Quantcast
Channel: Mahamevnawa Monastery
Viewing all 149 articles
Browse latest View live

සංසුන් ඉඳුරන් ඇති කරගනිමු

$
0
0
sansun-induran-eti-karaganimu

sansun-induran-eti-karaganimu

බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ කියවෙන මේ ‘සන්ත’ කියන වචනය හරි ගැඹුරුයි. ‘සන්ත’ කියන වචනය අපට එක එල්ලේ පරිවර්තනය කරන්න අමාරුයි. ‘සන්ත’ කියන වචනය සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මුනිවරුන්ට.

සන්තං තස්ස මනං හෝති
සන්තා වාචා ච කම්ම ච
සම්මදඤ්ඤා විමුත්තස්ස
උපසන්තස්ස තාදිනෝ

කියලා ගාථාවක් අපි අහලා තියෙනවානේ. එහි තේරුම තමයි, ශාන්ත වූ ඉඳුරන් ඇති, සම්‍යක් බවට පත් වූ, ඔහුගේ වදන් ද සන්ත වී ඇත. ඔහුගේ මනස ද සන්ත වී ඇත.

මේ ‘සන්ත’ කියන වචනය ඉන්දියාවේ අදටත් පාවිච්චි කරනවා. අද ‘සන්ත’ කියන වචනය සාධුවරුන්ට පාවිච්චි කරන නමක් වෙලා. නමුත් මේ ‘සන්ත’ කියන වචනය පළමුවෙන්ම භාවිතයට ගත්තේ බුදුරජාණන් වහන්සේ විසින්. ඒ නිකෙලෙස් පුද්ගලයාව හඳුන්වන්න. අපි ඒක ශාන්ත කියලා සිංහලට නගනවා. නමුත් මේ ‘සන්ත’ කියන වචනය අපට එක එල්ලේ තෝරන්න බෑ. එහෙම කිව්වේ මේකෙ හරි ගැඹුරු අර්ථයක් තියෙන නිසයි.

සන්ත’ කියලා කියන්නේ ජීවිත අවබෝධයක් ඇති කරගෙන, ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිපෙන්නේ නැති, ඇවිස්සෙන්නේ නැති, කැළඹෙන්නේ නැති, නිවී සැනසී ගිය ඉඳුරන් ඇති බවටයි. මේක තමයි ‘සන්ත’ කියන වචනයේ නියම අර්ථ දැක්වීම.

සාමාන්‍යයෙන් අපට තිබෙන ඇස, කණ, නාසය, දිව, කය, මනස කියන ඉඳුරන් ඇවිස්සෙන සුළුයි. කැළඹෙන සුළුයි. කිපෙන සුළුයි. අපේ මේ ඉඳුරන් හයම කිපෙනවා. කැළඹෙන සුළුයි. කිපෙන සුළුයි. ඇවිස්සෙන සුළුයි. මේවා කිපුණාම, කැළඹුණාම සතෙක් කිපුණාටත් වඩා දරුණුයි. අපි අහලා තියෙනවා, ඇතුන්ට මද කිපෙනවා කියලා. ඇතුන්ට මද කිපුණාම දම්වැල් දාලා හරි ගැට ගහන්න පුළුවන්. නමුත් මිනිසා කිපුණු විට ඔහුව දමනය කිරීම පහසු නැත.

මිනිසා එක එක අයුරින් කිපෙනවනේ. ලෝභයෙන් කිපෙනවා. ද්වේෂයෙන් කිපෙනවා. මෝහයෙන් කිපෙනවා. මේ විදිහට ඔහුගේ කිපෙන්නේ ඉඳුරන්. එහෙම නම් කිපෙන්නේ ඇස් දෙක, කණ් දෙක, නාසය, දිව, ශරීරය, මනසයි. සමහර අවස්ථාවලදී අපට කේන්ති ගියාම හරි අමාරුයිනේ. ඒ නිසානේ සමහර විට අපි ”අනේ මාව කේන්ති ගස්වන්න නම් එපා” කියලා කියන්නේ. එතකොට ඉඳුරන් කිපෙන දේ තියෙන්නේ ආධ්‍යාත්ම සංයෝජනයක් ලෙසයි. ඒ කියන්නේ ඇතුළත ඇති බන්ධනයන් ලෙසයි. එහෙම නම් ඉඳුරන් කිපෙන දේකින් ඇතුළ බැඳී තිබෙනවා. ඉඳුරන් කිපෙන දේකින් ඇතුළ බැඳී තිබුණාම, ඉඳුරන් කිපීම වේගයෙන් සිද්ධ වෙනවා. ඇවිස්සෙනවා.

අපි දන්නවා, අප‍්‍රිකාව වගේ රටවල හිටපු ගමන් ආගමික කෝලහාල ඇතිවෙනවා. ඉන්දියාවෙත් ඇතිවෙනවා. මේ හොඳට ඉන්න මිනිස්සු ඉඳුරන් කිපුණු ගමන් වටපිට බැලූවා, අහුවුණේ පොරොවක්ද, අහුවුණේ පොල්ලක්ද, අහුවුණේ කඩුවක්ද, අතට ගත්තා, මරාගෙන, කොටාගෙන ගියා. ඒ අයගේ කිපුණේ ඉඳුරන්. සමහර විට ඒ අය සන්සුන්ව, ශාන්තව ඉන්නවා. නමුත් මේ ශාන්ත, සන්සුන් පිරිස කුප්පන්න, අවුස්සලා ගන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. ඉක්මනට අවුස්සලා ගන්න පුළුවන්.

පින්වත්නි, මේ ඉඳුරන් කිපීම සාමාන්‍ය සත්වයාට සිද්ධ වෙන දෙයක්. ඉඳුරන් කිපුණාම සිද්ධ වෙන්නේ යහපතක් නෙවෙයි. මොකද, ඉඳුරන් කිපුණාම ඔහුගේ මනස කිපෙනවා. ඒ වෙලාවට ඔහුගේ මනස ලෝභයෙන් කුපිත කරවන්න පුළුවන්. ද්වේෂයෙන් කුපිත කරවන්න පුළුවන්. මෝහයෙන් කුපිත කරවන්න පුළුවන්.

බලන්න, මෝහයෙන් කුපිත වූ අන්තවාදී සංවිධාන නේද, මේ ලෝකයට ත‍්‍රස්තවාදය බිහිකරන්නේ? එතකොට කී දෙනෙක් ඒකෙන් දුකට පත් වෙනවාද? ඒ වෙලාවට එයා වැඩ කරන්නේ තමාටත් අහිත පිණිස. අනුන්ටත් අහිත පිණිස. ඒකට හේතුව ඉඳුරන් කිපීම. ඒ විදිහට ඉඳුරන් කිපුණු කෙනාගේ කාය කර්මයද කිපී ඇත. වචී කර්මයද කිපී ඇත. මනෝ කර්මයද කිපී ඇත. මොහු ඇතුළත බැඳුණු පුද්ගලයාය.

අපිත් කය, වචනය, මනස කිපෙන ස්වභාවයෙන් යුක්තයිනේ. එතකොට මේ කය, වචනය, මනස කිපෙන ස්වභාවයෙන් යුක්ත බව අපට ඇති රැකවරණයක් නෙවෙයි, අපට ඇති විශාල අනතුරක්.

සමහරුන්ට ජීවිතයේ අවසාන භාගයේ මතක් වෙන්නේ තමන්ට අන් අය කරපු හානියි. ඔන්න ඉතින් තරහා එනවා. ඒ විදිහට කිපුණට පස්සේ එක්කෝ හටගන්නේ ද්වේෂය. එක්කෝ තමන්ට ළබැඳි අය, තමන් ආශා කරන බඩු බාහිරාදිය මතක් වෙනවා. ඔන්න ආයෙමත් ඉඳුරන් කිපෙනවා. ඒ විදිහට ඉඳුරන් කිපුණට පස්සේ සංසුන් බව අහිමි වෙනවා. එතකොට ඒ කිපුණු පැත්තට ඇදී යනවා. ඒක නරක තැනක උපදින්න ඒක හේතුවක්. ඊට පස්සේ ඔහු කිපුණේ යම් අරමුණකද, ඒ අරමුණට හඹාගෙන යනවා. හරියට දඩයම් බල්ලා වගේ. මොකද, සතෙක්ව උසිගන්වලා දඩයමට යොමු කළාට පස්සේ ඌ ඒ උසි ගන්වපු අරමුණ ඔස්සේම, ඒක අත්පත් කර ගන්නා තුරු හඹා යනවානේ.

ඒ විදිහටම කිපෙන ඉඳුරන් ඇති කෙනාගේ කායික ක‍්‍රියාද කිපෙන සුළු වෙයි. වචනයද කිපෙන සුළු වෙයි. මනසද කිපෙන සුළු වෙයි. ඒ විදිහට කායික ක‍්‍රියා කිපුණාම ඔහු කය භාවිතා කරලා අන් අයට හානි කරනවා. හිංසා කරනවා. පීඩා කරනවා. කරදර කරනවා. තමන්ගේ කය පාවිච්චි කරලා අන් අය සතු දේවල් පැහැර ගන්නවා. තමන්ගේ කය භාවිතා කරලා වරදෙහි බැදෙනවා. තමන්ගේ වචනය කිපුණාම, වචනය භාවිතා කරලා අසත්‍ය, අභුත කරුණු කියාගෙන යනවා. බොරු කියාගෙන යනවා. නැත්තම් තව කෙනෙක් කෝපයෙන් කිපිලා කියන දේ ඊළඟ කෙනාට ගිහිල්ලා කියලා බිඳවනවා. ඒ වගේම වචනය කිපුණු විට දරුණු, ඵරුෂ වචන කියවෙනවා. ඊළඟට වචනය කිපුණු විට අරුත් සුන්, හිස් වචන කියවෙනවා.

මනස කිපුණු විටත් අන් සතු දෙයට ආශා කර කර ඉන්නවා. මනස කිපුණු විට හිංසා සිතුවිලි සිත සිතා ඉන්නවා. නපුරු සිතුවිලි සිත සිතා ඉන්නවා. මේ කිපීම මනුෂයාට හිතසුව පිණිස පවතින්නේ නෑ. මේ විදිහට මනුෂ්‍යයන්ව ශබ්දයෙන් කුපිත කරවන්න පුළුවන්. මිනිස්සුන්ව කතා බස් කරලා අවුස්සන්න පුළුවන්.

ඔය කොල්ලො කුරුට්ටෝ සමහර අවස්ථාවල සංගීත සන්දර්ශනවලට යනවනේ. එතකොට අර නිවේදන කරන භවතා ඒ නිවේදනය කරන්නේ ඔවුන්ව සංසිඳෙන තත්වයට පත් කරවන්න නෙවෙයිනේ, ඔවුන්ව අවුස්සලා ගන්නයි. ඒ සඳහා ඔහු වේගයෙන් කියාගෙන, කියාගෙන යනවා.

එතකොට අර අහිංසක ළමයි ඔක්කොම කිපිලා ආවේශ වෙලා එනවා. ඊට පස්සේ මියුසික් දානවා. ඒ මියුසික් දාන්නෙත් සංසිඳෙන්න නෙවෙයිනේ, කිපෙන්න. අන්තිමට ඒ අය ඉඳුරන් කිපිලා, කිපිලා වෙහෙසට පත්වෙනවා. මේක තමයි මේ ලෝකයේ සතුට සොයාගෙන යන මාධ්‍යය. ලෝකය මේ විදිහට සතුට සොයාගෙන, ඉඳුරන් කිපීමෙන් ලබන දේ සොයා ගෙන යනවා.

ඇත්තෙන්ම බුදුකෙනෙක් පහළ නොවෙන්න ඉඳුරන් සංසිඳවන්නේ කොහොමද කියලා අපි කවුරුවත්ම දන්නේ නෑ. බුදුකෙනෙක් පහළ නොවූ ලෝකයේ මිනිසුන් ඉඳුරන් සංසිඳුවන්න හිතාගෙන හිටියේ ශරීරයට දුක් දීමෙන්. බුද්ධ කාලයෙත් බොහෝ දෙනෙක් ඉඳුරන් සංසිඳුවා ගන්න ශරීරයට දුක් දුන්නා. මේ විදිහට ශරීරයට දුක් දෙනකොට ශරිරය ක්ලාන්ත වෙනවා. මනස ක්ලාන්ත වෙනවා. මේ විදිහට සිරුරත්, මනසත් ක්ලාන්ත වීම තුළ යම් සංසිඳියාවක් ඇද්ද, ඔහු ‘මෙය තමයි මා සොයන්නේ..’ කියලා රැවටෙනවා. බලන්න, බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවුණු කල්හී, මේ ලෝකයා කොයිතරම් අසරණද?

ඒ නිසයි බුදුරජාණන් වහන්සේ ”(සන්තින්ද්‍රියා භවිස්සාම) සංසුන් ඉඳුරන් ඇති අය වෙමු. (සන්තමානසා) සංසිඳුණු මනසක් ඇති අය වෙමු” කියලා හික්මෙන්න අවවාද කළේ….

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්
සදහම් වැඩසටහන් වලදී පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සකස් කළ
මමත් සිත සමාහිත කරමි බුදු සමිඳුනේ…’ සදහම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී


ඛීණාසව මහා කස්සප ථේරාභිවන්දනා…

$
0
0
washington

ඛීණාසව මහා කස්සප ථේරාභිවන්දනා…
ශ්‍රී බුද්ධ වර්ෂ 2557ක් වූ මැදින් මස 16 දින (2014/03/16)


ගෞතම බුදු සසුනේ තෘතීය මහා ශ්‍රාවකයාණන් වහන්සේ වූ ද අග්‍ර ධුතාගධාරීවූ ශාසනභාරධාරී වූ මහා කස්සප මහරහතන් වහන්සේගේ අපමණ මුනි ගුණයන් සිහිපත් කරමින්, සුවඳ මලින් පුදදී, මහත් ශ්‍රද්ධාවෙන් සිදුකරන්නට යෙදුන “ඛීණාසව මහා කස්සප ථේරාභිවන්දනාව” පසුගිය මැදින් පුන් පොහෝ දා ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර මහමෙව්නාව භාවනා අසපුවේදී සිදු කෙරිණි.

ගෞතම බුදු සසුනේ නිර්මල දායාදය ලබනුරිසි ශතාධික සැදැහැවතුන් සමගින් වොෂින්ටන් අසපුවාසී මහා සඟ රුවන සිදුකළා වූ මෙම මහානීය පුණ්‍ය කර්මයෙන් ජනිත අපමණ පින් සියල්ලෝම සතුටින් අනුමෝදන් වෙත්වා…

කන්තලේ මහා සෑ රදුන්ගේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන‍ය…

$
0
0
kanthale (1)

කන්තලේ මහා සෑ රදුන් උදෙසා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ පුණ්‍ය මහෝත්සවය…
ශ්‍රී බුද්ධ වර්ෂ 2557ක් වූ මැදින් මස 02 දින (2014/03/02)


ශ‍්‍රීමත් සුගත තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට උපහාර පිණිස, කන්තලේ මහමෙව්නාව භාවනා අසපු පින්බිමේ අභිනවයෙන් ඉදිවන කන්තලේ මහා සෑ රදුන්ගේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ පුණ්‍ය මහෝත්සවය පින්බර මැදින් මස 02 දින, ශ්‍රී කළ්‍යාණිවංශ නිකායේ අනු නායක, නැගෙනහිර තමංකඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක, සේරුවිල රාජ මහා විහාරාධිපති අතිපූජනීය සේරුවිල සරණකිත්ති ස්වාමීන් වහන්සේ පෙරටුකොට, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් ද, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ අනුශාසක අතිපූජනීය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ද, අර්ධශතාධික මහා සඟරුවනේ සහභාගීත්වයෙන් ද පවත්වන්නට යෙදුණි.

සුන්දර වැවකින් වටවූ ශෛලමය පර්වතය මුදුනේ ඉඳිවන මනස්කාන්ත වූ මෙම මහා සෑ රදුන්ගේ ගර්භයෙහි නිමවෙන සුගන්ධ ධාතු මන්දිරයෙහි, අසිරිමත් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාද අරහන්ත ධාතූන් වහන්සේලාද නිධන්වීමෙන් සුපූජනීයත්වයට පත්වනු ඇත.

දෙව් මිනිස් ලෝකයා හට අපමණ පින් ඵල සලසා ගැනීම පිණිස ඉමහත් ශ‍්‍රාද්ධා ගෞරවයෙන් ඉදිවන මේ මහා සෑ රජුන්ගේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් දායකත්වය ලබාදී පින් ඵල නෙලාගැනීමේ දුර්ලභ අවස්ථාවද ඔබට උදාවනු ඇත.

කන්තලේ මහා සෑ රදුන්ගේ මංගල ශිලා ප්‍රතිස්ඨාපන පින්කමට සමගාමීව, අසපු පරිශ්‍රයේ පිහිටි මනරම් වූ බෝධි මණ්ඩපයෙහි අභිනවයෙන් ඉදිකරන්නට යෙදුන බුද්ධප්‍රතිමා වහන්සේ ද, සිව් දිගින් වඩින මහා සඟරුවන උදෙසා ඉදිවූ දාන ශාලාව සඟසතුකොට පූජා කිරීමේ පින්කම් ද එදින සිදුවිය. එමෙන්ම පින්කමට සහභාගී වූ සැදැහැවතුන් වෙනුවෙන් අහාරපාන, පාසැල් උපකරණ, වස්ත්‍ර, ආදී නොයෙකුත් ද්‍රව්‍යයන් සහිත මහා දන්සැලක් ද සංවිධානය වී තිබුනි.

මේ උතුම් පුණ්‍යකර්මයෙන් ජනිත සියලු පින්, පින් කැමැත්තෝ සතුටින් අනුමෝදන් වෙත්වා…!

මහමෙව්නාව භාවනා අසපුව,
අලුත්කඩේ බාරේ, 91 පෙදෙස,
වැව්සිරිගම, කන්තලේ.
(31300)

දුර: +94 26 4 929 024

සදහම් පොත් පරිත්‍යාග

$
0
0
news-slide-books

සදහම් පොත් පරිත්‍යාග…
ශ්‍රී බුද්ධ වර්ෂ 2557ක් වූ මැදින් මස 22 දින (2014/03/22)


2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකොටගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාම සංදේශය පැතිරවීමේ උතුම් අදහසින්, අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදය මත මහමෙව්නාව සදහම් ග්‍රන්ථ පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන ලදි. ඒ යටතේ සමස්ත මහමෙව්නාව භාවනා අසපු සංචිතය මඟින් මේ වන විට දිවයින පුරා පිහිටි විහාරස්ථාන, දහම් පාසැල්, පාසැල්, රාජ්‍ය ආයතන, පුස්තකාල, හමුදා කඳවුරු, ප්‍රජා ආයතන, රැසකට සදහම් පොත් කට්ටල් 500 ක් පමණ පරිත්‍යාග කොට ඇත.

සියලු දාන අතර අග්‍ර වූ මෙම උතුම් ධර්ම දානමය පුණ්‍යකර්මය යටතේ මැදින් මාසය තුළදී මහමෙව්නාව සදහම් පොත් කට්ටල් 18 ක් පරිත්‍යාග කර ඇත. එලෙස සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කරන ලද්දේ පහත ආයතනයන් වලටය.

    1. ර/ ධර්මරාජ මහා විද්‍යාලය, හුණුවල, ඕපනායක.
    2. ශ්‍රී සාරිපුත්ත දහම්පාසල, අඳාගල-බඹරගස්වැව.
    3. අ/ තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය, තඹුත්තේගම.
    4. පූජ්‍ය පිටවල සුමනරතන ස්වාමීන් වහන්සේ, ශ්‍රී ආනන්ද බෝධිරාජාරාම දහම්පාසල, ගම්සභා හන්දිය, හෙට්ටිමුල්ල.
    5. පූජ්‍ය ශාස්ත්‍රෙව්දී තඹුත්තේගම දමිත ස්වාමීන් වහන්සේ, බෞද්ධ මධ්‍යස්ථානය, වෙහෙරගල, තඹුත්තේගම.
    6. ශ්‍රී ලංකා අමරපුර සිරිසුමණ (දඩළු) පාර්ශවයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මහෝපාධ්‍යාය සිරිසුමන රාජගුරු මලියදේව වංශාලංකාර ගනාචාර්ය අතිපූජ්‍ය දීව්ල්ලේ දේවරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ, ශ්‍රි ධර්මවර්ධනාරාමය,දීවිල්ල – යටවත්ත, මාතලේ.
    7. පූජ්‍ය විජයරාජපුර විජිතනන්ද ස්වාමීන් වහන්සේ, ශ්‍රී සේලතලාරාමය, හිස්වැල්ල, කිරිඳිවැල.
    8. මහ රෝහල, පේරාදෙණිය.
    9. “විජයබා” වැඩිහිටි සංවිධානය, දාහිගමුව, කුරුණෑගල.
    10. 14 වන විජයබා රෙජිමේන්තුව, යුධ හමුදා කඳවුර, පුදුමාතලම්, මුලතිව්.
    11. අමරපුර මූලවංශික මහා නිකායේ සතර කෝරළ මහදිසාවේ ප්‍රධාන සංඝනායක විහාරාධිපති ශාස්තුවේදී දෙබත්ගම සෝමරතන තිස්ස ස්වාමීන් වහන්සේ, ශ්‍රී රතන ජෝත්‍යාරාමය, වියන්රළිය, දෙබත්ගම-කෑගල්ල.
    12. ශ්‍රී ජිනරතන දහම්පාසල රෝටුව, මොරොන්තොට.
    13. ර/ඇඹි/ පල්ලෙබැද්ද මහා විද්‍යාලය, පල්ලෙබැද්ද.
    14. මහජන පුස්තකාලය, ඕපනායක(වැලිගෙපොළ ප්‍රාදේශීය සභාව,හුණුවල-ඕපනායක)
    15. මහජන පුස්තකාලය, වැලිගෙපොළ(වැලිගෙපොළ ප්‍රාදේශීය සභාව, හුණුවල-ඕපනායක)
    16. මහජන පුස්තකාලය, ගල්පාය(වැලිගෙපොළ ප්‍රාදේශීය සභාව, හුණුවල-ඕපනායක)
    17. දොඩම්ගස්ලන්ද රාජකීය විද්‍යාලය, නිලන්තට්ටුව-රදීගම.
    18. විදුලි අධිකාරී, විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය, ඕපනායක.

