා. සැණෙකින් කෙස් රැවුල් ඉවත් වී, සළු පිළි වෙනුවට සිවුරු පොරවා ගත් උපශාන්ත ශ්‍රමණ රුවක් දිස්වුණා. උන්වහන්සේ අහස් තලයෙන් නන්දමූලක පර්වතයට වැඩම කළා. පසේබුදුවරයන් වහන්සේලා සමඟ වැඩසිටිද්දී තමන් වහන්සේට අවබෝධයට උපකාරී වූ අත්දැකීම පවසා සිටියා.

දිස්වා සුවණ්ණස්ස පභස්සරාණී
කම්මාරපුත්තේන සුනිට්ඨිතානි
සංඝට්ඨමානානි දුවේ භුජස්මිං
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

“රන්කරු පුත්‍රයෙක් විසින් ඉතාමත් ලස්සනට කැටයම් කළ ප්‍රභාෂ්වර රන් වළළු මට දකින්නට ලැබුණා. අත්දෙක සෙළවෙද්දී ඒ වළළු එකිනෙකට ගැටුණා. ජීවිතයත් ඒ වගෙයි කියා මට සිතුණා. මං හුදෙකලා වුණා. දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴

මේ දුක්ඛිත සසරෙන් අත්මිදෙන්නට ඇත්නම් මොනතරම් වාසනාවක්ද !

$
0
0
dp_4_14

෴  14 ගාථා රත්නය
ගෝධික තෙරුන් වහන්සේගේ කථා වස්තුව

“මේ දුක්ඛිත සසරෙන් අත්මිදෙන්නට ඇත්නම් මොනතරම් වාසනාවක්ද!”

පින්වතුනේ, පින්වත් දරුවනේ,

බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි ඇතැම් ස්වාමීන් වහන්සේලා ඉතාම සුව සේ ශීල, සමාධි, ප්‍රඥා වැඩුවා. හොඳින් භාවනාව දියුණු වුනා. නමුත් ඇතැම් ස්වාමීන් වහන්සේලා ඉතාමත් දුක සේ තමයි බණ භාවනා කරගත්තේ. මෙහි සඳහන් වෙන්නෙත් ඉතාම දුක සේ බණ භාවනා කොට මහත් වීරියෙන් යුතුව සසරෙන් එතෙරට වැඩි ස්වාමීන් වහන්සේ නමකගේ අනුවේදනීය කතාවක්.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා උන්වහන්සේ ළඟ පැවිදි වූ ගෝධික නමින් තෙරුන් වහන්සේ නමක් වැඩසිටියා. උන්වහන්සේ ඉතාම සිල්වත්. භාවනා කිරීමට බොහෝම මහන්සි ගත්තා. රජගහ නුවර ඉසිගිලි පර්වතය බෑවුමෙහි කාලසිලා නම් ඉතා සිත්කළු තැනක් තියෙනවා. එතැන වැඩසිටි ගෝධික තෙරුන් වහන්සේ ඉතාමත් වීරිය ගත්තා. නිදි නොලබා භාවනා කළා. බාහිර වැඩකටයුතුවල යෙදුනේ නැහැ. නමුත් උන්වහන්සේ සමාධිය දියුණු කරගෙන එනකොට අසනීප වෙනවා. එතකොට භාවනාව කඩාකප්පල් වෙනවා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහර විට මෙය කර්ම විපාකයක් වෙන්නත් පුළුවනි. සමහරුන් සුළු ප්‍රශ්න වලදිත් දිවි නසාගන්නවා. එබඳු බරපතල තීරණ ජීවිතයට ඉතාමත්ම දරුණු විදිහට බලපානවා. නිවන් දකිනකම්ම වුනත් ඒවා පස්සෙන් එන්නට පුළුවනි. මෙයත් එවැනි දෙයක් විය හැකියි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ සමාධිය උපදවා ගත්තත් ඒ සමඟම රෝගී වන නිසා ඒ සෑම අවස්ථාවේදීම භාවනාව පිරිහෙනවා. හය වතාවක්ම මෙය සිදුවුනා. ශරීරයට බෙහෙත් කරගෙන සුවපත් වුන විගසින්ම ආයෙමත් භාවනා කරන්න වීරිය කළා. හත්වෙනි වාරයේදීත් සමාධිය උපදවා ගන්නට සමත් වුනා. හැබැයි එවෙලේ සිතුවේ වෙනස් ආකාරයකටයි. “මං සය වතාවක්ම සමාධියෙන් පිරිහුනා. සමාධියෙන් පිරිහී මිය ගියොත් උපත කොහේ සිදුවේදැයි කියන්නට බැහැ නෙව. ඒ නිසා දැන් මට කරන්නට තියෙන්නේ මේ සමාධිය පිරිහෙන්න කලින් දිවිනසාගන්න එකයි.” ඉන්පසුව උන්වහන්සේ ඇඳේ වාඩිවුනා. තමන්ගේ ගෙල සිඳගන්නට සූදානම් වුනා.

සත්වයා සසරෙන් එතෙර වෙනවාට අකමැති ඉතාමත් බලවත් පුද්ගලයෙක් ලෝකයේ ඉන්නවා. ඒ තමයි මාරයා. එතකොට මාරයා මෙහෙම හිතුවා. “මේ භික්ෂුව ආයුධයකින් දිවි නසාගන්නට නෙව සූදානම් වන්නේ. හැබැයි මෙයා කරන පිළිවෙලට නම් ජීවිතය ගැන අපේක්ෂා රහිතවයි මෙය කරන්නේ. විදර්ශනා නුවණේ හිත පිහිටුවමිනුයි මෙය කරමින් සිටින්නේ. අරහත් වෙන්නට ත් බැරිකමක් නෑ. මං කෙලින් ම පෙනී සිට කියා හිටියොත් මොහු ව වලක්වන්නට පුළුවන් වෙන්නෙ නෑ. ශාස්තෘන් වහන්සේ ලවා ම යි මොහු ව වැලැක්විය යුත්තේ.”

මෙසේ සිතූ මාරයා වෙනත් වේශයක් ගෙන ශාස්තෘන් වහන්සේ ඉදිරියේ පෙනී සිට මෙය පැවසුවා. “මහා වීරයන් වහන්ස, මහා ප්‍රඥාවන්තයාණෙනි, ඉර්ධිබලයෙන් හා යසසින් දිලෙමින් සිටින මුනිඳුනි, සියළු භය වෛර ඉක්මවා ගිය නුවණැස ඇතියාණෙනි, ඔබවහන්සේගේ පා වඳිමි.

මහාවීරයාණෙනි, ඔබවහන්සේගේ ශ්‍රාවකයෙක් මරණයට කැමතිව, මරණයට යට වී සිටී. දිවි නසාගන්නට කැමැත්තෙන් සූදානම් වෙයි. නුවණින් බබලන මුනිඳුනි, වහා එය වළක්වනු මැනැව.

ජනයා අතරෙහි ඉතා ප්‍රසිද්ධ වූ භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේගේ ශාසනයෙහි ඇළුණු, තවමත් අරහත්වයට පත් වී නැති ඒ ශ්‍රාවකයා කෙසේ නම් එවැනි ආකාරයේ කළුරිය කිරීමකට පත්වෙයිද?”

පින්වතුනේ, පින්වත් දරුවනේ, මාරයා විසින් බුදුරජාණන් වහන්සේගෙන් ඒ ප්‍රශ්නය අසන ක්ෂණයෙහිම ගෝධික තෙරුන් වහන්සේ දිවි නසාගත්තා. බුදුරජාණන් වහන්සේ මේ තැනැත්තා ‘මාරයා’ බව හඳුනාගත්තා. හඳුනාගෙන මේ ගාථාව වදාළා.

“නුවණැති උදවිය ඔය විදිහටත් කරනවා තමයි. ජීවිතයට කැමැති නෑ තමයි. ඒ ගෝධික භික්ෂුව තෘෂ්ණාව මුලින්ම උදුරා දමා පිරිනිවන් පෑවා.”

එතකොට බුදුරජාණන් වහන්සේ බොහෝ භික්ෂූන් වහන්සේලා සමඟ ගෝධික තෙරුන් අපවත් වූ ස්ථානයට වැඩම කළා. ඒ ක්ෂණයේදී මාරයාද ගෝධික තෙරුන්ගේ විඤ්ඤාණය උපතක් පිණිස පිහිටියේ කොහේදැයි සොයන්නට පටන් ගත්තා. දුම් වළාවක් වගේ ඒ ඒ දිශාවලට ගමන් කරන්න පටන් ගත්තා. එවිට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ඒ දුම් වළාව පෙන්නුවා. “පින්වත් මහණෙනි, අන්න බලන්න මාරයා ගෝධික භික්ෂුවගේ විඤ්ඤාණය සොයනවා.” “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ගෝධික භික්ෂුවගේ විඤ්ඤාණය පිහිටියේ කොහේද?” “පින්වත් මහණෙනි, ගෝධික භික්ෂුවගේ විඤ්ඤාණය කොහේවත් පිහිටියේ නෑ. පහන් සිලක් වගේ නිවිලා ගියා. පිරිනිවන් පෑවා.”

dp_4_14එතකොට මාරයා කුමාරයෙකුගේ වේශයක් ගත්තා. වීණාවක් අතට ගත්තා. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙය ඇසුවා. “උඩ, යට, සරස, දිශා, අනුදිශා සෑම තැනම මං සොයනවා, සොයනවා සොයා ගන්නට බැහැ නෙව. ඒ ගෝධික භික්ෂුව ඉපදුනේ කොහේද?” එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දී වදාළා. “යමෙක් මහා වීරියකින් යුක්තව, ප්‍රඥා සම්පන්නව, ධ්‍යාන වඩනවාද, හැම විටම ධ්‍යානයේ ඇලී සිටිනවාද, දිවා රාත්‍රී දෙකේම ධර්මයේ හැසිරෙනවාද, කෙලෙස් සහිත ජීවිතයට අකමැතිද, අන්න ඒ කෙනා මාරයාගේ සේනාව නසනවා. පුනර්භවයක් කරා යන්නේ නෑ. ගෝධික භික්ෂුවත් තණ්හාව මුලින්ම උදුරා දමා පිරිනිවන් පෑවා. එනිසා පවිටු මාරය, ගෝධික කුලපුත්‍රයාගේ විඤ්ඤාණය උපන් තැන ඔබට කුමටද? ඔබ වගේ සිය දහස් දෙනෙක් සියළු දිශාවේ එය සෙව්වත් දකින්නට පුළුවන් වන්නේ නැහැ” යි වදාරමින් මෙම ගාථා රත්නයද වදාළා.

තේසං සම්පන්නසීලානං – අප්පමාදවිහාරිනං
සම්මදඤ්ඤා විමුත්තානං – මාරෝ මග්ගං න වින්දති

උතුම් සිල් ගුණ ඇති – බඹසරෙහි නොපමා ඇති
දියුණු කළ නුවණැති – කෙලෙස් දුරුකළ සිත් ඇති
ඒ රහත් මුනිවරුනගෙ – දිවිය අවසන් වූ විට
පිරිනිවන් වැඩි මග – මාරයා කිසි දිනෙක නොදකී

පින්වතුනේ, පින්වත් දරුවනේ, ලෝකයේ උපදින්නේ කෙලෙස් සහිත අය විතරයි. ඒ අය අතරින් මාර්ග ඵල නොලැබූ අයගේ සසර ගමන ඉතාමත් අනතුරුදායකයි. සමහරු මිය ගිහින් නිරයේ උපදිනවා. සමහරුන් ප්‍රේත ලෝකයේ උපදිනවා. තවත් අය තිරිසන් අපායේ උපදිනවා. බොහෝ පින් කළ අය දෙවියන් අතර උපදිනවා. සමහරු මිනිස් ලොව මව්කුසක උපදිනවා. එහෙත් පෘථග්ජන අයගේ උපත ස්ථිරව කියන්නට අමාරුයි. බොහෝ විට සතර අපායේමයි උපදින්නේ.

යමෙක් සෝතාපන්න වුනොත්, ඔහු කවදාවත් සතර අපායේ උපදින්නේ නෑ. දෙවි මිනිස් ලෝකවල වැඩිම වුණොත් උපදින්නේ සත් වතාවයි. සකදාගාමී වුනොත් කාම ලෝකයේ උපදින්නේ එක වතාවයි. අනාගාමී වුණොත් උපදින්නේ සුද්ධාවාස බඹලොව පමණයි. රහතන් වහන්සේලා උපතක් කරා යන්නේ නෑ. පහන් සිලක් නිවිලා යනවා වගේ පිරිනිවන් පානවා. සසර දුකින් මිදෙන්නට ඇත්නම් මොනතරම් වාසනාවක්ද!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ


කවරහු ද මේ සඟ තෙරපාණෝ….!!

$
0
0

Kawarahuda-me-sanga-terapano

  

නගිරි දුදුළු අතරෙහි දැහැන් වැඩූ, පෙර විසූ යතිවරුන්ගේ විරාගී ඡායාවන් අප සිත් කැඩපතෙහි යළි යළි ත් දිස් කරවන මේ සඟතෙරපාණෝ කවරහු ද? මේ තෙරිඳුන් දකින කල්හී, පයිරුපාසන කරන කල්හී හෙලටුවා පෙළට නගනු වස් දඹදිවින් මෙහි වැඩි බුදුගොස් මාහිමි කලැ අනුරපුර මහවෙහෙරෙහි සඟපති වැ වැඩහුන් සංඝපාල ප්‍රවරයතීන්ද්‍රයාණන් දැයි විටෙක සිහිවෙයි. මහපැරකුම් දවසැ මෙලකැ තුන් නිකාය ම එක්කොට සසුන් පුරවරයෙහි ඉන්ද්‍රඛීලය තැනූ මහකසුප් සඟරජහු දැයි විටෙක සිහිවෙයි. අඳුරු වළා පිරි ගගන තලයෙහි ඈත සිට නැවුම් එළියක් විහිදුවා අප නෙත් සුවිසද කරවන තරු එළිය කුමක්දැයි විටෙක සිහිවෙයි.

සීලයෙන් සුපසන් යැ. තපසින් වැඩිමල් යැ. නුවණින් මනකල් යැ. වයසින් පරිපාකයට වඩිනා මේ සඟතෙරපාණන්ගේ ඇති සසුන් ආලයෙහි උණුසුම සසුන් දුහුනන් වූ අප සිත් පොබවයි. මේ තෙරපාණෝ මිහිරි සරින් බස් තෙපලති. සංසුන් වැ ගමන් වඩිති. මැනැවින් සිවුරු පොරවති. ඉවැසීමෙන් සිත් හසුරුවති. කරුණායෙන් පිහිට වෙති. අතුපතර විහිදැ ගිය සුවිසල් න්‍යග්‍රෝධ රුක් රජක්හු සෙයින් ශ්‍රමණ දරුවන් හට සෙවණ සළසති. සැබැවින් ම කවරහු ද මේ තෙරපාණෝ…?

දකුණු ලකැ දොඩම්පහළ නම් ගමෙහි 1939 උඳුවප් මසැ විසි වන දා පින්සර දරු සිඟිත්තෙක් උපණි. යාන්තම් එකොළොස්වවන විය එද්දී මැ දම්සෝ නිරිඳුන්ගේ රන්සිහසුනෙහි හිඳගත් සත් හැවිරිදි නිග්‍රෝධ තෙරිඳුන් සෙයින් බුදුසසුන් සිහසුනට හොබනා ගුණැති ව පැවිදි වූයේ නොවැ. ඒ කුඩාවැල්ල නම් ගමෙහි වාලුකාරාමයෙහි 1950 ඉල් මසැ විසිපස් වන දා ය. මේ හෙරණපාණෝ විසි වයස් පිරි කල්හී, සමාන දේ තුළ අසමාන යැයි කියන ලද, ප්‍රාමාණික දේ තුළ අප්‍රමාණ යැයි කියන ලද, අගයයන් තුළ අනර්ඝ යැයි කියන ලද උපසම්පදාව නම් වූ සුගතාගම පරියාප්තියෙහි උතුම් සිල් ගුණයට බැසගත්හ. දෙව්ලොවෙ ත් නැති, බඹලොවෙ ත් නැති මහරහත් ශ්‍රමණවරණේන්ද්‍රයන්ගේ අත්නොහළ පැවිදි විදසුන් පරපුරෙහි විහිදෙන සුවඳට ලොල් වැ කුඩාවැල්ලේ වංගීස මහයතිඳුන් සෙවණෙහි කළපළුවාවෙහි ගෝතම තපෝවනයෙහි තපෝගුණයට මැ බැසගත්හ. ඒ සන්තිකාවචර යොවුන් යෝගී භික්ෂුව අද කවරහුද….?

1989 සිට සිය සඟපරපුර වන කීර්තිමත් සඟතෙරිඳුවරුන් බිහිකළ අමරපුර කල්‍යාණිවංශ නිකායෙහි අනුනායක තෙරපාණෝ යැ. 1996 සිට ඒ කල්‍යාණිවංශ සඟ පරපුරෙහි සඟපතිඳුන් වන මහනායක තෙරපාණෝ යැ. දූපතක් නොමැති ව ඒ මේ අත ගිය නෞකාවෝ දූපතක් දැක වහා එන සෙයින් විසිරැ ගිය කල්‍යාණිවංශික යතිවරු මේ තෙරිඳුන් වටා සමගි ව මුළුදුන්හ. කල්‍යාණිවංශ සඟපරපුර එකට එක් වී ගියේ ය. එමතුදු නොවෙයි. තලන මඩින කල්හී සුවඳ ම විහිදුවන ජාතිමත් සඳුන්හර වන් මහමෙව්නාව භාවනා අසපුවෙහි පින්බර මහෝපාධ්‍යාණෝ ය.

අසිරියෙකි ! මේ නොබෝ දා 2013 නවම් මස 23 වන දා දෙවිස්සක් වූ සඟ පරපුරකින් හෙබි අමරපුර නිකායෙහි මහානායක තෙරවරු, අනුනායක තෙරවරු නිතරඟයෙන් ම සමස්ත අමරපුර සඟ පරපුරෙහි ම මහතෙර පදවිය පිදුවෝ යැ. මෙතරම් ගෞරව බහුමානයට බඳුන් වැ වැඩසිටින මේ මනෝභාවනීය සඟතෙරපාණෝ කවරහු ද? ඒ අන් කවරෙකුවත් නොව ශ්‍රී කල්‍යාණිවංශික කීර්ති ශ්‍රී වංගීසවංසාලංකාර, විපස්සනා කම්මට්ඨානාචාර්ය, මහෝපාධ්‍යාය, දොඩම්පහළ ශ්‍රී චන්ද්‍රසිරි මාහිමිපාණෝ ය. සසුන් ප්‍රීතියෙන් ප්‍රමුදිත වැ නමුත් උපේක්ෂාවෙන් යුතු වැ වැඩවෙසෙන මෙවන් මොහොතෙක අපගේ අත්‍යුදාර උපාධ්‍යායයන් වහන්සේගේ පා කමල් සිරසින් නමැඳ ආසිරි පතම්හ. අසිරිමත් තෙරුවන් ගුණ බෙලෙන් නිදුක් වැ නීරෝග වැ සුවපත් වැ චිරාත් කාලයක් ගොයුම් ගොත් බුදු සසුන බබුළුවමින් යෙහෙන් මැ වැජැඹෙත්වා !

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

අසිරිමත් පසේබුදු පෙළහර 14

$
0
0
pasebudu-pelahara-14

මෙලෙසින් දෙවැන්නෙකු හා – වසන්නට සිදු වූවොත්
දොඩමින් නිසරු දේවල් – ඇලෙන්නට සිදුවන්නේ
මේ අනාගත භය – මනා නුවණින් දකිමින්
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ …

pasebudu-pelahara-14

පගේ ශාස්තෘන් වහන්සේ ඉසිගිලි පර්වතයේදී පසේබුදුවරුන් ගැන වදාළ ඉතා රමණීය දෙසුමක් ගැන ඔබ අසා ඇති. බාහිර උපදෙස් නොලබා තමා තුළ ක්ෂණිකව ඇතිවන අවබෝධයක් තුළින් නිවන් දැකීම පසේබුදුවරුන්ගේ ස්වභාවයයි. බොහෝ විට උන්වහන්සේලා පසේබුද්ධත්වයට පත්වන තුරු තමන්ගේ මේ ජීවිතය මේ සකස් වෙමින් යන්නේ පසේබුදුබවට බව දන්නා බවක් නොපෙනේ. එහෙත් ජීවිතාවබෝධය පිණිස උන්වහන්සේලා තුළ ඇති නොසන්සිඳෙන ආශාව විසිනුයි උන්වහන්සේලාව ඒ තත්වය කරා ගෙන යන්නේ. එමෙන්ම බොහෝ පසේබුදුවරුන් උපත ලබා තිබෙන්නේ රජ පවුල්වලයි. රජකම හැරදා අභිනික්මන් කොට විමුක්ති ගවේෂණයේ යෙදීම උන්වහන්සේලාගේ ස්වභාවයයි.

