Quantcast
Channel: Mahamevnawa Monastery
Viewing all 149 articles
Browse latest View live

උපෝසථයේ වටිනාකම…

$
0
0
Uposathaye-watinakama

උපෝසථයේ වටිනාකම…

පින්වතුනේ, පින්වත් දරුවනේ,

Uposathaye-watinakama

ක දවසක් බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් පුරේදි ශාක්‍ය පිරිසක් හමුවෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, “ශාක්‍යවරුනේ, ඔබ උපෝසථ සිල් ආරක්ෂා කරනවද?” “නෑ” කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා “ඇයි?” කියලා. “දන්නේ නෑ” කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා “හරි පාඩුවක්. විශාල පාඩුවක්..” උන්වහන්සේ හරි ලස්සන උපමාවක් දේශනා කරනවා.

“ශාක්‍යවරුනේ, ඔන්න මනුෂ්‍යයෙකුට රස්සාවක් ලැබෙනවා. මේ රස්සාවට දවසට කහවණුවක පඩියක් ලැබෙනවා නම් ඒ පඩිය හොඳද?” “හොඳයි” කිව්වා. ඊට පස්සේ ඇහුවා “එයාට දවසකට කහවණු දහයක්.. සීයක්… දාහක්… දසදාහක්… ලැබෙනවා නම් ලොකු පඩියක් නේද?” “එහෙමයි ස්වාමීනී, ඒක විශාල පඩියක්.” බුදුරජාණන් වහන්සේ අහනවා “හොඳයි එයාට දවසට කහවණු ලක්ෂයක පඩියක් ලැබුණොත්…?” “ස්වාමීනී, එහෙම නම් එයා මහා ධනවතෙක් වෙනවා.”

ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “හොඳයි, ඒ කෙනා දවසට කහවණු ලක්ෂය ගාණේ අවුරුදු සියයක් ඒ රස්සාව කළොත්…?” ස්වාමීනී, මහා ධනවතෙක් වෙනවා” කිව්වා.

ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළා “ශාක්‍යවරුනේ, දවසට කහවණු ලක්ෂයේ පඩිය අරගෙන අවුරුදු සියයක් හම්බ කරනවාට වඩා එක දවසක් උපෝසථ සීලය රකින එක වටිනවා.” දැන් අපි කිව්වොත් දවසට ලක්ෂය ගාණේ අවුරුදු සියයක් හම්බ කරපු කෙනෙකුට කාලාන්තරයක් ඒකෙන් සැප විඳින්න බැරිද? ඊටත් වඩා සැප විඳින්න පුළුවන් මහා පිනක් දවසක උපෝසථයෙන් රැස්වෙනවා.

මේ සූත්‍ර දේශනාව ඇහුවට මං පස්සේ කල්පනා කළා ‘අනේ පොඩි කාලේ අපට මේ දේවල් අහන්න ලැබිලා නෑනේ’ කියලා. අංගුත්තර නිකාය අටවෙනි නිපාතයේ තමයි මේ දේශනය තියෙන්නේ. එතකොට එහෙම නම් අනිත් අයව සීල සම්පත්තියේ පිහිටුවන්න වගේම අපට සීල සම්පත්තියට පැමිණීමටත් අපි මෙවැනි බුද්ධ දේශනා අහලා තියෙන්න ඕන.

අහලා නැත්නම් වෙන්නේ අපි චාරිත්‍රයක් හැටියට සිල් ගන්නවා. ඊට පස්සේ හවස හතර හමාර පහ වෙනකොට බඩගිනියි. සිල් පවාරණය කරලා පන්සිල් අරගෙන මොනව හරි කාලා ඉතින් ඔහේ ඉන්නවා. ‘අපි සිල් ගත්තා’ කියනවා. සාමාන්‍යයෙන් එහෙමනේ වෙන්නේ නේද? නමුත් අවබෝධයකින් උපෝසථයක් ආරක්ෂා කරන්න ඇත්නම් අන්න තවත් අමතර පිනක් රැස්කළා වෙනවා. අනිත් අයවත් උපෝසථයේ යොදවන්න ඇත්නම් අපි තවත් අමතර පිනක් රැස් කරගන්නවා. මෙන්න මේක තමයි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ, ධර්මය ශ්‍රවණය කියන්නේ, ධර්මය ඉගෙන ගැනීම කියන්නේ.

බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව මතක තබාගෙන අපි මේ දේශනාවට අනුව කටයුතු කරන්න මහන්සි ගන්න ඕන.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය !

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post උපෝසථයේ වටිනාකම… appeared first on Mahamevnawa Monastery.


පින අත්හැර ගන්න එපා

$
0
0
Pina-athera-ganna-epa-

උපෝසථයේ වටිනාකම…

පින්වතුනේ, පින්වත් දරුවනේ,

Pina-athera-ganna-epa-

පි මේ මනුස්ස ලෝකයේ ඉපදුණු දවසේ ඉඳලා ටික ටික ගෙවෙන්නේ පිනනේ. මව්කුසේ ලෙඩක් දුකක් නැතුව ඉන්න යම් පිනක් තිබුණාද, මව්කුසේ හිඳීමෙන් ඒක ඉවර වුණා. ඊට පස්සේ පුංචි කාලයේ කරදරයක් නැතුව ඉන්න යම් පිනක් තිබුණාද, ඒක ඉවර වුණා. ඊට පස්සේ ළමා කාලයේ ඉන්න යම්කිසි පිනක් තිබුණාද ඒකත් ඉවර වුණා. තරුණ කාලයේ යම්කිසි පිනක් තිබුණාද ඒකත් ඉවර වුණා. මේ විදිහට ඉවර වෙවී යන්නේ පින නේද? එතකොට මේ විදිහට පින ඉවර වෙවී යද්දී එයා අළුතින් පිනක් රැස් කරන්නේ නැත්නම් පින ඉවර වූ ගමන් පෙරට එන්නේ පවයි.

බුදුරජාණන් වහන්සේ වැඩසිටිද්දීත් පින් රැස්කරපු නැති අය හිටියානේ. ඔබ අහලා තියෙනවනේ අපුත්තක සිටාණන් ගැන. දරුවෝ නැති එක සිටුවරයෙක් හිටියා. එයාගේ සිටුදේවියත් මැරුණා. එයා එතැන සම්පූර්ණයෙන් අධිපති වෙලා සිටියේ. නමුත් එයාගේ කරත්තේ හිටියේ නකුටු අශ්වයෝ දෙන්නෙක්. හණ වැහැරිවලින් තමයි කරත්තය සරසලා තිබුණේ. මෙයා ගෝනි පඩංගුවක් තමයි ඇන්ඳේ. ඊළඟට මෙයා නිවුඩු හාලේ බතුයි, කාඩි හොදියි තමයි කෑවේ. මෙයා එහෙම ජීවත් වෙලා මැරිලා ගියා.

ඊට පස්සේ සියලු වස්තුවම රජයට අයිති වුණා. ගණන් කරලා බලද්දී රත්තරං විතරක් කෝටි අසූවක් තිබුණා. ඉතින් දවසක් දවල් කාලයේ කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න ගියා.

එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා,

“රජතුමනි, මොකද මේ මහ දවල්…? මේ කොහේ ඉඳලා එන ගමන්ද..?”

“අනේ ස්වාමීනී, අර අපුත්තක සිටාණෝ මළා නෙව. එයාගේ දේපලවලට කවුරුවත් අයිතිකාරයෝ නෑ. ඒක රජය සතු වුණා. ඒකෙ ගණන් හිලව් බලන්න ගිය ගමන් මම මේ ගොඩවුණේ. ඒ සිටු මාළිගාවේ රත්තරං විතරක් කෝටි අසූවක් තියෙනවා. හැබැයි භාග්‍යවතුන් වහන්ස, මේ පුද්ගලයා හරියට කාපු කෙනෙක් නෙවෙයි. හරි හමන් ඇඳුමක් ඇඳලත් නෑ. ගෝනි පඩංගු තමයි පොරවලා තියෙන්නේ. වාහනේ හැටියට තිබිලා තියෙන්නේ නකුටු අශ්වයෝ දෙන්නෙක් යොදවපු කරත්තයක්. ස්වාමීනී, ඔහුගේ පරලොව ජීවිතය කුමක් වේවිද?”

“රජතුමනි, දැන් එයා නිරයේ…” කොසොල් රජ්ජුරුවෝ උඩ ගියා.

“ඈ…! භාග්‍යවතුන් වහන්ස, එයා නිරයේද…?” කියලා තුන් වතාවක් ඇහුවා. බුදුරජාණන් වහන්සේ තුන් වතාවේම එයා නිරයේ කියලා කිව්වා.

බලන්න, එයාට සිටු පවුලක උපදින්න ඵල දුන්නේ සංසාරයේ කරන ලද පිනක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මෙයා අතීත ජීවිතයක පසේබුදුරජාණන් වහන්සේ නමකට දන් දෙන්න අන් අයව පෙළඹෙව්වා. ගෙදර කට්ටියට දන් දෙන්න කියලා කිව්වා. හැබැයි පස්සේ දීපු දේ ගැන පසුතැවුණා. සිත අපහදවා ගත්තා. ‘අනේ… මේ දේ සේවකයෙකුට දුන්නා නම් අඩු ගණනේ උදලු ගා ගන්නවත් තිබුණා… එහෙම නම් වත්තේ පිටියේ හරි වැඩක් කරවා ගන්නවානේ…’ කියලා පසුතැවුණා. නමුත් දන් දෙන්න කියලා කියපු නිසා ඒ හේතුවෙන් හත් වතාවක් සිටු තනතුරු ලැබුණා. මේ හත්වෙනි වතාව.

ඉතින් අර තිබුණු පින් ඉවර වෙවී ගියා. එතෙක් කාලයකට පිනක් කරලා නෑ. ඒ අතර වාරයේ මෙයා එක වතාවක් ඉඩම් පළහිලව්වකට ළමයෙක් මරලා නිරයේ ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ නිරයේ ගිහිල්ලා ඇවිල්ලා ආයෙමත් අර පින මතුවෙලා සිටු පවුලක ඉපදුණා. ඉපදුණාට දීපු දේ සතුටින් දුන්නේ නැති නිසා කන්න හිතෙන්නේ නෑ. අඳින්න හිතෙන්නේ නෑ. හොඳට ජීවත් වෙන්න හිතෙන්නේ නෑ. ඒ වගේම එයා අලුතින් පිනක් කරගත්තෙත් නෑ. ඒ නිසා අර මිනී මැරුමට සම්බන්ධ සංසාර කර්මයේ ඉතුරු ටික මතුවෙලා ආයෙමත් නිරයේ ගියා.

එතකොට බලන්න පින්වතුනි, මෙහෙම වෙන්නේ පින් රැස්කර ගන්න ලැබෙන අවස්ථාවලදී ඒ අවස්ථාව අත්හැරීම නිසා නේද? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ‘අඩු ගණනේ කුසල් රැස්කිරීම පිණිස සිතක්වත් උපද්දවන්න’ කියලා. මම ඔබට නිතර නිතර කියලා තියෙනවා නේද, අඩු ගණනේ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝරත්නය ගැන සිත පහදවා ගන්න කියලා. ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන, නිවන ගැන සිත පහදවා ගන්න කියලා. මොකද, ඒ සිත පහදවා ගැනිල්ලත් අපට යම්කිසි දවසක ධර්මාවබෝධ කරන්න උපකාර වෙනවා.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය !

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post පින අත්හැර ගන්න එපා appeared first on Mahamevnawa Monastery.

අසිරිමත් පසේබුදු පෙළහර 18

$
0
0
pasebudu-pelahara-18

ඇසෙන කිසි ශබ්දයකට – නොම සැලෙන සිහ රජු ලෙස
වැදෙනා දැලෙහි නොරැඳෙන – සුළං රැල්ලක් විලසට
දිය හා මුසු නොවන – පිපුන පියුමක් විලසින
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….

pasebudu-pelahara-18

පගේ ශාස්තෘන් වහන්සේ විසින් වදාරණ ලද පසේබුදුවරුන්ගේ ගාථාවලින් ඉස්මතු වන චරිතාපදානයන්හි දැක්වෙන්නේ සාමාන්‍ය මිනිසා අභිබවා යන සුවිශේෂ මානසික හැකියාවකින් ඔවුන් සමන්විත වන බවයි. සුළු සිදුවීමක් ඔස්සේ ජීවිතය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීම ඔවුන්ගේ ස්වභාවයයි. මේ කථාව දෙස බලන්න.

බරණැස් නුවර එක්තරා රජකෙනෙක් හිටියා. ඔහු දිනක් තනියම කල්පනා කරමින් සිටියා.

“දැන් මම ඔටුණු පළන් රජ කෙනෙක්. මාළිගාවට සතුරන්ට ළං විය නොහැකි පරිදි කිඹුලන් සිටින පළල් දිය අගලක් තනා තියෙනවා. ඉතා උස් වූ ප්‍රාකාරයක් තියෙනවා. ඒ ප්‍රාකාරය මත මුරකරුවන් ඉන්නවා. නගරය මධ්‍යයේ ඉන්ද්‍රඛීලයක් තියෙනවා. අතිශයින්ම නුවණැති දොරටුපාලයන් ඉන්නවා. මෙතරම් ආරක්ෂා සංවිධාන තිබියදී පවා මං තැති ගන්නවා. බියට පත්වෙනවා. සැකය ඇතිවෙනවා. එතකොට ලෝකයෙහි බිය සැක ඇති නොවෙන කවුරුවත් නැද්ද?”

රජතුමා මෙම අදහස රාජසභාවට දැනුම් දුන්නා. පුරෝහිත බමුණා මෙවැනි පිළිතුරක් දුන්නා.

“භවත් රජතුමනි, මිනිසුන් අතරේ නම් බිය සැක, තැතිගැනීම්, කම්පා නොමැති අය සොයා ගැනීම අසීරුයි. එහෙත් මං අසා තියෙනවා, වනයේ සිටින මෘගරාජන් වන සිංහයා අහස පොළොව ගිගුම් දෙන හෙණ හඬට පවා කම්පා වෙන්නේ නැත කියා.”

“එසේ නම් පුරෝහිතය, අප මෙය සොයා බැලිය යුතුයි. සැබැවින්ම බිය සැක, තැති ගැනීම්, කම්පා නොවන කෙනෙක් දකින්න මං හරි ආසයි.”

දිනක් රජතුමා ඈත පිහිටි උද්‍යානයකට යමින් සිටියා. අතරමගදී නිල්වන් දිය පිරි පස් පියුමින් සැදි පොකුණක් දකින්නට ලැබුණා. රජතුමාට හරි සතුටුයි. ඇතු පිටින් බැස ඒ පොකුණ වෙත ගොස් සිසිල් පැන් වැළඳුවා. එවේලෙහි සතෙක් පඳුරක් අස්සෙන් වේගයෙන් දිව ගියා. රජුගේ රැකවල් ලත් පිරිස කලබල වී සොයා බැලුවා. රජු පවා තැති ගත්තා.

“මහරජාණෙනි, සිංහ ධේනුවක් පැන දිව්වා. මහරජාණෙනි, මෙතනට වඩිනු මැනැව. ඉතා සොඳුරු සිංහ පෝතකයෙක් සුවසේ නිදා සිටිනවා.”

ඉතා සතුටට පත් රජතුමා සිංහ පැටියා බලන්න ගියා.

“ෂා…! හරි අපූරුයි. අපි බලමු, මේ සිංහ පැටියාට බිය සැක ඇතිවෙනවාද කියා? ඔව්…! අපේ බෙර දවුල් තම්මැට්ටං නළා පිරිස ගෙනැල්ලා දැන් ශබ්ද කළ යුතුයි. මේ පැටියා කැලේට දුවන අයුරු අපටත් බලන්න පුළුවනි.”

ඉතින් සේනාව පැමිණ බෙර ගසන්න පටන් ගත්තා. නළා පිඹින්න පටන් ගත්තා. සිංහ පැටියා සුවසේ නිදි. ඌ නැගිට්ටෙ නෑ. ආයෙ වේගයෙන් ශබ්ද කළා. සිංහ පැටියා ඇහැරුණා. ඔළුව ඔසොවා බැලුවා. ආයෙමත් අත් දෙකෙන් මූණ වසාගෙන නිදාගත්තා. රජතුමාට හරි පුදුමයි. රජතුමා උයන් ක්‍රීඩාවට ගියේ නෑ. ආපසු හැරී මාළිගාවට යන්න පිටත් වුණා.

අතරමග යද්දී ධීවරයන් පිරිසක් මසුන් ඇල්ලීම පිණිස දැල දිගහැර ඈතට විසි කරනවා. එතකොට ඒ දැල සුළඟෙහි නොගැටී වේගයෙන් විහිද යනවා. බිය සැක තැති ගැනීම් රජතුමා දුටුවේ මසුන් ඇල්ලීමට එලූ දැලක් පරිද්දෙනි. රජතුමා ඒ ගැනත් සිතන්නට පටන් ගත්තා.

නැවත රජතුමා මාළිගයට පැමිණ රාජ උද්‍යානයෙහි පොකුණු තෙර වාඩිවී කල්පනා කරමින් සිටියා. වේගයෙන් සුළං හැමුවා. පොකුණේ පිපී ගිය නෙළුම් සුළඟට නැවී වතුරට පාත් වුණා. එහෙත් සුළං පහ වූ පසු පෙර පරිද්දෙන්ම දියෙහි නොතැවරී නැගී සිටියා. මෙය දුටු රජතුමා කල්පනා කළා.

“මමත් ආසයි සිංහයෙක් වගේ බිය තැතිගැනීම් නැතිව ඉන්න. මමත් ආසයි දැලකට හසුනොවන සුළඟක් වගේ ඉන්න. මමත් ආසයි දියෙහි නොතැවරී තිබෙන නෙළුමක් වගේ වෙන්න. එහෙත් මං කොහොමද ඒක කරන්නේ? මේ රජකම තුළින් නම් මට ඒක කරන්න බැහැ. මං අසා තිබෙනවා, මුනිවරු කියා පිරිසක් සිටිනවා කියලා. මේ ලෝකය අත්හැර නිදහස සොයා ගිය පිරිස අතරිනුයි ඔවුන් බිහිවෙන්නේ. එහෙම නම් මට කරන්න තියෙන්නෙත් එච්චරයි.”

ඉතින් රජතුමා රජකම අත්හැරියා. ශ්‍රමණයන් වහන්සේ නමක් බවට පත්වුණා. වනගත අඩවි සොයා පිටත් වුණා. ඉසිපතන මිගදා වනයෙහි පසේබුදුවරයන් වහන්සේලාගේ කුටි තිබෙන පෙදෙසට පැමිණුනා. එක කුටියකට පිවිසුණා. එහි කවුරුවත් නෑ. මේ ශ්‍රමණයන් වහන්සේ වටපිට බැලුවා. වාඩිවෙන ආසන තියෙනවා. එක් ආසනයක වාඩි වුණා. දෑස පියා ගත්තා. සිත භාවනාවට යොමු කළා. සමාධිමත් වුණා. නුවණින් විමසුවා. ප්‍රඥාව වැඩුණා. නිකෙලෙස් බවට පත්වුණා. පසේබුදු කෙනෙක් බවට පත්වුණා.

ඉන්පසු ඉර්ධියෙන් මංජූසක රුක් සෙවණට වැඩියා. එහිදීත් අනෙක් පසේබුදුවරයන් වහන්සේලා මුන්වහන්සේගේ අත්දැකීම කුමක්දැයි විමසුවා. එවිට මේ උදාන ගාථාව පැවසුවා.

සීහෝ ව සද්දේසු අසන්තසන්තෝ
වාතෝ ව ජාලම්හි අසජ්ජමානෝ
පදුමං ච තෝයේන අලිප්පමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

“අහස පොළොව කම්පාවෙන හෙණ හඬට පවා නොසැලී සිටින සිංහයෙක් වගේ, දැලට හසු නොවී පැනයන සුළඟක් වගේ, දියෙහි නොතැවරී තිබෙන නෙළුමක් වගේ ඉන්නයි මං කැමති. ඒ නිසා දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත 
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴

The post අසිරිමත් පසේබුදු පෙළහර 18 appeared first on Mahamevnawa Monastery.

තමාගේ අඩුපාඩු දැනගත් කෙනා තමයි එය හදාගන්නේ

$
0
0
featured-image-DP05-04

෴  4 ගාථා රත්නය
ගැටකපන්නන්ගේ කථා වස්තුව

“තමාගේ අඩුපාඩු දැනගත් කෙනා තමයි එය හදාගන්නේ”

පින්වතුනේ, පින්වත් දරුවනේ,

නැති බැරි සමහර අය කම්මැලිකම නිසා ලේසියෙන් ජීවත් වෙන්න ක්‍රම හොයනවා. එහෙම හොයද්දී සමහරු කරන්නේ සත්තු මරන එක. සමහරු කරන්නේ හොරකම් කරන එක. සමහරු කරන්නේ වැරදි කාම සේවනයේ යෙදෙන එක. සමහරු කරන්නේ අනුන්ට උගුල් අටවලා, බොරු කියලා අපහාස කරලා උදව් ගන්න එක. සමහරු කරන්නේ මත්පැන් පෙරන එක. මේ සෑම දෙයක්ම පව්.

ඔබ දන්නවා ඇති සෙනඟ රැස්වෙන ස්ථානවල ගැටකපන්නන් ඉන්නවා. බස්වල යනකොට වුනත්, දුම්රියේ යනකොට වුනත්, සෙනඟ තෙරපෙන තැන්වලදී වුනත් මුදල් පසුම්බිය අතුරුදහන් වෙන තැන සොයන්න බැහැ. මේ භයානක සොරකමට පුරුදු වුනොත් ඒ පුද්ගලයා හිතක් පපුවක් නැති දුෂ්ටයෙක් වෙන එක වළක්වන්නේ කොහොමද?

බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ගැටකපන්නන් හිටියා. මේ කතාවේ සඳහන් වන්නේත් ගැටකපන්නන් දෙන්නෙක් ගැනයි. මේ දෙන්නාගේ රස්සාව ඒකයි. මේ දෙන්නා බණ තියෙන තැන් බලනවා. බණ අහන්න දහස් ගණනින් සෙනඟ රැස්වෙන කොට මේ දෙන්නත් සුදු ඇඳ ගන්නවා. මල් නෙලා ගන්නවා. බොහෝ සැදැහැ ඇති උදවිය වගේ සෙනඟ මැද්දට රිංගනවා. රිංගලා වාඩිවෙලා ඉන්නවා. ඒ අතරේ මිනිස්සුන්ගේ ඉණ අතගාගෙන යනවා. මේ සොරු දෙදෙනාගේ බිරින්දෑවරු පවා මේ පව්කාර රස්සාවට බොහොම කැමති වුනා. ඒ අය මේ දෙන්නට මුදල් වැඩිය ගෙනාපු දවසට හරියට ප්‍රශංසා කරනවා.

දවසක් මේ දෙදෙනා බණ කියන තැනකට ගියා. ගියේ බණ අහන්න නෙවෙයි. අදහස වෙනස්. හැබැයි කාටවත් හොයාගන්නට බැහැ. එදා බුදුරජාණන් වහන්සේ මිහිරි වූ ධර්මය දේශනා කරද්දී එක හොරෙකුගේ සිත බණට ඇදිලා ගියා. ඔහු ඉතාම උවමනාවෙන් ධර්මයට ඇහුම්කන් දුන්නා. පැමිණි කාරණාව අමතක වුනා. ධර්මයටම හිත ඇදී ගියා. කර්ම කර්මඵල ගැන ලොකු අවබෝධයක් ඇතිවුනා. හේතු ඵල ධර්මතාව ගැන ලොකු අවබෝධයක් ඇතිවුනා. චතුරාර්ය සත්‍යය ගැන ලොකු අවබෝධයක් ඇතිවුනා. මේ තැනැත්තා සෝතාපන්න වූ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත්වුනා.

එදා මෙයාට හරිම සතුටුයි. ශ්‍රද්ධාව උතුරලා ගියා. මෙයා අධිෂ්ඨාන කරගත්තා බඩගින්නේ මළත් නූල්පටක තරමේ වත් නුදුන් දෙයක් ගන්නෙ නැහැ කියලා. ඉතින් හරි සතුටින් මෙයා බණ පොලෙන් නැගිට්ටේ. අනෙත් තැනැත්තා පුරුදු රස්සාව කළා. බණ අහන්න ආපු කෙනෙකුගේ ඉණ අතගාගෙන ගාණක් හොයාගත්තා.

පහුවදා අර සොරාගේ ගෙදර බත් වෑංජන උයල තිබුනා. සෝවාන් වූ ශ්‍රාවකයාගේ ගෙදර කෑමට මොකවත් තිබුනේ නෑ. දැන් ඔහු කල්පනා කරන්නේ අතපය මහන්සියෙන් දහඩිය මුගුරු වගුරුවා ජීවත් වෙන්නට මාර්ගයක් හදාගන්නයි.

DP_5_04

එදා අර සෝවාන් පුද්ගලයාගේ බිරිඳ ගෙදර රණ්ඩු අල්ලන්න පටන්ගත්තා.

“අපෙ අප්පෝ….! මෙන්න අපේ මිනිහගේ දියුණුව…! මොකක්ද දියුණුව? වළං පිඟන් හිස්…..! වතුර තමයි කෑමට තියෙන්නේ…. මහලොකු නුවණැත්තා. ජීවිතේට ලොකු අවබෝධයක් ලැබුනලු! ඒකට අල්ලපු ගෙදර. අන්න අවබෝධය තියෙන අය…. ඔය නහයට දැනෙන්නේ නැද්ද වෑංජන සුවඳ…. නුවණ තියෙනවා කියන්නෙ ඒකටයි.”

මේ තැනැත්තා කිසිවක් කිව්වේ නෑ. නිශ්ශබ්දව අහගෙන හිටියා. එදා සවස බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට ජේතවනයට ගිහින් සම්පූර්ණ සත්‍ය සිද්ධිය හෙළිදරව් කළා.

“ස්වාමීනී, මං අසත්පුරුෂ බාලයෙක් වගෙයි ජීවත් වුනේ. පින් පව් ගැන කිසි අවබෝධයක් තිබුනේ නෑ. නමුත් ඊයෙ බණ අසද්දී මට තේරුනා මං අසත්පුරුෂයෙක් බව. බාලයෙක් බව. ඊට පස්සේ ස්වාමීනී, අසත්පුරුෂයෙක් බවට මාව පත්කළේ මගේ ක්‍රියාව බව තේරුම් ගෙන මම එයින් නිදහස් වුනා. නමුත් ගෙදරින් මං බැනුම් අහනවා. මෝඩ වැඩක් කළාය කියලා. අර හොරකම් කරපු යාළුවා හිතාගෙන ඉන්නේ එයා ඤාණවන්ත වැඩක් කළාය කියලයි.”

එවේලෙහි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව මෙම ගාථාරත්නය වදාළා.

යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං - පණ්ඩිතෝ වා’පි තේන සෝ
බාලෝ ච පණ්ඩිතමානී – ස චේ බාලෝ’ති වුච්චති

අසත්පුරුෂ පවිටු කෙනා – ඒ බව දැනගන්නව නම්
ඒ තුළින්ම ඒ කෙනාට – යහපත් වෙන්නට පුළුවනි
අසත්පුරුෂ පවිටු කෙනා – හරිය කියල සිතනව නම්
සැබෑ ලෙසම පවිටෙක්මයි – ඔහු නෑ නිවැරදි වන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, දැන් බලන්න හිතලා අර හොරාට ජයගන්න පුළුවන් වුනේ සත්පුරුෂ ධර්මය ශ්‍රවණය කළ නිසයි. එතකොට තමන්ට තමන්ව පේන්න ගත්තා. තමන් අසත්පුරුෂයෙක් බවත්, බාලයෙක් බවත්, පවිටෙක් බවත් තේරෙන්න ගත්තා. ඒ අවබෝධය නිසා එයාට මොකද වුනේ? එයා නිවැරදි වුනා. වැරදි මාර්ගයෙන් බැහැර වුනා. යහපත් මාර්ගයට බැසගත්තා.

මෙයින් එක දෙයක් පැහැදිලියි. නොමඟ ගියපු කෙනෙකුට වුනත් යම් දවසක අවබෝධ වුනා නම් තමන්ට වැරදුනු බව. එයාට කරන්න තියෙන්නේ ඒ සැණින්ම හරි මගට පැමිණීමයි. වැරදි මග අත්හැරීමයි.

නමුත් නොමඟ ගිය කෙනා, වැරදි කරන කෙනා, අසත්පුරුෂයා, බාලයා, තමන්ගේ ඒ අසත්පුරුෂ ක්‍රියාවන් කිරීම මහා ලොකු දෙයක් කියා හිතාගෙන මහා ඤාණවන්ත වැඩක් කියා හුවාදක්වගන්නවා නම් එයා සැබැවින්ම බාලයෙක්මයි. අසත්පුරුෂයෙක්මයි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post තමාගේ අඩුපාඩු දැනගත් කෙනා තමයි එය හදාගන්නේ appeared first on Mahamevnawa Monastery.

සිත පහදවා ගනිමු

$
0
0
Sita-pahadawa-ganimu

සිත පහදවා ගනිමු…

පින්වතුනේ, පින්වත් දරුවනේ,

Sita-pahadawa-ganimu

මේ ධර්මයෙන් අපි ඉස්සෙල්ලාම ගන්න ඕන දේ තමයි පැහැදීම. පැහැදීම නැතිවීමේ අර්බුද තමයි හැම තැනම තියෙන්නේ. පැහැදීම ඇතිවෙන්න නම්, බුද්ධ දේශනාවේ තියෙන පරිපූර්ණත්වය දකින්න නම්, ඒ දේශනාව සම්පූර්ණයෙන්ම අපි දැනගන්න ඕන. මං කියන්නම් ඒකට හොඳ උදාහරණයක්.

සුභ කියල තරුණයෙක් ආනන්ද ස්වාමීන් වහන්සේට තමන්ගේ නිවසට වඩින්න කියල කිව්වා. (බුදුරජාණන් වහන්සේ එතකොට පිරිනිවන් පාලා.) ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩියා. එයා අහනවා, “ස්වාමීනී, ආනන්දයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වැඩඉන්දෙද්දී නිතර නිතර මේ සමාජයට ප්‍රකාශ කළේ මොකක්ද?” කියලා.

ආනන්ද ස්වාමීන් වහන්සේ වදාළා, “පින්වත, අපගේ ශාස්තෘන් වහන්සේ වැඩසිටිද්දී නිතර නිතර කියල දුන්නා ආර්ය සීලය ගැන, ආර්ය සමාධිය ගැන, ආර්ය ප්‍රඥාව ගැන.”

“අනේ! ස්වාමීනී, මට කියනවද ඒක?” කියල ඇහුවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ලස්සනට සීල ස්කන්ධය විස්තර කළා. සමාධි ස්කන්ධය විස්තර කළා. අභිඥා, අරහත්වය, ආසවක්ඛය ඤාණය දක්වා විස්තර කළා. මේක විස්තර කළේ සුභ කියන ගිහි ජීවිතය ගත කරන තරුණයාට. එතකොට එයාට සම්පූර්ණ බුද්ධ දේශනාවම අහන්න ලැබුණා. මුල, මැද, අග පිරිසිදු, අර්ථ සහිත, පැහැදිලි වචනවලින් යුතු නිවන් මඟ අහන්න ලැබුණා. අන්න හිත පැහැදුණා.

අපේ බොහෝ අයට හිත පහදින්නෙ නැති වෙන්න හේතුව තමයි සම්පූර්ණයෙන්ම මුල, මැද, අග පිරිසිදු, අර්ථ සහිත, ව්‍යංජන සහිත, සර්වාකාරයෙන්ම පිරිසිදු නිවන් මග අහන්න ලැබෙන්නෙ නැතිකම. ඒකට ඉස්සෙල්ලා සැකය එනවා. ‘ඕක කොහොම කරන්නද?’ කියල අහනවා.

ඔය විදිහට සැකය එනවා මිසක් ‘අනේ මෙහෙම ධර්මයක්නෙ තියෙන්නේ. මෙහෙම ප්‍රතිඵල ලබල තියෙනවනෙ මේ ධර්මයෙන්’ කියලා (තමුන්ට කරගන්න බැරිවුණත් කමක් නෑ. අනුන් කරගත්ත එකක් ගැනනෙ මේ කියන්නේ. රහතන් වහන්සේලා ධර්මය අවබෝධ කරගත්තා මේක අනුගමනය කරලා) මේක දිහා බලලා හිත පහදවා ගන්නත් වාසනාව ඕන.

එහෙම නම් අපි මතක තියාගන්න ඕන මේ ධර්මයෙන් ඉස්සෙල්ලාම කරගන්න ඕන මොකක්ද? සිත පහදවා ගන්න ඕන. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේට කියන්න තිබුණනේ “පින්වත, මට මෙහෙම අවබෝධ වුණා. මට මෙහෙම අවබෝධ වුණා” කියල තමන්ගේ එකක් කියවගෙන යන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ මොකක්ද කිව්වේ? “බුදුරජාණන් වහන්සේ නිතර නිතර ආර්ය සීලය දේශනා කළා….” කියලා හරි ලස්සනට ඒවා විස්තර කරනවා. එතකොට අර සුභට අහන්න ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එහෙනම් හොඳට මතක තියාගන්න. හිත පහදින්න නම් අර අහන කාරණේ තේරෙන්න ඕන. තේරුණේ නැත්නම් බැහැ.

ඒ නිසා අපට මේ සූත්‍ර ධර්මයන් ශ්‍රවණය කිරීමේදී සිහිය තිබීම ගොඩක් උපකාර වෙනවා. හිත පහදින්න නම් සිහියෙන් අහන්න ඕන. හිත පහදින්න නම් නුවණින් මෙනෙහි කරන්න ඕන, තේරෙන්න ඕන…

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය !

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post සිත පහදවා ගනිමු appeared first on Mahamevnawa Monastery.

ප‍්‍රඥාවත් සමඟ සම්බන්ධ වූ පැහැදීම…

$
0
0
Pragnawath-samaga-sambanda-u-pehedima

ප‍්‍රඥාවත් සමඟ සම්බන්ධ වූ පැහැදීම…

පින්වතුනේ, පින්වත් දරුවනේ,

Pragnawath-samaga-sambanda-u-pehedima

පට සාමාන්‍ය පැහැදීමක් තියෙනවා. ඒ කියන්නේ ඕනම දෙයක් කෙරෙහි පහදින්න පුළුවන්කමක් තියෙනවා. නමුත් ඒකට පදනමක් ඕන නෑ. අපි ගත්තොත් ඔන්න ලස්සන කාන්තාවක් හෝ පුරුෂයෙක් පාරේ ඉන්නවා. ”ආ… ලස්සන කෙනෙක්…” කියලා පහදිනවා නේද? ලස්සන ගීතයක් ඇහෙනවා. ”ආ… ලස්සන ගීතයක්…” කියලා පහදින්නේ නැද්ද? ලස්සන මලක් දකිනවා. ”ආ… ලස්සන මලක්…” කියලා පහදින්නේ නැද්ද? ලස්සන ඇඳුමක් දකිනවා. ”ලස්සන ඇඳුමක්….” කියලා පහදින්නේ නැද්ද? ලස්සන ගෙයක් දකිනවා. ”ලස්සන ගෙයක්…” කියලා පහදින්නේ නැද්ද? ලස්සන වාහනයක් දකිනවා. ”ෂා…! ලස්සන වාහනයක්…” කියලා පහදිනවානේ. නමුත් ඒ පැහැදීම වෙනස් වෙන එකක්.
දැන් ඔන්න ලස්සන මලකට පහදිනවා කියමු. ඒ මල පරවුණාම ඒ පැහැදීම ඉවරයි. මිහිරි හඬක් තියෙන ගායකයෙකුට පහදිනවා. ඒ ගායකයාට වඩා මිහිරි හඬකින් කෙනෙක් ගායනා කළොත්, අර පැහැදීම වෙනස් වෙනවානේ. ලස්සන නළුවෙකුට හෝ නිළියකට හෝ පහදිනවා කියමු. ඊට වඩා ලස්සන නළුවෙක් හරි නිළියක් හරි දැක්කාම ඒ පැහැදීම වෙනස් වෙනවානේ. ඔන්න ක‍්‍රීඩකයෙකුට පහදිනවා. ඒ පැහැදීම තියෙන්නේ හරියට සෙල්ලම් කරනකම් විතරයි. ඒ ක‍්‍රීඩකයා දිගට හරහට පරදින්න පටන් ගත්තොත් ඒ පැහැදීම ඉවරයි. ඊට පස්සේ බනින්න ගන්නවා.

එතකොට ඒ පැහැදීම තියෙන්නේ අවබෝධයක් මත නෙවෙයි, වින්දනයක් මත. වින්දනයක් මත තියෙන පැහැදීම කියන්නේ අප සියලූ දෙනාගේම මනසේ තියෙන සාමාන්‍ය ලක්ෂණයක්.

කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින්නත් ඉස්සර වෙලාම ඕන වෙන්නේ ඕක තමයි. එක්කෝ උන්වහන්සේගේ ලස්සන පිළිමයක් දැකලා, එක්කෝ ලස්සන දෙයක් අහලා. නමුත් ඒ පැහැදීම අවබෝධයක් කරා යන එකක් නෙවෙයි. අවබෝධයක් කරා යන්න නම් ඒ පැහැදීමට ප‍්‍රඥාව එකතුවෙලා තියෙන්න ඕන.

ඔන්න එක ගෙයක් තිබුණා. ඒ ගෙදර මිනිස්සු හොඳට වැඳුම් පිදුම් කරගෙන හිටියා. කොහොම හරි ඒ මිනිස්සුන්ගේ තිබුණ දුර්වලකමක් නිසා අන්‍යාගමිකයන් ඒ අයව ඒ ආගමට හරවගත්තා. අන්‍යාගමිකයෝ, ”ඔය බුදු පිළිමය ගෙට ඇතුළු වෙන තැන වළලන්න. ඒකට කකුල් පිහිද පිහිද ඇතුළුවෙන්න” කිව්වා. දැන් අර මිනිස්සුත් මේක කරනවා. එතකොට ඒ අය කලින් අර බුදු පිළිමයට වැඳ වැඳ හිටියේ අවබෝධයෙන් ලත් පැහැදීමකින් නෙවෙයිනේ. පැහැදීමක් තිබ්බා නම් එයාට මේක කරන්න පුළුවන්ද? එයා ඒ බුදු පිළිමය තුළින් බුදුරජාණන් වහන්සේව දැක්කා නම් කරන්නේ නෑ.

අද මිනිස්සු කෙළවරක් නැතුව බුදු පිළිම කැඩුවේ නැද්ද? ඒ ආගම්වලට යන අය බුදු පිළිම කඩවනවා. ඒ තුළින් බුදුරජාණන් වහන්සේව දැක්කා නම් එයාලට මේක කරන්න බෑනේ. යමෙක් හරි විදිහට බුදුරජාණන් වහන්සේව හඳුනාගත්තා නම්, බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් ගල් කැටයක් තිබ්බා නම්, එයා ඒකටත් ගෞරව කරනවා.

එතකොට අපට මේකෙන් පේනවා, එහෙම නම් අපි පහදින්න ඕන අවබෝධයෙන්. ඒ අවබෝධය ඇතිවෙන්නේ නුවණින් විමසීමෙන්. ප‍්‍රඥාවෙන්. ඒ වගේම ඒ පැහැදීම තියෙන්න ඕන ප‍්‍රඥාවත් එක්ක සම්බන්ධ වෙලයි. ප‍්‍රඥාවත් එක්ක සම්බන්ධ වෙලා තිබුණොත් හරි. ප‍්‍රඥාව කියන්නේ චතුරාර්ය සත්‍යය දැකීමේ නුවණ.

දැන් අපි ගත්තොත්, ඔන්න බෞද්ධයෙක් ඉන්නවා. මෙයා බුදුන් වඳිනවා, භාවනා කරනවා, වන්දනා කරනවා. ඔය අතරේ ගෙදර කාට හරි ලෙඩක් හැදෙනවා. ලෙඩක් හැදුණට පස්සේ මෙයා බෙහෙත් කරනවා. නමුත් බෙහෙත් කරද්දි කරද්දි ලෙඬේ සනීපවෙන පාටක් නෑ. ඊට පස්සේ එයා වන්දනා කරන එකට අලූතින් යමක් එකතු කරගන්නවා. ඒ තමයි, ‘අනේ… බුදුරජාණන් වහන්ස, මෙයාගේ ලෙඬේ සනීප කරලා දෙන්න…’

දැන් සනීප කරලා දෙන්න කියද්දි කියද්දී අසනීපය උග‍්‍ර වෙනවා. එතකොට එයාට තමන්ගේ ආගම ගැන තරහක් ඇතිවෙනවා. ‘ආ… මං මෙච්චර වැඳුම් පිදුම් කළා. මං මේ ලෙඬේ සනීප කරලා දෙන්න කියලා ඉල්ලනවා. ඒත් සනීප කරලා දෙන්නේ නෑනේ…’ එයා දැකපු ඒ කෝණය වැරදියි. නමුත් එයා ‘ජීවිතයේ අසනීප කාටත් පොදුයි. ශරීරය ලෙඩ වෙනවා කියන එක කාටත් පොදු දෙයක්’ කියලා දැක්කා නම් ඒ කල්පනා කරපු විදිහ හරි.

බුදුරජාණන් වහන්සේ තරම් ශරීරයේ තියෙන ඇත්ත ගැන වෙන කිසි කෙනෙක් දේශනා කරලා නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ ශරීරය, රෝග පැටව් ගහන කූඩුවක් වගේ කියලයි. ඒක සම්පූර්ණ ඇත්තනේ. මේ ශරීරය තුනී සිවියකින් වැහුණු බිත්තර කටුවක් වගේ කියනවා. මේක ඕන වෙලාවක ගින්නට අහුවුණොත්, වතුරට අහුවුණොත් විනාශ වෙනවා කියනවා.

මේ ශරීරයට ඇතිවෙන ලෙඩ රෝග ගැන උන්වහන්සේ කියා දීලා නැද්ද? එතකොට එයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන දන්නවා නම්, බෙහෙත් කරද්දි කරද්දිත් රෝගය කරාම යනවා නම්, එයා ලෙඩාට කියනවා, ‘ඔයා ඕක අවබෝධ කරන්න…’ කියලා. අවබෝධ කරන්න කියන්නේ ‘ලෙඩ වෙන ජීවිතයක් තමන්ට ලැබිලා තියෙනවා’ කියලයි. එතකොට එයාට හැමතිස්සේම ඇත්ත විවෘත වෙනවා.

වෙන ආගම්වලින් කරන්නේ ඕක නෙවෙයිනේ. ”ඔයා ඕක දෙවියන්ගෙන් ඉල්ලා හිටින්න” කියනවා. ඔන්න එහෙම කියද්දි කියද්දිත් අසනීප වෙලා මැරෙනවා. ඊට පස්සේ කියනවා, ”දෙවියෝ ඇහුවේ නෑ නෙවෙයි, දෙවියෝ ඔයාව ටෙස්ට් කරලා බලන්නයි එහෙම කළේ. ඔයාගේ භක්තිය වෙනස් වෙනවාද කියල බලන්නයි.” අන්න…! මෝඩයා ආයෙත් අහුවෙනවා. දවල් වැටුණු වළේ ආයෙත් දවල්ම වැටෙනවා. මිනිස්සුන්ට එහෙම වෙන්නේ නැද්ද?

එතකොට උපන්න මනුස්සයා ලෙඩ වෙනවා කියන එක කවදාවත් අවබෝධ කරන්නේ නෑනේ. නමුත් බුදුරජාණන් වහන්සේ තමයි, සැබෑම යථාර්ථය පෙන්වා දෙන්නේ….

ඉතින් මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් චතුරාර්ය සත්‍යධර්මය අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්
සදහම් වැඩසටහන් වලදී පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සකස් කළ
‘සැපයක්ය එය නුඹට සැනසෙන්න මෙත් සිතින්…’ සදහම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී

The post ප‍්‍රඥාවත් සමඟ සම්බන්ධ වූ පැහැදීම… appeared first on Mahamevnawa Monastery.

ශ්‍රී සද්ධර්මයෙන් කළ හැකි දේ…

$
0
0
Sri-Saddharmayen-kala-heki-de

ශ්‍රී සද්ධර්මයෙන් කළ හැකි දේ…

පින්වතුනේ, පින්වත් දරුවනේ,

Sita-pahadawa-ganimu

බුදුරජාණන් වහන්සේව දකින්නට තියෙන එකම ක්‍රමය නම් ධර්මය දැකීමයි. ඒ සඳහා ධර්මය නිවැරදි ලෙස ඉගෙනගෙන තිබිය යුතුයි. ඒ ධර්මය මනාකොට හදාරා නැති කෙනා හැමතිස්සේම ඉන්නේ බාහිර පුද්ගලයෙක්ව පිළිසරණ කරගෙනයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා තිබෙන්නේ, අප විසින් පිළිසරණය කරගත යුතු වන්නේ උන්වහන්සේගේ ධර්මය බවයි. ඒ ධර්මය තුළින් අපට හඳුනාගත හැකිවෙනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? යන වග, ශ්‍රී සද්ධර්මය නම් කුමක්ද? යන්න හා මහා සංඝරත්නය කවුද? යන වග. ඔය කරුණු හඳුනාගත් පසු අපට තේරුම් යනවා සංසාරය සකස් වෙන්නේ අපේ සිතේ බව. දුක සකස් වෙන්නේ ජීවිතය තුළින් බවත්, සකස් වෙන දෙයක් හෙයින් එය අනිත්‍ය බවත්, අනිත්‍ය දෙයක් වූ දුකෙහි සකස්වීම හේතුවක් අනුව සිදුවන්නක් බවත්, ඒ හේතුව නැති කිරීමෙන් දුක නැති කිරීමට පුළුවන් බවත් තේරුම් ගන්නවා. එහෙම තේරුම් අරගෙන ප්‍රායෝගිකව ධර්මයෙහි හැසිරෙමින් පුරුදු කරගෙන යද්දී, දුක ඇතිවෙන්නෙ මේ මේ ආකාරයටයි කියා තේරුම් යද්දි මේ දුක නැතිකර දාන්නට පුළුවන් කියන අදහස එනවා. තමන් අදහන ධර්මය තමන්ට විශ්වාස නම් විතරයි ඒ මතය ඇතිවෙන්නේ. මානසිකව බලවත් වෙන්නේ නිසැක භාවයට පත්වෙමින් යන ගමනකුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැමවිටම ප්‍රකාශ කරනු ලබන කාරණයක් තමයි ‘ඒහිපස්සික…‘ ඇවිත් නුවණින් විමසා බලන්න.

උන්වහන්සේ ධර්මය දේශනා කළේ කුමක් සඳහාද? ‘සත්ථානං විසුද්ධියා‘ – සත්වයාගේ පිරිසිදු භාවය පිණිස, ‘සෝක පරිද්දවානං සමතික්කමාය‘ – සෝක කිරීම් වැළපීම් වලින් නිදහස් වෙන්නට, ‘දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය‘ – කායික මානසික දුක් දොම්නස් වලින් එතෙර වෙන්නට, ‘ඤායස්ස අධිගමාය‘ මේ ජීවිතයේ ස්වභාවය අවබෝධ කරගන්නට, ‘නිබ්බානස්ස සච්ඡිකිරියාය‘ – නිවන ප්‍රත්‍යක්‍ෂ කරගැනීමට යන කරුණු සඳහායි.

උන්වහන්සේ කිසිම තැනක දේශනා කොට නැහැ ධර්මය තියෙන්නෙ පෙරුම් පුරන්නටය කියා. උන්වහන්සේ පැහැදිලිවම කතා කළේ ප්‍රත්‍යක්‍ෂ කළ යුතු ධර්මයක්. උන්වහන්සේ පැහැදිලිවම දේශනා කොට තිබෙන්නේ මේ ජීවිතයේදී දකින්න පුළුවන් ධර්මයක්. ඒක පරලොවකදී දකින්න තියෙන එකක් නොවෙයි. ඒ නිසා එය නොපෙනෙන ලෝකෙකට කල් දාන්න එපා. මේ සමාජයේ තහවුරු වෙලා තියෙන්නෙ….. ‘අපි ඊළඟ ජීවිතයෙ කොහේ යයිද, මොනව වෙයිද දන්නෙ නෑ. ඒ නිසා පින් රැස් කරගන්න ඕන. ඒ පින් වලින් ආයෙම මිනිස් ලෝකෙට එන්න ඕන. තව තවත් පින් කරන්න ඕන. ආයිම මෙහේම ඉපදෙන්න ඕන….’ බලන්න මේක අවසානයක් වෙන්නෙ නෑ.