මේ උතුම් ධර්ම දානමය පුණ්‍යධර්මයන් සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීමට මූල්‍යමය දායකත්වය ලබාදුන් සැදැහැවතුන් සැමටත්, මේ උතුම් පුණ්‍යකර්මය සතුටු සිතින් අනුමෝදන් වන ඔබ සැමටත් උතුම් වූ දහම් ඇස උපදවාගැනීම පිණිසම උපකාර වේවා…!

මහමෙව්නාවේ සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීමේ උතුම් පුණ්‍ය කටයුත්තට ඔබගේ සැදැහැබර දායකත්වය ලබාදී ධර්ම දානමය පින රැස්කර ගන්නට ඔබටද අවස්ථාව ඇත.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න

The post සදහම් පොත් පරිත්‍යාග appeared first on Mahamevnawa Monastery.

සිරි ඝටීකාර මහා සෑ රදුන්ගේ ධාතු නිධන් කිරීම

$
0
0
news slide-amawatura1

සිරි ඝටීකාර මහා සෑ රදුන්ගේ ධාතු නිධන් කිරීම…
ශ්‍රී බුද්ධ වර්ෂ 2557ක් වූ මැදින් මස 16 දින (2014/03/16)


භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේඋතුම් වූ බුද්ධ ශාසනය අප හට මහත් වූ ලාභයකි…කාශ්‍යප බුදු රජාණන් වහන්සේගේත් ගෞතම බුදු රජාණන් වහන්සේගේත්, බුද්ධ ශාසන දෙක ම සියැසින් දැකගත් අනාගාමී ඝටීකාර බ‍්‍රහ්ම රාජයාණන් නමින් ගෞතම බුදු රජාණන් වහන්සේ වෙත පිදෙන සෑය යි ‘‘සිරි ඝටීකාර මහා සෑය’’.

ඒ උතුම් මහ සෑයේ අට දිශාවේ ඉදිවන පරිවාර චෛත්‍ය රාජයාණන් වහන්සේ ලා උදෙසා ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේ දුර්ලභ පින්කමක් පසුගිය මැදින් පුන් පෝ දින 2014-03-16 දා සමස්ථ මහමෙව්නාව භාවනා අසපු සංචිතයන් හි අනුශාසක ධුරන්දර පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමින් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් මහා සංඝ රත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ උපකාර කළ යාවජීව ගිහි දායක දායිකාවන් ගේ සාධුකාර අතරේ දෙවිබඹුන් හට පින් අනුමෝදන් කරමින් මාලබේ පිට්ටුගල මහමෙව්නාව අමාවතුර භාවනා අසපුවේ දම්සක් මන්දිර පරිශ‍්‍රයේ දී සිදුවිණි.

එමෙන් ම වසර සිය දහස් ගණනක් පුරා මේ ශ‍්‍රී සද්ධර්මය පවතිත්වායි අධිෂ්ඨාන කරමින් සිංහල-පාලි ත‍්‍රිපිටකයත් ඉංග‍්‍රීසි-පාලි ත‍්‍රිපිටකයත් ආරක්ෂිත ඇසුරුම් වල බහා පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් ගේ සුරතින් දම්සක් මන්දිරයේ ධර්ම භාණ්ඩාගාරයන් හි තැන්පත් කරන ලදී…

අපගේ ගුරුදේවයන් වහන්සේට ද පිනවත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් හට ද අමාවතුර අසපුවේ සහ අසපු සංචිතයේ සියලු ස්වාමින් වහන්සේලාට ද පරිවාර චෛත්‍යයන් භාරගත් සියලු පින්වතුන් ද ත‍්‍රිපිටක ග‍්‍රන්ථයන් භාරගත් සියලු පින්වතුන් ද දම්සක් මන්දිරය නම් වූ තුන්තරා බෝධි විහාරයට ප‍්‍රතිමා චිත‍්‍ර කරඩු ජලනල ඉදිකිරීම් කැටයම් ආදී සෑම අංශයකින් ම දායක වූ සියලු පින්වතුන් ද දම්සක් මන්දිර ඉදිකිරිම් කමිටුවේ සියලු නිළධාරින්ට ද අමාවතුර උපස්ථාන සභාවේ නිලධාරීන් සහ යාවජීව උපාසක උපාසිකාවන්ට ද කල්‍යාණමිත‍්‍රයෝ යොවුන් සභාවේ සියලු පින්වතුන්ට ද මේ දසුන් දැකබලා සතුටු වන ලක්වාසි ලෝකවාසි ඔබ සැමට ද මේ පින් අනුමෝදන් වේවා! සියලු සැපයට පත් වේවා! චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා…!

සාදු! සාදු!! සාදු!!!

ඉදිරි පුණ්‍ය කටයුතු සදහා ද ඔබගේ නොමසුරු පුණ්‍යාධාර අපේක්ෂා කරන්නෙමු -

වැඩි විස්තර සඳහා පිවිසෙන්න

මෙත් සිතින්
දම්සක් මන්දිර ඉදිකිරිම් කමිටුව

ඡායාරූප එකතුවට පිවිසෙන්න

The post සිරි ඝටීකාර මහා සෑ රදුන්ගේ ධාතු නිධන් කිරීම appeared first on Mahamevnawa Monastery.

ධර්මයෙන් ගොඩනැගුණු සැබෑ සංවරය

$
0
0
Sebe-sanwaraya

Sebe-sanwaraya

පටත් සංසිදුණු ඉඳුරන් ඇති, සංසුන් මනසක් ඇති අය වීමට වාසනාව තිබේද, නැද්ද කියා අපි දන්නේ නෑ. නමුත් සංසුන් ඉඳුරන් ඇතිකර ගන්න අපි යම්කිසි කැපවීමක් කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටි මිනිස් කැල අතිශයින්ම පුණ්‍යවන්තයි. මොකද, බුදුරජාණන් වහන්සේ විසින් “මහණෙනි, ඉඳුරන් සංසිඳුවා ගන්න” කියපු ගමන් එකල බොහෝ දෙනා (අස්සා යථා සාරථිනා සුදන්තා) රථාචාර්යවරයා විසින් මනාකොට දමනය කළ අශ්වයෝ වගේ මැනවින් සංවර වෙනවා. මේ විදිහට සංවර වෙන්නේ ඇස, කණ, නාසය, දිව, කය, මනසයි.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ රහතන් වහන්සේලා ධර්ම චාරිකාවේ යෙදුණේ ඒ විදිහේ අසාමාන්‍ය සංසිඳීමකින් යුක්තවයි. ඒ කියන්නේ උන්වහන්සේලා කිසිවකටවත් කිපෙන්නේ නැතිවයි ජීවිතය ගත කළේ. උන්වහන්සේලා වැස්සත් කිපෙන්නේ නෑ. පෑව්වත් කිපෙන්නේ නෑ. දූලි ඇවිස්සුනත් කිපෙන්නේ නෑ. බඩගින්නේ හිටියත් කිපෙන්නේ නෑ. පිපාසයෙන් හිටියත් කිපෙන්නේ නෑ. නින්දා අපහාස කළත් කිපෙන්නේ නෑ. සුව පහසු යහන් පනවා දුන්නත් කිපෙන්නේ නෑ. ප‍්‍රණීත රස මසවුළුවලින් සුසැදි පිනි බොජුන් පිළිගැන්වුවත් කිපෙන්නේ නෑ. කටුක ආහාර ලැබුණත් කිපෙන්නේ නෑ.

මේ විදිහට කිසි දෙයකට කිපෙන්නේ නැති, නිරන්තරයෙන්ම සංසිඳී ගිය, සිනිඳු තෙල් දහරක් වැනි ඉරියව් ඇති, ඒ අද්විතීය, අසාමාන්‍ය, අසිරිමත් උතුමන් වහන්සේලා දකිද්දී මිනිසුන් වෙනස් වෙනවා. එකල ගමක් ගමක් ගානේ රහතන් වහන්සේලා වඩිද්දී, උන්වහන්සේලා තුළ දිස්වූ ඒ අසාමාන්‍ය ශාන්ත බවට, ශාන්ත වූ ඉඳුරන් ඇති බවට, ශාන්ත වූ මනසක් ඇති බවට මිනිසුන් වශී වුණා.

සමහර විට උන්වහන්සේලාගේ ප‍්‍රතිචාර බලා ගන්න මිනිස්සු නොයෙක් දේවල් කියන්න, කරන්න ඇති. නමුත් උන්වහන්සේලා තුළින් හැම තිස්සේම දිස්වුණේ ශාන්ත බවක්. (සන්තා වාචා ච කම්ම ච) උන්වහන්සේලාගේ වචන පවා ශාන්තයි. ඒ විදිහේ ශාන්ත වූ වචනවලින් තමයි මනුෂ්‍යයා සංසිඳී ගියේ.

දෙවි මිනිසුන් සංසිඳවන ඒ වචන සියල්ල බුදුරජාණන් වහන්සේගේ ය. ජීවිතාවබෝධය ඇති කරවන වදන් පෙළ බුදුරජාණන් වහන්සේගේ ය. නුවණ ඇති කරවන වදන් බුදුරජාණන් වහන්සේගේ ය. ලෝ සත සසරින් එතෙර කරවන වදන් බුදුරජාණන් වහන්සේගේ ය. බුදුරජාණන් වහන්සේ ලොවට පෙන්නා දීපු, උන්වහන්සේගේ බුදුමුවින් පැන නැගුණු ඒ වචන ශ‍්‍රාවකයෝ උපුටා දක්වද්දී ලෝකයේ බොහෝ දෙනෙක් එයට ඇදී ආවා. “අනේ මටත් මෙබඳු වූ සංසුන් ඉඳුරන් ඇත්නම්… අනේ මටත් මෙබඳු වූ සංසුන් මනසක් ඇත්නම්…” කියලා මිනිසුන් ධර්මය වෙත ඇදී ආවා.

හිතලා බලන්න, පාප මිත‍්‍රයන්ගේ කුමන්ත‍්‍රණ නිසා නොමග ගිය ගුරුවරයාගේ ක‍්‍රියා කලාපය, අහිංසකව අංගුලිමාල බවට පත්කරවන්න හේතුවක් වුණා. ඒ නිසා ඒ වෙනකොට අංගුලිමාල තුළ තිබුණේ අතිශයින්ම නොදැමුණු, කිපුණු ඉඳුරන්. අන්තිමේදී මේ කෙනා සන්ත ඉඳුරන් ඇති කෙනෙක් වුණා. සන්ත මනසක් ඇති කෙනෙක් වුණා. සන්ත වචන ඇති, සන්ත ක‍්‍රියා ඇති, සන්ත මනෝකර්ම ඇති කෙනෙක් වුණා.

ඊට පස්සෙත් සමහර අවස්ථාවල උන්වහන්සේ ගමන් වඩිද්දී, මිනිසුන් නින්දා අපහාස කළා. ගැරහුවා. සමහරු ගල්වලින් පවා ගැහුවා. ඒ නිසා ඇතැම් විට උන්වහන්සේගේ පාත‍්‍රය බිඳෙනවා. ඇතැම් විට උන්වහන්සේ බිඳුණු පාත‍්‍ර කෑලි ටික අතට අරගෙන, තුවාල වෙලා, නළලින් ලේ වැගිරෙන සිරුරෙන් යුක්තව, ඉරුණු සිවුරු ඇතුව වඩිනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ළඟට වඩින්නේ සන්ත වූ කෙනෙක්. සංසිඳුණු කෙනෙක්. සන්ත මනසක් ඇති කෙනෙක්.

එවැනි අවස්ථාවල බුදුරජාණන් වහන්සේ වදාරන්නේ, “පින්වත් බ‍්‍රාහ්මණය ඉවසීමමයි ශ්‍රේෂ්ඨ. ඉවසීමමයි ශ්‍රේෂ්ඨ. ඔබ ඔය විපාක විඳින්නේ මෙලොවදී විපාක වින්ද යුතු සුළු කොටසක්. පරලොව වින්ද යුතු බොහෝ විපාක ඔබට අහිමිය. ඔබ එයින් නිදහස් වී ඇත” කියලයි.

මේ ලෝකයේ මිනිසුන් නොයෙක් නොයෙක් ආකාරයට පව් කරනවා. නමුත් ඒ ඇත්තන්ට පරලොවින් ගැලවිල්ලකුත් නෑ. මෙලොවිනුත් ගැලවිල්ලක් නෑ. එක්කෝ ඒගොල්ලෝ හිර බන්ධනවලට අහුවෙනවා. එහෙම නැත්නම් නොයෙක් වධ බන්ධනවලට ලක්වෙනවා. එහෙමත් නැත්නම් ඔවුන් ඝාතනය වෙනවා. ඊට පස්සේ ඔවුන් ගිහිල්ලා නිරයේ හිරවෙනවා. එහෙම නැත්නම් තිරිසන් අපායේ, පේ‍්‍රත ලෝකයේ හිරවෙනවා. ආයෙමත් ඔවුන්ට ගැලවීමක් නෑ.

නමුත් බුදුකෙනෙකුගේ පහළවීම නිසා මේ ලෝකයට සන්ත ඉඳුරන් ඇති පුද්ගලයන් ලැබෙනවා. සන්ත මනසක් ඇති පුද්ගලයන් ලැබෙනවා. සන්ත ක‍්‍රියා ඇති පුද්ගලයන් ලැබෙනවා. සන්ත වචන ඇති පුද්ගලයන් ලැබෙනවා. මේ විදිහට ශාන්ත බවක් ඇති වෙන්න නම්, ඇස, කණ, නාසය, දිව, කය, මනස සංවරව ශාන්ත ඉඳුරන් පවත්වන්න නම්, ඔහු තුළ ගොඩනැඟුණු මහා හැකියාවක්, වීරියක්, සිහියක්, නුවණක් තිබිය යුතුයි. වීරියක්, සිහියක්, නුවණක් නැතුව එය කරන්න බෑ.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා, ඒ මුනිවරුන්ගේ ලෝකය තුළ තිබෙන ඉන්ද්‍රිය සංවරය මෙන්න මේ වගේ කියලා. (රහදෝ පි තත්ථ ගම්භීරෝ) ගැඹුරු, ශාන්ත විලක් තියෙනවා. මේ විලේ රැළි නඟින්නේ නෑ. මේ විල බොහෝම ගැඹුරුයි. නිසලයි. මේ ගැඹුරු, ශාන්ත විලේ තියෙන නිශ්චල බව යම් අයුරුද, සන්ත ඉඳුරන් ඇති කෙනාගේ අකම්පිත බවත් ඒ වගේ කියනවා.

මනුෂ්‍යයා තුළ තිබෙන මේ සුපිරි හැකියාව හරි පුදුමයි නේද? ඒක සාමාන්‍ය හැකියාවක් නෙවෙයි. ඒ සුපිරි හැකියාව මනුෂ්‍යයා තුළ තියෙන්නේ නිද්‍රාගතව. බොහෝ මනුෂ්‍යයන් තුළ මේ අතිශයින්ම සුපිරි වූ කුසලතාවය නිද්‍රෝපගතව තියෙනවා. නමුත් අද ලෝකයේ කවුරුවත් ඒ හැකියාව අවදි කරවන්න දන්නේ නෑ. අද බොහෝ දෙනෙක් එක්කෝ අත්තකිලමථානුයෝගයට දානවා. එහෙම නැත්නම් කාමසුඛල්ලිකානුයෝගයට දානවා. මේ ක‍්‍රම දෙකෙන්ම නිදිගත්, අතිශයින්ම විස්මිත කුසලතාවය අවදි වෙන්නේ නෑ.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය, මනුෂ්‍යයා තුළ ඇති නිද්‍රෝපගත වූ කුසලතාවය අවදි කරලා ගන්නවා. ඒ කුසලතාවය පාවිච්චි කරලා තමයි ඔහු මේ ඉඳුරන් හසුරුවන්නේ. ඉඳුරන් දමනය කරන්නේ. ඉඳුරන් සංසිඳුවන්නේ. ඉඳුරන් ශාන්ත, ගැඹුරකට පත් කරන්නේ. ඊට පස්සේ ඔහුගේ ජීවිතය තුළ ඔහුගේ ක‍්‍රියාව ශාන්තයි. ඔහුගේ වචනය ශාන්තයි. ඔහුගේ මනස ශාන්තයි.

අපි දන්නවා, බුදුරජාණන් වහන්සේ ගාවට නා නා ආකල්ප ඇති මිනිසුන් පැමිණියා. බොහෝවිට බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියේ නා නා විදිහේ හැඟීම් ඇතුව, නා නා ප‍්‍රශ්න ඇතුව, ඇවිස්සුණු, කිපුණු අයයි. නමුත් උන්වහන්සේගේ නිවැරදි මග පෙන්වීම නිසා ඒ අය ශාන්ත අය බවට පත්වෙනවා.

එහෙම නම් කල්පනා කරලා බලන්න, ඇතුළට බැඳී ගිය, පිටත බැඳී ගිය පුද්ගලයා ඇතුළෙනුත් නිදහස් නම්, පිටතිනුත් නිදහස් නම් ඔහුට කුමක් වේවිද? ඔහු පිරිනිවන් පාන්නේය.
ඒ විදිහට එකල හිටපු බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෝ තමන්ගේ කුසලතා පාවිච්චි කරලා ඇතුළත බැඳීම්වලිනුත් නිදහස් වුණා. පිටත බැඳීම්වලිනුත් නිදහස් වුණා. ඒ නිසා තමයි දෙවිවරුන්ටත් සිත සම කරගන්න, සම සිතින් වාසය කරන්න පුළුවන් වුණේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා උස් පහත් භේදයක් නැතුව සම සිතින් වාසය කරන්න දෙවියන්ටත් පුළුවන් වුණා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්
සදහම් වැඩසටහන් වලදී පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සකස් කළ
මමත් සිත සමාහිත කරමි බුදු සමිඳුනේ…’ සදහම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී

The post ධර්මයෙන් ගොඩනැගුණු සැබෑ සංවරය appeared first on Mahamevnawa Monastery.

පිවිතුරු පැන් පූජා

$
0
0
pen puja news slide

පිවිතුරු පැන් පූජා…
ශ්‍රී බුද්ධ වර්ෂ 2557ක් වූ මැදින් මස 22 දින (2014/03/22)


මුලු මහත් දේශයට ම මහත් ව්‍යසනයක් ව ඇති, අපිරිසිදු පානීය ජලය නිසා ඇතිවන වකුගඩු රෝගයෙන් අපේ ජනතාව ගලවා ගනු පිණිස, ශ්‍රද්ධා රූපවාහිනියත්, ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයත්, කැළණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයත්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් එක්ව ක්‍රියාත්මක කරනු ලබන පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ ප්‍රථම පියවර තබමින් ඉදිකළ පිරිසිදු පානීය ජල පිරිපහදු ඒකකය ජනසතු කිරීමේ මහා පුණ්‍ය මහෝත්සවය සහ වකුගඩු රෝගයට ගොදුරු වීමෙන් වැළකීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන, දහම් පාසල් දරුවන් උදෙසා බුදු පිළිම වහන්සේලා බෙදා දීම 2014 මාර්තු 22 වැනි සෙනසුරාදා දින ඇහැටුවැව දේවගිරි රජමහා විහාරස්ථානයේ දී සිදු කෙරිණි…

මෙසේ අභිනවයෙන් විවෘත කරන්නට යෙදුනු පිරිපහදු ඒකකයෙන් පිරිසිදු වූ පැන් මුලින් ම පූජා කරනු ලැබූයේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේට ය! අනතුරුව මහා සංඝරත්නයට ද පිවිතුරු පැන් පූජා කිරීම සිදු විය.

මේ උතුම් පූජාවෙන් රැස් වූ සියලු පින් සියල්ලෝ ම සතුටින් අනුමෝදන් වෙත්වා! අමා නිවනින් සැනසෙත්වා!!!

අපේ ම සහෘද ජනතාව මහත් ව්‍යසනයකින් ගලවා ගනු පිණිස ආරම්භ කොට ඇති ‘පිවිතුරු පැන් පූජා’ සත්කාර්ය උදෙසා, ශ්‍රමයෙන්, ධනයෙන් සහ හැකියාවෙන් දායක වී අපමණ පින් ඵල නෙලා ගනු පිණිස පින්වත් ඔබගේද දායකත්වය ලබාදිය හැකිය…

පිවිතුරු පැන් පූජා ව්‍යාපෘතිය පිළිබඳව වැඩිදුර තොරතුරු පහත පිටුවට පිවිසීමෙන් හෝ 0714366577 දුරකථන අංකය වෙත ඇමතීමෙන් හෝ ලබා ගත හැකි ය!

වැඩි විස්තර සඳහා පිවිසෙන්න ඡායාරූප එකතුවට පිවිසෙන්න

The post පිවිතුරු පැන් පූජා appeared first on Mahamevnawa Monastery.

සුවදිවියකට අත්වැලක්-සෞඛ්‍ය කඳවුර

$
0
0
Helth-campaign

“සුවදිවියකට අත්වැලක්” සෞඛ්‍ය කඳවුර…
ශ්‍රී බුද්ධ වර්ෂ 2557ක් වූ මැදින් මස 21 දින (2014/03/21)


ශ්‍රද්ධා රූපවාහිනිය මඟින් සංවිධානය කරන්නට යෙදුනු “සුවදිවියකට අත්වැලක්“ සෞඛ්‍ය කඳවුරු මාලාවේ පළමු කඳවුරු 2014-03-21 දින මුලතිව් දිස්ත්‍රික්කයේ, ඇහැටුගස්වැව, දේවගිරි රජමහා විහාරස්ථානයේ දී ඉතා සාර්ථක අන්දමින් පැවැත්විනි. මෙහිදී 2000කට අධික ප්‍රදේශවාසීන් හට, වකුගඩු රෝග පරීක්ෂාව, අක්ෂි පරීක්ෂාව, ඇස් කණ්ණාඩි ලබා දීම, දන්තරෝග සායනය, කායික රෝග සායනය, ආදී නොයෙක් ආකාරයේ සෞඛ්‍ය පහසුකම් සැලසීමෙන් අප්‍රමාණ බුද්ධෝපස්ථාන පුණ්‍ය ධර්මයන් රැස්කරගන්නට යෙදුනි..