පසේබුදුවරුන්ගේ යුගයේදී බාහිරින් ශ්‍රවණය කළ යුතු චතුරාර්ය සත්‍යය ධර්මයක් අසන්නට නොලැබේ. නමුත් අභ්‍යන්තර කුසලතාව වන යෝනිසෝ මනසිකාරයෙහි තියුණු ලෙස යෙදීම ඒ උතුමන්ගේ ස්වභාවයයි. තම තමන් මුහුණ දෙන අත්දැකීම් ඇසුරෙනුයි ජීවිතාවබෝධය පිණිස සිත සකස් වෙන්නේ.

දැන් ඔබ ඉගෙන ගන්නේ ද එබඳු පසේබුදුවරයන් වහන්සේ නමක් පිළිබඳවයි. සසරෙහි පුරන ලද පින් ඇති දරුවෙක් බරණැස රජ පවුලෙහි ඉපදුණා. ඔහුට තරුණ වියෙහිදීම රජකම ලැබුණා. නමුත් රාජකීය ජීවිතයට මේ යොවුන් රජතුමාගේ සිත ඇලුණේ නැහැ. තම බිසව කෙරෙහි වත් සිත ඇලුණේ නැහැ. දිනක් ඔහු ඇමති මඬුල්ල රැස් කළා.

“ප්‍රිය ඇමතිවරුනි, මට ජීවිතාවබෝධය ලබන්න ආසයි. අපි වගේ රජකරපු අයගේ නොගිණිය හැකි ඉතිහාසයක් මේ අතීතයේ තියෙනවා. ඒ රජකළ හැමෝම තම තමන් කළ දේ රැගෙන ගියා. හැබැයි ජීවිතාවබෝධය පිණිස වෙහෙසුණු රජවරු නම් තම ජීවිතයට යම්කිසි වටිනාකමක් ලබාගන්න ඇති කියලයි මට හිතෙන්නේ. මේ දඹදිව ඉතිහාසය බලද්දී අභිනික්මන් කළ රජවරුන්ගෙනුත් අඩුවක් නැහැ. ඇත්තෙන්ම මට මේ කිසි දෙයක් ගැන දැන් ආශාවක් නැහැ. මං කැමැතියි විමුක්තිය සොයාගෙන යන්න.”

ඇමතිවරු කලබල වුණා. “අහෝ! මහරජතුමනි, අපේ රට විනාශ වේවි. ඔබතුමාගේ රාජකාලය තුළ රට සුඛිත මුදිත වුණා. ජනයා සැප සේ වාසය කරනවා. සැප සම්පතින් දැන් අපි ආඪ්‍යව ඉන්නවා. සාමන්ත රජවරුන් අපේ රාජ්‍යයට ඇස් හෙලාගෙනයි ඉන්නේ. ඔබතුමා වැනි උතුම් නායකයෙක් අපට නැතිවුණොත් මුළු රාජ්‍යයම අනතුරේ.”

රජතුමා කල්පනා කළා. බිසව රජතුමා අසළ සිටිමින් හඬ හඬා මෙහෙම කිව්වා.

“මා ප්‍රිය දේවයන් වහන්ස, ඔබවහන්සේ නැතුව මා ඉන්නේ කොහොමද? මේ රජපරපුර වඳ වෙන්නට නොදී ඉදිරියට ගෙන යාම අපගේ යුතුකමයි. ඉතින් ස්වාමීනී, අඩු ගණනේ රජ පරපුර පැවැත්වීම පිණිස අපි දරු සම්පතක්වත් ලබාගත යුතුයි.”

රජතුමා අනුකම්පාවෙන් එයට එකඟ වුණා. “ඒකත් ඇත්ත. පුත් කුමරෙක් සිටියොත් මගේ බන්ධන වලින් මට නිදහසක් ලැබේවි. එතකොට මට පෙර සෘෂිවරු විමුක්තිය සොයා ගිය පරිද්දෙන් අභිනික්මන් කරන්නට පුළුවන්” කියා කල්පනා කොට නිශ්ශබ්ද වුණා.

ටික දවසකින් දේවියට දරු සම්පතක් ලැබෙන ලකුණු පහළ වුණා. ඇමැතිවරු රැස්කළ රජතුමා මෙහෙම කිව්වා.

“ප්‍රිය ඇමැතිවරුනි, දැන් බිසවුන් වහන්සේට දරු ගැබක් පිහිටා තිබෙනවා. පුතෙකු උපන්නොත් ඔහුට ඔටුණු පළඳවා රාජ්‍ය විචාරන්න. මා පැවිදි වෙන්න යනවා.”

“අනේ මහරජතුමනි, එහෙම කරන්න එපා….! බිසවුන් වහන්සේට ලැබෙන්නේ දුවක් ද පුතෙක් ද කියා අපට තාමත් කියන්න අමාරුයි. දරුවා ලැබෙන කම් ඉවසන සේක්වා…!”

රජතුමා නිශ්ශබ්ද වුණා. බිසව පින්වත් පුත් රුවනක් බිහි කළා. ඇමතිවරු රැස් වී රජතුමාට බොහෝ කරුණු කිව්වා.

“භවත් මහරජාණෙනි, කුමරු තාම ළදරුයි. තාම දන්නේ සිනහසීමත්, හැඬීමත් පමණයි. එනිසා කුමරුට සුදුසුකල් එළැඹෙන තෙක් ඔබවහන්සේගේ ජනයා රැකගන්නා සේක්වා!”

රජතුමා නිශ්ශබ්ද වුණා. කුමරුට සුදුසු කල් පැමිණුනා. ඇමතිවරුන් රැස් කළ රජතුමා මෙහෙම කිව්වා.

“ප්‍රිය ඇමතිවරුනි, දැන් මට නවතින්න කලක් නැහැ. ජනතාවට ඇති අනුකම්පාව නිසයි මං මෙතෙක් කල් ඉවසා සිටියේ. කුමාරයාට ඔටුණු පළඳවන්න. මා රාජ්‍ය කළ ආකාරයෙන්ම කරගෙන යන්න. මා තවදුරටත් රාජ්‍යකරණයෙහි යෙදෙන්නෙ නෑ. මට සත්‍යාවබෝධය අවශ්‍යයි.”

රජතුමා කරණවෑමියන් ලවා කෙස් රැවුල් බා ගත්තා. ශ්‍රමණ පරිෂ්කාර ගෙන්වා ගෙන ගිහි වස්ත්‍ර ඉවත් කොට හැඳපොරොවා ගත්තා. මහාජනක රජු අභිනික්මන් කළා සේ මේ යොවුන් රජතුමා ද මාළිගාවෙන් නික්ම මහමගට බැස්සා. සියලු පිරිවර ජනයා මහත් සේ කම්පා වුණා. මුළු රාජධානිය ම කැළඹුණා. විමුක්තිය සොයමින් හුදෙකලාවේ වනඅසපුවකට පියමං කරන රජතුමා දකින්නට ජනයා රැස් කකා පැමිණුනා. ඔවුන් හඬා වැළපුණා. ළයෙහි අත්පැහැර ඝෝෂා කළා. රජතුමා නිශ්ශබ්දව පිටත් වුණා. ඔවුන් පසුපස්සේ ඒමේ නිමාවක් නෑ. රජතුමා බැරිම තැන සැරයටියෙන් පාර හරහට ඉරක් ඇන්දා.

“ඔන්න මං රේඛාවක් ඇන්දා. මෙතනින් එයාට කවුරුවත් එන්න එපා!”

මහාජනයා එම රේඛාව මත හිස තබා සිඹිමින් බිම වැතිරී හඬන්න ගත්තා. පුංචි කුමාරයාට හඬ නගා කිව්වා,

“අනේ රත්තරං කුමරුනේ… ඔබගේ පියාණන් වහන්සේගේ රජ අණ නිසා අපට මේ රේඛාවෙන් ඔබ්බට යන්න වරම් නැහැ. එහෙත් කුමාරයාණෙනි, ඔබට නම් තම පියාණන් ළඟට යා හැකියි නේද?”

එතකොට කුමාරයා ‘පියාණනේ…. පියාණනේ…. මාත් එනවා’යි කියමින් රේඛාව මැඬගෙන ගොස් රජතුමා වැළඳගත්තා. රජු මෙහෙම කල්පනා කළා.

‘මං මේ තාක්කල් මුළු මහා ජනකායම මගේ දරුවන් වගේ ආදරයෙන් රැකගත්තා. එහෙම එකේ මේ එක දරුවෙක් ආරක්ෂා කිරීම මට එච්චර ප්‍රශ්නයක් නැහැ.’

ඉතින් රාජඉර්ෂීන් වහන්සේ තම පුතාත් සමඟ කෙමෙන් කෙමෙන් ශ්‍රමණයන් වහන්සේලා වැඩසිටින වනයට පැමිණුනා. එහි හුදෙකලා කුටි තියෙනවා. මැටියෙන් තැනූ පිල් තියෙනවා. සක්මන් මළු තියෙනවා. හැබැයි රජමාළිගාවේ ඇති වටිනා සුඛෝපභෝගී ආසන කිසිවක් නැහැ. පුත් කුමරා මහත් අසීරුවකට පත්වුණා. සීතල හමන විට ‘පියාණෙනි, සීතලයි’ කියා හඬනවා. අව් රස්නය වැඩි විට ‘පියාණෙනි, අව්ව සැරයි’ කියා හඬනවා. මදුරුවන් කන විට ‘පියාණෙනි, මාව මදුරුවන් කනවා’ කියා හඬනවා. බඩගිනි, පිපාස දැනුන විට ‘පියාණෙනි, මට බඩගිනියි. පියාණෙනි, මට පිපාසයි’ කියා හඬනවා.

රාජඉර්ෂීන් වහන්සේට අභිනික්මන් කළ අරුත සපයාගන්න නොහැකි වුණා. මහත් කරුණාවෙන් යුතුව දරුවාට ඇප උපස්ථාන කළා. ඒ වෙනුවෙන් මුළු රැයත්, දවාලත් ගත වුණා. දරුවාව සනසා ගමට පිඬු සිඟා වඩිනවා. ගමෙන් ලැබෙන්නේ රජ බොජුන් නොවෙයි. තණ හාල්, කඩල, මුල් ඇට ආදිය මිශ්‍ර කළ ආහාරයයි. කුමාරයා ‘පියාණෙනි, මේවා මට වළඳන්න අමාරුයි’ කිය කියා ස්වල්පය බැගින් අනුභව කරද්දී කෙමෙන් කෙමෙන් සිරුර මැළැවී ගියා. අව්වෙහි කපා දැමූ නෙළුමක් මෙන් මැලවුණා. රාජඉර්ෂීන් වහන්සේට මේ දරුවා ගැන මහත් අනුකම්පාවක් ඇතිවුණා.

“පුතේ… එහෙනම් අපි ටික දවසකට නගරයට යමුද? එතකොට ඔයාට රසවත් ආහාර ටිකක් ලැබේවි.”

“අනේ පියාණෙනි, එහෙනම් අපි යමු.”

රාජ ඉර්ෂීන් වහන්සේ මේ දරුවාත් සමඟ පැමිණ සැරයටියෙන් රේඛාව ඇන්ද තැන නැවතුණා. ඒ වන විට බිසවුන් වහන්සේ ඇමතියන්ට මෙහෙම කියා තිබුණා.

“කුමාරයාට වනාන්තරයේ ජීවත් වෙන්න අමාරුයි. කීප දිනකින්ම ආපහු හැරී එන්න පුළුවන්. එහෙම ආවොත් නැවත මාළිගාවට කැඳවාගෙන එන්න ඕන” කියලා සේනාව රඳවලා තිබුණා.

රාජඉර්ෂීන් වහන්සේ එතැනට වැඩි වග බිසවට සැළවුණා. පුරාංගනාවන් පිරිවැරූ බිසව එතැනට පැමිණෙද්දී රාජඉර්ෂීන් වහන්සේ කුමරාට මෙහෙම කිව්වා.

“පුතේ, අන්න ඔබ මෑණියන් ඉන්නවා. පුතා එතනට යන්න. පුතාට කිසි හිරිහැරයක් නොවේවා!”

කුමරා දුවගොස් මෑණියන් වැළඳගත්තා. රාජඉර්ෂීන් වහන්සේ ආපසු හැරී පසේබුදුවරුන් වසන වනයට පැමිණියා. උන්වහන්සේට අමුතු නිදහසක් දැණුනා. සීතලයි, රස්නෙයි, බඩගිනියි කියා හඬන්නට දැන් කවුරුත් නැහැ. එකල තම දරුවා නිසා සිතෙහි හටගත් බැඳීමෙන් සිරවී සිටි අයුරු උන්වහන්සේට වැටහුණා. දැන් ඒ සියල්ලෙන් නිදහස්ව හුදෙකලාවේ සිටීමෙන් ලැබෙන සැපය ටිකෙන් ටික තේරුම් ගනිද්දී සිත සමාධිමත් වුණා. ජීවිතාවබෝධය පිණිස සකස් වුණා. සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. පසේබුදුවරයෙක් බවට පත්වුණා.

හිමාලයේ ගන්ධමාන පර්වතයෙහි මංජූසක රුක් සෙවණේ දී අනෙත් පසේබුදුවරයන් වහන්සේලා මෙතුමාගෙන් තම ජීවිතාවබෝධයට පාදක වූ කරුණු ඇසුවා. එවිට මේ පසේබුදුවරයන් වහන්සේ මෙම ගාථාව වදාළා.

ඒවං දුතියේන සහා මමස්ස
වාචාභිලාපෝ අභිසජ්ජනා වා
ඒතං භයං ආයතිං පෙක්ඛමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

“මට දෙවැන්නෙක් සමඟ මේ විදිහට ජීවත් වෙන්නට සිදු වූ නිසා නිසරු වචන කිය කියා ඉන්න සිදුවුණා. අනිත් කෙනාට ඇලී ඉන්නත් සිදුවුණා. ඇත්තෙන්ම මේ තුළින් ඇතිවන අනාගත ප්‍රමාදය ගැන මට භයක් ඇතිවෙනවා. දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴

තථාගත ශ්‍රාවකයින් නුවණින් බබලනවා…

$
0
0
DP_4_14-15

෴  15,16 ගාථා රත්න
සිරිගුත්ත ගරහදින්නගේ කථා වස්තුව

“තථාගත ශ්‍රාවකයින් නුවණින් බබලනවා…”

පින්වතුනේ, පින්වත් දරුවනේ,

බුදුරජාණන් වහන්සේගේ කාලයේ පවා අමුතු ආකාරයේ අර්බුද ඇතිවෙලා තියෙනවා. එය ආගමික වශයෙන් වැරදි මත පැතිරීම නිසා ඇතිවෙන දෙයක්. නුවණින් කටයුතු නොකළොත් බොහෝ දෙනෙකුට පව් රැස්වෙනවා. තම තමන්ගේ ආගම්වලට පිරිස් හරවා ගන්නට මහන්සි ගත්ත අය ඒ කාලෙත් හිටියා. එය සමාජ අර්බුදයක් බවට පත්වුනා. මේ දැන් අපි කියන්නට හදන්නේ එවැනි කතාවක්.

සැවැත් නුවර සිරිගුත්ත හා ගරහදින්න නමින් යහළුවන් දෙදෙනෙක් හිටියා. මේ දෙදෙනා අතරින් සිරිගුත්ත තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක්. ඉතාම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ගරහදින්න නිගණ්ඨ නාතපුත්‍රගේ ශ්‍රාවකයෙක්. නමුත් මේ දෙදෙනා අතරේ කවදාවත් වාද විවාද හටගත්තේ නෑ. හොඳ මිත්‍රත්වයක් තිබුනා. එහෙත් නිගණ්ඨයන් ගරහදින්නට නිතරම ගුණ කියනවා. “එම්බා ගරහදින්න, සිරිගුත්ත ඔබගේ යහළුවා නෙව. ඔහුට මෙහෙම කියන්න. ‘ශ්‍රමණ ගෞතමයන් ළඟට අසවල් දේකට යනවද? ඔහුගෙන් ඔබට මොනවද ලැබෙන්නේ’ කියල පුළුවන් තරම් සිත කඩන්න. අපහදවන්න. එතකොට ඔහු අපේ පැත්තට ඒවි. ඔබ ඒ විදිහට නොවෙයිද අවවාද කළ යුත්තේ?”

ගරහදින්නට දිගින් දිගටම මේ විදිහට අවවාද ලැබුනා. ඔහුගේ සිතත් ටිකෙන් ටික වෙනස් වුනා. සිරිගුත්ත හමුවන හැම වාරයේදීම ඔහුට බලකරන්නට පටන් ගත්තා. “ප්‍රිය මිත්‍රය, මං ඔබේ හොඳටයි කියන්නේ. ශ්‍රමණ ගෞතමයන් ළඟට ගිහින් මොනවා ලබන්ටද? දැන්වත් ඔය ගමන අත්හැර දමන්න. ඔබ කළ යුත්තේ නිගණ්ඨයන්ට දන්පැන් ටිකක් දීම නොවේද?” මිත්‍රත්වය නිසා සිරිගුත්ත නිහඬ වුනා. උත්තර දුන්නේ නැහැ. නමුත් දිගින් දිගටම බලපෑම් කරද්දී ඔහුට ඒ ගැන කලකිරීමක් ඇතිවුනා. “අනේ… ගරහදින්න. ප්‍රිය මිත්‍රය, ඇයි ඔබ මට මෙහෙම කියන්නේ? මං හමුවන සෑම අවස්ථාවේදීම ඔබ බුදුරජාණන් වහන්සේට දොස් කියනවා. භික්ෂූන් වහන්සේලාට දොස් කියනවා. නිගණ්ඨයින්ට දන්පැන් දෙන්න කියනවා. ඇයි ඔබ මට මෙහෙම බලකරන්නේ? මං ඔබෙන් එහෙනම් ප්‍රශ්නයක් අහන්නම්. ඔබගේ නිගණ්ඨයන් වහන්සේලා මොන වගේ දෙයක්ද අවබෝධ කොට තිබෙන්නේ?”

සිරිගුත්ත ඉතාම සාමකාමී කෙනෙක්. ඔහුගේ මිත්‍රත්වයට පවා අනිසි බලපෑම් කරන්නට තරම් නිගණ්ඨයන් පෙළඹුන නිසා දැන් සිදුවන්නේ කුමක්දැයි අපි බලමු. ඉතින් ගරහදින්න මෙහෙම කිව්වා. “හා… හා…. සිරිගුත්ත, ඔබ දන්නෙ නෑ. එහෙම සුළුවෙන් තකන්න එපා… මගේ ආර්ය වූ නිගණ්ඨයන් වහන්සේලා නොදන්නා දෙයක් නෑ. අතීත, අනාගත, වර්තමාන සෑම දෙයක්ම දන්නවා. සිත, කය, වචනය යන සෑම ක්‍රියාවක්මත් දන්නවා. යමක් වෙන්න තියෙනවා නම් ඒකත් දන්නවා. යමක් වෙන්න නැත්නම් ඒකත් දන්නවා. විය හැකි දේත් දන්නවා. නොවිය හැකි දේත් දන්නවා. නිගණ්ඨයන් වහන්සේලාගේ අවබෝධය පුදුමාකාරයි. ඉතින් සිරිගුත්ත, ඔබ වැරදි පාරක ගිය නිසයි නිගණ්ඨයන් වහන්සේලා ගැන තේරුම් ගන්නට බැරි වුනේ.”

“ඇත්තෙන්ම ගරහදින්න, ඔබේ නිගණ්ඨයන් වහන්සේලාට ඔය කියන අවබෝධය හැබෑවටම තියෙනවාද?” “ඔබ මොනවද අහන්නේ මිත්‍රයා? හැබෑවටම තියෙන අවබෝධයක් ගැන තමයි මේ කියන්නේ.” “ප්‍රිය මිත්‍ර ගරහදින්න, ඒක එහෙම නම් ඔබ ඔය කිව්වේ ඉතාමත්ම බරපතල කතාවක්. මෙතෙක් කාලෙකට මම නම් එවැනි දෙයක් කියල නෑ. නමුත් අද මං ඔබගේ නිගණ්ඨයන් වහන්සේලාගේ ඤාණානුභාවය දැනගත්තා. එහෙම නම් මං කියන්නම් වැඩක්. ඔබ යන්න. ගිහින් මගේ වචනයෙන් හෙට දානයට ආරාධනා කරන්න.”

ගරහදින්න ගොඩාක් සතුටුවුනා. තම මිත්‍රයාව නිගණ්ඨ ආගමට හරවා ගන්නට ඔහුට පුළුවන් වුනා කියා ඔහු සතුටු වුනා. කෙළින්ම නිගණ්ඨයන් කරා ගියා. ගිහින් සියල්ල සැළ කළා. හෙට දිනයේ දානයටත් ආරාධනා කළා. නිගණ්ඨයන්ට හරි සතුටුයි. ගරහදින්නට බොහොම ප්‍රශංසා කළා. “එම්බා ගරහදින්න, එහෙම නම් ඔබේ කටයුත්ත සාර්ථක වුනා නේද? සිරිගුත්ත අපිට පැහැදුනා කියන්නේ ලොකු ජයග්‍රහණයක්. ඔහුගේ සියලු සැලකිලි, සම්මාන දැන් ඉතින් අප සතුයි.”