අප පැහැදිලිව දන්නවා නම්, මේ මිනිස් ලොව වැඩ සිටි රහතන් වහන්සේලා විසින් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පරිපූර්ණ ආකාරයෙන් දකින ලද බව, එහෙනම් ඒක අදත් ඒ විදිහටම දකින්නට පුළුවන් විය යුතුයි. අදත් ඒ ධර්මයමයි තියෙන්නේ. මෙය මැරුණු ධර්මයක් නොවෙයි, ජීවමාන එකක්.

පින්වතුනි, මතක තියාගන්න, මේ මිනිස් ජීවිතය අපට කලාතුරකින් ලැබුණ දෙයක්. ඊළඟ ජීවිතයෙ කොහේ යයි දැයි නොදන්නා, අනතුරක් පවතින මේ සංසාර ගමනේ, කලාතුරකින් ලද මේ අවස්ථාවේදී පැහැදිලිවම අපේ මනස දියුණුව කරා ගෙනියන්න පුළුවන්කම තියෙද්දිත්, වැරදි මතවාද වලින් එය ආවරණය කර ගැනීම අප විසින් අපටම සිදුකර ගන්නා විශාල හානියක්. එහෙම හානියක් කර නොගෙන පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මාර්ගය තුළ ගමන් කරමු. පෘථග්ජන පිරිස හැටියට නොමැරී මාර්ගඵලලාභීන් හැටියට ජීවිතය අවසන් කරමු….

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය…!

The post ශ්‍රී සද්ධර්මයෙන් කළ හැකි දේ… appeared first on Mahamevnawa Monastery.

280. පිබිදීම – 2014.04.29


පහන් සිල නිවෙන ලෙස පිරිනිවී වැඩි සේක..! (මහා පරිනිබ්බාන සූත්‍රය – 01 කොටස)

$
0
0

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

 

  2.3. මහා පරිනිබ්බාන සූත්‍රය
භාග්‍යවතුන් වහන්සේගේ මහා පරිනිර්වාණය ගැන වදාළ දෙසුම

 

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවසන සේක. එසමයෙහි වේදේහීපුත්‍ර අජාසත් මගධ රජතුමා වජ්ජි රජවරු යටත් කරනු කැමති වෙයි. ඔහු මෙසේ කියයි.

‘මම් වනාහී මේ සා මහත් ඉර්ධි ඇති, මේ සා මහා ආනුභාව ඇති වජ්ජීන් මුලින් ම සිඳලන්නෙමි. වජ්ජීන් නසා ලන්නෙමි. වජ්ජීන් විපතකට පමුණුවන්නෙමි’ යි.

ඉක්බිති වේදේහීපුත්‍ර අජාසත් මගධ රජ තෙමේ මගධයෙහි මහඇමති වස්සකාර බ්‍රාහ්මණයා ඇමතුවේ ය.

“බ්‍රාහ්මණය, මෙහි එව. ඔබ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටින සේක් ද, එතැනට එළැඹෙව. එළැඹ මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වන්දනා කරව. ‘ස්වාමීනී, වේදේහීපුත්‍ර අජාසත් මගධ රජු භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වන්දනා කරයි. ආබාධ අඩු බව ත්, රෝග අඩු බව ත්, සැහැල්ලු බව ත්, කාය බලය ත්, පහසු විහරණය ත් අසයි’ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේගේ අල්ප ආබාධ බව, අල්ප රෝගී බව, සැහැල්ලු බව, කාය බලය, පහසු විහරණය විමසව.

යළි මෙසේ ත් පවසව. ‘ස්වාමීනී, වේදේහීපුත්‍ර අජාසත් මගධ රජු වජ්ජීන් යටත් කරනු කැමති වෙයි. ඔහු මෙසේ කිය යි. ‘මම් වනාහී මේ සා මහත් ඉර්ධි ඇති, මේ සා මහා ආනුභාව ඇති වජ්ජීන් මුලින් ම සිඳලන්නෙමි. වජ්ජීන් නසා ලන්නෙමි. වජ්ජීන් විපතකට පමුණුවන්නෙමි’ යි.

එවිට බ්‍රාහ්මණය, භාග්‍යවතුන් වහන්සේ ඔබට යමක් පවසන සේක් ද, එය ඉතා මනාකොට ඉගෙන, මා හට සැළකරව. තථාගතවරු අසත්‍යය නොපවසන සේක” යි.

“එසේ ය, භවත” යි මගධ මහඇමති වස්සකාර බ්‍රාහ්මණයා වේදේහීපුත්‍ර අජාසත් මගධ රජුට පිළිවදන් දී සොඳුරු සොඳුරු යානයන් පිළියෙල කොට, සොඳුරු යානයක නැගී, සොඳුරු සොඳුරු යානයන් පිිරිවරාගෙන රජගහ නුවරින් පිටත් ව ගියේ ය. ගිජ්ඣකූට පර්වතය වෙත පැමිණියේ ය. යානයෙන් යා හැකි භූමිය යම්තාක් ද, ඒ තාක් ගොස් යානයෙන් බැස පා ගමනින් ම භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූයේ ය. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් මගධ මහඇමති වස්සකාර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“භවත් ගෞතමයන් වහන්ස, වේදේහීපුත්‍ර අජාසත් මගධ රජු භවත් ගෞතමයන්ගේ පාදයන් සිරසින් වන්දනා කරයි. ආබාධ අඩු බව ත්, රෝග අඩු බව ත්, සැහැල්ලු බව ත්, කාය බලය ත්, පහසු විහරණය ත් අසයි. භවත් ගෞතමයන් වහන්ස, වේදේහීපුත්‍ර අජාසත් මගධ රජු වජ්ජීන් යටත් කරනු කැමති වෙයි. ඔහු මෙසේ කිය යි. ‘මම් වනාහී මේ සා මහත් ඉර්ධි ඇති, මේ සා මහා ආනුභාව ඇති වජ්ජීන් මුලින් ම සිඳලන්නෙමි. වජ්ජීන් නසා ලන්නෙමි. වජ්ජීන් විපතකට පමුණුවන්නෙමි’ යි.”

වජ්ජීවරුන්ට දේශනා කළ නොපිරිහීම පිණිස පවතින සප්ත ධර්මයන්…

එසමයෙහි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිටුපසින් පවන් සළමින් සිටියේ වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

1. “කිම? ආනන්දයෙනි, ‘වජ්ජිවරු නිරතුරු ව රැස්වෙමින්, රැස්වීම බහුල කොට සිටිති’ යි යන කරුණ ඔබ විසින් අසන ලද්දේ ද?”

“ස්වාමීනී, ‘වජ්ජිවරු නිරතුරු ව රැස්වෙමින්, රැස්වීම බහුල කොට සිටිති’ යි යන කරුණ මා විසින් අසන ලද්දේ ය.”

“ආනන්දයෙනි, වජ්ජීවරු යම්තාක් කල් නිරතුරු ව රැස්වෙමින්, රැස්වීම් බහුල කොට සිටිත් ද, ආනන්දයෙනි, ඒ තාක් කල් වජ්ජීන්ගේ දියුණුව ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

2. කිම? ආනන්දයෙනි, ‘වජ්ජීවරු සමගි ව රැස්වෙති. සමගි ව විසිර යති. වජ්ජීන් කළ යුතු කටයුතු සමගි ව කරති’ යි යන කරුණ ඔබ විසින් අසන ලද්දේ ද?”

“ස්වාමීනී, ‘වජ්ජීවරු සමගි ව රැස්වෙති. සමගි ව විසිර යති. වජ්ජීන් කළ යුතු කටයුතු සමගි ව කරති’ යි යන කරුණ මා විසින් අසන ලද්දේ ය.”

“ආනන්දයෙනි, යම්තාක් කල් වජ්ජීවරු සමගි ව රැස්වෙත් ද, සමගි ව විසිර යත් ද, වජ්ජීන් කළ යුතු කටයුතු සමගි ව කරත් ද, ආනන්දයෙනි, ඒ තාක් කල් වජ්ජීන්ගේ දියුණුව ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

3. කිම? ආනන්දයෙනි, ‘වජ්ජීවරු නොපණවන ලද දෙය නොපණවති. පණවන ලද දෙය නොසිඳිති. යම් අයුරකින් පැරණි වජ්ජී ධර්මයන් පණවන ලද්දේ ද, ඒවා සමාදන් ව පවතිත්’ යි යන කරුණ ඔබ විසින් අසන ලද්දේ ද?”

“ස්වාමීනී, ‘වජ්ජීවරු නොපණවන ලද දෙය නොපණවති. පණවන ලද දෙය නොසිඳිති. යම් අයුරකින් පැරණි වජ්ජී ධර්මයන් පණවන ලද්දේ ද, ඒවා සමාදන් ව පවතිත්’ යි යන කරුණ මා විසින් අසන ලද්දේ ය.”

“ආනන්දයෙනි, යම්තාක් කල් වජ්ජීවරු නොපණවන ලද දෙය නොපණවත් ද, පණවන ලද දෙය නොසිඳිත් ද, යම් අයුරකින් පැරණි වජ්ජී ධර්මයන් පණවන ලද්දේ ද, ඒවා සමාදන් ව පවතිත් ද, ආනන්දයෙනි, ඒ තාක් කල් වජ්ජීන්ගේ දියුණුව ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

4. කිම? ආනන්දයෙනි, ‘වජ්ජීවරු යම් ඒ වජ්ජීන්ගේ වයෝවෘද්ධ වජ්ජීන් සිටිත් ද, ඔවුන්ට සත්කාර කරති, ගෞරව කරති, බුහුමන් දක්වති, පුදති, ඔවුන්ට සවන් දිය යුතු යැයි සිතති’ යි යන කරුණ ඔබ විසින් අසන ලද්දේ ද?”

“ස්වාමීනී, ‘වජ්ජීවරු යම් ඒ වජ්ජීන්ගේ වයෝවෘද්ධ වජ්ජීන් සිටිත් ද, ඔවුන්ට සත්කාර කරති, ගෞරව කරති, බුහුමන් දක්වති, පුදති, ඔවුන්ට සවන් දිය යුතු යැයි සිතති’ යි යන කරුණ මා විසින් අසන ලද්දේ ය.”

“ආනන්දයෙනි, යම්තාක් කල් වජ්ජීවරු යම් ඒ වජ්ජීන්ගේ වයෝවෘද්ධ වජ්ජීන් සිටිත් ද, ඔවුන්ට සත්කාර කරත් නම්, ගෞරව කරත් නම්, බුහුමන් දක්වත් නම්, පුදත් නම්, ඔවුන්ට සවන් දිය යුතු යැයි සිතත් නම්, ආනන්දයෙනි, ඒ තාක් කල් වජ්ජීන්ගේ දියුණුව ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

5. කිම? ආනන්දයෙනි, ‘යම් ඒ කුල කුමාරිකාවෝ, කුල ස්ත්‍රීහු සිටිත් ද, වජ්ජීවරු ඔවුන් ව බලහත්කාරයෙන් ඇදගෙන ගොස් තමන්ගේ වාසයෙහි තබා ගෙන නොවසති’ යි යන කරුණ ඔබ විසින් අසන ලද්දේ ද?”

“ස්වාමීනී, ‘යම් ඒ කුල කුමාරිකාවෝ, කුල ස්ත්‍රීහු සිටිත් ද, වජ්ජීවරු ඔවුන් ව බලහත්කාරයෙන් ඇදගෙන ගොස් තමන්ගේ වාසයෙහි තබා ගෙන නොවසති’ යි යන කරුණ මා විසින් අසන ලද්දේ ය.”

“ආනන්දයෙනි, යම්තාක් කල් යම් ඒ කුල කුමාරිකාවෝ, කුල ස්ත්‍රීහු සිටිත් ද, වජ්ජීවරු ඔවුන් ව බලහත්කාරයෙන් ඇදගෙන ගොස් තමන්ගේ වාසයෙහි තබා ගෙන නොවසත් නම්, ආනන්දයෙනි, ඒ තාක් කල් වජ්ජීන්ගේ දියුණුව ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

6. කිම? ආනන්දයෙනි, ‘වජ්ජීන්ගේ ඇතුළු නගරයේ ත්, පිට නගරයේ ත්, යම් ඒ වජ්ජී චෛත්‍යයෝ වෙත් ද, වජ්ජීවරු ඒවාට සත්කාර කරති. ගෞරව කරති. බුහුමන් දක්වති. පුද පූජා පවත්වති. ඒවාට පෙර පටන් දෙන ලද, පෙර පටන් කරන ලද, දැහැමි පුද පිදවිලි නොපිරිහෙලති’ යි යන කරුණ ඔබ විසින් අසන ලද්දේ ද?”

“ස්වාමීනී, වජ්ජීන්ගේ ඇතුළු නගරයේ ත්, පිට නගරයේ ත්, යම් ඒ වජ්ජී චෛත්‍යයෝ වෙත් ද, වජ්ජීවරු ඒවාට සත්කාර කරති. ගෞරව කරති. බුහුමන් දක්වති. පුද පූජා පවත්වති. ඒවාට පෙර පටන් දෙන ලද, පෙර පටන් කරන ලද, දැහැමි පුද පිදවිලි නොපිරිහෙලති’ යි යන කරුණ මා විසින් අසන ලද්දේ ය.”

“ආනන්දයෙනි, යම්තාක් කල් වජ්ජීන්ගේ ඇතුළු නගරයේ ත්, පිට නගරයේ ත්, යම් ඒ වජ්ජී චෛත්‍යයෝ වෙත් ද, වජ්ජීවරු ඒවාට සත්කාර කරත් නම්, ගෞරව කරත් නම්, බුහුමන් දක්වත් නම්, පුද පූජා පවත්වත් නම්, ඒවාට පෙර පටන් දෙන ලද, පෙර පටන් කරන ලද, දැහැමි පුද පිදවිලි නොපිරිහෙලත් නම්, ආනන්දයෙනි, ඒ තාක් කල් වජ්ජීන්ගේ දියුණුව ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

7. කිම? ආනන්දයෙනි, ‘කිම, අපගේ විජිතයට නොවැඩි රහත්හු වඩිත් ද, වැඩි රහත්හු අපගේ විජිතයෙහි පහසුවෙන් වාසය කරත් ද යනුවෙන් වජ්ජීන්ගේ ධාර්මික ආරක්ෂා රැකවරණය රහතුන් කෙරෙහි මැනැවින් පිහිටුවන ලද්දේ ය’ යි යන කරුණ ඔබ විසින් අසන ලද්දේ ද?”

“ස්වාමීනී, ‘කිම, අපගේ විජිතයට නොවැඩි රහත්හු වඩිත් ද, වැඩි රහත්හු අපගේ විජිතයෙහි පහසුවෙන් වාසය කරත් ද යනුවෙන් වජ්ජීන්ගේ ධාර්මික ආරක්ෂා රැකවරණය රහතුන් කෙරෙහි මැනැවින් පිහිටුවන ලද්දේ ය’ යි යන කරුණ මා විසින් අසන ලද්දේ ය.”

“ආනන්දයෙනි, යම්තාක් කල් ‘කිම, අපගේ විජිතයට නොවැඩි රහත්හු වඩිත් ද, වැඩි රහත්හු අපගේ විජිතයෙහි පහසුවෙන් වාසය කරත් ද’ යනුවෙන් වජ්ජීන්ගේ ධාර්මික ආරක්ෂා රැකවරණය රහතුන් කෙරෙහි මැනැවින් පිහිටුවන ලද්දේ නම්, ආනන්දයෙනි, ඒ තාක් කල් වජ්ජීන්ගේ දියුණුව ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගධ මහඇමති වස්සකාර බ්‍රාහ්මණයා ඇමතූ සේක.

“බ්‍රාහ්මණය, එක් අවදියක මම විශාලා මහනුවර සාරන්දද සෑයෙහි වාසය කළෙමි. එහිදී මම වජ්ජීවරුන්ට නොපිරිහීම පිණිස පවතින මේ සප්ත ධර්මයන් දේශනා කළෙමි. බ්‍රාහ්මණය, යම්තාක් කල් වජ්ජීවරුන් තුළ නොපිරිහීම පිණිස පවතින මේ සප්ත ධර්මයෝ තිබෙත් ද, නොපිරිහීම පිණිස පවතින මේ සප්ත ධර්මයන් තුළ වජ්ජීවරු දිස්වෙත් ද, ඒ තාක් කල් බ්‍රාහ්මණය, වජ්ජීන්ගේ දියුණුව ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.”

මෙසේ වදාළ කල්හී මගධ මහඇමති වස්සකාර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“භවත් ගෞතමයන් වහන්ස, නොපිරිහීම පිණිස පවතින මේ එක ම එක් ධර්මයකින් පවා යුක්ත වන වජ්ජීවරුන්ගේ දියුණුව ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි. නොපිරිහීම පිණිස පවතින සප්ත ධර්මයන්ගෙන් යුක්ත වී සිටින විට කවර කථාවක් ද?

භවත් ගෞතමයන් වහන්ස, වේදේහීපුත්‍ර අජාසත් මගධ රජු විසින් කරනු ලබන යම් මේ යුද්ධයක් ඇද්ද, එය චාටු බසින් පොළොඹවාලීමකින් තොර ව, ඔවුන් බිඳවා අසමගි කිරීමකින් තොර ව කළ නොහැක්කේ ය.

එසේ නම් භවත් ගෞතමයන් වහන්ස, අපි දැන් යම්හ. අපි බොහෝ කටයුතු ඇති කළයුතු බොහෝ දේ ඇති උදවිය වෙමු.”

“බ්‍රාහ්මණය, දැන් යමකට කාලය නම්, ඔබ එය දනුව.”

ඉක්බිති මගධ මහඇමති වස්සකාර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගිට නික්ම ගියේ ය.

එකල්හී මගධ මහඇමති වස්සකාර බ්‍රාහ්මණයා නික්ම ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක.

“යන්න ඔබ ආනන්දයෙනි, රජගහනුවර ඇසුරු කොට යම්තාක් භික්ෂූහු වෙසෙත් ද, ඒ හැම උපස්ථාන ශාලාවට රැස් කරවන්න.”
“එසේ ය, ස්වාමීනී” යි භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ යම්තාක් භික්ෂූහු රජගහනුවර ඇසුරු කොට වාසය කරත් ද, ඒ හැම උපස්ථාන ශාලාවෙහි රැස් කරවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව සිටියහ. එකත්පස් ව සිටි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.

“ස්වාමීනී, භික්ෂු සංඝයා රැස් කරන ලද්දේ ය. ස්වාමීනී, දැන් යමකට කාලය වෙයි නම්, එය භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන ශාලාවට වැඩම කළ සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, ඔබට නොපිරිහීම පිණිස පවතින සප්ත ධර්මයන් දේශනා කරන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නාහු ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

1. “යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු නිතර රැස් වෙත් ද, රැස්වීම් බහුල කොට සිටිත් ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

2. යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු සමගි ව රැස් වෙන්නාහු ද, සමගි ව විසිර යන්නාහු ද, සංඝයා විසින් කළ යුතු දෑ සමගි ව කරන්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

3. යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු නොපණවන ලද දෙය ත්, නොපණවන්නාහු ද, පණවන ලද දෙය නොසිඳින්නාහු ද, යම් අයුරකින් පණවන ලද ශික්ෂාපදයන්හි සමාදන් ව පවතින්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

4. යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු යම් ඒ පැවිදි ව බොහෝ කල් ගත කළ, සංඝපීතෘ වූ, සංඝ නායක වූ, වැඩිහිටි ස්ථවිර භික්ෂූහු වෙත් ද, ඔවුන්ට සත්කාර කරන්නාහු ද, ගෞරව කරන්නාහු ද, බුහුමන් දක්වන්නාහු ද, පුදන්නාහු ද, ඔවුන්ගේ වචනයට සවන් දිය යුතු යැයි සිතන්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

5. යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු නැවත භවෝත්පත්තියක් පිණිස හේතුවන තෘෂ්ණාව තමන් තුළ හටගන්නා කල්හී එහි වසඟයට නොයත් ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

6. යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු අරණ්‍ය සේනාසනයන්හි වාසය පිණිස අපේක්ෂාවෙන් සිටින්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

7. යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු තම තමන් තුළ ම සිහිය පිහිටුවාගෙන වාසය කරත් ද, එනම්; ‘කිම? මෙහි නොවැඩි සුපේශල සබ්‍රහ්මචාරීන් වහන්සේලා වැඩම කරත් නම්, වැඩම කළ සුපේශල සබ්‍රහ්මචාරීන් වහන්සේලා සුව සේ වැඩසිටිත් නම් මැනැවැ’ යි හඟිත් ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

යම්තාක් කල් මහණෙනි, නොපිරිහීම පිණිස පවතින මේ සප්ත ධර්මයෝ භික්ෂූන් තුළ පිහිටා පවතිත් ද, නොපිරිහීම පිණිස පවතින මේ සප්ත ධර්මයන් තුළ භික්ෂූහු දිස්වෙත් ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

මහණෙනි, නොපිරිහීම පිණිස පවතින අන්‍ය වූ ධර්මයන් සතකුත් ඔබට දේශනා කරන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහු ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

1. යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු වැඩ කටයුතුවල පමණක් යෙදී නොසිටිත් ද, වැඩ කටයුතුවල ම ඇලී නොසිටිත් ද, වැඩ කටයුත්තෙහි ම යෙදුණු බවින් නොසිටිත් ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

2. යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු නිසරු කතා බහේ යෙදී නොසිටිත් ද, නිසරු කතාවෙහි ඇලී නොසිටිත් ද, නිසරු කතාවෙහි ම යෙදුණු බවින් නොසිටිත් ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

3. යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු නින්දෙහි යෙදී නොසිටිත් ද, නින්දෙහි ඇලී නොසිටිත් ද, නින්දෙහි ම යෙදුණු බවින් නොසිටිත් ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

4. යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු ගිහි පැවිදි පිරිස් සමඟ එක් ව නොසිටිත් ද, ගිහි පැවිදි පිරිස හා එක් වීමට ඇලී නොසිටිත් ද, ගිහි පැවිදි පිරිස හා එක් වීමෙන් යුක්තව නොසිටිත් ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

5. යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු පවිටු ආශාවෙන් යුක්ත ව නොසිටිත් ද, පවිටු ආශාවන්ගේ වසඟයට නොගියාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

6. යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු පාප මිත්‍රයන් ඇතුව, පාපී යහළුවන් ඇතුව, පාපී යහළුවන්ගේ ඇසුරට නැඹුරු වී නොසිටිත් ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

7. යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු ස්වල්පමාත්‍ර වූ විශේෂ අධිගමයක් ලබා ධර්ම මාර්ගයෙහි දියුණු කිරීමට බොහෝ දේ තිබිය දී එයින් සෑහීමකට පත් නොවන්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

යම්තාක් කල් මහණෙනි, නොපිරිහීම පිණිස පවතින මේ සප්ත ධර්මයෝ භික්ෂූන් තුළ පිහිටා පවතිත් ද, නොපිරිහීම පිණිස පවතින මේ සප්ත ධර්මයන් තුළ භික්ෂූහු දිස්වෙත් ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

මහණෙනි, නොපිරිහීම පිණිස පවතින අන්‍ය වූ ධර්මයන් සතකුත් ඔබට දේශනා කරන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහු ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු සැදැහැවත් වන්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි. යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු පවට ලැජ්ජා ඇති සිතින් යුක්ත වන්නාහු ද ….(පෙ)…. පවට භයෙන් යුක්ත වන්නාහු ද ….(පෙ)…. බහුශ්‍රැත වන්නාහු ද ….(පෙ)…. පටන් ගත් වීරියෙන් යුක්ත වන්නාහු ද ….(පෙ)…. පිහිටුවාගත් සිහියෙන් යුක්ත වන්නාහු ද, ….(පෙ)…. යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු ප්‍රඥාවන්තයෝ වන්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

යම්තාක් කල් මහණෙනි, නොපිරිහීම පිණිස පවතින මේ සප්ත ධර්මයෝ භික්ෂූන් තුළ පිහිටා පවතිත් ද, නොපිරිහීම පිණිස පවතින මේ සප්ත ධර්මයන් තුළ භික්ෂූහු දිස්වෙත් ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

මහණෙනි, නොපිරිහීම පිණිස පවතින අන්‍ය වූ ධර්මයන් සතකුත් ඔබට දේශනා කරන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහු ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු සති සම්බොජ්ඣංගය වඩන්නාහු ද, ….(පෙ)…. ධම්මවිචය සම්බොජ්ඣංගය වඩන්නාහු ද, ….(පෙ)…. විරිය සම්බොජ්ඣංගය වඩන්නාහු ද, ….(පෙ)…. ප්‍රීති සම්බොජ්ඣංගය වඩන්නාහු ද, ….(පෙ)…. පස්සද්ධි සම්බොජ්ඣංගය වඩන්නාහු ද, ….(පෙ)…. සමාධි සම්බොජ්ඣංගය වඩන්නාහු ද, ….(පෙ)…. උපේක්ෂා සම්බොජ්ඣංගය වඩන්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

යම්තාක් කල් මහණෙනි, නොපිරිහීම පිණිස පවතින මේ සප්ත ධර්මයෝ භික්ෂූන් තුළ පිහිටා පවතිත් ද, නොපිරිහීම පිණිස පවතින මේ සප්ත ධර්මයන් තුළ භික්ෂූහු දිස්වෙත් ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

මහණෙනි, නොපිරිහීම පිණිස පවතින අන්‍ය වූ ධර්මයන් සතකුත් ඔබට දේශනා කරන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහු ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු අනිත්‍ය සංඥාව වඩන්නාහු ද, ….(පෙ)…. අනාත්ම සංඥාව වඩන්නාහු ද, ….(පෙ)…. අසුභ සංඥාව වඩන්නාහු ද, ….(පෙ)…. ආදීනව සංඥාව වඩන්නාහු ද, ….(පෙ)…. ප්‍රහාණ සංඥාව වඩන්නාහු ද, ….(පෙ)…. විරාග සංඥාව වඩන්නාහු ද, ….(පෙ)…. නිරෝධ සංඥාව වඩන්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

යම්තාක් කල් මහණෙනි, නොපිරිහීම පිණිස පවතින මේ සප්ත ධර්මයෝ භික්ෂූන් තුළ පිහිටා පවතිත් ද, නොපිරිහීම පිණිස පවතින මේ සප්ත ධර්මයන් තුළ භික්ෂූහු දිස්වෙත් ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

මහණෙනි, නොපිරිහීම පිණිස පවතින අන්‍ය වූ ධර්මයන් සයකුත් ඔබට දේශනා කරන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහු ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

1. යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ඉදිරියෙහි දී ත්, නැති විට ත්, මෛත්‍රියෙන් යුක්ත ව කායික ක්‍රියාවන් පවත්වන්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

2. යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ඉදිරියෙහි දී ත්, නැති විට ත්, මෛත්‍රියෙන් යුක්ත ව වාචසික ක්‍රියාවන් පවත්වන්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

3. යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ඉදිරියෙහි දී ත්, නැති විට ත්, මෛත්‍රියෙන් යුක්ත ව සිතෙන් කරන ක්‍රියාවන් පවත්වන්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

4. යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු ධාර්මික වූ, දැහැමි ව ලැබෙන, යම් ඒ ලාභ ඇද්ද, යටත් පිරිසෙයින් පාත්‍රයට ලැබෙන ආහාර මාත්‍රයක් පවා ඇද්ද, එබඳු වූ ලාභයන් නොබෙදා නොවළඳන්නාහු ද, සිල්වත් සබ්‍රහ්මචාරීන් වහන්සේලා හා සාධාරණ ව බෙදා වළඳන්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

5. යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු යම් ඒ නොකැඩුණු, සිදුරු නොවුණු, කැලැල් නොවුණු, තෘෂ්ණා දාස බවින් මිදුණු, පැල්ලම් නැති, නැණවතුන්ගේ පැසසීමට ලක්වුණු, තෘෂ්ණා දෘෂ්ටියක් හා නොබැඳුණු, සමාධිය පිණිස පවතින සිල්පද වෙත් ද, එබඳු වූ සීලයන්හි සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරිපිට ත්, නැති විට ත්, සීලයෙන් සමාන ව වාසය කරන්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

6. යම්තාක් කල් මහණෙනි, භික්ෂූහු ආර්ය වූ, නිවනට පමුණුවන, මැනැවින් යෙදෙන්නහුගේ දුක් මැනැවින් කෙළවර කරන, යම් මේ දෘෂ්ටියක් ඇද්ද, එබඳු වූ දෘෂ්ටියකින් යුක්ත ව සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරිපිට ත්, නැති විට ත්, දෘෂ්ටියෙන් සමාන ව වාසය කරන්නාහු ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

යම්තාක් කල් මහණෙනි, නොපිරිහීම පිණිස පවතින මේ සය ධර්මයෝ භික්ෂූන් තුළ පිහිටා පවතිත් ද, නොපිරිහීම පිණිස පවතින මේ සය ධර්මයන් තුළ භික්ෂූහු දිස්වෙත් ද, ඒ තාක් කල් මහණෙනි, භික්ෂූන්ගේ අභිවෘද්ධිය ම කැමති විය යුත්තේ ය. පරිහානිය නොවෙයි.

එහිදී භාග්‍යතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක්, භික්ෂූන් හට මෙබඳු වූ ම ධර්ම කථාව බහුල ව කරන සේක. ‘සීලය මේ අයුරු ය. සමාධිය මේ අයුරු ය. ප්‍රඥාව මේ අයුරු ය. සීලය තුළින් වඩන ලද සමාධිය මහත්ඵල මහානිශංස ඇත්තේ ය. සමාධිය තුළින් වඩන ලද ප්‍රඥාව මහත්ඵල මහානිශංස ඇත්තේ ය. ප්‍රඥාව තුළින් වඩන ලද සිත මැනැවින් ම ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙයි. ඒ කවර ආශ්‍රවයන්ගෙන් ද යත්; කාම ආශ්‍රවයෙන් ය, භව ආශ්‍රවයෙන් ය, අවිද්‍යා ආශ්‍රවයෙන් ය.’
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමති තාක් කල් රජගහනුවර වැඩවාසය කොට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.
“එන්න ආනන්දයෙනි, අම්බලට්ඨිකාව යම් තැනක ඇද්ද, එහි යන්නෙමු.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහු ය. එවිට භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා සමඟ අම්බලට්ඨිකාව යම් තැනක ද, එහි වැඩි සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ඨිකාවෙහි රාජාගාරයෙහි වැඩවසන සේක. එහිදී ද භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ඨිකාවෙහි රාජාගාරයෙහි වැඩවාසය කරන සේක්, භික්ෂූන් හට මෙබඳු වූ ම ධර්ම කථාව බහුල ව කරන සේක. ‘සීලය මේ අයුරු ය. සමාධිය මේ අයුරු ය. ප්‍රඥාව මේ අයුරු ය. සීලය තුළින් වඩන ලද සමාධිය මහත්ඵල මහානිශංස ඇත්තේ ය. සමාධිය තුළින් වඩන ලද ප්‍රඥාව මහත්ඵල මහානිශංස ඇත්තේ ය. ප්‍රඥාව තුළින් වඩන ලද සිත මැනැවින් ම ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙයි. ඒ කවර ආශ්‍රවයන්ගෙන් ද යත්; කාම ආශ්‍රවයෙන් ය, භව ආශ්‍රවයෙන් ය, අවිද්‍යා ආශ්‍රවයෙන් ය.’

……….

→ මතු සම්බන්ධ යි…

- උපුටා ගැනීම –

සූත්‍ර පිටකයට අයත් ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය – දීඝ නිකාය 2 - පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ

The post පහන් සිල නිවෙන ලෙස පිරිනිවී වැඩි සේක..!
(මහා පරිනිබ්බාන සූත්‍රය – 01 කොටස)
appeared first on Mahamevnawa Monastery.

පහන් සිල නිවෙන ලෙස පිරිනිවී වැඩි සේක..! – 02

$
0
0
Pahan-Sila-nivena-lesa_Featured

පසුගිය ලිපිය හා සබැඳේ↓

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

 

  2.3. මහා පරිනිබ්බාන සූත්‍රය (2 කොටස)
භාග්‍යවතුන් වහන්සේගේ මහා පරිනිර්වාණය ගැන වදාළ දෙසුම (2 කොටස)

 

ක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමති තාක් කල් අම්බලට්ඨිකාවෙහි වැඩවාසය කොට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“එන්න ආනන්දයෙනි, නාලන්දාව යම් තැනක ද, එහි යන්නෙමු” යි.

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහු ය. එවිට භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා ත් සමඟ නාලන්දාව යම් තැනක ද, එහි වැඩි සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ නාලන්දාවෙහි පාවාරික අඹ වනයෙහි වැඩවසන සේක.

එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව වැඩහුන්හ. එකත්පස් ව වැඩහුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම මෙබඳු වූ පැහැදීමකින් යුතු වෙමි. එනම්, භාග්‍යවතුන් වහන්සේගේ යම් මේ සම්බෝධියක් ඇද්ද, එයට වඩා වැඩිතර වූ අවබෝධයක් ඇති අන්‍ය වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අතීතයෙහි ද නොසිටියේ ය. අනාගතයෙහි ද නොවන්නේ ය. මෙකල්හි ද දකින්නට නැත්තේ ය” යනුවෙනි.

“සාරිපුත්තයෙනි, ඔබ විසින් පවසන ලද මෙම ශ්‍රේෂ්ඨ වචනය අතිමහත් වූවකි. ඒකාන්ත කොට ගන්නා ලද්දකි. නද දුන් සිංහනාදයකි. එනම්, ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම මෙබඳු වූ පැහැදීමකින් යුතු වෙමි. එනම්, භාග්‍යවතුන් වහන්සේගේ යම් මේ සම්බෝධියක් ඇද්ද, එයට වඩා වැඩිතර වූ අවබෝධයක් ඇති අන්‍ය වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අතීතයෙහි ද නොසිටියේ ය. අනාගතයෙහි ද නොවන්නේ ය. මෙකල්හි ද දකින්නට නැත්තේ ය’ යන කරුණ යි.

කිම? සාරිපුත්තයෙනි, යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු අතීතයෙහි වැඩසිටියාහු ද, ඒ සියළු භාග්‍යවත්වරුන්ගේ සිත් ඔබ විසින් ‘මෙසේ ත් ඒ භාග්‍යවත්වරු මෙබඳු සිල් ඇත්තාහු ය. මෙබඳු ධර්මයන් ….(පෙ)…. මෙබඳු ප්‍රඥාවෙන් ….(පෙ)…. මෙබඳු විහරණයෙන් ….(පෙ)…. ඒ භාග්‍යවත්වරු මෙසේ ත් මෙබඳු විමුක්තියෙන් යුක්ත වූවාහු ය’ යි සිය සිතින් පිරිසිඳ දන්නා ලද්දාහු ද?”

“ස්වාමීනී, එය නැත්තේ ය.”

“කිම? සාරිපුත්තයෙනි, යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු අනාගතයෙහි වැඩසිටින්නාහු ද, ඒ සියළු භාග්‍යවත්වරුන්ගේ සිත් ඔබ විසින් ‘මෙසේ ත් ඒ භාග්‍යවත්වරු මෙබඳු සිල් ඇතිවන්නාහු ය. මෙබඳු ධර්මයන් ….(පෙ)…. මෙබඳු ප්‍රඥාවෙන් ….(පෙ)…. මෙබඳු විහරණයෙන් ….(පෙ)…. ඒ භාග්‍යවත්වරු මෙසේ ත් මෙබඳු විමුක්තියෙන් යුක්ත වන්නාහු ය’ යි සිය සිතින් පිරිසිඳ දන්නා ලද්දාහු ද?”

“ස්වාමීනී, එය නැත්තේ ය.”

“කිම? සාරිපුත්තයෙනි, මෙකල්හී අරහත් සම්මා සම්බුදු වූ මම ඔබ විසින් ‘භාග්‍යවත් තෙමේ මෙසේ ත් මෙබඳු සිල් ඇත්තේ ය. මෙබඳු ධර්මය ….(පෙ)…. මෙබඳු ප්‍රඥාව ….(පෙ)…. මෙබඳු විහරණය ….(පෙ)…. මෙසේ ත් භාග්‍යවත් තෙමේ මෙබඳු විමුක්තියෙන් යුක්ත වූයේ ය’ යි මාගේ සිත සිය සිතින් පිරිසිඳ දන්නා ලද්දාහු ද?”

“ස්වාමීනී, එය නැත්තේ ය.”

“සාරිපුත්තයෙනි, මෙකරුණ පිළිබඳ ව අතීත, අනාගත, වර්තමාන අරහත් සම්මා සම්බුදුවරයන් විෂයෙහි චේතෝපරිය ඥානයක් ඔබට නැත්තේ ය. එසේ තිබිය දී ත් කෙසේ නම් සාරිපුත්තයෙනි, ඔබ විසින් මෙම අතිමහත් ශ්‍රේෂ්ඨ වචනය පවසන ලද්දේ ද? ඒකාන්ත කොට ගන්නා ලද්දේ ද? සිහනදක් නද දෙන ලද්දේ ද? එනම්, ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම මෙබඳු වූ පැහැදීමකින් යුතු වෙමි. එනම්, භාග්‍යවතුන් වහන්සේගේ යම් මේ සම්බෝධියක් ඇද්ද, එයට වඩා වැඩිතර වූ අවබෝධයක් ඇති අන්‍ය වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අතීතයෙහි ද නොසිටියේ ය. අනාගතයෙහි ද නොවන්නේ ය. මෙකල්හි ද දකින්නට නැත්තේ ය’ යන කරුණ යි.”

“ස්වාමීනී, අතීත, අනාගත, වර්තමාන අරහත් සම්මා සම්බුදුවරයන් විෂයෙහි චේතෝපරිය ඥානයක් මට නැත්තේ ය. එසේ නමුත් ස්වාමීනී, මා විසින් ධර්ම න්‍යායට අනුව නිගමනයකට පැමිණිය හැකි බව දන්නා ලද්දේ ය.

ස්වාමීනී, එය මෙබඳු දෙයකි. රජෙකු හට පිටතින් බඳින ලද ශක්තිමත් බැමි ඇති දැඩි ප්‍රාකාර තොරණක් සහිත වූ ඈත පිහිටි නගරයක් තිබෙයි. එය එක් දොරටුවකින් යුක්ත ය. ඒ දොරටුව ළඟ නුවණැති, ව්‍යක්ත, යහපත් නුවණ ඇති, නොදන්නවුන් ඇතුළුවීම වළක්වන, දන්නවුන් ඇතුල් කරන දොරටුපාලයෙක් සිටියි. ඔහු ඒ නගර ප්‍රාකාර මාර්ගය වටා ඇවිදගෙන යන්නේ යටත් පිරිසෙයින් බළලෙකුට වත් නික්ම යා හැකි ප්‍රාකාර සන්ධියක් හෝ ප්‍රාකාර සිදුරක් හෝ නොදකින්නේ ය. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘යම්කිසි ගොරෝසු ප්‍රාණීහු මේ නගරයට පිවිසෙත් ද, නික්ම යත් ද, ඒ සියල්ලෝ මේ දොරටුවෙන් පමණක් ම පිවිසෙති. නික්මෙති’ යනුවෙනි.

එසෙයින් ම ස්වාමීනී, මා විසින් ධර්ම න්‍යායට අනුව නිගමනයකට පැමිණිය හැකි බව දන්නා ලද්දේ ය. ස්වාමීනී, යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු අතීතයෙහි වැඩසිටියාහු ද, ඒ සියළු භාග්‍යවතුන් වහන්සේලා සිතට උපක්ලේශ වූ, ප්‍රඥාව දුර්වල කරන, පංච නීවරණ ප්‍රහාණය කොට සතර සතිපට්ඨානය තුළ මැනැවින් පිහිටුවා ගත් සිතින් යුතුව, සප්ත බොජ්ඣංගයන් ඒ වූ සැටියෙන් ම දියුණු කොට අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක.

ස්වාමීනී, යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු අනාගතයෙහි පහළ වන සේක් ද, ඒ සියළු භාග්‍යවතුන් වහන්සේලා සිතට උපක්ලේශ වූ, ප්‍රඥාව දුර්වල කරන, පංච නීවරණ ප්‍රහාණය කොට සතර සතිපට්ඨානය තුළ මැනැවින් පිහිටුවා ගත් සිතින් යුතුව, සප්ත බොජ්ඣංගයන් ඒ වූ සැටියෙන් ම දියුණු කොට අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කරන සේක.

ස්වාමීනී, මෙකල්හී අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ පවා සිතට උපක්ලේශ වූ, ප්‍රඥාව දුර්වල කරන, පංච නීවරණ ප්‍රහාණය කොට සතර සතිපට්ඨානය තුළ මැනැවින් පිහිටුවා ගත් සිතින් යුතුව, සප්ත බොජ්ඣංගයන් ඒ වූ සැටියෙන් ම දියුණු කොට අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක.”

එහිදී ද භාග්‍යවතුන් වහන්සේ නාලන්දාවෙහි පාවාරික අඹවනයෙහි වැඩවසන සේක්, භික්ෂූන් හට මෙබඳු වූ ම ධර්ම කථාව බහුල ව කරන සේක. ‘සීලය මේ අයුරු ය. සමාධිය මේ අයුරු ය. ප්‍රඥාව මේ අයුරු ය. සීලය තුළින් වඩන ලද සමාධිය මහත්ඵල මහානිශංස ඇත්තේ ය. සමාධිය තුළින් වඩන ලද ප්‍රඥාව මහත්ඵල මහානිශංස ඇත්තේ ය. ප්‍රඥාව තුළින් වඩන ලද සිත මැනැවින් ම ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙයි. ඒ කවර ආශ්‍රවයන්ගෙන් ද යත්; කාම ආශ්‍රවයෙන් ය, භව ආශ්‍රවයෙන් ය, අවිද්‍යා ආශ්‍රවයෙන් ය.’

ඉක්බිති භාග්‍යවතුන් වහන්කැමති තාක් කල් නාලන්දාවෙහි වැඩවාසය කොට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“එන්න ආනන්දයෙනි, පාටලීගම යම් තැනක ඇද්ද, එහි යන්නෙමු.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහු ය. එවිට භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා සමඟ පාටලීගම යම් තැනක ද, එහි වැඩි සේක.

පාටලීගමෙහි උපාසකවරු ‘භාග්‍යවතුන් වහන්සේ පාටලීගමට වැඩිසේක් ලු’ යි ඇසුවාහු ය. එවිට පාටලීගමෙහි උපාසකවරු භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතනට පැමිණියාහු ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හුන්නාහු ය. එකත්පස් ව හුන් පාටලීගමෙහි උපාසකවරු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අපගේ තානායම් නිවස පිළිගන්නා සේක්වා!”

භාග්‍යවතුන් වහන්සේ නිහඬ ව වැඩසිටීමෙන් ඒ ඇරයුම පිළිගත් සේක. ඉක්බිති පාටලීගමෙහි උපාසකවරු භාග්‍යවතුන් වහන්සේ ඒ ඇරයුම පිළිගත් බව දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට, තානායම් ගෘහය යම් තැනක ද, එතැනට ගියාහු ය. ගොස් තානායම් ගෘහයෙහි සියළු ඇතිරිලි අතුරා, අසුන් පණවා, පා සේදීම පිණිස මහත් දිය සැළියක් තබා, තෙල් පහනක් දල්වා ඔසොවා, භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට එළැඹියාහු ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව සිටගත්තාහු ය. එකත්පස් ව සිටගත් පාටලී ගමෙහි උපාසකවරු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, තානායම් නිවස සියළු ඇතිරිල්ලෙන් අතුරන ලද්දේ ය. අසුන් පණවන ලද්දේ ය. පා සේදීම පිණිස මහත් දිය සැළියක් තබන ලද්දේ ය. තෙල් පහණක් දල්වා ඔසොවන ලද්දේ ය. ස්වාමීනී, දැන් යමකට කාලය වෙයි නම් භාග්‍යවතුන් වහන්සේ එය දන්නා සේක”

ඉක්බිති සවස්වරුවෙහි භාග්‍යවතුන් වහන්සේ සිවුරු හැඳ පොරොවා ගෙන, පාත්‍රය හා සිවුර ගෙන භික්ෂු සංඝයා සමඟ තානායම් නිවස යම් තැනක ද, එහි වැඩි සේක. වැඩම කොට, පා සෝදා, තානායම් නිවසට පිවිස, එහි මැද මහ කණුවට පිටුපා, පෙරදිගට මුහුණලා වැඩහුන් සේක. භික්ෂු සංඝයා වහන්සේ ත් පා සෝදා, තානායම් නිවසට පිවිස, බටහිර පෙදෙසෙහි වූ බිත්තියට පිටුපා භාග්‍යවතුන් වහන්සේ ව ම පෙරටු කොට පෙරදිගට මුහුණලා වැඩහුන්නාහු ය. පාටලීගමෙහි උපාසකවරුත් පා සෝදා, තානායම් නිවසට පිවිස, පෙරදිග පෙදෙසෙහි වූ බිත්තියට පිටුපා භාග්‍යවතුන් වහන්සේ ව ම පෙරටු කොට බටහිර දෙසට මුහුණ ලා හිඳගත්තාහු ය.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ පාටලීගමෙහි උපාසකවරුන් ඇමතූ සේක.

“ගෘහපතිවරුනි, දුස්සීල තැනැත්තා හට සීලයට අනතුරු කරගැනීම හේතුවෙන් මේ නපුරු ප්‍රතිවිපාක පහ ලැබෙයි. ඒ කවර ආදීනව පසක් ද යත්;

1. ගෘහපතිවරුනි, මෙහි සීලයට අනතුරු කරගත්, දුස්සීල තැනැත්තා ප්‍රමාදවීම හේතුවෙන් මහත් වූ භෝග සම්පත් හානියකට පත්වෙයි. දුස්සීල තැනැත්තාට සීලයට අනතුරු කරගැනීම හේතුවෙන් ලැබෙන පළමු නපුරු ප්‍රතිවිපාකය මෙය යි.

2. තව ද ගෘහපතිවරුනි, සීලයට අනතුරු කරගත්, දුස්සීල තැනැත්තාගේ පවිටු අපකීර්ති ශබ්දය පැතිර යයි. දුස්සීල තැනැත්තාට සීලයට අනතුරු කරගැනීම හේතුවෙන් ලැබෙන දෙවෙනි නපුරු ප්‍රතිවිපාකය මෙය යි.

3. තව ද ගෘහපතිවරුනි, සීලයට අනතුරු කරගත්, දුස්සීල තැනැත්තා ක්ෂත්‍රිය පිරිසක් වේවා, බ්‍රාහ්මණ පිරිසක් වේවා, ගෘහපති පිරිසක් වේවා, ශ්‍රමණ පිරිසක් වේවා, යම් ම පිරිසක් වෙත එළැඹෙයි නම්, විශාරද බවින් තොර ව, සඟවා ගත් මුහුණින් යුතුව එළඹෙයි. දුස්සීල තැනැත්තාට සීලයට අනතුරු කරගැනීම හේතුවෙන් ලැබෙන තුන්වෙනි නපුරු ප්‍රතිවිපාකය මෙය යි.

4. තව ද ගෘහපතිවරුනි, සීලයට අනතුරු කරගත්, දුස්සීල තැනැත්තා මුලා වූ සිහි ඇති ව මරණයට පත්වෙයි. දුස්සීල තැනැත්තාට සීලයට අනතුරු කරගැනීම හේතුවෙන් ලැබෙන සිව්වෙනි නපුරු ප්‍රතිවිපාකය මෙය යි.