මෙසේ රැස් කරගන්නට යෙදුනු සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට ද, මේ සඳහා නන් අයුරින් උපකාර කළ, පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලාට ද, කොරියාවේ මහාබෛා්ධි විහාරස්ථානාධිපති පින්වත් ස්වාමීන් වහන්සේට ද, ඇහැටුගස්වැව දේවගිරි රාජමහා විහාරස්ථානාධිපති පින්වත් ස්වාමීන් වහන්සේට ද, ශ්‍රද්ධා රූපවාහිනියේ සභාපතිතුමිය ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට ද, සහභාගී වූ ශ්‍රී ලංකාවේ සියලු වෛද්‍යවරුන්ට ද, දකුණු කොරියාවෙන් සහභාගී වූ සියලු වෛද්‍යවරුන්ට ද, එම කාර්ය මණ්ඩලයට ද, ශ්‍රී ලංකාවේ හෙද හෙදියන්ට ද, සෞඛ්‍ය සේවක සේවිකාවන්ට ද, රසයානාගාර පරීක්ෂක මහත්ම මහත්මීන්ට ද, ක්ෂය රෝග ඒකකයේ සියලු පින්වතුන්ට ද, වකුගඩු රෝග ඒකකයේ සියලු පින්වතුන්ට ද, ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ සියලු පින්වතුන්ට ද, සිවිල් ආරක්ෂක බලකායේ සියලු මහත්ම මහත්මීන්ට ද, කැළණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයට ද, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ මොබිටෙල් ආයතනයේ සියලු පින්වතුන්ට ද, කඩුවෙල යොවුන් සභාවේ සියලු පින්වතුන් ඇතුළු මේ සඳහා වචනයකින් හෝ උපකාර කළ සියලු පින්වතුන් හට ද, දැක බලා සතුටුවන සියලු දෙනාට ද, අනුමෝදන් වනු කැමති සියලු දෙනාට ද, එකසේ අනුමෝදන් වෙත්වා!

මේ පින් එකසේ අනුමෝදන්ව, ජාති ජරා ව්‍යාධි මරණ ආදී අනේක දුක්ඛයන්ගෙන් නිදහස් ව ලබන උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය ලබා ගැනීමේ දුර්ලභ වාසනාව ලබත්වා!!!

ඡායාරූප එකතුවට පිවිසෙන්න

The post සුවදිවියකට අත්වැලක්-සෞඛ්‍ය කඳවුර appeared first on Mahamevnawa Monastery.


අසත්පුරුෂයා යහපත් අවවාදයටත් වෛර බඳිනවා

$
0
0
dp05-2

෴  2 ගාථා රත්නය
මහා කස්සප තෙරුන්ගේ ගෝලයාගේ කථා වස්තුව

“අසත්පුරුෂයා යහපත් අවවාදයටත් වෛර බඳිනවා”

පින්වතුනේ, පින්වත් දරුවනේ,

මේලෝකය හරිම පුදුමයි කියලා අපි හිතන්නේ ආකාසය, ගස් කොළන්, ගංඟාවල්, සාගරය ආදිය බලලයි. නමුත් මේ මිනිසුන්ගේ ස්වභාවය ඊටත් වඩා පුදුමයි. සමහරුන්ට පින් කරන්න හිතෙනවා. හිතිලා පින් කරන්න පුළුවන් තැනකට යනවා. නමුත් එයාට පින් කරගන්න ලැබෙන්නේ නෑ. එයා එතනට නොගියානම් ඔයිට හොඳයි. ඇයි එහෙම කියන්නේ? පින් කරන්න කියලා ගිහින් බොහෝ කාලයක් නිරයේ දුක් විඳින පව් කරගන්නවා. විශාල දුකකට වැටෙනවා. අවාසනාවන්තයෙක් බවට පත්වෙනවා. එවැනි අවාසනාවන්තයෙකුගේ ඉරණමක් ගැනයි මෙම කාථාවේ සඳහන් වෙන්නේ.

පින්වතුනේ, පින්වත් දරුවනේ, මහා කස්සප මහරහතන් වහන්සේ ගැන ඔබ දැනටමත් දන්නවා. උන්වහන්සේ උත්කෘෂ්ඨ වූ සීලයෙන් යුක්තයි. ගුණයෙන් යුක්තයි. ඒ වගේම දෙවිවරුන්ට උන්වහන්සේව ඉතාමත් ප්‍රියයි. ඒ වගේම සබ්‍රහ්මචාරීන් වහන්සේලාටත් උන්වහන්සේගෙන් ලැබෙන ආදර්ශය, අවවාදය හරිම ශ්‍රේෂ්ඨයි. ගෞතම ශාසනය බබලවන මහෝත්තමයන් වහන්සේ නමක්. දෙව්මිනිසුන් අතර ඒකාන්තයෙන්ම වන්දනාවට සුදුසු උතුම් රහතන් වහන්සේ නමක්.

මේ මහා කස්සප මහරහතන් වහන්සේ ළඟ තරුණයන් කිහිප දෙනෙක් පැවිදි වුනා. එයින් දෙනමකට වත් පිළිවෙත් කරන්නට අවස්ථාවක් ලැබුනා. එක නමක් ඉතාමත් ශ්‍රද්ධාවෙන් වත් පිළිවෙත් කළා. මහා කස්සප මහරහතන් වහන්සේට දැහැටි සූදානම් කිරීම, පැන් සූදානම් කිරීම, පා දෝවනය කරන පැන් සූදානම් කිරීම ආදී වත් පිළිවෙත් ඉතාම ශ්‍රද්ධාවෙන් කළා.

අනිත් නම හරිම කපටියි. බණ භාවනා කරන්නෙත් නෑ. ධර්මය ඉගෙන ගන්නට මහන්සි ගන්නෙත් නෑ. වත් පිළිවෙත් කරන්නට මහන්සි ගන්නෙත් නෑ. යහපත් පොඩි නම දැහැටි දඬු, පැන් සූදානම් කළ විට කපටි නම ඉක්මනින්ම මහා කස්සප තෙරුන් ළඟට යනවා. ගිහින් දෙකට තුනට නැමිලා කියනවා.

“පින්වත් ස්වාමීන් වහන්ස, අන්න මං ස්වාමීන් වහන්සේට දැහැටි දඬු පිළියෙල කළා. පැන් පිළියෙල කළා.”

සමහර අවස්ථාවලදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පැන්පහසු වෙන්න උණු පැන් පිළියෙල කරනවා. යහපත් පොඩි නම එය සූදානම් කරනකම් කපටි පොඩි නම නොදන්නවා වගේ ඉන්නවා. සූදානම් කොට අවසන් වූ ගමන් තමන් කළ දෙයක් වගේ පෙන්නනවා.

දවසක් අර යහපත් පොඩි නම අමුතු වැඩක් කළා. ඒ තමයි මහරහතන් වහන්සේ උදෙසා නහන පැන් වෙනම පිළියෙල කරලා වෙනදට පැන් තියෙන තැනින් වතුර ස්වල්පයක් භාජනයක දාලා වහලා තිබ්බා. අර කපටි පොඩි නම දුවගෙන ගිහින් කිව්වා “ස්වාමීනී, පැන් සූදානම්. නාන්න වඩින්න” කියලා. මහරහතන් වහන්සේ පැන්පහසු වීම පිණිස වැඩම කළා. ගිහින් භාජන ඇරලා බැලුවා.

“පොඩි නම, කෝ පැන් නැහැ නෙව.”

එතකොට කපටි පොඩි නම කලබලයෙන් ඇවිත් බැලුවා. පැන් නැහැ. කලබල වුනා. ඊළඟ භාජනයෙත් බැලුවා. ඒකෙත් පැන් නැහැ.

“මේක අර දුෂ්ට උන්නාන්සේගේ වැඩක්! හිස් භාජනය තමයි වහල තිබිලා තියෙන්නේ. මං හිතුවේ වතුර ලෑස්තියි කියලා” ඉතින් කපටි පොඩි නම හිස් බඳුන අරගෙන පැන් තොටට යද්දී අනෙත් පොඩි නම ඉක්මනින් ම පැන් සූදානම් කොට දුන්නා. මහරහතන් වහන්සේ අනෙත් පොඩි නමගෙන් ඇහුවා.

“ඈ… පොඩිනම? මොකක්ද මේ වැඩේ තේරුම? මේ නාන පැන් පිළියෙල කළේ අර පොඩිනම නෙවෙයි ද?”

“අනේ නෑ ස්වාමීනී, මෙතෙක් කලක් මං තමයි හැම දෙයක්ම කළේ. එයා කරන්නේ අනුන් කරන දේවල් තමන්ගේ හැටියට පෙන්නන එක විතරයි.”

මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මහත් සංවේගයක් ඇතිවුනා. අර පොඩිනමට අවවාද කළා.Dhammapadaya-05-02

“පොඩිනම, කළ වැඩේ හොඳ නැහැ නෙව. මීට පස්සේ තමන් කළ දේ පමණක් තමන් කළ බව කියන්න. අනුන් කළ දෙයක් තමන්ගේ නමට ගාව ගන්න එපා! ඒ වගේම අනිත් නමට කිපිලා කෑ ගසමින් පැන් තොටට යන්න එපා!”

එතකොට කපටි පොඩිනම මොකුත් කිව්වෙ නෑ. ඇස් රතු කරගෙන බිමට රවාගෙන හිටියා.

“හහ්….! එතකොට මං මොකක් කළත් වැරදියි. අනික මේ වතුර චුට්ටක් හින්දා ඔයතරම් කෑගහන්න ඕනද? ඔච්චර අවවාද කරන්න දෙයක් මේකෙ වුනේ නැහැ නෙව. හොඳයිකො. මං පෙන්නන්නම් හොඳ නොහොඳ මොකක්ද කියලා.”

එදා දවස පුරාම පොඩිනම ද්වේෂයෙන් හිටියේ. ද්වේෂය ඇතිවෙන විදිහටම කල්පනා කර කර හිටියා. පහුවදා මහා කස්සප මහරහතන් වහන්සේ සමඟ පිණ්ඩපාතෙ වඩින්න පොඩිනම ආවෙ නෑ. රහතන් වහන්සේ පිඬුසිඟා වැඩිවේලේ අර පොඩිනම වෙනත් දායක පවුලක් වෙත ගියා. ගිය වෙලෙහි ඒ දායක ගෙදර උදවිය මෙහෙම ඇහුවා.

“පොඩි ස්වාමීන් වහන්ස, අපේ ස්වාමීන් වහන්සේ කෝ?”

“පින්වත්නි, මහ තෙරුන් වහන්සේට සනීප නෑ. වෙහෙරෙමයි ඉන්නේ.”

“අනේ ස්වාමීනී, එහෙනම් දානෙට පිණ්ඩපාතෙ වැඩියේ නැතුව ඇති නෙව. එතකොට මොකද කරන්නේ?”

“එහෙම නම් පින්වත්නි, මේ මේ දේවල් දානෙට තියෙනවා නම් අගෙයි. මං දානෙ ගෙනිහින් දෙන්නම්.”

එතකොට ඔහු තමන්ට වුවමනා දානමාන ඉල්ලාගෙන යන ගමන් අතරමගදී වළඳලා තනියෙම ආරණ්‍යයට ගියා.

පසුවදා මහා කස්සප තෙරුන් වහන්සේ අර දායක පවුල සිටි ප්‍රදේශයේ පිණ්ඩපාතේ වැඩියා. මහ තෙරුන් වහන්සේ දුටු දායක පින්වතුන් ඉතාමත් සතුටට පත්වුනා.

“අනේ ස්වාමීනී, දැන් සනීප ද? අපට අර පොඩි නම කියූ හැටියට සෑහෙන්න අසනීපයි කියල හිතුනේ. ඉතින් අපි දානෙත් හදලා පිටත් කළා. වැඩම කළ එක කොයිතරම් දෙයක්ද?”

මහරහතන් වහන්සේ නිශ්ශබ්ද වුනා. දන් පැන් වළඳා පුණ්‍යානුමෝදනා කොට ආපසු වැඩියා.

“පොඩිනම, ඊයෙ අර දායක ගෙදරකට ගිහින් මොකක්ද කිව්වේ? ඇයි බොරු කියලා දානෙ අරගත්තේ? එහෙම අරගෙන වළඳන්නට වටින්නේ නැහැ නෙව. පැවිද්දන්ට කිසිසේත්ම සුදුසු නැහැ නෙව.”

කපටි පොඩිනම බිමට රවාගත්තා. ඇස් රතු කරගත්තා. දත්කූරු කන්න ගත්තා.

“කලින් දවසේ වතුර චුට්ටක් නිසා මට බොරුවට බැණ වැදුනා. අද බත් මිටක් නිසා දානෙ ඉල්ලලා අරගෙන වළඳන්න හොඳ නැතෙයි කියලා නිකම් ගෝරනාඩු කරනවා. හොඳයිකො. මං මහ තෙරුන් වහන්සේට කළ යුත්ත කරලා පෙන්නනම්කෝ.” කියල බද්ධ වෛර ඇති කරගත්තා.

පසුවදා මේ පොඩිනම පිණ්ඩපාතේ වැඩියෙ නැහැ. මහරහතන් වහන්සේ පිණ්ඩපාතෙ වඩිනකම් බලාගෙන හිටියා. ලොකු පොල්ලක් අතට ගත්තා. ඒ කාලෙ තිබුනෙ මැටි භාජන විතරයි. ඉතින් මහරහතන් වහන්සේට පැන් පහසු වෙන්න තිබුණු සියලු මැටි බඳුන්, සියලු උපකරණ පොඩි පට්ටම් කළා. කුටිය ගිනි තිබ්බා. ගිනි ඇවිල්ලෙන්නෙ නැති යම් බඩුවක් මුට්ටුවක් තිබුනා නම් ඒ හැම දෙයක් ම කුඩු පට්ටම් කළා. සිවුරු දාලා පැනලා ගියා.

ඔහු ටික කලකදී බලවත්ව රෝගාතුරව මරණයට පත්වුණා. නිරයේ උපන්නා. එක්තරා භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට ගොස් මේ පවිටු පුද්ගලයාගේ දරුණු ක්‍රියාව හෙළිදරව් කළා. එවේලෙහි අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප කාටත් ප්‍රයෝජනයක් වන මෙම ගාථාරත්නය වදාළා.

චරඤ්චේ නාධිගච්ඡෙය්‍ය – සෙය්‍යං සදිසමත්තනෝ
ඒකචරියං දළ්හං කයිරා – නත්ථි බාලේ සහායතා

කෙනෙකුගෙ ඇසුරට නිසි කල – උතුම් කෙනෙකු නොලැබෙන විට
අඩු ගණනේ තම ගතිගුණ – හා සම වූ අය නැතිවිට
තනියෙම ජීවත් වෙන්නට – දැඩි ලෙස ඔහු සිතිය යුතුය
පවිටු බාල අසත්පුරුෂ – ඇසුරක් නම් ඕනෙම නැත

පින්වතුනේ, පින්වත් දරුවනේ, එක්කෝ තමන්ගේ සීලයට උපදෙස් ගතහැකි, තමන්ට වඩා උසස් සිල් රකින කෙනෙක් ඇසුරු කරන්න ඕන. එක්කො තමන්ගේ සමාධිය දියුණු කරගන්නට උපදෙස් දිය හැකි උතුම් කෙනෙක් ඇසුරු කරන්න ඕන. එක්කො තමන්ගේ නුවණින් විමසීම දියුණු කරගන්න පුළුවන් උතුම් කෙනෙක් ඇසුරු කරන්න ඕන. එතකොට තමයි එයා ටිකෙන් ටික සත්පුරුෂ ගතියෙන් පෝෂණය වෙන්නේ. ඤණවන්තයෙක් වෙන්නේ. කෙළෙහි ගුණ දන්නා ගුණවතෙක් වෙන්නේ.

එහෙම උතුම් කෙනෙක් මුණ නොගැහුනොත් අඩු ගණනේ තමා තරමින් වත් සීලවන්ත කෙනෙක් ඇසුරු කරන්න ඕන. තමා තරමින් වත් ධර්මයේ හැසිරෙන කෙනෙක් ඇසුරු කරන්න ඕන. එහෙම නොවුනොත් තමන්ට ලොකු අනතුරක් තියෙනවා.

සමහරවිට අපි කෙනෙකුට හිතවත් වෙන්න පුළුවන්. ඒ හිතවත්කම නිසා අපට අපේ ගුරුවරු කෙරෙහි, මව්පියන් කෙරෙහි, වැඩිහිටි උතුමන් කෙරෙහි අපේ පැහැදීම නැතිවෙනවා නම්, අර අසත්පුරුෂයා අපිව ගුරුවරුන්ට, මව්පියන්ට විරුද්ධව කටයුතු කරන්නට පොළඹවනවා නම්, ඒ වගේම දුස්සීල වෙන්නට පොළඹවෙනවා නම්, ඒ තුළින් සිදුවෙන හානිය මෙතෙකැයි කියලා වචනයෙන් කියා නිමකරන්නට බැහැ. අසත්පුරුෂ ඇසුර නිසා රැස් කරගන්නා පව් හේතුවෙන් කල්ප ගණන් නිරයේ පැහෙන්න වේවි. ඒ නිසා තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අසත්පුරුෂ ඇසුර අත්හරින්න කියලා නැවත නැවතත් පෙන්නා දෙන්නේ. උන්වහන්සේ වදාළේ තනියම ජීවත් වීමට දැඩිව අධිෂ්ඨාන කරගන්න කියලයි. අසත්පුරුෂයන් එක්ක ඇයි හොඳයි කතාවක් ඕනම නෑ.

එවේලෙහි මේ ධර්මයට සවන් දුන් ඒ ආගන්තුක භික්ෂුවටත්, අනෙත් භික්ෂූන්ටත් අසත්පුරුෂ ආශ්‍රයේ ඇති භයානකකම හොඳට තේරුනා. සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුරේ වටිනාකම හොඳට තේරුනා. ලොව පහළ වූ පරම කල්‍යාණමිත්‍රයන් වහන්සේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි කියලා හොඳට තේරුනා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් ඒ සත්පුරුෂ ධර්මය වන චතුරාර්ය සත්‍යය ධර්මය අහන්නට ලැබුනා. ඒ සියලු භික්ෂූන් වහන්සේලාට සෝවාන් වෙන්න වාසනාව ලැබුනා.

අපටත් මේ උපදේශය ඉතාම වටිනවා. ‘එක්කො අපට වඩා ගුණධර්ම වැඩි, අපේ ගුණධර්ම දියුණු කරගන්නට උපදෙස් ගත හැකි උතුම් කෙනෙක් ඇසුරු කරන්නට ඕන. එහෙම කෙනෙක් ඇසුරට නැත්නම්, අඩු ගණනේ අපේ තියෙන ගුණ ධර්ම ආරක්ෂා කරගෙන සිටිය හැකි ආකාරයේ සමාන ගතිගුණ තියෙන අය ආශ්‍රය කරන්න ඕන. එහෙම නැතුව දත් තිස් දෙකම පෙන්නලා හිනහා වුනා කියලා රැවටෙන්න හොඳ නැහැ. බොරු තොඳොල් කපටි නැළවිලි බස් වලින් අපට ආදරයෙන් ඇමතුවා කියලා රැවටෙන්න හොඳ නෑ. අපේ රැකවරණයට ඉදිරිපත් වුනා කියලා වහසි බස් කියූ පමණින් රැවටෙන්න හොඳ නෑ. නුවණ පාවිච්චි කළ යුත්තේ යහපත් ඇසුර උදෙසාමයි. ඇසුරු නොකළ යුත්තේ අසත්පුරුෂයාවමයි. සත්පුරුෂ ආශ්‍රය කොයිතරම් වාසනාවක්ද!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post අසත්පුරුෂයා යහපත් අවවාදයටත් වෛර බඳිනවා appeared first on Mahamevnawa Monastery.

දැඩි සත්කාර ගිලන් ඇඳන් සහ වෛද්‍ය උපකරණ පූජා කිරීම

$
0
0
news-slide-ICU-beds

දැඩි සත්කාර ගිලන් ඇඳන් සහ වෛද්‍ය උපකරණ පූජා කිරීම…
ශ්‍රී බුද්ධ වර්ෂ 2557ක් වූ නවම් මස 09 දින (2014/02/09)


හමෙව්නාව භාවනා අසපු සංචිතය මගින් ක‍්‍රියාත්මක වන නොයෙක් ආකාර වූ සත්කාරයන් අතර මහමෙව්නාව සුව සේවා සංවිධානය සුවිශේෂී තැනක් ගනී. විශේෂයෙන්ම පින්වත් ස්වාමීන් වහන්සේලා මූලික කරගෙන එමෙන්ම අසරණ වූ රෝගීන්ට සෙත සැළසීමේ අරමුණින් ආරම්භ වූ සුවසේවා සංවිධානය මගින් මේ වන විට බොහෝ පින්කම් සිදුකොට තිබෙනවා.

යමෙක් තථාගතයන් වහන්සේට උපස්ථාන කරන්නේ නම්, ඔහු ගිලනුන්ට උපස්ථාන කරන්නේ වේ” මෙම උතුම් බුද්ධානුශාසනාව ආදර්ශ පාඨය ලෙස තබාගෙන කටයුතු කරන සුවසේවා සංවිධානයේ ඒකායන අරමුණ තථාගතයන් වහන්සේට කරන පූජාවක් ලෙසින් ගිලනුන්ට කරුණාව, මෛත‍්‍රිය පෙරදැරිව සුව සේවාවක් ලබාදීමයි.

මහමෙව්නාව කුණ්ඩසාලේ භාවනා අසපුව කේන්ද්‍ර කරගෙන පවත්වාගෙන යනු ලබන මෙම උතුම් සත්කාරයේ තවත් එක් සුවිශේෂී පින්කමක් ලෙස, දැඩිසත්කාර ගිලන් ඇදන් හා වෛද්‍ය උපකරණ කට්ටල රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා පරිත්‍යාග කෙරිණි. එක් අඳක් රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වටිනා දැඩි සත්කාර ගිලන් ඇඳන් 20 ක් සහ වෛද්‍ය උපකරණ කට්ටලයක් මහනුවර මහ රෝහලට ද දැඩි සත්කාර ගිලන් ඇඳන් 04ක් මහියංගනය මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයටද පූජා කරන්නට යෙදුනි.

එලෙස පරිත්‍යාග කරන්නට යෙදුනු එම වෛද්‍ය උපකරණ පිළිබඳ විස්තරයක් ද ඡායාරූප එකතුව ද පින්වත් ඔබට අනුමෝදන් වනු පිණිස මෙලෙස සටහන් කරන්නෙමු..