එදා සිරිගුත්ත නිවසට ආවා. තම යහළුවා නිගණ්ඨයන්ගේ ඤාණය ගැන කියූ දේවල් සිතේ දෝංකාර දුන්නා. ඔහුට මෙය මහා ප්‍රහේලිකාවක්. “හැම මොහොතෙම පවතින ඤාණයක්. වෙන්න තියෙන හැම දේම දකින ඤාණයක්. තුන් කල් දකින ඤාණයක්. එහෙම නම් නිගණ්ඨයින්ට සෑම අනතුරකින්ම ගැලවෙන්න පුළුවන් නෙව. මට මෙය අත්හදා බලන්න ඕන. මෙය හැබෑවක්ද? බොරුවක්ද? හරි…. මං දන්නවා කරන වැඩේ.” ඊටපස්සේ සිරිගුත්ත තමන්ගේ නිවාස දෙකක් අතරේ ගැඹුරට දිගට පළලට අගලක් සෑරෙව්වා. කුණු මඩ වලින් පිරෙව්වා. ඒ අගල දෙපැත්තේ කණු හිටෝලා ලණු බැන්ඳා. ලණු උඩ පැදුරු එලුවා. ඒ මත ආසන පැණෙව්වා. වාඩිවුන ගමන් ඒ කෙනාව මුනින් අතට වළට වැටෙනවා. ඊටපස්සේ ලොකු භාජන කෙසෙල් කොළ වලින් වැහුවා. ඒවායේ කිසිම ආහාරයක් නැහැ. ආහාර පානවල සුවඳ විතරක් පැතිරෙන්නට ඉඳුල් තැවරුවා.

ගරහදින්න පාන්දරින්ම ඉක්මනට ආවා. “කොහොමද යාළුවා. අපගේ ආර්යයන් වහන්සේලාට දන් පැන් පූජා කරන්නට සූදානම් නේද?” “එසේය මිත්‍රය. සියල්ල සූදානම්.” ගරහදින්න නිගණ්ඨාරාමයට ගියා. ගිහින් නිගණ්ඨයින්ව ඉතාම ගරුසරු ඇතිව කැඳවාගෙන ආවා. සිරිගුත්තද නිවසින් එළියට ඇවිදින් නිගණ්ඨයින් හට වන්දනා කරමින් මෙහෙම සිතුවා. “ඔබවහන්සේලා සැබෑවටම සියල්ල දන්නවා නම්, ගරහදින්න විසින් මට කියූ ආකාරයත් දන්නවා නම්, දැන් වෙන්නට යන සියල්ලත් දන්නවා නම් මාගේ නිවස ඇතුළට එන්න එපා! මාගේ නිවස තුළ තමුන්නාන්සේලා උදෙසා කිසිම දානයක් සකස් කර නැහැ. හැබැයි තමුන්නාන්සේලා අවබෝධයකින් තොරව ගෙට ඇතුළු වුනොත් කුණු මඩේ තමයි වැටෙන්න වෙන්නේ.” මේ විදිහට සිතෙන් අධිෂ්ඨාන කළා. එතකොට ඒ නිගණ්ඨ පිරිස කිසි වගක් නැතුව නිවස ඇතුළට පිටත් වුනා. වාඩිවෙන්නට සූදානම් වුනා. “හා… හා…. ස්වාමීනී, මේ පැත්තට වඩින්න. එක පාරට වාඩිවෙන්න එපා! සියලු දෙනාම එක පේළියට වාඩිවෙන්න.” එතකොට නිගණ්ඨයිනුත් සියලු දෙනා එක පේළියට හිටගෙන එකවර වාඩිවුනා. ඔවුන් එකවර වාඩිවෙනවාත් සමඟ කණුවල ගැටගසා තිබූ ලණු කැඩී කුණු මඩ පිරුණු වලේ හිස පහතට කැරකී මුනින් වැටුනා.

එතකොට සිරිගුත්ත හයියෙන් කෑ ගහලා මෙහෙම කිව්වා. “අයියෝ! තමුන්නාන්සේලා අතීත, අනාගත, වර්තමාන කියන තුන් කාලයම නොදන්නවාද? විය හැකි දේ, නොවිය හැකි දේ නොදන්නවාද?” එතකොට නිගණ්ඨයින් ඇඟපුරා කුණු මඩ තවරාගෙන “ධී…. ධී….” යන හඬින් පිළිකුල් කරමින් වැටි වැටී දිව්වා. නිගණ්ඨයින් කෙලින්ම දිව්වේ ගරහදින්නගේ ගෙදරටයි. “එම්බා ගරහදින්න, නුඹ මේ කුමක්ද කළේ? සිරිගුත්තයාව අපේ ආගමට ගත්තා කියා නුඹ අපිව රැවැට්ටුවා නොවේද? නුඹගේ යාළුවාට කරන හරිය දැනගනින්.”

නිගණ්ඨයින් කෙළින්ම රජතුමා ළඟට ගියා. පැමිණිලි කළා. සිරිගුත්තගෙන් කහවණු දහසක වන්දියක් ඉල්ලා සිටියා. රජතුමා මේ පැමිණිල්ල විභාග කළා. සිරිගුත්ත සියලු විස්තර හෙළි කළා. හෙළිකොට රජ්ජුරුවන්ට මෙය කියා සිටියා. “දේවයන් වහන්ස, මෙහි සත්‍යය විමසා දඬුවම් කරනු මැනැව.” ගරහදින්න මෙය සත්‍යය බව පිළිගත්තා. එවිට සිරිගුත්තට නියම කළ දඬුවමෙන් ඔහුව නිදහස් කළා.

එතැන් පටන් දෙසතියක් යනතුරු ගරහදින්න සිරිගුත්ත සමඟ කතාබස් කළේ නැහැ. නමුත් ඔහුගේ සිතේ ලොකු වෛරයක් තිබුනා. “මොහු මට අයුත්තක් කළා. මා විසිනුත් මෙවැනි දෙයක් මොහුට කළ යුතුයි. නමුත් තරහා වෙලා කරන්නට බැහැ. යහළු විය යුතුයි.”

එදා ගරහදින්න සිරිගුත්ත සොයාගෙන ගියා. “ප්‍රිය මිත්‍ර සිරිගුත්ත, අපේ වාද විවාද අපි අමතක කරලා දාමු. අපි පරණ විදිහට කතා බස් කරමු. හිතවත්ව ඉම්මු.” ඉතින් මේ දෙදෙනා නැවත මිත්‍ර වුනා. දිනක් සිරිගුත්ත ගරහදින්නට මෙහෙම කිව්වා. “ප්‍රිය මිත්‍ර ගරහදින්න, ඔය නිගණ්ඨයින් ළඟට යන එකේ තේරුම මොකක්ද? අප ගේ ශාස්තෘන් වහන්සේව බැහැදකින්නට යං. දන් පැන් වලින් වුනත් උපස්ථාන කරන්නට අවස්ථාව තියෙනවා.”

“ප්‍රිය මිත්‍ර සිරිගුත්ත, ශ්‍රමණ ගෞතමයන් මොනවද දන්නෙ?” “හා… හා…. ප්‍රිය මිත්‍රය, එහෙම කියන්න එපා! මාගේ ශාස්තෘන් වහන්සේ නොදන්නා දෙයක් නම් නැහැ. තුන් කල් දන්නවා. සත්වයාගේ සිත දහසය ආකාරයකින් විග්‍රහ කරන්නට දන්නවා.” “එහෙම නම් ප්‍රිය මිත්‍රය, ඔබ මෙතෙක් කල් මෙය මට නොකිව්වේ මන්ද? ඔබගේ ශාස්තෘන් වහන්සේට දානයක් දෙන්නට මමත් කැමතියි. ඒ ශාස්තෘන් වහන්සේ ප්‍රධාන භික්ෂූන් වහන්සේලා පන්සීයකටත් එක්කයි මම දානය පිළියෙල කරන්නේ. මං වෙනුවෙන් ආරාධනා කරන්න.”

එතකොට සිරිගුත්ත බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ගියා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ගරහදින්න කියල මගේ යහළුවෙක් ඉන්නවා. ඔහු භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන පන්සියයක් භික්ෂූන් වහන්සේලාට දානයට ආරාධනා කරනවා. හැබැයි ස්වාමීනී, මා විසින් ඔහු ගේ නිගණ්ඨයින් හට මෙවැනි දෙයක් කළා. ඒ නිසා එයට ප්‍රතික්‍රියාවක් වශයෙන් මෙයා කුමක් කරාවිද දන්නෙ නැහැ. පිරිසිදු හිතකින් දන් දෙනවද දන්නෙත් නෑ. නුවණින් මෙනෙහි කොට පිළිගත යුත්තක් නම් පිළිගත මැනැව. නැත්නම් නොපිළිගත මැනැව.”

බුදුරජාණන් වහන්සේ එම ආරාධනාව පිළිගත්තා. එවිට සිරිගුත්ත ගරහදින්නට මේ කරුණ දැනුම්දුන්නා. “ප්‍රිය මිත්‍රය, ලෝකනාථයන් වහන්සේට සත්කාර කොට පින් රැස්කරගන්න” කියල. ගරහදින්නද “කළ යුතු දෙය මං නෙව දන්නෙ” කියා සිතමින් සිරිගුත්ත කළ පරිද්දෙන්, එයට වඩා දරුණු අගලක් සෑරෙව්වා. ගැල් අසූවක දර පුරවා ගිනිතබා ගිනි අඟුරු වලක් සකස් කළා. ඒ මත අමු දර අඩමානයට තබා ගොම අතුරා සැණෙකින් වැටෙන ආකාරයට සකස් කළා. සිරිගුත්ත කළ ආකාරයෙන්ම හිස් භාජනවලට කෙසෙල් කොළ බැන්ඳා.

සිරිගුත්ත, ගරහදින්න සොයාගෙන පැමිණුනා. “ප්‍රිය යහළුව, දානය සූදානම්ද?” “එසේය ප්‍රිය මිත්‍රය” ගරහදින්න විසින් නිගණ්ඨයින්ට මේ සියලු දේ දැනුම් දුන්නා. ඔවුන් බුදුරජාණන් වහන්සේව අනතුරේ හෙලන්නට සිහින මවමින් සිටියා.

පසුවදා පන්සියයක් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ ගරහදින්නගේ නිවසට වැඩම කළා. එවිට ඉදිරියට පැමිණි ගරහදින්න බුදුරජාණන් වහන්සේට වන්දනා කරමින් මෙසේ අධිෂ්ඨාන කළා. “ස්වාමීනී, නුඹවහන්සේ තුන් කල් දන්නවා නම්, සත්වයන්ගේ සිතේ ස්වභාවය දහසය ආකාරයකින් දන්නවා නම්, මගේ මිත්‍රයා පැවසූ දෙය සත්‍ය නම්, මගේ ගෙට නම් පිවිසෙන්න එපා! මෙහි කිසිම දන්පැන් සූදානමක් නැහැ. හැබැයි ඔබවහන්සේලා සියලු දෙනාටම වැටෙන්නට වෙන්නේ ගිනි අඟුරු වළකටයි.”DP_4_14-15

බුදුරජාණන් වහන්සේ පෙරට වඩින විට ගරහදින්න මෙහෙම කිව්වා. “ස්වාමීනී, එකනමක් කලින් වඩින්න. උන්වහන්සේ වාඩි වූ පසු අනිත් නම වඩින්න.” මොහුගේ සිතේ දැන් තිබෙන්නේ එක නම බැගින් ගිනි අඟුරු වළට දැමීමටයි. බුදුරජාණන් වහන්සේ පෙරට වැඩියා. ගිනි අඟුරු වළ මත එලා තිබූ පැදුරෙහි පා තැබුවා. සැණෙකින් ඒ අඟුරු අතුරුදහන් වුනා. ඒ වලෙන් අතිවිශාල නෙළුම් මල් පැනනැංගා. බුදුරජාණන් වහන්සේ ඒ නෙළුමක් මත වාඩිවුනා. භික්ෂූන් වහන්සේලා ඒ ඒ නෙළුම මත වාඩිවුනා. ගරහදින්න ගේ ශරීරයෙන් දහඩිය ගලන්න පටන්ගත්තා. ඔහු සිරිගුත්ත වෙත දිව ඇවිත් බැගෑපත් වෙන්න පටන් ගත්තා. “අනේ යහළුවේ, මං මොකද කරන්නේ…? අනේ…. මට පිහිටවෙන්න…. මං කිසිම දානයක් සූදානම් කරල නැහැ.” “ඔබ මොකක්ද සූදානම් කළේ?” “අනේ…. මං කළේ ගිණි අඟුරු වළක් සූදානම් කරපු එකයි. නමුත් දැන් ඒක නැහැ. නෙළුම් මල් මතුවුනා. ඒ මත සියලුදෙනා වැඩසිටිනවා.” “එහෙම නම් ඔබ ගිහින් බලන්න. භාජනවල ආහාරපාන තිබෙනවාද කියා.”

ගරහදින්න දුවගෙන ගිහින් කෙසෙල් කොළ ඉවත් කොට බැලුවා. ප්‍රණීත ආහාරපාන වලින් සියලු බඳුන් පිරී තිබෙනවා. ගරහදින්න ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව දන් පැන් පූජා කළා. දන් වළඳා අවසානයෙහි බුදුරජාණන් වහන්සේ මේ ගාථාවන් වදාළා.

යථා සංකාරධානස්මිං – උජ්ඣිතස්මිං මහාපථේ
පදුමං තත්ථ ජායේථ – සුචිගන්ධං මනෝරමං

කසල ගොඩක මහපාරේ – මඩවගුරක පිපෙනා
නෙළුම දිලෙයි සුවඳ දිදී – හැමට සතුට රැගෙනා

ඒවං සංකාරභූතේසු – අන්ධභූතේ පුථුජ්ජනේ
අතිරෝචති පඤ්ඤාය – සම්මාසම්බුද්ධසාවකෝ

නුවණක් නැති පුහුදුන් අය – එලෙසින් ඇති ලෝකේ
සම්බුදු ශ්‍රාවක බබළයි – නුවණින් මේ ලෝකේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, මිත්‍යා දෘෂ්ටික මත දරන, පෘථග්ජන මිනිසුන් සිටින ලෝකය බුදුරජාණන් වහන්සේ දුටුවේ මහපාරේ කසල පිරෙන මඩවගුරක් වගෙයි. ඔවුනට නුවණැසක් නෑ. නුවණින් කල්පනා කිරීමේ හැකියාවක් නෑ. චතුරාර්ය සත්‍යය ගැන කතා කරන විට ඔවුන්ට කේන්ති යනවා. ඔවුන් කෑ ගගහ කියන්නේ මේ ජීවිතයේ සැප සේ සිටියාම ඇති කියලයි. ධර්මය අවබෝධ කරන්න කලබල වෙන්න ඕන නෑ කියල යි. ඒ නිසා එබඳු මිත්‍යා දෘෂ්ටි මත දරන සමාජය තුළ යම් කෙනෙක් චතුරාර්ය සත්‍යය අවබෝධ කරනවා නම් මඩ වගුරක පිපී සුවඳ හමන නෙළුමක් වගේ ඔහු මේ සමාජය තුළ බබළනවා.

ඔබත් චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමට මහන්සි ගන්න. පළමුවෙන්ම චතුරාර්ය සත්‍යය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා හොඳින් කියවන්න. එතකොට ඔබට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන චිත්තප්‍රසාදයක් ඇතිවේවි. එය ඔබගේ ධර්ම මාර්ගයේ මුල් වන ශ්‍රද්ධාව බවට පත්වීම කාටවත් වළක්වන්න බැහැ. ඉන්පසු ඒ ගැන නුවණින් විමසන්න. ටිකෙන් ටික තමා තුළින් තේරුම් ගන්නට මහන්සි ගන්න. එතකොට ඔබටත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වශයෙන් ප්‍රඥාවන්ත ජීවිතයක් ගතකරන්නට අවස්ථාව ලැබේවි. අන්ධබාල පෘථග්ජනයන් පිරි ලෝකයේ ඔබ කෙලෙහිගුණ දත් සත්පුරුෂ නුවණැත්තෙක් වශයෙන් බබලන්නට පටන් ගනීවි.

සැදැහැවතුන්ගේ සිත් සතන් දහම් රසයෙන් සනසනු පිණිස ලියන ලද
“අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය”
සිව් වෙනි කොටස වන
පුප්ඵ වර්ගය නිමා විය.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ!

$
0
0
E-ama-niwan-suwa

E-ama-niwan-suwa

ප දන්නා කාලයේ සිට වෙන කවරදාටත් වඩා ධර්මය ගැන කතාබස් කිරීමේ උනන්දුවක් වර්තමානයේ පවතින බව පැහැදිලි ව පෙනෙන කරුණකි. එය යහපත් නිමිත්තක් ලෙස සැළකිය හැකිය.

එහෙත් තමා විසින් සොයමින් සිටින, කතාබස් කරමින් සිටින ඒ ධර්මය කුමක්දැ’යි තමාට ව ත් නිරවුල් ලෙස තෝරා බේරා ගැනීමේ හැකියාවක් බොහෝ දෙනෙකු තුළ තිබේ ද යනු සැක සහිත ය. එයට හේතුව සද්ධර්මයේ නාමයෙන් විවිධ මතිමතාන්තර, වාද විවාද වලින් සංකීර්ණ වූ පරිසරයක් තිබීම යි.

සමහරුන් ධර්මය හැටියට පවසන්නේ පුදුමාකාර දේවල් ය. කා-බී, හැඳ-පැළඳ ජීවත් වීම උදෙසා ම පමණක් ධර්මය කතා කළ යුතු බව කියයි. මෙලොව හා පරලොව දෙක්හිම සුරක්ෂිත භාවය පිණිස මේ ජීවිතය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමේ වටිනාකමක් ඔවුහු නොදකිති. එය මහත් අවාසනාවකි. එබඳු පිරිස ගෙන් ධර්මය ඇසීම තුළ ධර්මයෙන් ඵල නෙළාගත නොහැකි ය. එබඳු ධර්මයක් අසා අන්ධබාල පෘථග්ජන භාවයෙන් නම් මේ ජීවිතය කිසිදිනක නිදහස් කරගත නොහැකි ය. එහෙත් නිතිපතා ධර්මයේ ගුණ පාළියෙන් කියන ඔබ එහි තේරුම් ඉගෙන ගෙන තිබේද?

බුදුරජාණන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය (ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ), මේ ජීවිතය තුළ දී ම දැකිය හැකි නම් (සන්දිට්ඨික), සෑම කාලයක ම අවබෝධ කළ හැකි නම් (අකාලික), ඇවිත් අවබෝධ කරන්න යයි හඬ ගා පෙන්වා දිය හැකි නම් (ඒහි පස්සික), තමා තුළින් ම දැක්ක යුතු නම් (ඕපනයික), බුද්ධිමත් මනුෂ්‍යයාට ප්‍රත්‍යක්ෂ කර ගත හැකි නම් (පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි), නොපෙනෙන ලෝකයක, නොපෙනෙන අනාගතයකට ධර්මාවබෝධය කල් දැමීමේ සමහරුන්ගේ තීරණයන්හි ඇති භයානකකම සිතින් සිතාගත නොහැකි තරම් මෝහ මූලික ය.

ධර්මය වනාහී මේ ජීවිතයේදී අවබෝධ කළ නොහැකි දෙයක් නම් බුදුවරුන්ගේ පහළවීමෙන්, සද්ධර්මය දේශනා කිරීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? යම් හෙයකින් මේ ජීවිතයේ දී ධර්මය අවබෝධ නොකළ හැකි නම් කිසිදාක රහතන් වහන්සේලා, මාර්ගඵල ලාභීන් පහළ විය නොහැකි ය. එහෙත් ෙඒතිහාසික ව කෝටිවාරයකට ත් වඩා ඔප්පු වී තිබෙන සත්‍යය එය නොවේ. මේ ජීවිතයේ දී ම අරහත්වය සාක්ෂාත් කළ උතුමෝ අපමණවත් සිටියහ. මාර්ගඵල ලාභීහු අපමණවත් සිටියහ. දැනුදු මේ සද්ධර්ම මාර්ගයේ අල්ප මාත්‍ර අඩුපාඩුවක් නැත. ඒ ගැන කිසිසේත් සැක උපදවා ගත යුතු නැත. මේ සද්ධර්මය ඉරහඳට ත් වඩා ප්‍රභාස්වර යත ජීවමාන ය; ඔව්! ජීවමාන ය!

ඉතින් මේ ජීවමාන ශ්‍රී සද්ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් වදාළ විධි නොපිරිහෙළා අනුගමනය කරත් නම්, අද ද ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළ හැකි ය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් ජීවිතය අවබෝධ කිරීම නම් වූ එහි ඵල නෙළා ගත හැකි බව ඒකාන්ත සත්‍යයෙකි.