5. තව ද ගෘහපතිවරුනි, සීලයට අනතුරු කරගත්, දුස්සීල තැනැත්තා කය බිඳී මරණින් මතු අපාය, දුගතිය, විනිපාතය නම් වූ නිරයෙහි උපදියි. දුස්සීල තැනැත්තාට සීලයට අනතුරු කරගැනීම හේතුවෙන් ලැබෙන පස්වෙනි නපුරු ප්‍රතිවිපාකය මෙය යි.

ගෘහපතිවරුනි, මේ වනාහී සීලයට අනතුරු කරගත්, දුස්සීල බවෙහි ඇති නපුරු ප්‍රතිවිපාක පස යි.

ගෘහපතිවරුනි, සීල සම්පත් ඇති සිල්වතාගේ මේ අනුසස් පසකි. ඒ කවර පසක් ද යත්;

1. ගෘහපතිවරුනි, මෙහි සීලයෙන් යුක්ත වූ සිල්වතා අප්‍රමාදී ව කටයුතු කිරීම නිසා මහත් වූ භෝග සම්පත් අත්පත් කරගනියි. සීලයෙන් යුතු සිල්වතාට ලැබෙන පළමු ආනිශංසය මෙය යි.

2. තව ද ගෘහපතිවරුනි, සීලයෙන් යුක්ත වූ සිල්වතාගේ කල්‍යාණ කීර්ති ඝෝෂාවක් පැතිර යයි. සීලයෙන් යුතු සිල්වතාට ලැබෙන දෙවෙනි ආනිශංසය මෙය යි.

3. තව ද ගෘහපතිවරුනි, සීලයෙන් යුක්ත වූ සිල්වතා ක්ෂත්‍රිය පිරිසක් වේවා, බ්‍රාහ්මණ පිරිසක් වේවා, ගෘහපති පිරිසක් වේවා, ශ්‍රමණ පිරිසක් වේවා, යම් ම පිරිසක් වෙත එළැඹෙයි නම්, විශාරද ව, සඟවා නොගත් මුහුණින් යුතුව එළඹෙයි. සීලයෙන් යුතු සිල්වතාට ලැබෙන තුන්වෙනි ආනිශංසය මෙය යි.

4. තව ද ගෘහපතිවරුනි, සීලයෙන් යුක්ත වූ සිල්වතා සිහි මුළා නොවී මරණයට පත්වෙයි. සීලයෙන් යුතු සිල්වතාට ලැබෙන සිව්වෙනි ආනිශංසය මෙය යි.

5. තව ද ගෘහපතිවරුනි, සීලයෙන් යුක්ත වූ සිල්වතා කය බිඳී මරණින් මතු සුගත සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදියි. සීලයෙන් යුතු සිල්වතාට ලැබෙන පස්වෙනි ආනිශංසය මෙය යි.

ගෘහපතිවරුනි, මේ වනාහී සීලයෙන් යුතු සිල්වතාගේ අනුසස් පස ය.

එකල්හී පාටලීගමෙහි උපාසකවරුන්ට රාත්‍රී බොහෝ වේලා ගතවන තුරු ධර්ම කථාවෙන් කරුණු දක්වා, සමාදන් කොට, උනන්දු කොට, සතුටු කරවා වදාළ භාග්‍යවතුන් වහන්සේ “ගෘහපතිවරුනි, බොහෝ රෑ බෝ වූයේ ය. දැන් යමකට කාලය නම් ඔබ එය දනිව්” යි ඔවුන් පිටත් වීමට යොමු කරවූ සේක.

“එසේ ය, ස්වාමීනී” යි පාටලීගමෙහි උපාසකවරු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට නික්ම ගියහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාටලීගමෙහි උපාසකවරු නික්ම ගොස් නොබෝ වේලාවකින් හිස් කුටියකට පිවිසි සේක. එසමයෙහි සුනීධ, වස්සකාර මගධ මහඇමතිවරු වජ්ජීන් ව යටත් කිරීම පිණිස පාටලීගමෙහි නගරයක් ඉදි කරත්. එසමයෙහි දහස් දහස් ගණන් බොහෝ දේවතාවෝ පාටලී ගමෙහි ගෙවතුවලට අරක්ගනිති. මහේශාක්‍ය දේවතාවෝ යම් පෙදෙසක ගෙවතුවලට අරක්ගනිත් ද, ඒ පෙදෙසෙහි නිවෙස් තනන්නට රජුගේ මහේශාක්‍ය රාජමහාමාත්‍යවරුන්ගේ ත් සිත නැමෙයි. මධ්‍යමශාක්‍ය දේවතාවෝ යම් පෙදෙසක ගෙවතුවලට අරක්ගනිත් ද, ඒ පෙදෙසෙහි නිවෙස් තනන්නට රජුගේ මධ්‍යමශාක්‍ය රාජමහාමාත්‍යවරුන්ගේ ත් සිත නැමෙයි. අල්පේශාක්‍ය දේවතාවෝ යම් පෙදෙසක ගෙවතුවලට අරක්ගනිත් ද, ඒ පෙදෙසෙහි නිවෙස් තනන්නට රජුගේ අල්පේශාක්‍ය රාජමහාමාත්‍යවරුන්ගේ ත් සිත නැමෙයි.

භාග්‍යවතුන් වහන්සේ සාමාන්‍ය මිනිස් ඇස ඉක්මගිය සුවිශුද්ධ වූ දිවැසින් පාටලී ගමෙහි ගෙවතුවල අරක්ගන්නා දහස් දහස් ගණනින් ම යුතු දේවතාවන් ව දුටු සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි අවදි ව ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“ආනන්දයෙනි, පාටලීගමෙහි කවුරු හෝ නගරයක් ඉදිකරත් ද?”

“ස්වාමීනී, සුනීධ, වස්සකාර මගධ මහාමාත්‍යවරු වජ්ජීන් යටත් කරනු පිණිස පාටලීගමෙහි නගරයක් ඉදිකරති.”

“ආනන්දයෙනි, තව්තිසාවැසි දෙවියන් හා සාකච්ඡා කොට කරන්නේ යම් සේ ද, ආනන්දයෙනි, සුනීධ වස්සකාර මගධ මහාමාත්‍යවරු වජ්ජීන් යටත් කරනු පිණිස පාටලී ගමෙහි නුවරක් එසෙයින් ම ඉදි කරත් නොවැ. ආනන්දයෙනි, මෙහිලා මම සාමාන්‍ය මිනිස් ඇස ඉක්මගිය සුවිශුද්ධ වූ දිවැසින් පාටලී ගමෙහි ගෙවතුවල අරක්ගන්නා දහස් දහස් ගණනින් ම යුතු බොහෝ දේවතාවන් දුටුවෙමි.

ආනන්දයෙනි, මහේශාක්‍ය දේවතාවෝ යම් පෙදෙසක ගෙවතුවලට අරක්ගනිත් ද, ඒ පෙදෙසෙහි නිවෙස් තනන්නට රජුගේ මහේශාක්‍ය රාජමහාමාත්‍යවරුන්ගේ ත් සිත නැමෙයි. මධ්‍යමශාක්‍ය දේවතාවෝ යම් පෙදෙසක ගෙවතුවලට අරක්ගනිත් ද, ඒ පෙදෙසෙහි නිවෙස් තනන්නට රජුගේ මධ්‍යමශාක්‍ය රාජමහාමාත්‍යවරුන්ගේ ත් සිත නැමෙයි. අල්පේශාක්‍ය දේවතාවෝ යම් පෙදෙසක ගෙවතුවලට අරක්ගනිත් ද, ඒ පෙදෙසෙහි නිවෙස් තනන්නට රජුගේ අල්පේශාක්‍ය රාජමහාමාත්‍යවරුන්ගේ ත් සිත නැමෙයි.

ආනන්දයෙනි, ආර්යයන්ගේ වාසස්ථානය යම්තාක් ඇද්ද, වෙළඳ වීථි යම්තාක් ඇද්ද, මේ පාටලීපුත්‍ර නගරය වෙළඳ බඩුභාණ්ඩ ලිහා බෙදා හරින අගනගරය වන්නේ ය. ආනන්දයෙනි, පාටලීපුත්‍ර නගරයට අනතුරු තුනක් සිදුවන්නේ ය. ගින්නෙන් හෝ ජලගැල්මෙන් හෝ එකිනෙකා අසමගි ව බිඳී යාමෙන් හෝ ය.”

එකල්හී භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, සුනීධ වස්සකාර මගධ මහඇමතිවරු එතැනට එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ පිළිසඳර කතාබහේ යෙදුණාහ. සතුටු විය යුතු පිළිසඳර කතාබහ නිමකොට එකත්පස් ව සිටගත්හ. එකත්පස් ව සිටගත් සුනීධ වස්සකාර මගධ මහඇමතිවරු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“භවත් ගෞතමයන් වහන්ස, අද දවසේ අපගේ දානය භික්ෂු සංඝයා සමඟ පිළිගන්නා සේක්වා!”

භාග්‍යවතුන් වහන්සේ නිහඬ ව වැඩසිටීමෙන් ඒ ඇරයුම පිළිගත් සේක.

ඉක්බිති සුනීධ වස්සකාර මගධ මහඇමතිවරු භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ ඇරයුම පිළිගත් බව දැන තමන්ගේ නිවස යම් තැනක ද, එතැනට ගියාහු ය. ගොස් තම නිවසෙහි ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍යය පිළියෙල කොට භාග්‍යවතුන් වහන්සේට කල් දැනුම් දුන්හ.

“භවත් ගෞතමයන් වහන්ස, කාලය යි. දානය සකසා නිමවන ලද්දේ ය.”

එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුර ගෙන භික්ෂු සංඝයා සමඟ සුනීධ වස්සකාර මහඇමතිවරුන්ගේ නිවස යම් තැනක ද, එහි වැඩි සේක. වැඩම කොට පණවන ලද අසුන්හි වැඩහුන් සේක. එවිට සුනීධ වස්සකාර මගධ මහඇමතිවරු බුදු රජුන් ප්‍රමුඛ භික්ෂු සංඝයාට සිිය අතින් ම ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍යයන් මනාකොට පිළිගැන්වූහ. මනාකොට පැවරූහ.

ඉක්බිති සුනීධ වස්සකාර මගධ මහඇමතිවරු දන් වළඳා පාත්‍රයෙන් ඉවතට ගත් ශ්‍රී හස්තය ඇති භාග්‍යවතුන් වහන්සේ එකත්පස් කොට එක්තරා මිටි අසුනක් ගෙන හිඳගත්හ. භාග්‍යවතුන් වහන්සේ එකත්පස් ව හුන් සුනීධ වස්සකාර මගධ මහඇමතිවරුන්ට මේ ගාථාවලින් අනුමෝදනා කළ සේක.

යස්මිං පදේසේ කප්පේති – වාසං පණ්ඩිත ජාතියෝ
සීලවන්තෙත්ථ භෝජෙත්වා – සඤ්ඤතේ බ්‍රහ්මචාරයෝ

නුවණැති අදහස් ඇති යමෙක් යම් පෙදෙසක වසයි ද, සංසුන් ඉඳුරන් ඇති, බඹසරෙහි පිහිටි සිල්වතුන් වහන්සේලා මෙහි වැඩමවා වළඳවා,

යා තත්ථ දේවතා ආසුං – තාසං දක්ඛිණමාදිසේ
තා පූජිතා පූජයන්ති – මානිතා මානයන්ති නං

එම පෙදෙසෙහි යම් දේවතාවෝ සිටිත් ද, ඔවුන්ට ඒ දානමය පින දෙන්නේ ය. මෙසේ පිනෙන් පිදුම් ලද ඒ දේවතාවෝ ඒ පින් දුන් අයට පෙරළා පුදති. බුහුමන් ලද ඒ දේවතාවෝ තමන්ට බුහුමන් කළ අයට පෙරළා බුහුමන් කරති.

තතෝ නං අනුකම්පන්ති – මාතා පුත්තං’ව ඕරසං
දේවතානුකම්පිතෝ පෝසෝ – සදා භද්‍රානි පස්සතී’ ති

ඒ හේතුවෙන් දේවතාවෝ ඔවුන්ට අනුකම්පා කරති. මවක් තමන් බිහිකළ පුත්‍රයාට අනුකම්පාව දක්වන ලෙසිනි. දෙවියන්ගේ අනුකම්පාව ලබන පුරුෂ තෙමේ හැමකල්හී යහපත දකියි.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සුනීධ වස්සකාර මගධ මහඇමතිවරුන්ට මේ ගාථාවලින් අනුමෝදනා වදාරා හුනස්නෙන් නැගිට නික්ම වැඩි සේක. එකල්හී සුනීධ වස්සකාර මගධ මහඇමතිවරු භාග්‍යවතුන් වහන්සේ පසුපසින් ඒ අනුව ගියාහු ය. ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අද යම් දොරටුවකින් නික්ම වඩින්නාහු ද, එය ‘ගෞතම ද්වාරය’ නම් වන්නේ ය. යම් තොටුපලකින් ගංගා නදියෙන් එතෙරට වඩින්නාහු ද, එය ‘ගෞතම තොටුපල’ වන්නේ ය’ කියා ඒ සඳහා ය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ යම් දොරටුවකින් නික්ම වැඩි සේක් ද, එය ‘ගෞතම ද්වාරය’ නම් වූයේ ය. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ගංගා නදිය යම් තැනක ද, එතැනට වැඩි සේක. එසමයෙහි ගංගා නදී තොමෝ කපුටන්ට ද සුව සේ පානය කළ හැකි සේ ජලයෙන් ඉවුරු දක්වා පිරී ගියා වෙයි. ඇතැම් මිනිස්සු එතෙර යනු කැමති ව නැව් සොයත්. ඇතැම්හු පහුරු සොයත්. ඇතැම්හු පහුරු බඳිත්.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිග හරින්නේ, දික් කළ අතක් හකුලන්නේ යම් සේ ද, එසෙයින් ම භික්ෂු සංඝයා සමඟ මෙතෙරින් නොපෙනී ගොස් එතෙරෙහි පහළ වූ සේක.

භාග්‍යවතුන් වහන්සේ මෙතෙරින් එතෙරට යනු කැමති ව නැව් සොයන ඇතැම් මිනිසුන්, පහුරු සොයන ඇතැමුන්, පහුරු බඳින ඇතැමුන් දුටු සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ දැන එවේලෙහි මෙම උදානය පහළ කළ සේක.

“යේ තරන්ති අණ්ණවං සරං
සේතුං කත්වාන විසජ්ජ පල්ලලානි
කුල්ලංහි ජනෝ පබන්ධති
තිණ්ණා මේධාවිනෝ ජනා’ති

යම් කෙනෙක් අති මහත් තෘෂ්ණා ජලකඳින් එතෙර යත් ද, ඔවුහු ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති පාලම සකසා ගෙන මඩ වගුරු නොපාගා එතෙර යති. එහෙත් මේ කුඩා නදියකින් එතෙර වන්නට ජන තෙමේ පහුරු බඳියි. සොඳුරු නුවණැති ජනයෝ මේ නදියෙන් ද සුව සේ එතෙරට ගියාහු ය.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“එන්න ආනන්දයෙනි, කෝටිගම යම් තැනක ද, එහි යන්නෙමු.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා සමඟ කෝටිගමට වැඩි සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ කෝටිගමෙහි වැඩවසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, සතරක් වූ ආර්ය සත්‍යයන් අවබෝධ නොකිරීම හේතුවෙන්, නුවණින් ප්‍රත්‍යක්ෂ නොකිරීම හේතුවෙන්, මා හට ත්, ඔබ හට ත් මේ සා අතිදීර්ඝ වූ කාලයෙහි සසරෙහි ඇවිදින්නට සිදුවූයේ ය. සැරිසරා යන්නට සිදුවූයේ ය. ඒ කවර ආර්ය සත්‍යය සතරක් ද?

මහණෙනි, දුක නම් වූ ආර්ය සත්‍යය අවබෝධ නොකිරීම හේතුවෙන්, නුවණින් ප්‍රත්‍යක්ෂ නොකිරීම හේතුවෙන්, මා හට ත්, ඔබ හට ත් මේ සා අතිදීර්ඝ වූ කාලයෙහි සසරෙහි ඇවිදින්නට සිදුවූයේ ය. සැරිසරා යන්නට සිදුවූයේ ය.

මහණෙනි, දුක හටගැනීම නම් වූ ආර්ය සත්‍යය අවබෝධ නොකිරීම හේතුවෙන්, නුවණින් ප්‍රත්‍යක්ෂ නොකිරීම හේතුවෙන්, මා හට ත්, ඔබ හට ත් මේ සා අතිදීර්ඝ වූ කාලයෙහි සසරෙහි ඇවිදින්නට සිදුවූයේ ය. සැරිසරා යන්නට සිදුවූයේ ය.

මහණෙනි, දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය අවබෝධ නොකිරීම හේතුවෙන්, නුවණින් ප්‍රත්‍යක්ෂ නොකිරීම හේතුවෙන්, මා හට ත්, ඔබ හට ත් මේ සා අතිදීර්ඝ වූ කාලයෙහි සසරෙහි ඇවිදින්නට සිදුවූයේ ය. සැරිසරා යන්නට සිදුවූයේ ය.

මහණෙනි, දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය අවබෝධ නොකිරීම හේතුවෙන්, නුවණින් ප්‍රත්‍යක්ෂ නොකිරීම හේතුවෙන්, මා හට ත්, ඔබ හට ත් මේ සා අතිදීර්ඝ වූ කාලයෙහි සසරෙහි ඇවිදින්නට සිදුවූයේ ය. සැරිසරා යන්නට සිදුවූයේ ය.

මහණෙනි, මේ දුක නම් වූ ආර්ය සත්‍යය අවබෝධ කරන ලද්දේ ය. නුවණින් ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ ය. දුකෙහි හටගැනීම නම් වූ ආර්ය සත්‍යය අවබෝධ කරන ලද්දේ ය. නුවණින් ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ ය. දුකෙහි නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය අවබෝධ කරන ලද්දේ ය. නුවණින් ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ ය. දුක නිරුද්ධ වන ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය අවබෝධ කරන ලද්දේ ය. නුවණින් ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ ය. භව තෘෂ්ණාව මුලින් ම සිඳින ලද්දේ ය. භව රැහැන් ක්ෂය කරන ලද්දේ ය. දැන් නැවත භවයක් නැත්තේ ය.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මෙය ද වදාළ සේක.

“චතුන්නං අරියසච්චානං – යථාභූතං අදස්සනා
සංසිතං දීඝමද්ධානං – තාසු තාස්වේව ජාතිසු
තානි ඒතානි දිට්ඨානි – භවනෙත්ති සමූහතා
උච්ýන්නං මූලං දුක්ඛස්ස – නත්ථිදානි පුනබ්භවෝ’ ති

සතරක් වූ ආර්ය සත්‍ය ධර්මය ඒ වූ සැටියෙන් ම නොදැකීම හේතුවෙන් ඒ ඒ සත්වෝත්පත්තීන්හි අති දීර්ඝ කාලයක් සැරිසරන්නට සිදුවූයේ ය. ඒ ආර්ය සත්‍යයෝ දැන් දක්නා ලදහ. භව රැහැන් මුලින් ම සිඳින ලද්දේ ය. දුකෙහි මූලය සිඳින ලද්දේ ය. දැන් නැවත භවයක් නැත්තේ ය”

එහිදී ද භාග්‍යවතුන් වහන්සේ කෝටිගමෙහි වැඩවසන සේක්, භික්ෂූන් හට මෙබඳු වූ ම ධර්ම කථාව බහුල ව කරන සේක. ‘සීලය මේ අයුරු ය. සමාධිය මේ අයුරු ය. ප්‍රඥාව මේ අයුරු ය. සීලය තුළින් වඩන ලද සමාධිය මහත්ඵල මහානිශංස ඇත්තේ ය. සමාධිය තුළින් වඩන ලද ප්‍රඥාව මහත්ඵල මහානිශංස ඇත්තේ ය. ප්‍රඥාව තුළින් වඩන ලද සිත මැනැවින් ම ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙයි. ඒ කවර ආශ්‍රවයන්ගෙන් ද යත්; කාම ආශ්‍රවයෙන් ය, භව ආශ්‍රවයෙන් ය, අවිද්‍යා ආශ්‍රවයෙන් ය.’

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමති තාක් කල් කෝටිගමෙහි වැඩවාසය කොට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“එන්න ආනන්දයෙනි, නාදිකාව යම් තැනක ද, එහි යන්නෙමු” යි.

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහු ය. එවිට භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා ත් සමඟ නාදිකාව යම් තැනක ද, එහි වැඩි සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ නාදිකාවෙහි තනි ගඩොලින් කළ ගෘහයෙහි වැඩවසන සේක.

→ මතු සම්බන්ධ යි…

- උපුටා ගැනීම –

සූත්‍ර පිටකයට අයත් ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය – දීඝ නිකාය 2 - පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ

The post පහන් සිල නිවෙන ලෙස පිරිනිවී වැඩි සේක..! – 02 appeared first on Mahamevnawa Monastery.

පහන් සිල නිවෙන ලෙස පිරිනිවී වැඩි සේක..! – 03

$
0
0
Pahan-Sila-nivena-lesa3

පසුගිය ලිපිය හා සබැඳේ↓

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

 

  2.3. මහා පරිනිබ්බාන සූත්‍රය (3 කොටස)
භාග්‍යවතුන් වහන්සේගේ මහා පරිනිර්වාණය ගැන වදාළ දෙසුම (3 කොටස)

 

ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට සාදරයෙන් වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.

“ස්වාමීනී, නාදිකාවෙහි සිටි සාළ්හ නම් භික්ෂුව කළුරිය කළේ ය. ඔහු කොතැනක ඉපදුණේ ද? පරලොව කුමක් ද? ස්වාමීනී, නාදිකාවෙහි සිටි නන්දා නම් භික්ෂුණිය කළුරිය කළා ය. ඇයගේ උපත කුමක් ද? පරලොව කුමක් ද? ස්වාමීනී, නාදිකාවෙහි සිටි සුදත්ත නම් උපාසක කළුරිය කළේ ය. ඔහුගේ උපත කුමක් ද? පරලොව කුමක් ද? ස්වාමීනී, නාදිකාවෙහි සිටි සුජාතා නම් උපාසිකාව කළුරිය කළා ය. ඇයගේ උපත කුමක් ද? පරලොව කුමක් ද? ස්වාමීනී, නාදිකාවෙහි සිටි කකුධ නම් උපාසක කළුරිය කළේ ය. ඔහුගේ උපත කුමක් ද? පරලොව කුමක් ද? ස්වාමීනී, කාලිංග නම් උපාසක ….(පෙ)…. ස්වාමීනී, නිකට නම් උපාසක ….(පෙ)…. ස්වාමීනී, කටිස්සභ නම් උපාසක ….(පෙ)…. ස්වාමීනී, තුට්ඨ නම් උපාසක ….(පෙ)…. ස්වාමීනී, සන්තුට්ඨ නම් උපාසක ….(පෙ)…. ස්වාමීනී, භද්‍ර නම් උපාසක ….(පෙ)…. ස්වාමීනී, නාදිකාවෙහි සිටි සුභද්‍ර නම් උපාසක කළුරිය කළේ ය. ඔහුගේ උපත කුමක් ද? පරලොව කුමක් ද?”

“ආනන්දයෙනි, සාළ්හ භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම තම විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කළේ ය. ආනන්දයෙනි, නන්දා භික්ෂුණිය ඕරම්භාගිය සංයෝජන පස ගෙවා දැමීමෙන් ඕපපාතික ව සුද්ධාවාස බඹලොව ඉපිද එයින් නැවත මෙහි හැරී නොඑන සුළු ව එහි පිරිනිවෙන්නී ය. ආනන්දයෙනි, සුදත්ත උපාසක සංයෝජන තුනක් ගෙවා දැමීමෙන්, රාග – ද්වේෂ – මෝහ තුනී කිරීමෙන් සකදාගාමී වූයේ එක් වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නේ ය. ආනන්දයෙනි, සුජාතා උපාසිකාව සංයෝජන තුනක් ගෙවා දැමීමෙන් සෝවාන් ව, අපායට නොවැටෙන සුළු ව, නියත වශයෙන් ම නිවන පිහිට කොට සිටියා ය. ආනන්දයෙනි, කකුධ නම් උපාසක ඕරම්භාගිය සංයෝජන පස ගෙවා දැමීමෙන් ඕපපාතික ව සුද්ධාවාස බඹලොව ඉපිද එයින් නැවත මෙහි හැරී නොඑන සුළු ව එහි පිරිනිවෙන්නේ ය. ආනන්දයෙනි, කාලිංග උපාසක ….(පෙ)…. ආනන්දයෙනි, නිකට උපාසක ….(පෙ)…. ආනන්දයෙනි, කටිස්සභ උපාසක ….(පෙ)…. ආනන්දයෙනි, තුට්ඨ උපාසක ….(පෙ)…. ආනන්දයෙනි, සන්තුට්ඨ උපාසක ….(පෙ)…. ආනන්දයෙනි, භද්‍ර උපාසක ….(පෙ)…. ආනන්දයෙනි, සුභද්‍ර උපාසක ඕරම්භාගිය සංයෝජන පස ගෙවා දැමීමෙන් ඕපපාතික ව සුද්ධාවාස බඹලොව ඉපිද එයින් නැවත මෙහි හැරී නොඑන සුළු ව එහි පිරිනිවෙන්නේ ය.

ආනන්දයෙනි, ඕරම්භාගිය සංයෝජන පස ගෙවා දැමීමෙන් ඕපපාතික ව සුද්ධාවාස බඹලොව ඉපිද එයින් නැවත මෙහි හැරී නොඑන සුළු ව එහි පිරිනිවන්පාන්නා වූ පනසකට වැඩි උපාසකවරු නාදිකාවෙහි කළුරිය කළාහු ය.

ආනන්දයෙනි, සංයෝජන තුනක් ගෙවා දැමීමෙන්, රාග – ද්වේෂ – මෝහ තුනී කිරීමෙන් සකදාගාමී වූවාහු එක් වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කරන අනූවකට වැඩි උපාසකවරු නාදිකාවෙහි කළුරිය කළාහු ය.

ආනන්දයෙනි, සංයෝජන තුනක් ගෙවා දැමීමෙන් සෝවාන් ව, අපායට නොවැටෙන සුළු ව, නියත වශයෙන් ම නිවන පිහිට කොට ගත් පන්සියයකට වැඩි උපාසකවරු නාදිකාවෙහි කළුරිය කළාහු ය.

ආනන්දයෙනි, මනුෂ්‍ය ව උපන්නෙක් කළුරිය කරන්නේ ය යන යමක් ඇද්ද, මෙය ආශ්චර්යයක් නොවෙයි. ඉදින් ඒ ඒ මිනිසා කළුරිය කළ කල්හී තථාගතයන් වෙත එළැඹ එහි අරුත් විමසන්නහු නම්, ආනන්දයෙනි, එය තථාගතයන් හට වෙහෙසක් ම ය. එහෙයින් ආනන්දයෙනි, යම් ධර්මයකින් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයා කැමති නම් ‘නිරයෙහි උපත ක්ෂය කළ කෙනෙක්මි. තිරිසන් ලොව උපත ක්ෂය කළ කෙනෙක්මි. ප්‍රේත ලොව උපත ක්ෂය කළ කෙනෙක්මි. අපාය දුගතියෙහි උපත ක්ෂය කළ කෙනෙක්මි. සෝවාන් වූවෙක්මි. අපායට නොවැටෙනසුළු වෙමි. නියතයෙන් ම නිවන පිහිට කොට ඇත්තෙමි’ යි තමා ම තමා ගැන කියයි ද, එබඳු වූ ‘දහම් කැඩපත’ නැමැති ධර්ම ක්‍රමයක් දේශනා කරන්නෙමි.

ආනන්දයෙනි, යම් ධර්මයකින් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයා කැමති නම් ‘නිරයෙහි උපත ක්ෂය කළ කෙනෙක්මි. තිරිසන් ලොව උපත ක්ෂය කළ කෙනෙක්මි. ප්‍රේත ලොව උපත ක්ෂය කළ කෙනෙක්මි. අපාය දුගතියෙහි උපත ක්ෂය කළ කෙනෙක්මි. සෝවාන් වූවෙක්මි. අපායට නොවැටෙනසුළු වෙමි. නියතයෙන් ම නිවන පිහිට කොට ඇත්තෙමි’ යි තමා ම තමා ගැන කියයි ද, එබඳු වූ ‘දහම් කැඩපත’ නැමැති ධර්ම ක්‍රමය කුමක් ද?

ආනන්දයෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. ‘මෙසේ ත් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථි වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි.

ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද බැවින් ධර්මය ස්වාක්ඛාත වෙයි. සන්දිට්ඨික වෙයි. අකාලික වෙයි. ඒහිපස්සික වෙයි. ඕපනයික වෙයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී වෙයි’ යනුවෙනි.

සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි.

‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ උජුපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ඤායපටිපන්න වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සාමීචිපටිපන්න වෙයි. යම් මේ පුරුෂ යුගල සතරක් ද, පුරුෂ පුද්ගල අටක් ද වෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ආහුනෙය්‍ය වෙයි. පාහුනෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අංජලිකරණීය වෙයි. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස වෙයි’ යනුවෙනි.

නොකැඩුණු සිල්පද ඇති, සිදුරු නොවුණු, පැල්ලම් නොගැසුණු, කබර නොගැසුණු, තෘෂ්ණා දෘෂ්ටියකට දාස නොවූ, නුවණැත්තන් පසසන ලද, දෘෂ්ටියකට බැඳීමෙන් යුක්ත නොවූ, සමාධිය පිණිස පවතින, ආර්යකාන්ත සීලයෙන් යුක්ත වූයේ වෙයි.

ආනන්දයෙනි, යම් ධර්මයකින් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයා කැමති නම් ‘නිරයෙහි උපත ක්ෂය කළ කෙනෙක්මි. තිරිසන් ලොව උපත ක්ෂය කළ කෙනෙක්මි. ප්‍රේත ලොව උපත ක්ෂය කළ කෙනෙක්මි. අපාය දුගතියෙහි උපත ක්ෂය කළ කෙනෙක්මි. සෝවාන් වූවෙක්මි. අපායට නොවැටෙනසුළු වෙමි. නියතයෙන් ම නිවන පිහිට කොට ඇත්තෙමි’ යි තමා ම තමා ගැන කියයි ද, එබඳු වූ ‘දහම් කැඩපත’ නැමැති ඒ ධර්ම ක්‍රමය මෙය යි.”

එහිදී ද භාග්‍යවතුන් වහන්සේ නාදිකාවෙහි ගඩොලින් කළ ගෘහයෙහි වැඩවසන සේක්, භික්ෂූන් හට මෙබඳු වූ ම ධර්ම කථාව බහුල ව කරන සේක. ‘සීලය මේ අයුරු ය. සමාධිය මේ අයුරු ය. ප්‍රඥාව මේ අයුරු ය. සීලය තුළින් වඩන ලද සමාධිය මහත්ඵල මහානිශංස ඇත්තේ ය. සමාධිය තුළින් වඩන ලද ප්‍රඥාව මහත්ඵල මහානිශංස ඇත්තේ ය. ප්‍රඥාව තුළින් වඩන ලද සිත මැනැවින් ම ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙයි. ඒ කවර ආශ්‍රවයන්ගෙන් ද යත්; කාම ආශ්‍රවයෙන් ය, භව ආශ්‍රවයෙන් ය, අවිද්‍යා ආශ්‍රවයෙන් ය.’

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමති තාක් කල් නාදිකාවෙහි වැඩවාසය කොට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“එන්න ආනන්දයෙනි, විශාලා මහනුවර යම් තැනක ද, එහි යන්නෙමු” යි.

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහු ය. එවිට භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා ත් සමඟ විශාලා මහනුවර යම් තැනක ද, එහි වැඩි සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර අම්බපාලි වනයෙහි වැඩවසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, භික්ෂුවක් සිහියෙන් හා නුවණින් යුක්ත ව වසන්නේ ය. මෙය ඔබට ලැබෙන අපගේ අනුශාසනය යි!

මහණෙනි, භික්ෂුව සිහි ඇතිව ඉන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, මනා නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, මනා නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, මනා නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, මනා නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. මහණෙනි, මේ අයුරින් භික්ෂුව සිහියෙන් ඉන්නේ වෙයි.

මහණෙනි, භික්ෂුව මනා නුවණින් යුතුව ඉන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව පෙරට යන විට ත්, ආපසු හැරී එන විට ත් නුවණ යොදවා එය කරන්නේ වෙයි. ඉදිරිය බලන විට ත්, වටපිට බලන විට ත් නුවණ යොදවා එය කරන්නේ වෙයි. අත් පා හකුලන විට, දිගහරින විට නුවණ යොදවා එය කරන්නේ වෙයි. සඟල සිවුරු – පාත්‍ර – සිවුරු දරන විට නුවණ යොදවා එය කරන්නේ වෙයි. වළඳන විට, පානය කරන විට, අනුභව කරන විට, රස විඳින විට නුවණ යොදවා එය කරන්නේ වෙයි. වැසිකිළි – කැසිකිළි කරන විට නුවණ යොදවා එය කරන්නේ වෙයි. යන විට, සිටින විට, හිඳින විට, සැතපෙන විට, නිදිවරණ විට, කතා කරන විට, නිහඬ ව සිටින විට නුවණ යොදවා එය කරන්නේ වෙයි. මහණෙනි, මේ අයුරින් භික්ෂුව මනා නුවණින් යුතුව ඉන්නේ වෙයි.

මහණෙනි, භික්ෂුවක් සිහියෙන් හා නුවණින් යුතුව වාසය කරන්නේ ය. මෙය ඔබට ලැබෙන අපගේ අනුශාසනය යි!”

එකල්හී අම්බපාලී ගණිකා තොමෝ ‘භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කළ සේක්, විශාලාවෙහි මාගේ අඹවනයෙහි වැඩවසන සේක්ලු’ යි ඇසුවා ය. ඉක්බිති අම්බපාලි ගණිකාව සොඳුරු සොඳුරු යානාවන් යොදොවා, සොඳුරු යානයක නැගී, සොඳුරු සොඳුරු යානාවන් පිරිවරා විශාලා මහනුවරින් පිටත් ව ගියා ය. තමන්ගේ ආරාමය යම් තැනක ද, එතැනට එළැඹියා ය. යානයෙන් යා හැකි යම්තාක් බිම ඇද්ද, ඒ තාක් යානයෙන් ගොස් යානයෙන් බැස භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පා ගමනින් ම එළැඹියා ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තා ය. එකත්පස් ව හුන් අම්බපාලී ගණිකාවට භාග්‍යවතුන් වහන්සේ ධර්ම කථාවෙන් කරුණු දැක්වූ සේක. සමාදන් කරවූ සේක. උනන්දු කරවූ සේක. සතුටු කරවූ සේක.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවෙන් කරුණු දක්වන ලද, සමාදන් කරවන ලද, උනන්දු කරවන ලද, සතුටු කරවන ලද අම්බපාලී ගණිකාව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා ය.

“ස්වාමීනී, භික්ෂු සංඝයා සමඟ භාග්‍යවතුන් වහන්සේ මාගේ දානය හෙට දිනය උදෙසා පිළිගන්නා සේක්වා!”

භාග්‍යවතුන් වහන්සේ නිහඬ ව වැඩ සිටීමෙන් එම ඇරයුම පිළිගත් සේක. ඉක්බිති අම්බපාලි ගණිකාව භාග්‍යවතුන් වහන්සේ තම ඇරයුම පිළිගත් බව දැන, හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට පිටත් ව ගියා ය.

විශාලා මහනුවර ලිච්ඡවි කුමාරවරු ‘භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කොට විශාලාවෙහි අම්බපාලි වනයෙහි වැඩසිටින සේක් ලු’ යි ඇසූහ. එවිට ඒ ලිච්ඡවි කුමාරවරු සොඳුරු සොඳුරු යානාවන් පිළියෙල කොට, සොඳුරු සොඳුරු යානාවන්ට නැගී, සොඳුරු සොඳුරු යානාවලින් යුතුව විසල්පුරයෙන් පිටත් ව ගියාහු ය.

එහිදී ඇතැම් ලිච්ඡවීහු නීල වර්ණ ව, නිල්වන් වස්ත්‍ර ඇති ව, නිල් වන් අලංකාර ඇති ව, නිල් පැහැයෙන් සිටියාහු ය. ඇතැම් ලිච්ඡවීහු කහ වර්ණ ව, කහවන් වස්ත්‍ර ඇති ව, කහවන් අලංකාර ඇති ව, කහ පැහැයෙන් සිටියාහු ය. ඇතැම් ලිච්ඡවීහු රතු වර්ණ ව, රතුවන් වස්ත්‍ර ඇති ව, රතුවන් අලංකාර ඇති ව, රතු පැහැයෙන් සිටියාහු ය. ඇතැම් ලිච්ඡවීහු සුදු වර්ණ ව, සුදුවන් වස්ත්‍ර ඇති ව, සුදුවන් අලංකාර ඇති ව, සුදු පැහැයෙන් සිටියාහු ය.

එකල්හී අම්බපාලි ගණිකාව යොවුන් යොවුන් ලිච්ඡවි කුමාරවරුන්ගේ රථ රෝදයන්හි කඩඇණයට තම රථයෙහි කඩඇණයෙනුත්, ඔවුන්ගේ රථ රෝදයන්ට තම රථ රෝදයෙනුත්, ඔවුන්ගේ රථයෙහි වියගසට තම රථයෙහි වියගසෙනුත් ඝටා මාවතෙන් පසෙකට දමා ගියා ය.

එවිට ඒ ලිච්ඡවි කුමාරවරු අම්බපාලි ගණිකාවට මෙය පැවසූහ.

“හේයි! එම්බා අම්බපාලි, තී කුමක් නිසා නම් යොවුන් යොවුන් ලිච්ඡවි කුමාරවරුන්ගේ රථ රෝදයන්හි කඩඇණයට කඩඇණයෙනුත්, රථ රෝදයන්ට රථ රෝදයෙනුත්, වියගසට වියගසෙනුත් ඝටා පසෙකට දමා යන්නී ද?”

“එය එසේ ම ය, ආර්ය පුත්‍රවරුනි, හෙට දිනයෙහි දානය සඳහා මා විසින් භික්ෂු සංඝයා සහිත වූ භාග්‍යවතුන් වහන්සේ ආරාධනා කරන ලද සේක.”

“එම්බල අම්බපාලිය, කහවණු ලක්ෂයක් ගෙන ඒ දානය අපට දිය.”

“ආර්ය පුත්‍රවරුනි, ඉදින් ජනපද සහිත ව මුළු විශාලා මහනුවර ම මට දුන්නත් මෙබඳු වූ ඒ දානය මම ඔබට නොදෙන්නෙමි.”

එවිට ඒ ලිච්ඡවී කුමාරවරු “භවත්නි, ඒකාන්තයෙන් අපි ලාමක ස්ත්‍රියක විසින් දිනන ලද්දෙමු. භවත්නි, ඒකාන්තයෙන් අපි ලාමක ස්ත්‍රියක විසින් දිනන ලද්දෙමු” යි ඇඟිලි තුඩු වලින් අසුරු ගැසූහ.

ඉක්බිති ඒ ලිච්ඡවී කුමාරවරු අම්බපාලි වනය යම් තැනක ද, එහි ගියාහු ය. භාග්‍යවතුන් වහන්සේ දුරින් ම පැමිණෙන ඒ ලිච්ඡවී කුමාරවරුන් දුටු සේක. දැක භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, යම් භික්ෂූන් විසින් තව්තිසා දෙවිවරු නොදකින ලද්දාහු ද, ලිච්ඡවී පිරිස දෙස බලව් මහණෙනි. ලිච්ඡවී පිරිස දෙස මැනැවින් බලව් මහණෙනි. ලිච්ඡවි පිරිස තව්තිසා පිරිස සමකොට සලකව් මහණෙනි.”

ඉක්බිති ඒ ලිච්ඡවි කුමාරවරු යානයෙන් යා හැකි භූමිය යම්තාක් ද, ඒ තාක් යානයෙන් ගොස්, යානයෙන් බැස, භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩහුන් සේක් ද, එතැනට පා ගමනින් ම පැමිණියාහු ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හුන්නාහු ය. එකත්පස් ව හුන් ඒ ලිච්ඡවීන් හට භාග්‍යවතුන් වහන්සේ ධර්ම කථාවෙන් කරුණු දැක්වූ සේක. සමාදන් කරවූ සේක. උනන්දු කරවූ සේක. සතුටු කරවූ සේක.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවෙන් කරුණු දක්වන ලද, සමාදන් කරවන ලද, උනන්දු කරවන ලද, සතුටු කරවන ලද ලිච්ඡවි කුමාරවරු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, භික්ෂු සංඝයා සමඟ භාග්‍යවතුන් වහන්සේ අපගේ දානය හෙට දිනය උදෙසා පිළිගන්නා සේක්වා!”

එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ ලිච්ඡවීන් හට මෙය වදාළ සේක.

“ලිච්ඡවිවරුනි, හෙට දවසේ අම්බපාලි ගණිකාවගේ දානය මවිසින් පිළිගන්නා ලද්දේ ය.”

එවිට ඒ ලිච්ඡවී කුමාරවරු “භවත්නි, ඒකාන්තයෙන් අපි ලාමක ස්ත්‍රියක විසින් දිනන ලද්දෙමු. භවත්නි, ඒකාන්තයෙන් අපි ලාමක ස්ත්‍රියක විසින් දිනන ලද්දෙමු” යි ඇඟිලි තුඩු වලින් අසුරු ගැසූහ. ඉක්බිති ඒ ලිච්ඡවි කුමාරවරු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන, අනුමෝදන් වී, හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට පිටත් ව ගියහ.

ඉක්බිති ඒ රාත්‍රිය ඇවෑමෙන් අම්බපාලි ගණිකාව ස්වකීය ආරාමයෙහි ප්‍රණීත ලෙස ඛාද්‍ය භෝජ්‍ය පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේට කල් දැනුම් දුන්නා ය.

“ස්වාමීනී, කාලය යි. දානය සකසා නිමවන ලද්දේ ය.”

එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුර ගෙන භික්ෂු සංඝයා සමඟ අම්බපාලි ගණිකාවගේ නිවස යම් තැනක ද, එහි වැඩි සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. ඉක්බිති අම්බපාලි ගණිකාව බුදුරජුන් ප්‍රමුඛ භික්ෂු සංඝයා හට ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍යයෙන් සිය අතින් මැනැවින් පිළිගැන්නුවා ය. මැනැවින් පැවරුවා ය. ඉක්බිති අම්බපාලි ගණිකාව භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා පාත්‍රයෙන් ඉවතට ගත් ශ්‍රී හස්තය ඇති බව දැන එක්තරා මිටි අසුනක් ගෙන එකත්පස් ව හිඳගත්තා ය. එකත්පස් ව හුන් අම්බපාලි ගණිකාව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා ය.

“ස්වාමීනී, මේ ආරාමය බුදුරජුන් ප්‍රමුඛ භික්ෂු සංඝයා වහන්සේ උදෙසා පූජා කරමි” යි.

භාග්‍යවතුන් වහන්සේ ආරාමය පිළිගත් සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බපාලි ගණිකාවට ධර්ම කථාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, උනන්දු කරවා, සතුටට පත් කරවා, හුනස්නෙන් නැගී වැඩි සේක.

එහිදී ද භාග්‍යවතුන් වහන්සේ විසල්පුරයෙහි අම්බපාලි වනයෙහි වැඩවසන සේක්, භික්ෂූන් හට මෙබඳු වූ ම ධර්ම කථාව බහුල ව කරන සේක. ‘සීලය මේ අයුරු ය. සමාධිය මේ අයුරු ය. ප්‍රඥාව මේ අයුරු ය. සීලය තුළින් වඩන ලද සමාධිය මහත්ඵල මහානිශංස ඇත්තේ ය. සමාධිය තුළින් වඩන ලද ප්‍රඥාව මහත්ඵල මහානිශංස ඇත්තේ ය. ප්‍රඥාව තුළින් වඩන ලද සිත මැනැවින් ම ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙයි. ඒ කවර ආශ්‍රවයන්ගෙන් ද යත්; කාම ආශ්‍රවයෙන් ය, භව ආශ්‍රවයෙන් ය, අවිද්‍යා ආශ්‍රවයෙන් ය.’

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමති තාක් කල් අම්බපාලි වනයෙහි වැඩවාසය කොට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“එන්න ආනන්දයෙනි, බේලුව ගම යම් තැනක ද, එහි යන්නෙමු.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා සමඟ බේලුව ගම යම් තැනක ද, එහි වැඩි සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ බේලුව ගමෙහි වැඩවසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“එව්, මහණෙනි. ඔබ විශාලා මහනුවර අවට යම් මිත්‍ර භික්ෂූහු සිටිත් ද, දැක හඳුනන භික්ෂූහු සිටිත් ද, බොහෝ හිතවත් භික්ෂූහු සිටිත් ද, එහි වස් වසව්. මම් වනාහී මේ බේලුව ගමෙහි ම වස් එළඹෙන්නෙමි.” “එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී විශාලා මහනුවර අවට යම් මිත්‍ර භික්ෂූහු සිටිත් ද, දැක හඳුනන භික්ෂූහු සිටිත් ද, බොහෝ හිතවත් භික්ෂූහු සිටිත් ද, එහි වස් එළැඹියාහු ය.

භාග්‍යවතුන් වහන්සේ ඒ බේලුව ගමෙහි ම වස් එළඹුණු සේක. එකල්හී වස් එළඹ සිටි භාග්‍යවතුන් වහන්සේ හට දරුණු රෝගාබාධයක් උපන්නේ ය. මාරාන්තික වූ, බලවත් වේදනාවෝ පැවතුණාහු ය. භාග්‍යවතුන් වහන්සේ සිහියෙන් හා නුවණින් යුක්ත ව, සිතෙන් පීඩාවකට පත් නොවෙමින් එය ඉවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇතිවූයේ ය.

‘යම් බඳු මම උපස්ථායකයන් නොඅමතා, භික්ෂු සංඝයාට නොදන්වා පිරිනිවන්පාන්නෙම් නම්, එය මට සුදුසු නොවෙයි. එහෙයින් මම මේ ආබාධය වීර්යයෙන් මැඩ පවත්වා ජීවිත සංස්කාරය අධිෂ්ඨාන කොට වාසය කරන්නෙම් නම් මැනැවි’ යි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වීර්යයෙන් යුක්ත ව, ඒ රෝගාබාධය මැඩපවත්වා ජීවිත සංස්කාරය අධිෂ්ඨාන කොට වැඩ විසූ සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේගේ ඒ රෝගාබාධය සංසිඳී ගියේ ය.

ඉක්බිති ගිලන් බවින් නැගී සිටි, ගිලන් බවින් නැගිට නොබෝ කල් ඇති භාග්‍යවතුන් වහන්සේ විහාරයෙන් නික්ම, විහාර සෙවණැල්ලෙහි පණවන ලද අසුනෙහි වැඩහුන් සේක.

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩහුන් සේක් ද, එතැනට එළැඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, මා විසින් භාග්‍යවතුන් වහන්සේගේ පහසු බවක් දකින ලද්දේ ය. ස්වාමීනී, මා විසින් භාග්‍යවතුන් වහන්සේට ඉවසිය හැකි බවක් දකින ලද්දේ ය. එහෙත් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ ගිලන් බව හේතුවෙන් මාගේ ශරීරය දැඩි ව තද වූවාක් මෙන් තිබෙයි. මා හට ධර්මය මෙනෙහි කරමින් දැක්ක යුතු දිශාව පවා නොපෙනෙයි. මා හට ධර්මයන් පවා නොවැටහෙයි. එනමුදු ස්වාමීනී, මා හට කිසියම් අස්වැසිලි මාත්‍රයක් ඇත්තේ ය. ‘යම්තාක් කල් භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා අරභයා කිසියම් අවවාදයක් නොවදාරණ සේක් ද, ඒ තාක් කල් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් නොපානා සේක’ යන කරුණ යි.”