ඒකකය ඇදන් ප්‍රමාණය
ශල්‍ය දැඩි සත්කාර ඒකකය ඇඳන් 02
වෛද්‍ය දැඩි සත්කාර ඒකකය ඇඳන් 01
වාට්ටු අංක 3/24 ඇඳන් 02, Pulse OXIMETER 01
වාට්ටු අංක 4/23 ඇඳන් 02
වාට්ටු අංක 6 ඇඳන් 02
වාට්ටු අංක 7 ඇඳන් 01
වාට්ටු අංක 11/12 ඇඳන් 02
වාට්ටු අංක 16/17 ඇඳන් 02
වාට්ටු අංක 18/19 ඇඳන් 02
වාට්ටු අංක 21/22 ඇඳන් 02
වාට්ටු අංක 47 ඇඳන් 02
දැඩි සත්කාර ඒකකය(මහියංගනය මූලික රෝහල) ඇඳන් 04

ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් මහමෙව්නාව භාවනා අසපුව සහ මහාමේඝ මාධ්‍ය ජාලය ඒකාබද්ධව සදුකළ ආබාධිත පුද්ගලයන් සඳහා රෝද පුටු සහ සහායක උපකරණ බෙදාදීමේ දීපව්‍යාප්ත වැඩසටහන මඟින් මහමෙව්නාව සුව සේවා සංවිධානය වෙත ලැබුනු රුපියල් ලක්ෂ තිහක් පමණ වටානාකමින්යුත් දැඩි සත්කාර ගිලන් ඇඳ, පසුගිය වසරේ මැයි මස 05 දින මහනුවර මහ රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකය වෙත පූජාකරන්නට යෙදුනි.

මෙසේ රැස් කරගන්නට යෙදුනු උතුම් බුද්ධෝපස්ථාන පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට ද, මේ සඳහා නන් අයුරින් උපකාර කළ සියලු පින්වතුන්ට ද, දැක බලා සතුටුවන ඔබ සියලු දෙනාට ද, අනුමෝදන් වනු කැමති සියලු දෙනාට ද, එකසේ අනුමෝදන් වෙත්වා! ජාති ජරා ව්‍යාධි මරණ ආදී අනේක දුක්ඛයන්ගෙන් නිදහස් ව ලබන උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය ලබා ගැනීමේ දුර්ලභ වාසනාව ලබත්වා!!!


The post දැඩි සත්කාර ගිලන් ඇඳන් සහ වෛද්‍ය උපකරණ පූජා කිරීම appeared first on Mahamevnawa Monastery.

සක්කාය දිට්ඨියෙන් උපදින අනතුර…

$
0
0
sakkaya-dhittiyen-upadin-anatura

sakkaya-dhittiyen-upadin-anatura

පින්වත්නි,

බුදුරජාණන් වහන්සේගේ මේ දෙසුම් තුළින් අපි මෙය හොඳට තේරුම් ගත යුතුයි. අපට සංසුන් ඉඳුරන් ඇතිකර ගැනීමට ඇති ප‍්‍රධානම බාධාව අපි සසරේ පුරුදු කරන ලද වැඩපිළිවෙලයි. මේ ආකාරයට ඇතුළත බැඳීයාම, පිටත බැඳීයාම හේතුවෙන් අපි නැවත නැවත වැටෙන්නේ හිටි තැනටමයි. අපි නැවත නැවත ආ ගිය තැන්වලටම යැවෙනවා. මෙයට හේතු භූත වන ප‍්‍රධානම බැඳීම තමයි ‘සක්කාය දීට්ඨිය.’ සක්කාය දීට්ඨිය තුළ හැම තිස්සේම තමන්ට තැනක් හොයනවා. තමන්ට නමක් හොයනවා.

ඔන්න පුද්ගලයෙක් ධර්මය අහන්න එනවා. “අනේ මමත් බුදුරජුන්ගේ ධර්මය අසන්නෙමි. මමත් ඒ දහමට සිත පහදවා ගන්නෙමි. මමත් සිත පිනට නතු කර ගන්නෙමි” කියලා එනවා. නමුත් ඒ විදිහට පින හොයාගෙන ඇවිල්ලා පසුව බලන්නේ තමන්ට ඇති තැන කොතැනද කියලයි. ඒ නිසා හොඳට මතක තියාගන්න, පින හොයන්න එන කෙනා තමන්ට තැනක් හොයන්න ඕන නෑ. මොකද, තැනක් හොයන්න ගියොත් ‘මගේ නම කියවුණේ නැත. මෙතැන පින් කිරීමෙන් කම් නැත’ කියලා යන්න යනවා. බලන්න, ඔහු ආවේ පින සොයා ගෙනයි. නමුත් නොදැනීම නම සොයා ගියේය. ඔහු ආවේ දහමක් සොයා ගෙනයි. ඔහු නොදැනීම තැනක් සොයා ගියේය. මෙවැනි දේවල් ඕනතරම් වෙන්න පුළුවන්.

ඔන්න ධර්මය සොයාගෙන ආපු කෙනාට සමිතියක තනතුරක්, එක්කෝ මොකක් හරි ආයතනයක තනතුරක්, වගකීමක් ලැබෙනවා කියමු. ඊට පස්සේ එයා ඒකට පිළිගැනීමක් හොයනවා. මේවා ඔක්කොම හැදෙන්නේ සක්කාය දීට්ඨියෙන්. ඒ නිසා අපි තමාට පිළිගැනීමක් සොයන්න ගිය විට අහිමි වන දෑ බොහෝය. තමාට පිළිගැනීමක් සොයන්න ගිය විට නොවටිනා දෙයක් අහිමි වී ගියා නම් කම් නැත. නමුත් අහිමි වී යන්නේ ධර්මයයි.

පින්වත්නි, ධර්මය සොයාගෙන යන අයට හැම තිස්සේම ධර්මය අහිමි වී යාමේ අවදානමක් තියෙනවා. මේ අවදානම තියෙන්නේ බාහිර නෙවෙයි, අභ්‍යන්තරයේමයි. නමුත් අපව සුරකින යම්කිසි මෙවලමකුත් අප අභ්‍යන්තරයේ තියෙනවා. ඒ තමයි යෝනිසෝ මනසිකාරය. මේ අභ්‍යන්තර මෙවලම පාවිච්චි කරගන්න බැරි හැම තිස්සේම සක්කාය දිට්ඨිය පෙරට පනිනවා. එහෙම නම් සක්කාය දිට්ඨිය පෙරට පනින එක වළක්වා ගන්න තියෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. නැත්තම් එකම අරමුණකට ආ අපි සී සීකඩ යයි. මොකද, මේ අභ්‍යන්තරයේ තියෙන සක්කාය දිට්ඨිය අපට විවිධ මං පෙත් සලකුණු කරනවා. විවිධ පාරවල් පෙන්නා දෙනවා. ඒවා ඔක්කොම අපි සංසාරේ ගියපු පාරවල්.

නමුත් අපි ආශා කළ යුත්තේ සංසාරයේ නොගිය පාරේ යන්නයි. සසරේ අපි නොගිය මාවත ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න ආශාවෙන් ආවට සක්කාය දිට්ඨිය විසින් නැවත නැවත අපව කරකවලා පරණ පාරෙම ගෙනියනවා. අපි ගිය ඒ පරණ පාර තමයි, නම හොයාගෙන යෑම. තැන හොයාගෙන යෑම. කීර්තිය හොයාගෙන යෑම. පිළිගැනීම සොයාගෙන යෑම. සම්මාන සොයාගෙන යෑම. උපහාර සොයාගෙන යෑම. සිටි තැන සොයාගෙන යෑම.

වැඩිය ඕන නෑ අපි කියමු, ඔන්න ගිය වතාවේ භාවනා වැඩසටහනට ඇවිල්ලා ඉස්සරහා වාඩිවුණා. ඉතින් ඊළඟ වතාවේ ඇවිදින් රණ්ඩු අල්ලනවා. ”මම කලින් වතාවේ සිටියේ මෙතැනය. අද ඔබ එතැන සිටී. කරුණාකර යන්න ඔබ පස්සට…” මේ විදිහට කිපෙන්නේ අප තුළ තියෙන සක්කාය දිට්ඨියයි. එතකොට බලන්න, අපට නිරන්තරයෙන්ම සක්කාය දිට්ඨියෙන් පහරවදින්නේ නැද්ද? ඒ විදිහට සක්කාය දිට්ඨියෙන් නිරතුරු බැටකන අප කොතරම් නුවණ භාවිතා කළ යුතුද? මොකද, මේ සක්කාය දිට්ඨිය අපට කරන හානිය සුළු පටු නෑ. අනන්ත බරපතල හානියක් කරනවා. මේ සක්කාය දිට්ඨිය විසින් අපව නිරයට ගෙන ගියා.

ඒ විදිහට සක්කාය දිට්ඨිය මුල්වෙලා නිරයේ ගෙනියන්න පුළුවන් වුණා නම්, තිරිසන් අපායේ හිර කරන්න පුළුවන් වුණා නම්, පෙරේත ලෝකයේ ගෙනියන්න පුළුවන් වුණා නම්, ලැබෙන්න යන දහම අත්හරවන්න මේ සක්කාය දිට්ඨියට බැරි වේවිද…?

ඒ නිසා පින්වත්නි, දහමට පැමිණෙන කෙනාට අනතුර ඇත්තේ පිටතින් නොව, තමාගෙන්මය. මේ නිසා මේ දහමට පැමිණි කෙනා, දහමට පැමිණෙන්නට ආශා කෙනා තමන්ට තැනක් හෙව්වොත් එය සක්කාය දිට්ඨියට හේතුවක් වේවි. මොකද, සක්කාය දිට්ඨිය හැම තිස්සේම කරන්නේ තමන්ට තැනක් හොයන එකයි.

‘ඒ කියන්න ඇත්තේ මා ගැනය. එසේ කියද්දී මා දෙසද බැලූවේය. එසේ නම් ඒ කියන්නට ඇත්තේ මා ගැනයි.’ මේ වගේ මේ සිත අපිව පුදුම විදිහේ පටලැවිලිවලට, ප‍්‍රහේළිකාවලට ඇද දානවා. ඒ නිසා අපට කවදාවත් මේ සිතේ තියෙන විජ්ජාවෙන්, මායාවෙන් එකවර ගැලවෙන්න අවස්ථාවක් නෑ. ඒ නිසා පින්වත්නි, අපට තියෙන අනතුරෙහි දරුණු බව, බිහිසුණු බව, පවිටු බව අපි තේරුම් ගෙන සිටිය යුතුයි.

සමහර විට අපි අපට ශ‍්‍රද්ධාව තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. සමහර විට ශ‍්‍රද්ධාව හැටියටතිබිලා තියෙන්නේ සක්කාය දිට්ඨියෙන් හැදුණු එකක්. ඒ කියන්නේ, ධර්මයට පැමිණීමත් සමඟ අපි සමාජය තුළ යම්කිසි විශේෂ කෙනෙක් කියලා අල්ලා ගන්නවා. මොකද, බුද්ධ දේශනාවේ තියෙනවානේ, මේ ධර්ම මාර්ගයේ යන කොට එයා විශේෂ කෙනෙක් කියලා. ඉතින් අපිත් ඒක අල්ලගෙන ‘හා දැන් මමත් විශේෂයි’ කියලා අන් අය කෙරෙහි නිකම් බොරු සානුකම්පිත හැඟීමක් ඇති කර ගන්නවා. ‘මට අනිත් අය ගැන හරිම දුකයි. අපට නම් ශ‍්‍රද්ධාව තියෙනවා. අනේ අර ඇත්තන්ට නැහැ නෙව’ කියලා හැඟීමක් ඇතිකර ගන්නවා. ප‍්‍රශ්නයක් වෙලා බලන්න ඕන තමන්ගේ ශ‍්‍රද්ධාව කොහෙද තියෙන්නේ කියලා. ඒ වෙලාවට ශ‍්‍රද්ධාවට වුණු දෙයක් නෑ.

ඉතින් ඒ නිසා හැබෑ ලෙස බුදුරජාණන් වහන්සේගේ දහම සිහි කිරීම, ධර්මයට ගෞරව කිරීම, ධර්මයට සැලකීම, ප‍්‍රශංසා කිරීම අපට ශ‍්‍රද්ධාවට එන්න තියෙන මූලිකම කාරණාවක්.

මේ සක්කාය දිට්ඨියේ පහර කෑමෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ හොඳ දෙයක් පෙන්වා දී තිබෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාගෙන් අහනවා,

“පින්වත් මහණෙනි, මා ඔබට දෙසූ දහම ඔබ මතක තබාගෙන ඉන්නේ කොහොමද?”

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළ දහම අප මතක තියාගෙන සිටින්නේ මේ අයුරින්. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ, ‘මහණෙනි, මේ සංසාරය අති දීර්ඝයි. මේ සංසාරයේ ආරම්භක කෙළවරක් නොපෙනේ. මහණෙනි, මේ සංසාරයේදී සතර අපායේ වැටි වැටී පැමිණි ගමනේදී ඔබේ සිරුරෙන් ගලා ගිය ලේ දහර සතර මහා සාගරයට වැඩියි. සතර අපායේ වැටි වැටී පැමිණි ගමනේදී ඔබ හෙලූ කඳුළු සතර මහා සාගරයට වැඩියි. ඒ නිසා මේ ගමන ගැන ඔබ කළකිරිය යුතුයි’ කියලයි. භාග්‍යවතුන් වහන්ස, මෙයයි අප දන්නා දහම.”

අපෙන් ඇහුවා නම් “භාග්‍යවතුන් වහන්ස, පටිච්ච සමුප්පාදයයි” කියලා කියයි. මොකද, අපි හැම තිස්සේම බලන්නේ අපි දන්නවා කියලා පෙන්වන්නයි. අපිට වැටහුණා කියලා පෙන්වන්නයි. නමුත් බලන්න, සක්කාය දිට්ඨියෙන් තොර ඒ ස්වාමීන් වහන්සේලා කොච්චර ලස්සන පිළිතුරක් දුන්නාද?

”සාදු! සාදු! මහණෙනි, මා දෙසූ දහම ඔබ මතක තබාගෙන සිටින අයුරු ඉතා අගනේය.”

ඒ නිසා අපි මේ යන ගමනේදී සක්කාය දිට්ඨියෙන් තිබෙන අනතුර වළක්වා ගන්න එක හරි වැදගත්. පින්වතුනි, අපි මේ යන්නේ සංසාර ගමනකයි. ඒ නිසා අපි සෙවිය යුත්තේ තමාට නමක්, තැනක්, පිළිගැනීමක්, සම්මානයක්, නෙවෙයි, අප සෙවිය යුත්තේ සතර අපායෙන් මිදෙන දහමෙන් පිළිසරණක්.

යමෙක් මේ ආකල්පයට ආවොත්, ඒ කෙනා නැවත නැවත ඒක සිහි කරනවා. එතකොට ඒ කෙනාට ද්වේෂයට කිපෙන ඉඳුරන් ඇතිවුණොත්, සැණෙකින් සිහිය උපදිනවා. ‘මං මේ එන්නේ සසර ගමනක. මේ සසර ගමනේදී මේ ද්වේෂය නිසා මං කොච්චර පව් රැස්කර ගන්න ඇද්ද? ඒ ද්වේෂය ආයෙමත් මතුවෙලා මාව අකුසලයට යොදවන්න හදනවා. ඒ ලෝභය ආයෙමත් මතුවෙලා මාව වරදට යොදවන්න හදනවා. මෝහය ආයෙමත් මතුවෙලා මාව නොමග යවන්න හදනවා. මේක මට විශාල අනතුරක්. මෙය මට හිතසුව පිණිස පවතින දෙයක් නෙවෙයි’ කියලා එයාගේ සිතට එනවා. ඒ විදිහට නිවැරදි කල්පනාවට පැමිණීම පිණිස තමන් සසර ගමනක පැටලී වෙලී සිටිනා කෙනෙක් වග නිතර නිතර සිහි කිරීම බොහෝ උපකාර වෙනවා….

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්
සදහම් වැඩසටහන් වලදී පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සකස් කළ
මමත් සිත සමාහිත කරමි බුදු සමිඳුනේ…’ සදහම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී

The post සක්කාය දිට්ඨියෙන් උපදින අනතුර… appeared first on Mahamevnawa Monastery.

භාවනා ශාලාව සහිත කුටි සංකීර්ණය

$
0
0
news-slide-kuti

භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය ලොව පුරා පැතිරවීමේ පිවිතුරු අදහසින් ආරම්භවූ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුමූලස්ථාන පුණ්‍යභූමියේ ගෞතම බුදු සසුනේ පිළිවෙත්පුරනා මහා සංඝරත්නයේ පහසුව පිණිස අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදයෙන්, කුටි 96 කින් සමන්විතව භාවනා ශාලාවක්ද සහිත කුටි සංකීර්ණය මේ වන විටත් ඉදිවෙමින් පවතී.

මෙම සුවිශාල කුටි සංකීර්ණය, භාවනා ශාලාව සහ එහි මුලික අවශ්‍යතා සඳහා කොටස් වශයෙන් හෝ ශක්ති පමණින් ඔබගේ දායකත්වය ලබාදී පින් රැස්කරගත හැකිය. මෙම මහානීය පුණ්‍යකර්මය සඳහා ධනයෙන් මෙන්ම ශ්‍රමයෙන්ද දායකත්වය ලබාදීමේ අවස්ථාවද ඔබට උදාවී ඇත.

මෙම මහානීය වූ පුණ්‍යකර්මයට ශක්ති පමණින් තම දායකත්වය ලබාදෙන්නාවූ ද, නන් අයුරින් සහයෝගය දක්වන්නාවූ ද, දැක බලා සිත් පහන් කරගන්නාවූ ද, සුපින්වත් ඔබ සැමට වඩ වඩාත් සිත් පහන් කරගනු පිණිස මෙම සුවිශාල කුටි සංකීර්ණය ඉදිකිරීමේ සොඳුරු දසුන් පෙළ මෙලෙස පෙළගස්වන්නෙමු.

මේ උතුම් පුණ්‍යකර්මයෙන් ජනිත සියලු පුණ්‍යධර්මයන්, පින්කැමැති සියලුදෙන පහන් සිතින් අනුමෝදන් වෙත්වා…!

වැඩි විස්තර සඳහා පිවිසෙන්න

The post භාවනා ශාලාව සහිත කුටි සංකීර්ණය appeared first on Mahamevnawa Monastery.

අසිරිමත් පසේබුදු පෙළහර 16

$
0
0
pasebudu-pelahara-16

පිරිසත් සමඟ ඇලෙමින් නිති කල් ගෙවන
කෙනෙකුට නොමැති සැනසුම දහමක රැඳුන
මුනිවරුන් පැවසූ මෙය – අසාගෙන සිත සතුටින
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….

pasebudu-pelahara-16

පගේ ශාස්තෘන් වහන්සේ පසේබුදුවරයන් වහන්සේලා විසින් වදාරණ ලද ගාථාවන් මතු කොට පෙන්වීම නිසා අපට මේ විස්මිත මුනිවරුන් ගැන ඉගෙන ගැනීමේ අවස්ථාව ලැබුණා. සසරෙහි කරන ලද පුණ්‍යානුභාවයෙන් යුතුව උපදින මේ මහා පුරුෂයින් හට නිසි කල පැමිණෙන විට පසේබුදුවරුන්ගෙන්ම උපකාර ලැබේ. එය බොහෝ පසේබුදුවරුන් කෙරෙහි දක්නට ලැබෙන දෙයකි.

අප ද අපට උපකාර කරන, කරදරයේදී පිහිට වෙන, යහපත් අරමුණු උදෙසා මඟපෙන්වන උතුමන්ව හඳුන්වා දෙන්නේ ඉෂ්ට දේවතාවුන් නමිනි. පසේබුදු බවට පින් ඇති මේ උදාර මනුෂ්‍යයින්ට ද පසේබුදුවරයන් පිහිටවන්නේ ඉෂ්ට දේවතාවුන් පරිද්දෙනි. මෙහි සඳහන් වන්නේ එවැනි කථාවකි.

මහා පින් ඇති කෙනෙක් බරණැස් රජුගේ පුතෙකුව උපන්නේය. මේ කුමරා කුඩා අවදියෙහිම කෙලි සෙල්ලම් අත්හැරියා. දඩයම් අත්හැරියා. විනෝදය අත්හැරියා. අමුතුම ජීවිතයක් ගෙව්වා. මෙය හැමෝටම ප්‍රශ්නයක් වුණා. සියලු සැප සම්පත් තියෙද්දී මේ දරුවා කල්පනා කරන්නේ ජීවිතාවබෝධයක් ගැනයි. රජ බිසව මහත් සේ කම්පා වුණා.

“අනේ මගේ පුංචි පුතේ…. ඔයා උද්‍යාන ක්‍රීඩාවට ගියත් සෙල්ලම් කරන්නේ නෑ. කල්පනා කරනවා. රසවත් කෑම හදලා දෙන්නේ අපි කොයිතරම් ආශාවෙන්ද? ඒවා කන්නෙත් නෑ. දැන් බලන්න…. ඊයේ රාත්‍රියේ නාටිකාංගනාවන් මොනතරම් ලස්සනට ගී ගැයුවද? මොනතරම් ලස්සනට නැටුවද? ඇයි ඔයා සතුටු නොවෙන්නේ? ඔයාට අසනීපයක් වත්ද? අනේ පුතේ, සඟවා නොගෙන කියන්න. ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න මං සූදානම්.”

“නෑ… පින්වත් මෑණියනි, මං රාජාභරණවලට ආශා නෑ. මං මේ උද්‍යාන ක්‍රීඩාවට ආසා නෑ. දඩයමේ යන්න ආසත් නෑ. මේ නාටිකාංගනාවන් මට පෙනෙන්නේ සෙවණැලි වගෙයි. මෑණියනි, මට හිතෙන්නේ මෙහෙම දෙයක්. මං අහලා තියෙනවා ශ්‍රමණවරු ගැන. ශ්‍රමණවරු ඉන්නේ මඩෙන් ගොඩට නැගී පිපුණු නෙළුම් වගේලු. නෙළුම් පතක නොරඳින දිය බිඳු වගේලු. දැලකට හසු නොවෙන සුළඟක් වගේලු. එක්තැන නොරැඳි ගලා යන ගඟුලක් වගේලු. හිමාල මුදුනෙහි තිබෙන ගැඹුරු විලක් වගේලු. අනේ මෑණියනි, මටත් එහෙම කෙනෙක් වෙන්න ඕන.”