සැදැහැති ශ්‍රාවකයින් ඊනියා ධර්ම විවරණ වලින් අහේතුක පසුබෑමක් ඇති කර නොගත යුතුය. සැක නොකළ යුතුය. ගිහි ජීවිතයේ දී මාර්ගඵල ලැබිය හැකිද යනු සමහරුන් අසන බොළඳ ප්‍රශ්නයකි. ගිහි ජීවිතයේ මාර්ගඵල නොලැබිය හැකි නම්, කිසිදාක නොලැබිය හැකි ය. එහෙත් ගිහි ජීවිතය තුළ ආර්ය මාර්ගය පුරුදු පුහුණු කොට එහි ඵල නෙළා ගත් අපමණ ගිහි පිරිස් වූහ. පැවිද්දන් ගැන කවර කථාද?

මාර්ගය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. සතර සතිපට්ඨානය ඔස්සේ ඒ මාර්ගය අනුගමනය කළ යුතු යි. ඵලය යනු ඒ මාර්ගය අනුගමනය කිරීම තුළින් තමා තුළ ඇති වන ජීවිතාවබෝධය නිසා සංයෝජන ධර්මයන් ප්‍රහීන වීම යි. එය තනිකර ම අවබෝධයක් තුළින් ඇති විය යුතු දෙයකි. ‘මට අසවල් මාර්ගය – ඵලය පහළ වේවා!’ “මට අසවල් ඤාණ පහළ වේවා’යි අධිෂ්ඨාන කරමින් මායාකාරී සිතේ මායාවන්ට හසු වීම මුළාවේ ම කොටසක් මිස වෙන දෙයක් නොවේ. සමහරුන් පෙන්වා දෙන පිළිවෙලට එසේ අධිෂ්ඨාන බලයෙන් මගඵල ලැබිය හැකි නම් බුදුන් වදාළ ධර්මයක් කුමකට ද?

මහත් කැපවීමකින් සකස් කරණ ලද “ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ” නම් වූ මේ “මහා සතිපට්ඨාන සූත්‍ර විවරණය එක් වරක් පමණක් කියවා පසෙක තබන්න එපා! හස්තසාර වස්තුවක් පරිද්දෙන් ඔබ ළඟ ම තබා ගෙන යළි යළි ත් කියවන්න. යළි යළි ත් තේරුම් ගන්න. යළි යළිත් පුරුදු පුහුණු කරන්න.

එවිට දුර්ලභ ව ලද මේ මිනිස් ජීවිතය ඒකාන්තයෙන් ම සතර අපායෙන් නිදහස් වීම පිණිස ත්, සංසාර දුකින් එතෙර වීම පිණිස ත් අතිශයින් ම ආශ්චර්යවත් වූ මේ ශ්‍රී සද්ධර්මය ඒකාන්තයෙන් ම උපකාරී වනු නියත ය.

මේ ග්‍රන්ථ රත්නය සකස් කිරීමේ දී මහත් ශ්‍රද්ධාවෙන් යුතු ව මට උපකාරී වූ සැමට මේ බුදු සසුනේ දී ම ධර්මාවබෝධය වේවා !

මේ අමූල්‍ය ග්‍රන්ථරත්නය පිළිබඳ අපගේ අදහස අප කළ්‍යාණමිත්‍ර දයාවංශ ජයකොඩි මහතා වෙත යොමු කළ සැණින් ම මෙය සැදැහැවත් ඔබ අතට පත් කිරීමට එතුමා බලවත් කැමැත්තෙන් ඉදිරිපත් විය.

එතුමා ඇතුළු එම පවුලේ සැමට ත්, දයාවංශ ජයකොඩි සහ සමාගමේ කාර්ය මණ්ඩලයට ත් ජීවිතාවබෝධය පිණිස මේ පින හේතු වේවා !

සියලු බුද්ධිමත් මනුෂ්‍යයින් හට තම චින්තනය තමාගේ ම ජීවිතාවබෝධය පිණිස යොමු කරගැනීමේ හැකියාව ඇතිවේවා !

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ජීවිතයේ සැබෑ සාර්ථකත්වය කුමක්ද…?

$
0
0
2014_02_24 - Success 2

2014_02_24 - Success 2

ංසාරයේ නොයෙක් ආත්ම භාවවල ඉපිද ඉපිද අපි ආපු ගමනක් මේ තියෙන්නෙ. මේ යන සංසාර ගමනේදී දැන් අපට මිනිස් ලෝකයේ උපතක් ලැබිලා තියෙනවා. මිනිස් ලෝකයේ උපතක් ලැබුණට අපට ‘සාර්ථක මනුස්ස ජීවිතය’ කියන කරුණ දැනගන්න ක‍්‍රමයක් තිබුණෙ නෑ. සාර්ථක මිනිස් ජීවිතයක් අත්කරලා දෙන්න අපේ දෙමව්පියන් අපිව ඉස්කෝලෙ යැව්වා. අපට බල කළා ඉගෙන ගන්න කියලා. අපි ඉගෙන ගත්තා. තරුණ වයස වෙන කොට රස්සාවක් හොයන්න අපි පෙළඹුණා. ඊට පස්සේ විවාහ වෙනවා. ගෙවල් දොරවල් හදාගන්නවා. ජීවිතය ගෙවනවා. මේක තමයි ලෝකයේ සාර්ථකයි කියල පිළිගත්තු එක.

ඔය ජීවිතය ගෙවලා කෙනෙක් මළාට පස්සෙ අපේ සමාජය කියනවා එයාට, ‘එයා සාර්ථක ජීවිතයක් ගෙව්වා’ කියලා. ‘එයා දියුණු වුණා’ කියලා. කවුරු හරි කෙනෙක් ඉඩකඩම් දේපල වස්තු උපයාගෙන සිටිනවා නම් අපි එයාට කියනවා ‘අන්න එයා දැන් හරි දියුණුයි’ කියලා. එතකොට අපි හැම තිස්සේම පුද්ගලයෙකුගේ දියුණුව මැන්නේ එයා හම්බ කරන දේවල් වලින්. හම්බ කිරීමේදි කොච්චර ධාර්මිකද කියල අපි දන්නෙ නෑ. කොයිතරම් සාධාරණද කියල දන්නෙ නෑ. එයා රැස්කරන දේවල් බලලා අපි උජාරුවට කියනවා ‘අන්න දැන් දියුණුයි’ කියලා.

බුදුරජාණන් වහන්සේ මේ දියුණුව ගැන සැළකුවේ මෙහෙමයි. යම්කිසි ආර්ථික දියුණුවක් ඇද්ද, එය ඉතාම අල්ප වූ දෙයක්. අපි ඇමෙරිකාව වගේ රටවල්වලට කියනවා දියුණුයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා ඒක ඉතාම අල්ප දෙයක්. මහත්ම දියුණුව, ප‍්‍රඥාව දියුණු කරගැනීමයි. ප‍්‍රඥාව දියුණු කරගන්න කොට අපි දියුණු කරගන්නවා කරුණු තුනක්.

අපි දියුණු කරගන්නවා කය. යමෙක් කයෙන් ප‍්‍රාණඝාත කරන්නෙ නැත්නම් එයා කය දියුණු කරපු කෙනෙක්. යමෙක් කය පාවිච්චි කරලා කුඩා දෙයක්වත් සොරකම් කරන්නේ නැත්නම් එයා කය දියුණු කරපු කෙනෙක්. (අපට මේවා අලූතෙන්ම කරන්න වෙලා තියෙනවා. මොකද කය දියුණු කරපු අය බොහොම අඩුයි.) කය පාවිච්චි කරලා වැරදි කාම සේවනය කරන්නේ නැත්නම් එයා කය දියුණු කරපු කෙනෙක්. කය පාවිච්චි කරලා මත්පැන්, බීඩියක්, සුරුට්ටුවක්වත් බොන්නේ නැත්නම් එයා කය දියුණු කරපු කෙනෙක්. මේ කරුණු වලින් වැළකී සිටිනවා කියන්නෙ එයා දියුණු කයක් පාවිච්චි කරනවා.

යම්කිසි කෙනෙක් අභූත, අසත්‍ය, බොරු කියන්නේ නැත්නම් එයා වචනය දියුණු කරපු කෙනෙක්. කේලාම් කියන්නෙ නැත්නම් එයා වචනය දියුණු කරපු කෙනෙක්. ඵරුෂ වචන කියන්නෙ නැත්නම් එයා වචනය දියුණු කරපු කෙනෙක්. අර්ථ ශූන්‍ය, හිස්, බොළඳ කතා කියව කියවා ඉන්නෙ නැත්නම්, වචනය දියුණු කරපු කෙනෙක්. අන්න එ්ක බුදුරජාණන් වහන්සේ දියුණුව හැටියට සලකන දේ.

ඒ වගේම කෙනෙක් මේ ලෝකයේ බාහිර දේවල් බලලා අනුන්ගේ දේට ආසා කරන්නේ නැත්නම්, ඊර්ෂ්‍යා කරන්නේ නැත්නම් සිත දියුණුයි. ක්‍රෝධ කරන්නේ නැත්නම් සිත දියුණුයි. පළිගන්නේ නැත්නම් සිත දියුණුයි. බද්ධ වෛරය නැත්නම් සිත දියුණුයි. එකට එක කිරීම නැත්නම් සිත දියුණුයි. අකීකරුකම, ඒ කියන්නේ ධර්මානුකූල අදහසට එකඟ නැතිකම නැත්නම් සිත දියුණුයි. මුලාව නැත්නම් සිත දියුණුයි.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ දියුණුව ලබාගන්නේ ප‍්‍රඥාවන්ත කෙනෙක්. අන්න ඒ දියුණුව තමයි මේ ලෝකයේ සැබෑම දියුණුව. ඒ දියුණුව කරා යන්නේ ප‍්‍රඥාවන්ත පිරිසයි. එ්ක ලබාගන්නේ තම තමන් විසින් තම තමන් තුළ ධර්මය ගොඩනැගීමෙන් විතරයි. වෙන කිසිම ක‍්‍රමයකට මේ දියුණුව ලබාගන්න බෑ.

අපි කියමු භාවනා කරන පිරිසක් ඉන්නවා. ඒ අය ළඟට එනවා හොරකම් කරන කෙනෙක්. එයා අර පිරිසේ වාඩිවෙලා හිටියට, ඒ පිරිසට අයිති නෑ. අන්න ඒ වගේ තම තමන් විසින් තම තමන් තුළ ධර්මය ගොඩනගාගන්න කොට තමයි, ධර්මයේ සැබෑම හිමිකාරයා බවට පත්වෙන්නේ. එහෙම නැතුව පිරිසක් එකතු වූ පමණින්, අපිත් ඒ පිරිසට එකතු වූ පමණින් අපි ඒ පිරිසේ කොටස්කාරයෝ බවට පත්වෙන්නෙ නෑ.

දේශපාලනයට නම් එහෙම වෙයි. නමුත් ධර්මයට එහෙම වෙන්නෙ නෑ. ධර්මය වෙනස් එකක්. ධර්මයේ තිබෙනවා ගුණයක්, ‘පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී’ කියලා. ඒ කියන්නේ බුද්ධිමත් උදවිය විසින් වෙන් වෙන් වශයෙන් අවබෝධ කරන්න ඕන. මං ඒකට ඔබට තේරුම් ගන්න උපමාවක් කියන්නම්.

අපි කියමු මෙතන ඉන්නවා කියල පන්දාහක්. අපි ඔක්කොටම ලැබිලා තියෙනවා, පොඩි පොඩි ඉඩම් කෑලි. හැබැයි ගෙයක් නෑ. ඉඩම විතරක් තියෙනවා. ගෙයක් නැතුව ඉඩම විතරක් තියෙනවා නම් එයා ස්වාභාවික විපත්වලට මුහුණ දෙන්න ඕන. වැස්සට මුහුණ දෙන්න ඕන. අව්වට වේලෙන්න ඕන. පිනිබාන්න ඕන. මෙයා ගේ හදාගන්න දන්නෙත් නැති කෙනෙක්. හැබැයි ඉඩම් කෑල්ල විතරක් තියෙනවා. එතකොට කරුණාවන්ත කෙනෙක් ඇවිත් එයාට ගේ හදන්න බඩු මුට්ටු ඔක්කොම දෙනවා. ගල්, වැලි, සිමෙන්ති ඔක්කොම දෙනවා. ගඩොල් මෙහෙමයි තියන්නේ, මේ තැන්වලයි කණු ගහන්නේ කියලා ගේ හදන හැටි කියා දෙනවා. ගෙට ප්ලෑන් එකත් දෙනවා.

දැන් එක එක්කෙනාට හම්බ වෙනවා ඒක. කෙනෙකුට බඩු මුට්ටු ටික ඔක්කොම හම්බ වෙනවා. ප්ලෑන් එකත් හම්බවෙනවා. නමුත් මෙයා බඩු ටික තියාගෙන ඉන්නවා, ගේ හදන්නේ නැතුව. ගේ හදන්නේ නැති නිසා එයාට අර ස්වාභාවික විපත්වලින්, සතුරු කරදරවලින් නිදහස් වෙලාද ඉන්නේ? නෑ. ‘ගේ හදන හැටි මම දන්නවා’ කිය කිය කයිවාරු ගැහුවට එයා ගේ හදාගෙන නෑ. ‘මට බඩු මුට්ටු ඔක්කොම තියෙනවා’ කිව්වට ගේ හදාගෙන නෑ.

තව කෙනෙක් ඉන්න පුළුවන් එයාට බඩු මුට්ටු ඔක්කොම තියෙනවා. එයත් ගේ හදාගෙන ඉන්නෙ කියලා පෙන්නන්න අට්ටාලයක් ගහගෙන ඉන්නවා. හැබැයි ඒ අට්ටාලෙ හයිය නෑ. ඕන වෙලාවක ඒ අට්ටාලෙ සුළඟට, ලොකු විපතකට කඩා වැටෙන්න පුළුවන්. තව කෙනෙක් ඉන්නවා, ගේ හදන්න ඕන බඩු දාලා දාලා විශාල අත්තිවාරමක් දාගන්නවා, මේ සම්මජ්ජාතියෙ හදන්න බැරි විදිහට. තව කෙනෙක් ඉන්නවා උත්සාහයෙන්, වීර්යයෙන් ගේ හදාගන්නවා. තමන්ගේ ගේ ප‍්‍රමාණය හඳුනාගෙන වුවමනා කරන විදිහට අත්තිවාරම් කපාගෙන ගේ හදාගෙන ඉන්නවා.

අපේ මනුස්ස ජීවිතය, අපට ලැබුණු ඉඩම් කට්ටිය වගේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගේ හදන්න ලැබුණු ගඩොල්, සිමෙන්ති, වැලි ආදියයි. ධර්ම මාර්ගයේ ඉන්න තියෙන විනය ගේ හදන ක‍්‍රමය වගෙයි. ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් ඔය ගේ හදාගන්නවා. අනිත් අය වැලි, සිමෙන්ති ගොඩගහගෙන ඔහේ ඉඩම් කෑල්ලට වෙලා ඉන්නවා. මෙහෙම තමයි, මට පේන මේ බෞද්ධ ලෝකය. ඉතින් ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ දහම තුළින් ඉස්සෙල්ලාම තමා විසින් තමාව ගොඩනගා ගන්න ඕන. අන්න ඒ කරුණු බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විතරයි අපට ලැබෙන්නෙ. මම ඒකයි කිව්වෙ බුද්ධිමත් කෙනා වෙන් වෙන් වශයෙන් අවබෝධ කරනවා කියල. එක රංචුවට අවබෝධ කරනවා නොවෙයි. අපි හිතමු පන්සියයක් එකතු වෙලා සමාධිය වඩනවා. ඒත් වෙන් වෙන් වශයෙන් තමයි කරන්න තියෙන්නෙ. එහෙම නම් මේක තම තමන් විසින් තම තමන් ගැන වගබලා ගත යුතු කරුණක්.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්
සදහම් වැඩසටහන් වලදී පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සකස් කළ
මමත් සිත සමාහිත කරමි බුදු සමිඳුනේ…’ සදහම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී

සසර දුකින් අත්මිදෙන්නේ සුළු පිරිසයි

$
0
0
sasara-dukin-athmidenne-sulu-pirisai

sasara-dukin-athmidenne-sulu-pirisai

ර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප‍්‍රඥා, ආර්ය විමුක්ති අවබෝධ කරගන්නා තාක් අපට ඉපදීමෙන්, ජරා, මරණයෙන් හෝ සුසුම් හෙලීම් වලින් නිදහස් වීමක් නැහැ.

කෙළවරක් නැති සංසාර ගමනේ අපට යන්න සිද්ධ වෙනවා. මේක අවබෝධ වෙච්ච නැති අය අර සුනාමි සිදුවීම දිහා බලලා කියනවා, ‘අපට මේ වගේ මිනී ගොඩවල් ගහනවා දකින්න කරපු පව මොකක්ද?’ කියලා හිතේ තියෙන්නේ හැමදාම සුන්දර දේවල් දැක දැක සංසාරෙ යන්නයි. එහෙම වෙන්නෙ නෑ. සංසාරය මොකක්ද කියලා අවබෝධය නැතිකමමයි ඒකට හේතුව.
මිනිස් ලෝකෙදී ඔහොම නම් අපි හිතාගන්න ඕන, අනෙක් ලෝක කොහොමට ඇද්ද? කියලා පේ‍්‍රත වස්තුවේ සඳහන් වෙන විදිහට පෙරේතයින් කන කෑම දැක්කාම උපත කියන එක අන්තයටම පිළිකුල් වෙනවා. මෙවැනි සංසාරයකද අපට යන්න තියෙන්නෙ කියලා. මෙවැනි ජරාවද කන්න තියෙන්නෙ කියලා. ඒවා එච්චරටම පිළිකුල්. ලොකු ඕනකමක් ඇතිවෙන්න ඕන, ‘අනේ ඉක්මනට සෝවාන් වෙන්න ඕන, නැත්නම් අපිත් මේ ගොඩට වැටෙනවානේ’ කියල.

අන්න ඒ පණිවිඩය තමයි මේ ධර්මයෙන් ගන්න තියෙන්නේ. සමහරු කියනවා සුනාමිය දිහා බලලා, ‘අනේ මෙවන් විපතක් උපනූපන් ආත්මයක වෙන්න එපා!’ කියල. නමුත් යන්න තියෙන්නේ එ්වාට මුහුණ දිදී මයි. ජරා, මරණ, සෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් වලින් තොර උපතක් බුදුරජාණන් වහන්සේ දන්නවා නම් උන්වහන්සේ ඒකාන්ත වශයෙන්ම ඒක අපට කියනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ප‍්‍රමාද වීම අන්තිම භයානක දෙයක් කියල.

මතකද අර කාන්තාවන් පිරිසක් මත්පැන් බීලා හිටපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළේ මොකක්ද?

කෝ නු හාසෝ කිමා නන්දෝ – නිච්චං පජ්ජලිතේ සති
අන්ධකාරේන ඕනද්ධා – පදීපං න ගවෙස්සථ

“මොනවට නුඹලා හිනා වෙනවද? නුඹලට මොකක් ලැබිලද? නුඹලා හැමතිස්සෙම ගිනි ගන්නවා. අවිද්‍යාව නැමැති අන්ධකාරයේ ගිලී සිටින පිරිස ප‍්‍රඥාව නැමැති පහන නොසොයන්නේ ඇයි?”

ඒ පණිවිඩය අපිත් අල්ලගන්න ඕන. ඒ පණිවිඩය අල්ල ගත්තෙ නැත්නම් අපිත් ඔහේ කියවපු පිරිසක් වෙලා, ඔහේ ඉපදි ඉපදි යයි. අපි හොඳට මතක තියාගන්න ඕන, යථාර්ථය කියන එක සියලූ දෙනාම අල්ලන්නේ නෑ. සමහරු නම් කියනවා මේ ඔක්කෝම නිවන් දැක්කොත් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ මෙහෙමයි.

මහණෙනි, මේ ධර්මය අවබෝධ නොකරන පිරිස මහ පොළොව හා සමානයි. නිවන් අවබෝධ කරන පිරිස, නියපොත්තට පස් චුට්ටක් අරගෙන වදාළා, මෙන්න මෙච්චරයි කියල. අනික් අය දිගින් දිගටම දුක් විඳ විඳ සංසාරයේ යන්නේ. සමහරු දන්නෙ නැතිව අහනවා, ඔච්චර ධර්මය අහගෙන ගිහින් ඔක්කොම නිවන් දැක්කොත් මොකද වෙන්නෙ කියල? ඔබෙනුත් අහවි. එතකොට කියන්න බුද්ධ දේශනාවෙ තියෙන විදිහට නිවන් නොදකින පිරිස, මහ පොළොවේ පස් හා සමානයි. නිවන අවබෝධ කරන පිරිස නියපොත්තට ගත්තු පස් ස්වල්පය හා සමානයි කියලා.