“ආනන්දයෙනි, භික්ෂු සංඝයා මාගෙන් කුමක් නම් අපේක්ෂා කරන්නේ ද? ආනන්දයෙනි, මා විසින් අභ්‍යන්තර බාහිර වශයෙන් නොකොට ධර්මය දෙසන ලද්දේ ය. ආනන්දයෙනි, තථාගතයන්ගේ ධර්මය තුළ සඟවා ගත් ගුරු මුෂ්ටියක් නැත්තේ ය. ආනන්දයෙනි, ‘මම භික්ෂු සංඝයා පරිහරණය කරන්නෙමි’ යි කියා හෝ ‘භික්ෂු සංඝයා මා උදෙසා සිටියි’ කියා හෝ අදහසක් යමෙකු තුළ තිබෙන්නේ නම්, ආනන්දයෙනි, ඔහු නම් භික්ෂු සංඝයා අරභයා කිසිවක් ම ගෙනහැර පාන්නේ ය. ආනන්දයෙනි, ‘මම භික්ෂු සංඝයා පරිහරණය කරන්නෙමි’ යි කියා හෝ ‘භික්ෂු සංඝයා මා උදෙසා සිටියි’ කියා හෝ මෙබඳු අදහසක් තථාගතයන් තුළ නැත්තේ ය. එහෙයින් ආනන්දයෙනි, කුමක් නිසා නම් තථාගත තෙමේ භික්ෂු සංඝයා අරභයා අවසාන වශයෙන් කිසිවක් ගෙනහැර පාන්නේ ද?

ආනන්දයෙනි, මෙකල්හී මම ජරා ජීර්ණ වූයෙමි. වයෝවෘද්ධ ව, මහළු ව, අවසන් වියට පැමිණ වයස්ගත ව සිටිමි. මාගේ වයස අසූවක් වෙයි. ආනන්දයෙනි, දිරා ගිය ගැලක් පිළිසකරයන්ගෙන් පවත්වන්නේ යම් සේ ද, එසෙයින් ම ආනන්දයෙනි, තථාගතයන්ගේ කය ධර්මයෙන් ලත් පිළිසකර කිරීමෙන් පවතියි. ආනන්දයෙනි, යම් කලෙක තථාගත තෙමේ සියළු නිමිති නොමෙනෙහි කිරීමෙන් ඇතැම් වේදනාවන්ගේ නිරෝධයෙන් අනිමිත්ත චිත්ත සමාධියට පැමිණ වාසය කරයි ද, එසමයෙහි ආනන්දයෙනි, තථාගතයන්ගේ කයට වඩා ත් පහසුව දැනෙයි. එහෙයින් ආනන්දයෙනි, තමා ව දූපතක් කොට, තමා ව සරණ කොට, බාහිර කෙනෙකු සරණ නොකොට, ධර්මය දූපතක් කොට, ධර්මය සරණ කොට, බාහිර දෙයක් සරණ නොකොට වසව්.

ආනන්දයෙනි, භික්ෂුවක් තමා ව දූපතක් කොට, තමා ව සරණ කොට, බාහිර කෙනෙකු සරණ නොකොට, ධර්මය දූපතක් කොට, ධර්මය සරණ කොට, බාහිර දෙයක් සරණ නොකොට වසන්නේ කෙසේ ද?

මෙහිලා ආනන්දයෙනි, භික්ෂුව කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, මනා නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. වේදනාවන් පිළිබඳ ව ….(පෙ)…. සිත පිළිබඳ ව ….(පෙ)…. කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, මනා නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.

මෙසේ ආනන්දයෙනි, භික්ෂුව තමා ව දූපතක් කොට, තමා ව සරණ කොට, බාහිර කෙනෙකු සරණ නොකොට, ධර්මය දූපතක් කොට, ධර්මය සරණ කොට, බාහිර දෙයක් සරණ නොකොට වාසය කරයි.

ආනන්දයෙනි, යම්කිසි භික්ෂූහු මෙකල්හී හෝ මාගේ ඇවෑමෙන් හෝ තමා ව දූපතක් කොට, තමා ව සරණ කොට, බාහිර කෙනෙකු සරණ නොකොට, ධර්මය දූපතක් කොට, ධර්මය සරණ කොට, බාහිර දෙයක් සරණ නොකොට වාසය කරන්නාහු ද, ආනන්දයෙනි, මාගේ ශ්‍රාවක වූ යම්කිසි ශික්ෂාකාමී භික්ෂූහු වෙත් ද, ඔවුහු ඒ අමෘතාග්‍රයෙහි සිටින්නාහු ය.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන, පාත්‍රය හා සිවුර ගෙන විසල්පුරයට පිඬු පිණිස පිවිසි සේක. විසල්පුර පිඬු පිණිස හැසිර, පිණ්ඩපාතයෙන් වැළකුණු පසුබත් කාලයෙහි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“ගන්න ආනන්දයෙනි, හිඳගන්නා ඇතිරිල්ල. චාපාල චෛත්‍යය යම් තැනක ද, දිවා කාලය ගත කරනු පිණිස එහි යන්නෙමු.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී නිසීදනය ගෙන භාග්‍යවතුන් වහන්සේ පසුපසින් ඒ අනුව ගියහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍යය යම් තැනක ද, එතැනට වැඩි සේක. වැඩමකොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ත් භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“රමණීය ය ආනන්දයෙනි, විසල්පුර. රමණීය ය උදේන චේතිය. රමණීය ය ගෝතමක චේතිය. රමණීය ය සත්තම්බ චේතිය. රමණීය ය බහුපුත්තක චේතිය. රමණීය ය සාරන්දද චේතිය. රමණීය ය චාපාල චේතිය. ආනන්දයෙනි, යම් කිසිවෙකු තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, යානාවක් සේ කරන ලද, සිටිය හැකි තැනක් සේ කරන ලද, හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත් ද, ඔහු කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය. ආනන්දයෙනි, තථාගතයන් තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, යානාවක් සේ කරන ලද, සිටිය හැකි තැනක් සේ කරන ලද, හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත්. ආනන්දයෙනි, ඒ තථාගත තෙමේ කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය.”

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙබඳු වූ ගොරෝසු නිමිති කරන කල්හි, ගොරෝසු එළි මතු කරන කල්හි, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ එය වටහා ගන්නට අසමර්ථ වූහ. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ආයුෂ්කල්පයක් වැඩසිටින සේක්වා! සුගතයන් වහන්ස, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත පිණිස, හිත පිණිස, සැප පිණිස, කල්පයක් වැඩසිටින සේක්වා!’ යි භාග්‍යවතුන් වහන්සේ ගෙන් ඉල්ලා නොසිටියහ. මාරයා විසින් වසා ගත් සිත් ඇත්තෙක් යම් බඳු ද, එබඳු ය.

දෙවෙනි වරටත් භාග්‍යවතුන් වහන්සේ ….(පෙ)…. තෙවෙනි වරටත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“රමණීය ය ආනන්දයෙනි, විසල්පුර. රමණීය ය උදේන චේතිය. රමණීය ය ගෝතමක චේතිය. රමණීය ය සත්තම්බ චේතිය. රමණීය ය බහුපුත්ත චේතිය. රමණීය ය සාරන්දද චේතිය. රමණීය ය චාපාල චේතිය. ආනන්දයෙනි, යම් කිසිවෙකු තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, යානාවක් සේ කරන ලද, සිටිය හැකි තැනක් සේ කරන ලද, හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත් ද, ඔහු කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය. ආනන්දයෙනි, තථාගතයන් තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, යානාවක් සේ කරන ලද, සිටිය හැකි තැනක් සේ කරන ලද, හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත්. ආනන්දයෙනි, ඒ තථාගත තෙමේ කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය.”

→ මතු සම්බන්ධ යි…

- උපුටා ගැනීම –

සූත්‍ර පිටකයට අයත් ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය – දීඝ නිකාය 2 - පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ

The post පහන් සිල නිවෙන ලෙස පිරිනිවී වැඩි සේක..! – 03 appeared first on Mahamevnawa Monastery.

පහන් සිල නිවෙන ලෙස පිරිනිවී වැඩි සේක..! – 04

$
0
0
Pahan Sila nivena lesa4

පසුගිය ලිපිය හා සබැඳේ↓

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

 

  2.3. මහා පරිනිබ්බාන සූත්‍රය (4 කොටස)
භාග්‍යවතුන් වහන්සේගේ මහා පරිනිර්වාණය ගැන වදාළ දෙසුම (4 කොටස)

 

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙබඳු වූ ගොරෝසු නිමිති කරන කල්හි, ගොරෝසු එළි මතු කරන කල්හි, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ එය වටහා ගන්නට අසමර්ථ වූහ. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ආයුෂ්කල්පයක් වැඩසිටින සේක්වා! සුගතයන් වහන්ස, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත පිණිස, හිත පිණිස, සැප පිණිස, කල්පයක් වැඩසිටින සේක්වා!’ යි භාග්‍යවතුන් වහන්සේ ගෙන් ඉල්ලා නොසිටියහ. මාරයා විසින් වසා ගත් සිත් ඇත්තෙක් යම් බඳු ද, එබඳු ය.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“යන්න, ඔබ ආනන්දයෙනි, දැන් යමකට කාලය නම්, එය දැනගන්න.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට, නොදුරෙහි වූ එක්තරා රුක් සෙවණක හිඳ ගත්හ.

ඉක්බිති පවිටු මාර තෙමේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ නික්ම ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩහුන් සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ එකත්පස් ව සිටගත්තේ ය. එකත්පස් ව සිටගත් පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පෑමට කාලය යි.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද මේ වචනයක් තිබෙයි. ‘පවිටු මාරය, යම්තාක් කල් මාගේ ශ්‍රාවක භික්ෂූහු ව්‍යක්ත ව, විනීත ව, විශාරද ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී නොවන්නාහු ද, තම ආචාර්යවාදය ඉගෙන නොපවසන්නාහු ද, නොදෙසන්නාහු ද, නොපණවන්නාහු ද, නොපිහිටුවන්නාහු ද, විවෘත නොකරන්නාහු ද, නොබෙදා දක්වන්නාහු ද, ඉස්මතු නොකරන්නාහු ද, උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය නොදෙසන්නාහු ද, ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි’ යි යන වචනය යි.

ස්වාමීනී, මෙකල්හී වනාහී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූහු ව්‍යක්ත ව, විනීත ව, විශාරද ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී ව සිටිති. තම ආචාර්යවාදය ඉගෙන පවසති. දෙසති. පණවති. පිහිටුවති. විවෘත කරති. බෙදා දක්වති. ඉස්මතු කරති. උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය දෙසති.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පෑමට කාලය යි.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද මේ වචනයක් තිබෙයි. ‘පවිටු මාරය, යම්තාක් කල් මාගේ ශ්‍රාවිකා භික්ෂුණීහු ව්‍යක්ත ව, විශාරද ව, විනීත ව බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී නොවන්නාහු ද, තම ආචාර්යවාදය ඉගෙන නොපවසන්නාහු ද, නොදෙසන්නාහු ද, නොපණවන්නාහු ද, නොපිහිටුවන්නාහු ද, විවෘත නොකරන්නාහු ද, නොබෙදා දක්වන්නාහු ද, ඉස්මතු නොකරන්නාහු ද, උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය නොදෙසන්නාහු ද, ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි’ යි යන වචනය යි.

ස්වාමීනී, මෙකල්හී වනාහී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකා භික්ෂුණීහු ව්‍යක්ත ව, විනීත ව, විශාරද ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී ව සිටිති. තම ආචාර්යවාදය ඉගෙන පවසති. දෙසති. පණවති. පිහිටුවති. විවෘත කරති. බෙදා දක්වති. ඉස්මතු කරති. උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය දෙසති.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පෑමට කාලය යි.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද මේ වචනයක් තිබෙයි. ‘පවිටු මාරය, යම්තාක් කල් මාගේ ශ්‍රාවක උපාසකවරු ව්‍යක්ත ව, විනීත ව විශාරද ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී නොවන්නාහු ද, තම ආචාර්යවාදය ඉගෙන නොපවසන්නාහු ද, නොදෙසන්නාහු ද, නොපණවන්නාහු ද, නොපිහිටුවන්නාහු ද, විවෘත නොකරන්නාහු ද, නොබෙදා දක්වන්නාහු ද, ඉස්මතු නොකරන්නාහු ද, උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය නොදෙසන්නාහු ද, ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි’ යි යන වචනය යි.

ස්වාමීනී, මෙකල්හී වනාහී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක උපාසකවරු ව්‍යක්ත ව, විනීත ව, විශාරද ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී ව සිටිති. තම ආචාර්යවාදය ඉගෙන පවසති. දෙසති. පණවති. පිහිටුවති. විවෘත කරති. බෙදා දක්වති. ඉස්මතු කරති. උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය දෙසති.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පෑමට කාලය යි.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද මේ වචනයක් තිබෙයි. ‘පවිටු මාරය, යම්තාක් කල් මාගේ ශ්‍රාවිකා උපාසිකාවෝ ව්‍යක්ත ව, විනීත ව, විශාරද ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී නොවන්නාහු ද, තම ආචාර්යවාදය ඉගෙන නොපවසන්නාහු ද, නොදෙසන්නාහු ද, නොපණවන්නාහු ද, නොපිහිටුවන්නාහු ද, විවෘත නොකරන්නාහු ද, නොබෙදා දක්වන්නාහු ද, ඉස්මතු නොකරන්නාහු ද, උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය නොදෙසන්නාහු ද, ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි’ යි යන වචනය යි.

ස්වාමීනී, මෙකල්හී වනාහී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකා උපාසිකාවෝ ව්‍යක්ත ව, විනීත ව, විශාරද ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී ව සිටිති. තම ආචාර්යවාදය ඉගෙන පවසති. දෙසති. පණවති. පිහිටුවති. විවෘත කරති. බෙදා දක්වති. ඉස්මතු කරති. උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය දෙසති.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පෑමට කාලය යි.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද මේ වචනයක් තිබෙයි. ‘පවිටු මාරය, යම්තාක් කල් මාගේ මේ සසුන් බඹසර ඉතා දියුණුවට පත් නොවෙයි ද, සමෘද්ධිමත් නොවෙයි ද, බොහෝ ජනයා විසින් දන්නා ලද්දේ නොවෙයි ද, පුළුල් ව පැතිරුණේ නොවෙයි ද, යම්තාක් දෙවි මිනිසුන් විසින් මැනැවින් ප්‍රකාශ කරන ලද්දේ නොවෙයි ද, ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි’ යි යන වචනය යි.

ස්වාමීනී, මෙකල්හි භාග්‍යවතුන් වහන්සේගේ සසුන් බඹසර ඉතා දියුණු වූයේ ත්, සමෘද්ධිමත් වූයේ ත්, බොහෝ ජනයා විසින් දන්නා ලද්දේ ත්, පුළුල් ව පැතිරුණේ ත්, යම්තාක් දෙවි මිනිසුන් විසින් මැනැවින් ප්‍රකාශ කරන ලද්දේ ත් වෙයි.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පෑමට කාලය යි.”

මෙසේ පැවසූ කල්හී භාග්‍යවතුන් වහන්සේ පවිටු මාරයා හට මෙය වදාළ සේක.

“පවිටු මාරය, ඔබ අල්ප උත්සාහයෙන් වසව. වැඩිකල් නොයා තථාගතයන්ගේ පිරිනිවන් පෑම වන්නේ ය. මෙයින් තුන් මසක් ඇවෑමෙන් තථාගත තෙමේ පිරිනිවන් පාන්නේ ය.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍යස්ථානයෙහි දී සිහියෙන් හා නුවණින් යුතුව ආයු සංස්කාරය අත්හළ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් ආයු සංස්කාරය අත්හළ සැණින් බිහිසුණු වූ ලොමුදහගැනීම් ඇති වන මහා පොළොව සැළීමක් වූයේ ය. දිව්‍ය දුන්දුභීහු හෙවත් දෙව්බෙර පැලී ගියාහු ය. (අකල් වැස්සක් ඇද හැලුණේ ය.)

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ අරුත දැන එවේලෙහි මේ උදානය පහළ කළ සේක.

“තුලමතුලඤ්ච සම්භවං – භව සංඛාරමවස්සජී මුනි

අජ්ඣත්තරතෝ සමාහිතෝ – අභින්දිකවචමිවත්තසම්භවන්ති

අප මහා මුනිරජාණන් වහන්සේ හටගත්තා වූ තුලනය කළ හැකි – තුලනය කළ නොහැකි සියල්ල ද, භව සංස්කාර ද අත්හළ සේක. ආධ්‍යාත්මය තුළ නිවනෙහි ඇලුණු සිත් ඇති ව, සමාහිත සිත් ඇති ව, මේ හටගත් ජීවිත සංස්කාර යුද ඇඳුමක් සිඳින සෙයින් සිඳ දැමූ සේක.”

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මේ අදහස ඇතිවූයේ ය. ‘භවත්නි, ඒකාන්තයෙන් ම ආශ්චර්ය ය. භවත්නි, ඒකාන්තයෙන් ම අද්භූත ය. ඒකාන්තයෙන් ම මේ පොළොව සැලීම මහත් ය. ඒකාන්තයෙන් ම මේ පොළොව සැලීම අතිමහත් ය. බිහිසුණු ය. ලොමුදහගන්වයි. දෙව්බෙරහු පැලුණහ. මහත් වූ පොළොව සැලීමක් ඇතිවීමට හේතු වූයේ කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද?’

ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.

“ස්වාමීනී, ආශ්චර්ය ය. ස්වාමීනී, අද්භූත ය. ස්වාමීනී, ඒකාන්තයෙන් ම මේ පොළොව සැලීම මහත් ය. ස්වාමීනී, ඒකාන්තයෙන් ම මේ පොළොව සැලීම අතිමහත් ය. බිහිසුණු ය. ලොමුදහගන්වයි. දෙව්බෙරහු ද පැලුණහ. ස්වාමීනී, මහත් වූ පොළොව සැලීමක් ඇතිවීමට හේතු වූයේ කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද?”

“ආනන්දයෙනි, මහත් වූ පොළොව සැලීමක් ඇතිවීමට මේ හේතු අටකි. ප්‍රත්‍යය අටකි. ඒ කවර අටක් ද යත්;

1. ආනන්දයෙනි, මේ මහා පෘථිවි තොමෝ ජලයෙහි පිහිටියා ය. ජලය වාතයෙහි පිහිටියේ ය. වාතය අහසෙහි පිහිටියේ වෙයි. ආනන්දයෙනි, යම් හෙයකින් මහා සුළං හමයි ද, මහා සුළං හැමීමෙන් ජලය කම්පා වෙයි ද, ජලය කම්පා වීමෙන් පෘථිවිය කම්පා වෙයි ද, එබඳු වූ කාලයක් ඇත්තේ ය. මහත් වූ පොළොව සැලීමක් ඇතිවීමට මෙය පළමු හේතුව වෙයි. පළමු ප්‍රත්‍යය වෙයි.

2. තව ද ආනන්දයෙනි, ඉර්ධිමත් චේතෝවශීප්‍රාප්ත ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෙයි ද, මහා ඉර්ධිමත් මහානුභාව ඇති දෙවියෙක් හෝ වෙයි ද, ඔහු විසින් පොළොව සංඥාව ස්වල්පයක් කොට වඩන ලද්දේ, ජල සංඥාව අප්‍රමාණ කොට වඩන ලද්දේ වෙයි ද, ඔහු මේ පෘථිවිය කම්පා කරවයි. හාත්පසින් කම්පා කරවයි. බලවත් ව කම්පා කරවයි. බලවත් ව වෙව්ලුවා දමයි. මහත් වූ පොළොව සැලීමක් ඇතිවීමට මෙය දෙවෙනි හේතුව වෙයි. දෙවෙනි ප්‍රත්‍යය වෙයි.

3. තව ද ආනන්දයෙනි, යම් කලෙක බෝසත් තෙමේ තුසිත දෙව්ලොවින් චුත ව, සිහියෙන් හා නුවණින් යුක්ත ව මව්කුසෙහි පිළිසිඳ ගනියි ද, එකල්හී මේ පෘථිවිය කම්පා වෙයි. හාත්පසින් කම්පා වෙයි. බලවත් ව කම්පා වෙයි. බලවත් ව වෙව්ලයි. මහත් වූ පොළොව සැලීමක් ඇතිවීමට මෙය තුන්වෙනි හේතුව වෙයි. තුන්වෙනි ප්‍රත්‍යය වෙයි.

4. තව ද ආනන්දයෙනි, යම් කලෙක බෝසත් තෙමේ සිහියෙන් හා නුවණින් යුක්ත ව මව්කුසින් නික්මෙයි ද, එකල්හී මේ පෘථිවිය කම්පා වෙයි. හාත්පසින් කම්පා වෙයි. බලවත් ව කම්පා වෙයි. බලවත් ව වෙව්ලයි. මහත් වූ පොළොව සැලීමක් ඇතිවීමට මෙය සිව්වෙනි හේතුව වෙයි. සිව්වෙනි ප්‍රත්‍යය වෙයි.

5. තව ද ආනන්දයෙනි, යම් කලෙක තථාගත තෙමේ අනුත්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ට නුවණින් අවබෝධ කරයි ද, එකල්හී මේ පෘථිවිය කම්පා වෙයි. හාත්පසින් කම්පා වෙයි. බලවත් ව කම්පා වෙයි. බලවත් ව වෙව්ලයි. මහත් වූ පොළොව සැලීමක් ඇතිවීමට මෙය පස්වෙනි හේතුව වෙයි. පස්වෙනි ප්‍රත්‍යය වෙයි.

6. තව ද ආනන්දයෙනි, යම් කලෙක තථාගත තෙමේ අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරයි ද, එකල්හී මේ පෘථිවිය කම්පා වෙයි. හාත්පසින් කම්පා වෙයි. බලවත් ව කම්පා වෙයි. බලවත් ව වෙව්ලයි. මහත් වූ පොළොව සැලීමක් ඇතිවීමට මෙය සයවෙනි හේතුව වෙයි. සයවෙනි ප්‍රත්‍යය වෙයි.

7. තව ද ආනන්දයෙනි, යම් කලෙක තථාගත තෙමේ සිහියෙන් හා නුවණින් යුක්ත ව ආයු සංස්කාරය අත්හරියි ද, එකල්හී මේ පෘථිවිය කම්පා වෙයි. හාත්පසින් කම්පා වෙයි. බලවත් ව කම්පා වෙයි. බලවත් ව වෙව්ලයි. මහත් වූ පොළොව සැලීමක් ඇතිවීමට මෙය සත්වෙනි හේතුව වෙයි. සත්්වෙනි ප්‍රත්‍යය වෙයි.

8. තව ද ආනන්දයෙනි, යම් කලෙක තථාගත තෙමේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පායි ද, එකල්හී මේ පෘථිවිය කම්පා වෙයි. හාත්පසින් කම්පා වෙයි. බලවත් ව කම්පා වෙයි. බලවත් ව වෙව්ලයි. මහත් වූ පොළොව සැලීමක් ඇතිවීමට මෙය අටවෙනි හේතුව වෙයි. අටවෙනි ප්‍රත්‍යය වෙයි.

ආනන්දයෙනි, මේ වනාහී මහත් වූ පොළොව සැලීමක් ඇතිවීමට හේතු වන කරුණු අට ය. ප්‍රත්‍යය අට ය.

ආනන්දයෙනි, මේ අට පිරිසක් ඇත්තේ ය. ඒ කවර අට පිරිසක් ද යත්, ක්ෂත්‍රිය පිරිස, බ්‍රාහ්මණ පිරිස, ගෘහපති පිරිස, ශ්‍රමණ පිරිස, චාතුම්මහාරාජික පිරිස, තව්තිසා පිරිස, මාර පිරිස හා බ්‍රහ්ම පිරිස ය.

ආනන්දයෙනි, මම් වනාහී නොයෙක් සිය ගණන් ක්ෂත්‍රිය පිරිස වෙත එළඹුණු වග විශේෂයෙන් දනිමි. එහිදී ත් මා විසින් වාඩි වී හුන් බවකුත්, කතා බස් කළ බවකුත්, ඔවුන් වෙත පිවිස සාකච්ඡා කළ බවකුත් තිබුණි. එහිදී ඔවුන්ගේ වර්ණය යම් බඳු ද, මාගේ වර්ණය ද, එබඳු වෙයි. ඔවුන්ගේ කටහඬ යම් බඳු ද, මාගේ කටහඬ ද එබඳු වෙයි. ධර්ම කථාවෙන් ද කරුණු දක්වමි. සමාදන් කරවමි. උනන්දු කරවමි. සතුටට පත් කරවමි. ඔවුන් සමඟ කතා කරමින් සිටින මා පිළිබඳ ව ‘මේ කතා කරන්නේ කවරෙක් ද? දෙවියෙක් ද? මනුෂ්‍යයෙක් ද?’ යි ඔවුහු නොදනිති. ධර්ම කථාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, උනන්දු කරවා, සතුටට පත් කරවා නොපෙනී යමි. නොපෙනී ගිය මා පිළිබඳ ව ‘මේ නොපෙනී ගියේ කවරෙක් ද? දෙවියෙක් ද? මනුෂ්‍යයෙක් ද?’ යි ඔවුහු නොදනිති.

ආනන්දයෙනි, මම් වනාහී නොයෙක් සිය ගණන් බ්‍රාහ්මණ පිරිස වෙත එළඹුණු වග විශේෂයෙන් දනිමි. ….(පෙ)…. ගෘහපති පිරිස ….(පෙ)…. ශ්‍රමණ පිරිස ….(පෙ)…. චාතුම්මහාරාජික පිරිස ….(පෙ)…. තාවතිංස පිරිස ….(පෙ)…. මාර පිරිස ….(පෙ)…. බ්‍රහ්ම පිරිස වෙත එළඹුණු වග විශේෂයෙන් දනිමි. එහිදී ත් මා විසින් වාඩි වී හුන් බවකුත්, කතා බස් කළ බවකුත්, ඔවුන් වෙත පිවිස සාකච්ඡා කළ බවකුත් තිබුණි. එහිදී ඔවුන්ගේ වර්ණය යම් බඳු ද, මාගේ වර්ණය ද, එබඳු වෙයි. ඔවුන්ගේ කටහඬ යම් බඳු ද, මාගේ කටහඬ ද එබඳු වෙයි. ධර්ම කථාවෙන් ද කරුණු දක්වමි. සමාදන් කරවමි. උනන්දු කරවමි. සතුටට පත් කරවමි. ඔවුන් සමඟ කතා කරමින් සිටින මා පිළිබඳ ව ‘මේ කතා කරන්නේ කවරෙක් ද? දෙවියෙක් ද? මනුෂ්‍යයෙක් ද?’ යි ඔවුහු නොදනිති. ධර්ම කථාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, උනන්දු කරවා, සතුටට පත් කරවා නොපෙනී යමි. නොපෙනී ගිය මා පිළිබඳ ව ‘මේ නොපෙනී ගියේ කවරෙක් ද? දෙවියෙක් ද? මනුෂ්‍යයෙක් ද?’ යි ඔවුහු නොදනිති.

ආනන්දයෙනි, මේ වනාහී අට පිරිස යි.

ආනන්දයෙනි, මේ වනාහී අටක් වූ අභිභූ ආයතනයෝ ය. ඒ කවර අටක් ද යත්;

1. ආධ්‍යාත්මයෙහි රූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර ස්වල්ප වූ වර්ණවත්, දුර්වර්ණ රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය පළමු අභිභූ ආයතනය යි.

2. ආධ්‍යාත්මයෙහි රූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර අප්‍රමාණ වූ වර්ණවත්, දුර්වර්ණ රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය දෙවෙනි අභිභූ ආයතනය යි.

3. ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර ස්වල්ප වූ වර්ණවත්, දුර්වර්ණ රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය තුන්වෙනි අභිභූ ආයතනය යි.

4. ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර අප්‍රමාණ වූ වර්ණවත්, දුර්වර්ණ රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය සිව්වෙනි අභිභූ ආයතනය යි.

5. ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර නිල් වූ, නිල් පැහැ ඇති, නීල නිදර්ශන ඇති, නිල් ආලෝක ඇති රූප දකියි. නිල්වන්, නිල්වන් දැකුම් ඇති, නිල්වන් ආලෝක ඇති, නිල් දියබෙරලිය මල යම් සේ ද, නිල්වන්, නිල්වන් දැකුම් ඇති, නිල්වන් ආලෝක ඇති, දෙපැත්තට ම මටසිලිටි වූ බරණැස නීල කසීසළුව යම් සේ ද, එසෙයින් ම ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර නිල් වූ, නිල් පැහැ ඇති, නීල නිදර්ශන ඇති, නිල් ආලෝක ඇති රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය පස්වෙනි අභිභූ ආයතනය යි.

6. ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර කහ වූ, කහ පැහැ ඇති, කහ නිදර්ශන ඇති, කහ ආලෝක ඇති රූප දකියි. කහවන්, කහවන් දැකුම් ඇති, කහවන් ආලෝක ඇති, කහ කිණිහිරි මල යම් සේ ද, කහවන්, කහවන් දැකුම් ඇති, කහවන් ආලෝක ඇති, දෙපැත්ත ම මටසිලිටි වූ බරණැස කසීසළුව යම් සේ ද, එසෙයින් ම ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර කහ වූ, කහ පැහැ ඇති, කහ නිදර්ශන ඇති, කහ ආලෝක ඇති රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය සයවෙනි අභිභූ ආයතනය යි.

7. ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර රතු වූ, රතු පැහැ ඇති, රතු නිදර්ශන ඇති, රතු ආලෝක ඇති රූප දකියි. රතුවන්, රතුවන් දැකුම් ඇති, රතුවන් ආලෝක ඇති, රතු බඳුවද මල යම් සේ ද, රතුවන්, රතුවන් දැකුම් ඇති, රතුවන් ආලෝක ඇති, දෙපැත්ත ම මටසිලිටි වූ බරණැස රතුවන් කසීසළුව යම් සේ ද, එසෙයින් ම ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර රතු වූ, රතු පැහැ ඇති, රතු නිදර්ශන ඇති, රතු ආලෝක ඇති රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය සත්වෙනි අභිභූ ආයතනය යි.

8. ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර සුදු වූ, සුදු පැහැ ඇති, සුදු නිදර්ශන ඇති, සුදු ආලෝක ඇති රූප දකියි. සුදුවන්, සුදුවන් දැකුම් ඇති, සුදුවන් ආලෝක ඇති, ඕෂධී තාරුකාව යම් සේ ද, සුදුවන්, සුදුවන් දැකුම් ඇති, සුදුවන් ආලෝක ඇති, දෙපැත්ත ම මටසිලිටි වූ බරණැස සුදුවන් කසීසළුව යම් සේ ද, එසෙයින් ම ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර සුදු වූ, සුදු පැහැ ඇති, සුදු නිදර්ශන ඇති, සුදු ආලෝක ඇති රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය අටවෙනි අභිභූ ආයතනය යි.

ආනන්දයෙනි, මේ වනාහී අටක් වූ අභිභූ ආයතනයෝ ය.

ආනන්දයෙනි, මේ අටක් වූ විමෝක්ෂයෝ ය. ඒ කවර අටක් ද යත්;

1. රූප ධ්‍යානයෙන් යුක්ත වූයේ බාහිර රූපයන් දකියි. මෙය පළමු විමෝක්ෂය යි.

2. ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ බාහිර රූප දකියි. මෙය දෙවෙනි විමෝක්ෂය යි.

3. සුභ දෙයක් ම යැයි සළකා ධ්‍යානයට ඇළුණේ වෙයි. මෙය තුන්වෙනි විමෝක්ෂය යි.

4. සියළු ආකාරයෙන් ම රූප සංඥාවන් ඉක්මවීමෙන්, ගොරෝසු සංඥාවන් නැති වීමෙන් නා නා සංඥා මෙනෙහි නොකිරීමෙන් ‘අනන්ත වූ ආකාසය’ යැයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. මෙය සිව්වෙනි විමෝක්ෂය යි.

5. සියළු ආකාරයෙන් ම ආකාසානඤ්චාතනය ඉක්මවීමෙන්, ‘අනන්ත වූ විඤ්ඤාණය’ යැයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. මෙය පස්වෙනි විමෝක්ෂය යි.

6. සියළු ආකාරයෙන් ම විඤ්ඤාණඤ්චායතනය ඉක්මවීමෙන් ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මෙය සයවෙනි විමෝක්ෂය යි.

7. සියළු ආකාරයෙන් ම ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවීමෙන් නේවසංඥානාසංඥායතනයට පැමිණ වාසය කරයි. මෙය සත්වෙනි විමෝක්ෂය යි.

8. සියළු ආකාරයෙන් ම නේවසංඥානාසංඥායතනය ඉක්මවීමෙන් සංඥාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරයි. මෙය අටවෙනි විමෝක්ෂය යි.

ආනන්දයෙනි, මේ වනාහී අටක් වූ විමෝක්ෂයෝ ය.

ආනන්දයෙනි, එක් සමයෙක්හි මම අභිසම්බෝධිය ලත් මුල් අවදියෙහි උරුවෙල් දනව්වෙහි නේරංජරා නදිය අසබඩ අජපාල නුගරුක් සෙවණෙහි වාසය කළෙමි. එකල්හී ආනන්දයෙනි, මම යම්තැනක සිටියෙම් ද, පවිටු මාර තෙමේ එතැනට පැමිණියේ ය. පැමිණ එකත්පස් ව සිටියේ ය. ආනන්දයෙනි, එකත්පස් ව සිටි පවිටු මාරයා මා හට මෙය සැළ කළේ ය.

‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පෑමට කාලය යි.’

මෙසේ කී කල්හී ආනන්දයෙනි. පවිටු මාරයා හට මම මෙය පැවසූයෙමි.

‘පවිටු මාරය, යම්තාක් කල් මාගේ ශ්‍රාවක භික්ෂූහු ව්‍යක්ත ව, විශාරද ව, විනීත ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී නොවන්නාහු ද, තම ආචාර්යවාදය ඉගෙන නොපවසන්නාහු ද, නොදෙසන්නාහු ද, නොපණවන්නාහු ද, නොපිහිටුවන්නාහු ද, විවෘත නොකරන්නාහු ද, නොබෙදා දක්වන්නාහු ද, ඉස්මතු නොකරන්නාහු ද, උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය නොදෙසන්නාහු ද, ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි.

පවිටු මාරය, යම්තාක් කල් මාගේ ශ්‍රාවිකා භික්ෂුණීහු ව්‍යක්ත ව, විශාරද ව, විනීත ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී නොවන්නාහු ද, තම ආචාර්යවාදය ඉගෙන නොපවසන්නාහු ද, නොදෙසන්නාහු ද, නොපණවන්නාහු ද, නොපිහිටුවන්නාහු ද, විවෘත නොකරන්නාහු ද, නොබෙදා දක්වන්නාහු ද, ඉස්මතු නොකරන්නාහු ද, උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය නොදෙසන්නාහු ද, ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි

පවිටු මාරය, යම්තාක් කල් මාගේ ශ්‍රාවක උපාසකවරු ව්‍යක්ත ව, විනීත ව, විශාරද ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී නොවන්නාහු ද, තම ආචාර්යවාදය ඉගෙන නොපවසන්නාහු ද, නොදෙසන්නාහු ද, නොපණවන්නාහු ද, නොපිහිටුවන්නාහු ද, විවෘත නොකරන්නාහු ද, නොබෙදා දක්වන්නාහු ද, ඉස්මතු නොකරන්නාහු ද, උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය නොදෙසන්නාහු ද, ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි

පවිටු මාරය, යම්තාක් කල් මාගේ ශ්‍රාවිකා උපාසිකාවෝ ව්‍යක්ත ව, විනීත ව, විශාරද ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී නොවන්නාහු ද, තම ආචාර්යවාදය ඉගෙන නොපවසන්නාහු ද, නොදෙසන්නාහු ද, නොපණවන්නාහු ද, නොපිහිටුවන්නාහු ද, විවෘත නොකරන්නාහු ද, නොබෙදා දක්වන්නාහු ද, ඉස්මතු නොකරන්නාහු ද, උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය නොදෙසන්නාහු ද, ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි.

පවිටු මාරය, යම්තාක් කල් මාගේ මේ සසුන් බඹසර ඉතා දියුණුවට පත් නොවෙයි ද, සමෘද්ධිමත් නොවෙයි ද, බොහෝ ජනයා විසින් දන්නා ලද්දේ නොවෙයි ද, පුළුල් ව පැතිරුණේ නොවෙයි ද, යම්තාක් දෙවි මිනිසුන් විසින් මැනැවින් ප්‍රකාශ කරන ලද්දේ නොවෙයි ද, ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි’ යි පැවසූවෙමි.

ආනන්දයෙනි, අද දැනුත් චාපාල චෛත්‍යස්ථානයෙහි දී මම යම් තැනක සිටියෙම් ද, පවිටු මාර තෙමේ එතැනට පැමිණියේ ය. පැමිණ එකත්පස් ව සිටියේ ය. ආනන්දයෙනි, එකත්පස් ව සිටගත් පවිටු මාරයා මා හට මෙය පැවසුවේ ය.

‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පෑමට කාලය යි.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද මේ වචනයක් තිබෙයි. ‘පවිටු මාරය, යම්තාක් කල් මාගේ ශ්‍රාවක භික්ෂූහු ….(පෙ)…. යම්තාක් කල් මාගේ ශ්‍රාවිකා භික්ෂුණීහු ….(පෙ)…. යම්තාක් කල් මාගේ ශ්‍රාවක උපාසකවරු ….(පෙ)…. යම්තාක් කල් මාගේ ශ්‍රාවිකා උපාසිකාවෝ ….(පෙ)….

පවිටු මාරය, යම්තාක් කල් මාගේ මේ සසුන් බඹසර ඉතා දියුණුවට පත් නොවෙයි ද, සමෘද්ධිමත් නොවෙයි ද, බොහෝ ජනයා විසින් දන්නා ලද්දේ නොවෙයි ද, පුළුල් ව පැතිරුණේ නොවෙයි ද, යම්තාක් දෙවි මිනිසුන් විසින් මැනැවින් ප්‍රකාශ කරන ලද්දේ නොවෙයි ද, ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි’ යන වචනය යි.

ස්වාමීනී, මෙකල්හි භාග්‍යවතුන් වහන්සේගේ සසුන් බඹසර ඉතා දියුණු වූයේ ත්, සමෘද්ධිමත් වූයේ ත්, බොහෝ ජනයා විසින් දන්නා ලද්දේ ත්, පුළුල් ව පැතිරුණේ ත්, යම්තාක් දෙවි මිනිසුන් විසින් මැනැවින් ප්‍රකාශ කරන ලද්දේ ත් වෙයි.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පෑමට කාලය යි.”

මෙසේ පැවසූ කල්හී මම ආනන්දයෙනි, පවිටු මාරයා හට මෙය පැවසූවෙමි.

‘පවිටු මාරය, ඔබ අල්ප උත්සාහයෙන් වසව. වැඩිකල් නොයා තථාගතයන්ගේ පිරිනිවන් පෑම වන්නේ ය. මෙයින් තුන් මසක් ඇවෑමෙන් තථාගත තෙමේ පිරිනිවන් පාන්නේ ය’ යි.

ආනන්දයෙනි, අද මේ දැන් චාපාල චෛත්‍යස්ථානයෙහි දී තථාගතයන් විසින් සිහියෙන් හා නුවණින් යුතුව ආයු සංස්කාරය අත්හරින ලද්දේ ය.”

→ මතු සම්බන්ධ යි…

- උපුටා ගැනීම –

සූත්‍ර පිටකයට අයත් ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය – දීඝ නිකාය 2 - පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ

The post පහන් සිල නිවෙන ලෙස පිරිනිවී වැඩි සේක..! – 04 appeared first on Mahamevnawa Monastery.

පහන් සිල නිවෙන ලෙස පිරිනිවී වැඩි සේක..! – 05

$
0
0
Pahan Sila nivena lesa5

පසුගිය ලිපිය හා සබැඳේ↓

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

 

  2.3. මහා පරිනිබ්බාන සූත්‍රය (5 කොටස)
භාග්‍යවතුන් වහන්සේගේ මහා පරිනිර්වාණය ගැන වදාළ දෙසුම (5 කොටස)

 

මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ආයුෂ්කල්පයක් වැඩසිටින සේක්වා! සුගතයන් වහන්ස, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත පිණිස, හිත පිණිස, සැප පිණිස, කල්පයක් වැඩසිටින සේක්වා!” යි.

“පලක් නැත ආනන්දයෙනි. තථාගතයන් හට ආයාචනා නොකරව. දැන් ආනන්දයෙනි, තථාගතයන් හට ආයාචනා කිරීමට කාලය නොවෙයි.”

දෙවෙනි වතාවටත් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ….(පෙ)…. තෙවෙනි වතාවටත් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ආයුෂ්කල්පයක් වැඩසිටින සේක්වා! සුගතයන් වහන්ස, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත පිණිස, හිත පිණිස, සැප පිණිස, කල්පයක් වැඩසිටින සේක්වා!” යි.

“ආනන්දයෙනි, ඔබ තථාගතයන්ගේ බෝධිය අදහන්නෙහි ද?”

“එසේ ය, ස්වාමීනී.”

“එසේ නම් ආනන්දයෙනි, ඔබ තෙවෙනි වතාව දක්වා ආයාචනා කරමින් කවර හෙයින් තථාගතයන් හට බලවත් ව පීඩා කරන්නෙහි ද?”

“ස්වාමීනී, මෙකරුණ මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අසන ලද්දේ ය. හමුවෙහි පිළිගන්නා ලද්දේ ය.

‘ආනන්දයෙනි, යම් කිසිවෙකු තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, යානාවක් සේ කරන ලද, සිටිය හැකි තැනක් සේ කරන ලද, හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත් ද, ඔහු කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය. ආනන්දයෙනි, තථාගතයන් තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, යානාවක් සේ කරන ලද, සිටිය හැකි තැනක් සේ කරන ලද, හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත්. ආනන්දයෙනි, ඒ තථාගත තෙමේ කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය’ යනුවෙනි.”

“ආනන්දයෙනි, ඔබ අදහන්නෙහි ද?”

“එසේ ය, ස්වාමීනී.”

“එහෙයින් ආනන්දයෙනි, මෙය ඔබට ම වැරදුණු ක්‍රියාවකි. මෙය ඔබගේ ම දෝෂයකි. යම් හෙයකින් ඔබ තථාගතයන් විසින් මෙබඳු වූ ගොරෝසු නිමිති කරන කල්හී, ගොරෝසු එළි දක්වන කල්හී, තේරුම් ගන්නට අසමර්ථ වූයේ ය. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ආයුෂ්කල්පයක් වැඩසිටින සේක්වා! සුගතයන් වහන්ස, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත පිණිස, හිත පිණිස, සැප පිණිස, කල්පයක් වැඩසිටින සේක්වා!’ යි තථාගතයන්ට ආයාචනා නොකළේ ය. ඉදින් ආනන්දයෙනි, ඔබ තථාගතයන්ට ආයාචනා කළෙහි නම්, දෙවරක් ම ඒ ආයාචනා වචනය තථාගත තෙමේ නොපිළිගන්නේ ය. නමුත් තුන්වන ඇරයුම් වචනය පිළිගන්නේ ය. එසේ හෙයින් ආනන්දයෙනි, මෙය ඔබට ම වැරදුණු ක්‍රියාවකි. මෙය ඔබගේ ම දෝෂයකි.

ආනන්දයෙනි, මම එක් අවදියක රජගහ නුවර ගිජුකුළු පව්වෙහි වාසය කළෙමි. එහිදී ද ආනන්දයෙනි, මම ඔබ ඇමතුවෙමි. ‘රමණීය ය, ආනන්දයෙනි, රාජගෘහ ය. රමණීය ය, ගිජුකුළුපව්ව. ආනන්දයෙනි, යම් කිසිවෙකු තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, යානාවක් සේ කරන ලද, සිටිය හැකි තැනක් සේ කරන ලද, හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත් ද, ඔහු කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය. ආනන්දයෙනි, තථාගතයන් තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, යානාවක් සේ කරන ලද, සිටිය හැකි තැනක් සේ කරන ලද, හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත්. ආනන්දයෙනි, ඒ තථාගත තෙමේ කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය’ යනුවෙනි.

මෙසේ ත් ඔබ ආනන්දයෙනි, තථාගතයන් විසින් මෙබඳු වූ ගොරෝසු නිමිති කරන කල්හී, ගොරෝසු එළි දක්වන කල්හී, තේරුම් ගන්නට අසමර්ථ වූයේ ය. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ආයුෂ්කල්පයක් වැඩසිටින සේක්වා! සුගතයන් වහන්ස, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත පිණිස, හිත පිණිස, සැප පිණිස, කල්පයක් වැඩසිටින සේක්වා!’ යි තථාගතයන්ට ආයාචනා නොකළේ ය. ඉදින් ආනන්දයෙනි, ඔබ තථාගතයන්ට ආයාචනා කළෙහි නම්, දෙවරක් ම ඒ ආයාචනා වචනය තථාගත තෙමේ නොපිළිගන්නේ ය. නමුත් තුන්වන ඇරයුම් වචනය පිළිගන්නේ ය. එසේ හෙයින් ආනන්දයෙනි, මෙය ඔබට ම වැරදුණු ක්‍රියාවකි. මෙය ඔබගේ ම දෝෂයකි.

ආනන්දයෙනි, මම එක් අවදියක ඒ රජගහ නුවර ම ගෞතම නුගරුක් සෙවණෙහි වාසය කළෙමි. ….(පෙ)…. ඒ රජගහ නුවර ම චෝර ප්‍රපාතයෙහි වාසය කළෙමි. ….(පෙ)…. ඒ රජගහ නුවර ම වේභාර පර්වත බෑවුමෙහි සප්තපර්ණී ගුහාවෙහි වාසය කළෙමි. ….(පෙ)…. ඒ රජගහ නුවර ම ඉසිගිලි පර්වත බෑවුමෙහි කාලසිලා ගල් තලාවෙහි වාසය කළෙමි. ….(පෙ)…. ඒ රජගහ නුවර ම සීත වනයෙහි සප්ප සොණ්ඩික කඳු ගුහාවෙහි වාසය කළෙමි. ….(පෙ)…. ඒ රජගහ නුවර ම තපෝදාරාමයෙහි වාසය කළෙමි. ….(පෙ)…. ඒ රජගහ නුවර ම ලේනුන්ගේ අභයභූමිය වූ වේළුවනයෙහි වාසය කළෙමි. ….(පෙ)…. ඒ රජගහ නුවර ම ජීවක අඹ වනයෙහි වාසය කළෙමි. ….(පෙ)…. ඒ රජගහ නුවර ම මද්දකුච්ý මිගදායෙහි වාසය කළෙමි.

එහිදී ද ආනන්දයෙනි, මම ඔබ ඇමතුවෙමි. ‘රමණීය ය, ආනන්දයෙනි, රාජගෘහ ය. රමණීය ය, ගෞතම නුගරුක. ….(පෙ)…. රමණීය ය, චෝර ප්‍රපාතය. ….(පෙ)…. රමණීය ය, වේභාර පර්වත බෑවුමෙහි සප්තපර්ණී ගුහාව. ….(පෙ)…. රමණීය ය, ඉසිගිලි පර්වත බෑවුමෙහි කාලසිලා ගල්තලාව. ….(පෙ)…. රමණීය ය, සීත වනයෙහි සප්පසොණ්ඩික කඳු ගුහාව ….(පෙ)…. රමණීය ය, තපෝදාරාමය ….(පෙ)…. රමණීය ය, ලෙහෙනුන්ගේ අභයභූමිය වූ වේළුවනය ….(පෙ)…. රමණීය ය, ජීවක අඹවනය. ….(පෙ)…. රමණීය ය, මද්දකුච්ý මිගදාය. ආනන්දයෙනි, යම් කිසිවෙකු තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, යානාවක් සේ කරන ලද, සිටිය හැකි තැනක් සේ කරන ලද, හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද සතර ඉර්ධිපාදයෝ තිබෙත් ද, ඔහු කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය. ආනන්දයෙනි, තථාගතයන් තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, යානාවක් සේ කරන ලද, සිටිය හැකි තැනක් සේ කරන ලද, හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත්. ආනන්දයෙනි, ඒ තථාගත තෙමේ කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය’ යනුවෙනි.