“පින්වත් පුතේ, ඔයා මොනවද මේ කියන්නේ? කවුද ඔයාට මේවා කිව්වේ? ජීවිතය කියන්නේ හරි ආනුභාව ඇති දෙයක්. ඔයාට උපස්ථාන කරන්න ඔයාගේ පිය රජතුමා විසිදාහක් නාටිකාංගනාවන් පිළියෙල කළා. ඔයා නැතුව අපි ජීවත් වෙන්නෙ කොහොමද?”

“නෑ… පින්වත් මෑණියනි, මං ශ්‍රමණ කෙනෙක් වෙනවාමයි. මගේ ගමන වළක්වන්න එපා! මේ හැම දෙයක්ම මං කැමති නෑ.”

ඉතින් බිසවුන් වහන්සේ මොනතරම් කරුණු කිව්වත් පුත් කුමරයාගේ සිත වෙනස් කරන්න බැරිවුණා. රජතුමා නොයෙක් අයුරින් කුමරාට කරුණු කිව්වා. කාගෙවත් කීම අහන්නෙ නෑ. අන්තිමේදී කුමරාගේ අදහසට එකඟ වෙන්න සිදුවුණා. එතකොට බිසව රජතුමාට මෙහෙම කිව්වා.

“දේවයන් වහන්ස, අපගේ පුත් කුමරාගෙන් වෙන් වී අපි ඉන්නෙ කොහොමද? නමුත් මේ පුත් කුමරා පැවිදි වුණොතින් අපට කවදාවත් දකින්න ලැබෙන එකක් නෑ. මොනතරම් කරුණු කිව්වත් මේ දරුවාගේ සිත වෙනස් වෙන්නෙ නැහැ නෙව. ක්‍රීඩාවලට, දඩයමට, සංගීතයට, නැටුමට සිත අලවන්න මං මොනතරම් මහන්සි ගත්තාද? සුරූපී නළඟනන් තාලයට නටද්දී අපගේ පුතුට පෙණුනේ සෙවණැලි වගේලු.

ප්‍රිය දේවයන් වහන්ස, අපි මෙහෙම දෙයක් කරමු. දැන් මෙයා පැවිදි වෙන්න ඕනම කියනවානේ… හරි… අපේ උද්‍යානයේ කුටියක් කරවමු. පැවිදි වූ පසු ඒ කුටියේ පමණක් සිටිනවා නම් එයට අවසර දෙමු. ටිකෙන් ටික හිත වෙනස් වේවි.”

අන්තිමේදී පුත් කුමරාට අවසර ලැබුණේ රජුගේ උයනෙහි වාසය කිරීම පිණිස එකඟ වෙන්නට සිදුවුණාට පසුවයි. බිසව මැදිහත් වී කුමරුට කසාවත් පෙරෙව්වා. උද්‍යානයට එක්කගෙන ගියා. විසිදහසක් සුරූපී නළඟනන්ට මේ ශ්‍රමණයන් වහන්සේව භාරදුන්නා.

“ප්‍රිය වනිතාවෙනි, නුඹලාට මාගේ මේ ශ්‍රමණ පුතුන් භාරයි. නුඹලා විසින් මේ පුතුට ප්‍රණීත රසමසවුළු වලින් දන් පැන් පූජා කළ යුතුයි. ඇප උපස්ථාන කළ යුතුයි. පියකරු වචනයෙන් කතා කළ යුතුයි. මේ පුතුගේ ඇති දොම්නස දුරු කළ යුතුයි. මා හෝ රජතුමා පැමිණ අපගේ ශ්‍රමණ පුතුන්ට දානය වළඳවනු ඇති.”

දිවා රාත්‍රී මේ කුමර පැවිද්දාට රැකවල් දැම්මේය. දිනක් බිසව පැමිණ පුතුගෙන් කරුණු විමසා සිටියා.

“මගේ පුංචි ශ්‍රමණයන් වහන්ස, දැන් ඔයා ඉන්නේ සතුටින් නේද? ඔයාට පැවිදි වෙන්න ඕන කිව්වා…. ඔන්න අපි පැවිදි කළා…. අපේ උයනෙ විතරක් ඉන්නවා කිව්වා. ඒවත් පිළියෙල කළා. මාළිගාවේ ඉන්න බැහැ කිව්වා. ඔන්න අපි කුටියකුත් හදලා දුන්නා…. දැන් ඔයාට සතුටුයි නේද?”

මේ පුංචි ශ්‍රමණයන් වහන්සේ නිශ්ශබ්ද වුණා. නාටිකාංගනාවන් පැමිණ පවන් සලන්න පටන් ගත්තා. ශ්‍රමණයන් වහන්සේගේ සිත සතුටු කිරීමට ගීත ගයන්නට පටන් ගත්තා. මේ සියල්ල මැද අසරණ වූ මේ ළදරු පැවිද්දා කිසිවක් කර කියා ගත නොහැකි තත්වයට පත්වුණා.

මෙකල ආදිච්චබන්ධු නම් පසේබුදුවරයන් වහන්සේ නමක් හිමාලයෙහි නන්දමූලක ගිරි ගුහාවෙහි වාසය කරනවා. අලුතෙන් පසේබුදුවරයෙක් බිහිවෙන්න ළඟයි. මංජූසක වෘක්ෂයෙහි රන්මලක් පීදීගෙන එනවා. ඒ පසේබුදුවරයන් පහළ වෙන්නේ කොහෙන්දැයි දිවැසින් විමසා බැලුවා.

“අහෝ! පසේබුදුබව පිණිස පුරන ලද පින් ඇති කෙනා උයනක සිර වී සිටිනවා. ජීවිතාවබෝධය පිණිස උදව් විය හැකි කිසි අරමුණක් නැහැ. ඔය විදිහට ගියොත් බොහෝ කාලයක් ගත වේවි.”

මෙසේ සිතූ ඒ ආදිච්චබන්ධු පසේබුදුවරයන් වහන්සේ රජුගේ උයනට වැඩම කළා. සේවකයන් මේ පැවිද්දා දැක රජතුමාට දැනුම් දුන්නා.

“භවත් මහරජාණෙනි, පුත් කුමරා දකින්නට ආශා ඇති ආකාරයේ ශාන්ත ඉරියව් ඇති ශ්‍රමණයන් වහන්සේ නමක් උයනෙහි වැඩඉන්නවා. උන්වහන්සේ හඳුන්වන්නේ ‘පච්චේකබුද්ධ‘ යන නමිනුයි.”

මෙය ඇසූ රජතුමා මහත් සතුටට පත්වුණා. වහා ගොස් ඒ පසේබුදුන්ව බැහැදැක්කා. උයනෙහි වැඩසිටින්නට ඇරයුම් කළා. බිසවට කතා කොට මෙහෙම කිව්වා.

“ප්‍රිය භවතී, අපගේ පුත් කුමරාගේ වාසනාවට ශාන්ත ඉරියව් ඇති ශ්‍රමණයන් වහන්සේ නමක් උයනෙහි වැඩඉන්නවා. දැන් ඉතින් උන්වහන්සේගේ ඇසුරේ අපගේ පුතු කළකිරීමක් නැතුව සිටීවි. එතකොට වත් අපගේ පුතුව සතුටින් සිටීමට අප කරන වෑයම සාර්ථක වේවි.”

ඉතින් රජතුමා පසේබුදුරජුන්ට කුටියක් තනා දුන්නා. සක්මන් මළු කෙරෙව්වා. පසේබුදුරජුන්ට එහි වඩින්නට ඇරයුම් කළා. නාටිකාංගනාවන් පිරිවරාගත් මේ ළදරු ශ්‍රමණයා පසේබුදුරජුන් ළඟට පැමිණ වන්දනා කළා.

“ආ… කවුද මේ? ලස්සනට හිස පීරලා, සුවඳ තෙල් ගාලා, හිසේ මල් පළඳලා, පඬු පැහැ ගත් සිවුරක් පොරවලා, රන් මිරිවැඩි පයලා, රන් සැරයටියක් ගෙන සිටින මේ කුඩා තැනැත්තා කවුද?”

“ශ්‍රමණයන් වහන්ස, මමත් ශ්‍රමණයෙක්…”

“නෑ… නෑ… ශ්‍රමණවරු කවරදාකවත් ඔය විදිහට කෙස් වවලා පීරන්නෙ නෑ. හිසේ මල් පළඳින්නේ නෑ. රන් මිරිවැඩි දමන්නේ නෑ. රන් සැරයටි නෑ. ඔය පඬු පැහැ ගත් සිවුර පවා කසී සළුවක් නේද? ඔයා ශ්‍රමණයෙක් නෙවෙයි.”

ඒ කීමත් සමඟම මේ ළදරු ශ්‍රමණයා මහත් කම්පාවට පත්වුණා. වටපිට බැලුවා. තමන් දෙස ඇස් කොණින් බලා මඳ සිනහවෙන් සිටින නාටිකාංගනාවන් දෙස රවා බැලුවා. ඔවුන් හොඳටම භය වුණා. ටිකෙන් ටික පස්සට ගියා. ළදරු ශ්‍රමණයා තනි වුණා. අලුත් ශ්‍රමණයන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තා.

“අනේ ස්වාමීනී, මට මේ කිසිවක් තේරෙන්නේ නෑ. මට ඕන හැබෑම ශ්‍රමණයෙක් වෙන්නයි. මං ඒකයි මාළිගාව අත්හැරියේ. මට මේ නාටිකාංගනාවන්ගෙන් කිසි වැඩක් නෑ. මං මෙතන හිරවෙලා ඉන්නේ. මං හරි ආසයි නෙළුම් කොළයේ නොරැඳෙන දිය බිඳක් වගේ වෙන්න. අනේ මං මොකක්ද කරන්න ඕන?”

“පින්වත් දරුව, උදෑසන කාලයම නළඟනන්ටත්, මෑණියන්ටත් වෙන් වුණා නේද? සවස් කාලයම ඇමැත්තන් පිරිවරාගත් පියාණන්ට වෙන් වුණා නේද? රාත්‍රියේ කාලයේම ඔබට හුදෙකලා බවක් නොතබා දොඩමින් සිටින මිනිසෙකුට වෙන්වුණා නේද? නෑ… ඔන්න දැන් දෑස පියාගන්න. සිත එකඟ කරන්න. දැන් බලන්න…. ඔබට හිමාලය පෙනේවි.”

“ස්වාමීනී, ෂා….! හිම කඳු ඇති ලස්සන කඳු වලල්ලක් පේනවා.”

“ඔව්! දැන් බලන්න… දැන් ඔබට පෙනේවි සුවිශාල වෘක්ෂයන් තියෙන මහා වනයක්. ඒ මහා වනයේ දකුණු පස ඇති පර්වතය දෙස බලන්න. ඒ පර්වත බෑවුමේ ගල් ලෙන් රාශියක් තියෙනවා. දැන් බලන්න දරුව, ඔබට පෙනෙනවාද එහි කවුද ඉන්නෙ කියලා…?”

“අනේ ස්වාමීනී,… ඇත්තමයි! ඔබවහන්සේ වගේම ලොකු පිරිසක් එහි ඉන්නවා. හැමෝම කෙස් බාලා ඉන්නේ. හැමෝම කඩ කැපූ සිවුරු පොරවලයි ඉන්නේ. සමහරු ශාන්තව සක්මන් කරනවා. සමහරු භාවනා කරනවා. කවුරුවත් සෙරප්පු පාවිච්චි කරන්නේ නෑ. ඒ අය ගාව තියෙන්නේ ලී හැරමිටි.”

මේ ළදරු ශ්‍රමණයා ඇස් ඇරියා. පුදුමයට පත්වුණා. තමා සමීපයේ සිටින ඉර්ධිබල සම්පන්න ශ්‍රමණයන් වහන්ස්ගේ ආනුභාවයට වසඟ වුණා. උයනෙහි සිටීමේ ආශාව නැතිවුණා. හිමාල වනයේ ගල් ලෙන්වල වාසය කරන ශාන්ත ශ්‍රමණවරුන් සමඟ ඉන්න ආසාව ඇතිවුණා.

“අනේ ස්වාමීනී, මට මෙතනින් නිදහස් වෙන්න ඕන. මට මේ කිසිම දෙයක් එපා.”

“පින්වත් දරුව, පැවිද්දා හංසයෙක් වගේ. හංසයා පොකුණෙහි වාසය කරන්නේ එය අයිති කරගන්නට නොවෙයි. ඉන්න වෙලාවට පමණයි. හංසයාට රිසි රිසි වෙලාවට ඒ පොකුණ අත්හැර නිදහසේ පියාඹා යනවා. ඔබත් හංසයෙක් වෙන්න. ඔබ සොයන නිදහස කරා යන්න ඔබට පුළුවන්. ඇත්තෙන්ම ඉපදෙන මැරෙන ලෝකයෙන් නිදහස් වෙන්න ඔබට පුළුවන්.”

මෙසේ පැවසූ ආදිච්චබන්ධු පසේබුදුවරයන් වහන්සේ කුමරු බලාසිටිද්දී අහසට පැන නැංගා. මේ දහම් පද දෙක පැවසුවා.

පිරිසත් සමඟ ඇලෙමින් නිති කල් ගෙවන
කෙනෙකුට නොමැත සැනසුම දහමක රැඳුන

මෙය පැවසූ ඒ පසේ බුදුවරයන් වහන්සේ නොපෙනී ගියා. කුමාරයා අලුතෙන් ඉපදුණා වගේ ඔහු කිසිදා නොසිතූ නොපැතූ අලුත්ම ලෝකයක් තමා ඉදිරියේ දිස්වී ගියා. ඒ පසේ බුදුන් පැවසූ දහම් කරුණ කුමරුගේ සිතෙහි රැව් දුන්නා. කුමරු කුටියට පිවිසුණා. මල් ගලවා වීසි කළා. රන් මිරිවැඩි පසෙකට දැම්මා. රන් සැරයටිය පසෙකට දැම්මා. නිදාගත්තා.
කුමරුන්ව මුර කරන රැකවල්කරුවාට මේ වෙනස හොඳින් පෙනුණා. ‘දැන් ඉතින් කුමරා කොහේ යන්නද? අද කිසි කතාබහකටවත් උනන්දුවක් නෑ. මාත් නිදා ගන්නවා’ කියලා ඔහු නින්දට ගියා. කුමාරයා රාත්‍රී අවදිවුණා.

රැකවල්කරුවා හොඳටම නිදි. සෙමෙන් සෙමෙන් පා සිවුරු ගෙන උයනින් පැන ගියා. මහා වනයට ඇතුළු වුණා. පසේබුදුවරයන් වහන්සේලා වැඩසිටින සෙනසුනක් හමුවුණා. එහි නැවතුණු කුමරා හුදෙකලාවේ බවුන් වඩන්නට පටන් ගත්තා. සිත සමාධිමත් වුණා. ප්‍රඥාව වැඩී ගියා. සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වූ පසේ බුදුවරයන් වහන්සේ නමක් බවට පත් වුණා.

ඉන්පසු මේ නවක පසේ බුදුවරයන් වහන්සේ එදා ඉර්ධිබලයෙන් තමන්ට පෙන්නූ ගන්ධමූලක පර්වතය සොයාගෙන ඉර්ධියෙන් වැඩියා. තමන්ගේ ජීවිතයට පහළ වූ ඒ ඉෂ්ටදේවතාවුන් වහන්සේ වන ‘ආදිච්චබන්ධු‘ පසේබුදුවරයන් වහන්සේ මංජූසක රුක් සෙවනේ වැඩසිටියා. තමන්ගේ ජීවිතාවබෝධයට හේතු වූ කරුණ විමසුවා. එවිට මේ යොවුන් පසේබුදුවරයන් වහන්සේ එදා ආදිච්චබන්ධු පසේබුදුන් වහන්සේ වදාළ දහම් පද එක්කොට ලස්සන ගාථාවකින් පිළිතුරු දුන්නා.

අට්ඨානතං සංගණිකාරතස්ස
යං ඵස්සයේ සාමයිකං විමුත්තිං
ඒතං ආදිච්චබන්ධුස්ස වචෝ නිසම්ම
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

“එදා ආදිච්චබන්ධු පසේබුදුවරයන් වහන්සේ වචනයක් වදාළා. පිරිසත් සමඟ නිතර ඇලෙන, ඔවුන් හා එක්වී කල්ගෙවන කෙනාට කවරදාකවත් නිකෙලෙස් බවින් ලබන විමුක්තිය ස්පර්ශ කරන්න බැහැ කියලා. ඒ නිසාමයි මං මේ ගමන ආවේ. ඒ නිසා දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

සාදු! සාදු!! සාදු!!!

The post අසිරිමත් පසේබුදු පෙළහර 16 appeared first on Mahamevnawa Monastery.

ශ්‍රද්ධා රුධිර දාන –ලේ දන්දීමේ කඳවුරු මාලාව…

$
0
0
news slide- blood donation

දනට පුදමි ලේ බිඳුවක්…
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 මැදින් මස 09 දින සිට බක් 20 දින දක්වා (2013/03/09 – 2013/04/20)


ප්‍රේල් මාසය ශ්‍රී ලංකාවේ අඩුවෙන් ම ලේ දන්දෙන මාසය නිසාවෙන් මෙම මාසය තුළ බොහෝ පිළිකා රෝගීන් මෙන් ම බොහෝ අසාධ්‍ය රෝගීන් ගේ ජීවිත බලවත් අවධානමට ලක් වී තිබේ.

එලෙස අප්‍රේල් මාසය තුළදී ශ්‍රී ලංකාව පුරා ඇතිවන රුධිර හිඟය අවම කරමින්  සුවහසක් අසරණ රෝගීන් හට පිළිසරණක් වන්නට ජාතික ලේ දන්දීමේ සේවය සහ මහමෙව්නාව භාවනා අසපු සංචිතය සමගින් ශ්‍රද්ධා රූපවාහිනිය ඒකාබද්ධව සිදු කරන පින්බර සමාජ සත්කාරය – ශ්‍රද්ධා රුධිර දාන ලේ දන්දීමේ කඳවුරු මාලාව මාර්තු මස 09 දින සිට අප්‍රේල් මස 20 දින දක්වා දිවයින පුරා මහමෙව්නාව භාවනා අසපු ශාඛා කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ…

උතුම් බුද්ධෝපස්ථාන පුණ්‍යධර්මයන් රැස්කර ගනිමින් ජාතික රුධිර සංචිතයට සවියක් වන්නට ඔබත් අප හා එක්වන්න.

සියලු විමසීම් -

දුර: 0112 571 471 / 0714 374 904
වැඩි විස්තර සඳහා පිවිසෙන්න

The post ශ්‍රද්ධා රුධිර දාන – ලේ දන්දීමේ කඳවුරු මාලාව… appeared first on Mahamevnawa Monastery.

වැණුවා නම් බුදු ගුණ වැණුවා ම ය

$
0
0
venuwa-nam-budu-guna-venuwamaya

venuwa-nam-budu-guna-venuwamaya

බොහෝ දෙනෙක් තමන් බෞද්ධ යැයි මහත් ගර්වයකින් යුතුව පවසති. එහෙත් ඔවුන්ගේ ක්‍රියා කලාපයන් තුළින් දිස්වන්නේ ගෞතම බුදු රජාණන් වහන්සේ ගැන නො දැනීම විනා ශ්‍රද්ධාව තුළ පිහිටා සිටීමක් නොවේ. ශ්‍රද්ධාව යනු සිත පහදවා ගැනීම යි. එසේ සිත පහදවා ගැනීමේ දී ශ්‍රාවකයා ඉතා බුද්ධිමත්ව නුවණින් විමසයි. නුවණින් විමසන්නේ බුදුන් වදාළ ධර්මය විනා වෙන දෙයක් නොවේ. නුවණින් විමසන කල්හි ශ්‍රාවකයා තුළ චිත්ත ප්‍රසාදය ඇතිවන්නේ ප්‍රඥාසම්පන්න ලෙස ය. එවිට ඔහුගේ ශ්‍රද්ධාව කරුණු සහිත වේ. අවබෝධයකින් යුතු වේ. එම ශ්‍රද්ධාව හඳුන්වන්නේ ආකාරවතී ශ්‍රද්ධාව යනුවෙනි.

අවබෝධයකින් ලත් චිත්ත ප්‍රසාදයක් ලත් ශ්‍රාවකයා තුළ නිර්මාණශීලී කුසලතා තිබේ නම්, ඔහු එම කුසලතා තුළින් බුදු ගුණ වර්ණනා කරන්නේ මහත් හරසරින් යුක්තව ය. බුද්ධ වර්ෂ 26 වන සියවසේ කල්ගෙවන අපගේ ඇස් අරවන සිදුවීමක් මජ්ඣිම නිකායෙහි උපාලි සූත්‍රයේ සඳහන් වේ.

උපාලි නමින් සිටුවරයෙක් රජගහ නුවර සිටියේ ය. ඔහු නිගණ්ඨනාථ පුත්‍ර ගේ භක්තිමත් දායකයෙකි. ඔහු දිනක් නිගණ්ඨනාථ පුත්‍ර හමුවීමට පැමිණ ඔහු හා කථාබස් කරමින් සිටියේ ය. එවේලෙහි නිගණ්ඨනාථ පුත්‍ර ගේ ප්‍රධාන ශ්‍රාවකයෙක් වන දීඝ තපස්වී පැමිණියේ ය. පැමිණ විශේෂ සිදුවීමක් සැළ කළේ ය. එනම්, මොහු සමඟ අපගේ බුදුරජාණන් වහන්සේ කර්මය යන මාතෘකාව ගැන යම් සාකච්ඡාවක් කොට තිබීම යි. කර්මය යන වචනය පවා ඔවුනට රුචි නැත. ඔවුන් කථා කරන්නේ දණ්ඩ යන වචනය තුළිනි. එහිදී ජීවිතයක ඇති බරපතල ක්‍රියාකාරීත්වය කාය දණ්ඩ පදනම් කොට ඇති බව ඔවුන්ගේ මතය යි. බුදුරජුන් විසින් වදාරණ ලද්දේ ජීවිතයේ ප්‍රධාන ම මර්මස්ථානය වන්නේ මනෝ කර්මය බවයි. මෙයට එකඟ නො වූ දීඝතපස්වී හා නිගණ්ඨනාථ පුත්‍ර විසින් බුදුරජුන්ගේ කර්ම න්‍යාය විවේචනය කරන කල්හි එය අසා සිටි උපාලි සිටුවරයා උද්දාමයට පත් විය. නිගණ්ඨනාථ පුත්‍ර විසින් ගෞතම බුදු රජුන් සමඟ වාද කොට පරදවාලන්නැයි පවසා උපාලිව උනන්දු කරවීය.