බලන්න කොයිතරම් දුර්ලභ දෙයක්ද මෙය. ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප‍්‍රඥා, ආර්ය විමුක්ති ඇති කර ගන්න ඕන. ආර්ය කියන්නේ සම්මා දිට්ඨියෙන් යුතු නිසා. සම්මා දිට්ඨියෙන් යුතු සීලය ආර්ය සීලයයි. සම්මා දිට්ඨියෙන් යුතු සමාධිය ආර්ය සමාධියයි. ආර්ය මාර්ගය තුළින් ඇතිවන ප‍්‍රඥාව ආර්ය ප‍්‍රඥාවයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය ප‍්‍රගුණ කිරීමෙන් ඇතිවන අවබෝධයෙන් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ප‍්‍රහාණය වීමෙන් ලබන විමුක්තිය ආර්ය විමුක්තියයි.

මෙන්න මේ කරා යන්න අපට උපකාර වෙන්නේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මය පමණයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව ලෝකයේ කිසිම කෙනෙකුට ආර්ය සීලය පණවන්න බැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව ආර්ය සමාධියක් පණවන්න බැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව ආර්ය ප‍්‍රඥාවක් පණවන්න බැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව ආර්ය විමුක්තියක් පණවන්න බැහැ. එහෙනම් යමෙක් සීලය කුමක්ද කියල දැනගන්න ඕන නම් ඒ ධර්ම විනය තුළින්මයි දැනගත යුත්තේ. සමාධිය කුමක්දැයි කියා දැනගන්න ඕන නම් ඒ ධර්ම විනය තුළින්මයි දැනගත යුත්තේ. ප‍්‍රඥාව කුමක්දැයි දැනගන්න නම් ඒ ධර්ම විනය තුළින්මයි දැනගත යුත්තේ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්
සදහම් වැඩසටහන් වලදී පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සකස් කළ
මමත් සිත සමාහිත කරමි බුදු සමිඳුනේ…’ සදහම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී

අසිරිමත් පසේබුදු පෙළහර 15

$
0
0
pasebudu-pelahara-15

ලෙඩ දුක – තුවාලය – උවදුර යන නම ද
රෝගය – යහුළ – භය යයි පවසති මෙයට
කාම ගුණවල ඇති – මේ භය හොඳින් දැනගෙන
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….

pasebudu-pelahara-15

පගේ ශාස්තෘන් වහන්සේ පසේබුදුවරුන් ගැන කරන විස්තරයේදී වදාරණ ලද්දේ ගාථාවන් පමණි. ඒ ඒ ගාථාවන්හි ඇති තේරුම් බොහෝ විට ඒ පසේබුදුවරුන්ගේ ජීවිත අත්දැකීම්ය. උන්වහන්සේලා ද සාමාන්‍ය මනුෂ්‍යයන් මෙන් විවිධාකාර අත්දැකීම්වලට මුහුණ දෙති. රෝග පීඩා ආදිය ඇතිවන විට කලකිරීමට පත්වෙති. දරුවන්ට ආදරය කරති. කාමයට හසුවෙති. එතුළින්ම ඔවුන් ලබන අවබෝධය හේතුවෙන් සත්‍යය කරා යොමු වෙති.
නුවණ මුහුකුරා නොගිය සාමාන්‍ය මනුෂ්‍යයා තමා මුහුණ දෙන නොයෙකුත් කරදර කම්කටොලු වලදී එහි බැසගෙන ඒ තුළින් හටගන්නා දුකට මැදි වී වාසය කරන නමුත් පසේ බුදු බවට පත්වීමට පින් ඇති පුරුෂයින් ඒ දුකින් එතෙර වෙති. සාමාන්‍ය ලෝකයා හට සිතාගත නොහැකි අපූර්ව වූ කල්පනාවකින් හෙබි මේ විශේෂ මනුෂ්‍යයින්ගේ ජීවිත කථාවන් තුළින් අපට ඉගෙන ගත හැක්කේ සසරෙහි ප්‍රගුණ කරන ලද පින් ඇති කෙනාගේ අභ්‍යන්තර චිත්ත සන්තානය තමාටත් නොදැනීම විමුක්තිය පිණිස සකස් වන බවයි.

එනිසා සසරෙහි ගමන් කරන අපට මිනිස් ලොව ගත කරන ජීවිතය විමුක්තිය පිණිස තීරණාත්මක සාධකයක් කරගත හැකි බව මෙබඳු කථාවලින් තේරුම් ගත හැකිය. සත්‍යාවබෝධයට ආශා කිරීම, ඒ සඳහා නුවණ මෙහෙයවීම, ඉඳුරන් දමනය කොට පුරුදු කිරීම, ඉවසීම ඇති කරගැනීම, අත්හැරීම පුරුදු කිරීම වැනි සුවිශේෂ කුසලතා මෙයට උපකාරී වේ.

මෙම කථාවේ සඳහන් වන්නේද ජීවිතය කළකිරුණු රජ කෙනෙකු පසේබුදුවරයෙකු බවට පත් වූ ආකාරයයි. බරණැස් නුවර ඉතා දැහැමි රජෙක් වාසය කළා. කලක් යන විට ඔහුගේ සිරුරෙහි මහත් වේදනා දෙන ගෙඩියක් හටගත්තා. නොයෙක් අයුරින් පිළියම් කළා. එහෙත් ගෙඩිය සුව වුණේ නැහැ. වෛද්‍යවරු පවසා සිටියේ සැත්කමක් කොට ගෙඩිය ඉවත් කළ යුතු බවයි. මේ හේතුවෙන් බොහෝ කල් දුක් විඳි රජතුමා වෛද්‍යවරු කැඳෙව්වා.

“අනේ පින්වත් වෛද්‍යවරුනි, වෙන රජවරු ගැන කල්පනා කරන විදිහට මං ගැන හිතන්න එපා. සැත්කම කොට සුව වුණේ නැතත් මං ඔබට හානියක් කරන්නේ නෑ. එනිසා ඉක්මනින් සැත්කම කරන්න. මා පොරොන්දු වෙනවා, ඔබට අභය දානය දෙන බවට. අනේ මට මේ වේදනාව ඉවසගන්න බෑ…”

“දේවයන් වහන්ස, ඇත්තෙන්ම බොහෝ වෛද්‍යවරු රජවරුන්ට වෙදකම් කරන්නට ගොස් මැරුම් කෑවා. එයට භයෙන්මයි අපි රජවරුන්ට සැත්කම් නොකරන්නේ. නමුත් ඔබවහන්සේගේ කාරුණික ඉවසීම නිසා අපි සැත්කම කරන්නම්.”

වෛද්‍යවරු ගෙඩිය පැලුවා. සැරව ඉවත් කළා. තුවාලයට බෙහෙත් ගල්වා වෙලුම් පටිවලින් වෙලුවා. සත්පාය ආහාරපාන නියම කළා. ටික කලක් යන විට ගෙඩිය සුවපත් වුණා. නමුත් රජතුමාට ගැලපෙන ආහාර නැති නිසා ශරීරය කෘශ වුණා. දුර්වල වුණා. එනිසා යළිත් රජතුමා හිතුමනාපයට ආහාර ගන්න පටන් ගත්තා. නැවතත් එතනින්ම ගෙඩියක් මතුවුණා. මහත් වේදනාවට පත් වූ රජතුමා වෛද්‍යවරුන් ලවා ආයෙමත් සැත්කම කරවා ගත්තා. රජතුමා නැවතත් කෙට්ටු වුණා. ශරීරය දුබල වුණා. කලක් ගත වන විට තමන් අනුභව කරන ලද රසවත් ආහාර පාන මතක් වෙන්න පටන් ගත්තා.

“මේ අසනීපයක් නිසා නිදහසේ කෑම ටිකක්වත් කන්න නෑ. වෛද්‍යවරු ඇවිදින් ආහාර නියම කරනවා. හැමදාමත් මේවා කන්න පුළුවන්ද? දැන් මට සනීපයි. එක වතාවක් ගෙඩිය කපලා ඉවත් කළා. කටට රහට රජබොජුන් වළඳලා වැඩි දවසක් ගියේ නෑ. ආයෙමත් ගෙඩියක් ආවා නෙව. දැන් ඒකත් ඉවත් කළා. දැන් ඉතින් මට ලෙඩක් හැදෙන එකක් නෑ. සෑහෙන දවසක් කෑමක් නැතිව දුක් වින්ඳා.

මේක මොන වදයක්ද…? දැන් මං කරන්නෙ මෙච්චරයි. ඕන දෙයක් වුණාවේ කියලා මට හිතෙන දේවල් ආහාරයට ගන්නවා.”

ඉතින් රජතුමා ආයෙමත් හිතුමනාපෙට ආහාර පාන ගන්න පටන් ගත්තා. ටික දවසක් යද්දී කලින්ටත් වඩා දරුණු විදිහට ගෙඩිය මතුවුණා. රජතුමා ආයෙමත් වෛද්‍යවරුන්ව කැඳෙව්වා.

“අනේ දේවයන් වහන්ස, ඔබවහන්සේ අපගේ අවවාදයට අනුව හික්මෙන්නෙ නැහැ නෙව. දැන් දෙපාරක්ම සුවපත් කළා. හැබැයි මේ වතාවෙ නම් ගෙඩිය හැදිලා තියෙන්නේ සුව කරන්න බැරි විදිහටයි. සත්පාය ආහාරපාන ලැබෙනකම් විතරයි ගෙඩිය සුවපත් වුණේ. දැන් තියෙන තත්වය අනුව ආයෙමත් සැත්කමක් කළොත් බේරගන්න බැරිවේවි. එනිසා අපට ජීවිත දානය දෙන සේක්වා! ඔබවහන්සේ බේරාගන්න අපට පුළුවන්කමක් නෑ.”

වෛද්‍යවරුන් විසින් තමන්ව අත්හැර දැමීම ගැන රජතුමා මහත් කම්පාවකට පත්වුණා. තනියම කල්පනා කරන්නට පටන් ගත්තා.

“ඔව්… මේ හැම දේකටම මුල තෘෂ්ණාවමයි. මේ රස තෘෂ්ණාව නිසා මම පෝෂණය කළේ කුණු ශරීරයක්. විනාශ වී යන දෙයක්. එතකොට මේ ශරීරය තුළිනුයි මං ආශ්වාදයක් හොයන්න පෙළඹෙන්නේ. මේ ශරීරයයි මං එයට යොදවන්නේ. ඒ ශරීරයෙන්මයි මට වද දෙන්නෙත්. මගේ රජකමට ගෙඩිය සනීප කරන්න පුළුවන්කමක් නෑ. වෛද්‍යවරු මාව අත්හැරියා. දැන් මම කොහොමත් මැරෙනවා. නමුත් මාව නැවත නැවත දුකට පත් කරවන මේ තෘෂ්ණාවත් සමඟ නම් මට තවත් ගණුදෙනු කරන්න ඕන නෑ. තෘෂ්ණාව නැතිවෙන මඟක් හොයන්න ඕන. මේ රජකම කරමින් කරන්න බෑ.”

රජතුමා හොඳටම කළකිරුණා. ඇමතිවරු රැස්කළා. රජකම භාරදුන්නා. රෝගය සුවපත් නොවී තියෙද්දීම පැවිදි වුණා. හුදෙකලාවේම බරණැස ඉසිපතනයට පිටත් වුණා. ඒ දිනවල ඉසිපතන මිගදායෙහි පසේබුදුවරයන් වහන්සේලා වැඩසිටිනවා. මේ අලුත් ශ්‍රමණයන් වහන්සේ ඉසිපතන වනයේ පාළු කුටියකට ගියා. ගෙඩිය මෝදු වී ඇදුම්කද්දී මේ ශ්‍රමණයන් වහන්සේ පුදුම විදිහට ඉවසුවා. සිත දමනය කරගත්තා. සිත සමාධිමත් කරගත්තා. නුවණින් විමසන්න පටන් ගත්තා. සත්‍යාවබෝධය පිණිස ප්‍රඥාව වැඩී ගියා. තෘෂ්ණාව ක්ෂය වුණා. පසේබුදුවරයන් වහන්සේ නමක් බවට පත්වුණා. ඉර්ධියෙන් අහසට නැගී හිමාලයේ ගන්ධමාන පර්වතයේ මංජූසක රුක් සෙවනට පැමිණුනා.

අලුත පැමිණි මේ පසේබුදුවරයන් වහන්සේගේ ජීවිත අත්දැකීම කුමක්දැයි විමසූ විට උන්වහන්සේ මේ ගාථාව වදාළා.

ඊති ච ගණ්ඩෝ ච උපද්දවෝ ච
රෝගෝ ච සල්ලං ච භයං ච මේතං
ඒතං භයං කාමගුණේසු දිස්වා
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

“මේ ශරීරය නම් කෙමෙන් කෙමෙන් විනාශය කරාම යන දෙයක්. සැරව පිරුණු ගෙඩියක්. මහා වධයක්. රෝගයක්. රිදුම් දෙන හුලක්. ඕනෑම මොහාතක භය ඇතිකරවන දෙයක්. මේ හැම දෙයක්ම ඇතිවෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන කාම සැපය නිසා. මං මේකෙ ආදීනව දැක්කා. ඒ නිසා දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴


දහමට පුද සත්කාර කරමින් මාර්ගය වඩන්න…

$
0
0
dahamata-puda-satkara-karamin-margaya-wadanna

dahamata-puda-satkara-karamin-margaya-wadanna

ර්ම විනයෙන් තොර සීලය අංග සම්පූර්ණ සීලයක් නොවෙයි. ධර්ම විනයෙන් බැහැර වූ සමාධිය අංග සම්පූර්ණ සමාධියකුත් නොවෙයි. ධර්ම විනයෙන් බැහැර වෙච්ච ප‍්‍රඥාව අංග සම්පූර්ණ ප‍්‍රඥාවකුත් නොවෙයි. එම නිසා ධර්ම විනය බැහැර වුණු තැන විමුක්තියක්ද නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනයම අපි කියවිය යුතුයි. අංග සම්පූර්ණ සීලය විස්තර වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. අංග සම්පූර්ණ සමාධිය විස්තර වෙන්නෙත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඒ ධර්මයේ තමයි ප‍්‍රථම ධ්‍යානය යනු මෙයයි කියල විස්තර වෙන්නේ. ඒ ධර්මයේ තමයි දෙවැනි ධ්‍යානය මෙයයි කියල විස්තර වෙන්නේ. ඒ ධර්මය තුළ තමයි තුන්වෙනි ධ්‍යානය මෙයයි කියල විස්තර වෙන්නේ. ඒ ධර්මය තුළ තමයි හතරවෙනි ධ්‍යානය මෙයයි කියල විස්තර වෙන්නේ.

ඒ නිසා ඒ ධර්මය තුළ සමාධිය විස්තර කරන නිසා සීලය වඩන කෙනා ධර්ම විනයටම ප‍්‍රශංසා කරමින් සීලය වඩනවා. සමාධිය වඩන කෙනා ධර්ම විනයටම ප‍්‍රශංසා කරමින් සමාධිය වඩනවා. ධර්මය බැහැර කරනවා නම් ඒ සමාධිය ආර්ය සමාධියක් වෙන්න බැහැ. ඒ සමාධිය මිථ්‍යා සමාධියක් විය යුතුයි. ප‍්‍රඥාව යමෙක් වඩනවා නම්, ඒක ධර්ම විනයටම ප‍්‍රශංසා කර කර වඩන ප‍්‍රඥවක් විය යුතුයි.

ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව ආර්ය සීලයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විනයෙන් තොරව ආර්ය සමාධියකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනයෙන් තොරව ආර්ය ප‍්‍රඥාවකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනයෙන් තොරව ආර්ය විමුක්තියකුත් නැහැ. ඒකයි රහතන් වහන්සේලා ඒ ඒ බුද්ධ දේශනා කට පාඩමින් රැගෙන එන්න ඕන කියලා රහත් පරපුරවල්වලට භාරගත්තේ.

මහණ වෙන අයට ධර්මය කට පාඩම් කෙරෙව්වා, රහතන් වහන්සේලා ලඟ පැවිදි වෙච්ච පිරිස ඒ ධර්මය කට පාඩම් කර කර සීලය ප‍්‍රගුණ කළා. සමාධිය ප‍්‍රගුණ කළා. ප‍්‍රඥාව ප‍්‍රගුණ කළා. අරහත්වයට පත්වෙනකම් සිත දියුණු කර ගත්තේ ධර්ම විනය කට පාඩම් කරගන්න ගමන්. ඒ නිසයි පිරිසිදු ධර්මය මුඛ පරම්පරාවෙන් දිගටම පැවතුණේ. දැන් ඒක අපට අලූතින් පටන් ගන්න වෙලා තියෙනවා.

මේ ධර්මයේ එකම එක ඉලක්කයයි තියෙන්නේ. ඒ චතුරාර්ය සත්‍යය අවබෝධය කරගැනීම. මේ යන ගමනේදී අපට මුලින්ම වුවමනා වෙන්නෙ ශ‍්‍රද්ධාවයි. අපි එක එක්කෙනාගේ අවබෝධය ගැන පහදින්න නෙමෙයි මේ ශාසනයට ඇතුල් වුණේ. අපි මේ ශාසනයට ඇතුල් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමටයි.

තථාගතයන් වහන්සේගේ අවබෝධය ගැන පහදින්න ඕන. පැහැදිලා ඒක අදහාගන්නවා.

♦♦~ අරහං – බුදුරජාණන් වහන්සේ රාග, ද්වේෂ, මෝහ නැති කෙනෙක් කියලා.
♦♦~ සම්මාසම්බුද්ධ – චතුරාර්ය සත්‍යය ධර්මය ගුරූපදේශ නැතිව අවබෝධ කරපු කෙනෙක්.
♦♦~ විජ්ජා චරණසම්පන්න – ඒ අවබෝධයට අනුවම ජීවිතය පවත්වා වදාළ කෙනෙක්.
♦♦~ සුගත – ආර්යඅෂ්ටාංගික මාර්ගයේ ගමන් කොට නිවන අවබෝධ කරපු කෙනෙක්.
♦♦~ ලෝකවිදූ – සකල ලෝකයන් ගැන අවබෝධයෙන් ඉඳලා ඒ සියලූ ලෝකවලින් නිදහස් වෙච්ච කෙනෙක්.
♦♦~ අනුත්තරෝ පුරිසදම්ම සාරථි – දමනය කළ නොහැකි වූ අය දමනය කිරීමේ අනුත්තර වූ උත්තමයන් වහන්සේ.
♦♦~ සත්ථා දේවමනුස්සානං – දෙවියන්ගේත්, මිනිසුන්ගේත් ශාස්තෘන් වහන්සේ.
♦♦~ බුද්ධ – අවබෝධ කොට වදාළ උතුම් ධර්මය අන් අයට අවබෝධ කරගැනීමට මහා කරුණාවෙන් දේශනා කළ කෙනෙක්.
♦♦~ භගවා – මේ සියලූ ගුණ දරා ගැනීමට තරම් භාග්‍යවන්ත කෙනෙක්.

අන්න ඒ පැහැදීම තමයි ධර්මයේ හැසිරීමේ ආරම්භය. ඒ පැහැදීමට ආපු නැති කෙනා කැරකි කැරකී එන්නේ තමාගේ මතයටයි. තමන්ගේ දේම හුවා දක්වනවා. නමුත් ශ‍්‍රද්ධාවට පැමිණිච්ච කෙනා එහෙම නෑ. ශ‍්‍රද්ධාවට පැමිණිච්ච කෙනා තමන්ගේ දේ අත්හැරලා ධර්මය පිළිගන්නවා. අන්න ඒක තමයි, අවබෝධයෙන්ම ශ‍්‍රද්ධාවට පැමිණච්ච කෙනා තේරුම් ගන්නට තියෙන ලක්ෂණය.

බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරල තියෙනවා කරුණු හතරක් ගැන නිතරම විමසා බලන්න කියල. මොනවද ඒ සමහර විට ලෝකෙ ප‍්‍රසිද්ධ කෙනෙක් කියන්න පුළුවන් ධර්මය මෙයයි, විනය මෙයයි, ශාස්තෘ ශාසනය මෙයයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා ඒක පිළි ගන්නත් එපා, ප‍්‍රතික්ෂේප කරන්නත් එපා. ධර්මයට විනයට බලන්න. ධර්මය හා විනයට ගැලපෙන්නෙ නැත්නම් ඒක බැහැර කරනවා මෙය ධර්මය නෙවෙයි කියලා. මෙය විනය නෙමෙයි, මෙය ශාස්තෘ ශාසනය නෙවෙයි කියලා.

ඊළඟට සංඝයා සම්මත කරනවා අසවල් භික්ෂුව ධර්ම විනය මනාකොට කියනවා කියල. ඒකත් ධර්මයෙහි විනයෙහිලා බලන්න කියනවා. එහෙම නැත්නම් සංඝ පිරිසක් එකතු වෙලා කියනවා මෙයයි ධර්මය, මෙයයි විනය කියලා. ඒකත් ධර්මයෙහිලා විනයෙහිලා බලන්න කියනවා. ධර්ම විනයට ගැලපෙන්නේ නැත්නම් පිළිගන්න එපා කියනවා. මේවාට කියන්නේ සතර මහාපදේශ කියලා. ආනන්ද චෛත්‍යස්ථානයේදී අපට බුදුරජාණන් වහන්සේ වදාළේ. අනාගතයේදී මේ යම් ආරවුල් ඇතිවුණොත් ධර්ම විනයේ බහා බලන්න කියලා.