මෙසේ ත් ඔබ ආනන්දයෙනි, තථාගතයන් විසින් මෙබඳු වූ ගොරෝසු නිමිති කරන කල්හී, ගොරෝසු එළි දක්වන කල්හී, තේරුම් ගන්නට අසමර්ථ වූයේ ය. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ආයුෂ්කල්පයක් වැඩසිටින සේක්වා! සුගතයන් වහන්ස, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත පිණිස, හිත පිණිස, සැප පිණිස, කල්පයක් වැඩසිටින සේක්වා!’ යි තථාගතයන්ට ආයාචනා නොකළේ ය. ඉදින් ආනන්දයෙනි, ඔබ තථාගතයන්ට ආයාචනා කළෙහි නම්, දෙවරක් ම ඒ ආයාචනා වචනය තථාගත තෙමේ නොපිළිගන්නේ ය. නමුත් තුන්වන ඇරයුම් වචනය පිළිගන්නේ ය. එසේ හෙයින් ආනන්දයෙනි, මෙය ඔබට ම වැරදුණු ක්‍රියාවකි. මෙය ඔබගේ ම දෝෂයකි.

ආනන්දයෙනි, මම එක් අවදියක මෙහි ම විශාලා මහනුවර උදේන චෛත්‍යයෙහි වාසය කළෙමි. එහිදී ද ආනන්දයෙනි, මම ඔබ ඇමතුවෙමි. ‘රමණීය ය, ආනන්දයෙනි, විසල්පුර. රමණීය ය, උදේන සෑය. ආනන්දයෙනි, යම් කිසිවෙකු තුළ දියුණු කරන ලද, ….(පෙ)…. හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත් ද, ඔහු කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය. ආනන්දයෙනි, තථාගතයන් තුළ දියුණු කරන ලද, ….(පෙ)…. හොඳින් පිහිටුවා ගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත්. ආනන්දයෙනි, ඒ තථාගත තෙමේ කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය’ යනුවෙනි.

මෙසේ ත් ඔබ ආනන්දයෙනි, තථාගතයන් විසින් මෙබඳු වූ ගොරෝසු නිමිති කරන කල්හී, ….(පෙ)…. තේරුම් ගන්නට අසමර්ථ වූයේ ය. ….(පෙ)…. එසේ හෙයින් ආනන්දයෙනි, මෙය ඔබට ම වැරදුණු ක්‍රියාවකි. මෙය ඔබගේ ම දෝෂයකි.

ආනන්දයෙනි, මම එක් අවදියක මෙහි ම විසල්පුර ගෝතමක චෛත්‍යයෙහි වාසය කළෙමි. ….(පෙ)…. මේ විසල් පුරයෙහි ම සත්තම්බක සෑයෙහි වාසය කළෙමි. ….(පෙ)…. මේ විසල් පුරයෙහි ම බහුපුත්තක සෑයෙහි වාසය කළෙමි. ….(පෙ)…. මේ විසල් පුරයෙහි ම සාරන්දද සෑයෙහි වාසය කළෙමි. ….(පෙ)…. මේ විසල් පුරයෙහි ම ආනන්දයෙනි, අද චාපාල සෑයෙහි දී දැනුත් මම ඔබ ඇමතුවෙමි. ‘රමණීය ය, ආනන්දයෙනි, විසල්පුර. රමණීය ය, චාපාල සෑය. ආනන්දයෙනි, යම් කිසිවෙකු තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, යානාවක් සේ කරන ලද, සිටිය හැකි තැනක් සේ කරන ලද, හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත් ද, ඔහු කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය. ආනන්දයෙනි, තථාගතයන් තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, යානාවක් සේ කරන ලද, සිටිය හැකි තැනක් සේ කරන ලද, හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත්. ආනන්දයෙනි, ඒ තථාගත තෙමේ කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය’ යනුවෙනි.

මෙසේ ත් ඔබ ආනන්දයෙනි, තථාගතයන් විසින් මෙබඳු වූ ගොරෝසු නිමිති කරන කල්හී, ගොරෝසු එළි දක්වන කල්හී, තේරුම් ගන්නට අසමර්ථ වූයේ ය. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ආයුෂ්කල්පයක් වැඩසිටින සේක්වා! සුගතයන් වහන්ස, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත පිණිස, හිත පිණිස, සැප පිණිස, කල්පයක් වැඩසිටින සේක්වා!’ යි තථාගතයන්ට ආයාචනා නොකළේ ය. ඉදින් ආනන්දයෙනි, ඔබ තථාගතයන්ට ආයාචනා කළෙහි නම්, දෙවරක් ම ඒ ආයාචනා වචනය තථාගත තෙමේ නොපිළිගන්නේ ය. නමුත් තුන්වන ඇරයුම් වචනය පිළිගන්නේ ය. එසේ හෙයින් ආනන්දයෙනි, මෙය ඔබට ම වැරදුණු ක්‍රියාවකි. මෙය ඔබගේ ම දෝෂයකි.

ආනන්දයෙනි, කලින් ම මා විසින් මෙය නොකියන ලද්දේ ද? ‘ප්‍රිය වූ, මනාප වූ, සියල්ලෙන් ම ඈත් වන්නට සිදුවෙයි. වෙනස් වීම ඇත්තේ ය. අන්‍ය ස්වභාවයකට පත්වන බව ඇත්තේ ය’ යි ආනන්දයෙනි, හටගත්, උපන්, හේතුඵලයෙන් සකස් වූ, බිඳෙන ස්වභාවයෙන් යුතු යමක් ඇද්ද, ඒකාන්තයෙන් ඒ තථාගතයන්ගේ ශරීරය පවා නොනැසේවා යි යන කරුණ කොහෙන් නම් ලබන්නට ද? එය දකින්නට නොලැබෙන දෙයකි.

ආනන්දයෙනි, ‘වැඩිකල් නොයා තථාගතයන්ගේ පිරිනිවීම වන්නේ ය. මෙයින් තුන් මසක් ඇවෑමෙන් තථාගත තෙමේ පිරිනිවන් පාන්නේ ය’ යන ඒකාන්ත වචනය පවසා තථාගතයන් විසින් යම් ආයු සංස්කාරයක් අත්හරින ලද්දේ ය. තථාගතයන් විසින් යමක් අත්හරින ලද්දේ ද, වමාරන ලද්දේ ද, මුදන ලද්දේ ද, ප්‍රහීන කරන ලද්දේ ද, දුරලන ලද්දේ ද, තථාගත තෙමේ ජීවිතය නිසා වත් එම වචනය ආපසු මුව තුළට ගන්නේ ය යන මෙය කිසිදා සිදු නොවන්නකි.

එන්න, ආනන්දයෙනි, මහාවනයෙහි කූටාගාර ශාලාව යම් තැනක ද, එහි යන්නෙමු.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් සමඟ මහාවනයෙහි කූටාගාර ශාලාව යම් තැනක ද, එහි වැඩම කළ සේක. වැඩම කොට ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක.

“යන්න ඔබ ආනන්දයෙනි, යම් තාක් භික්ෂූහු විශාලා මහනුවර ඇසුරු කොට වාසය කරත් ද, ඒ සියළු භික්ෂූන් උපස්ථාන ශාලාවට රැස් කරවන්න.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී විසල්පුර ඇසුරු කොට යම්තාක් භික්ෂූහු සිටියාහු ද, ඒ හැම උපස්ථාන ශාලාවට රැස් කරවා, භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩහුන් සේක් ද, එතැනට පැමිණි සේක. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව සිටගත්හ. එකත්පස් ව සිටගත් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, භික්ෂු සංඝයා රැස් කරන ලද්දේ ය. ස්වාමීනී, දැන් යමකට කාලය නම් එය භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක.”

එකල්හී භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන ශාලාවට වැඩි සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. එසේ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“එහෙයින් මහණෙනි, මා විසින් විශිෂ්ට ඥානයෙන් යුතුව දෙසන ලද යම් ඒ ධර්මයෝ වෙත් ද, ඔබ විසින් ඒ ධර්මයන් මනාකොට ඉගෙන ගෙන සේවනය කළ යුත්තේ ය. භාවිත කළ යුත්තේ ය. බහුල ව ප්‍රගුණ කළ යුත්තේ ය. යම් හෙයකින් මේ සසුන් මග බඹසර චිරාත් කාලයක් නොසිඳ පවත්වනු පිණිස ය. එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැප පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත හිත සැප පිණිස පවතින්නේ ය.

මහණෙනි, යම් ධර්මයක් ඔබ විසින් මනාකොට ඉගෙන සේවනය කළ යුතු නම්, භාවිත කළ යුතු නම්, බහුල ව ප්‍රගුණ කළ යුතු නම්, යම් හෙයකින් මේ සසුන් මග බඹසර චිරාත් කාලයක් නොසිඳ පවත්වනු පිණිස පවතියි නම්, එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැප පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත හිත සැප පිණිස පවතියි නම්, මා විසින් විශිෂ්ට ඥානයෙන් යුතුව දේශනා කරන ලද ඒ ධර්මයෝ මොනවා ද?

එනම්, සතර සතිපට්ඨානයෝ ය. සතර සම්‍යක්ප්‍රධානයෝ ය. සතර ඉර්ධිපාදයෝ ය. පංච ඉන්ද්‍රියයෝ ය. පංච බලයෝ ය. සප්ත බොජ්ඣංගයෝ ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය ය.

මහණෙනි, මේ ධර්මයෝ වනාහී මා විසින් විශිෂ්ට ඥානයෙන් යුතුව දෙසන ලද්දාහු ය. ඔබ විසින් ඒ ධර්මයන් මනාකොට ඉගෙන ගෙන සේවනය කළ යුත්තේ ය. භාවිත කළ යුත්තේ ය. බහුල ව ප්‍රගුණ කළ යුත්තේ ය. යම් හෙයකින් මේ සසුන් මග බඹසර චිරාත් කාලයක් නොසිඳ පවත්වනු පිණිස ය. එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැප පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත හිත සැප පිණිස පවතින්නේ ය.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“එසේ නම් මහණෙනි, දැන් ඔබ අමතමි. හේතු ඵල දහමින් සකස් වූ සංස්කාරයෝ නැසෙන සුළු වෙති. අප්‍රමාදී ව දහමෙහි හැසිරෙව්. වැඩිකල් නොයා තථාගතයන්ගේ පිරිනිවීම වන්නේ ය. මෙයින් තුන් මසක් ඇවෑමෙන් තථාගත තෙමේ පිරිනිවන් පාන්නේ ය.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි අන්‍ය වූ මෙය ද වදාළ සේක.

“පරිපක්කෝ වයෝ මය්හං – පරිත්තං මම ජීවිතං

පහාය වෝ ගමිස්සාමි – කතං මේ සරණමත්තනෝ

මාගේ වයස මුහුකුරා ගියේ ය. මාගේ ජීවිතය තව ස්වල්පයක් ඇත්තේ ය. ඔබ අතහැර දමා යන්නෙමි. මා විසින් තමා හට සරණ ඇති කරගන්නා ලද්දේ ය.

අප්පමත්තා සතීමන්තෝ – සුසීලා හෝථ භික්ඛවෝ

සුසමාහිත සංකප්පා – සචිත්ත මනුරක්ඛථ

මහණෙනි, නොපමාව මනා සිහි ඇති ව, සුසිල්වත් වව්. මැනැවින් එකඟ කරගත් කල්පනා ඇතිව, තම සිත හොඳින් සුරකිව්.

යෝ ඉමස්මිං ධම්මවිනයේ – අප්පමත්තෝ විහෙස්සති

පහාය ජාතිසංසාරං – දුක්ඛස්සන්තං කරිස්සතී’ති

යමෙක් මේ බුද්ධ ශාසනයෙහි අප්‍රමාදී ව ධර්මයේ හැසිරෙන්නට වෙර වඩන්නේ නම් ඉපදෙන – මැරෙන සසර අත්හැර දුක් නිමාවකට පත් කරන්නේ ය.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුර ගෙන විශාලා මහනුවරට පිඬු පිණිස වැඩි සේක. විශාලා මහනුවර පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණු සේක්, හස්තිරාජයෙක් මුළු සිරුරම හරවා සෘජු කොට ආපසු බලන සේ නාගාපලෝකනයෙන් විශාලා මහනුවර දෙස ආපසු හැරී බලා ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක.

“ආනන්දයෙනි, තථාගතයන්ගේ විශාලා මහනුවර දෙස බලන අවසන් දැකීම මෙය වන්නේ ය. එන්න ආනන්දයෙනි, භණ්ඩගම යම් තැනක ද, එහි යන්නෙමු.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂු සංඝයා සමඟ භණ්ඩගම යම් තැනක ද එහි වැඩි සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භණ්ඩගමෙහි වැඩවසන සේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, සතර ධර්මයක් අවබෝධ නොකිරීමෙන්, නුවණින් ප්‍රත්‍යක්ෂ නොකිරීමෙන් මේ සා අතිදීර්ඝ කාලයක් මුළුල්ලෙහි මා හට ත්, ඔබ හට ත් සසරෙහි ඇවිදයන්නට සිදුවූයේ ය. සැරිසරන්නට සිදුවූයේ ය. ඒ කවර සතරක් ද යත්;

මහණෙනි, ආර්ය වූ සීලය අවබෝධ නොකිරීමෙන්, නුවණින් ප්‍රත්‍යක්ෂ නොකිරීමෙන් මේ සා අතිදීර්ඝ කාලයක් මුළුල්ලෙහි මා හට ත්, ඔබ හට ත් සසරෙහි ඇවිදයන්නට සිදුවූයේ ය. සැරිසරන්නට සිදුවූයේ ය.

මහණෙනි, ආර්ය වූ සමාධිය අවබෝධ නොකිරීමෙන්, නුවණින් ප්‍රත්‍යක්ෂ නොකිරීමෙන් මේ සා අතිදීර්ඝ කාලයක් මුළුල්ලෙහි මා හට ත්, ඔබ හට ත් සසරෙහි ඇවිදයන්නට සිදුවූයේ ය. සැරිසරන්නට සිදුවූයේ ය.

මහණෙනි, ආර්ය වූ ප්‍රඥාව ….(පෙ)…. මහණෙනි, ආර්ය වූ විමුක්තිය ….(පෙ)….

මහණෙනි, ඒ මේ ආර්ය සීලය අවබෝධ කරන ලදී. නුවණින් ප්‍රත්‍යක්ෂ කරන ලදී. ආර්ය වූ සමාධිය අවබෝධ කරන ලදී. නුවණින් ප්‍රත්‍යක්ෂ කරන ලදී. ආර්ය වූ ප්‍රඥාව අවබෝධ කරන ලදී. නුවණින් ප්‍රත්‍යක්ෂ කරන ලදී. ආර්ය වූ විමුක්තිය අවබෝධ කරන ලදී. නුවණින් ප්‍රත්‍යක්ෂ කරන ලදී. භව තෘෂ්ණාව මුලින්ම සිඳින ලදී. භව රැහැන් ක්ෂය කරන ලදී. දැන් නැවත භවයක් නැත්තේ ය.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි අන්‍ය වූ මෙය ද වදාළ සේක.

“සීලං සමාධි පඤ්ඤා ච – විමුත්ති ච අනුත්තරා

අනුබුද්ධා ඉමේ ධම්මා – ගෝතමේන යසස්සිනා

සීලය, සමාධිය හා ප්‍රඥාව ත් අනුත්තර වූ විමුක්තියත් යන මේ ධර්මයෝ විසිර ගිය යස ඝෝෂා ඇති ගෞතමයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දාහු ය.

ඉති බුද්ධෝ අභිඤ්ඤාය – ධම්මමක්ඛාසි භික්ඛුනං

දුක්ඛස්සන්තකරෝ සත්ථා – චක්ඛුමා පරිනිබ්බුතෝ’ ති.

මෙසේ බුදුරජාණන් වහන්සේ විශිෂ්ට නුවණින් අවබෝධ කොට භික්ෂූන් හට ධර්මය වදාළ සේක. සසර දුක් කෙළවර කළ, සදහම් ඇස් ඇති ශාස්තෘන් වහන්සේ පිරිනිවී ගියාහු ය.”

එහිදී ද භාග්‍යවතුන් වහන්සේ භණ්ඩගමෙහි වැඩවසන සේක්, භික්ෂූන් හට මෙබඳු වූ ම ධර්ම කථාව බහුල ව කරන සේක. ‘සීලය මේ අයුරු ය. සමාධිය මේ අයුරු ය. ප්‍රඥාව මේ අයුරු ය. සීලය තුළින් වඩන ලද සමාධිය මහත්ඵල මහානිශංස ඇත්තේ ය. සමාධිය තුළින් වඩන ලද ප්‍රඥාව මහත්ඵල මහානිශංස ඇත්තේ ය. ප්‍රඥාව තුළින් වඩන ලද සිත මැනැවින් ම ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙයි. ඒ කවර ආශ්‍රවයන්ගෙන් ද යත්; කාම ආශ්‍රවයෙන් ය, භව ආශ්‍රවයෙන් ය, අවිද්‍යා ආශ්‍රවයෙන් ය.’

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමති තාක් කල් භණ්ඩගමෙහි වැඩවාසය කොට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“එන්න ආනන්දයෙනි, හත්ථිගම යම් තැනක ද, අම්බගම යම් තැනක ද, ජම්බුගම යම් තැනක ද, භෝග නගරය යම් තැනක ද එහි යන්නෙමු.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා සමඟ භෝග නගරය යම් තැනක ද, එහි වැඩි සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භෝග නගරයෙහි ආනන්ද චෛත්‍යයෙහි වැඩවසන සේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේ ඇමතූ සේක.

“මහණෙනි, මේ සතරක් වූ මහාපදේශයන් දේශනා කරන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

1. මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි. ‘ආයුෂ්මත්නි, මෙකරුණ මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අසන ලද්දේ ය. හමුවෙහි පිළිගන්නා ලද්දේ ය. ධර්මය යනු මෙය යි. විනය යනු මෙය යි. ශාස්තෘ ශාසනය යනු මෙය යි’ කියා ය. මහණෙනි, ඒ භික්ෂුවගේ කියමන සතුටින් නොපිළිගත යුත්තේ ය. ප්‍රතික්ෂේප නොකළ යුත්තේ ය. සතුටින් නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට ඒ පද ප්‍රකාශනයන් මැනැවින් ඉගෙන සූත්‍රයෙහි බහා බැලිය යුත්තේ ය. විනයෙහිලා සැසඳිය යුත්තේ ය. ඉදින් ඒ භික්ෂුව ධර්ම විනය ලෙස පවසන දෙය සූත්‍රයෙහි බහා බලද්දී, විනයෙහිලා සසඳද්දී සූත්‍රයෙහි නොබැස ගනියි නම්, විනයෙහි නොසැසඳෙයි නම් ඒ පිළිබඳ ව නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්fiaaගේ වචනයක් නොවෙයි. මේ භික්ෂුව විසින් වැරදි ලෙස ගන්නා ලද දෙයකි’ යි. මහණෙනි, මෙසේ මෙය බැහැර කර දමව්.

ඉදින් ඒ භික්ෂුව ධර්මය විනය ලෙස පවසන දෙය සූත්‍රයෙහිලා බහා බලද්දී, විනයෙහිලා සසඳද්දී, සූත්‍රයෙහි බැස ගනියි නම්, විනයෙහි සැසඳෙයි නම් එහිලා නිෂ්ඨාවකට පැමිණිය යුත්තේය. ‘ඒකාන්තයෙන් ම මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනයකි. මේ භික්ෂුව විසින් මැනැවින් ගන්නා ලද්දකි’ යි. මහණෙනි, මෙම පළමු මහාපදේශය මතකයෙහි රඳවා ගනිව්.

2. මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි. ‘අසවල් ආවාසයෙහි ස්ථවිරයන් වහන්සේලා සහිත ප්‍රමුඛයන් වහන්සේලා සහිත සංඝයා වහන්සේ වැඩවෙසෙති. මෙකරුණ මා විසින් ඒ සංඝයා හමුවෙහි අසන ලද්දේ ය. හමුවෙහි පිළිගන්නා ලද්දේ ය. ධර්මය යනු මෙය යි. විනය යනු මෙය යි. ශාස්තෘ ශාසනය යනු මෙය යි’ කියා ය. මහණෙනි, ඒ භික්ෂුවගේ කථාව සතුටින් නොපිළිගත යුත්තේ ය. ප්‍රතික්ෂේප නොකළ යුත්තේ ය. සතුටින් නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට ඒ පද ප්‍රකාශනයන් මැනැවින් ඉගෙන සූත්‍රයෙහි බහා බැලිය යුත්තේ ය. විනයෙහිලා සැසඳිය යුත්තේ ය. ඉදින් ඒ සංඝයා ධර්ම විනය ලෙස පවසන දෙය සූත්‍රයෙහි බහා බලද්දී, විනයෙහිලා සසඳද්දී සූත්‍රයෙහි නොබැස ගනියි නම්, විනයෙහි නොසැසඳෙයි නම් ඒ පිළිබඳ ව නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් නොවෙයි. ඒ සංඝයා විසින් වැරදි ලෙස ගන්නා ලද දෙයකි’ යි. මහණෙනි, මෙසේ මෙය බැහැර කර දමව්.

ඉදින් සූත්‍රයෙහි බහා බලද්දී, විනයෙහිලා සසඳද්දී ඒ පැවසූ දෙය සූත්‍රයෙහි බැස ගනියි නම්, විනයෙහි ලා සැසඳෙයි නම් ඒ පිළිබඳ ව නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනයකි. ඒ සංඝයා විසින් මැනැවින් ගන්නා ලද දෙයකි’ යි. මහණෙනි, මෙම දෙවෙනි මහාපදේශය දරාගනිව්

.3. මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි. ‘අසවල් ආවාසයෙහි බහුශ්‍රැත වූ උගත් සූත්‍රාන්තයන් ඇති ධර්මධර විනයධර මාතෘකාධර බොහෝ ස්ථවිර භික්ෂූහු වැඩවෙසෙති. මෙකරුණ මා විසින් ඒ තෙරුන් වහන්සේලා හමුවෙහි අසන ලද්දේ ය. හමුවෙහි පිළිගන්නා ලද්දේ ය. ධර්මය යනු මෙය යි. විනය යනු මෙය යි. ශාස්තෘ ශාසනය යනු මෙය යි’ කියා ය. මහණෙනි, ඒ භික්ෂුවගේ කථාව නොපිළිගත යුත්තේ ය. ප්‍රතික්ෂේප නොකළ යුත්තේ ය. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට ඒ පද ප්‍රකාශනයන් මැනැවින් ඉගෙන සූත්‍රයෙහි බහා බැලිය යුත්තේ ය. විනයෙහිලා සැසඳිය යුත්තේ ය. ඉදින් සූත්‍රයෙහි බහා බලද්දී, විනයෙහිලා සසඳද්දී ඒ බොහෝ ස්ථවිර භික්ෂූන් විසින් ධර්ම විනය ලෙස පවසන දෙය සූත්‍රයෙහි නොබැස ගනියි නම්, විනයෙහි නොසැසඳෙයි නම් ඒ පිළිබඳ ව නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් ම මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් නොවෙයි. ඒ ස්ථවිර භික්ෂූන් විසින් වැරදි ලෙස ගන්නා ලද දෙයකි’ යි. මහණෙනි, මෙසේ මෙය බැහැර කර දමව්.

ඉදින් සූත්‍රයෙහි බහා බලද්දී, විනයෙහිලා සසඳද්දී ඒ පැවසූ දෙය සූත්‍රයෙහි බැසගනියි නම්, විනයෙහි ලා සැසඳෙයි නම් ඒ පිළිබඳ ව නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් ම මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනයකි. ඒ ස්ථවිර භික්ෂූන් විසින් මැනැවින් ගන්නා ලද දෙයකි’ යි. මහණෙනි, මෙම තෙවෙනි මහාපදේශය දරාගනිව්.

4. මහණෙනි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි. ‘අසවල් ආවාසයෙහි බහුශ්‍රැත වූ උගත් සූත්‍රාන්තයන් ඇති ධර්මධර විනයධර මාතෘකාධර එක් ස්ථවිරයන් වහන්සේ නමක් වැඩවෙසෙති. මෙකරුණ මා විසින් ඒ තෙරුන් වහන්සේ හමුවෙහි අසන ලද්දේ ය. හමුවෙහි පිළිගන්නා ලද්දේ ය. ධර්මය යනු මෙය යි. විනය යනු මෙය යි. ශාස්තෘ ශාසනය යනු මෙය යි’ කියා ය. මහණෙනි, ඒ භික්ෂුවගේ කියමන සතුටින් නොපිළිගත යුත්තේ ය. ප්‍රතික්ෂේප නොකළ යුත්තේ ය. සතුටින් නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට ඒ පද ප්‍රකාශනයන් මැනැවින් ඉගෙන සූත්‍රයෙහි බහා බැලිය යුත්තේ ය. විනයෙහිලා සැසඳිය යුත්තේ ය. ඉදින් ඒ ස්ථවිර භික්ෂුව ධර්මය විනය ලෙස පවසන දෙය සූත්‍රයෙහි බහා බලද්දී, විනයෙහිලා සසඳද්දී සූත්‍රයෙහි නොබැස ගනියි නම්, විනයෙහි නොසැසඳෙයි නම් ඒ පිළිබඳ ව නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් නොවෙයි. ඒ ස්ථවිර භික්ෂුව විසින් වැරදි ලෙස ගන්නා ලද දෙයකි’ යි. මහණෙනි, මෙසේ මෙය බැහැර කර දමව්.

ඉදින් සූත්‍රයෙහි බහා බලද්දී, විනයෙහිලා සසඳද්දී ඒ පැවසූ දෙය සූත්‍රයෙහි බැස ගනියි නම්, විනයෙහි ලා සැසඳෙයි නම් ඒ පිළිබඳ ව නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් ම මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනයකි. ඒ ස්ථවිර භික්ෂුව විසින් මැනැවින් ගන්නා ලද දෙයකි’ යි. මහණෙනි, මෙම සිව්වෙනි මහාපදේශය දරාගනිව්.

මහණෙනි, මේ සතරක් වූ මහාපදේශයන් මතකයෙහි රඳවා ගනිව්.

එහිදී ද භාග්‍යවතුන් වහන්සේ භෝග නගරයෙහි ආනන්ද චෛත්‍යස්ථානයෙහි වැඩවසන සේක්, භික්ෂූන් හට මෙබඳු වූ ම ධර්ම කථාව බහුල ව කරන සේක. ‘සීලය මේ අයුරු ය. සමාධිය මේ අයුරු ය. ප්‍රඥාව මේ අයුරු ය. සීලය තුළින් වඩන ලද සමාධිය මහත්ඵල මහානිශංස ඇත්තේ ය. සමාධිය තුළින් වඩන ලද ප්‍රඥාව මහත්ඵල මහානිශංස ඇත්තේ ය. ප්‍රඥාව තුළින් වඩන ලද සිත මැනැවින් ම ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙයි. ඒ කවර ආශ්‍රවයන්ගෙන් ද යත්; කාම ආශ්‍රවයෙන් ය, භව ආශ්‍රවයෙන් ය, අවිද්‍යා ආශ්‍රවයෙන් ය.’

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමති තාක් කල් භෝග නගරයෙහි වැඩවාසය කොට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“එන්න ආනන්දයෙනි, පාවා නුවර යම් තැනක ද එහි යන්නෙමු.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා සමඟ පාවා නුවර යම් තැනක ද, එහි වැඩි සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ පාවා නගරයෙහි රන්කරුපුත්‍ර චුන්දයන්ගේ අඹවනයෙහි වැඩවසන සේක.

රන්කරුපුත්‍ර චුන්ද තෙමේ ‘භාග්‍යවතුන් වහන්සේ පාවා නුවරට වැඩම කොට පාවා නුවර මාගේ අඹවනයෙහි වැඩවසන සේක්ලු’ යි ඇසුවේ ය. ඉක්බිති රන්කරුපුත්‍ර චුන්ද තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩහුන් සේක් ද, එහි පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් රන්කරුපුත්‍ර චුන්දයන් හට භාග්‍යවතුන් වහන්සේ ධර්ම කථාවෙන් කරුණු දැක්වූ සේක. සමාදන් කරවූ සේක. උනන්දු කරවූ සේක. සතුටු කරවූ සේක.

→ මතු සම්බන්ධ යි…

- උපුටා ගැනීම –

සූත්‍ර පිටකයට අයත් ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය – දීඝ නිකාය 2 - පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ

The post පහන් සිල නිවෙන ලෙස පිරිනිවී වැඩි සේක..! – 05 appeared first on Mahamevnawa Monastery.

දානශාලාව සඟසතු කොට පූජාකිරීමේ පුණ්‍ය මහෝත්සවය…

$
0
0
DSCN5904

දානශාලාව සඟසතු කොට පූජාකිරීමේ පුණ්‍ය මහෝත්සවය…
ශ්‍රී බුද්ධ වර්ෂ 2557ක් වූ වෙසක් මස 01 දින (2014/05/01)


කැබිතිගොල්ලෑව මහමෙව්නාව භාතියගිරි අරණ්‍ය සේනාසනයෙහි අභිනවයෙන් ඉදිකරන්නට යෙදුන දානශාලාව සඟසතුකොට පූජාකිරීමේ පින්කම වෙසක් මස 01 දින අතිපූජනීය කිරිබත් ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි..

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රාවක සංඝරත්නයේ පහසුව පිණිස වූ මෙම පුණ්‍යකර්මයෙන් ජනිත සියලු පුණ්‍ය ධර්මයන් සියල්ලෝම සතුටින් අනුමෝදන් වෙත්වා…

DSCN5915
DSCN5841
DSCN5866
DSCN5891
DSCN5902
DSCN5904
DSCN5911
DSCN5955

The post දානශාලාව සඟසතු කොට පූජාකිරීමේ පුණ්‍ය මහෝත්සවය… appeared first on Mahamevnawa Monastery.

පහන් සිල නිවෙන ලෙස පිරිනිවී වැඩි සේක..! – 06

$
0
0
Pahan-Sila-nivena-lesa6

පසුගිය ලිපිය හා සබැඳේ↓

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

 

  2.3. මහා පරිනිබ්බාන සූත්‍රය (6 කොටස)
භාග්‍යවතුන් වහන්සේගේ මහා පරිනිර්වාණය ගැන වදාළ දෙසුම (6 කොටස)

 

එකල්හී භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවෙන් කරුණු දක්වන ලද, සමාදන් කරවන ලද, උනන්දු කරවන ලද, සතුටු කරවන ලද රන්කරුපුත්‍ර චුන්ද තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, භික්ෂු සංඝයා සමඟ භාග්‍යවතුන් වහන්සේ මාගේ දානය හෙට දිනය උදෙසා පිළිගන්නා සේක්වා!”

භාග්‍යවතුන් වහන්සේ නිහඬ ව වැඩ සිටීමෙන් එම ඇරයුම පිළිගත් සේක. ඉක්බිති රන්කරුපුත්‍ර චුන්ද තෙමේ භාග්‍යවතුන් වහන්සේ තම ඇරයුම පිළිගත් බව දැන, හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට පිටත් ව ගියේ ය.

ඉක්බිති රන්කරුපුත්‍ර චුන්ද තෙමේ ඒ රාත්‍රිය ඇවෑමෙන් ස්වකීය නිවසෙහි ප්‍රණීත අයුරින් ඛාද්‍ය භෝජ්‍යය පිළියෙල කොට බොහෝ වූ ත් සූකරමද්දව පිළියෙල කොට භාග්‍යවතුන් වහන්සේට කල් දැනුම් දුන්නේ ය.

“ස්වාමීනී, කාලය යි. දානය පිළියෙල කොට නිමවන ලද්දේ ය.”

එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවා ගෙන පාත්‍රය හා සිවුර ගෙන භික්ෂු සංඝයා සමඟ රන්කරුපුත්‍ර චුන්දයන්ගේ නිවසට වැඩම කළ සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ රන්කරුපුත්‍ර චුන්දයන් ඇමතූ සේක.

“චුන්දයෙනි, ඔබ විසින් පිළියෙල කරන ලද යම් සූකර මද්දවයක් ඇද්ද, එයින් මා හට දානෝපස්ථාන කරව. යම් අන්‍ය වූ ඛාද්‍ය භෝජ්‍යයක් පිළියෙල කොට ඇද්ද, එයින් භික්ෂු සංඝයා හට දානෝපස්ථාන කරව.”

“එසේ ය, ස්වාමීනී” යි රන්කරුපුත්‍ර චුන්ද තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පිළියෙල කරන ලද යම් සූකර මද්දවයක් ඇද්ද, එයින් භාග්‍යවතුන් වහන්සේ වැළඳවීය. අන්‍ය වූ යම් ඛාද්‍ය භෝජ්‍යයක් පිළියෙල කොට ඇද්ද, එයින් භික්ෂු සංඝයා වැළඳවීය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රන්කරුපුත් චුන්දයන් ඇමතූ සේක.

“චුන්දයෙනි, ඉතිරි වූ යම් සූකරමද්දවයක් ඇද්ද, එය වළකට දමව. චුන්දයෙනි, තථාගතයන් හැර එය වැළඳු යමෙකුන්ට මනාකොට දිරවා යයි නම්, එබඳු වූ කෙනෙකු දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි මම නොදකිමි.”

“එසේ ය, ස්වාමීනී” යි රන්කරුපුත් චුන්ද තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඉතිරි වූ යම් සූකර මද්දවයක් ඇද්ද, එය වළකට දමා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස්ව හිඳගත්තේ ය. එකත්පස් ව හිඳගත් රන්කරුපුත් චුන්දයන් හට භාග්‍යවතුන් වහන්සේ ධර්ම කථාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, උනන්දු කරවා, සතුටට පත් කරවා, හුනස්නෙන් නැගිට නික්ම වැඩි සේක.

ඉක්බිති රන්කරුපුත් චුන්දයන්ගේ දානය වැළඳු භාග්‍යවතුන් වහන්සේ හට දරුණු ලෙස ලෝහිත පක්ඛන්දිකා නම් වූ ලේ අතීසාර රෝගය උපන්නේ ය. මාරාන්තික වූ දැඩි වේදනාවෝ පැවැත්තාහ. භාග්‍යවතුන් වහන්සේ මනා සිහි නුවණින් යුතුව සිතින් පීඩාවකට පත් නොවෙමින් එය ඉවසන සේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“එන්න, ආනන්දයෙනි, කුසිනාරාව යම් තැනක ද, එහි යන්නෙමු.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.

චුන්දස්ස භත්තං භුඤ්ජිත්වා – කම්මාරස්සාති මේ සුතං
ආබාධං සම්ඵුසී ධීරෝ – පබාළ්හං මාරණන්තිකං

රන්කරුපුත් චුන්දයන්ගේ දානය වැළඳු, නුවණින් ධෛර්යමත් වූ අප භාග්‍යවතුන් වහන්සේ මාරාන්තික වූ දරුණු රෝගාබාධයක් ස්පර්ශ කළ සේක යි මා විසින් අසන ලද්දේ ය.

භුත්තස්ස ච සූකර මද්දවේන
බ්‍යාධිප්පබාළ්හේ උදපාදි සත්ථුනෝ
විරිඤ්චමානෝ භගවා අවෝච
ගච්ඡාමහං කුසිනාරං නගරන්ති

සූකර මද්දවයෙන් යුතු දානය වැළඳු අප ශාස්තෘන් වහන්සේ හට ඉතා දරුණු රෝගාබාධයක් උපන්නේ ය. ලේ අතීසාරයෙන් විරේක වෙමින් සිටි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ‘මම කුසිනාරා නුවරට යමි’ යි.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වඩිමින් සිටි මාර්ගයෙන් ඉවත් වී එක්තරා රුක් සෙවණක් යම් තැනක තිබුණේ ද, එතැනට වැඩි සේක. වැඩම කොට ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක.

“එසේ නම් ආනන්දයෙනි, ඔබ මාගේ සඟල සිවුර සතරට නවා ඇතිරිල්ලක් සේ පණවව්. ආනන්දයෙනි, ක්ලාන්ත ඇත්තෙමි. හිඳගන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේගේ දෙපට සිවුර සතරට නවා අසුනක් පැණවූහ. භාග්‍යවතුන් වහන්සේ පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. එසේ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක.

“එසේ නම් ඔබ ආනන්දයෙනි, මා හට පැන් ගෙන එන්න. පිපාස ඇත්තෙමි ආනන්දයෙනි. පැන් වළඳන්නෙමි.”

මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, දැන් එතැනින් ගැල් පන්සියයක් පමණ නික්ම ගියාහු ය. ගැල් රෝදයෙන් ඒ ස්වල්ප ජලයෙහි පහන් බව සිඳුණේ ය. කැළඹී, බොර වී ගලයි. ස්වාමීනී, මේ කකුත්ථා නදිය වැඩි දුරක නැත්තේ ය. එහි පහන් දිය ඇත්තේ ය. මිහිරි දිය ඇත්තේ ය. සිහිල් දිය ඇත්තේ ය. මඩ නැත්තේ ය. මනා තොට ඇත්තේ ය. රමණීය ය. එහිදී භාග්‍යවතුන් වහන්සේට පැන් ද වළඳනු හැකි වන සේක. ඇඟපත ද සිහිල් කරගත හැකි වන සේක.

භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වතාවට ත් ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක.

“එසේ නම් ඔබ ආනන්දයෙනි, මා හට පැන් ගෙන එන්න. පිපාස ඇත්තෙමි ආනන්දයෙනි. පැන් වළඳන්නෙමි.”

දෙවෙනි වතාවට ත් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, දැන් එතැනින් ගැල් පන්සියයක් පමණ නික්ම ගියාහු ය. ගැල් රෝදයෙන් ඒ ස්වල්ප ජලයෙහි පහන් බව සිඳුණේ ය. කැළඹී, බොර වී ගලයි. ස්වාමීනී, මේ කකුත්ථා නදිය වැඩි දුරක නැත්තේ ය. එහි පහන් දිය ඇත්තේ ය. මිහිරි දිය ඇත්තේ ය. සිහිල් දිය ඇත්තේ ය. මඩ නැත්තේ ය. මනා තොට ඇත්තේ ය. රමණීය ය. එහිදී භාග්‍යවතුන් වහන්සේට පැන් ද වළඳනු හැකි වන සේක. ඇඟපත ද සිහිල් කරගත හැකි වන සේක.

භාග්‍යවතුන් වහන්සේ තුන්වෙනි වතාවට ත් ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක.

“එසේ නම් ඔබ ආනන්දයෙනි, මා හට පැන් ගෙන එන්න. පිපාස ඇත්තෙමි ආනන්දයෙනි. පැන් වළඳන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පාත්‍රය ගෙන කුඩා දිය පහරින් යුතු ඒ නදිය යම් තැනක ද, එතැනට එළඹුනහ.

ඉක්බිති ගැල් රෝදයෙන් පහන් බව සිඳී ගිය, කැළඹී ගිය, බොර වී ගිය, ස්වල්ප ජලය ගලමින් තිබූ ඒ නදිය වෙත ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ළං වෙන කල්හී පහන් වූ ජලය ඇති ව, ඉතා පහන් ව, නොකැළඹී ගලා ගියා ය. ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මේ අදහස ඇතිවූයේ ය.

‘භවත්නි, තථාගතයන් වහන්සේගේ මහා ඉර්ධිමත් බව, මහානුභාව සම්පන්න බව ඒකාන්තයෙන්ම ආශ්චර්යයකි! භවත්නි, ඒකාන්තයෙන් ම අද්භූතයකි! මේ ඒ කුඩා නදී තොමෝ ගැල් රෝදයෙන් පහන් බව සිඳී ගොස් කැළඹී, බොර වී ස්වල්ප ජලයෙන් යුතුව ගලා යන්නී, මා නදිය වෙත පැමිණෙන කල්හී පහන් ව, ඉතා පහන් ව, නොකැළඹී ගලන්නී ය.’

පාත්‍රයෙන් පැන් ගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩහුන් සේක් ද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, තථාගතයන් වහන්සේගේ මහා ඉර්ධිමත් බව, මහානුභාව සම්පන්න බව ආශ්චර්යයි! ස්වාමීනී. ඒකාන්තයෙන් ම අද්භූතයි! ස්වාමීනී, දැන් ඒ කුඩා නදී තොමෝ ගැල් රෝදයෙන් පහන් බව සිඳී ගොස් කැළඹී, බොර වී ස්වල්ප ජලයෙන් යුතුව ගලා යන්නී, මා නදිය වෙත පැමිණෙන කල්හී පහන් ව, ඉතා පහන් ව, නොකැළඹී ගලා ගියා ය. භාග්‍යවතුන් වහන්සේ පැන් වළඳන සේක්වා! සුගතයන් වහන්සේ පැන් වළඳන සේක්වා!”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පැන් වැළඳු සේක.

එසමයෙහි ආළාරකාලාමයන්ගේ ශ්‍රාවක වූ පුක්කුස නම් මල්ලපුත්‍ර තෙමේ කුසිනාරා නම් නුවර සිට පාවා නුවරට යන දිගු මගට පිළිපන්නේ වෙයි. ඒ පුක්කුස මල්ලපුත්‍ර තෙමේ එක්තරා රුක් සෙවණක වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ ව දුටුවේ ය. දැක භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩහුන් සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් පුක්කුස මල්ලපුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, ආශ්චර්යයකි! ස්වාමීනී, අද්භූතයකි! ස්වාමීනී, පැවිදි උතුමෝ ඒකාන්තයෙන් ම සංසිඳී ගිය විහරණයෙන් වසන සේක.

ස්වාමීනී, මෙය පෙර සිදුවූවකි. ආළාරකාලාම තෙමේ දීර්ඝ මාර්ගයකට පිළිපන්නේ මාර්ගයෙන් ඉවත් ව දිවා විහරණය පිණිස නුදුරෙහි වූ එක්තරා රුක් සෙවණක හුන්නේ ය. ඉතින් ස්වාමීනී, ගැල් පන්සියයක් පමණ ආළාරකාලාමයන් අසලින් අසලින් ඉක්ම ගියාහු ය. ඉතින් ස්වාමීනී, එක්තරා පුරුෂයෙක් ඒ ගැල් පසුපසින් එන්නේ ආළාරකාලාමයන් යම් තැනක හුන්නේ ද, එතැනට පැමිණියේ ය. පැමිණ ආළාරකාලාමයන්ට මෙය පැවසුවේ ය.

‘හිමියනි, ගැල් කරත්ත පන්සියයක් පමණ ඉක්ම යනු දුටුවෙහි ද?’

‘ආයුෂ්මත, මම නුදුටුවෙමි.’

‘කිම? හිමියනි, එහි ශබ්දයවත් ඇසුවෙහි ද?’

‘ආයුෂ්මත, මම ශබ්දය නොඇසුවෙමි.’

‘කිම? හිමියනි, සැතපී සිටියෙහි ද?’

‘ආයුෂ්මත, මම සැතැපී නොසිටියෙමි.’

‘කිම? හිමියනි, දැනුවත් ව සිටියෙහි ද?’

‘එසේ ය, ආයුෂ්මත.’

‘හිමියනි, ඒ ඔබ දැනුවත් ව, අවදි ව, වාඩි වී සිටියදී ඔබ අසලින් අසලින් ඉක්ම යන්නා වූ පන්සියයක් පමණ වූ ගැල් නොදැක්කේ ය. එහි හඬ නොඇසුවේ ය. එසේ නමුත් හිමියනි, ඔබගේ සඟල සිවුර දුහුවිල්ලෙන් වැසී ගියේ ය.’

‘එසේ ය, ආයුෂ්මත’ යි ආළාරකාලාම තෙමේ පිළිතුරු දුන්නේ ය.

ඉතින් ස්වාමීනී, ඒ පුරුෂයාට මෙසේ සිතුණේ ය. ‘භවත්නි, ඒකාන්තයෙන් ම ආශ්චර්යයි! භවත්නි, ඒකාන්තයෙන් අද්භූතයි! භවත්නි, ඒකාන්තයෙන් පැවිදි උතුමෝ සංසිඳී ගිය විහරණයෙන් වාසය කරති. යම් තැනක නම්, දැනුවත් ව අවදි ව හිඳිමින් පන්සියයක් පමණ වූ ගැල් ළඟ ළඟින් ම නික්ම යද්දී නොදැක්කේ ය. හඬ නොඇසුවේ ය’ යි ආළාරකාලාමයන් කෙරෙහි මහත් වූ ප්‍රසාදයක් පහළ කොට නික්ම ගියේ ය.”

“පුක්කුසයෙනි, මේ ගැන කුමක් සිතන්නෙහි ද? අසීරුතර වූ ත්, දුර්ලභ තර වූ ත් දෙය කවරක් ද? යමෙක් දැනුවත් ව අවදියෙන් සිටියදී පන්සියයක් පමණ වූ ගැල් ළඟ ළඟින් ඉක්ම යද්දී නොදකියි නම්, හඬ නොඅසයි නම්, එය ද? එසේ ත් නැත්නම් යමෙක් දැනුවත් ව, අවදියෙන් සිටියදී අහස ගොරවමින් ධාරාණිපාත වැසි වසින කල්හී, විදුලිය කොටන කල්හී, මහ හෙණ හඬ පුපුරන කල්හී නොදකියි නම්, හඬ නොඅසයි නම් එය ද?”

“ස්වාමීනී, ගැල් පන්සියයක් වේවා, ගැල් හයසියයක් වේවා, ගැල් සත්සියයක් වේවා, ගැල් අටසියයක් වේවා, ගැල් නවසියයක් වේවා, ගැල් දහසක් වේවා, ගැල් සියදහසක් වේවා, කුමක් නම් කරන්නේ ද? එනමුත් යමෙක් දැනුවත් ව, අවදියෙන් සිටියදී අහස ගොරවමින් ධාරාණිපාත වැසි වසින කල්හී, විදුලිය කොටන කල්හී, මහ හෙණ හඬ පුපුරන කල්හී නොදකියි නම්, හඬ නොඅසයි නම්, එය ම දුෂ්කරතර ය. එය ම දුර්ලභතර ය.”

“පුක්කුසයෙනි, එක් සමයක මම ආතුමාවෙහි පිදුරු කුටියක වාසය කළෙමි. එසමයෙහි වැස්ස වසිද්දී අහස ගුගුරුවමින් ධාරාණිපාත වැස්ස ඇදහැලෙද්දී, විදුලිය කොටද්දී, මහ හෙණ හඬ පුපුරා යද්දී, ඒ පිදුරු කුටිය අසල සොයුරු වූ ගොවියන් දෙදෙනෙක් ද, ගවයන් සතර දෙනෙක් ද නැසුණාහු ය.

එකල්හී පුක්කුසයෙනි, ආතුමාවෙන් මහා ජන සමූහයා නික්ම අවුත් සහෝදර ගොවියන් දෙදෙනා ත්, ගවයන් සතර දෙනා ත්, යම් තැනක මැරී සිටියාහු ද, එතැනට පැමිණියහ. පුක්කුසයෙනි, එවේලෙහි මම පිදුරු කුටියෙන් නික්ම, පිදුරු කුටියෙහි දොරටු එළිමහනෙහි සක්මන් කරමි. එකල්හී පුක්කුසයෙනි, ඒ මහා ජනයා අතර සිටි එක්තරා පුරුෂයෙක්, මම යම් තැනක සක්මන් කළෙම් ද, එතැනට පැමිණියේ ය. පැමිණ මා හට සකසා වන්දනා කොට එකත්පස් ව සිටගත්තේ ය. පුක්කුසයෙනි, එකත්පස් ව සිටගත් ඒ පුරුෂයාගෙන් මම මෙය ඇසුවෙමි.

‘ආයුෂ්මත, මේ මහා ජනකායක් රැස් ව ඉන්නේ මක් නිසා ද?’

‘දැන් ස්වාමීනී, වැසි වසින කල්හී, අහස ගුගුරුවා මහා වැසි ඇද හැලෙන කල්හී, විදුලිය කොටන කල්හී, මහා හෙණ හඬ පුපුරා යන කල්හී, සහෝදර ගොවීන් දෙදෙනෙකුත් ගොනුන් සතර දෙනෙකුත් නැසී ගියාහු ය. ඒ මහා ජනයා රැස් ව සිටින්නේ එතැන ය. ස්වාමීනී, නුඹවහන්සේ කොහි සිටි සේක් ද?’