වාදාභිමුඛ වූ උපාලි මහත් ගර්වයෙන් යුතුව බුදුරජුන් සොයා ගියේ ය. බුදුරජුන් සමඟ කළ කථා බහ තුළින් උපාලිගේ ඇස් පෑදුනේ ය. නිගණ්ඨනාථ පුත්‍ර ගේ මතය වැරදි බවත්, බුදුරජුන්ගේ මතය නිවැරදි බවත් අවබෝධ විය. අන්ධාණුකරණයෙන් නිගණ්ඨ සරණ නො ගිය උපාලි සිටුවරයා ඉතා නිදහස් ලෙස තම චින්තනය මෙහෙයවීය. උපාලි තුළ බුදුරජුන්ගේ අවබෝධය කෙරෙහි චිත්ත ප්‍රසාදය ඇති විය. එනම්, ශ්‍රද්ධාව ඇති විය. උපාලි ගෘහපතියා බුදුරජාණන් වහන්සේ ව සරණ ගියේ ය. ධර්මය හා ශ්‍රාවක සංඝරත්නය ද සරණ ගියේ ය. එවිට බුදුරජාණන් වහන්සේ වදාළේ උපාලි වැනි ප්‍රසිද්ධ කෙනෙක් තම ආගම වෙනස් කිරීමේ දී කලබල නො විය යුතු බවයි. ආගමික ඉතිහාසය තුළ තමා කෙරෙහි සිත පහන් කරගත් ශ්‍රාවකයාට පවා නිදහසේ තීරණ ගන්නට අවස්ථාව ලබා දී තිබෙන්නේ බුදු රජාණන් වහන්සේ පමණි. බුදුරජුන් තුළ පවතින මෙම උපේක්ෂා සහගත සහනශීලීත්වය කෙරෙහි උපාලි බලවත් ව පැහැදුනේ ය. දෙවෙන වතාවට ද තෙරුවන් සරණ ගියේ ය. එවේලෙහි බුදුරජුන් විසින් උපාලිගෙන් ඉල්ලීමක් කරන ලදී. එනම්, නිගණ්ඨනාථ පුත්‍රටත්, ඔහුගේ ශ්‍රාවකයන්ටත් පෙර පරිද්දෙන් ම සලකන ලෙස ය. උපාලි පුදුමයට පත් විය. අදහා ගත නො හැකි විය. ලාබ සත්කාර කීර්ති ප්‍රශංසා වලට මුලා වී ඒ මත්තේ ම නැහෙන ආගමික පිරිස් බහුල ලෝකයේ කලින් ඇදහූ ආගමටත් සත්කාර කරන්නට කියූ බුදුරජුන්ගේ අවවාදය උපාලිගේ පැහැදීම තීව්‍ර කරන්නට සමත් විය. ඔහු තුන්වෙනි වතාවට ද තෙරුවන් සරණ ගියේ ය. ඉන්පසු බුදුරජාණන් වහන්සේ විසින් චතුරාර්ය සත්‍යය ධර්මය කුළු ගන්වමින් කරන ලද දෙසුම තුළින් උපාලි සිටුවරයා සෝවාන් ඵලයට පත් විය. සතර අපායෙන් සදහට ම නිදහස් කෙනෙක් බවට පත් විය. නියත වශයෙන් ම නිවන් අවබෝධ කරන කෙනෙක් බවට පත් විය. දහම් ඇස ලැබූ කෙනෙක් බවට පත් විය.

උපාලි තෙරුවන් සරණ ගිය පුවත රජගහ නුවර පුරා ලැව්ගින්නක් සේ පැතිර ගියේ ය. දීඝතපස්වී කලබල විය. හේ වහා නිගණ්ඨනාථ පුත්‍ර සොයා ගියේ ය. උපාලිගේ කට කතාව සැල කළේ ය. එහෙත් නිගණ්ඨනාථ පුත්‍ර නැවත නැවතත් පවසා සිටියේ උපාලි ගෘහපති කිසිසේත් ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නො විය හැකි බව යි. සිදු විය යුත්තේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ උපාලිගේ ශ්‍රාවකයෙක් බවට පත් වීම බවයි. අන්තිමේ දී නිගණ්ඨනාථ පුත්‍රට පවා උපාලිගේ වෙනස්වීම ගැන සැක පහළ විය. ඔහු තම ශ්‍රාවකයන් පිරිවරා උපාලි සිටුවරයාගේ මාලිගයට ගියේ ය. එහිදී වෙන දා මෙන් නොව අමුතුම බුද්ධිමත් බවකින් උපාලි කථා බස් කරන අයුරු දුටු නිගණ්ඨනාථ පුත්‍ර අන්දුන් කුන්දුන් විය. තවදුරටත් කථා කිරීමෙන් ඵලක් නැත. නිගණ්ඨනාථ පුත්‍ර උපාලිගෙන් මෙකරුණ ඉල්ලා සිටියේ ය. “එම්බා උපාලි, තොප ඇත්ත කිය යුතුය. සැබැවින් ම තොප කාගේ ශ්‍රාවකයෙක් ද?” එවිට උපාලි ගෘහපතියා අසුනෙන් නැගිට්ටේය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ වසන්නේ යම් දිසාවක ද, එදෙසට හැරුණේ ය. දෝත නගා වැඳගත්තේ ය. එකෙණෙහි ම නිර්මාණය කරන ලද බුදු ගුණ සියයක නාමාවලියකින් යුතුව තම ශාස්තෘන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින් ශ්‍රාවකත්වය පවසන්නට විය. මෙම බුදුගුණ වර්ණනාව ඇසූ නිගණ්ඨනාථ පුත්‍රයන් ලේ වමනය කළේ ය. අන්‍යාගමික ශාස්තෘන් වෙව්ලුවා හළ ගිහිශ්‍රාවකයෙකු වූ උපාලි සිටුවරයා බුදුගුණ වැණූ අයුරු මෙසේ ය.

1. ධීරස්ස විගතමෝහස්ස පභින්නඛීලස්ස විජිතවිජයස්ස,
අනීඝස්ස සුසමචිත්තස්ස වුද්ධසීලස්ස සාධුපඤ්ඤස්ස,
වෙස්සන්තරස්ස විමලස්ස භගවතෝ තස්ස සාවකෝ’හමස්මි.

මහා නුවණැති හෙයින් ධීර නම් වූ, මොහඳුර දුරලූ හෙයින් විගතමෝහ නම් වූ, කෙලෙස් හුල් බිඳලූ හෙයින් පභිණ්හඛිල නම් වූ, මාර සේනා ජයගත් හෙයින් විජිතවිජය නම් වූ, කෙලෙස් දුක් රහිත හෙයින් අනීඝ නම් වූ, සොඳුරු සමසිත් ඇති හෙයින් සුසමචිත්ත නම් වූ, වැඩුණු සිල් ඇති හෙයින් වෘද්ධසීල නම් වූ, සොඳුරු ප්‍රඥා ඇති හෙයින් සාධුපඤ්හ නම් වූ, කෙලෙස් දුර්ගයෙන් එතෙරට වැඩි හෙයින් වෙස්සන්තර නම් වූ, නිමල ගුණ ඇති හෙයින් විමල නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්.

2. අකථංකථිස්ස තුසිතස්ස වන්තලෝකාමිසස්ස මුදිතස්ස,
කතසමණස්ස මනුජස්ස අන්තිමසාරීස්ස නරස්ස,
අනෝපමස්ස විරජස්ස භගවතෝ තස්ඉස සාවකෝ’හමස්මි.

සැකයෙන් එතෙරට වැඩි හෙයින් අකථංකථි නම් වූ, සතුටින් පිරුණු සිත් ඇති හෙයින් තුසිත නම් වූ, කාම ගුණ බැහැර කළ හෙයින් වංතලෝකාමිස නම් වූ, ලොවේ යහපත දැක සතුටු වන හෙයින් මුදිත නම් වූ, ශ්‍රමණ ගුණ සපුරා ගත් හෙයින් කතසමණ නම් වූ, උතුම් මිනිසෙක් හෙයින් මනුජ නම් වූ, අවසන් සිරුර දරනා හෙයින් අන්තිමසාරීර නම් වූ, උදාර මිනිසෙක් හෙයින් නර නම් වූ, අලාමක සිත් ඇති හෙයින් අනෝම නම් වූ, කෙලෙස් දුහුවිලි නැති හෙයින් විරජ නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්.

3. අසංසයස්ස කුලස්ස වේනයිකස්ස සාරථිවරස්ස,
අනුත්තරස්ස රුචිරධම්මස්ස නික්කංඛස්ස පභාසකරස්ස,
මානච්ඡිදස්ස වීරස්ස භගවතෝ තස්ස සාවකෝ’හමස්මි.

සංකා රහිත සිත් ඇති හෙයින් අසංසය නම් වූ, හැමට යහපත සදනා හෙයින් කුල නම් වූ, ලෝ සතුන් දමනය කරනා හෙයින් වේණයික නම් වූ, දහමේ මැනවින් හික්මවන උතුම් රථාචාර්යා බඳු හෙයින් සාරථිවර නම් වූ, උදාර ගුණ ඇති හෙයින් අනුත්තර නම් වූ, පිරිසිදු දහම් ඇති හෙයින් රුචිරධම්ම නම් වූ, නිසැක ගුණ ඇති හෙයින් නික්කංඛ නම් වූ, නුවණින් ලොව එළිය කරනා හෙයින් පභාසකර නම් වූ, මානය සිඳලූ හෙයින් මානච්ඡිද නම් වූ, මහා වීර ගුණ ඇති හෙයින් වීර නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්.

4. නිසභස්ස අප්පමෙය්‍යස්ස ගම්භීරස්ස මෝනපත්තස්ස,
ඛේමංකරස්ස දේවස්ස ධම්මට්ඨස්ස සංවුතත්තස්ස,
සංඝාතිගස්ස මුත්තස්ස භගවතෝ තස්ස සාවකෝ’හමස්මි.

අසම ගුණ ඇති හෙයින් නිසභ නම් වූ, පමණ කළ නො හැකි ගුණ ඇති හෙයින් අප්පමෙය්ය නම් වූ, ගැඹුරු නුවණැති හෙයින් ගම්භීර නම් වූ, මුනි දහමට පත් වූ හෙයින් මෝනපත්ත නම් වූ, බිය රහිත ගුණයෙන් යුතු හෙයින් ඛේමංකර නම් වූ, ලොවෙහි දෙවියන් බඳු හෙයින් දේව නම් වූ, ධර්මයෙහි පිහිටි හෙයින් ධම්මට්ඨ නම් වූ, සංවර සිත් ඇති හෙයින් සංවුතත්ත නම් වූ, කෙලෙස් ඉක්ම ගිය හෙයින් සංඝාතික නම් වූ, දුකින් නිදහස් වූ හෙයින් මුත්ත නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්.

5. නාගස්ස පන්තසේනස්ස ඛීණසංයෝජනස්ස මුත්තස්ස,
පටිමන්තකස්ස ධෝනස්ස පන්නද්ධජස්ස වීතරාගස්ස,
දන්තස්ස නිප්පපඤ්චස්ස භගවතෝ තස්ස සාවකෝ’හමස්මි.

මහා ඇත් රජෙකු වැනි හෙයින් නාග නම් වූ, ඈත වනයේ වසනා හෙයින් පංතසේන නම් වූ, කෙලෙස් බැඳීම් ගෙවා දැමූ හෙයින් ඛීණසංයෝජන නම් වූ, කෙලෙසුන්ගෙන් නිදහස් වූ හෙයින් මුත්ත නම් වූ, නුවණින් යුතු කථාබහ ඇති හෙයින් පටිමංතක නම් වූ, කෙලෙස් සෝදා හළ හෙයින් ධෝණ නම් වූ, මානධජ බිම හෙලූ හෙයින් පන්නද්ධජ නම් වූ, වීතරාගී හෙයින් වීතරාග නම් වූ, දමනය වූ හෙයින් දමිත නම් වූ, කෙලෙස් සිතිවිලි රහිත වූ හෙයින් නිප්පපංච නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්.

6. ඉසිසත්තමස්ස අකුහස්ස තේවිජ්ජස්ස බ්‍රහ්මපත්තස්ස,
නාහාතකස්ස පදකස්ස පස්සද්ධස්ස විදිතවේදස්ස,
පුරින්දදස්ස සක්කස්ස භගවතෝ තස්ස සාවකෝ’හමස්මි.

සත් බුදුවරුන් අතරේ සත් වැනි මහා සෘෂි වූ හෙයින් ඉසිසත්තම නම් වූ, කුහක ගති නැති හෙයින් අකුහ නම් වූ, ත්‍රිවිද්‍යාව ලද හෙයින් තේවිජ්ජ නම් වූ, ශ්‍රේෂ්ඨත්වයට පත් වූ හෙයින් බ්‍රහ්මපත්ත නම් වූ, කෙලෙස් සෝදා හළ හෙයින් නහාතක නම් වූ, දහම් පද මැනවින් දෙසනා හෙයින් පදක නම් වූ, සැහැල්ලු සිත කය ඇති හෙයින් පස්සද්ධ නම් වූ, දුටු දහම් ඇති හෙයින් විදිතවේද නම් වූ, හැමට පළමුව ධර්ම දානය බෙදා දුන් හෙයින් පුරින්දද නම් වූ, සියලු ගුණයට දක්ෂ හෙයින් සක්ක නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්.

7. අරියස්ස භාවිතත්තස්ස පත්තිපත්තස්ස වෙය්‍යාකරණස්ස,
සතීමතෝ විපස්සිස්ස අනභිනතස්ස නෝ අපනතස්ස,
අනේජස්ස වසිප්පත්තස්ස භගවතෝ තස්ස සාවකෝ’හමස්මි.

ආර්ය ගුණ ඇති හෙයින් අරිය නම් වූ, වඩන ලද සිත් ඇති හෙයින් භාවිතත්ත නම් වූ, උතුම් ගුණයට සපැමිණි හෙයින් පත්තිපත්ත නම් වූ, දහම මැනවින් තෝරා දෙන හෙයින් වෙය්යාකරණ නම් වූ, මනා සිහි නුවණ ඇති හෙයින් සතිමා නම් වූ, නුවණින් ලොව දක්නා හෙයින් විපස්සී නම් වූ, රහත් ගුණයෙන් යුතු හෙයින් අනභිනත නම් වූ, සියලු නුගුණින් බැහැර වූ හෙයින් අනපණත නම් වූ, තෘෂ්ණා නැති හෙයින් අනේජ නම් වූ, වසඟ කළ සිත් ඇති හෙයින් වසිප්පත්ත නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්.

8. සම්මග්ගතස්ස ඣායිස්ස අනනුගතන්තරස්ස සුද්ධස්ස,
අසිතස්ස අප්පහීනස්ස පවිවිත්තස්ස අග්ගපත්තස්ස,
තිණ්ණස්ස තාරයන්තස්ස භගවතෝ තස්ස සාවකෝ’හමස්මි.

යහපත් මග වැඩි හෙයින් සම්මග්ගත නම් වූ, ධ්‍යාන වඩනා හෙයින් ඣායී නම් වූ, කෙලෙස් හා එක් නො වූ සිත් ඇති හෙයින් අනනුගතන්තර නම් වූ, පාරිශුද්ධ හෙයින් ශුද්ධ නම් වූ, කෙලෙස් රහිත හෙයින් අසිත නම් වූ, නැති නො වන ගුණ ඇති හෙයින් අප්පහීණ නම් වූ, හුදෙකලාවේ ඇලුණු සිත් ඇති හෙයින් පවිවිත්ත නම් වූ, ලොවෙහි මුදුනට පත් වූ හෙයින් අග්ගපත්ත නම් වූ, සසරෙන් එතෙරට වැඩි හෙයින් තිණ්ණ නම් වූ, අනුන් එතෙර කරවන හෙයින් තාරයන්ත නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්.

9. සන්තස්ස භූරිපඤ්ඤස්ස මහාපඤ්ඤස්ස වීතලෝභස්ස,
තථාගතස්ස සුගතස්ස අප්පටිපුග්ගලස්ස අසමස්ස,
විසාරද්ස්ස නිපුණස්ස භගවතෝ තස්ස සාවකෝ’හමස්මි.

ශාන්ත විහරණ ඇති හෙයින් සන්ත නම් වූ, ගම්භීර ප්‍රඥා ඇති හෙයින් භූරිපඤ්ඤ නම් වූ, මහා ප්‍රඥා ඇති හෙයින් මහාපඤ්ඤ නම් වූ, ලෝභය දුරු වී ඇති හෙයින් වීතලෝභ නම් වූ, සත්‍යයට පත් වූ හෙයින් තථාගත නම් වූ, සොඳුරු ගමනක් වැඩි හෙයින් සුගත නම් වූ, එවැනි වෙන කෙනෙකු නැති හෙයින් අප්පටිපුග්ගල නම් වූ, සමාන කෙනෙක් නැති හෙයින් අසම නම් වූ, විශාරද ඤාණ ඇති හෙයින් විසාරද නම් වූ, සියුම් නුවණැති හෙයින් නිපුණ නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්.

10. තණ්හච්ýදස්ස බුද්ධස්ස විතධූමස්ස අනුපලිත්තස්ස,
ආහුණෙය්‍යස්ස යක්ඛස්ස උත්තමපුග්ගලස්ස අතුලස්ස,
මහතෝ යස්ග්ගපත්තස්ස භගවතෝ තස්ස සාවකෝ’හමස්මි.

තණ්හාව සිඳලූ හෙයින් තණ්හච්ඡිද නම් වූ, අවබෝධයට පත් වූ හෙයින් බුද්ධ නම් වූ, කෙලෙස් දුම් බැහැර කළ හෙයින් වීතධූම නම් වූ, කෙලෙස් හා නො තැවරී සිටිනා හෙයින් අනුපලිත්ත නම් වූ, පුද පූජාවන්ට සුදුසු හෙයින් ආහුණෙය්ය නම් වූ, ශ්‍රේෂ්ඨ උතුමෙකු හෙයින් යක්ඛ නම් වූ, උතුම් පුද්ගලයෙකු හෙයින් උත්තමපුග්ගල නම් වූ, අසාමාන්‍ය ගුණ ඇති හෙයින් අතුල නම් වූ, මහා ගුණ ඇති හෙයින් මහා නම් වූ, මහා යසසට පත් වූ හෙයින් මහතෝයසග්ගපත්ත නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්.

සාදු ! සාදු !! සාදු !!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post වැණුවා නම් බුදු ගුණ වැණුවා ම ය appeared first on Mahamevnawa Monastery.


තමාව පිළිසරණ කරගන්නේ කොහොමද…?

$
0
0
thamawa-pilisarana-karaganne-kohomada

thamawa-pilisarana-karaganne-kohomada

පින්වත්නි,

මේ මිනිස් ජීවිතය, දීර්ඝ ගමනක පුංචි නවාතැන්පලක්. හැබැයි කෙනෙක් මේ නවාතැන්පලේදී විශාල දෙයක් රැස්කර ගන්නවා. ඒ තමයි තමන්ගේ සිත, කය, වචනය හසුරුවාලීමෙන් රැස් කරගන්න දේ. ඒ විදිහට සිත, කය, වචනය සංවර කරගෙන, බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දේශනා කරපු ධර්මය අවබෝධ කරගන්න දක්ෂ වුණේ ජීවිතය තේරුම් ගන්න දක්ෂ මිනිසුන් විතරයි.

අපේ හිතේ පැති දෙකක් තියෙනවා. අපේ හිතේ එක පැත්තක් තියෙනවා, ඒක නිර්මාණශීලියි. ඒ පැත්තෙන් ඕන දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. බලන්න, අහස් යානා, අලූත් තාක්ෂණය, පරිගණක මේ ඔක්කොම මනස මුල්කරගෙනනේ නිර්මාණය වුණේ. මනසේ තමයි මේ නිර්මාණ ඉස්සර වෙලාම හැදෙන්නේ. එහෙම නම් මනසේ තියෙනවා යම්කිසි දෙයක් අලූතින් නිර්මාණය කරන්න පුළුවන් කුසලතාවයක්.

යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒක නෙවෙයි. ඒක අපි හොඳට මතක තියාගන්න ඕන. සමහරු ධර්මය අහනවා. ඒ වගේම ඒක ලස්සනට කියන්නත් පුළුවන්. මනස නිර්මාණශීලී නම් එයාට ඒක කරන්න පුළුවන්. සමහරු ලස්සනට කවි ගොතනවා. සමහරු ලස්සනට නිසඳැස් ලියනවා. මේ ඔක්කොම මනසේ තියෙන නිර්මාණශීලී කුසලතාවයයි.

නමුත් අවබෝධය කියන්නේ නිර්මාණශීලී කුසලතාවය නෙවෙයි. අවබෝධය කියලා කියන්නේ මනසේ තියෙන සැබෑ ස්වභාවය හඳුනාගෙන, නොමඟට යන්න නොදී සුමගට ගන්න පුළුවන්කමයි. ඒක කරන්න ලේසි නෑ. ඒකට සතිපට්ඨානය වුවමනයි. ඒ කියන්නේ සිහිය පිහිටුවාගෙන තමන් දිහා බලාගෙන ඉන්න ඕන.

සිහිය පිහිටුවාගෙන තමන් දිහා බලාගෙන ඉන්න එක තමයි අපට තියෙන අමාරුම වැඬේ. තමන් දිහා බලාගෙන, තමන්ගේ සිත දිහා බලාගෙන, තමන්ගේ ක‍්‍රියාව දිහා බලාගෙන, තමන්ගේ මානසික ස්වභාවය දිහා බලාගෙන, තමන්ව පරිස්සම් කරන එක තමයි යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ. ඒක කිරීමට විශාල පිනක් ඕන. මොකද, තමන්ගේ දිහා බලාගෙන තමන්ව පරිස්සම් කරගන්න ඇති දක්ෂකම මනුෂ්‍යයින් අතර තියෙන දුර්ලභ දක්ෂකමක්. ඒ වගේම මනුෂ්‍යයින් අතර තියෙන විශේෂම දක්ෂකමක්. ඒක නිර්මාණශීලී එකක් නොවෙයි.