මේ කරුණු ඉගෙන ගන්න කෙනා ධර්ම විනයේ බහා බලමින් කිසිම ගැටළුවක් නැතිව ධර්ම විනයේ ඉදිරියට යනවා. මම එහෙම කිව්වේ ධර්ම විනයේ බහා බලන්න බැරි අය තමයි මේ ලෝකයේ ඉන්නේ. ධර්ම විනය නොහඳුනන කෙනෙක්, ධර්ම විනයේ බහා බලන්නෙ නෑ. එතකොට ධර්මය කියලා හිතාගෙන ධර්මයේ ස්වරූපයෙන් තිබෙන වෙනත් දෙයක් පුරුදු කරන්න පුළුවන්.
ධර්මය දන්න කෙනාට ප‍්‍රශ්නයක් නෑ. එයා ඕනම පරිසරයක, ඕනම සමාජයක, ඕනම පිරිසක් මැද්දේ ප‍්‍රශංසා කරන්නේ ධර්මයටමයි. ඒකට හේතුව රහතන් වහන්සේලා තමාව හුවා නොදැක්වීම. රහතන් වහන්සේලා කවදාවත් තමාව හුවා දැක්වුවේ නෑ ‘මේක මගේ අත්දැකීම. මේක මගේ අවබෝධය’ කිය කියා. උන්වහන්සේලා හැම තිස්සෙම ප‍්‍රශංසා කරන්නෙ බුදුරජාණන් වහන්සේගේ ධර්මයටමයි.

සෝතාපන්න කෙනාත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයටමයි ප‍්‍රශංසා කරන්නේ. මාර්ගයේ ගමන් කරන පිරිස හඳුනාගන්න පුළුවන් තැනක් තමයි ඔතන. එයා මේ මාර්ගයේ ගමන් කරද්දී තමන්ගේ නායකත්වයක්, තමන්ගේ අවබෝධයක්, තමන්ගේ අත්දැකීමක් අන් අයට දීමක් කරන්නෙ නෑ. එයා බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළා, මේ විදිහට දේශනා කළා කිය කියා ධර්මයම කියා දෙනවා. ඒක මේ සූත‍්‍ර දේශනා කියවද්දී ඉතාම පැහැදිලිව අපට තේරෙනවා. අපට ඕන කරන්නේ අන්න ඒ වගේ ශ‍්‍රද්ධාවක්.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්
සදහම් වැඩසටහන් වලදී පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සකස් කළ
මමත් සිත සමාහිත කරමි බුදු සමිඳුනේ…’ සදහම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී

සමාධියට මග…

$
0
0
samadhiyata-manga

samadhiyata-manga

මහරු හිතන් ඉන්නවා බුද්ධ ශාසනය කියන්නේ මහා ගොඩනැගිලි, මහා පින්කම් කියල. ඉතින් ඒවා හදල එයා සතුටු වෙනවා මම ශාසනය වෙනුවෙන් සෑහෙන්න කළා කියල. ශාසනය වෙනුවෙන් එයා කරලා තියෙන්නේ පොඩි දෙයක්. සමහරු සීලය සම්පූර්ණ කර ගන්නවා. එයා හිතනවා මම ශාසනයෙන් ප‍්‍රයෝජනය ගත්තා කියලා. ප‍්‍රයෝජනය ගත්තා මදි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගහක් වගේ. ගහක තියෙනවා කොළ, දළු, මල්, අතු පතර, පොතු, එලය, අරටුව. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අරටුව හැටියට තියෙන්නේ ආර්ය විමුක්තියයි.

කෙනෙක් මේ අරටුව කරා යනකම්ම සෑහීමකට පත්නොවී අවබෝධයෙන්ම මේ ධර්ම මාර්ගයේ යන්න ඕන. සමහරු ඉන්නවා සමාධිය වැඩෙන්නෙ නෑ. එයා පසුබසිනවා. එයා දන්නේ නෑ ධර්මය පුරුදු කිරීමේදී, තමා තුළ පුරුදු කිරීමේ කුසලතාවයේ වෙනස්කම් තියෙන බව. ධර්මාවබෝධ කිරීමේ කොටස් දෙකක් පෙන්වනවා. පළමු කොටස ඉක්මනට සමාධිය වැඩෙන පිරිස. අනෙක් කොටස ඉක්මනින් සමාධිය වැඩෙන්නෙ නැති පිරිස. සමාධිය ඉක්මනට වැඩෙන පිරිසට කියනවා සැප ප‍්‍රතිපදාවේ ගමන් කරන පිරිස කියලා. සමාධිය ඉක්මනින් වැඩෙන්නේ නැති පිරිසට කියනවා දුක් ප‍්‍රතිපදාවේ ගමන් කරන පිරිස කියලා. සමාධිය වැඩෙන කෙනාට නීවරණ ධර්ම යටපත් වෙන නිසා එයාගේ ප‍්‍රතිපදාව සැපයි. හැබැයි ඒ සමාධි වැඩෙන පිරිස අතරත් ඉන්නවා වේගවත්ව ධර්මාවබෝධ කරන පිරිසක්. තව කොටසක් ඉන්නවා, හෙමිහිට අවබෝධ කරනවා. ඒ කියන්නේ සමාධිය වඩලා පටිච්චසමුප්පාදය, පංච උපාදානස්කන්ධය, ආයතන නුවණින් විමසා බලද්දී එයාට ඉක්මනින්ම මේවාගේ යථාර්ථය අවබෝධ වෙනවා. එතකොට එ් කෙනාට සමාධියත් දියුණු වෙනවා. ප‍්‍රඥාවත් දියුණු වෙනවා.

තව කෙනෙක් ඉන්නවා හොඳින් සමාධිය වඩලා විදර්ශනාව වඩද්දී එයාට ආයෙමත් වැඩෙන්නේ සමථයමයි. විදර්ශනා අවබෝධයට වඩා එයාට සමාධියයි වැඩෙන්නේ. අවබෝධය එයාට හෙමිහිට වෙන්නේ. සමාධිය වඩන අය අතර කොටස් දෙකක් ඉන්නවා, වේගවත්ව අවබෝධ කරන අය හා හෙමින් අවබෝධ කරන අය කියල.

දුක් වූ ප‍්‍රතිපදාවෙත් කොටස් දෙකක් ඉන්නවා. දුක සේ වේගවත්ව අවබෝධ කරන, දුක සේ හෙමිහිට අවබෝධ කරන. දුක් වූ ප‍්‍රතිපදාව තිබෙන අය කරුණු පහක් පුරුදු කරන්න ඕන කියනවා. සමාධිය ඇතිවෙන්නේ නෑ කියල දුක් දොම්නස් ඇති කර ගත්තොත් සතිපට්ඨානය වඩන්න බැහැ. සිහියෙන් ඇලීමයි, ගැටීමයි දුරුකරන්න ඕන. සමහරු සමාධිය වැඩෙන්නෙ නෑ කියලා පසුතැවි තැවී භාවනා කරනවා. එයා මොකද කරන්න ඕන. එයා බලන්න ඕන කයේ ඇත්ත. එයා නිතර නිතර අසුභය වඩන්න ඕන. ඒක තමයි කයේ ඇත්ත බලනවා කියන්නේ.

ඊලඟට එයා ආහාරයේ ඇත්ත බලන්න ඕන. කන බෙන දේට අන්තිමට මොකද වෙන්නේ කියලා. ඊළඟට එයා මරණසතිය වඩන්න ඕන. මරණසතිය වැඞීමෙන් තමයි නැවත නැවතත් ධර්මයටම එන්නේ. අප‍්‍රමාදී වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මරණය ගැන වදාළේ මෙහෙමයි.

“(අජ්ජේව කිච්චං ආතප්පං – කෝජඤ්ඤා මරණං සුවේ) හෙට මැරේවිද කවුද දන්නෙ? අද අදම මේ නිවන් මගේ හැසිරෙන්න.” මේ මරණසතිය සිහි කිරීම හරිම ප‍්‍රයෝජනයි. මරණසතිය නොවැඩුවොත් එයා ජීවිත මදයෙන් මත්වෙනවා. යෞවන මදයෙන් මත්වෙන්න පුළුවනි. ආරෝග්‍ය මදයෙන් මත්වෙන්න පුළුවනි. මේ වගේ මදවලින් මත් වෙනවා, මරණසතිය නොවඩන කෙනා.

මරණසතිය වඩන කෙනා මදවලින් මත් නොවී සුළු කාලයයි මට ඉන්න තියෙන්නෙ. ඒ සුළු කාලයේ මම සීලය සම්පූර්ණ කරන කෙනෙක්ද? මම මේ සුළු කාලය තුළ සමාධිය කරා යන කෙනෙක්ද? කියලා තමාගෙන්ම අහනවා එයා. මම මේ සුළු කාලය තුළ ධර්මය වෙනුවෙන් කැපවුණ කෙනෙක්ද? නැවත නැවත එයා තමන් අමතනවා, මරණසතිය වඩන කෙනා කරන්නේ එහෙමයි.

ඊළඟට හටගත්ත සෑම දෙයක්ම අනිත්‍යයි කියල නුවණින් විමසනවා. එහෙම විමසන කෙනා මේ අනිත්‍ය ලෝකය තුළ ඉතාම ධාර්මිකව සීල සම්පන්නව ජීවත් වෙනවා. අනිත්‍ය ලෝකයට බැඳෙන්නෙ නැති වෙන්න සිත පවත්වනවා. මේ ලෝකයේ උපදින්න එයා කැමති නෑ. ඒකට කියනවා “සබ්බ ලෝකේ අනභිරත සඤ්ඤා” කියලා. උපදිනවා කියන එක එයාට අප්පිරියයි. ඒක ඇතිවෙන්න පෙරේත ලෝකය ගැන, නිරය ගැන, තිරිසන් ලෝකය ගැන දැනුම් තේරුම් කමක් තියෙන්න ඕන. එතකොට තමයි, එයා අකමැති වෙන්නේ. නැත්නම් ඒ ලෝකවල හිත පිහිටනවා.

කවුරුහරි ලස්සන කෙනෙක් දැක්කම අන්න මේ වගේ මාත් ලස්සන වෙනවා නම්. මිහිරි හඬක් ඇහෙන කොට අනේ මේ වගේ හඬක් ලබන ආත්මයේ මටත් ලැබෙනවා නම්, මේ වගේ උගත්කමක් ලැබෙනවා නම්, මේ වගේ ප‍්‍රසිද්ධියක් ලැබෙනවා නම් කියලා මුලා වෙනවා. ඒ වගේ සත්ව පිරිසක් මේ සංසාරෙ යන්නේ. ඒ ලෝකයෙන් මිදෙන්න නම් ඔය කියපු විදිහට කයේ ඇත්ත, ආහාරයෙහි ඇත්ත, මරණය ආදී මේ හැම දෙයක්ම සිහි කරන්න ඕනෙ. එතකොට එයා කෙමෙන් කෙමෙන් ධර්මය කරා පැමිණෙනවා. මම මේ කිව්වෙ සමාධිය ලබන්න දුෂ්කර කෙනා කරන්න ඕන පිළිවෙලයි.

එයාගේ හිත තැන්පත් වෙන වෙලාවක් එනවා. ඒ වෙලාව අපට කියන්න බැහැ. ඒක ලෝකයේ කාටවත් කියන්න බැහැ. මොකද, මොහොතක් සිත සමාධිමත් නොවී අවුරුදු විසි පහක් භාවනා කළ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් විසිපස් වෙනි අවුරුද්දෙදි අරහත්වයට පත් වූ හැටි ථේර ථේරී ගාථාවල අපූරුවට සඳහන් වෙනවා. ඒ නිසා කෙනෙකුගේ ජීවිතය තුළ සමාධිය, ප‍්‍රඥාව වර්ධනය වෙන ආකාරය කිව හැක්කේ බුදුරජාණන් වහන්සේට පමණයි. සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් එ්ක ප‍්‍රකාශ කරන්න බැහැ.

එක්තරා අවස්ථාවක තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ලකුණ්ඨක භද්දිය මහරහතන් වහන්සේට අඬ ගහලා සීල, සමාධි, ප‍්‍රඥා වඩන්න උපදෙස් දෙනවා. ලකුණ්ඨක භද්දිය ස්වාමීන් වහන්සේ ඒ වෙනකොට අරහත්වයට පත්වෙලා. රහත් වෙලා ඉද්දිත්, උපදෙස් දෙනවා. බුදුරජාණන් වහන්සේ ඒකෙදි ගාථාවක් වදාළා ‘හික්මිච්ච කෙනා අයෙ ආයෙමත් හික්මවන්න දෙයක් නැහැ’ කියල. ප‍්‍රඥාවෙන් අග‍්‍ර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේටත් ඉන්ද්‍රිය පරෝපරියත්ති ඤාණය නැහැ. ඒක තියෙන්නේ බුදුරජාණන් වහන්සේටම පමණයි.

ඒක නිසා අපි හැමතිස්සේම බුදුරජාණන් වහන්සේටමයි ගෞරව කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයටමයි ගෞරව කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නයටමයි ගෞරව කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ ශික්ෂාවටමයි ගෞරව කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ සමාධියටමයි ගෞරව කරන්න ඕන. අන්න එතකොට තමයි නියම මාර්ගය පෑදෙන්නේ. ඉතින් තමාගේ යහපත කැමති කෙනා එබඳු ආකාරයේ පැහැදීමක්, එබඳු ආකාරයේ අවබෝධයක් ඇති කරගන්න ඕන.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්
සදහම් වැඩසටහන් වලදී පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සකස් කළ
මමත් සිත සමාහිත කරමි බුදු සමිඳුනේ…’ සදහම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී

සත්පුරුෂයන් ඇසුරට නොලැබුනොත් විනාසයි.

$
0
0
dp_5-1

෴  1 ගාථා රත්නය
එක්තරා පුරුෂයෙකුගේ කථා වස්තුව

“සත්පුරුෂයන් ඇසුරට නොලැබුනොත් විනාසයි.”

පින්වතුනේ, පින්වත් දරුවනේ,

යාලා දන්නවා බුද්ධකාලේ දඹදිව තිබුනා විශාල ජනපද. ඒ කියන්නේ විශාල ප්‍රදේශ. කොසොල් ජනපදය කියන්නේ එයින් එකක්. කොසොල් ජනපදය හරි විශාලයි. එහෙ නායකයා තමයි පසේනදී කොසොල් රජතුමා. මේ රජතුමා මුල් කාලෙදී බුදුරජාණන් වහන්සේට එතරම් හිතවත්ව සිටියේ නෑ. නමුත් පස්සෙ කාලෙ ඉතාමත්ම හිතවත් වුනා. ලැදිවුනා.

බුදුරජාණන් වහන්සේ පවා කොසොල් රජ්ජුරුවන් කෙරෙහි අනුකම්පාවෙන් නොයෙක් අවස්ථාවන්වලදී ධර්මය කියා දීලා තියෙනවා. බිම්බිසාර රජතුමා නම් සෝතාපන්න වුණු බව ඔබ දන්නවා. නමුත් කොසොල් රජතුමාට එවැනි වාසනාවක් උදා වූ බවක් දැනගන්නට නැහැ.

දවසක් කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ගොඩාක් බුද්ධිමත් ප්‍රශ්නයක් ඇහුවා. ඒ මේකයි; “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කෙනෙකුගේ සිතෙහි තමන්ට අයහපත පිණිස, දුක් පිණිස, විපත පිණිස යම් යම් දේවල් ඇතිවෙන්නට පුළුවනි. ඒ මොනවාද?”

“පින්වත් මහරජ, කෙනෙකුට අයහපත, දුක, විපත පිණිස තමා තුළ කරුණු තුනක් උපදිනවා. ඒ තමයි ලෝභයත්, ද්වේෂයත්, මෝහයත්.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, මෙවැනි ධර්මයන් අසන්නට වාසනාව තිබූ කොසොල් රජතුමා තම සිතේ හටගත් ලෝභ සිතුවිලි හේතුවෙන් සෑහෙන්න කරදරේ වැටිලා තියෙනවා. රජකෙනෙක් වුනත්, සාමාන්‍ය කෙනෙක් වුනත් කරන දෙය පවක් නම් ඒකෙන් ලැබෙන්නේ අයහපත් විපාකමයි.

දවසක් කොසොල් රජතුමා වීථි සංචාරය කළා. ඒ කියන්නේ තමන්ගේ රාජධානියේ වීදිවල ඇතා පිටේ නැගලා රාජකීය ලීලාවෙන් ගමන් කරනවා. එතකොට මිනිස්සු පාර දෙපැත්තේ රැස්වෙලා රජ්ජුරුවන්ට ස්තුති ප්‍රශංසා කරනවා. මල් වීසිකරනවා. රජතුමාත් වටපිට බල බල හිනහ වෙවී යනවා.

ඉතින් එදා ඔය විදිහට රජතුමා වීථි සංචාරය කරද්දී එක්තරා නිවසක සඳළුතලයේ හිටපු දුප්පත් කාන්තාවක් හරි ආසාවෙන් මෙය බලාගෙන හිටියා. අහම්බෙන් වගේ රජතුමාට මේ කාන්තාව දකින්නට ලැබුනා. ඈ හරිම ලස්සනයි. රන්වන් පාටයි. නිල් පාට ඇස් දෙකක් තිබුනේ. ලස්සන කෙස් කළඹක් තිබුනා. කොඳ කැකුළු වැනි දත් පෙළ විදහා හිනහා වුනා. රජ්ජුරුවන්ගේ හිත කැළඹිලා ගියා. රාගය ඇවිස්සුනා. පිස්සු වැටුනා වගේ වුනා. රජ්ජුරුවෝ ඉක්මනින් වීථි සංචාරය අවසන් කළා. මාළිගයට ආවා. ඇවිදින් විශ්වාසවන්ත ඇමතියෙකුට කතා කළා.

“ඒයි යහළුවා, මේ කතාව ආයෙ කටින් පිටකරනවා එහෙම නොවෙයි. නුඹට මතකද වීථි සංචාරය කරද්දී අර පෙරදිග වීදියේ අසවල් තැන උඩු මහලේ එක්තරා ස්ත්‍රියක් මං දිහා බලාගෙන හිටියා.”

“දේවයන් වහන්ස, මොකෝ මතක නැත්තේ? එවෙලෙ ඉඳලා තමුන්නාන්සේ වෙනස්වුනා නෙව. තමුන්නාන්සේගේ ඇල්ම බැල්ම කතා බහ හැම දෙයක්ම හිරිවැටිලා ගියා වගේ වුනා නෙව.”

“ඒයි යහළුවා, ඒක ඇත්ත. මං පිස්සු වැටුනා. හැබෑටම ඔය ස්ත්‍රිය කවුද?”

“දේවයන් වහන්ස, ඇය කන්‍යාවක් නොවෙයි. ඇය ගැහැණියක්. ඇයට ස්වාමියෙක් ඉන්නවා. බොහොම දුප්පත් පවුලක්. කරදරයක් නැතුව පාඩුවේ ඉන්න පිරිසක්.”

එතකොට රජතුමා කල්පනාවට වැටුනා.

“ම්…. ම්… එහෙමද? එහෙමනම් ඒකි බැඳපු එකියක් ඈ…. ඒකට මොකෝ? මං තමයි මේ රටේ රජා. මගේ ආනුභාවයට සියලු දෙනා යටත් විය යුතුයි. නමුත් ස්වාමියා ඉන්දැද්දී මෙයාව ගෙන්නගන්න එක හරි නෑ. කණවැන්ඳුම් කරවන්නට ඕන. ස්වාමියාව මරවලා දමන්නට ඕන. එතකොට මාළිගාවට ගෙන්න ගන්න එක සුළු දෙයක්.”

රජතුමා අර ස්වාමියාට පණිවිඩයක් යැව්වා. ඒ ස්වාමියා බියෙන් බියෙන් රජු ඉදිරියට ආවා.

“එම්බා පුරුෂය, නුඹට මහා සතුටකට කාරණාවක් තියෙනවා. නුඹේ වාසනාව මතුවුනා. මං අද ඉඳලා රජවාසලේ සේවයට නුඹව කැඳවගන්නවා.”

“අනේ දේවයන් වහන්ස, ගැත්තාට අනුකම්පා කරන සේක්වා! මං බොහොම අහිංසකව නිදහසේ කුලී වැඩ කරලා ජීවත් වෙන කෙනෙක්. ඔබවහන්සේට යම් බදු ගෙවීමක් කරන්නට තියෙනවා නම් මං ඒ සෑම දෙයක්ම ඉෂ්ට කරන්නම්. ඔබවහන්සේගේ අනුකම්පාවෙන් මගේ පරණ රස්සාව කරගෙන යන්න අවසර දෙන සේක්වා!”