‘ආයුෂ්මත, මම මෙහි ම සිටියෙමි.’

‘කිම? ස්වාමීනී, එය නොදැක්ක සේක් ද?’

‘ආයුෂ්මත, මම නොදැක්කෙමි.’

‘කිම? ස්වාමීනී, මහා හෙණ හඬ පුපුරනු නොඇසූ සේක් ද?’

‘ආයුෂ්මත, මම හඬක් නොඇසුවෙමි.’

‘කිම? ස්වාමීනී, සැතැපී සිටි සේක් ද?’

‘ආයුෂ්මත, මම සැතැපී නොසිටියෙමි.’

‘කිම? ස්වාමීනී, දැනුවත් ව සිටි සේක් ද?’

‘එසේ ය, ආයුෂ්මත.’

‘ස්වාමීනී, ඒ ඔබවහන්සේ දැනුවත් ව, අවදි ව සිටියදී, වැසි වසින කල්හී, අහස ගුගුරුවා මහ වැසි ඇදහැලෙන කල්හී, විදුලිය කොටන කල්හී, මහ හෙණ හඬ පුපුරන කල්හී, නොදැක්ක සේක් ද? එහි හඬ නොඇසූ සේක් ද?’

‘එසේ ය, ආයුෂ්මත’ යි මම කිව්වෙමි.

එවිට පුක්කුසයෙනි, ඒ පුරුෂයා හට මේ අදහස ඇතිවූයේ ය. ‘භවත්නි, ඒකාන්තයෙන් ම ආශ්චර්යයකි! භවත්නි, ඒකාන්තයෙන් ම අද්භූතයකි. භවත්නි ඒකාන්තයෙන් ම පැවිදි උතුමෝ සංසිඳී ගිය විහරණයෙන් වාසය කරති. යම් තැනක නම් දැනුවත් ව, අවදියෙන් සිටින විට, වැසි වසින කල්හී, අහස ගුගුරුවා මහ වැසි ඇදහැලෙන කල්හී, විදුලිය කොටන කල්හී, මහ හෙණ හඬ පුපුරන කල්හී, නොදකිති. හඬ නොඅසති’ යි මා කෙරෙහි උදාර වූ පැහැදීමක් පහළ කොට, මා හට වන්දනා කොට, පැදකුණු කොට නික්ම ගියේ ය.”

මෙසේ වදාළ කල්හී පුක්කුස මල්ලපුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, ආළාර කාලාමයන් කෙරෙහි යම් පැහැදීමක් මා තුළ තිබුණේ ද, මම එය මහසුළඟෙහි පිඹ හෝ හරිමි. නදියෙහි වේගවත් ජල පහරෙහි පා කොට හෝ හරිමි. ස්වාමීනී, ඉතා මනහර ය. ස්වාමීනී, ඉතා මනහර ය. ස්වාමීනී, එය මෙබඳු දෙයකි. යටට හරවා තිබූ දෙයක් උඩට හරවන්නේ යම් සේ ද, වැසුණු දෙයක් විවර කරන්නේ යම් සේ ද, මංමුලාවූවෙකුට හරිමග පවසන්නේ යම් සේ ද, ‘ඇස් ඇත්තවුන් රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ යම් සේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය වදාරණ ලද්දේ ය. ස්වාමීනී, ඒ මම භාග්‍යවතුන් වහන්සේ ව සරණ යමි. ධර්මය ත්, භික්ෂු සංඝයා ත් සරණ යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු ලෙස මාව පිළිගන්නා සේක්වා!”

ඉක්බිති පුක්කුස මල්ලපුත්‍ර තෙමේ එක්තරා පුරුෂයෙකු ඇමතුවේ ය.

“එසේ නම් එම්බා සගය, ඔබ රන් නූලෙන් වියන ලද, සියුමැලි වූ, උත්සව අවස්ථාවන්හි පොරොවන මාගේ වස්ත්‍ර යුගල ගෙනෙව.”

“එසේ ය, හිමියනි” යි ඒ පුරුෂයා පුක්කුස මල්ලපුත්‍රයාට පිළිවදන් දී රන් නූලෙන් වියන ලද, සියුමැලි, උත්සවයන්හි දැරිය යුතු ඒ වස්ත්‍ර යුගල ගෙන ආවේ ය. එවිට පුක්කුස මල්ලපුත්‍ර තෙමේ රන් නූලෙන් වියන ලද, සියුමැලි, උත්සවයන්හි දැරිය යුතු ඒ වස්ත්‍ර යුගල භාග්‍යවතුන් වහන්සේ වෙත දෝතින් යොමු කළේ ය.

“ස්වාමීනී, මේ රන් නූලෙන් වියන ලද, සියුමැලි, උත්සවයන්හි දැරිය යුතු වස්ත්‍ර යුගලකි. ස්වාමීනී, මා කෙරෙහි අනුකම්පාව උපදවා භාග්‍යවතුන් වහන්සේ මෙය පිළිගන්නා සේක්වා!”

“එසේ වී නම් පුක්කුසය, එකකින් මා පුදව. එකකින් ආනන්දයන් පුදව.”

“එසේ ය, ස්වාමීනී” යි පුක්කුස මල්ලපුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී එකකින් භාග්‍යවතුන් වහන්සේ පිදුවේ ය. එකකින් ආයුෂ්මත් ආනන්දයන් පිදුවේ ය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පුක්කුස මල්ලපුත්‍රයාට ධර්ම කථාවෙන් කරුණු දැක්වූ සේක. සමාදන් කරවූ සේක. උනන්දු කරවූ සේක. සතුටු කරවූ සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවෙන් කරුණු දක්වන ලද, සමාදන් කරවන ලද, උනන්දු කරවන ලද, සතුටු කරවන ලද පුක්කුස මල්ලපුත්‍ර තෙමේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට නික්ම ගියේ ය.

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ පුක්කුස මල්ලපුත්‍රයා නික්ම ගිය නොබෝ වේලාවකින් රන් නූලෙන් වියන ලද, සියුමැලි, උත්සවයන්හි දැරිය යුතු ඒ වස්ත්‍ර යුගල ගෙන භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි පෙරවූහ. ඒ වස්ත්‍ර යුගල පෙරවූ කල්හී භාග්‍යවතුන් වහන්සේගේ සිරුර ගිනි දැල් රහිත ව, රත් පැහැයෙන් බබලන ගිනි අඟුරු මෙන් දිස්වූයේ ය.

ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, ආශ්චර්යයකි! ස්වාමීනී, අද්භූතයකි! ස්වාමීනී, තථාගතයන් වහන්සේගේ සිවි පැහැය මොනතරම් නම් පිරිසිදුයි ද? මොනතරම් නම් බබලයි ද? ස්වාමීනී, රන් නූලෙන් වියන ලද, සියුමැලි, උත්සව අවස්ථාවන්හි දරන ඒ වස්ත්‍ර යුගල පෙරවූ කල්හී භාග්‍යවතුන් වහන්සේගේ සිරුර ගිනි දැල් රහිත ව රත් පැහැයෙන් දිලෙන ගිනි අඟුරක් සේ දිස්වෙයි.”

“ආනන්දයෙනි, එය එසේ ම ය. ආනන්දයෙනි, අවස්ථා දෙකක දී තථාගතයන්ගේ ශරීරය අතිශයින් ම පිරිසිදු ව දිස්වෙයි. සිවි පැහැය අතිශයින් ම බබලයි. ඒ කවර අවස්ථා දෙකක දී ද?

ආනන්දයෙනි, යම් රාත්‍රියක තථාගත තෙමේ අනුත්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ට වූ නුවණින් අවබෝධ කරයි ද, යම් රාත්‍රියක තථාගත තෙමේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පායි ද, ආනන්දයෙනි, මේ අවස්ථා දෙකෙහි දී තථාගතයන්ගේ ශරීරය අතිශයින් ම පිරිසිදු ව දිස්වෙයි. සිවි පැහැය අතිශයින් ම බබලයි. ආනන්දයෙනි, අද රාත්‍රියෙහි අවසන් යාමයෙහි කුසිනාරාවෙහි මල්ල රජුන්ගේ උපවර්තන සල්වනයෙහි සල් ගස් දෙකක් අතරෙහි තථාගතයන්ගේ පරිනිර්වාණය වන්නේ ය.

එන්න ආනන්දයෙනි, කකුත්ථා නදිය යම් තැනක ද, එහි යන්නෙමු.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහු ය.

“සිංගීවණ්ණං යුගං මට්ඨං – පුක්කුසෝ අභිහාරයි
තේන අච්ඡාදිතෝ සත්ථා – හේමවණ්ණෝ අසෝභථා’ති.

පුක්කුස තෙමේ මටසිලිටි වූ රන්වන් වස්ත්‍ර යුගලක් පිළිගැන්නුවේ ය. එය පෙරවූ කල්හී ශාස්තෘන් වහන්සේ රන් පැහැයෙන් ශෝභමාන ව ගිය සේක.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂු සංඝයා සමඟ කකුත්ථා නදිය යම් තැනක ද, එහි වැඩි සේක. වැඩම කොට කකුත්ථා නදී දියට බැස ස්නානය කොට පැන්පහසු වී, පැන් වළඳා නදියෙන් ගොඩට වැඩම කොට, අඹ වනය යම් තැනක ද, එහි වැඩි සේක. වැඩම කොට ආයුෂ්මත් චුන්දක තෙරුන් ඇමතූ සේක.

“එසේ නම් චුන්දකයෙනි, මා හට දෙපොට සිවුර සතරට නවා ඇතිරිල්ලක් සේ පණවන්න. ක්ලාන්ත ඇත්තෙමි චුන්දකයෙනි. සැතැපෙන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් චුන්දකයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී දෙපොට සිවුර සතරට නවා ඇතිරිල්ලක් පැණවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දකුණු ශ්‍රී පාදයෙන් වම් ශ්‍රී පාදය මදක් මෑත් කොට තබා, සිහියෙන් හා නුවණින් යුක්ත ව, නැගී සිටින සංඥාව මෙනෙහි කොට දකුණු ඇලයෙන් සිංහ සෙය්‍යාවෙන් සැතැපුණු සේක. ආයුෂ්මත් චුන්දකයන් වහන්සේ එහි ම භාග්‍යවතුන් වහන්සේට ඉදිරියෙන් හිඳගත්හ.

ගන්ත්වාන බුද්ධෝ නදියං කකුත්ථං
අච්ඡෝදකං සාතෝදකං විප්පසන්නං
ඕගාහි සත්ථා සුකිලන්තරූපෝ
තථාගතෝ අප්පටිමෝ’ධ ලෝකේ

මේ ලෝකයෙහි කිසිවෙකු හා සමාන නොවූ, තථාගත වූ, ශාස්තෘ වූ, බුදුරජාණන් වහන්සේ කකුත්ථා නදිය වෙත වැඩම කළ සේක. ක්ලාන්ත වන ස්වභාවයෙන් සිටි සේක්, පහන් දිය ඇති, මිහිරි දිය ඇති, ඉතා පහන් ව ගිය දිය ඇති නදියෙහි බැස්ස සේක.

නහාත්වා ච පීත්වා චුදතාරි සත්ථා
පුරක්ඛතෝ භික්ඛුගණස්ස මජ්ඣේ
සත්ථා පවත්තා භගවා’ධ ධම්මේ
උපාගමී අම්බවනං මහේසී

අප ශාස්තෘන් වහන්සේ කකුත්ථා නදියෙහි ස්නානය කළ සේක්, පැන් වැළඳු සේක්, එයින් ගොඩට වැඩම කොට භික්ෂු සංඝයා මැද මුලින් වැඩසිටි සේක්, මේ දස දහස් සක්වල ධර්ම චක්‍රය කරකවා වදාළ මහා සෘෂි වූ ශාස්තෘන් වහන්සේ අඹවනය වෙත වැඩම කළ සේක.

ආමන්තයී චුන්දකං නාම භික්ඛුං
චතුග්ගුණං පත්ථර මේ නිපච්ඡං
සෝ වෝදිතෝ භාවිතත්තේන චුන්දෝ
චතුග්ගුණං පත්ථරි ඛිප්පමේව
නිපජ්ජි සත්ථා සුකිලන්තරූපෝ
චුන්දෝ’පි තත්ථ පමුඛේ නිසීදී’ති

චුන්දක නම් භික්ෂුව ඇමතූ සේක. ‘මා හට දෙපට සිවුර සතරට නවා අතුරාලන්න. සැතැපෙන්නෙමි’ යි. වඩන ලද සිත් ඇති, අප භාග්‍යවතුන් වහන්සේ විසින් මෙහෙයවන ලද ඒ චුන්දක භික්ෂුව වහා ම සඟල සිවුර සතරට නවා ඇතිරුවේ ය. දැඩි ක්ලාන්ත ස්වභාවයෙන් වැඩසිටි අප ශාස්තෘන් වහන්සේ එහි සැතැපුණු සේක. චුන්දක තෙරණුවෝ ත් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි හිඳගත්හ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක.

“ආනන්දයෙනි, රන්කරුපුත් චුන්දයන් හට කිසිවෙකු පසුතැවිල්ලක් උපදවන්නට පුළුවනි. ‘ආයුෂ්මත් චුන්ද, ඔබට අලාභයකි! ඔබට නපුරු ලැබීමකි! ඔබගේ අන්තිම පිණ්ඩපාත දානය වැළඳු තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ සේකැ’යි යනුවෙනි.

ආනන්දයෙනි, රන්කරුපුත් චුන්දයන්ගේ පසුතැවිල්ල මෙසේ දුරු කළ යුත්තේ ය. ‘ආයුෂ්මත, එය ඔබට ලාභයකි! එය ඔබට මනා ලැබීමකි! ඔබගේ අන්තිම පිණ්ඩපාත දානය වැළඳා තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ සේක. ආයුෂ්මත් චුන්ද, මා විසින් භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි මෙය අසන ලද්දේ ය. හමුවෙහි පිළිගන්නා ලද්දේ ය.

මේ පිණ්ඩපාත දාන දෙකක් සමඵල – සමවිපාක ඇත්තේ ය. අනෙක් පිණ්ඩපාත දානයන්ට වඩා අතිශයින් ම මහත්ඵලතර මහානිශංසතර වන්නේ ය. ඒ කවර පිණ්ඩපාත දාන දෙකක් ද යත්;

යම් පිණ්ඩපාත දානයක් වළඳා තථාගත තෙමේ අනුත්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරයි ද, යම් පිණ්ඩපාත දානයක් වළඳා තථාගත තෙමේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවීමට පත්වෙයි ද, එය යි.

මේ පිණ්ඩපාත දාන දෙක සමඵල – සමවිපාක ඇත්තේ ය. අනෙක් පිණ්ඩපාත දානයන්ට වඩා අතිශයින් මහත්ඵලතර, මහානිශංසතර වන්නේ ය.

රන්කරුපුත් ආයුෂ්මත් චුන්දයන් විසින් දීර්ඝායුෂ පිණිස පවතින පුණ්‍ය කර්මයක් රැස් කරන ලද්දේ ය. රන්කරුපුත් ආයුෂ්මත් චුන්දයන් විසින් සැපය පිණිස පවතින පුණ්‍ය කර්මයක් රැස් කරන ලද්දේ ය. රන්කරුපුත් ආයුෂ්මත් චුන්දයන් විසින් වර්ණය පිණිස පවතින පුණ්‍ය කර්මයක් රැස් කරන ලද්දේ ය. රන්කරුපුත් ආයුෂ්මත් චුන්දයන් විසින් යසස පිණිස පවතින පුණ්‍ය කර්මයක් රැස් කරන ලද්දේ ය. රන්කරුපුත් ආයුෂ්මත් චුන්දයන් විසින් අධිපති බව පිණිස පවතින පුණ්‍ය කර්මයක් රැස් කරන ලද්දේ ය’ වශයෙන් ආනන්දයෙනි, රන්කරු පුත් චුන්දයන්ගේ පසුතැවිල්ල මේ අයුරින් දුරු කළ යුත්තේ ය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ දැන එවේලෙහි මේ උදානය පහළ කළ සේක.

“දදතෝ පුඤ්ඤං පවඩ්ඪති – සඤ්ඤමතෝ වේරං න වීයති
කුසලෝ ච ජහාති පාපකං – රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතෝ’ති

දන් දෙන්නා හට පින් වැඩෙයි. සංවර ඉඳුරන් ඇති කෙනා තුළ වෛරය නොපිහිටයි. දක්ෂ කෙනා පව් බැහැර කරයි. රාග, ද්වේෂ, මෝහ ක්ෂය කළ තැනැත්තා පිරිනිවුනේ වෙයි.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක.

“එන්න ආනන්දයෙනි, හිරණ්‍යවතී නදියෙහි එතෙර යම් තැනක ද, කුසිනාරාව යම් තැනක ද, මල්ල රජුන්ගේ උපවර්තන සල්වනය යම් තැනක ද, එහි යන්නෙමු.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.

→ මතු සම්බන්ධ යි…

- උපුටා ගැනීම –

සූත්‍ර පිටකයට අයත් ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය – දීඝ නිකාය 2 - පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ

The post පහන් සිල නිවෙන ලෙස පිරිනිවී වැඩි සේක..! – 06 appeared first on Mahamevnawa Monastery.


පහන් සිල නිවෙන ලෙස පිරිනිවී වැඩි සේක..! – 07

$
0
0
Pahan-Sila-nivena-lesa7

පසුගිය ලිපිය හා සබැඳේ↓

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

 

  2.3. මහා පරිනිබ්බාන සූත්‍රය (7 කොටස)
භාග්‍යවතුන් වහන්සේගේ මහා පරිනිර්වාණය ගැන වදාළ දෙසුම (7 කොටස)

 

එකල්හී භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂු සංඝයා සමඟ හිරණ්‍යවතී නදියෙහි එතෙර යම් තැනක ද, කුසිනාරාව යම් තැනක ද, මල්ලරජුන්ගේ උපවර්තන සල්වනය යම් තැනක ද, එහි වැඩි සේක. වැඩම කොට ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක.

“එසේ නම් ඔබ ආනන්දයෙනි, සාල වෘක්ෂ දෙක අතරෙහි උතුරට හිසලා මට ඇඳක් පණවන්න. ක්ලාන්ත ඇත්තෙමි ආනන්දයෙනි. සැතැපෙන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී සල් රුක් දෙක අතරෙහි උතුරට හිසලා ඇඳක් පැණවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දකුණු ශ්‍රී පාදයෙන් වම් ශ්‍රී පාදය මදක් මෑත් කොට තබා සිහියෙන් හා නුවණින් යුතුව දකුණු ඇලයෙන් යුතුව සිංහ සෙය්‍යාවෙන් සැතැපුණු සේක.

එසමයෙහි ඒ සල් රුක් දෙක නොකල්හී හටගත් මලින් යුතුව, මුළුමනින් ම මල් පිපී පිරී ගියේ ය. තථාගතයන් වහන්සේට පූජා පිණිස ඒ මල් ගිලිහී තථාගතයන් වහන්සේගේ සිරුර මත වැටෙයි. විසිර වැටෙයි. බොහෝ සෙයින් විසිර වැටෙයි. දිව්‍ය මදාරා මල් ද අහසින් වැටෙයි. තථාගතයන් වහන්සේට පූජා පිණිස ඒ දිව්‍ය මදාරා මල් තථාගතයන් වහන්සේගේ සිරුර මත වැටෙයි. විසිර වැටෙයි. බොහෝ සෙයින් විසිර වැටෙයි. දිව්‍ය සඳුන් කුඩු ද අහසින් වැටෙයි. තථාගතයන් වහන්සේට පූජා පිණිස ඒ දිව්‍ය සඳුන් කුඩු තථාගතයන් වහන්සේගේ සිරුර මත වැටෙයි. විසිර වැටෙයි. බොහෝ සෙයින් විසිර වැටෙයි. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍ය තූර්යනාදයෝ ද අහසෙහි වැයෙති. තථාගතයන් වහන්සේට පූජා පිණිස දිව්‍ය වූ සංගීතයෝ ද අහසෙහි පවතිත්.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක.

“ආනන්දයෙනි, මේ සල් රුක් දෙක නොකල්හී හටගත් මලින් යුතුව, මුළුමනින් ම මල් පිපී පිරී ගියේ ය. තථාගතයන්ට පූජා පිණිස ඒ මල් ගිලිහී තථාගතයන්ගේ සිරුර මත වැටෙයි. විසිර වැටෙයි. බොහෝ සෙයින් විසිර වැටෙයි. දිව්‍ය මදාරා මල් ද අහසින් වැටෙයි. තථාගතයන්ට පූජා පිණිස ඒ දිව්‍ය මදාරා මල් තථාගතයන්ගේ සිරුර මත වැටෙයි. විසිර වැටෙයි. බොහෝ සෙයින් විසිර වැටෙයි. දිව්‍ය සඳුන් කුඩු ද අහසින් වැටෙයි. තථාගතයන්ට පූජා පිණිස ඒ දිව්‍ය සඳුන් කුඩු තථාගතයන්ගේ සිරුර මත වැටෙයි. විසිර වැටෙයි. බොහෝ සෙයින් විසිර වැටෙයි. තථාගතයන්ට පූජා පිණිස දිව්‍ය තූර්යනාදයෝ ද අහසෙහි වැයෙති. තථාගතයන්ට පූජා පිණිස දිව්‍ය වූ සංගීතයෝ ද අහසෙහි පවතිත්.

ආනන්දයෙනි, මෙපමණකින් තථාගත තෙමේ සත්කාර හෝ නොකරන ලද්දේ ය. ගෞරව හෝ නොකරන ලද්දේ ය. බුහුමන් හෝ නොකරන ලද්දේ ය. පිදුම් හෝ නොකරන ලද්දේ ය. සැලකීම් හෝ නොකරන ලද්දේ ය. ආනන්දයෙනි, යම් භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා, උපාසකයෙක් වේවා, උපාසිකාවක් වේවා, ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුතුව, සාමීචිප්‍රතිපදාවෙන් යුතුව, අනුධම්මචාරී ව වාසය කරයි ද, ඔහු තථාගතයන් හට පරම වූ ප්‍රතිපත්ති පූජාවෙන් සත්කාර කරයි. ගෞරව කරයි. බුහුමන් දක්වයි. පුදයි. සලකයි. එහෙයින් ආනන්දයෙනි, ‘ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන්, සාමීචිප්‍රතිපදාවෙන් ධර්මයට අනුව හැසිරෙමින් වාසය කරන්නෙමු’ යි මෙසේ ම ආනන්දයෙනි, ඔබ විසින් හික්මිය යුත්තේ ය.”

එසමයෙහි ආයුෂ්මත් උපවාණයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පෙරටුව පවන් සළමින් සිටියාහු ය. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උපවාණයන් ‘භික්ෂුව, ඉවත් වෙන්න. මා ඉදිරියෙහි නොසිටින්නැ’යි බැහැර කළ සේක.

එවිට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මේ අදහස ඇතිවූයේ ය. ‘මේ ආයුෂ්මත් උපවාණයන් වහන්සේ බොහෝ කලක් භාග්‍යවතුන් වහන්සේ ළඟ හැසිරෙමින්, සමීපයෙහි සිටිමින් උපස්ථායක භික්ෂුවක් ව සිටියහ. එහෙත් භාග්‍යවතුන් වහන්සේ අවසාන අවස්ථාවෙහි ‘භික්ෂුව, ඉවත් වෙන්න. මා ඉදිරියෙහි නොසිටින්නැ’යි ආයුෂ්මත් උපවාණයන් බැහැර කළ සේක. යම් කරුණක් නිසා භාග්‍යවතුන් වහන්සේ ‘භික්ෂුව, ඉවත් වෙන්න. මා ඉදිරියෙහි නොසිටින්නැ’යි ආයුෂ්මත් උපවාණයන් බැහැර කළ සේක් නම්, එයට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද?’ යි.

ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, මේ ආයුෂ්මත් උපවාණයන් වහන්සේ බොහෝ කලක් භාග්‍යවතුන් වහන්සේ ළඟ හැසිරෙමින්, සමීපයෙහි සිටිමින් උපස්ථායක භික්ෂුවක් ව සිටියහ. එහෙත් භාග්‍යවතුන් වහන්සේ අවසාන අවස්ථාවෙහි ‘භික්ෂුව, ඉවත් වෙන්න. මා ඉදිරියෙහි නොසිටින්නැ’යි ආයුෂ්මත් උපවාණයන් බැහැර කළ සේක. යම් කරුණක් නිසා භාග්‍යවතුන් වහන්සේ ‘භික්ෂුව, ඉවත් වෙන්න. මා ඉදිරියෙහි නොසිටින්නැ’යි ආයුෂ්මත් උපවාණයන් බැහැර කළ සේක් නම්, ස්වාමීනී, එයට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද?”

“ආනන්දයෙනි, දස දහස් ලෝකධාතුවෙහි දේවතාවෝ තථාගතයන්ගේ අවසන් දර්ශනය දකිනු පිණිස බොහෝ සෙයින් රැස් වූවාහු ය. ආනන්දයෙනි, කුසිනාරාවෙහි මල්ල රජුන්ගේ උපවර්තන සල්වනය යම්තාක් පැතිරුණේ වෙයි ද, හාත්පස දොළොස් යොදුනක භූමියෙහි මහේශාක්‍ය දෙවිවරුන් නොසිටින හිඳිකටු තුඩක් පමණවත් තැබිය හැකි තැනක් නැත්තේ ය. ආනන්දයෙනි, දෙවිවරු මහා හçන් දොස් නගති. ‘අහෝ! ඒකාන්තයෙන් ම තථාගතයන් වහන්සේගේ දර්ශනය දකිනු පිණිස අපි දුර ඈත සිට ආවෙමු. ඉතාමත් ම ඉතාමත් කලාතුරකින් අරහත් සම්මා සම්බුදු තථාගතවරු ලොව පහළ වෙති. අද රාත්‍රී අවසන් යාමයේ ම තථාගතයන් වහන්සේගේ පිරිනිවීම වන්නේ ය. මේ මහේශාක්‍ය භික්ෂුව ද තථාගතයන් වහන්සේට පෙරටුවෙන් ආවරණය කරමින් සිටින්නේ නොවැ. තථාගතයන් වහන්සේගේ අන්තිම අවස්ථාවෙහි දර්ශනය අපි නොලබමු’ යි.”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කවර අයුරු වූ දේවතාවන් මෙනෙහි කරන සේක් ද?”

“ආනන්දයෙනි, අහසෙහි පෘථිවි සංඥා ඇති දේවතාවෝ සිටිති. ඔවුහු කෙස් වැටි මුදා හඬා වැටෙත්. දෑත් උඩට ඔසොවා හඬා වැටෙත්. සිඳී වැටෙන්නවුන් සේ වැටෙත්. වැටී එහා මෙහා පෙරළී යත්. ‘අහෝ! ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා සේක. අහෝ! ඉතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක. අහෝ! මහා කරුණාවෙන් ලොව බැලූ එක ම ඇස ඉතා ඉක්මනින් නොපෙනී යන්නේ ය’ කියා ය.

ආනන්දයෙනි, පෘථිවියෙහි පෘථිවි සංඥා ඇති දේවතාවෝ සිටිති. ඔවුහු කෙස් වැටි මුදා හඬා වැටෙත්. දෑත් උඩට ඔසොවා හඬා වැටෙත්. සිඳී වැටෙන්නවුන් සේ වැටෙත්. වැටී එහා මෙහා පෙරළී යත්. ‘අහෝ! ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා සේක. අහෝ! ඉතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක. අහෝ! මහා කරුණාවෙන් ලොව බැලූ එක ම ඇස ඉතා ඉක්මනින් නොපෙනී යන්නේ ය’ කියා ය.

යම් ඒ දේවතාවෝ වීතරාගී වෙත් ද, ඔවුහු සිහියෙන්, නුවණින් යුක්ත ව, ‘හේතු ප්‍රත්‍යයෙන් සකස් වූ සංස්කාරයෝ අනිත්‍යයහ. මෙහි නිත්‍ය දෙයක් කොයින් ලබන්නටදැ’යි ඉවසා සිටිති.”

“ස්වාමීනී, මීට කලින් වස් එළඹ සිටි භික්ෂූහු පවාරණයෙන් පසු තථාගතයන් වහන්සේ බැහැදැකීම පිණිස ඒ ඒ දිශාවලින් පැමිණෙති. එකල්හී අපි ඒ මනෝභාවනීය භික්ෂු සංඝයාගේ දැක්මට, ඇසුරු කිරීමට ඉඩප්‍රස්ථා ලබමු. එහෙත් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් මනෝභාවනීය භික්ෂූන්ගේ දර්ශනය ත් අපි නොලබන්නෙමු. ඇසුරත් නොලබන්නෙමු.”

“ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු මේ සතර ස්ථානයක් ඇත්තේ ය. ඒ කවර සතර ස්ථානයක් ද යත්;

1. ‘මෙහි තථාගතයන් වහන්සේ උපන් සේක’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු ස්ථානයක් ඇත්තේ ය.

2. ‘මෙහි තථාගතයන් වහන්සේ අනුන්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ සේක’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු ස්ථානයක් ඇත්තේ ය.

3. ‘මෙහි තථාගතයන් වහන්සේ විසින් අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේය’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු ස්ථානයක් ඇත්තේ ය.

4. ‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු ස්ථානයක් ඇත්තේ ය.

ආනන්දයෙනි, මේ වනාහී සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත්විය යුතු සතර ස්ථානයෝ ය.

ආනන්දයෙනි, සැදැහැවත් භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකවරු, උපාසිකාවෝ ‘මෙහි තථාගතයන් වහන්සේ උපන් සේක’ කියා ත්, ‘මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ සේක’ කියා ත්, ‘මෙහි තථාගතයන් වහන්සේ විසින් අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේ ය’ කියා ත්, ‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක’ කියා ත් පැමිණෙන්නාහු ය. ආනන්දයෙනි, යම්කිසි කෙනෙක් චෛත්‍ය වන්දනා චාරිකාවෙහි සැදැහැ සිතින් යෙදී සිටියදී පහන් සිතින් කළුරිය කරන්නාහු ද, ඒ සියල්ලෝ ම කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝකයෙහි උපදින්නාහු ය.”

“ස්වාමීනී, අපි ස්ත්‍රීන් කෙරෙහි කෙසේ පිළිපැදිය යුතු වෙමු ද?”

“ආනන්දය, නොදැකීම යි.”

“භාග්‍යවතුන් වහන්ස, ස්ත්‍රීන් දෙස බලන්නට සිදුවන කල්හී කෙසේ පිළිපැදිය යුත්තේ ද?”

“ආනන්දයෙනි, කතා බස් නොකිරීම යි.”

“ස්වාමීනී, ස්ත්‍රීන් හා කතා බස් කරන භික්ෂුව විසින් කෙසේ පිළිපැදිය යුත්තේ ද?”

“ආනන්දයෙනි, තමා මේ කතා කරන්නේ කවුරුන් සමඟ දැ යි සිහි උපදවා ගත යුත්තේ ය.”

“ස්වාමීනී, අපි තථාගතයන් වහන්සේගේ ශරීරය පිළිබඳ ව කෙසේ පිළිපදිමු ද?”

“ආනන්දයෙනි, ඔබ තථාගතයන්ගේ ශරීරයට පූජා පැවැත්වීම පිණිස යෙදී නොසිටිව්. ආනන්දයෙනි, ඔබ තම යහපත වන නිවන් අවබෝධ කරනු පිණිස දැඩි ව වෑයම් කරව්. තම යහපත වන නිවන් අවබෝධයෙහි යෙදී වාසය කරව්. තම යහපත වන නිවන් අවබෝධ කරනු වස් අප්‍රමාදී ව කෙලෙස් තවන වෙර ඇති ව, කාය ජීවිත දෙකෙහි ආශා රහිත ව වසව්. ආනන්දයෙනි, තථාගතයන් කෙරෙහි බලවත් පැහැදීමෙන් යුතු ක්ෂත්‍රිය පණ්ඩිතවරුත්, බ්‍රාහ්මණ පණ්ඩිතවරුත්, ගෘහපති පණ්ඩිතවරුත් සිටිති. ඔවුහු තථාගතයන්ගේ ශරීරයට පූජාවන් කරන්නාහු ය.”

“ස්වාමීනී, ඔවුන් විසින් තථාගතයන් වහන්සේගේ ශරීරය පිළිබඳ ව කෙසේ පිළිපැදිය යුත්තේ ද?”

“ආනන්දයෙනි, සක්විති රජුගේ සිරුර පිළිබඳ ව පිළිපැදිය යුත්තේ යම් සේ ද, තථාගතයන්ගේ සිරුර පිළිබඳ ව පිළිපැදිය යුත්තේ එසේ ය.”

“ස්වාමීනී, සක්විති රජුගේ සිරුර පිළිබඳ ව කෙසේ පිළිපැදිය යුත්තේ ද?”

“ආනන්දයෙනි, සක්විති රජුගේ සිරුර අලුත් වස්ත්‍රයෙන් වෙළති. අලුත් වස්ත්‍රයෙන් වෙළා, මැනැවින් පොළා ගත් කපු පුළුන් වලින් වෙළති. මැනැවින් පොළා ගත් කපු පුළුන් වලින් වෙළා, අලුත් වස්ත්‍රයෙන් වෙළත්. මේ උපායෙන් සක්විති රජුගේ සිරුර වස්ත්‍ර යුගල පන්සියයකින් වෙළා, සුවඳ තෙල් දැමූ රන් දෙණක බහා අන්‍ය වූ රන් පියනකින් වසා සියළු සුවඳ දරින් චිතකයක් කොට සක්විති රජුගේ සිරුර ආදාහනය කරති. සිව්මංසලෙහි සක්විති රජුගේ ස්ථූපයක් කරති. මෙසේ ආනන්දයෙනි, සක්විති රජුගේ සිරුර කෙරෙහි පිළිපදිති. ආනන්දයෙනි, සක්විති රජුගේ සිරුර කෙරෙහි යම් සේ පිළිපදිත් ද, තථාගතයන්ගේ සිරුර කෙරෙහි ද, එසේ ම පිළිපැද්ද යුත්තේ ය. සිව්මංසලෙහි තථාගතයන්ගේ ස්ථූපයක් කළ යුත්තේ ය. යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සුණු හෝ තැන්පත් කරන්නාහු ද, සකසා වන්දනා කරන්නාහු ද, සිත හෝ පහදවා ගන්නාහු ද, එය ඔවුන් හට බොහෝ කල් හිතසුව පිණිස වන්නේ ය.

ආනන්දයෙනි, ස්ථූප තනවා පිදීමට සුදුසු මේ සිව් දෙනෙකි. ඒ කවර සිව් දෙනෙක් ද යත්;

1. තථාගත අරහත් සම්මා සම්බුදුහු ස්ථූප තනවා පිදීමට සුදුසුයහ.

2. පසේ බුදු රජහු ස්ථූප තනවා පිදීමට සුදුසු වෙති.

3. තථාගතයන්ගේ ශ්‍රාවක තෙමේ ස්ථූප තනවා පිදීමට සුදුසු ය.

4. සක්විති රජු ස්ථූප තනවා පිදීමට සුදුසු ය.

ආනන්දයෙනි, කවර කරුණක් නිසා තථාගත අරහත් සම්මා සම්බුදුරජහු ස්ථූප තනවා පිදීමට සුදුසු වෙත් ද? මේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන්ගේ ස්ථූපය යැයි ආනන්දයෙනි, බොහෝ ජනයෝ සිත පහදවා ගනිති. ඔවුහු එහි සිත පහදවාගෙන කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදිති. ආනන්දයෙනි, මෙකරුණ නිසාවෙන් තථාගත අරහත් සම්මා සම්බුදුරජහු ස්ථූප තනවා පිදීමට සුදුසු වෙති.

ආනන්දයෙනි, කවර කරුණක් නිසා පසේබුදුරජහු ස්ථූප තනවා පිදීමට සුදුසු වෙත් ද? මේ ඒ භාග්‍යවත් පසේබුදුරජුන්ගේ ස්ථූපය යැයි ආනන්දයෙනි, බොහෝ ජනයෝ සිත පහදවා ගනිති. ඔවුහු එහි සිත පහදවාගෙන කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදිති. ආනන්දයෙනි, මෙකරුණ නිසාවෙන් පසේබුදුරජහු ස්ථූප තනවා පිදීමට සුදුසු වෙති.

ආනන්දයෙනි, කවර කරුණක් නිසා තථාගතයන්ගේ ශ්‍රාවක තෙමේ ස්ථූප තනවා පිදීමට සුදුසු වෙයි ද? මේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන්ගේ ශ්‍රාවකයාගේ ස්ථූපය යැයි ආනන්දයෙනි, බොහෝ ජනයෝ සිත පහදවා ගනිති. ඔවුහු එහි සිත පහදවාගෙන කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදිති. ආනන්දයෙනි, මෙකරුණ නිසාවෙන් තථාගතයන්ගේ ශ්‍රාවක තෙමේ ස්ථූප තනවා පිදීමට සුදුසු වෙයි.

ආනන්දයෙනි, කවර කරුණක් නිසා සක්විති රජහු ස්ථූප තනවා පිදීමට සුදුසු වෙයි ද? මේ ඒ ධාර්මික දැහැමි රජුගේ ස්ථූපය යැයි ආනන්දයෙනි, බොහෝ ජනයෝ සිත පහදවා ගනිති. ඔවුහු එහි සිත පහදවාගෙන කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදිති. ආනන්දයෙනි, මෙකරුණ නිසාවෙන් සක්විති රජු ස්ථූප තනවා පිදීමට සුදුසු වෙයි.

ආනන්දයෙනි, මේ වනාහී ස්ථූප තනවා පිදීමට සුදුසු වූ සිව් දෙනා ය.”

ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ විහාරයට පිවිස, දොර අගුල් කණුව වැළඳගෙන ‘අහෝ! මම තවම නිවන් පිණිස කළ යුතු දේ ඇති හික්මෙන ශ්‍රාවකයෙක්මි. යම් ශාස්තෘන් වහන්සේ නමක් මා හට අනුකම්පා කළ සේක් ද, මාගේ ශාස්තෘන් වහන්සේ ද පිරිනිවන් පාන්නට සූදානම් වන සේකැ’ යි හඬමින් සිටියාහු ය.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, ආනන්දයෝ කොහි ද?”

“ස්වාමීනී, මේ ආයුෂ්මත් ආනන්දයෝ විහාරයට පිවිස, දොර අගුල් කණුව වැළඳගෙන ‘අහෝ! මම තවම නිවන් පිණිස කළ යුතු දේ ඇති හික්මෙන ශ්‍රාවකයෙක්මි. යම් ශාස්තෘන් වහන්සේ නමක් මා හට අනුකම්පා කළ සේක් ද, මාගේ ශාස්තෘන් වහන්සේ ද පිරිනිවන් පාන්නට සූදානම් වන සේකැ’ යි හඬමින් සිටිති.”

එකල්හී භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් ඇමතූ සේක.

“ඔබ එන්න, භික්ෂුව. මාගේ වචනයෙන් ආනන්දයන් අමතන්න. ‘ආයුෂ්මත් ආනන්දයෙනි, ශාස්තෘන් වහන්සේ ඔබ අමතන සේකැ’යි.”

“එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ආයුෂ්මත් ආනන්දයන් යම් තැනක සිටියාහු ද, එතැනට පැමිණියේ ය. පැමිණ ආයුෂ්මත් ආනන්දයන් හට මෙය පැවසුවේ ය.

“ආයුෂ්මත් ආනන්දයෙනි, ශාස්තෘන් වහන්සේ ඔබ කැඳවන සේක.”

“එසේ ය, ආයුෂ්මත” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඒ භික්ෂුවට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ යම් තැනක සැතැපී සිටි සේක් ද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හුන්නාහු ය. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“පලක් නැත ආනන්දයෙනි. ශෝක නොකරව. නොවැළපෙව. ආනන්දයෙනි, කලින් ම මා විසින් මෙය නොකියන ලද්දේ ද? ‘ප්‍රිය වූ, මනාප වූ, සියල්ලෙන් ම ඈත් වන්නට සිදුවෙයි. වෙනස් වීම ඇත්තේ ය. අන්‍ය ස්වභාවයකට පත්වන බව ඇත්තේ ය’ යි ආනන්දයෙනි, හටගත්, උපන්, හේතුඵලයෙන් සකස් වූ, බිඳෙන ස්වභාවයෙන් යුතු යමක් ඇද්ද, ඒකාන්තයෙන් ඒ තථාගතයන්ගේ ශරීරය පවා නොනැසේවා යි යන කරුණ කොහෙන් නම් ලබන්නට ද? එය දකින්නට නොලැබෙන දෙයකි.

ආනන්දයෙනි, ඔබ විසින් බොහෝ කලක් ම හිතයෙන්, සැපයෙන්, දෙහිතක් නැති ව, අප්‍රමාණ මෛත්‍රී සහගත කායික ක්‍රියාවෙන් තථාගතයන් වහන්සේට උපස්ථාන කරන ලද්දාහු ය. ….(පෙ)…. මෛත්‍රී සහගත වාචසික ක්‍රියාවෙන් තථාගතයන් වහන්සේට උපස්ථාන කරන ලද්දාහු ය. ….(පෙ)…. මෛත්‍රී සහගත ව සිතෙන් කරන ක්‍රියාවෙන් තථාගතයන් වහන්සේට උපස්ථාන කරන ලද්දාහු ය. ආනන්දයෙනි, ඔබ කරන ලද පින් ඇත්තෙකි. ප්‍රධන් වීර්යයෙහි යෙදෙව. වහා ආශ්‍රව රහිතයෙක් වන්නෙහි ය.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු අතීතයෙහි වැඩසිටියාහු ද, මා හට ආනන්දයන් යම් සේ ද, ඒ භාග්‍යවතුන් වහන්සේලා හට ද මෙවැනි උතුම් උපස්ථායකයෝ සිටියාහු ය.

මහණෙනි, යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු අනාගතයෙහි පහළ වන්නාහු ද, මා හට ආනන්දයන් යම් සේ ද, ඒ භාග්‍යවතුන් වහන්සේලා හට ද මෙවැනි උතුම් උපස්ථායකයෝ වන්නාහු ය.

මහණෙනි, ආනන්දයෝ නුවණැතියහ. මහණෙනි, ආනන්දයෝ සොඳුරු ප්‍රඥාවෙන් යුක්තයහ. ‘මේ භික්ෂූන් හට තථාගතයන් දකිනු පිණිස එළඹෙන්නට කාලය යි. මේ භික්ෂුණීන්ට සුදුසු කාලය යි. මේ උපාසකයන්ට සුදුසු කාලය යි. මේ උපාසිකාවන්ට සුදුසු කාලය යි. මේ රජුන්ට, රාජ මහා ඇමතිවරුන්ට, තීර්ථකයන්ට, තීර්ථක ශ්‍රාවකයන්ට සුදුසු කාලය යි’ කියා ආනන්දයෝ දනිති.

මහණෙනි, ආනන්දයන් කෙරෙහි මේ ආශ්චර්ය අද්භූත සතර ධර්මයක් ඇත්තේ ය. ඒ කවර සතරක් ද යත්;

ඉදින් මහණෙනි, භික්ෂු පිරිසක් ආනන්දයන් දකින්නට පැමිණෙත් ද, ආනන්දයන්ගේ දැක්මෙන් ඒ පිරිස සතුටට පත්වෙති. එහිදී ඉදින් ආනන්ද තෙමේ දහම් දෙසයි ද, ආනන්දයන්ගේ භාෂිතයෙනුත් ඒ පිරිස සතුටට පත් වෙති. මහණෙනි, භික්ෂු පිරිස අතෘප්තිමත් වූවාහු ම වෙති. ඉක්බිති ආනන්දයෝ නිහඬ වෙති. ඉදින් මහණෙනි, භික්ෂුණී පිරිසක්, උපාසක පිරිසක්, උපාසිකා පිරිසක් ආනන්දයන් දකින්නට පැමිණෙත් ද, ආනන්දයන්ගේ දැක්මෙන් ඒ පිරිස සතුටට පත්වෙති. එහිදී ඉදින් ආනන්ද තෙමේ දහම් දෙසයි ද, ආනන්දයන්ගේ භාෂිතයෙනුත් ඒ පිරිස සතුටට පත් වෙති. මහණෙනි, උපාසිකා පිරිස අතෘප්තිමත් වූවාහු ම වෙති. ඉක්බිති ආනන්දයෝ නිහඬ වෙති.

මහණෙනි, මේ වනාහී ආනන්දයන් කෙරෙහි ඇති සතරක් වූ ආශ්චර්ය අද්භූත ධර්මයන් ය.

මහණෙනි, සක්විති රජුන් කෙරෙහි මේ සතරක් වූ ආශ්චර්ය අද්භූත ධර්මයෝ ඇත්තාහ. ඒ කවර සතරක් ද යත්;

මහණෙනි, ඉදින් ක්ෂත්‍රිය පිරිසක් සක්විති රජුන් දකින්නට පැමිණෙත් ද, සක්විති රජුන්ගේ දැක්මෙන් ඒ පිරිස සතුටට පත්වෙති. එහිදී ඉදින් සක්විති රජු කතාබස් කරයි ද, සක්විති රජුගේ භාෂිතයෙනුත් ඒ පිරිස සතුටට පත් වෙති. මහණෙනි, ක්ෂත්‍රිය පිරිස අතෘප්තිමත් වූවාහු ම වෙති. ඉක්බිති සක්විති රජු නිහඬ වෙයි.

මහණෙනි, ඉදින් බ්‍රාහ්මණ පිරිසක්, ගෘහපති පිරිසක්, ශ්‍රමණ පිරිසක් සක්විති රජුන් දකින්නට පැමිණෙත් ද, සක්විති රජුන්ගේ දැක්මෙන් ඒ පිරිස සතුටට පත්වෙති. එහිදී ඉදින් සක්විති රජු කතාබස් කරයි ද, සක්විති රජුගේ භාෂිතයෙනුත් ඒ පිරිස සතුටට පත් වෙති. මහණෙනි, ශ්‍රමණ පිරිස අතෘප්තිමත් වූවාහු ම වෙති. ඉක්බිති සක්විති රජු නිහඬ වෙයි.

එසෙයින් ම මහණෙනි, ආනන්දයන් කෙරෙහි මේ ආශ්චර්ය අද්භූත සතර ධර්මයක් ඇත්තේ ය.

ඉදින් මහණෙනි, භික්ෂු පිරිසක් ආනන්දයන් දකින්නට පැමිණෙත් ද, ආනන්දයන්ගේ දැක්මෙන් ඒ පිරිස සතුටට පත්වෙති. එහිදී ඉදින් ආනන්ද තෙමේ දහම් දෙසයි ද, ආනන්දයන්ගේ භාෂිතයෙනුත් ඒ පිරිස සතුටට පත් වෙති. මහණෙනි, භික්ෂු පිරිස අතෘප්තිමත් වූවාහු ම වෙති. ඉක්බිති ආනන්දයෝ නිහඬ වෙති. ඉදින් මහණෙනි, භික්ෂුණී පිරිසක්, උපාසක පිරිසක්, උපාසිකා පිරිසක් ආනන්දයන් දකින්නට පැමිණෙත් ද, ආනන්දයන්ගේ දැක්මෙන් ඒ පිරිස සතුටට පත්වෙති. එහිදී ඉදින් ආනන්ද තෙමේ දහම් දෙසයි ද, ආනන්දයන්ගේ භාෂිතයෙනුත් ඒ පිරිස සතුටට පත් වෙති. මහණෙනි, උපාසිකා පිරිස අතෘප්තිමත් වූවාහු ම වෙති. ඉක්බිති ආනන්දයෝ නිහඬ වෙති.

මහණෙනි, මේ වනාහී ආනන්දයන් කෙරෙහි ඇති සතරක් වූ ආශ්චර්ය අද්භූත ධර්මයන් ය.”

මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මේ කුඩා නගරයෙහි, පිටිසර නගරයෙහි, ශාඛා නගරයෙහි පිරිනිවන් නොපානා සේක්වා! ස්වාමීනී, අන්‍ය වූ මහා නගරයෝ ඇත්තාහු ය. එනම්; චම්පා, රාජගහ, ශ්‍රාවස්ථි, සාකේත, කෝසම්බි, බාරාණසී යනාදිය යි. එවැනි මහා නගරයක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! එහි තථාගතයන් වහන්සේ කෙරෙහි බලවත් පැහැදීමෙන් යුතු බොහෝ මහාසාර ක්ෂත්‍රියවරු, මහාසාර බ්‍රාහ්මණවරු, මහාසාර ගෘහපතිවරු සිටිත් ද, ඔවුහු තථාගත සිරුරට නිසි පූජා පවත්වන්නාහු ය.”

“ආනන්දයෙනි, මෙසේ පවසන්නට එපා. ආනන්දයෙනි, කුඩා නගරයක් ය, පිටිසර නගරයක් ය, ශාඛා නගරයක් ය යි මෙසේ පවසන්නට එපා.

ආනන්දයෙනි, මෙය පෙර සිදුවූවකි. ධාර්මික වූ, ධර්මරාජ වූ, සයුර හිම් කොට සිව්මහා දිවයින් දිනාගත්, ජනපදයන්හි තහවුරු බවට පත්, සප්ත රත්නයෙන් සමන්විත වූ, මහා සුදස්සන නම් සක්විති රජෙක් මෙහි සිටියේ ය.

ආනන්දයෙනි, මහා සුදස්සන රජුගේ කුසාවතී නම් රාජධානිය වූයේ මේ කුසිනාරාවෙහි ය. ඒ කුසාවතී රාජධානිය පෙරදිගින් ද, බටහිරින් ද දිග දොළොස් යොදුනකි. උතුරින් ද, දකුණින් ද පළල සත් යොදුනකි. ආනන්දයෙනි, කුසාවතී රාජධානිය ඉතා සමෘද්ධිමත් ව, සැපතින් පිරී, බොහෝ මිනිසුන්ගෙන් ජනාකීර්ණ ව, ආහාරපානාදිය සුලභ ව තිබුණේ ය. ආනන්දයෙනි, දෙවියන්ගේ ආලකමන්දා නම් රාජධානිය ඉතා සමෘද්ධිමත් ව, සැපතින් පිරී, බොහෝ යකුන්ගෙන් ජනාකීර්ණ ව, ආහාරපානාදිය සුලභ ව තිබෙන්නේ යම් සේ ද, එසෙයින් ම ආනන්දයෙනි, කුසාවතී රාජධානිය ඉතා සමෘද්ධිමත් ව, සැපතින් පිරී, බොහෝ මිනිසුන්ගෙන් ජනාකීර්ණ ව, ආහාරපානාදිය සුලභ ව තිබුණේ ය.

ආනන්දයෙනි, කුසාවතී රාජධානිය දහවලට මෙන් ම රාත්‍රියට ත්, දස ශබ්දයකින් නිරතුරු හඬ නැගුණේ ය. එනම්; හස්ති ශබ්දයෙන්, අශ්ව ශබ්දයෙන්, රථ ශබ්දයෙන්, බෙර ශබ්දයෙන්, මිහිඟුබෙර ශබ්දයෙන්, වීණා ශබ්දයෙන්, ගීත ශබ්දයෙන්, සංඛ නාදයෙන්, මිත්‍ර නාදයෙන්, අත්තළ හçන්, ‘අනුභව කරව්, පානය කරව්, කව්’ යන දසවෙනි ශබ්දයෙනි.

ඔබ යන්න ආනන්දයෙනි, කුසිනාරාවට පිවිස කුසිනාරාවැසි මල්ලයන් හට දැනුම් දෙව. ‘වාසෙට්ඨයෙනි, අද රාත්‍රියෙහි අවසන් යාමයෙහි තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය වන්නේ ය. පිටත් ව එව් වාසෙට්ඨයෙනි. පිටත් ව එව් වාසෙට්ඨයෙනි. ‘අපගේ ගම් කෙතෙහි තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය වූයේ ය. පශ්චිම කාලයෙහි තථාගතයන් වහන්සේගේ දැක්ම අපි නොලැබූවෙමු’ යි පසුව විපිළිසර නොවව්’ යනුවෙනි.

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී සිවුරු හැඳ පොරොවා ගෙන, පා සිවුරු ගෙන තමා දෙවැන්නෙකු කොට කුසිනාරාවට පිවිසියේ ය.

එසමයෙහි කුසිනාරාවැසි මල්ලවරු කිසියම් කරුණක් අරභයා රැස්වීම් ශාලාවෙහි රැස්වූවාහු වෙති.

ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ කුසිනාරාවැසි මල්ලවරුන්ගේ රැස්වීම් ශාලාව යම් තැනක ද, එහි පැමිණියහ. පැමිණ කුසිනාරාවැසි මල්ලවරුන්ට මෙය දැනුම් දුන්නාහු ය.

“වාසෙට්ඨයෙනි, අද රාත්‍රියෙහි අවසන් යාමයෙහි තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය වන්නේ ය. පිටත් ව එව් වාසෙට්ඨයෙනි. පිටත් ව එව් වාසෙට්ඨයෙනි. ‘අපගේ ගම් කෙතෙහි තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය වූයේ ය. පශ්චිම කාලයෙහි තථාගතයන් වහන්සේගේ දැක්ම අපි නොලැබූවෙමු’ යි පසුව විපිළිසර නොවව්.

ආයුෂ්මත් ආනන්දයන් වහන්සේගේ මේ වචනය ඇසූ මල්ලවරු ත්, මල්ල පුත්‍රයෝ ත්, මල්ල ලේලිවරුත්, මල්ල බිරින්දෑවරුත් දුකට පත් ව, දුකට පත් සිත් ඇති ව, චිත්ත ශෝකයෙන් යුතුව ඇතැම් කෙනෙක් කෙස් වැටි මුදා හඬා වැටෙත්. දෑත් උඩට ඔසොවා හඬා වැටෙත්. සිඳී වැටෙන්නවුන් සේ වැටෙත්. වැටී එහාට මෙහාට පෙරළී යත්. ‘අහෝ! ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා සේක. අහෝ! ඉතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක. අහෝ! මහා කරුණාවෙන් ලොව බැලූ එක ම ඇස ඉතා ඉක්මනින් නොපෙනී යන්නේ ය’ කියා ය.

ඉක්බිති දුකින් යුතු, දුකට පත් සිත් ඇති, චිත්ත ශෝකයෙන් යුතු මල්ලයෝ ත්, මල්ල පුත්‍රයෝ ත්, මල්ල ලේලිවරුත්, මල්ල බිරින්දෑවරුත් මල්ලවරුන්ගේ උපවර්තන සල්වනය යම් තැනක ද, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වැඩසිටියේ යම් තැනක ද, එතැනට පැමිණියාහු ය. එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මේ අදහස ඇතිවූයේ ය.

‘ඉදින් මම කුසිනාරාවැසි මල්ලවරුන් එක් එක් කෙනා ලවා භාග්‍යවතුන් වහන්සේ ව වන්දවන්නෙම් නම්, කුසිනාරාවැසි මල්ලවරුන් විසින් භාග්‍යවතුන් වහන්සේ නොවන්දවන ලද සේක් ම වන්නාහු ය. එවිට මේ රැය ද පහන් වන්නේ ය. එහෙයින් මම කුසිනාරාවැසි මල්ලවරුන් කුල පරපුර වශයෙන් වෙන වෙන ම සිටුවා ‘ස්වාමීනී, දරුවන් සහිත, බිරින්දෑවරුන් සහිත, පිරිස් සහිත, අමාත්‍යයන් සහිත, මේ මේ නම් ඇති මල්ල තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා බිම හිස තබා වඳියි’ යි භාග්‍යවතුන් වහන්සේ වන්දවන්නෙම් නම් මැනැව’ යි.

ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ කුසිනාරාවැසි මල්ලවරුන් කුල පරපුර වශයෙන් වෙන වෙන ම සිටුවා “ස්වාමීනී, දරුවන් සහිත, බිරින්දෑවරුන් සහිත, පිරිස් සහිත, අමාත්‍යයන් සහිත, මේ මේ නම් ඇති මල්ල තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා බිම හිස තබා වඳියි” යි භාග්‍යවතුන් වහන්සේ ව වැන්දවූහ. එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ මේ ක්‍රමයෙන් රාත්‍රියේ ප්‍රථම යාමයෙහි ම කුසිනාරාවැසි මල්ලවරුන් ලවා භාග්‍යවතුන් වහන්සේව වැන්දවූහ.

→ මතු සම්බන්ධ යි…

- උපුටා ගැනීම –

සූත්‍ර පිටකයට අයත් ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය – දීඝ නිකාය 2 - පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ

The post පහන් සිල නිවෙන ලෙස පිරිනිවී වැඩි සේක..! – 07 appeared first on Mahamevnawa Monastery.

පහන් සිල නිවෙන ලෙස පිරිනිවී වැඩි සේක..! – 08

$
0
0
Pahan Sila nivena lesa8

පසුගිය ලිපිය හා සබැඳේ↓

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

 

  2.3. මහා පරිනිබ්බාන සූත්‍රය (8 කොටස)
භාග්‍යවතුන් වහන්සේගේ මහා පරිනිර්වාණය ගැන වදාළ දෙසුම (8 කොටස)

එසමයෙහි සුභද්‍ර නම් පරිබ්‍රාජකයෙක් කුසිනාරාවෙහි වාසය කරයි. ‘අද රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ පරිනිර්වාණය වන්නේලු’ යි සුභද්‍ර පරිබ්‍රාජකයා ඇසුවේ ය. ඉක්බිති සුභද්‍ර පරිබ්‍රාජකයා හට මේ අදහස ඇතිවූයේ ය. ‘වයෝවෘද්ධ, මහළු, ආචාර්ය ප්‍රාචාර්ය පරිබ්‍රාජකයන්ගේ මේ වචනය මා විසින් අසන ලද්දේ ය. එනම් ‘තථාගත අරහත් සම්මා සම්බුදුවරයන් වහන්සේලා ඉතාමත් ම ඉතාමත් කලාතුරකින් ලොවෙහි පහළ වෙත්’ යන කරුණ යි. අද රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ පරිනිර්වාණය වන්නේ ය. මා තුළ මේ සැක කරුණක් ද හටගෙන ඇත්තේ ය. මම ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මෙසේ පැහැදී සිටිමි. යම් අයුරකින් මේ සැකසංකා මම අත්හරින්නෙම් ද, ඒ අයුරින් මා හට ධර්මය දේශනා කරන්නට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමර්ථ වන සේක’ කියා ය.

ඉක්බිති සුභද්‍ර පරිබ්‍රාජක තෙමේ මල්ලවරුන්ගේ උපවර්තන සල් වනය යම් තැනක ද, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වැඩසිටියේ යම් තැනක ද, එහි පැමිණියේ ය. පැමිණ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසුවේ ය.

“භවත් ආනන්දයෙනි, වයෝවෘද්ධ, මහළු, ආචාර්ය ප්‍රාචාර්ය පරිබ්‍රාජකයන්ගේ මේ වචනය මා විසින් අසන ලද්දේ ය. එනම් ‘තථාගත අරහත් සම්මා සම්බුදුවරයන් වහන්සේලා ඉතාමත් ම ඉතාමත් කලාතුරකින් ලොවෙහි පහළ වෙත්’ යන කරුණ යි. අද රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ පරිනිර්වාණය වන්නේ ය. මා තුළ මේ සැක කරුණක් ද හටගෙන ඇත්තේ ය. මම ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මෙසේ පැහැදී සිටිමි. ‘යම් අයුරකින් මේ සැකසංකා මම අත්හරින්නෙම් ද, ඒ අයුරින් මා හට ධර්මය දේශනා කරන්නට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමර්ථ වන සේක’ යනුවෙනි. භවත් ආනන්දයෙනි, මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ දැක්ම ලබන්නෙම් නම්, ඉතා යෙහෙකි.”

මෙසේ කී කල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සුභද්‍ර පරිබ්‍රාජකයා හට මෙය පැවසූහ.

“ඔය ඇති ආයුෂ්මත් සුභද්‍ර. තථාගතයන් වහන්සේ වෙහෙසන්නට එපා! භාග්‍යවතුන් වහන්සේ ක්ලාන්ත ව සිටින සේක.”

දෙවෙනි වතාවට ත් සුභද්‍ර පරිබ්‍රාජක තෙමේ ….(පෙ)…. තුන්වෙනි වතාවට ත් සුභද්‍ර පරිබ්‍රාජක තෙමේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසුවේ ය.

“භවත් ආනන්දයෙනි, වයෝවෘද්ධ, මහළු, ආචාර්ය ප්‍රාචාර්ය පරිබ්‍රාජකයන්ගේ මේ වචනය මා විසින් අසන ලද්දේ ය. එනම් ‘තථාගත අරහත් සම්මා සම්බුදුවරයන් වහන්සේලා ඉතාමත් ම ඉතාමත් කලාතුරකින් ලොවෙහි පහළ වෙත්’ යන කරුණ යි. අද රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ පරිනිර්වාණය වන්නේ ය. මා තුළ මේ සැක කරුණක් ද හටගෙන ඇත්තේ ය. මම ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මෙසේ පැහැදී සිටිමි. ‘යම් අයුරකින් මේ සැකසංකා මම අත්හරින්නෙම් ද, ඒ අයුරින් මා හට ධර්මය දේශනා කරන්නට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමර්ථ වන සේක යනුවෙනි. භවත් ආනන්දයෙනි, මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ දැක්ම ලබන්නෙම් නම්, ඉතා යෙහෙකි.”

තෙවෙනි වතාවට ත් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සුභද්‍ර පරිබ්‍රාජකයා හට මෙය පැවසූහ.

“ඔය ඇති ආයුෂ්මත් සුභද්‍ර. තථාගතයන් වහන්සේ වෙහෙසන්නට එපා! භාග්‍යවතුන් වහන්සේ ක්ලාන්ත ව සිටින සේක.”

භාග්‍යවතුන් වහන්සේ සුභද්‍ර පරිබ්‍රාජකයා සමඟ කරනු ලබන ආයුෂ්මත් ආනන්දයන් වහන්සේගේ මේ කතා සල්ලාපය ඇසූ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් ඇමතූ සේක.

“කම් නැත ආනන්දයෙනි, සුභද්‍රයන් වළක්වන්නට එපා. ආනන්දයෙනි, සුභද්‍ර තෙමේ තථාගතයන්ගේ දැක්ම ලබාවා! සුභද්‍ර තෙමේ යම් කිසිවක් මගෙන් අසයි නම්, ඒ සියල්ල දැනගනු කැමැති ව ම අසන්නේ ය. වෙහෙසට පත් කරන අදහසක් නැත්තේ ය. අසනු ලැබූ මම යමක් ඔහුට පවසන්නෙම් ද, එය වහා ම තේරුම් ගන්නේ ය.”

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සුභද්‍ර පරිබ්‍රාජකයා හට මෙය පැවසූහ.

“යන්න ආයුෂ්මත් සුභද්‍ර, භාග්‍යවතුන් වහන්සේ ඔබට අවසර දෙන සේක.”

ඉක්බිති සුභද්‍ර පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ හා පිළිසඳර කතා බහේ යෙදුණේ ය. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් සුභද්‍ර පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙය ඇසුවේ ය.

“භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රාවක පිරිස් ඇති, සමූහ ඇති, ගණාචාර්ය වූ, ප්‍රසිද්ධ, යස කීර්ති ඇති, බොහෝ ජනයා මැනැවැයි පිළිගත් යම් මේ ආගමික මත කියන ශ්‍රමණ බ්‍රාහ්මණවරු සිටිත් ද, එනම් පූරණ කස්සප, මක්ඛලී ගෝසාල, අජිත කේසකම්බල, පකුධ කච්චායන, සංජය බෙල්ලට්ඨපුත්ත, නිගණ්ඨනාතපුත්‍ර ය. ඔවුන් සියලු දෙනා තමන් ප්‍රතිඥා දෙන පරිදි අවබෝධ කළාහු ද? සියල්ලෝ ම අවබෝධ නොකළාහු ද? නැතහොත් ඇතැමෙක් අවබෝධ කළාහු ද? ඇතැමෙක් අවබෝධ නොකළාහු ද?”

“පලක් නැත, සුභද්‍රයෙනි. ඔවුන් සියලු දෙනා තමන් ප්‍රතිඥා දෙන පරිදි අවබෝධ කළාහු ද? සියල්ලෝ ම අවබෝධ නොකළාහු ද? නැතහොත් ඇතැමෙක් අවබෝධ කළාහු ද? ඇතැමෙක් අවබෝධ නොකළාහු ද? යන මෙය පසෙක තිබේවා! සුභද්‍රය, ඔබට ධර්මය දේශනා කරන්නෙමි. එය අසව. මැනැවින් මෙනෙහි කරව. පවසන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි සුභද්‍ර පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“සුභද්‍රයෙනි, යම් ධර්ම විනයක ආර්ය අෂ්ටාංගික මාර්ගය දක්නට නොලැබෙයි ද, එහි පළමු වැනි ශ්‍රමණයා ත් දක්නට නොලැබෙයි. එහි දෙවෙනි ශ්‍රමණයා ත් දක්නට නොලැබෙයි. එහි තුන්වැනි ශ්‍රමණයා ත් දක්නට නොලැබෙයි. එහි සිව්වැනි ශ්‍රමණයා ත් දක්නට නොලැබෙයි.

සුභද්‍රයෙනි, යම් ධර්ම විනයක ආර්ය අෂ්ටාංගික මාර්ගය දක්නට ලැබෙයි ද, එහි පළමු වැනි ශ්‍රමණයා ත් දක්නට ලැබෙයි. එහි දෙවෙනි ශ්‍රමණයා ත් දක්නට ලැබෙයි. එහි තුන්වැනි ශ්‍රමණයා ත් දක්නට ලැබෙයි. එහි සිව්වැනි ශ්‍රමණයා ත් දක්නට ලැබෙයි.

සුභද්‍රයෙනි, මේ ධර්ම විනයෙහි ආර්ය අෂ්ටාංගික මාර්ගය දක්නට ලැබෙයි. සුභද්‍රයෙනි, මෙහි ම පළමු වැනි ශ්‍රමණයා ත් දක්නට ලැබෙයි. මෙහි දෙවෙනි ශ්‍රමණයා ත් දක්නට ලැබෙයි. මෙහි තුන්වැනි ශ්‍රමණයා ත් දක්නට ලැබෙයි. මෙහි සිව්වැනි ශ්‍රමණයා ත් දක්නට ලැබෙයි.

අන්‍ය ඇදහීම් මේ සිව් වැදෑරුම් ශ්‍රමණයන්ගෙන් හිස් ය. සුභද්‍රයෙනි, මේ භික්ෂූහු යහපත් ව පිළිවෙතෙහි යෙදෙත් නම් ලොව රහතුන්ගෙන් හිස් නොවන්නේ ය.”

ඒකූනතිංසෝ වයසා සුභද්ද

යං පබ්බජිං කිං කුසලානුඒසී

සුභද්‍රයෙනි, වයසින් විසි නව වැන්නෙහි දී කුසල් යනු කුමක්දැයි සොයමින් පැවිදි වූයෙමි යි යන යමක් ඇද්ද,

වස්සානි පඤ්ඤාස සමාධිකානි

යතෝ අහං පබ්බජිතෝ සුභද්ද

සුභද්‍රයෙනි, මම යම් කලක පැවිදි වුයෙම් ද, එදා සිට මේ දක්වා පණස් වසරකට වැඩි කලක් ගෙවුණේ ය.

ඤායස්ස ධම්මස්ස පදේසවත්ති

ඉතෝ බහිද්ධා සමණෝපි නත්ථි

දුතියෝපි සමණෝ නත්ථි

තතියෝපි සමණෝ නත්ථි

චතුත්ථෝපි සමණෝ නත්ථි

චතුරාර්ය සත්‍යය ධර්මයෙහි කොටසක් වත් අවබෝධ කළ ශ්‍රමණයෙක් මේ බුදු සසුනෙන් බැහැර ව නැත්තේ ය. එහෙයින් මෙයින් බැහැර පළමු ශ්‍රමණයා ත් නැත්තේ ය. දෙවෙනි ශ්‍රමණයා ත් නැත්තේ ය. තෙවැනි ශ්‍රමණයා ත් නැත්තේ ය. සිව්වෙනි ශ්‍රමණයා ත් නැත්තේ ය.

සුඤ්ඤා පරප්පවාදා සමණේහි අඤ්ඤේ

අන්‍ය වූ ඇදහීම් සියල්ල මේ සිව් වැදෑරුම් ශ්‍රමණයන්ගෙන් හිස් ය.

ඉමේ ච සුභද්ද භික්ඛූ සම්මාවිහරෙය්‍යුං

අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහී’ති

සුභද්‍රයෙනි, මේ භික්ෂූහුත්, මනා කොට පිළිවෙතෙහි යෙදී වසත් නම්, ලොව රහතුන් ගෙන් හිස් නොවන්නේ ය.”

මෙසේ වදාළ කල්හී සුභද්‍ර පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, ඉතා මනහර ය. ස්වාමීනී, ඉතා මනහර ය. ස්වාමීනී, එය මෙබඳු දෙයකි. යටට හරවා තිබූ දෙයක් උඩට හරවන්නේ යම් සේ ද, වැසුණු දෙයක් විවර කරන්නේ යම් සේ ද, මංමුලාවූවෙකුට හරිමග පවසන්නේ යම් සේ ද, ‘ඇස් ඇත්තවුන් රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ යම් සේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය වදාරණ ලද්දේ ය. ස්වාමීනී, ඒ මම භාග්‍යවතුන් වහන්සේ ව සරණ යමි. ධර්මය ත්, භික්ෂු සංඝයා ත් සරණ යමි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මම පැවිදි බව ලබම්වා! උපසම්පදාව ලබම්වා!”

“සුභද්‍රයෙනි, යමෙක් කලින් අන්‍ය තීර්ථකයෙකු ව සිටියෙක් මේ ධර්ම විනයෙහි පැවිද්ද කැමති වෙයි නම්, උපසම්පදාව කැමති වෙයි නම්, ඔහු සිව් මාසයක පරිවාස කාලයක් සිටියි. සිව්මස ඇවෑමෙන් සතුටට පත් සිත් ඇති භික්ෂූහු භික්ෂු භාවය පිණිස ඔහු පැවිදි කරති. උපසම්පදා කරති. එනමුත් මෙහිලා මා විසින් පුද්ගලයන්ගේ වෙනස්කම දන්නා ලද්දේ ය.”

“ඉදින් ස්වාමීනී, කලින් අන්‍ය තීර්ථකයෙකු ව සිට මේ ධර්ම විනයෙහි පැවිද්ද කැමති වෙයි නම්, උපසම්පදාව කැමති වෙයි නම්, ඔහු සිව් මාසයක පරිවාස කාලයක් සිටියි නම්, සිව්මස ඇවෑමෙන් සතුටට පත් සිත් ඇති භික්ෂූහු භික්ෂු භාවය පිණිස ඔහු පැවිදි කරත් නම්, උපසම්පදා කරත් නම්, මම සිව් වසරක් පිරිවෙස් වසන්නෙමි. ඒ සිව් වසර ඇවෑමෙන් සතුටු සිත් ඇති භික්ෂූහු භික්ෂුභාවය පිණිස මා පැවිදි කරත්වා! උපසම්පදා කරත්වා!”

එකල්හී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“එසේ වී නම් ආනන්දයෙනි, සුභද්‍රයන් පැවිදි කරව.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති සුභද්‍ර පරිබ්‍රාජක තෙමේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ආයුෂ්මත් ආනන්දයෙනි, ඔබලාට මහත් ලාභයකි. ආයුෂ්මත් ආනන්දයෙනි, ඔබලාට මනා වූ ලැබීමකි. මෙබඳු ශාස්තෘන් වහන්සේ නමකගේ අතවැසියන් ලෙස ඔටුනු පැළදීමකින් අභිෂේක ලැබීමක් ඇද්ද, එය යි.”

සුභද්‍ර පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලැබුවේ ය. උපසම්පදාව ලැබුවේ ය. උපසම්පදාව ලැබ නොබෝ වේලාවකින් ආයුෂ්මත් සුභද්‍රයන් වහන්සේ තනි ව, හුදෙකලා ව, අප්‍රමාදී ව, කෙලෙස් තවන වීර්යය ඇති ව, කාය ජීවිත දෙකෙහි ආශා නැතිව වසන්නාහු, යම් අරුතක් පිණිස කුලදරුවෝ මනාකොට ගිහිගෙය අත්හැර අනගාරික ව පැවිදි බව ලබත් ද, ඒ බඹසරෙහි නිමාව වන අනුත්තර අරහත්වය මෙලොව දී ම, නොබෝ කලකින් ම සිය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කළහ. ‘ඉපදීම ක්ෂය විය. බඹසර වැස නිමවන ලදී. කළ යුත්ත කරන ලදී. නිවන් පිණිස කළ යුතු අනෙකක් නැතැ’ යි දැනගත්හ. ආයුෂ්මත් සුභද්‍රයන් වහන්සේ වනාහී එක්තරා රහතන් වහන්සේ නමක් වූහ. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ අවසාන ප්‍රත්‍යක්ෂ ශ්‍රාවකයන් වහන්සේ වූහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“ආනන්දයෙනි, ඔබට මෙබඳු වූ අදහසක් ඇතිවන්නට පුළුවනි. ‘බුද්ධ වචනය අතීතයට ගිය ශාස්තෘන් වහන්සේගේ ය. අපගේ ශාස්තෘන් වහන්සේ නැති සේක’ යනුවෙනි. ආනන්දයෙනි, ඔබ මේ අයුරින් නොදැක්ක යුත්තේ ය. ආනන්දයෙනි, මා විසින් යම් ධර්මයකුත් විනයකුත් දෙසන ලද්දේ ද, පණවන ලද්දේ ද, මාගේ ඇවෑමෙන් එය ඔබට ශාස්තෘ වන්නේ ය.

ආනන්දයෙනි, මෙකල්හී වනාහී භික්ෂූහු එකිනෙකාට ‘ආවුසෝ’ යන වචනය යම් සේ අමතා පවසත් ද, මාගේ ඇවෑමෙන් පසු එසේ කතා නොකළ යුත්තේ ය. ආනන්දයෙනි, වඩා වැඩිමහල් භික්ෂුව විසින් වඩා නවක භික්ෂුවකට නමින් හෝ ගෝත්‍ර නමින් හෝ ‘ආවුසෝ’ යන වචනයෙන් හෝ ඇමතිය යුත්තේ ය. වඩා නවක භික්ෂුව විසින් වඩා වැඩිමහල් භික්ෂුවට ‘ස්වාමීනී’ කියා හෝ ‘ආයුෂ්මත්නි’ කියා හෝ ඇමතිය යුත්තේ ය.

ආනන්දයෙනි, සංඝයා කැමති වන්නේ නම්, මාගේ ඇවෑමෙන් කුඩා අනුකුඩා ශික්ෂාපද ඉවත් කෙරේවා!

ආනන්දයෙනි, මාගේ ඇවෑමෙන් පසු ඡන්න භික්ෂුවට බ්‍රහ්ම දණ්ඩනය දිය යුත්තේ ය.”

“ස්වාමීනී, බ්‍රහ්ම දණ්ඩනය යනු කුමක් ද?”

“ආනන්දයෙනි, ඡන්න භික්ෂුව යමක් කැමති නම් එය කියන්නේ ය. භික්ෂූන් විසින් ඔහු හා කතා නොකළ යුත්තේ ය. අවවාද නොදිය යුත්තේ ය. අනුශාසනා නොකළ යුත්තේ ය.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, එක් භික්ෂුවකට වුවත් බුදුන් කෙරෙහි වේවා, ධර්මය කෙරෙහි වේවා, සංඝයා කෙරෙහි වේවා, මාර්ගය කෙරෙහි වේවා, ප්‍රතිපදාව කෙරෙහි වේවා, සැකයක් හෝ විමතියක් හෝ ඇතිවන්නට පුළුවනි. එහිලා මහණෙනි, විමසව්. ‘අපට ශාස්තෘන් වහන්සේ හමු වූ සේක. භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මෙය අසන්නට අපට නොහැකි වූයේ ය’ යි පසුව විපිළිසර වන්නට එපා. මෙසේ වදාළ කල්හී ඒ භික්ෂූහු නිශ්ශබ්ද වූහ.

දෙවෙනි වතාවට ත් භාග්‍යවතුන් වහන්සේ ….(පෙ)… තෙවෙනි වතාවට ත් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

මහණෙනි, එක් භික්ෂුවකට වුවත් බුදුන් කෙරෙහි වේවා, ධර්මය කෙරෙහි වේවා, සංඝයා කෙරෙහි වේවා, මාර්ගය කෙරෙහි වේවා, ප්‍රතිපදාව කෙරෙහි වේවා, සැකයක් හෝ විමතියක් හෝ ඇතිවන්නට පුළුවනි. එහිලා මහණෙනි, විමසව්. ‘අපට ශාස්තෘන් වහන්සේ හමු වූ සේක. භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මෙය අසන්නට අපට නොහැකි වූයේ ය’ යි පසුව විපිළිසර වන්නට එපා. ඒ භික්ෂූහු තෙවෙනි වතාවට ත් නිශ්ශබ්ද වූහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, ශාස්තෘ ගෞරවය නිසා ත් අසා නොසිටින්නට පුළුවනි. මහණෙනි, යහළුවෙකුත් යහළුවෙකුට එය පවසාවා!”

මෙසේ වදාළ කල්හී ඒ භික්ෂූහු නිශ්ශබ්ද වූහ.

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, ආශ්චර්යයකි! ස්වාමීනී, අද්භූතයකි! ස්වාමීනී, මම මේ භික්ෂු සංඝයා කෙරෙහි මෙසේ පහන් ව සිටිමි. බුදුන් කෙරෙහි වේවා, ධර්මය කෙරෙහි වේවා, සංඝයා කෙරෙහි වේවා, මාර්ගය කෙරෙහි වේවා, ප්‍රතිපදාව කෙරෙහි වේවා, සැකයක් හෝ විමතියක් එක් භික්ෂුවක තුළ ත් නැත්තේ ය.”

“ආනන්දයෙනි, ඔබ හුදෙක් ප්‍රසාදයෙන් පවසන්නෙහි ය. ආනන්දයෙනි, තථාගතයන් හට මෙහිලා ඤාණයක් ම ඇත්තේ ය. මේ භික්ෂු සංඝයා අතර බුදුන් කෙරෙහි වේවා, ධර්මය කෙරෙහි වේවා, සංඝයා කෙරෙහි වේවා, මාර්ගය කෙරෙහි වේවා, ප්‍රතිපදාව කෙරෙහි වේවා, සැකයක් හෝ විමතියක් එක් භික්ෂුවක තුළ ත් නැත්තේ ය. ආනන්දයෙනි, මේ පන්සියයක් භික්ෂූන් අතර අවසානයට සිටින යම් භික්ෂුවක් ඇද්ද, ඔහු ත් සතර අපායෙහි නොවැටෙන ස්වභාව ඇති නියතයෙන් නිවන් අවබෝධ කරන සෝවාන් වූවෙකි.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“එසේ නම් මහණෙනි, දැන් ඔබ අමතමි. හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වූ සංස්කාරයෝ නැසෙන ස්වභාවයෙන් යුක්ත වෙති. අප්‍රමාදී ව නිවන් අවබෝධ කරනු පිණිස වෑයම් කරව්.”

මෙය තථාගතයන් වහන්සේගේ අවසාන වචනය යි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධ්‍යානයට සමවැදුණු සේක. ප්‍රථම ධ්‍යානයෙන් නැගිට දෙවෙනි ධ්‍යානයට සමවැදුණු සේක. දෙවෙනි ධ්‍යානයෙන් නැගිට තුන්වෙනි ධ්‍යානයට සමවැදුණු සේක. තුන්වෙනි ධ්‍යානයෙන් නැගිට සිව්වෙනි ධ්‍යානයට සමවැදුණු සේක. සිව්වෙනි ධ්‍යානයෙන් නැගිට ආකාසානඤ්චායතනයට සමවැදුණු සේක. ආකාසානඤ්චායතන සමාපත්තියෙන් නැගිට විඤ්ඤාණඤ්චායතනයට සමවැදුණු සේක. විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් නැගිට ආකිඤ්චඤ්ඤායතනයට සමවැදුණු සේක. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් නැගිට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදුණු සේක. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් නැගිට සඤ්ඤාවේදයිත නිරෝධයට සමවැදුණු සේක.

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේගෙන් මෙය ඇසූහ.

“ස්වාමීනී, අනුරුද්ධයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක් ද?”

“නැත, ආයුෂ්මත් ආනන්දයෙනි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් නොපෑ සේක. සඤ්ඤා වේදයිත නිරෝධයට සමවැදුණු සේක.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැගිට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදුණු සේක. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් නැගිට ආකිඤ්චඤ්ඤායතනයට සමවැදුණු සේක. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් නැගිට විඤ්ඤාණඤ්චායතනයට සමවැදුණු සේක. විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් නැගිට ආකාසානඤ්චායතනයට සමවැදුණු සේක. ආකාසානඤ්චායතන සමාපත්තියෙන් නැගිට සිව්වෙනි ධ්‍යානයට සමවැදුණු සේක. සිව්වෙනි ධ්‍යානයෙන් නැගිට තුන්වෙනි ධ්‍යානයට සමවැදුණු සේක. තුන්වන ධ්‍යානයෙන් නැගිට දෙවෙනි ධ්‍යානයට සමවැදුණු සේක. දෙවෙනි ධ්‍යානයෙන් නැගිට පළමුවෙනි ධ්‍යානයට සමවැදුණු සේක. ප්‍රථම ධ්‍යානයෙන් නැගිට දෙවෙනි ධ්‍යානයට සමවැදුණු සේක. දෙවෙනි ධ්‍යානයෙන් නැගිට තුන්වෙනි ධ්‍යානයට සමවැදුණු සේක. තුන්වෙනි ධ්‍යානයෙන් නැගිට සිව්වෙනි ධ්‍යානයට සමවැදුණු සේක. සිව්වෙනි ධ්‍යානයෙන් නැගිට එසැණින් ම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ කල්හී, පිරිනිවන් පෑම ත් සමඟ ම බිහිසුණු, ලොමුදහගැනීම් ඇති මහත් පොළොව සැලීමක් වූයේ ය. දෙව්බෙරහු ද පැලී ගියාහු ය. (අකල් වැස්සක් ඇදහැලුණි) භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ කල්හී, පිරිනිවන් පෑම ත් සමඟ සහම්පති බ්‍රහ්මරාජයා මේ ගාථාව පැවසුවේ ය.

“සබ්බේව නික්ඛිපිස්සන්ති – භූතා ලෝකේ සමුස්සයං

යථා ඒතාදිසෝ සත්ථා – ලෝකේ අප්පටිපුග්ගලෝ

තථාගතෝ බලප්පත්තෝ – සම්බුද්ධෝ පරිනිබ්බුතෝ’ ති

ලොවෙහි උපන් සියළු සත්වයෝ ම සිරුරු අත්හැර දමන්නාහු ය. එසෙයින් ම ලෝකයෙහි කිසිවෙකු හා සමාන නොවූ ශාස්තෘ වූ තථාගත දසබලයෙන් යුතු සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ සේක.”

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ කල්හී, පිරිනිවන් පෑම ත් සමඟ ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ මේ ගාථාව පැවසුවේ ය.

“අනිච්චා වත සංඛාරා – උප්පාද වයධම්මිනෝ

උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති – තේසං වූපසමෝ සුඛෝ’ති

හේතු ප්‍රත්‍යයන්ගෙන් උපන් සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයහ. හටගෙන නැසෙන ස්වභාවයෙන් යුක්ත වෙයි. ඉපදී නිරුද්ධ වෙති. නැවත නූපදින පරිද්දෙන් එම සංස්කාරයන්ගේ සංසිඳී යාම සැපයකි.”

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ කල්හී, පිරිනිවන් පෑම ත් සමඟ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ මේ ගාථා පැවසූහ.

“නාහු අස්සාසපස්සාසෝ – ඨිතචිත්තස්ස තාදිනෝ

අනේජෝ සන්තිමාරබ්භ – යං කාලමකරී මුනි

නිවනෙහි පිහිටි සිත් ඇති, අටලෝ දහමින් කම්පා නැති භාග්‍යවතුන් වහන්සේ ගේ ආශ්වාස ප්‍රශ්වාසයෝ නැති වී ගියාහු ය. තෘෂ්ණා රහිත අප මුනීන්ද්‍රයන් වහන්සේ ශාන්ත නිවන අරභයා කළුරිය කොට වදාළ සේක.

අසල්ලීනේන චිත්තේන – වේදනං අජ්ඣවාසයී

පජ්ජෝතස්සේව නිබ්බානං – විමොක්ඛෝ චේතසෝ අහූ’ ති

නොහැකිලුණු සිතින් යුතු ව වේදනාව ඉවසූ සේක. නිවී යන පහනක් සෙයින් නිදහස් වූ සිත් ඇති සේක.”

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ කල්හී, පිරිනිවන් පෑම ත් සමඟ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ මේ ගාථාව පැවසූහ.

“තදාසි යං භිංසනකං – තදාසි ලෝමහංසනං

සබ්බාකාරවරූපේතේ – සම්බුද්fෙ පරිනිබ්බුතේ’ති

සියළු ආකාරයෙන් වූ උත්තම ගුණාංගයන්ගෙන් හෙබි සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ මොහොතෙහි එකෙණෙහි ම බිහිසුණු ලෙස පොළොව සෙළවී ගියේ ය. එකෙණෙහි ම මහත් ලොමුදහගැනීම් ඇතිවූයේ ය.”

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ කල්හී එහි යම් රාගය දුරු නොකළ භික්ෂූහු සිටියාහු ද, ඔවුහු ‘අහෝ! ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. අහෝ! ඉතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පෑ සේක. අහෝ! මහා කරුණාවෙන් ලොව බැලූ එක ම ඇස ඉතා ඉක්මනින් නොපෙනී ගියේ ය’ යි ඇතැම් කෙනෙක් දෑත් හිස බැඳ හඬා වැටෙත්. මැදින් සිඳුණවුන් සේ කඩා වැටෙත්. හඬා බිම පෙරලී වැටෙත්. යළි යළි බිම පෙරළෙමින් හඬා වැටෙත්. යම් ඒ භික්ෂූහු වීතරාගී ව සිටියාහු ද, ඔවුහු සිහියෙන් හා නුවණින් යුක්ත ව හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්කාරයෝ අනිත්‍යයහ. ඒවායේ නිත්‍ය බවක් කොයින් නම් ලබන්නට දැයි ඉවසා සිටිත්.

ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“පලක් නැත ඇවැත්නි, ශෝක නොකරව්. හඬා නොවැටෙව්. ඇවැත්නි, මෙය භාග්‍යවතුන් වහන්සේ කලින් ම නොවදාළ සේක් ද? ප්‍රිය වූ, මනාප වූ සියල්ලෙන් ම ඉවත් වීම, වෙන් වීම, වෙනස් ස්වභාවයකට පත් වීම ඇත්තේ ය. ඇවැත්නි, යමක් උපන්නේ ද, හටගත්තේ ද, සකස් වූයේ ද, එය බිඳී යන ස්වභාවයෙන් යුක්ත වෙයි. ඒකාන්තයෙන් එය නොබිඳේවා යන්න කොයින් ලබන්නට ද? මෙය දකින්නට නොලැබෙන්නකි. ඇවැත්නි, දෙවියෝ නොසතුටු බස් කියති.”

“ස්වාමීනී, අනුරුද්ධයන් වහන්ස, කෙබඳු වූ දේවතාවෝ මෙනෙහි කරත් ද?”

“ඇවැත් ආනන්දයෙනි, අහසෙහි පෘථිවි සංඥා ඇති දේවතාවෝ සිටිති. ඔවුහු කෙස් වැටි මුදා හඬා වැටෙත්. දෑත් උඩට ඔසොවා හඬා වැටෙත්. සිඳී වැටෙන්නවුන් සේ වැටෙත්. වැටී හඬමින් එහා මෙහා පෙරළී යත්. ‘අහෝ! ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. අහෝ! ඉතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පෑ සේක. අහෝ! මහා කරුණාවෙන් ලොව බැලූ එක ම ඇස ඉතා ඉක්මනින් නොපෙනී ගියේ ය’ කියා ය.

ඇවැත් ආනන්දයෙනි, පෘථිවියෙහි පෘථිවි සංඥා ඇති දේවතාවෝ සිටිති. ඔවුහු කෙස් වැටි මුදා හඬා වැටෙත්. දෑත් උඩට ඔසොවා හඬා වැටෙත්. සිඳී වැටෙන්නවුන් සේ වැටෙත්. වැටී හඬමින් එහා මෙහා පෙරළී යත්. ‘අහෝ! ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. අහෝ! ඉතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පෑ සේක. අහෝ! මහා කරුණාවෙන් ලොව බැලූ එක ම ඇස ඉතා ඉක්මනින් නොපෙනී ගියේ ය’ කියා ය.

යම් ඒ දේවතාවෝ වීතරාගී වෙත් ද, ඔවුහු සිහියෙන්, නුවණින් යුක්ත ව, ‘හේතු ප්‍රත්‍යයෙන් සකස් වූ සංස්කාරයෝ අනිත්‍යයහ. මෙහි නිත්‍ය දෙයක් කොයින් ලබන්නටදැ’යි ඉවසා සිටිති.”

ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ත්, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ත්, ඒ රාත්‍රියෙහි ඉතිරි කොටසෙහි ධර්ම කථාවෙන් කල් ගෙවූහ. එවිට ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් ඇමතූහ.

“යන්න ඇවැත් ආනන්දයෙනි, කුසිනාරාවට. කුසිනාරාවට පිවිස කුසිනාරාවැසි මල්ල රජදරුවන්ට දැනුම් දෙන්න. ‘වාසෙට්ඨයෙනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. දැන් යමකට කාලය නම් දත මැනැව.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට පිළිවදන් දී, පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන, පාත්‍රය හා සිවුර ගෙන තමා දෙවැන්නෙකු කොට කුසිනාරාවට පිවිසියහ.

එසමයෙහි කුසිනාරාවැසි මල්ලවරු ඔවුන්ගේ කිසියම් කටයුත්තක් අරභයා රැස්වීම් ශාලාවෙහි රැස්වූවාහු වෙති. ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ කුසිනාරාවැසි මල්ලවරුන්ගේ රැස්වීම් ශාලාව යම් තැනක ද, එහි පැමිණියහ. පැමිණ කුසිනාරාවැසි මල්ලයන් හට මෙය දැනුම් දුන්හ.

“වාසෙට්ඨයනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. යමකට දැන් කාලය නම්, එය දැනගත මැනැව” යි.

ආයුෂ්මත් ආනන්දයන් වහන්සේගේ මේ වචනය ඇසූ මල්ලවරු ත්, මල්ල පුත්‍රයෝ ත්, මල්ල ලේලිවරුත්, මල්ල බිරින්දෑවරුත් දුකට පත් ව, දුකට පත් සිත් ඇති ව, චිත්ත ශෝකයෙන් යුතුව ඇතැම් කෙනෙක් කෙස් වැටි මුදා හඬා වැටෙත්. දෑත් උඩට ඔසොවා හඬා වැටෙත්. සිඳී වැටෙන්නවුන් සේ වැටෙත්. වැටී හඬමින් එහා මෙහා බිම පෙරළී යත්. ‘අහෝ! ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. අහෝ! ඉතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පෑ සේක. අහෝ! මහා කරුණාවෙන් ලොව බැලූ එක ම ඇස ඉතා ඉක්මනින් නොපෙනී ගියේ ය’ කියා ය.

ඉක්බිති කුසිනාරාවැසි මල්ලවරු පුරුෂයන්ට අණ කළහ.

“එසේ වී නම් මිත්‍රවරුනි, කුසිනාරාවෙහි සුවඳ හා මල් ද, සියළු සංගීත භාණ්ඩයන් ද රැස් කරව්.” ඉක්බිති කුසිනාරාවැසි මල්ලවරු සුවඳ හා මල් ද, සියළු සංගීත භාණ්ඩයන් ද, සිනිඳු වස්ත්‍ර යුගල පන්සියයක් ද ගෙන මල්ලවරුන්ගේ උපවර්තන සල්වනය යම් තැනක ද, භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය යම් තැනක ද, එතැනට පැමිණියාහු ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට නැටුම්, ගැයුම්, වාදනයන්ගෙන් ද, මලින් සුවඳින් ද, සත්කාර කරමින්, ගෞරව කරමින්. බුහුමන් දක්වමින්, පුදමින්, වියන් බඳිමින්, රවුමට ශාලාව සරසමින් එක් දවසක් ගෙවූහ.

ඉක්බිති කුසිනාරාවැසි මල්ලවරුන්ට මේ අදහස ඇතිවූයේ ය. ‘අද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය කරන්නට කාලය මදි ය. අපි හෙට දවසේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය කරන්නෙමු’ යි.

එකල්හී කුසිනාරාවැසි මල්ලවරු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට නැටුම්, ගැයුම්, වාදනයන්ගෙන් ද, මලින් සුවඳින් ද, සත්කාර කරමින්, ගෞරව කරමින්, බුහුමන් දක්වමින්, පුදමින්, වියන් බඳිමින්, රවුමට ශාලාව සරසමින් දෙවෙනි දවස ත් ගෙවා දැමූහ. තුන්වෙනි දවස ත් ගෙවා දැමූහ. සිව්වෙනි දවස ත් ගෙවා දැමූහ. පස්වෙනි දවස ත් ගෙවා දැමූහ. සයවෙනි දවස ත් ගෙවා දැමූහ.

→ මතු සම්බන්ධ යි…

- උපුටා ගැනීම –

සූත්‍ර පිටකයට අයත් ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය – දීඝ නිකාය 2 - පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ

The post පහන් සිල නිවෙන ලෙස පිරිනිවී වැඩි සේක..! – 08 appeared first on Mahamevnawa Monastery.

වෙසක් පෝදා සදහම් සංදේශය…

$
0
0
Vesak Sadaham SandeshayaFeatured

Vesak Sadaham Sandeshaya1

සරේ සැරිසරා ආ මේ ගමනේදී අපට අහිමි වූ දෑ බොහෝ ය. ඒ බව දත හැකි වන්නේ සම්මා සම්බුදුවරුන්ගේ යුගයත්, පසේබුදුවරුන්ගේ යුගයත් ඉක්ම ගොස් ඇති බව අප තේරුම් ගන්නා විටය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මහපොළොවේ සිරිපා තබමින්, දහම් දෙසමින් ඇවිද ගිය යුගයක් තිබුණි. ඒ දහම් ඇසූ නුවණැත්තන් සිත පහදවාගෙන එම දහමෙහි හැසිර රැකවරණය ලත් යුගයක් තිබුණි. හුදෙකලාවේ දහම් අවබෝධ කරගත් පසේබුදුවරුන්ගේ යුගයක් ද තිබුණි. මේ මොහොත වන විට එම සකලවිධ ක්ෂණ සම්පත්තියම අපට අහිමි වී ඇත.

අප ජීවත් වන වර්තමානය බිහිසුණු ලෙස අනතුරට ලක්වෙමින් පවතී. න්‍යෂ්ටික අවි ආයුධ තනමින් නූතන මිනිසා මහපොළොව සුණුවිසුණු කරන්නට සූදානම් වේ. රටරටවල් ගිනි තැබීමත්, ඔවුනොවුන් භේදභින්න කිරීමත්, මංකොල්ලකෑමත් වැඩිවෙමින් පවතී. බලයෙන් උමතු වූ ඇතැම් රටවල් විසින් වෑයම් කරනු ලබන්නේ සකලවිධ මිනිස් වර්ගයා තමාගේ පාදයට යට කිරීමට ය. මෙහි ප්‍රතිඵල විසින් අපට ලබාදෙන්නේ දුර්භික්ෂයත්, මනුෂ්‍ය ඝාතනත්, පළිගැනීමත්, වෛර කිරීමත්, බිය හා සැකයත්, දුක් කඳුළුත් නොවේද?