දැන් අපි ගත්තොත් සමහරු ඉන්න පුළුවන් පාඩම් කරන්න බැහැ. පාඩම් හිටින්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ කාලයේ යාළුවෝ දෙන්නෙක් පැවිදි වුණා. එක්කෙනෙක් වයසයි. අනිත් කෙනා තරුණයි. පැවිදි වුණාට පස්සේ අර වයසක ස්වාමීන් වහන්සේ කල්පනා කළා, ‘මට පාඩම් හිටින්නෙත් නෑ. මට බණ කියන්නත් බෑ. නමුත් මට සතිපට්ඨානය වඩන්න පුළුවන්. මං මේක කරගෙන යන්න ඕන’ කියලා.

නමුත් අනිත් ස්වාමීන් වහන්සේ හරිම නිර්මාණශීලියි. හොඳට මතක හිටිනවා. ලස්සනට කියන්න පුළුවන්. දැන් අර වයසක ස්වාමීන් වහන්සේ පැත්තකට වෙලා බණ භාවනා කරනවා. ටික ටික භාවනා කළා. මාර්ගඵල ලැබුවා. රහත් වුණා. අනිත් ස්වාමීන් වහන්සේට දක්ෂතා තියෙනවා. බණ කිව්වා. ගෝල බාලයෝ හැදුවා. එයා ඒ පැත්තෙන් ගියා. නමුත් මාර්ගඵල අවබෝධයක් ලබන්න බැරිව ගියා.

අර භාවනා කරලා නිවන් අවබෝධ කරපු රහතන් වහන්සේ බණ කියන්න දක්ෂ නෑ. ධර්මය මතක හිටිනවත් අඩුයි. නමුත් වුවමනා කාරණය කරගත්තා.

ඉතින් මේකෙන් අපට පේනවා, ධර්ම මාර්ගය දියුණු කිරීමේදී ඒකට අවශ්‍ය බුද්ධිමත්කම උපතින් එන්න ඕන එකක්. ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උපතින් එන්න ඕන එකක්. අපට බැලූ බැල්මට ඒක තියෙනවද, නැද්ද කියලා හොයන්න බෑ. හොයන්න ක‍්‍රමයක් ඇත්තෙත් නෑ. දිගටම ධර්මය පුරුදු කිරීමෙන් තමයි ඒ වාසනාව මතුවෙන්නේ. ඒ වාසනාව මතුකරගන්න වෙන ක‍්‍රමයක් නෑ. ඒකට නුවණින් කල්පනා කරන්න පුළුවන් වෙන්න ඕන.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ධර්මය තුළ අපි කරුණු දෙකක් පිළිසරණ කරගන්නවා. පළවෙනි එක තමයි, අපි තමාව පිළිසරණ කරගන්නවා. දෙවෙනි එක තමයි, අපි ධර්මය පිළිසරණ කරගන්නවා. තමාව පිළිසරණ කරගන්නේ කොහොමද? තමන්ගේ සිතේ අකුසල් හටගනිද්දී, ඒ අකුසල් දුරුකරන්නේ නැත්නම් එයා තමාව පිළිසරණ කරගෙන නෑ. තමන්ට වෛරය එද්දී, ඒ වෛරය දුරුකරන්නේ නැත්නම්, තමන් තමාව පිළිසරණ කරගෙන නෑ. තමන් දුස්සීලව ඉන්දැද්දී, සිල්වත් වෙන්නේ නැත්නම්, තමන් තමාව පිළිසරණ කරගෙන නෑ.

එහෙම නම් තමන් තමාව පිළිසරණ කරගන්නවා කියන්නේ මොකක්ද? දුස්සීල කෙනෙක්, ‘මේ දුස්සීලභාවය මට අහිත පිණිස පවතින එකක්. මං මේකෙන් බැහැර වෙන්න ඕන’ කියල කල්පනා කරලා සිල්වත් වෙනවා. අන්න තමා තමාව පිළිසරණ කරගත්තා. අකුසල්වලට යට වුණු කෙනා, ‘මේවා කල්පනා කර කර ඉඳලා නම් මට හරියන්නේ නෑ. මං මගේ ජීවිතය තුළ අකුසල් බැහැර කරන්න ඕන. කුසල් වඩන්න ඕන’ කියලා කල්පනා කරලා වීරිය කරන්න පටන් ගන්නවා. අන්න එයා තමාව පිළිසරණ කරගත්තා.

ඒ සඳහා දැනුම ගන්නේ ධර්මයෙන්. එතකොට එයා ධර්මය පිළිසරණ කරගත්තා. මේකේ තියෙන්නේ අන්න එහෙම වැඩපිළිවෙලක්. එහෙම නැතුව තවත් කෙනෙකුට තවත් කෙනෙකුගේ ජීවිතය පිරිසිදු කරන්න බෑ. තවත් කෙනෙකුට තවත් කෙනෙකුගේ සිතුවිලි රටාව හරිගස්සන්න බෑ. තවත් කෙනෙකුට තවත් කෙනෙකුගේ ජීවිතය අමුතුවෙන් සකස් කරලා දෙන්න බෑ. ඒක කරගන්න ඕන තමන්මයි. මේක තමයි ලෝකයේ තිබෙන ඇත්ත. ලෝකයේ වෙන කිසිම ආගමකින් මේ ඇත්ත පෙන්නුවේ නෑ. බුදුරජාණන් වහන්සේ විතරයි මේ ඇත්ත පෙන්නුවේ. බුදුරජාණන් වහන්සේ විතරයි ”තමන් තුළ නුවණ තියෙනවා. ඒක උපදවා ගන්න. තමන් තුළ අකුසල් දුරුකිරීමේ, කුසල් උපදවා ගැනීමේ වීරිය තියෙනවා. ඒක ඇතිකර ගන්න. තමන් තුළ සිහිය තියෙනවා. ඒක ඇති කරගන්න” කියලා ඒ දේවල් පැහැදිලි කරලා දුන්නේ. මේක නේද ධර්මයෙන් උගන්වන්නේ?

අපට බුදුරජාණන් වහන්සේව දකින්න ඕන නම්, උන්වහන්සේව දකින්න තියෙන්නේ ධර්මයෙන් විතරයි. යමෙක් ධර්මය දැක්කොත් එයා බුදුරජාණන් වහන්සේ කවුද කියලා තේරුම් ගන්නවා.

අපි මේ වෙලාවේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන පොඞ්ඩක් ඉගෙන ගන්නයි. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සුවිශේෂී එකක්. බුදුරජාණන් වහන්සේ මිනිස් ලෝකයේ උපදින කොට මේ මිනිස් ලෝකයේ අමුතුම පරිසරයක් තිබුණා. මිනිස්සු ‘කුසල් මොනවද? සත්‍යය මොකක්ද?’ කිය කිය හොයන ඝෝෂාවක් තිබුණා. බුද්ධිමත් මිනිස්සු ඉපදිලා මුළු හදවතින්ම ජීවිතාවබෝධයට යොමු වුණු යුගයක තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ.

බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ විශේෂ ලක්ෂණ තිබුණා. උන්වහන්සේ ඉපදුණාට පස්සේ ඒ ශාරීරික ලක්ෂණ බලලා තමයි අනාවැකි කිව්වේ. උන්වහන්සේගේ ශරීරයේ විශේෂ ලකුණු තිස් දෙකක් තිබුණා. උන්වහන්සේගේ ශරීරයේ ලක්ෂණ බලලා තමයි, ‘මේ ලක්ෂණ තිස් දෙක තියෙනවා නම් එයා විශේෂ කෙනෙක්. එයාට තියෙනවා ගති දෙකක්. ඔය ලක්ෂණ තිස් දෙක තියෙන කෙනා ගිහි ගෙදර රැඳුණොත් එයා විශේෂ රජ කෙනෙක් වෙනවා; මේ ලෝකයම ධර්මයෙන් හසුරුවන්න පුළුවන් දේශපාලන නායකයෙක් වෙනවා; පැවිදි වුණොත් මුළු ලෝකයෙන්ම නිදහස් වෙනවා; මුළු ලෝකයාටම විමුක්තිය සලසා දෙනවා’ කියලා කිව්වේ.

ඉතින් බුදුරජාණන් වහන්සේ පුංචි කාලේ බොහෝ දෙනා නිවැරදි විදිහට අනාවැකි කිව්වා. ඒ අනාවැකිය තමයි, ‘මේ දරුවා ගිහි ගෙදර රැඳෙන්නේ නෑ. මේ දරුවා ගිහිගෙදර අත්හැරලා පැවිදි වෙනවාමයි. මේ දරුවා පැවිදි වෙලා සම්මා සම්බුදු බවට පත්වෙනවාමයි’ කියලා. අපේ වාසනාවට ඒ දේ සිද්ධ වුණා.

සක්විති රජ කෙනෙක් වුණා නම් ඉතිහාසයේ නමක් විතරක් සටහන් වෙලා ඉතුරු වෙනවා. ධර්මයක් ඉතුරු වෙන්නේ නෑ. සම්මා සම්බුදු කෙනෙක් පහළ වුණු නිසා උන්වහන්සේ අවබෝධයෙන්ම දේශනා කරපු ධර්මයක් අපට ඉතුරු වුණා.

බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ එකම එක කාරණාවකටයි. මේ ලෝක සත්වයාට යම්කිසි දෙයක් අවබෝධ කරවන්නයි. ඒ දේ තමයි චතුරාර්ය සත්‍යය. ඇයි මේ සත්වයන් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත යුත්තේ? බොහෝ මනුෂ්‍යයන් තුළ තියෙනවා, තමාව තමන්ට පාලනය කරගන්න බැරි බවක්. සමහරුන්ට තමන්ට ඇතිවෙන හැඟීම් පාලනය කරගන්න බෑ. තමන්ට තරහක් ඇතිවුණොත්, ඒක පාලනය කරගන්න බෑ. තමන්ට රාගය ඇතිවුණොත්, ඒක පාලනය කරගන්න බෑ. තමන්ට ලාමක ආශාවන් ඇතිවුණොත්, ඒවා පාලනය කරගන්න බෑ. තමන්ට පහත් සිතුවිලි ඇතිවුණොත් පාලනය කරගන්න බෑ. බොහෝ මනුෂ්‍යයන්ට තමන් තුළ ඇතිවෙන මේ සිතුවිලි පාලනය කරගන්න බෑ.

ඒකට හේතුව තමයි, මේවා ඇතිවෙන්නේ යම්කිසි අපවිත‍්‍ර වූ ගති ලක්ෂණ වලින්. ඒවාට කියන්නේ කෙලෙස් කියලා. මේ කෙලෙස් පවතින්නේ ජීවිතය පිළිබඳ අවබෝධයක් නැතිකම නිසයි. එහෙම නම් අපට ජීවිතය පිළිබඳ අවබෝධයක් ඇතිවුණ දවසට මේ කෙලෙසුන්ගේ තියෙන ලාමක ස්වභාවය හඳුනාගන්න පුළුවන්. එදාට එයා බුද්ධිමත් මනුෂ්‍යයෙක් බවට පත්වෙනවා. අන්න ඒ දේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා.

ලෝකයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොමැති තාක් මිනිස්සු එක එක දේවල් කරනවා. පසුගිය දවස්වල ඉන්දියාවේ ‘කුම්භමේලා’ කියලා උත්සවයක් තිබුණා. සාධුවරුයි, මිනිස්සුයි මිලියන විස්සක් (මිලියන විස්සක් කියන්නේ කෝටි දෙකක්!) සීතලේ ගැහි ගැහී වතුරට පැන්නා. වතුරට පැන්නේ හිත පිරිසිදු කරන්නලූ! ශරීරය හේදුවාම හිත පිරිසිදු වෙනවා නම්, මේ ලෝකයේ සියලූ ජලචර සතුන්ගේ හිත පිරිසිදුයි. මොකද, ඒ අය හැම තිස්සෙම ඇඟ තෙත් කර කරනේ ඉන්නේ.

නමුත් අපි දන්නවා, සිත හෝ කය හෝ වචනය හෝ පිරිසිදු කරන්න තියෙන්නේ වතුරෙන් සෝදලා නෙවෙයි. ඒක කරන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් සිහිය, නුවණ, වීරිය දියුණු කරගැනීමෙන්. කොහොමද අපට මේ බුද්ධිය ලැබුණේ? අපිත් අර ගොඬේනේ ඉන්න ඕන. අපි ඒ ගොඩෙන් බේරුණේ කොහොමද? බුදුරජාණන් වහන්සේ නමක් ජීවිතය ගැන කියපු දෙය, බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය, මේ ලෝකයට අලූත් දැක්මක්, අලූත් අවබෝධයක් ලබාදෙනවා. අන්න ඒකෙන් තමයි අපට බුද්ධිය ලැබුණේ. ඒකෙන් තමයි අපි බේරුණේ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්
සදහම් වැඩසටහන් වලදී පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සකස් කළ
සැපයක්ය එය නුඹට සැනසෙන්න මෙත් සිතින්…’ සදහම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී

The post තමාව පිළිසරණ කරගන්නේ කොහොමද…? appeared first on Mahamevnawa Monastery.

278. ශ්‍රවණයෙන් නො නවතිමු

ලේ දන්දීමේ පින්කම…

$
0
0
news-slide-blood-donation

ලේ දන්දීමේ පින්කම…
ශ්‍රී බුද්ධ වර්ෂ 2557ක් වූ බක් මස 10 දින (2014/04/10)


ශ්‍රී ලංකාවේ අඩුවෙන්ම ලේ දන්දෙන මාසය වන අප්‍රේල් මාසයේදී ඇතිවන රුධිර හිඟය අවම කරමින් සුවහසක් අසරණ රෝගීන් හට පිළිසරණක් වනු පිණිස සංවිධානය කරන්නට යෙදුනු ලේ දන්දීමේ කඳවුර ශ්‍රී බුද්ධ වර්ෂ 2557ක් වූ බක් මස 10 දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී පැවැත්විණි… පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ද අනගාරිකා මෑණිවරුන්ගේද, උපාසක උපාසිකාවන්ගේද සහභාගීත්වයෙන් සිදුවූ මෙම මහාණීය පුණ්‍යකර්මයෙන් ජනිත අප්‍රමාණ බුද්ධෝපස්ථාන පුණ්‍ය ධර්මයන් සියල්ලෝම සතුටින් අනුමෝදන් වෙත්වා…!

ඡායාරූප එකතුවට පිවිසෙන්න

The post ලේ දන්දීමේ පින්කම… appeared first on Mahamevnawa Monastery.

අසිරිමත් පසේබුදු පෙළහර 17

$
0
0
pasebudu-pelahara-17

යහපත නසන දිවි මග කරවන පාළු
දුරු කළ යුතුය නොමගක ගෙන යන යාළු
කාම සැපයෙහි පමා වී ගිය – කිසිවෙකු ඇසුරු නොකරන
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….

pasebudu-pelahara-17

පගේ ශාස්තෘන් වහන්සේ විසින් කිසිවෙකු නොදන්නා අතීතයක පහළ වූ පච්චේක බුද්ධ නම් අපූර්ව මුනිවරයන් පිළිබඳව කථාව නොපවසන්නට ඒ පිළිබඳව කිසිවක්ම අපි නොදන්නෙමු. ඒ පසේබුදුවරුන්ගේ හුදෙකලාව ඔවුන්ටම ආවේණික වූ විශේෂත්වයකින් යුතු විය. එනම් හිමාලයේ වනගිරි දුදුළු අතරෙහි ගල්ලෙන්හි ඔවුන් වාසය කරන්නේ ද හුදෙකලාවේමය. කඟවේනාට ඇත්තේ එක අඟකි. මුන්වහන්සේලා ජීවත් වන්නේ ද තනි තනිවය. කිසිදා මිතුරු බවකින් හෝ යුගලයක් බවට පත් නොවන හෙයින් තම උදානයන්හි මතුකොට පෙන්වන්නේ ද කඟවේන අඟක් ලෙසිනි.

බොහෝ විට පසේබුද්ධත්වයට පත්වන්නේ රජවරුන් ය. නැතහොත් රජකුමාරවරුන්ය. මෙහි සඳහන් වන කථාවෙහි ද ඒ පුණ්‍යවන්ත තැනැත්තා බරණැස් රජෙකුව උපන්නේය. මොහුගේ පින් බලයෙන් බරණැස බතින් බුලතින් සරු වුණා. අටුකොටු පිරී ගියා. රජුගේ ගබඩාව පවා පිරී ගියා. නමුත් රටවැසියන් බදු වශයෙන් ගෙවන අස්වනු කොටස වැඩිවීම නිසා ගබඩාවල තිබුණු ධාන්‍ය ඉවත් කරන්න සිදුවුණා. දිනක් විශාල වශයෙන් ධාන්‍ය ඉවත් කරනු දුටු රජතුමා මෙසේ විමසුවා.

“ප්‍රිය ඇමතිවරුනි, මොකද මේ ගබඩා හිස් කරන්නේ? මොකුත් ප්‍රශ්නයක්වත්ද?”
“දේවයන් වහන්ස, අලුත් අස්වැන්න ලැබෙනවා. මෙවර වගාව සරුයි. එනිසා පරණ ධාන්‍ය ඉවත් කරන්නයි මේ අදහස.”

“එතකොට ඕවට මොකක්ද කරන්නේ?”
“දේවයන් වහන්ස, අපි මේවා එක්කො පුළුස්සනවා. නැත්නම් ගඟේ පා කොට හරිනවා.”

“මොනවා….? ඇමතිවරුනේ…. ඔබට විශාල වැරදීමක් සිදු වී ඇති හැඩයි. මගේ ජනයා වෙහෙස මහන්සි වී උපයාගෙන රජයට ගෙවන ආදායම් බදු මෙසේ විනාශ කරන්නේ කොහොමද? එතකොට අන්ත:පුර නිවාසවල අඩුපාඩු සපුරලා ද තියෙන්නේ? බලසේනාවල අඩුපාඩු සපුරලා ද තියෙන්නේ? පාඨශාලාවල අඩුපාඩු සපුරලා ද තියෙන්නේ? ප්‍රත්‍යන්ත දේශයන්හි අඩුපාඩු සපුරලා ද තියෙන්නේ?”

“දේවයන් වහන්ස, රට සුඛිත මුදිතයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ජනයාගේ ආදායම් සරුයි. බදු වැඩිකිරීමක් කළත් ඔවුන්ට දැනෙන්නෙ නැහැ.”

“නෑ! බදු අඩු කළ යුතුයි. රජයේ වියදම් පිණිස ජනයා තලා පෙලා බදු ගන්නට මා සූදානම් නැහැ. ඒ වගේම ඔය ධාන්‍යවලින් බිඳක්වත් විනාශ නොකළ යුතුයි. අඩු ගණනේ දන්සැල් පිළියෙල කොට දන් දිය යුතුයි.”

එතකොට එක්තරා ඇමතියෙක් උගුර පාදමින් රජු ළඟට පැමිණියා. රජුට මෙහෙම කියන්න පටන් ගත්තා.

“භවත් දේවයන් වහන්ස, ඔබවහන්සේ මං ගැන දන්නවා නෙව. මං දානය ගැන සෑහෙන පරියේසනයක් කොළා. දන් දීම යනු නුවණැත්තන්ගේ වැඩක් නොවෙයි. අපි හැමෝටම තියෙන්නේ මරණින් මතු සොබාදහමට එක්වීමටයි. අපේ සිත පරිසරයට විසිරෙනවා. සිරුර මහපොළොව සරු කරනවා. ආශ්වාස ප්‍රශ්වාස සුළඟේ හමා යනවා. එතනින් අපේ කථාව සමාප්තයි. එනිසා දේවයිනි, දන් දීම යනු ලොවට ඇවැසි දෙයක් නොවේ.”

රජතුමා මහත් සංවේගයට පත්වුණා. නිශ්ශබ්ද වුණා. තවමත් ගබඩාවල අස්වැන්න ඉවත්කරනවා. රජතුමා වෙන ඇමතියෙකුට කතා කළා.

“ප්‍රිය ඇමතිය, දැන් බලන්න… ගබඩාවල ධාන්‍ය ඉවත්කරනවා. දවස් ගණනක් තිස්සේ මේ කරන වැඩේ නවත්වන්න කියලා එක ඇමතියෙකුට කිව්වා. දන් දෙන්න කියලා කිව්වා. සතර දිශාවට දන් ශාලා හතරක් හදලා දන් දෙන්න කිව්වා. ඔහු කියන්නේ දන් දීම ඵලක් නැහැ කියලා.”

“ඒක ඇත්ත දේවයන් වහන්ස. ඉස්සර රජවරු මොනතරම් දුන්නද? ඉතින් මොකද වුණේ? දන් දීමේදී එක දෙයක් නම් තිබේ. එනම් දෙන්නා ද පෙනේ. ගන්නා ද පෙනේ. එයින් එහා දෙයක් නැත. එනිසා අපි දන් දෙන්නට පටන් ගත්තොත් ජනයා කම්මැලි වේවි. මා හිතන්නේ ද අපේ අර ඇමතිතුමා ගත් තීරණය හරි බවයි.”

“ඈ බොල… නුඹලා කාවද මේ නොමඟ යවන්නේ…? පුළුස්සනවා, ගඟේ පා කරනවා කියමින් ධාන්‍ය ගබඩා හිස් කොට ඒවා රැගෙන යන්නේ නුඹලාගේ ගබඩාවලට නොවේද? දන් දීමටත්, ජනයා සුවපත් කිරීමටත්, ජනයාට අදරැති රජෙක් ලෙස මා ගන්නා වෑයම කඩාකප්පල් කරන්නේ මගෙන් යැපෙනා නුඹලා විසිනුයි.”

රජතුමා හොඳටම කළකිරුණා. මැති ඇමැතිවරුන්ගේ ගසාකෑම නවත්වන්නට ක්‍රමයක් නැති වුණා. ළඟට පැමිණ ආදර බස් දොඩන මේ ඇමතිවරු පවිටු පිරිසක් බව රජතුමාට අවබෝධ වුණා. රජතුමා බොහෝ කල්පනා කළා. දූෂිත ඇමතිවරුන්ට මැදි වී සිටින දැහැමි ඇමතිවරුන් සොයාගන්නට උපක්‍රමයක් කළා.