“නැත…. නැත…. පුරුෂය, මට නුඹගෙන් කිසි බදු අයකිරීමක් අවශ්‍ය නැත. නුඹේ යහපත්කම ගැනයි මං පැහැදුනේ. ඒ නිසා නුඹ ඔය කුලී වැඩ කළ යුතු නෑ. හොඳයි! හෙට ඉඳලා රාජකාරියට වරෙන්.”

දැන් අර පුද්ගලයා ඉතාමත්ම භක්තිමත්ව රජවාසලට සේවය පිණිස යනවා. ටික දවසකින් රජතුමා අර තැනැත්තා ඇමතුවා.

“එම්බා පුරුෂය, මට හදිසියේම කඩුපුල් මලුයි ලා සුදු පැහැයේ මැටියි අවශ්‍ය වෙලා තියෙනවා. හවසට මං නාන වෙලාවට ඒවා අරගෙන එන්න ඕන. දැන්මම පිටත්විය යුතුයි. මෙයින් යොදුනක් දුරින් තමයි ඒවා තියෙන්නේ. හැබැයි නාවොත් වැඩවරදියි!”

අර පුද්ගලයා හොඳටම බය වුනා. හනිකට ගෙදර දිව්වා. මරණභයෙන් වෙව්ල වෙව්ල කියන්න ගත්තා.

“සොඳුරිය, ඉක්මනින්ම බත්මුලක් බැඳලා දෙන්න.”

“හිමියනි, තාම බත් ලිපේ. බත ඉදෙනකම් ඉන්න.”

“අපොයි! කොහොම ඉන්නද? පැය කීපයයි තියෙන්නේ. ඔය තියෙන දෙයක් ඉක්මනින් බැඳලා දෙන්න. මට වෙලාවට එන්න බැරිවුනොත් මං ගැන ඔයා බලාපොරොත්තු තියාගන්න එපා!”

බිරිඳ ඉක්මනින්ම බාගෙට තැම්බුණු බත් දාලා බත්මුලක් හැදුවා. මේ තැනැත්තා බත්මුලත් අරගෙන දුවන්න පටන්ගත්තා.

“අයියෝ! කඩුපුල් මල්! ලා සුදු පාට අරුණුවන් මැටි! හප්පේ…. මේවා තියෙන්නේ නාග ලෝකෙ නෙව. මං මේවා කොහෙන් ගේන්නද?”

ඔය විදිහට හිත හිතා යද්දී අතරමගදී අසරණ කෙනෙක් හම්බවුනා. ඔහු බඩගින්නේ හිටිය කෙනෙක්. තමන්ගේ බත්මුලෙන් කොටසක් ඔහුට කන්න දුන්නා. දැන් මෙයාට බත් කන්න සිහියක් නෑ. නමුත් කටක් දෙකක් කෑවා. ඉතුරු බත්ටික මාළුන්ට දැම්මා. මෙයා ගඟ ළඟට ගිහින් මාළුන්ට බත් දාලා අහස දිහා බලාගෙන කෑ ගහලා මෙහෙම කිව්වා.

“අනේ….! මේ ගඟ ඇසුරෙන් අධිගෘහිත නාගයෝ ඉන්නවා නම්, දෙවියෝ ඉන්නවා නම් මාගේ වචනය අහන්න. රජ්ජුරුවෝ මට අණ කළා. කඩුපුල් මල් ගේන්නලු! අරුණුවන් මැටි ගෙන්නලු! අනේ…. දෙවිවරුනේ, මං දැන් කුසගිනි ඇති මනුස්සයෙකුට බත් කන්න දුන්නා. මාළුන්ට බත් දුන්නා. මිනිහෙකුට කෑම දුන්නොත් දහස් ගුණයක අනුසස් තියෙනවා. සතෙකුට කෑම දුන්නොත් සිය ගුණයක අනුසස් තියෙනවා. ඒ සියලු පින් මං තමුන්නාන්සේලාට පූජා කරනවා. අනේ මට කඩුපුල් මලුයි, අරුණුවන් මැටියි ලැබෙන පිළිවෙලක් සලස්වන සේක්වා!”

කඳුළු වගුරුවමින් මේ අසරණ මිනිසා කෑ ගසා කියූ දෙය එම ප්‍රදේශයේ හිටපු නාගරාජයෙකුට ඇසුනා. එතකොට ඔහු සීයා කෙනෙකුගේ වේශයෙන් එතනට ආවා. ඇවිත් මෙයාගෙන් විස්තරය ඇහුවා.

“එහෙමනම් තමුසේ මට ඔය පින දෙනවාද? මං කඩුපුල් මලුයි අරුණුවන් මැටියි දෙන්නම්.”

“අනේ සීයේ, මං තමුන්නාන්සේට මේ පින දෙනවා දෙනවාමයි. මගේ මොකක්දෝ වාසනාවකටයි සීයා මුණගැහුනේ.”

එතකොට ඒ සීයා වේශයෙන් හිටපු නාගරාජයා අර මනුස්සයාට කඩපුල් මලුයි අරුණුවන් මැටියි දුන්නා.

ඔය අතරේ කොසොල් රජ්ජුරුවෝ මෙහෙම කල්පනා කරනවා. “මිනිස්සු කියන්නේ අමුතුම සත්ව කොට්ඨාශයක්. මිනිස්සුන්ගේ කට්ට කයිරාටිකකම් හොයාගන්න එක ලේසි නෑ. ඔය පුද්ගලයා කොයියම්ම ක්‍රමේකින් හරි ඉල්ලපු දේවල් හොයාගෙන ආවොත් මගේ වැඩේ හරියන්නේ නෑ” කියලා වේලාසනින් දොරටුව වැස්සෙව්වා.

එතකොට අර මනුස්සයා හරියටම නාන වෙලාවට දුවගෙන ආවා. නමුත් වැඩේ හරිගියේ නෑ. දොර වහලා. ඔහු කෑ ගහලා කිව්වා “එම්බල දොරටුපාලය, මං රාජපුරුෂයෙක්. මං රාජකාරියකට ගියේ. වහාම දොර ඇරපන්. මේක රජ්ජුරුවන්ගේ අවශ්‍යතාවයක්.”

නමුත් දොරටුපාලයෝ දොර ඇරියේ නෑ. එතකොට ඔහු ඒ දොරටුව ළඟ අරුණුවන් මැටි මත කඩුපුල් මල් තියලා නගරවාසීන්ට කෑ ගහලා කිව්වා,

“අනේ….! නගර වැසියනේ…. බලාපල්ලා…. මං ඔන්න රාජ අණ ඉෂ්ට කළා. රජ අණ කැඩුවේ නෑ. හැබැයි රජතුමා මට අච්චු කළොත් ඒ කරන්නේ නිස්කාරණේ මිසක් සාධාරණව නෙවෙයි” කියල.

ඔහු තනියෙන් හිතන්න ගත්තා. “දැන් මං කොහෙද යන්නේ? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා මෘදු හදවතින් යුක්තයි. ඒ නිසා මං ඒ භික්ෂූන් වහන්සේලා ඉන්න තැනකට යනවා. ඔවුන් හැර මට වෙන පිළිසරණක් නෑ” කියල භික්ෂූන් වහන්සේලා වැඩසිටින ආවාසයකට ගියා.

රජතුමාට මතක් වෙන්නේම අර ස්ත්‍රියයි. රාගයෙන් දැවි දැවී ඉන්නවා. “ඔව්…! හෙට උදේ උන්දෑ ඉවරයි. ඊට පස්සේ ඒ ලස්සන කාන්තාව ඉන්නෙ කොහේද? වෙන කොහේද ඉතින් මං ළඟ මිසක්කා.”

එදා රෑ රජ්ජුරුවන්ට නින්ද ගියේ නෑ. රාජ යහනේ එහා මෙහා පෙරලි පෙරලී කාම ගින්නෙන් දැවි දැවී නින්දක් නැතුව ඉන්න කොට එක පාරට ම අමුතු නිශ්ශබ්දතාවයක් ඇතිවුනා. ඊට පස්සේ භයානක හඬින් ශබ්ද හතරක් ඇසුනා. “දු …….. ස ………. න ………….. සෝ ………..” කියන මේ අමුතු සද්දය ඇහෙන කොට රජතුමා උඩ විසිවුනා. ඇස් ලොකු වුනා. දහඩිය දෑවා. ගැහෙන්න පටන්ගත්තා. ඇඳේ වාඩිවෙලා, බිරාන්තවෙලා කල්පනා කරන්න ගත්තා.

“හප්පේ….. මහා භයංකාර සද්දයක්. මුළු මාලිගයම වෙව්ලුං කෑවා. ජනපදයම වෙව්ලුං කෑවා. මොකක්ද හැබෑවටම ඒ සද්දේ…? භූතයෙක්වත්ද?”

රජතුමාගේ රාගය කොහෙන් ගියාද නෑ. එළිවෙනකම් නින්දක් නෑ. පහුවදා පුරෝහිත බමුණන් කැඳෙව්වා. ඒ සද්දය මොකක්ද කියලා විමසුවා. පුරෝහිත බමුණා නිමිති බැලුවා. බලලා මෙහෙම කිව්වා.

“දේවයන් වහන්ස, මහා භයානක කාලයක් එනවා. නව ග්‍රහයොම කිපිලා. මහා ඒරාෂ්ටකයක් ලබලා තියෙන්නේ. මේකෙන් නම් ගැලවෙන එක ලේසි නෑ. අනතුර තියෙන්නේ තමුන්නාන්සේටමයි.” රජතුමා තවත් බයවුනා.

“අහෝ….! ආචාර්යෝත්තමයාණන් වහන්ස, එතකොට මේ වේදයට අනුව මට පිහිටක් නැද්ද?”

ඒ වෙලාවේ පුරෝහිත බමුණා නළල රැළි නංවා බරපතල විදිහට කල්පනා කළා. දිව පටලෝ පටලෝ කෙඳිරි ගෑවා. ජටා මඬුළු අතගෑවා. විසඳුමක් හම්බවුනා වගේ ගාම්භීර විදිහට කිව්වා.

“මහ රජ්ජුරුවන් වහන්ස, අපගේ උතුම් වූ මේ වේදයේ විසඳුම් නැත්නම් ආයෙ ලෝකයේ විසඳුම් නැත! එනිසා අපේ මේ නැකත්, තරු ආදිය පිහිටා තියෙන පිළිවෙල බැලුවාම අගේට පෙන්නුම් කරනවා. මහ රජ්ජුරුවන් වහන්ස, විසඳුමක් තියෙනවාමයි. හැබැයි සෑහෙන ධන ධාන්‍ය කැප කරන්න වේවි. මහා යාගයක් කළ යුතුයි! මේ යාගයට කියන්නේ ‘සර්වසියය’ කියලයි. ඒ කියන්නේ රජ්ජුරුවන් වහන්ස, මේකට ගන්න ඕන ඇත්තු සීයක්. අස්පයෝ සීයක්. ගවනාම්බෝ සීයක්. ගවදෙන්නු සීයක්. බූරුවෝ සීයක්. එළුවෝ සීයක්. කුකුලෝ සීයක්. ඌරෝ සීයක්. දරුවන් සීයක්. දැරියන් සීයක්. ඒ සියලු දෙනාම එකම නැකතට මරන්න ඕන.”

රජ්ජුරුවෝ වහාම ඇමති මණ්ඩලය රැස්කළා. තීරණය දැනුම් දුන්නා.

“දැන් තමුසෙලා වහාම, කිසිසේත් ප්‍රමාද නොකොට මේ සෑම යාග උපකරණයක්ම රැස්කළ යුතුයි. රජු රැකුනොත් රට රැකෙන බව දත යුතුයි.”

එතකොට තමන්ගේ දූදරුවන් යාගය පිණිස මරන්න එකතුකරද්දී මිනිසුන් අතර මහා දුක් අඳෝනාවක්, මහා වැළපීමක් හටගත්තා. මුහුදුරළ ඝෝෂාවක් වගේ ඒ ශෝකී ස්වරය දෝංකාර දුන්නා.

රජතුමා හැම දෙයක්ම එපා වුනා වගේ මූණ එල්ලගෙන බර කල්පනාවක හිටියා. මල්ලිකා බිසව රජතුමාගෙන් විමසුවා.

“මහා රජාණෙනි, තමුන්නාන්සේට මොකද මේ…? මූණකට මැළවිලා. සුදුමැලිවෙලා. කලන්තේ වගේ. මොකද වුනේ?”

“මොකද වුනේ…..? එම්බා මල්ලිකා, නුඹ මොකවත් දන් නෑ නේ. පේන්නැද්ද? මගේ කණ ළඟටම ඝෝර විෂ ඇති සර්පයෙක් ඇවිදින් ඉන්න බව. ඊයෙ රෑ මාළිගයත් ජනපදයත් මුළුමහත් ආකාසෙත් දෙදුරුම්කාගෙන ආපු සද්දෙ නුඹට ඇහුනෙ නැද්ද? අනේ හැබෑට, නුඹට කිසි වගක් නැති හැටි!”

“මහරජතුමනි, මේ… මොකද මෙතරම් සත්තු රැස් කරන්නේ. මහා ඝෝෂාවක් නෙව. මිනිස්සුත් කෑ ගහනවා. වැළපෙනවා. මොකක්ද මේ වෙලා තියෙන්නේ?”

“මල්ලිකා, මට භයානක ඒරාෂ්ටකයක් ලබලා තියෙනවා. ගිරහයෝ නව දෙනාම කුලප්පුවෙලා. උන්දැලාව සතුටු කරන්න තියෙන්නේ මහානුභාව සම්පන්න යාගයක් කරලා විතරයි. ඒක නෙව ඔය සූදානම් කරන්නේ……. මගේ මේ ජීවිතයේ වටිනාකම ඔය වගේ සතුන් කීප දෙනෙක් මැරුනා කියලා සංසන්දනය කරන්න පුළුවන්ද?”

මල්ලිකා දේවියට බලවත් දුකක් ඇතිවුනා. මල්ලිකා දේවිය ඉක්මනින්ම තම ශාස්තෘන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට ගියා. ගිහින් මේ සියල්ල සැළකළා.

“අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මේ මිත්‍යා විශ්වාස නිසා බොහෝ දෙනෙකුගේ ලෙයින් රාජාංගනය තෙමිලා විශාල පවක් රැස්වෙන්නයි යන්නේ. අනේ ස්වාමීනී, මෙයට පිළිසරණ වන සේක්වා!”

බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමා මුණගැසුනා. මුණගැසිලා රජතුමාට වදාළා.

“පින්වත් මහරජ, මේ සද්දය භයානක හඬක් බව හැබෑව. නමුත් එය ඔබට අදාළ නැහැ. රට වැසියන්ට අනතුරකුත් නැහැ. ඔබට අනතුරකුත් නැහැ. මෙය වෙනත් දෙයක්.

ගොඩාක් ඉස්සර කාලෙක කාශ්‍යප නමින් බුදුරජාණන් වහන්සේ නමක් වැඩසිටියා. ඒ කාලෙ බරණැස් නුවර යහළු සිටුවරු කිහිප දෙනෙක් හිටියා. දවසක් ඔවුන් රැස්වෙලා කතාබස් කළා.

Dhammapadaya-05-01“දැන් අපට ඕන තරම් සල්ලි තියෙනවා. අපි මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ නමක් පහල වෙලා ඉන්නවා. අපි හොඳට දන්දෙමු. සිල් රකිමු. පුද පූජාවන් පවත්වමු.”

එතකොට තව එක්කෙනෙක් මෙහෙම කිව්වා. “හනේ….. හනේ…. ඔහේට පිස්සුද? ධනය තියෙන්නේ ඕකටද? මස් මාළු අරක්කු ආදිය තියෙන්නේ වේලෙන්න දාන්නද? ඒව ගන්න තමයි සල්ලි තියනේනේ. හොඳට කාලා බීලා ඉම්මු.”

තව කෙනෙක් මෙහෙම කිව්වා. “සල්ලි තියෙනවා නම් මොනවද නැත්තේ? ඇයි කෑම බීම විතරද ඕන? සල්ලි තියෙනවා නම් ගෑණුත් ඕන තරම් ඉන්නවා. ඒ නිසා මේ…… ඔය විකාර කතා නොකර ඉන්න ටික දොහේ ජීවිතයේ උපරිම ප්‍රයෝජනය ගනිමු.”

ඉතින් මේ අය හැම සතයක්ම වියදම් කළා. කෑවා බිව්වා. ස්ත්‍රී දූෂණයේ යෙදුනා. පවුල් කඩාකප්පල් කළා. මරණින් මතු නිරයේ උපන්නා. මේ දිනවල ඔවුන් ඉන්නේ ලෝකුඹු නිරයේ ඉපදිලා. වර්ෂ දහස් ගණනක් ගතවුනා. ඒ බුදු සසුන තියෙන කාලෙ මනුස්සයින්ගේ ආයුෂ අවුරුදු විසිදාහයි. දැන් වැඩිම වුනොත් අවුරුදු සියයයි. නැත්නම් එකසිය විස්සයි. මෙතෙක් ආයුෂ අඩුවෙන තුරුම ඔවුන් නිරයේ. ඉතින් මේ හතර දෙනා ලෝකුඹු නිරයෙන් උඩට මතුවුනා. ඒ වෙලාවේ ගාථාවක් කියන්න මහන්සි ගත්තා. ඒ අයට කියන්න පුළුවන් වුනේ එක අක්ෂරයයි. මහරජතුමනි, ඔබට ඉස්සෙල්ලාම ඇහුනේ මොකක්ද?”

“ස්වාමීනී, මට ඉස්සෙල්ලාම ඇහුනේ ‘දු’යන්න.”

“මහරජතුමනි, එයාට කියන්න ඕන වුනේ මෙන්න මේ ගාථාවයි.

දුජ්ජීවිතං අජීවිම්හ – යේ සන්තේ න දදම්හසේ
විජ්ජමානේසු භෝගේසු – දීපං නාකම්ම අත්තනෝ

අපට දන් දෙන්න ඕන තරම් දේවල් තිබුනා. නමුත් පින් කරගත්තේ නෑ. දුස්සීල ජීවිතයක් ගෙව්වේ. භෝග සම්පත් තියෙද්දී තමන්ට පිහිටක් කරගත්තේ නෑ.

“මහරජතුමනි, ඔබට ඊළඟට ඇහුනේ මොකක්ද?”

“ස්වාමීනී, මට ඇහුනේ ‘ස’ යන්න.”

“මහරජතුමනි, අනිත් එක්කෙනාට කියන්න ඕන වුනේ මෙන්න මේ ගාථාවයි.

සට්ඨි වස්ස සහස්සානි – පරිපුණ්ණානි සබ්බසෝ
නිරයේ පච්චමානානං – කදා අන්තො භවිස්සති

දැන් නිරයේ පැහෙන්න අරගෙන සම්පූර්ණයෙන්ම අවුරුදු හැටදහසක් පිරුනා. අයියෝ…. මේ දුක අවසන් වෙන්නේ කවදාද?

“මහරජතුමනි, ඔබට ඊළඟට ඇහුනේ මොකක්ද?”

“ස්වාමීනී, මට ඇහුනේ ‘න’ යන්න.”

“මහරජතුමනි, ඊළඟ එක්කෙනාට කියන්න ඕන වුනේ මෙන්න මේ ගාථාවයි.

නත්ථි අන්තෝ කුතෝ අන්තෝ – න අන්තෝ පටිදිස්සති
තදා හි පකතං පාපං – මම තුය්හඤ් ච මාරිසා

අනේ දෙවියනේ….. නුඹත් මාත් යම් දවසක බොහෝ පව් කළානේ. මේ විපාකවල ඉවරයක් නෑ. කවද්ද ඉවර වෙන්නේ? මේකෙ ඉවරයක් නම් පෙනෙන්නෙ නෑ.

“මහරජතුමනි, ඔබට ඊළඟට ඇහුනේ මොකක්ද?”

“ස්වාමීනී, මට ඇහුනේ ‘සෝ‘ යන්න.”

“මහරජතුමනි, හතරවැනියාට කියන්න ඕන වුනේ මෙන්න මේ ගාථාවයි.

සෝ’හං නූන ඉතෝ ගන්ත්වා – යෝනිං ලද්ධාන මානුසිං
වදඤ්ඤූ සීලසම්පන්නෝ – කාහාමි කුසලං බහුං

අනේ මං මෙතනින් බේරිලා ගිහින් මට ආයෙමත් මනුස්ස ජීවිතයක් ලැබුනොත් මං ළඟට ඇවිත් යමෙක් යමක් ඉල්ලනවා නම් ඒ ඉල්ලීමට සුදුස්සෙක් වෙනවා. සිල්වත් වෙනවා. බොහෝ කුසල් කරනවා.

“මහරජතුමනි, ඕක තමයි ඔය ශබ්ද හතරේ තේරුම. ඔවුන්ට සම්පූර්ණයෙන්ම කියාගන්නට ලැබුනේ නෑ.”