“ප්‍රිය ඇමතිවරුනි, මට ටික කලකට විවේකයක් අවශ්‍යයි. එතෙක් මහජනයා සුවපත් කිරීමේ රාජ්‍යකරණය ඇමති මඬුල්ලකට භාරදෙන්න මං කැමතියි. එතකොට ඒ සඳහා මා යම්කිසි ව්‍යවස්ථාවක් සකසනවා. මා නැති නිසා ඔබට පිහිට වන්නේ ඒ ව්‍යවස්ථාවයි. ඉතින් දැන් යන පිළිවෙල ද හොඳ, ව්‍යවස්ථාවට අනුව වැඩකිරීම ද හොඳ?”

දූෂිත ඇමතිවරු කලබල වුණා.

“අහෝ! දේවයන් වහන්ස, ව්‍යවස්ථාවක් පටන්ගත් විට එහි නායකත්වය දෙන්නේ නිලධාරීන්ටයි. ඇමතිවරුන් හැටියට අපට නිදහසේ කටයුතු කරන්නට ලැබෙන්නේ නැහැ. එනිසා දැන් මේ කරගෙන යන පිළිවෙලට අපි කරගෙන යන්නම්.”

“නැත, ප්‍රිය ඇමතිවරුනි, ව්‍යවස්ථාවකදී නායකත්වය ලැබෙන්නේ ව්‍යවස්ථාවටමයි. ඇමතිවරුත්, නිලධාරීනුත් කළ යුත්තේ ඒ ව්‍යවස්ථාව අනුගමනය කිරීමයි.”

දැහැමි ඇමතිවරු රජුට පිළිතුරු දුන්නා.

“පින්වත් දේවයන් වහන්ස, ව්‍යවස්ථාවකට අපි කැමතියි. ඔබවහන්සේගේ උතුම් අදහස් ඉෂ්ට කොට ජනයා සුවපත් කරන්න ව්‍යවස්ථාවට නායකත්වය ලැබෙනවාට අපි කැමතියි.”

මේ තුළින් රජතුමා ව්‍යවස්ථාවට බලය පැවරුවා. දූෂිත ඇමතිවරු අස් කළා. දැහැමි ඇමැතිවරුන්ට මුල් පෙළ දුන්නා. මේ සියලු දේ කළේ කලකිරීමෙනුයි. රජතුමා ආසා කළේ කිසිවෙකුට නොබැඳී ගිය ජීවිතයක්. රජතුමා රජකම අත්හැරියා. ශ්‍රමණ වෙස් ගෙන වනයට පියමං කළා. ඒ වනයෙහි පසේබුදුවරු වැඩඉන්නවා. මේ නවක ශ්‍රමණයන් වහන්සේ රුක් සෙවණක බවුන් වඩන්නට පටන් ගත්තා. කෙමෙන් කෙමෙන් සිත සමාධිමත් වුණා. නුවණින් විමසන්නට පටන් ගත්තා. කෙමෙන් කෙමෙන් ප්‍රඥාව වැඩී ගියා. සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. පසේබුදුවරයෙක් බවට පත්වුණා.

පසේබුදුවරුන්ගේ ලෝකය වන හිමාලයෙහි මංජූසක රුක්සෙවණට ඉර්ධියෙන් වැඩම කළ විට අනෙත් පසේබුදුවරු උන්වහන්සේගේ අත්දැකීම විමසුවා. එයට පිළිතුරු වශයෙනුයි මේ ගාථාව වදාළේ.

පාපසහායං පරිවජ්ජයේථ
අනත්ථදස්සිං විසමේ නිවිට්ඨං
සයං න සේවේ පසුතං පමත්තං
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

“අයහපත් දේම හරි විදිහට දකින, වැරදි වැඩපිළිවෙලකම සිටින පාපී පුද්ගලයන්ගේ සහයෝගය නම් දුරුකරන්නම ඕන. ඒ මිත්‍රත්වයෙන් ඵලක් නැහැ. ඔවුන් කාමයන්ට වසඟව සියලු කටයුතු ප්‍රමාද කොට වාසය කරන හෙයින් අත්හැර දැමිය යුතුමයි. ඒ නිසා දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත 
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴

The post අසිරිමත් පසේබුදු පෙළහර 17 appeared first on Mahamevnawa Monastery.

ලෝභකම නිසා ලෝභී පුද්ගලයා ලොකු අමාරුවක වැටෙනවා

$
0
0
DP5-3_featured

෴  3 ගාථා රත්නය
ආනන්ද නම් මහා සිටුවරයාගේ කථා වස්තුව

“ලෝභකම නිසා ලෝභී පුද්ගලයා ලොකු අමාරුවක වැටෙනවා”

පින්වතුනේ, පින්වත් දරුවනේ,

බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතය ගත කරන පින්වතුන් ජීවත්විය යුතු ආකාරය ඉතාම ලස්සනට පෙන්වා දෙනවා. ඒ මෙහෙමයි. කෙනෙක් ඉන්නවා. එයාට ගොඩක් සල්ලි තියෙනවා. හැබැයි ඒ සල්ලි හම්බකරලා තියෙන්නේ අධාර්මිකවයි. එතකොට සල්ලි තියෙන එක හොඳ වුනත් හම්බකළ විදිහ වැරදියි. ඒ වගේම ඒ සල්ලිවලින් එයා ගෙදරට සළකන්නේ නෑ. මව්පියන්ට සළකන්නේ නෑ. පින්දහම් කරන්නේ නෑ. එතකොට වියදම් කරන විදිහත් අසාර්ථකයි. ඒ වගේම ඒ සල්ලිවලටත් දේපල වස්තුවටත් අධික ලෝභකමකින් ඉන්නවා. ඒවා අනිත්‍යවෙලා යන දේවල් කියලා දන්නෙ නෑ. ඒවා කෙරෙහි ඇති ඇල්ම කවදානමුත් අත්හරින්නට සිදුවෙන නමුත් දන්නෙ නෑ. ඒකට අධික ලෙස ගිජු වෙලා ඉන්නවා. ඒකත් අසාර්ථකයි. එතකොට හම්බකළ විදිහත් අසාර්ථකයි. වියදම් කළ විදිහත් අසාර්ථකයි. උපයාගත් දේපල වස්තුවට ආසා කළ විදිහත් අසාර්ථකයි.

අන්න ඒ ජාතියේ අසාර්ථක සිටුවරයෙක් ගැන කියවෙන දුක්මුසු කතාවක් මේක. මෙයා හිටියේ සැවැත් නුවර. මොහුට තිබුනා හතළිස් කෝටියක ධනයක්. මොහුට පුතෙකුත් හිටියා. ඔහුගේ නම මූලසිරි. දෙසතියකට වතාවක් මෙයා මූලසිරි පුතාව නෑදෑයන් මැදට කැඳවනවා. කැඳවලා උදේ දවල් හවස මේ විදිහට උපදෙස් දෙනවා.

“නුඹලා එක්කෙනෙක්වත් හිතන්න එපා හතළිස් කෝටියක් ධනය මහා ලොකු සම්පතක් ය කියලා. මේක මහා සොච්චමයි. ඒ නිසා පෙනෙන්නට තියෙන ධනය කිසිකෙනෙකුට නොදිය යුතුයි. කළ යුත්තේ අළුතින් යමක් හම්බකරන එකයි. නුඹලා එකක් මතක තියාගන්න ඕන. කහවණුවක් වියදම් කළත් ඒක වියදමක් මිස ආදායමක් නොවෙයි. නුඹලාට වඩාත් හොඳ උපදේශයක් පිණිස මෙන්න මේ ගාථාව පාඩම් කරගනින්.

අඤ්ජනානං ඛයං දිස්වා – උපචිකානඤ්ච ආචයං
මධූනඤ්ච සමාහාරං – පණ්ඩිතෝ ඝරමාවසේ

නුවණැති කෙනා ගිහි ගෙදරක වසන විට
දැක නැතිවෙන අඳුන් නෙතු අග ගාන විට
වේයන් බඳින සේ තුඹසක් ලෙස යසට
රැස්කර ගනින් ධනය මී මැස්සන් ලෙසට

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඉතින් මේ ආනන්ද සිටුවරයා තමන්ගේ ධනය ගැන හරියට ආඩම්බර වුනා. ඒ ගැනම මහා ඉහළින් කතා කළා. තමන් අරපිරිමැස්මෙන් වියදම් කරන සාර්ථක ව්‍යාපාරිකයෙක් හැටියට හුවාදැක්වුවා. පිරිස මැද්දේ මහා නම්බුනාම ලැබුවා. රැස් කරගත් ධනය ගැන සතුටු වෙවී හිටිය මේ සිටුවරයා මහා නිධන් පහකට තරම් ධනය රැස්කළා. අන්තිමේදී මේ සිටුවරයා හදිසියේ ම මැරුණා.

කොසොල් රජතුමා ආනන්ද සිටුවරයාගේ හදිසි අභාවය නිසා මූලසිරි පුත්‍රයාව කැඳවලා මහා සිටු තනතුර දුන්නා.

එතකොට ආනන්ද සිටුවරයා මැරිලා ගිහින් ඉපදුනේ අමුතුම තැනක. සැවැත් නුවර එක්තරා පැත්තක් තියෙනවා. ඒ හරියේ තියෙන්නේ පැල්පත් විතරයි. වාසය කරන්නෙත් සැඩොල් කුළයේ මිනිස්සු. ඔවුන්ගේ රස්සාව වැසිකිළිවලින් අසූචි අදින එකයි. පැල්පත් දාහක් විතර තියෙනවා. ඒ චණ්ඩාල ප්‍රදේශයේ එක්තරා සැඩොලියකගේ කුසේ මේ පුද්ගලයා ඉපදුනා.

ඔහු ඉපදිච්ච දවසේ ඉඳන් චණ්ඩාල ප්‍රදේශයේ කාටවත් හරිහමන් දෙයක් හොයාගන්න බැරිව ගියා. ඒ උදවියට ලැබෙන බත් වැටුප් ලැබුනේ නෑ. කෑමක් බීමක් නැතුවයි ඉන්න සිද්ධ වුනේ. එතකොට වැඩිහිටි චණ්ඩාල උදවිය රැස්වුණා.

“මේක හරි වැඩක් නෙව. මීට කලින් දවසකට එක වේලක් හරි බඩපිරෙන්න බත් ටිකක් කනවා. දැන් ඒකත් නෑ. බත් වැටුප් ලැබෙන්නෙත් නෑ. කැඳ වතුරත් නෑ. අපට මොකක්ද මේ වුනේ. අපි අතරේ මහා කාළකණ්ණියෙක් ඉපදිලාවත්ද?”

ඊට පස්සේ ඒ පිරිස මෙහෙම කතාවුණා.

“අපි මේ විදිහට මේක හොයා ගමු. අපේ පවුල් දාහ, පන්සීය පන්සීය දෙකට බෙදා ගමු. ඊටපස්සේ විමසලා බලමු කෑම බීම නැත්තේ කොයි පැත්තට ද කියලා. ඊට පස්සේ සීය බැගින් බෙදමු. ඔය විදිහට බෙද බෙදා බලන කොට කාළකණ්ණියාව හොයාගන්න පුළුවන් වේවි.”

අන්තිමේදී අර ආනන්ද සිටුවරයා පිළිසිඳගත් මව්පියන් ඉන්න පවුල කාළකණ්ණි පවුල හැටියට තේරුණා. ඊට පස්සේ ඒ ගෙදර පිරිස අර බඩදරු අම්මාව ගෙදරින් පැන්නුවා.

“තී නිසා තමයි අපටත් බඩගින්නේ ඉන්න වුනේ. තිගේ බඩේ ඉන්න කාළකණ්ණියා තමයි මේකට වගකියන්න ඕන.”

ඉතින් අර අසරණ කාන්තාව ඉතාම දුකසේ මැරී නොමැරී ජීවත් වුණා. ඉතාම දුකසේ දරුවෙක් වැදුවා. ඒ දරුවා පුතෙක්. හැබැයි අත් පා ඇදවෙලා. ඇස් වපර වෙලා. කට ඇදවෙලා. කණ් නාසා විකෘති වෙලා. බැලූ බැල්මට පෙනෙන්නේ ඇවිදින පිශාචයෙක් වගේ.

පින්වතුනේ, පින්වත් දරුවනේ, මව් සෙනෙහස කියන්නේ හරිම පුදුම එකක්. ඒ අම්මා මේ දරුවට හරියට ආදරය කළා. දැන් දෙන්නටම කෑමක් නෑ. නමුත් අමාරුවෙන් කිරි දීලා මේ ළමයාව ඇවිදගන්න පුළුවන් තත්වයට ඇතිදැඩි කළා. දැන් තමන්ටම යමක් හොයාගෙන කන්න පුළුවන්. අම්මා මේ ළමයා අතට පොල්කට්ටක් දුන්නා.

“මගෙ පුතේ, ඔයා නිසා මං මහා දුකක් වින්ඳා. අනේ රත්තරන් පුතේ, මට නම් ඔයාව හදාවඩාගන්න විදිහක් නෑ. දරු දුක නිසා මට පුළුවන් හැටියට ඔයාව පෝෂණය කළා. තවදුරටත් මට මේක කරන්න බැහැ පුතේ. මේ පොල්කට්ට අරගෙන අර හිඟන්නන්ට බත් බෙදන තැනින් මොකවත් කාලා ජීවත් වෙයන්. දවස් දෙක තුනකට වතාවක්වත් කවුරු හරි කන්න ටිකක් දෙනව නෙව.”

දැන් මේ අසරණ විරූපී දරුවා තනිවුණා. මහපාරේ දූවිලි ගොඩේම නිදියගත්තා. වැස්සට තෙමුනා. අව්වට වේලුනා. සීතලට වේවලුවා. තනියම ජීවත්වෙන මේ දරුවා දිහා කවුරුවත් බලන්නේ නෑ.

දවස් ගාණකින් මෙයාට කෑමක් නෑ. ඉතින් මේ ළමයා පොල්කට්ටත් අරගෙන කෑම ටිකක් හොයාගන්න පිටත්වුනා. එදා මෙයා පාර දිගේ ඔහේ ගියා. හිතෙන හිතෙන පැත්තෙන් හැරි හැරී ගියා. එකවරටම මේ ළමයාටම අමුත්තක් තේරුනා.

“ම්….. ම්….. මට මේ පැත්ත පුරුදුයි වගේ. මීට කළින් මං මෙහෙ ඇවිල්ලා තියෙනවානේ. ආ…. අර තියෙන්නේ විශාල මාලිගාවක්. ඔව්…. මට මතකයි…. උඩු මහලේ රත්තරන් ඇඳක නේද මං හිටියේ. ඔව්….. කවුද දන්නෙ නෑ දැන් ඉන්නේ….?”

ඉතින් මේ විරූපී අසරණ හිඟන පැටියා අර මාළිගාව දෙස නෙත් විදහා බලා සිටියා. තමන්ට තේරුනේ වත් නෑ, තමන් ටික ටික ඒ පැත්තට ගියා. එදා විශාල ගේට්ටුව ඇරලා තිබුනා. කවුරුවත් දැක්කේ නෑ. මෙයා හිමින් හිමින් ගේට්ටුවෙන් ඇතුළු වුනා. ඉස්තෝප්පුවට ආවා. කවුරුවත් දැක්කේ නෑ. මෙයා ඇස් පිය නොහෙලා බලාගෙන ඉන්නවා. ටිකෙන් ටික ගේ ඇතුළට ආවා. මෙයාට හරි සතුටුයි. ඒ වෙලාවෙ මූලසිරි සිටුවරයාගේ පොඩිදරුවන් ගෙයි සාලෙ මාළිගාව මැද සෙල්ලම් කරමින් හිටියේ. එතකොටම අර දරුවන් ඉණට කිලුටු රෙදි කැබැල්ලක් ඔතාගත් කොර ගසමින් පැමිණි මේ විරූපී හිරිකිත හිඟන පැටියා දුටුගමන් හොඳටම භය වුනා. යටිගිරියෙන් කෑ ගහලා ඇඬුවා.

“බුදු අම්මෝ….! අපි ඉවරෝ….! මෙන්න පිශාචයෙක් ඇවිල්ලා….!”

එතකොට සිටු මාලිගයේ සේවකයන් පැමිණ පයින් ගැසුවා. මේ දරුවා වීසි වී ගිහින් වැටුනා. පයින්ම ගගහ එළියට දැම්මා. අන්තිමේදී පාර අයිනේ කුණුගොඩක වැටිලා හොඳටම තුවාල වෙලා අඬ අඬා හිටියා.

එවේලෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එතනින් පිඬු සිඟා වඩිනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කළා.

DP_5_03

“පින්වත් ආනන්ද, මූලසිරි සිටුවරයා කැඳවන්න. මේ අසරණ දරුවා මැරිලා යාවි.”

සිටුතුමා කැඳෙව්වා. සිටුතුමාට කිව්වා “මේ ඉන්නේ තමන්ගේ පියා” කියලා. ඔහු පිළිගත්තේ නෑ. එවිට බුදුරජාණන් වහන්සේ අර දරුවාට කතා කළා.

“පින්වත් දරුව, ජීවිතය ඔහොම තමයි. හරිහැටි පරිහරණය නොකළොත් විනාශ වෙනවා. දුකට පත්වෙනවා. දැන් ඔයාට මතකයිනෙ ඔයාගෙ පෙර ජීවිතය. ඔයා දැන් නිධන් කරපු පංච මහා නිධානය මේ ඇත්තන්ට පෙන්වන්න.”

එතකොට අර දරුවා අසිහියෙන් වගේ ගිහින් තමන් සඟවපු පංච මහා නිධානය ගොඩට ගත්තා. සියලු දෙනාටම පුදුමයි. අදහාගන්නත් අමාරුයි. ඒත් ඒකමයි සත්‍යය. එවේලෙහි බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය වදාළා.

පුත්තා මත්ථි ධනම්මත්ථි – ඉති බාලෝ විහඤ්ඤති
අත්තා හි අත්තනෝ නත්ථි – කුතෝ පුත්තා කුතෝ ධනං

ලස්සන හැඩරුව ඇති හොඳ – දරුවන් මට ඉන්නවා
මහන්සියෙන් හම්බ කරපු – ධනයත් මට තියෙනවා
කියමින් අනුවණ කෙනා – ඒ මත්තෙම නැහෙනවා
තමාවවත් තමාට නැති – බව බොහො අය දන්නෙ නෑ
එනිසා තමහට පිහිටට – දරුවන් කොහොම ද ලැබෙන්නෙ
ධනයත් කොහොමද ලැබෙන්නෙ

පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහර අය තමන්ගේ දූ දරුවන්ගේ යහපත ගැන හිත හිතා දිවා රෑ දෙකේම මහන්සි වෙනවා. ඒ දූ දරුවන්ට තමයි තමන්ගේ ලෝකයේ ඔටුණු පළන්දලා ඉන්නේ. ඉතින් ඒ දූ දරුවන් වෙනුවෙන්ම කටයුතු කිරීම තමයි එයාලට තියෙන්නේ. එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාර ගැන පැය විසිහතරේම කල්පනා කර කර ඉන්නවා. ඒ වෙනුවෙන්ම කැපවෙනවා. ඇතැම් විට අඹුදරුවන් අත්හැර විදේශගත වෙනවා. නොවිඳිනා දුක් විඳිනවා. අන්තිමේදී දරුවන් තමන්ට වෙනස්කම් කරනවා. මහා දුකකින්, මහන්සියකින් හම්බකරපු ධනය නිස්කාරණේ වියදම් වෙනවා. තමන්ට සිදුවෙන්නේ ගෙවුනු අතීතය ගැන හූල්ල හූල්ල ඉන්න විතරයි.

සමහර අය මරණාසන්න වෙද්දී බලාපොරොත්තු වෙච්ච කවුරුවත් ළඟ නෑ. දූ දරුවෝ පිටරට පදිංචියට ගිහින්. නෑදෑ මිත්‍රයෝ අහලකවත් නෑ. තනිවෙලා ඉන්නේ. රැස්කරගත්තු පිනකුත් නෑ. පිහිටක් වෙන්න කියලා ඇතිකරගත්තු ගුණයකුත් නෑ. පුරුදු කරගත්තු ධර්මයකුත් නෑ. අන්තිමේදී භයෙන් තැතිගැනීමෙන් තමයි අසරණවෙලා මැරිලා යන්නේ.

දැක්කා නේද ආනන්ද සිටුවරයාට වෙච්ච දේ? දරුවන්ට හම්බුකරන්න කියා දුන්නා. ඒ සඳහා ගාථාවන් පවා ඉගැන්නුවා. තමන් හිඟන පැටියෙක් වෙලා එද්දී පා පහර කාලා පාරේ වැටෙන්න සිද්ධ වුනා. එතකොට කෝ තමන්ගේ දරුවන්? කෝ හම්බුකරපු දේවල්?

මෙයින් පෙනෙන්නේ අපි දූදරුවන් වෙනුවෙන් මහන්සි වෙනවා වගේම, ධනය උපයන්න මහන්සි වෙනවා වගේම පින්දහම් කරන්නත් මහන්සි වෙන්න ඕන කියන එකයි. අපට පිහිට වෙන්නේ පින ම තමයි. පින් රැස්කරගත් කෙනාගේ ජීවිතය සාර්ථකයි. එයා ධාර්මිකව හම්බකරනවා. එතකොට මුදල් ඉපයීම සාර්ථකයි. ඒ වගේම අඹුදරුවන්ට හොඳට සළකනවා. මව්පියන්ට සළකනවා. පින්දහම් කරනවා. අනුන්ට උදව්කරනවා. එතකොට වියදම් කිරීමත් සාර්ථකයි. ඒ වගේම තමන් සතු ධන ධාන්‍ය අනිත්‍ය ලෝකයට අයිති බවත් දන්නවා. ඒවා කෙරෙහි ඇති ඇල්ම අත්හැර ගන්නට සිදුවෙන බවත් දන්නවා. ඒ නුවණින් යුක්තව තමයි තමා සතු සම්පත් වලට ගිජු නොවී සතුටින් ඉන්නේ. එතකොට ඒකත් සාර්ථකයි. එවැනි සාර්ථකත්වයක් ඇතිකරගන්න ලැබුණොත් නම් යසයි!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post ලෝභකම නිසා ලෝභී පුද්ගලයා ලොකු අමාරුවක වැටෙනවා appeared first on Mahamevnawa Monastery.

Viewing all 149 articles
Browse latest View live