රජ්ජුරුවන්ට හීන් දාඩිය දැම්මා. “හප්පේ….! එතකොට අනුන්ගේ කාන්තාවන් සේවනය කිරීම මහා බරපතල දෙයක් නෙව. එක බුද්ධාන්තර කල්පයකුත් ගෙවිලා තවම අවසන් වෙලා නැහැ නෙව” කියල හිතලා බුදුරජාණන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, මට මේ රාත්‍රිය පුදුමාකාර දීර්ඝ රාත්‍රියක්.”

එතකොට අර කඩුපුල් මල් ගෙනාපු පුද්ගලයත් සෙනඟ අතර හිටියා. ඔහු පැත්තකින් වැඳගෙන මෙහෙම කියනවා.

“අපේ මහරජ්ජුරුවන් වහන්සේට රැය ඉතාම දීර්ඝයි. මටත් ඒ වගේමයි. මේ යොදුනක දුර මොනතරම් දුරක්ද කියලා තේරුනේ ඊයෙ තමයි.”

එතකොට බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළා.

දීඝා ජාගරතෝ රත්ති – දීඝං සන්තස්ස යෝජනං
දීඝෝ බාලානං සංසාරෝ – සද්ධම්මං අවිජානතං

නොනිදා නිදි වරනා විට – දිගු වෙයි ඒ රැය ඔහු හට
වෙහෙසින් ගමනක් යන විට – යොදුනත් දිගමයි ඔහු හට
සදහම් නොදකින කෙනාට – අසත්පුරුෂ බාලයාට
යන විට උපතින් උපතට – සසරත් දිගමයි ඔහුහට

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ සිද්ධියෙන් ඔබට තේරෙනවා ඇති සසර ගමන කොතරම් බරපතලද කියලා. අපි හිතන තරම් ලස්සන ගමනක් නෙවෙයි. වැඩිපුර අපට ලැබෙන්නේ සත්පුරුෂ ආශ්‍රය නොවෙයි. අසත්පුරුෂ ආශ්‍රයයි. දැක්කනේ, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙ පාප මිත්‍ර ආශ්‍රයෙන් වෙච්ච දේ. කෙනෙකුට ඕන වුනා පින් කරගන්න. සිල් රකින්නත් ඕන වුනා. දන් දෙන්නත් ඕන වුනා. නමුත් අසත්පුරුෂ බාලයන්ගේ බහට හසුවුනු යහපත් පුද්ගලයන් පවා විනාශ වුනා. නිරයේ වැටිලා දුක් විඳින කොට අරයා කිව්වා, මෙයා කිව්වා කියලා බේරෙන්න බැහැ නෙව.

මේ සත්‍ය තත්වය අපි තේරුම් ගන්නට ඕන. ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, එදා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව විස්තර කොට චතුරාර්ය සත්‍යය වදාළා. අර කඩුපුල් මල් ගෙනාපු පුද්ගලයා එම ආසනයේදීම සෝවාන් ඵලයට පත්වුනා. සතර අපායෙන් සදහටම අත්මිදුනා. රජතුමා හොඳටම පැහැදුනා. අඥාන පුරෝහිතයන්ගේ ආකාසේ ඉන්න නවග්‍රහයන් ගැන කළකිරුනා. යාගය වහාම නැවැත්තුවා. සියලු සතුන් නිදහස් කෙරෙව්වා. හොඳට සංග්‍රහ කරලා පිටත් කළා. ඒ වගේම රජතුමා මල්ලිකා දේවියට බොහොම පින් දුන්නා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

ධර්මය මිස හිත විශ්වාස කරන්න එපා…

$
0
0
dharmaya-misa-hita-viswasa-karanna-epa

dharmaya-misa-hita-viswasa-karanna-epa

බුදුරාජාණන් වහන්සේ මේ සමාහිත සිත් ඇති කර ගන්න කිව්වේ පංච උපාදාන ස්කන්ධයේ හටගැනීමත් නැතිවීමත් අවබෝධ කිරීමටයි. අපි රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියන පංච උපාදාන ස්කන්ධ ඉගෙන ගෙන තියෙනවා. නමුත් (අභිනන්දති) ඒවා සතුටින් පිළි ගන්නවා. (අභිවදති) ගුණ කියනවා. (අජ්ඣෝසාය තිට්ඨති) බැසගන්නවා. ඒ මොනවද පිළිගන්නේ? පංච උපාදාන ස්කන්ධය. මොනවාගේද ගුණ කියන්නේ? පංච උපාදාන ස්කන්ධයේ. මොකකද බැසගන්නේ? ඒත් පංච උපාදාන ස්කන්ධයේමයි.

පංච උපාදාන ස්කන්ධය කියන්නෙ මොකක්ද? දුක. එහෙම නම් එයා සතුටින් පිළිගත්තෙ මොකක්ද? දුක. ගුණ වර්ණනා කළේ මොකේද? දුකේ. බැස ගත්තෙ මොකකද? දුකේ. බැසගත්තට පස්සේ ආශාව ඉපදුණා. ආශාව ඉපදුණේ මොකේටද? දුකට. ඊට පස්සෙ මොකද වුණේ? බැඳුණා. බැඳුණේ මොකේටද? දුකට. ඊට පස්සේ උපතක් කරා යන්නෙ කොහේද? දුක කරා.

බුදුරජාණන් වහන්සේ වදාළා මෙයා පංච උපාදාන ස්කන්ධයේ ඇත්ත තත්වය අවබෝධ කළාම පංච උපාදාන ස්කන්ධය පිළිගන්නෙ නෑ. එතකොට මොකක්ද එයා පිළිගන්නෙ නැත්තෙ? දුකයි පිළිගන්නෙ නැත්තේ. එයා දුක වර්ණනා කරන්නේ නෑ. එතකොට එයාගේ හිත පංච උපාදාන ස්කන්ධයේ බැසගන්නෙ නෑ. ඒ කියන්නෙ දුකේ හිත බැසගන්නෙ නෑ. පංච උපාදාන ස්කන්ධයේ බැසගන්නේ නැති නිසා කුමක් කෙරෙහි තිබුණු ආශාවද නිරුද්ධ වෙන්නේ? දුක කෙරෙහි තිබුණ ආශාවයි නිරුද්ධ වෙන්නේ. නිරුද්ධ වෙච්ච ගමන් ඒ බන්ධනය නිරුද්ධ වෙනවා. එහෙම නම් දුකට බැඳෙන්නෙ නෑ. එයා දුකට බැඳෙන්නෙ නැත්නම්, දුක කරා යන්නෙත් නෑ. එයා දුකෙන් නිදහස් වෙනවා. ඒක තමයි ආර්ය විමුක්තිය.

දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවල්. ඉස්සරවෙලාම එයා මොකක්ද කරන්න ඕන? සීල සංවරයට පැමිණෙනවා. පැමිණිලා ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන, හැම ඉරියව්වකම සිහිය පවත්වාගෙන සමාධිය දියුණු කරනවා. එතකොට ඒක චතුරාර්ය සත්‍යය අවබෝධය ඉලක්ක කරපු එකක්. ආර්ය සමාධිය, සම්මා දිට්ඨිය තියෙන කෙනාට පුළුවන් මේක බොහොම ලස්සනට නිරවුල් කර ගන්න.

ඊට පස්සෙ එයා කරන්නේ මේ ආර්ය සමාධිය තුළ තවදුරටත් දියුණු කරන්නෙ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන එකමයි. ඒක නේද මේ කතා කළේ? ප‍්‍රඥාව හැටියට පංච උපාදානස්කන්ධ දුක ගැනයි මේ අපි කතා කළේ. එහෙනම් එයා අවබෝධ කරගන්න ඕන මෙහෙමයි. මේ දුක ආර්ය සත්‍යයක්. මේ තණ්හාව ආර්ය සත්‍යයක්, මේකෙන් තමයි ඉස්සරහට තල්ලූ කර කර ගෙනියන්නේ. තණ්හාව නැත්නම් දුකෙන් නිදහස් වෙනවා. ඒ තණ්හාව නැතිවීම ආර්ය සත්‍යයක්. මේකෙන් නිදහස් වීම සඳහා මේක තමයි තිබෙන වැඩපිළිවෙල තමයි ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප‍්‍රඥාව ඇතිකර ගැනීම. ඒ ප‍්‍රතිපදාවත් ආර්ය සත්‍යයක්.

දැන් මේ විදිහට පංච උපාදාන ස්කන්ධයේ ඇති වීමත්, නැතිවීමත් අවබෝධ කරන කොට එයා තුළ ගොඩනැගෙන ප‍්‍රඥාව ආර්ය ප‍්‍රඥාවයි. පංච උපාදානස්කන්ධයේ නැතිවීම සාක්ෂාත් කරන කොට එයා තණ්හාවෙන් නිදහස් වෙනවා. ඒක තමයි ආර්ය විමුක්තිය. එතකොට එයා දුකෙන් නිදහස් වෙනවා. ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප‍්‍රඥා, ආර්ය විමුක්ති කියන මේ කරුණු ටික අපි හොඳට බුද්ධියෙන්, කල්පනාවෙන්, කැපවීමෙන්, වීරියෙන් දියුණු කරනවා නම් මේ කරා යන්නට අපට බැරි වෙන්නෙ නෑ.
හැබැයි අපි මේ ඉලක්කයට යාම පිණිස දශමයෙන් දශමය හරි සකස් වෙන්න ඕන. දවසක් පුතෙක් ඇවිල්ල කිව්වා මම මේ ධර්ම මාර්ගයට පැමිණෙනවා. මට හිත විශ්වාසයි. මං කිව්වා ‘පුතා නරක දේ නේ විශ්වාස කළේ. මේ හිත විතරක් විශ්වාස කරන්න එපා’ කියලා. මේ හොඳට තියෙන හිත නොමග යන තැන තමන්වත් දන්නෙ නෑ. හිත නෙමෙයි විශ්වාස කරන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය විශ්වාස කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි සම්පූර්ණ කරන්න ඕන.

මං උපමාවක් කිව්වා. කෙනෙකුට ඕන මුහුදට යන්න. එයාට වෙන පාරක් නෑ. හැබැයි ගංගාවක් තියෙනවා. ඒක තියෙන්නෙ කෙලින්ම මුහුද කරා යන්න. එතකොට එයා ගඟට පනින්න ඕන. එතකොට කෙලින් ම මුහුදේ. ඒකට හේතුව මොකක්ද? ගඟ යන්නේ මුහුදට. මේ වගේ කෙනෙකුට ඕන විමුක්තිය නම්, ඒ විමුක්තිය ඕන කෙනා කරන්න ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීමයි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය විසින් එයාව නිවන කරා එක්කන් යනවා. මේක තමයි මේ ධර්මයේ බොහොම පැහැදිලිව තේරුම් ගත යුතු දේ.

බුදුරජාණන් වහන්සේ මේ බව ඉතාම පැහැදිලිව පෙන්නල දීලා තියෙනවා. ඔන්න ලොකු, පළල් ගංගාවක් තිබෙනවා. මේ ගංගාවෙන් එතෙර වෙන්න පාලමක් නෑ. බෝට්ටු සේවයක්, නැව් සේවයක්, ඔරු පාරු සේවයක් නෑ. ගංගාවෙන් එතෙර වෙන්නත් ඕන. මෙතෙර භයානකයි. දැන් එයා ගඟ දිහා බලාගෙන මෙතෙර ඉඳන් වැඳ ගන්නවා. වැඳගෙන එතෙර දිහා බලාගෙන කියනවා, “පින්වත් එතෙර, මෙතෙර පැමිණෙත්වා” කියලා. පැමිණෙයිද? එහෙම එකක් නෑ. ලංකාවේ මිනිස්සුන්ගේ නිවන පැතිල්ලත් අන්න ඒ වගේ එකක්.

ගඟෙන් එතෙරවෙන්න පාලමක් නෑ. බෝට්ටු සේවයක් නෑ. ඔරු පාරු සේවයක් නෑ. දැන් මොකද කරන්නෙ? ලී දඬු කෑලි හොයල, ශක්ති සම්පන්න පහුරක් හදාගන්නවා. හදාගෙන ඒ පහුර වතුරට දාලා වීරියෙන්ම ඒ පහුර අරගෙන යන්න ඕන. එහෙනම් පහුර අරගෙන යන්න තියෙන්නෙ අතේ පයේ වීරියෙන්මයි. එතකොට එයාට ගංගාවෙන් එතෙර වෙන්න පුළුවන් වෙනවා. මෙන්න මේ වගේ තමයි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් එතෙරට යන්නෙ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් මයි.
ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති පහුරෙන්, කාමය කියන ගංගාව එයා වීරියෙන් තරණය කරනවා. එයා උපතක් කරා යාම කියන වේගවත් සැඩ පහර සහිත ගංගාව තරණය කරනවා. අවිද්‍යාව කියන ගංගාව තරණය කරනවා. එයා අමා මහ නිවන කියන දූපතට ගොඩ වෙනවා. එයා සංසාරෙන් අත්මිදෙනවා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්
සදහම් වැඩසටහන් වලදී පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සකස් කළ
මමත් සිත සමාහිත කරමි බුදු සමිඳුනේ…’ සදහම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී

අසිරිමත් සම්බුදු උපත

$
0
0
Asirimath-sambudu-upata

Asirimath-sambudu-upata

බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් නොවන්න, මේ ලෝකයේ තිබෙන්නේ අන්ත දෙකයි. ඒ තමයි කාමසුඛල්ලිකානුයෝගී අන්තය සහ අත්තකිලමථානුයෝගී අන්තය. මේ අන්ත දෙකෙන් බැහැර වූ මධ්‍යම ප‍්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ලෝකයේ වෙන කිසිවෙකුටත් සොයා ගන්න ලැබෙන්නේ නෑ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ පමණයි මේ ලෝකයේ මාර්ගඵල ලාභීන් පහළ වුණේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළමයි, ලෝක සත්වයා සංසාරයෙන් එතෙර වුණේ. භව සයුර තරණය කළේ. නැත්තම් ලෝකයේ කිසිවෙකුට කිසි මගක් තොටක් නෑ.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය අතුරුදහන් කරපු ඉන්දියාවේ අදටත් විමුක්තිය සොයාගෙන කෝටි සංඛ්‍යාත පිරිස් අතරමං වී සිටින අයුරු අපට දැකගන්න ලැබෙනවා.

ඒ නිසයි බුදුරජාණන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීමේ ඇති දුර්ලභබව නොයෙක් අයුරින් දේශනා කළේ.

“(ඒකපුග්ගලෝ භික්ඛවේ ලෝකේ උප්පජ්ජමානෝ උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං. කතමෝ ඒකපුග්ගලෝ, තථාගතෝ අරහං සම්මාසම්බුද්ධෝ)
පින්වත් මහණෙනි, මේ ලෝකයෙහි බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකයා කෙරෙහි අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ට හිත සුව යහපත, සෙත ශාන්තිය පිණිස එකම එක පුද්ගලයෙක් පහළ වෙනවා. ඒ කවරෙක්ද යත්, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය.”

ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා,

“(ඒකපුග්ගලස්ස භික්ඛවේ පාතුභාවෝ දුල්ලභෝ ලෝකස්මිං. කතමස්ස ඒකපුග්ගලස්ස, තථාගතස්ස අරහතෝ සම්මාසම්බුද්ධස්ස.)
පින්වත් මහණෙනි, එක පුද්ගලයකුගේ පහළවීම මේ ලෝකයෙහි අතිශයින්ම දුර්ලභයි. ඒ කවර පුද්ගලයෙකුගේද යත්, තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේය.”

“(ඒකපුග්ගලෝ භික්ඛවේ ලෝකේ උප්පජ්ජමානෝ උප්පජ්ජති අච්ඡරියමනුස්සෝ.)
මහණෙනි, මේ ලෝකයෙහි ආශ්චර්ය වූ මනුෂ්‍යයෙක් උපදිනවා. ඒ කවරහුද යත්, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය.”

“(ඒකපුග්ගලස්ස භික්ඛවේ කාලකිරියා බහුනෝ ජනස්ස අනුතප්පා හෝති. කතමස්ස ඒකපුග්ගලස්ස, තථාගතස්ස අරහතෝ සම්මාසම්බුද්ධස්ස)
මහණෙනි, එක පුද්ගලයකුගේ කළුරිය කිරීම මේ ලෝකයාට බොහෝ ශෝකය, සන්තාපය උපදවන්නේ වේ. ඒ කවර පුද්ගලයෙකුගේ කළුරිය කිරීමද යත්, තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ කළුරිය කිරීමයි.”

ඒ මක්නිසාද යත්, බුදුරජාණන් වහන්සේගේ අභාවය යනු මේ ලෝකයාට නිවන් මග, යහපත පෙන්වා දෙන්නට තියෙන අවස්ථාව අහිමි වී යාමකි.

“(ඒකපුග්ගලෝ භික්ඛවේ ලෝකේ උප්පජ්ජමානෝ උප්පජ්ජති අදුතියෝ, අසහායෝ, අප්පටිමෝ, අප්පටිසමෝ, අප්පටිභාගෝ, අප්පටිපුග්ගලෝ, අසමෝ, අසමසමෝ, දිපදානං අග්ගෝ. කතමෝ ඒකපුග්ගලෝ, තථාගතෝ අරහං සම්මාසම්බුද්ධෝ)
”පින්වත් මහණෙනි, මේ ලෝකයේ එකම එක පුද්ගලයෙක් උපදිනවා. (අදුතියෝ) දෙවැන්නෙක් නෑ. (ඒ කියන්නේ තථාගතයන් වහන්සේ පිරිනිවන්පෑවට පස්සේ, එහෙම නැත්නම් වැඩසිටිද්දී වුණත් උන්වහන්සේ වෙනුවට කියලා ලෝකයේ තව කෙනෙක් නෑ. දෙවැන්නෙක් නෑ) ඊළඟට (අසහායෝ) බුදුරජාණන් වහන්සේ සමාන සහයකයෙක් නෑ. (අප්පටිමෝ) උන්වහන්සේට ප‍්‍රතිමල්ලවයෙක්, සමාන ප‍්‍රති පුද්ගලයෙක් නෑ. (අප්පටිභාගෝ) උන්වහන්සේ සමාන ප‍්‍රතිභාගී පුද්ගලයෙක් නෑ. (අසමෝ) බුදුරජාණන් වහන්සේ කවදාවත් ලෝකයේ සාමාන්‍ය අය සමඟ සමාන නෑ. (අසමසමෝ) නමුත් උන්වහන්සේ අසමවූවන් හා සම වන සේක. බුදුරජාණන් වහන්සේට සමාන වන්නේ තවත් බුදුරජාණන් වහන්සේ නමක් පමණයි. (දිපදානං අග්ගෝ) බුදුරජාණන් වහන්සේ දෙපා ඇත්තවුනට අග‍්‍ර වන සේක. (කතමෝ ඒක පුග්ගලෝ) ඒ කවර පුද්ගලයෙක්ද යත්, (තථාගතෝ අරහං සම්මාසම්බුද්ධෝ) තථාගත අරහත් සම්මාසම්බුදු රජාණන් වහන්සේය.”

මේ සියල්ල බුදුරජාණන් වහන්සේගේ වචනයි. බුදුරජාණන් වහන්සේ විසින්ම උන්වහන්සේව ලෝකයාට හඳුන්වා දුන් ආකාරයයි ඒ. බුදුරජාණන් වහන්සේ විසින් තමන් වහන්සේව ඒ විදිහට හඳුන්වා දුන්නේ නැත්නම්, බුදුරජාණන් වහන්සේ කියන්නේ මොන වගේ උත්තමයෙක්ද කියලා අපට දැනගන්න ලැබෙන්නේ නෑ.

ලෝක සත්වයාගේ ඒ නොදන්නා බව බුදුරජාණන් වහන්සේ දන්නා සේක. ඒ නිසයි උන්වහන්සේ බුදුකෙනෙකුගේ පහළවීමේ දුර්ලභබව නොයෙක් ආකාරයෙන් පෙන්වා දෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා,

“(ඒක පුග්ගලස්ස භික්ඛවේ පාතුභාවා, මහතෝ චක්ඛුස්ස පාතුභාවෝ හෝති, මහතෝ අලෝකස්ස පාතුභාවෝ හෝති, මහතෝ ඕභාසස්ස පාතුභාවෝ හෝති, ඡන්නං අනුත්තරියානං පාතුභාවෝ හෝති, චතුන්නං පටිසම්භිදානං සච්ඡිකිරියා හෝති, අනේකධාතුපටිවේධෝ හෝති, නානාධාතුපටිවේධෝ හෝති, විජ්ජාවිමුත්තිඵල සච්ඡිකිරියා හෝති, සෝතාපත්තිඵලසච්ඡිකිරියා හෝති, සකදාගාමිඵලසච්ඡිකිරියා හෝති, අනාගාමිඵලසච්ඡිකිරියා හෝති, අරහත්තඵලසච්ඡිකිරියා හෝති, කතමස්ස ඒකපුග්ගලස්ස, තථාගතස්ස අරහතෝ සම්මාසම්බුද්ධස්ස)
පින්වත් මහණෙනි, එකම පුද්ගලයකුගේ පහළ වීම (මහතෝ චක්බුස්ස පාතුභාවෝ

Viewing all 149 articles
Browse latest View live