කෙසේ වෙතත් ලෝකය තුළ කිසියම් ගින්නක් ඇවිලෙමින් තිබේ. ඒ ගින්න වනාහී රාගයෙන් හටගත්, ද්වේෂයෙන් හටගත්, මෝහයෙන් හටගත් ගින්න විනා වෙන ගින්නක් නොවේ. මෙය සංසිඳෙමින් නොව උත්සන්න වෙමින් තිබෙන බව පැහැදිලි ය. එමෙන්ම අනපේක්ෂිත ස්වභාවික විපත්වල ප්‍රමාණය ද වැඩිවෙමින් තිබේ. මේ සියල්ල තුළ අසරණභාවයට පත්වන්නේ සත්වයා ය. ලොව කොතෙකුත් අවදානම් පරිසරයක් ගොඩනැගෙමින් තිබුණ ද, ඔවුන්ගේ අන්ධ විශ්වාසවල නම් කිසි අඩුවක් නැති බව පෙනේ.

ගෞතම බුදුරජුන්ගේ ජීවමාන යුගයත් අහිමි වූ, රහතන් වහන්සේලාගේ ජීවමාන යුගයත් අහිමි වූ, මාර්ගඵල ලාභීන්ගේ ජීවමාන යුගත් අහිමි වූ අපහට ඉතිරි වී තිබෙන්නේ කිසියම් ආපදාවකින් අපගේ මිනිස් බව අපට අහිමිවන්නට පෙර අඩුගණනේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම නොවේද?

අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන්නට මොහොතකට කලින් අපට වදාළ ධර්මය මොනතරම් සත්‍යයයිද? “හන්දදානි භික්ඛවේ, ආමන්තයාමි වෝ. වයධම්මා සංඛාරා. අප්පමාදේන සම්පාදේථ.” ‘පින්වත් මහණෙනි, දැන් මම ඔබ අමතමි. සකස් වී ඇති හැමදෙයක්ම නැසී යන ස්වභාවයෙන් යුක්තයි. එනිසා ලද මොහොත අහිමි වන්නට පෙර සත්‍යාවබෝධයට වීරිය කරන්න’ කියා ය.

නූතන ලෝකය විසින් අපට ලද මොහොත අහිමි කොට ඇත. රූපවාහිනිය විසින් අපගේ ඇස් පැහැරගෙන ඇත. තොරතුරු තාක්ෂණය විසින් අපගේ නිදහස් කල්පනාව ද පැහැරගෙන ඇත. අධ්‍යාපනය විසින් අපගේ ස්වාධීනත්වය පැහැරගෙන ඇත. දේශපාලනය විසින් අපගේ ගෞරවය පැහැරගෙන ඇත. සම්ප්‍රදාය විසින් අපගේ බුද්ධිය පැහැරගෙන ඇත. ආහාරපාන විසින් අපගේ සෞඛ්‍යය ද පැහැරගෙන ඇත. පරිසරය විසින් අපගේ හුස්මපොද ද පැහැර ගනිමින් සිටී. මේ සියල්ල තුළ අපට අහිමිව තිබෙන්නේ මිනිසෙකුව අප ලද උරුමයන් ය. එම උරුමයන් අතර අග්‍ර වූ දේ නම් සත්‍යය දැකීමේ උරුමයයි. එය ද අපට අහිමි වී ඇත. විවිධාකාර මතිමතාන්තර, වාද විවාද, විවේචන හා මඩ ප්‍රචාර ඔස්සේ නා නා දෙසුම් නාමයෙන් අපට අහිමි කොට තිබෙන්නේ සත්‍යාවබෝධ කිරීමේ අවස්ථාව නොවේද?

මෙයින් ඔබව බේරාගත හැක්කේ ඔබ නිදහස් චින්තනයකට හිමිකම් කියුවහොත් පමණි. මිනිසෙකුට නිදහසේ කල්පනා කිරීමට ඇති හැකියාව ඔහු ලද සියලු සම්පත්වලට වඩා අගනේය. ඔහු ලද සියලු දැනුමට වඩා අගනේය. ඔහු ලද ඤාති මිත්‍රාදී පිරිවරට වඩා අගනේය. මක්නිසාද යත්, ඔහුගේ බුද්ධිය විවර වන ද්වාරය එය වන හෙයිනි. නිදහස් කල්පනාවෙන් යුතු මිනිසා හට ගෞතම බුදුරජුන්ගේ ධර්මය ලැබීම දිළින්දෙකුට සතර මහා නිධානය ලැබීම බඳු ය. ගෞතම බුදුරජුන්ගේ විස්මිත අවබෝධය එම දහම තුළින් දිදුලයි. උන්වහන්සේගේ මහා ප්‍රඥාවේ රශ්මි කදම්බය සකල ලෝකය ඒකාලෝක කරන අයුරු දැක්ක හැක්කේ ඒ ධර්මය තුළිනි.

සැබැවින්ම බුදුවරුන්ගේ පහළ වීම අතිශයින්ම කලාතුරකින් සිදුවන අද්භූත දෙයකි. එවන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ අසිරිමත් දම් දෙසුම් මෙකල ද අපට කියවන්නට ලැබේ. අසන්නට ද ලැබේ. උන්වහන්සේගේ යුගය සිහිගන්වන වන්දනා ද අපට අසන්නට ලැබේ. උන්වහන්සේ වෙනුවෙන් කෙරෙන උපහාර ද අපට අසන්නට ලැබේ. මේ සියල්ල අප වෙත ලැබෙන අතිශයින්ම දුර්ලභ වූ නිධානයකි. මෙහි ඇති වටිනාකම අපට තක්සේරු කළ නොහැකිය.

වරක් අනඳ මහතෙරුන් වහන්සේ විසින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සතු හැකියාව තුළින් ලොව අමතන අයුරු කෙසේදැයි විමසන ලද්දේය. එවිට අප භාග්‍යවතුන් වහන්සේ වදාළේ සම්මා සම්බුදුවරුන්ගේ හැකියාව මිණිය නොහැකි බවයි. ඒ ගැන පවසන ලෙස යළි යළි ඉල්ලා සිටි විට භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙම චක්‍රාවාටය මෙන්ම සිය දහස් ගණනින් පැතිර පවත්නා අනන්ත අප්‍රමාණ ග්‍රහලෝක වලින් යුතු දස දහසක් ලෝක ධාතුවටම භාග්‍යවතුන් වහන්සේගේ හඬ පැතිරවිය හැකි බවයි. පළමුව ආලෝකය පතුරුවන බවත්, එවිට ඒ ඒ ලෝකවල සිටින සත්වයන් එම ආලෝකය දෙස බලද්දී හඬ පතුරුවන බවත් උන්වහන්සේ වදාළ විට අනඳ මහතෙරණුවෝ අද්භූත චමත්කාරයකින් වෙළී ගියහ. ‘අහෝ! අසිරිමත් යැ. මා සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම අසිරිමත් යැ. මෙය මට මනා වූ ලැබීමෙකි.’ එවිට අනඳ තෙරුන් අසළ සිටි උදායී නම් තෙර නමක් එයට අසතුටු විය. ‘ආයුෂ්මත් අනඳයෙනි, තෙපි කුමකට නම් මෙතරම් තුටු පහටු වන්නහුද? එම අසිරිය තොපගේ නොව භගවතාණන්ගේ නොවේද?’ එකල්හී අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණ මේ බලන්න. ‘හා හා උදායි, අනඳයන් හට එසේ නොපවසන්න. දැන් අනඳයන්ගේ සිත පහන් වූයේ තථාගතයන් කෙරෙහි ය. මේ පහන් සිතෙහි ඇති විපාකය කෙතරම් බලවත් ද යත්, අනඳයන් හට සත් වතාවක් සක්දෙව්රජ පදවිය ලබන්නටත්, සත් වතාවක් මනුලොව සක්විති රජ පදවිය ලබන්නටත් ප්‍රමාණවත් ය. වැලිදු අනඳයෝ මේ අත්බැව්හිම නිකෙලෙස් වෙති.’

මෙය අසිරිමත් නොවේද? භාග්‍යවතුන් වහන්සේගේ උදාරත්වය කෙරෙහි කෙනෙකු තුළ ඇතිවෙන චිත්තප්‍රසාදය මොනතරම් සුඛභාගී දෙයක්ද? ඔහුගේ ජීවිතයට සැපය සළසන උල්පතක් බඳු දෙයකි. නිරතුරුව පුණ්‍යධාරාවන් නැගී එන දෙයකි. එසේ නම් අප කළ යුත්තේ උදායී තෙරුන් සේ නොපහන්ව සිටීම නොව, අපගේ අනඳ මහතෙරුන් වහන්සේ මෙන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිත පහන් කරගැනීම නොවේද?

වත්මන් මිනිසා පත්වෙමින් සිටින භයානක ඉරණම ගැන අපි ඇසුවෙමු. එහෙත් අප ලද මේ දුලභ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිත්, ඒ ධර්මය කෙරෙහිත්, ආර්ය සංඝයා කෙරෙහිත් සිත පහන් කරගන්නට අසමත් වුවහොත් අපට කුමක් වේ දැයි කවුරු දනිත් ද? තම ජීවිතයට කැමති කෙනා කළ යුත්තේ තමාට යහපත උදාකරදීම පිණිස වෑයම් කිරීමයි. එසේ නොකොට කිසිදා මරණයෙන් වැළකී සිටිය නොහැකිය. යම්හෙයකින් මරණින් මතු නිරයේ උපදින්නට සිදුවුවහොත්, තිරිසනුන් අතර උපදින්නට සිදුවුවහොත්, ප්‍රේතයින් අතර උපදින්නට සිදුවුවහොත්, අසුරයින් අතර උපදින්නට සිදුවුවහොත් මහත් වූ විනාශයක් උරුම වේ.

අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ එවන් ඉරණමක් කරා ගිය මිනිසා යළි මිනිසත් බව කරා පැමිණෙයි නම් එය ඉතා දුලබ කරුණක් වන බවයි. මක්නිසාද යත්, එක්වරක් සතර අපායට බැසගත් සත්වයා යළි යළිත් උපත ලබන්නේ එහිම නිසාය. මෙය ඉතා භයානක ඉරණමකි. මෙවන් බිහිසුණු දෛවයකට මනුලොව උපන් මිනිසාට මුහුණ දෙන්නට සිදුවුවහොත් එය ඉතාමත්ම අභාග්‍යසම්පන්න දෙයක් නොවේද?

උපන් සත්වයා විවිධාකාර හේතුපාදක මත මිය යන අයුරු අපට කොතෙකුත් පෙනේ. එසේ නම් එවන් දසුන් නිතර දකිමින් සිටින අප එකිනෙකා අබිභවා යන්නට හෝ එකිනෙකාට එරෙහි වන්නට හෝ තමාගේ බලපරාක්‍රමය පතුරුවන්නට හෝ වාදවිවාද කරමින් ජය ලබන්නට හෝ කල්පනා කරමින් සිටීම තුළ නිගා ලබන්නේ අප ලද බුද්ධියයි.

වසරින් වසර අපි මහත් ඉහළින් සම්බුදු තෙමඟුල සමරමු. එය අප හට උදාවන කිසියම් දුර්ලභ මොහොතකි. ඒ මොහොත ඉක්ම යා නොදී ගෞතම බුදුසසුන අපගේ සිතෙහි රඳවා ගත යුතුය. ඇතැම් විට මෙම අවස්ථාව අපට අහිමි වුවහොත් යළි කල්ප ගණනක් යනතුරු බුදුකෙනෙකුගේ දැකීම තබා බණපදයක්වත් අසන්නට අවස්ථාව අහිමි වන්නට පුළුවනි. එනිසා නුවණින් සහ නිදහස්ව කල්පනා කොට මේ ලද අවස්ථාවෙහි වටිනාකම තම තමන් විසින්ම තේරුම් ගත යුතුය. වරක් ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ ‘ඛණාතීතා සෝචන්ති නිරයම්හි සමප්පිතා‘ වශයෙනි. එනම් මේ ලද මොහොත නිසි අයුරින් ඵල නොලබා මෙහි දුලබ මොහොත අහිමි කරගත් උදවිය නිරයෙහි ඉපිද ශෝකයෙන් වාසය කරන බවයි.

මේ ලද මොහොත සුවිශේෂී වූත්, දුර්ලභ වූත්, භාග්‍යසම්පන්න වූත් අවස්ථාවක් බවට පත්වන්නේ ඔබතුළ ගොඩනැගෙන සත්පුරුෂ ගුණධර්ම මත ය. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය වන සත්පුරුෂ භූමිය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නට ඔබට ද අවස්ථාව ලද හොත් එය මේ මොහොතේ ලබන අද්භූත ආශීර්වාදයක් වනු නොඅනුමානය.

ඔබට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

නමෝ බුද්ධාය!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post වෙසක් පෝදා සදහම් සංදේශය… appeared first on Mahamevnawa Monastery.

පහන් සිල නිවෙන ලෙස පිරිනිවී වැඩි සේක..! – 09

$
0
0
Pahan Sila nivena lesa9

පසුගිය ලිපිය හා සබැඳේ↓

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

 

  2.3. මහා පරිනිබ්බාන සූත්‍රය (9 කොටස)
භාග්‍යවතුන් වහන්සේගේ මහා පරිනිර්වාණය ගැන වදාළ දෙසුම (9 කොටස)

ඉක්බිති සත්වෙනි දවසෙහි කුසිනාරාවැසි මල්ලවරුන් හට මේ අදහස ඇතිවූයේ ය. ‘අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට නැටුම්,ගැයුම්, වාදනයන්ගෙන් ද, මලින් සුවඳින් ද, සත්කාර කරමින්, ගෞරව කරමින්. බුහුමන් දක්වමින්, පුදමින් නුවරට දකුණින් දකුණු දෙසට වැඩමවා, නුවරට බැහැරින් බැහැරට වැඩමවා, නුවරට දකුණු පසින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය කරන්නෙමු’ යි.

එසමයෙහි මල්ල රජවරු අට දෙනෙක් වතුර නා, හිස් සෝදා, අලුත් වස්ත්‍ර හැඳ ‘අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ඔසොවන්නෙමු’ යි වෙහෙසෙන නමුත් ඔසොවන්නට නොහැකි වූහ. එකල්හී කුසිනාරාවැසි මල්ලවරු ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, අනුරුද්ධයන් වහන්ස, මේ මල්ල රජවරු අට දෙනා වතුර නා, හිස් සෝදා, අලුත් වස්ත්‍ර හැඳ ‘අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ඔසොවන්නෙමු’ යි වෙහෙසෙන නමුත් යම් කරුණකින් ඔසොවන්නට නොහැකි වෙත් ද, එයට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද?”

“වාසෙට්ඨයෙනි, ඔබගේ අදහස අනිකකි. දේවතාවුන්ගේ අදහස අනිකකි.”

“ස්වාමීනී, දෙවියන්ගේ අදහස කවර දෙයක් ද?”

“වාසෙට්ඨයෙනි, ඔබගේ අභිප්‍රාය මෙය නොවැ. ‘අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට නැටුම්, ගැයුම්, වාදනයන්ගෙන් ද, මලින් සුවඳින් ද, සත්කාර කරමින්, ගෞරව කරමින්, බුහුමන් දක්වමින්, පුදමින් නුවරට දකුණින් දකුණු දෙසට වැඩමවා, නුවරට බැහැරින් බැහැරට වැඩමවා, නුවරට දකුණු පසින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය කරන්නෙමු’ යි. වාසෙට්ඨයෙනි, දෙවියන්ගේ අභිප්‍රාය මෙය යි. ‘අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය දිව්‍ය වූ නැටුම්, ගැයුම්, වාදනයෙන්, මලින්, සුවඳින්, සත්කාර කරමින්, ගෞරව කරමින්, බුහුමන් දක්වමින්, පුදමින් නගරයට උතුරින් උතුරු දෙසට වැඩම කරවා, උතුරු ද්වාරයෙන් නුවරට පිවිසවා, නගරයට මැදින් මධ්‍යයට වැඩම කරවා, පෙරදිග දොරටුවෙන් පිටතට වැඩම කරවා, නගරයට පෙරදිගින් මකුට බන්ධන නම් මල්ලවරුන්ගේ චෛත්‍යස්ථානයක් ඇද්ද, එහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය කරන්නෙමු” යි.

“ස්වාමීනී, දෙවියන්ගේ අභිප්‍රාය යම් සේ ද, එය එසේ ම වේවා!”

එසමයෙහි කුසිනාරානුවර මංසන්ධි, කැලිකසල තිබෙන තැන්, අපද්‍රව්‍ය ආදිය තිබෙන තැන් ද ඇතුළුව දණක් පමණ උසට මදාරා මලින් අතුරන ලද්දේ ය. ඉක්බිති දෙවියෝ ද, කුසිනාරාවැසි මල්ලවරු ද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය දිව්‍ය වූ ත්, මානුෂීය වූ ත්, නැටුම්, ගැයුම්, වාදනයන්, මලින්, සුවඳින්, සත්කාර කරමින්, ගෞරව කරමින්, බුහුමන් දක්වමින්, පුදමින් නගරයට උතුරින් උතුරු දෙසට වැඩම කරවා, උතුරු ද්වාරයෙන් නුවරට පිවිසවා, නගරයට මැදින් මධ්‍යයට වැඩම කරවා, පෙරදිග දොරටුවෙන් පිටතට වැඩම කරවා, නගරයට පෙරදිගින් මකුට බන්ධන නම් මල්ලවරුන්ගේ චෛත්‍යස්ථානයක් ඇද්ද, එහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය තැන්පත් කළහ.

ඉක්බිති කුසිනාරාවැසි මල්ලවරු ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, ආනන්දයන් වහන්ස, අපි තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරය පිළිබඳ ව කෙසේ පිළිපදිමු ද?”

“වාසෙට්ඨයනි, සක්විති රජුගේ සිරුර පිළිබඳ පිළිපදින්නේ යම් අයුරින් ද, ඒ අයුරින් ම තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරය පිළිබඳ ව පිළිපැදිය යුත්තේ ය.”

“ස්වාමීනී, ආනන්දයන් වහන්ස, සක්විති රජුගේ සිරුර පිළිබඳ ව කෙසේ පිළිපදිත් ද?”

“වාසෙට්ඨයෙනි, සක්විති රජුගේ සිරුර අලුත් වස්ත්‍රයෙන් වෙළති. අලුත් වස්ත්‍රයෙන් වෙළා, මැනැවින් පොළා ගත් කපු පුළුන් වලින් වෙළති. මැනැවින් පොළා ගත් කපු පුළුන් වලින් වෙළා, අලුත් වස්ත්‍රයෙන් වෙළත්. මේ උපායෙන් සක්විති රජුගේ සිරුර වස්ත්‍ර යුගල පන්සියයකින් වෙළා, සුවඳ තෙල් දැමූ රන් දෙණක බහා අන්‍ය වූ රන් පියනකින් වසා සියළු සුවඳ දරින් චිතකයක් කොට සක්විති රජුගේ සිරුර ආදාහනය කරති. සිව්මංසලෙහි සක්විති රජුගේ ස්ථූපයක් කරති. මෙසේ වාසෙට්ඨයෙනි, සක්විති රජුගේ සිරුර කෙරෙහි පිළිපදිති. වාසෙට්ඨයෙනි, සක්විති රජුගේ සිරුර කෙරෙහි යම් සේ පිළිපදිත් ද, තථාගතයන් වහන්සේගේ සිරුර කෙරෙහි ද, එසේ ම පිළිපැද්ද යුත්තේ ය. සිව්මංසලෙහි තථාගතයන් වහන්සේගේ ස්ථූපයක් කළ යුත්තේ ය. යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සුණු හෝ තැන්පත් කරන්නාහු ද, සකසා වන්දනා කරන්නාහු ද, සිත හෝ පහදවා ගන්නාහු ද, එය ඔවුන් හට බොහෝ කල් හිතසුව පිණිස වන්නේ ය.”

එකල්හී කුසිනාරාවැසි මල්ලවරු පුරුෂයන්ට අණ කළහ.

“එසේ වී නම් සගයෙනි, මල්ලයන්ගේ දේශයේ ඇති පොළා ගත් පුළුන් රැස් කරව්.”

ඉක්බිති කුසිනාරාවැසි මල්ලවරු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය අලුත් වස්ත්‍රයෙන් වෙලූහ. අලුත් වස්ත්‍රයෙන් වෙළා, මැනැවින් පොළා ගත් කපු පුළුන් වලින් වෙලූහ. මැනැවින් පොළා ගත් කපු පුළුන් වලින් වෙළා, අලුත් වස්ත්‍රයෙන් වෙලූහ. මේ උපායෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය වස්ත්‍ර යුගල පන්සියයකින් වෙළා, සුවඳ තෙල් දැමූ රන් දෙණක බහා අන්‍ය වූ රන් පියනකින් වසා සියළු සුවඳ දරින් චිතකයක් කොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය චිතකයෙහි නැංවූහ.

එසමයෙහි ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ පන්සියයක් පමණ මහත් වූ භික්ෂු සංඝයා සමඟ පාවා නුවර සිට කුසිනාරාවට යන දීර්ඝ මාර්ගයට පිළිපන් සේක. ඉක්බිති ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ මාර්ගයෙන් ඉවත් ව එක්තරා රුක් සෙවණක වැඩහුන්හ.

එසමයෙහි එක්තරා ආජීවකයෙක් කුසිනාරාවෙන් මදාරා මලක් ගෙන පාවා නුවරට යන දීර්ඝ මාර්ගයට පැමිණියේ ය. ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ දුරින් ම එන ඒ ආජීවකයා ව දුටුවාහු ය. දැක ඒ ආජීවකයා ඇමතූහ.

“ඇවැත්නි, අපගේ ශාස්තෘන් වහන්සේ ව දන්නෙහි ද?”

“එසේ ය, ඇවැත්නි දනිමි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිනිවී අදට සත් දවසකි. මා විසින් මේ මදාරා මල ගන්නා ලද්දේ එතැනින් ය.”

එහි යම් රාගය දුරු නොකළ භික්ෂූහු සිටියාහු ද, ඔවුහු ‘අහෝ! ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. අහෝ! ඉතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පෑ සේක. අහෝ! මහා කරුණාවෙන් ලොව බැලූ එක ම ඇස ඉතා ඉක්මනින් නොපෙනී ගියේ ය’ යි දෑත් හිස බැඳ හඬා වැටෙත්. මැදින් සිඳුණවුන් සේ කඩා වැටෙත්. හඬා බිම පෙරලී වැටෙත්. යළි යළි බිම පෙරළී වැටෙත්. යළි යළි බිම පෙරළෙමින් හඬා වැටෙත්. යම් ඒ භික්ෂූහු වීතරාගී ව සිටියාහු ද, ඔවුහු සිහියෙන් හා නුවණින් යුක්ත ව ‘හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්කාරයෝ අනිත්‍යයහ. ඒවායේ නිත්‍ය බවක් කොයින් නම් ලබන්නට දැ’යි ඉවසා සිටිත්.

එසමයෙහි සුභද්‍ර නම් මහළු කල පැවිදිවූවෙක් ඒ පිරිස අතර වාඩි වී සිටියේ ය. එවිට ඒ සුභද්‍ර මහළු පැවිද්දා ඒ භික්ෂූන්ට මෙය පැවසුවේ ය.

“කම් නැත ඇවැත්නි, ශෝක නොකරව්. නොවැළපෙව්. අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මනාකොට නිදහස් වුණෙමු. ‘මෙය තොපට කැප ය. මෙය තොපට අකැප ය යන කරුණෙන් පීඩිත ව සිටියෙමු. දැන් වනාහී අපි යමක් කැමති වන්නෙමු ද, එය කරන්නෙමු. යමක් අකමැති වන්නෙමු ද, එය නොකරන්නෙමු’ යි.

ඉක්බිති ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“පලක් නැත ඇවැත්නි, ශෝක නොකරව්. හඬා නොවැටෙව්. ඇවැත්නි, මෙය භාග්‍යවතුන් වහන්සේ කලින් ම නොවදාළ සේක් ද? ප්‍රිය වූ, මනාප වූ සියල්ලෙන් ම ඉවත් වීම, වෙන් වීම, වෙනස් ස්වභාවයකට පත් වීම ඇත්තේ ය. ඇවැත්නි, යමක් උපන්නේ ද, හටගත්තේ ද, සකස් වූයේ ද, එය බිඳී යන ස්වභාවයෙන් යුක්ත වෙයි. එබඳු වූ තථාගතයන් වහන්සේගේ ශරීරය පවා නොබිඳේවා යන්න මෙහිලා කොයින් ලබන්නට ද? මෙය දකින්නට නොලැබෙන්නකි.”

එසමයෙහි මල්ල රජවරු සතර දෙනෙක් වතුර නා, හිස් සෝදා, අලුත් වස්ත්‍ර හැඳ, ‘අපි භාග්‍යවතුන් වහන්සේගේ චිතකයට ගිනි දල්වන්නෙමු’ යි වෙහෙසෙන නමුත් ගිනි දල්වන්නට නොහැකි වූහ.

එකල්හී කුසිනාරාවැසි මල්ලවරු ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, අනුරුද්ධයන් වහන්ස, මේ මල්ල රජවරු සතර දෙනා වතුර නා, හිස් සෝදා, අලුත් වස්ත්‍ර හැඳ අපි භාග්‍යවතුන් වහන්සේගේ චිතකයට ගිනි දල්වන්නෙමු’ යි වෙහෙසෙන නමුත් යම් කරුණකින් ගිනි දල්වන්නට නොහැකි වෙත් ද, එයට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද?”

“වාසෙට්ඨයෙනි, දේවතාවුන්ගේ අදහස අනිකකි.”

“ස්වාමීනී, දෙවියන්ගේ අදහස කවර දෙයක් ද?”

“වාසෙට්ඨයෙනි, දෙවියන්ගේ අදහස මෙය යි. ‘මේ ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ පන්සියයක් පමණ වූ මහත් භික්ෂු සංඝයා සමඟ පාවා නුවරින් කුසිනාරාවට එන දීර්ඝ මාර්ගයට පිළිපන්නාහු ය. යම්තාක් ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් සිරසින් වන්දනා නොකරත් ද, ඒ තාක් භාග්‍යවතුන් වහන්සේගේ චිතකය ගිනි නොදැල්වෙන්නේ ය’ යි.”

“ස්වාමීනි, දෙවියන්ගේ අදහස යම් පරිදි ද, එය එසේ ම වේවා!”

ඉක්බිති ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ කුසිනාරාවේ මල්ලවරුන්ගේ මකුටබන්ධන නම් චෛත්‍යස්ථානය යම් තැනක ද, භාග්‍යවතුන් වහන්සේගේ චිතකය යම් තැනක ද, එතැනට වැඩම කළහ. වැඩම කොට සිවුරු ඒකාංශ කොට පොරොවා, දොහොත් නගා වන්දනා කොට චිතකය වටා තුන් විටක් පැදකුණු කොට සිරිපා පිහිටි දෙසින් දෙණ විවෘත කොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් සිරසින් වන්දනා කළහ. ඒ පන්සියයක් භික්ෂූහු ද සිවුරු ඒකාංශ කොට පොරොවා, දොහොත් නගා වන්දනා කොට චිතකය වටා තුන් විටක් පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් සිරසින් වන්දනා කළහ.

ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ ත්, ඒ පන්සියයක් භික්ෂූහු ත්, වන්දනා කළ කල්හී, භාග්‍යවතුන් වහන්සේගේ චිතකය තෙමේ ම ගිනි ඇවිලගත්තේ ය. දැවෙන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙහි යම් සිවියක් හෝ සමක් හෝ මසක් හෝ නහර හෝ සඳ මිදුළු හෝ තිබුණේ ද, එහි අළු ද නොපැණුනේ ය. දැලි ද නොපැණුනේ ය. ශාරීරික අස්ථි ධාතූන් වහන්සේලා පමණක් ඉතිරි වූහ. දැවෙන්නා වූ ගිතෙලෙහි හෝ තෙලෙහි හෝ අළු නොපැණෙන්නේ, දැලි නොපැණෙන්නේ යම් සේ ද, එසෙයින් ම දැවෙන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙහි යම් සිවියක් හෝ සමක් හෝ මසක් හෝ නහර හෝ සඳ මිදුළු හෝ තිබුණේ ද, එහි අළු ද නොපැණුනේ ය. දැලි ද නොපැණුනේ ය. ශාරීරික අස්ථි ධාතූන් වහන්සේලා පමණක් ඉතිරි වූහ.

ඒ පන්සියයක් වස්ත්‍ර යුගල අතුරින් සියල්ලට යටින් යම් වස්ත්‍රයක් තිබුණේ ද, සියල්ලට පිටින් යම් වස්ත්‍රයක් තිබුණේ ද, ඒ වස්ත්‍ර දෙක නොදැවුණේ ය.

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය දැවී අවසන් වූ කල්හී අහසින් දිය දහරා පහළ වී භාග්‍යවතුන් වහන්සේගේ චිතකය නිවා දැම්මේ ය. සාල වෘක්ෂයන්ගෙන් ද දිය පහළ වී භාග්‍යවතුන් වහන්සේගේ චිතකය නිවා දැම්මේ ය. කුසිනාරා නුවරවැසි මල්ල රජදරුවනුත් සියළු සුවඳ දියෙන් භාග්‍යවතුන් වහන්සේගේ චිතකය නිවා දැම්මාහු ය.

ඉක්බිති කුසිනාරාවැසි මල්ල රජදරුවෝ රැස්වීම් ශාලාවෙහි රැකවරණ සහිත මැදිරියක් කරවා, දුන්නෙන් කළ පවුරකින් වට කරවා, භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා එහි වැඩමවා පුරා සත් දිනක් නැටුම්, ගැයුමෙන්, වැයුමෙන්, මලින්, සුවඳෙන් සත්කාර කළාහු ය. ගරු කළාහු ය. බුහුමන් කළාහු ය. පිදුවාහු ය.

වේදේහීපුත්‍ර අජාසත් මගධ රජු ‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි පිරිනිවි සේක්ලු’ යි ඇසුවේ ය. ඉක්බිති වේදේහීපුත්‍ර අජාසත් මගධ රජු කුසිනාරාවැසි මල්ල රජදරුවන් වෙත දූතයෙකු පිටත් කරවීය. ‘භාග්‍යවතුන් වහන්සේ ත් ක්ෂත්‍රීය වන සේක. මම ද ක්ෂත්‍රියයෙක්මි. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් කොටසක් ලබන්නට මම් ද සුදුසු වෙමි. මම ත් භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට ස්ථූපයක් ද, මහා පූජාවක් ද කරන්නෙමි’ යි.

විසල්පුර ලිච්ඡවි රජදරුවෝ ‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි පිරිනිවි සේක්ලු’ යි ඇසූහ. ඉක්බිති විසල්පුර ලිච්ඡවි රජදරුවෝ කුසිනාරාවැසි මල්ල රජදරුවන් වෙත දූතයෙකු පිටත් කරවූහ. ‘භාග්‍යවතුන් වහන්සේ ත් ක්ෂත්‍රීය වන සේක. අපි ද ක්ෂත්‍රිය වෙමු. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් කොටසක් ලබන්නට අපි ද සුදුසු වෙමු. අපි ත් භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට ස්ථූපයක් ද, මහා පූජාවක් ද කරන්නෙමු’ යි.

කිඹුල්වත්පුර වැසි ශාක්‍යරජ දරුවෝ ‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි පිරිනිවි සේක්ලු’ යි ඇසූහ. ඉක්බිති කිඹුල්වත්පුර වැසි ශාක්‍යරජ දරුවෝ කුසිනාරාවැසි මල්ල රජදරුවන් වෙත දූතයෙකු පිටත් කරවූහ. ‘භාග්‍යවතුන් වහන්සේ අපගේ ශ්‍රේෂ්ඨ ඥාතිවරයාණෝ වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් කොටසක් ලබන්නට අපි ද සුදුසු වෙමු. අපි ත් භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට ස්ථූපයක් ද, මහා පූජාවක් ද කරන්නෙමු’ යි.

අල්ලකප්ප රටවැසි බුල රජවරු ‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි පිරිනිවි සේක්ලු’ යි ඇසූහ. ඉක්බිති අල්ලකප්ප රටවැසි බුල රජවරු කුසිනාරාවැසි මල්ල රජදරුවන් වෙත දූතයෙකු පිටත් කරවූහ. ‘භාග්‍යවතුන් වහන්සේ ත් ක්ෂත්‍රීය වන සේක. අපි ද ක්ෂත්‍රිය වෙමු. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් කොටසක් ලබන්නට අපි ද සුදුසු වෙමු. අපි ත් භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට ස්ථූපයක් ද, මහා පූජාවක් ද කරන්නෙමු’ යි.

රාමගම්වැසි කෝලිය රජවරු ‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි පිරිනිවි සේක්ලු’ යි ඇසූහ. ඉක්බිති රාමගම්වැසි කෝලිය රජවරු කුසිනාරාවැසි මල්ල රජදරුවන් වෙත දූතයෙකු පිටත් කරවූහ. ‘භාග්‍යවතුන් වහන්සේ ත් ක්ෂත්‍රීය වන සේක. අපි ද ක්ෂත්‍රිය වෙමු. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් කොටසක් ලබන්නට අපි ද සුදුසු වෙමු. අපි ත් භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට ස්ථූපයක් ද, මහා පූජාවක් ද කරන්නෙමු’ යි.

වේඨදීපක බ්‍රාහ්මණ තෙමේ ‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි පිරිනිවි සේක්ලු’ යි ඇසුවේ ය. ඉක්බිති වේඨදීපක බ්‍රාහ්මණ තෙමේ කුසිනාරාවැසි මල්ල රජදරුවන් වෙත දූතයෙකු පිටත් කරවීය. ‘භාග්‍යවතුන් වහන්සේ ක්ෂත්‍රීය වන සේක. මම බ්‍රාහ්මණයෙක්මි. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් කොටසක් ලබන්නට මම් ද සුදුසු වෙමි. මම ත් භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට ස්ථූපයක් ද, මහා පූජාවක් ද කරන්නෙමි’ යි.

පාවා නුවරවැසි මල්ලරජවරු ‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි පිරිනිවි සේක්ලු’ යි ඇසූහ. ඉක්බිති පාවා නුවරවැසි මල්ලරජවරු කුසිනාරාවැසි මල්ල රජදරුවන් වෙත දූතයෙකු පිටත් කරවූහ. ‘භාග්‍යවතුන් වහන්සේ ත් ක්ෂත්‍රීය වන සේක. අපි ද ක්ෂත්‍රිය වෙමු. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් කොටසක් ලබන්නට අපි ද සුදුසු වෙමු. අපි ත් භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට ස්ථූපයක් ද, මහා පූජාවක් ද කරන්නෙමු’ යි.

මෙසේ පැවසූ කල්හී කුසිනාරාවැසි මල්ලරජවරු ඒ රාජ පිරිසට, ඒ රාජ සමූහයාට මෙය පැවසූහ.

“භාග්‍යවතුන් වහන්සේ අපගේ ගම් කෙතෙහි පිරිනිවන් පෑ සේක. අපි භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු කොටස් නොදෙන්නෙමු.”

මෙසේ පැවසූ කල්හී ද්‍රෝණ බ්‍රාහ්මණ තෙමේ ඒ රාජ පිරිසට, රාජ සමූහයාට මෙය පැවසුවේ ය.

“සුණන්තු භොන්තෝ මම ඒක වාක්‍යං
අම්හාකං බුද්ධෝ අහු ඛන්තිවාදෝ
න හි සාධු’යං උත්තම පුග්ගලස්ස
සරීරභාගේ සියා සම්පහාරෝ

භවත්නි, මාගේ මේ එක් වාක්‍යය අසත්වා! අපගේ බුදුරජාණන් වහන්සේ ක්ෂාන්තිවාදී වූ සේක. එවන් උත්තම පුද්ගලයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වෙනුවෙන් අවියෙන් පහර දී ගැනීම නම් යහපත් දෙයක් නොවෙයි.

සබ්බේව භොන්තෝ සහිතා සමග්ගා
සම්මෝදමානා කරෝමට්ඨභාගේ
විත්ථාරිකා හොන්තු දිසාසු ථූපා
බහූජනා චක්ඛුමතෝ පසන්නා’ති

භවත්නි, අපි හැමෝ ම එක්සිත් ව, සමගි ව සතුටු වෙමින් ධාතූන් වහන්සේලා කොටස් අටකට බෙදමු. ඒ ඒ දිශාවන්හි ස්ථූපයෝ පැතිර පිහිටත්වා! දහම් ඇස් ඇති බුදුරජුන් කෙරෙහි බොහෝ ජනයෝ පහන් සිත් ඇත්තාහු ය.”

“එසේ වී නම් බ්‍රාහ්මණය, ඔබ ම භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා කොටස් අටකට සමවන පරිදි මනාකොට බෙදනු මැනැව.”

“එසේ ය, භවත” යි ද්‍රෝණ බ්‍රාහ්මණ තෙමේ ඒ රජ පිරිසට, ඒ රාජ සමූහයාට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා කොටස් අටකට සමවන පරිදි මනාකොට බෙදා ඒ සාමූහික රාජ පිරිසට මෙය පැවසුවේ ය.

“භවත්හු මේ ධාතු බෙදූ නැලිය මා හට දෙත්වා! මම ත් මේ ධාතු බෙදූ බඳුන තැන්පත් කොට ස්ථූපයක් කරන්නෙමි. මහා පූජාවක් ද කරන්නෙමි” යි.

එවිට ඔවුහු ද්‍රෝණ බ්‍රාහ්මණයාට ධාතු මැනීමට ගත් බඳුන දුන්නාහු ය.

පිප්පලීවනවාසී මෝරීය රජදරුවෝ ‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි පිරිනිවි සේක්ලු’ යි ඇසූහ. ඉක්බිති පිප්පලීවනවාසී මෝරීය රජදරුවෝ කුසිනාරාවැසි මල්ල රජදරුවන් වෙත දූතයෙකු පිටත් කරවූහ. ‘භාග්‍යවතුන් වහන්සේ ත් ක්ෂත්‍රීය වන සේක. අපි ද ක්ෂත්‍රිය වෙමු. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාගෙන් කොටසක් ලබන්නට අපි ද සුදුසු වෙමු. අපි ත් භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලාට ස්ථූපයක් ද, මහා පූජාවක් ද කරන්නෙමු’ යි.

“භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා නැත්තාහ. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා බෙදන ලද්දාහු ය. මේ ආදාහනය කළ තැනින් අඟුරු රැගෙන යව්.”

ඔවුහු එතැනින් අඟුරු රැගෙන ගියාහු ය.

ඉක්බිති වේදේහීපුත්‍ර අජාසත් මගධරජු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා උදෙසා රජගහ නුවර ස්ථූපයක් ද, මහත් පූජෝත්සවයක් ද කළේ ය. විසල්පුරවැසි ලිච්ඡවි රජදරුවෝ ද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා උදෙසා විශාලාවෙහි ස්ථූපයක් ද, මහත් පූජෝත්සවයක් ද කළාහුය. කිඹුල්වතෙහි ශාක්‍ය රජදරුවෝ ද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා උදෙසා කිඹුල්වතෙහි ස්ථූපයක් ද, මහත් පූජෝත්සවයක් ද කළාහුය. අල්ලකප්පයෙහි බුලිය රජවරු ද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා උදෙසා අල්ලකප්පයෙහි ස්ථූපයක් ද, මහත් පූජෝත්සවයක් ද කළාහුය. රාමගමෙහි කෝලිය රජවරු ද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා උදෙසා රාමගමෙහි ස්ථූපයක් ද, මහත් පූජෝත්සවයක් ද කළාහුය. වේඨදීපක බ්‍රාහ්මණයා ත් භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා උදෙසා වේඨදීපයෙහි ස්ථූපයක් ද, මහත් පූජෝත්සවයක් ද කළේ ය. පාවා නුවර මල්ල රජදරුවෝ ද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා උදෙසා පාවා නුවර ස්ථූපයක් ද, මහත් පූජෝත්සවයක් ද කළාහුය. කුසිනාරාවැසි මල්ල රජදරුවෝ ද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා උදෙසා කුසිනාරාවෙහි ස්ථූපයක් ද, මහත් පූජෝත්සවයක් ද කළාහුය. ද්‍රෝණ බ්‍රාහ්මණයා ත් ධාතු බෙදූ නැලිය උදෙසා ස්ථූපයක් ද, මහත් පූජෝත්සවයක් ද කළේ ය. පිප්පලී වනවැසි මෝරීය රජවරු ආදාහනය කළ තැනින් ගත් අඟුරු උදෙසා පිප්පලී වනයෙහි ස්ථූපයක් ද, මහත් පූජෝත්සවයක් ද කළහ.

මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා තැන්පත් ස්ථූපයෝ අටකි. ධාතු බෙදූ නැලිය තැන්පත් කොට තැනූ ස්ථූපය නව වැන්නයි. අඟුරු තැන්පත් කළ ස්ථූපය දස වැන්න යි. මෙසේ මේ දස ස්ථූපයෝ මුලින් ම ඉදිකළාහු ය.

අට්ඨ දෝණා චක්ඛුමතෝ සරීරා
සත්ත දෝණං ජම්බුදීපේ මහෙන්ති
ඒකං ච දෝණං පුරිසවරුත්තමස්ස
රාමගාමේ නාගරාජා මහෙන්ති

සදහම් ඇස් ඇති බුදුරජුන්ගේ ශාරීරික ධාතූන් වහන්සේලා ද්‍රෝණ අටක් ඇත්තාහු ය. එයින් සත් ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා දඹදිව පිදුම් ලබති. උතුම් පුරුෂෝත්තමයන් වහන්ස්ගේ එක් ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා රාමගමෙහි නා රජවරු පුදති.

ඒකා හි දාඨා තිදිවේහි පූජිතා
ඒකා පන ගන්ධාරපුරේ මහීයති
කාලිංග රඤ්ඤෝ විජිතේ පුනේකං
ඒකං පුන නාගරාජා මහෙන්ති

එක් දළදා වහන්සේ නමක් දෙව්ලොව දෙවියන් විසින් පුදනු ලබති. එක් දළදා වහන්සේ නමක් ගන්ධාර පුරයෙහි පිදුම් ලබත්. එමෙන් ම එක් දළදා වහන්සේ නමක් කලිඟු රජුගේ විජිතයෙහි පිදුම් ලබත්. යළි තවත් දළදා වහන්සේ නමක් නා ලොව නා රජවරු පුදත්.

තස්සේව තේජේන අයං වසුන්ධරා
ආයාගසෙට්ඨේහි මහී අලංකතා
ඒවං ඉමං චක්ඛුමතෝ සරීරං
සුසක්කතං සක්කතසක්කතේහි

ඒ ධාතූන් වහන්සේලාගේ තේජසින් මේ පොළෝ තලය ශ්‍රේෂ්ඨ වූ අලංකාරයෙන් යුක්ත වූයේ ය. මෙසේ සදහම් ඇස් ඇති අප මුනිඳුන්ගේ ශාරීරික ධාතූන් වහන්සේලා ජනයා විසින් හොඳින් සත්කාර කරන ලද්දාහු ය. දෙවියන් විසිනුත්, රජුන් විසිනුත් හොඳින් සත්කාර කරන ලද්දාහු ය.

දේවින්ද නාගින්ද නරින්ද පූජිතෝ
මනුස්ස සෙට්ඨේහි තථේව පූජිතෝ
තං වන්දථ පඤ්ජලිකා භවිත්වා
බුද්ධෝ හවේ කප්පසතේහි දුල්ලභෝ’ ති

දේවේන්ද්‍රයන් විසින් ද, නාගේන්ද්‍රයන් විසින් ද, නරේන්ද්‍රයන් විසින් ද, එසේ ම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන් විසින් ද පුදන ලද බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් ම කල්ප සිය ගණනකිනුත් පහළ වීම දුර්ලභ වන සේක. දොහොත් මුදුන් තබා උන්වහන්සේට වන්දනා කරව්.”

චත්තාළීස සමා දන්තා – කේසා ලෝමා ච සබ්බසෝ
දේවා හරිංසු ඒකේකං – චක්කවාල පරම්පරා’ ති

සම සතළිස් දන්ත ධාතූන් ද, කේශ ධාතූන් ද, ලෝම ධාතූන් ද, සියලු අයුරින් එකක් එකක් බැගින් සක්වල පිළිවෙලින් දෙවියෝ ගෙන ගියහ.

සාදු! සාදු!! සාදු!!!

මහා පරිනිබ්බාන සූත්‍රය නිමා විය.

- උපුටා ගැනීම –

සූත්‍ර පිටකයට අයත් ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය – දීඝ නිකාය 2 - පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ

The post පහන් සිල නිවෙන ලෙස පිරිනිවී වැඩි සේක..! – 09 appeared first on Mahamevnawa Monastery.

අසමසම භගවතාණෝ

$
0
0
Asamasama Bhagawathano

භාග්‍යවත් වූ අරහත් වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදු තෙමඟුල සමරන මේ සුපින්බර වෙසඟේ උන්වහන්සේගේ පමණ නොකළ හැකි ගුණකදම්බයෙන් මඳක් විමසමු.

වරින්වර අසිරිමත් මිනිස්සු ලොව පහළ වෙති. මහරහතන් වහන්සේලාගේ පහළ වීම ද අයත් වන්නේ අසිරිමත් මිනිසුන්ගේ ගණයටයි. නමුත් උන්වහන්සේලා සම්මා සම්බුදුවරයෙකුගේ ශ්‍රාවකයෝ වෙති. සම්බුදු රජෙකුගේ පහළවීමට කලින් පහළවන තවත් උතුම් පිරිසක් සිටිත්. උන්වහන්සේලා හඳුන්වන්නේ ‘පසේබුදුවරු’ නමිනි. සම්මා සම්බුදුවරු යනු මීට හාත්පසින්ම වෙනස් ආශ්චර්යවත් අද්භූත ගතිගුණයෙන් යුතු මුනිවරයෝ ය.

සම්මා සම්බුදුවරයෙකුගේ පහළවීම අතිශයින්ම දුර්ලභය. ඇතැම්විට කල්ප ගණනාවකට ද සම්බුදුවරයෙකුගේ උපතක් නැත. එවන් කාලපරිච්ඡේද හඳුන්වන්නේ ‘බුද්ධ ශුන්‍ය කල්ප’ වශයෙනි. අප ගත කරන මෙම යුගය හඳුන්වන්නේ ‘මහාභද්‍ර කල්පය’ වශයෙනි. මක්නිසාද යත්; සම්බුදුරජාණන් වහන්සේලා පස්නමක් පහළවන සුන්දර යුගයක් බැවිනි.

මෙම කල්පයෙහි පළමුව පහළ වූයේ කකුසඳ බුදුරජුන් ය. එකල මිනිසුන්ගේ ආයුෂ වසර හතලිස්දහසකි. දෙවනුව පහළ වූයේ කෝණාගමන බුදුරජුන් ය. එකල මිනිසුන්ගේ ආයුෂ වසර තිස්දහසකි. ඊළඟට මිනිසුන්ගේ ආයුෂ වසර විසිදහස වනවිට කාශ්‍යප බුදුරජුන් පහළ විය. ක්‍රම ක්‍රමයෙන් මිනිසුන්ගේ ආයුෂ වසර එකසිය විස්සට බැස්සේය. එවිට අපගේ ගෞතම නම් වූ භාග්‍යවත් අරහත් සම්බුදුරජුන්ගේ පහළවීම සිදුවිය.

ගෞතම මුනිඳුන්ගේ ශාසනය ද අවසන් වෙමින් පවතී. එමෙන්ම මිනිසුන්ගේ ආයුෂ ද පිරිහෙමින් පවතී. මේ ආයුෂ පරිහානිය වසර දහයක් දක්වා පිරිහී ගිය කල ලෝක යුද්ධයක් හටගනී. ආයුධ වර්ෂාවක් වසී. දින හතක් පුරා පවතින මේ භයානක යුද්ධයෙන් දිවිගලවා ගන්නෝ ඉතා අතලොස්සකි. ඔවුන් එකිනෙකා වෛර සිත් බැහැරකොට සිප වැළඳගෙන ප්‍රාණඝාතයෙන් වැළකී දැහැමි ජීවිතයක් අරඹනු ඇත. කෙමෙන් කෙමෙන් මිනිස් ආයුෂ ද වර්ධනය වනු ඇත. මිනිස් ආයුෂ වසර අසූදහසක් වූ කල්හී මේ මහා භද්‍ර කල්පයේ අවසාන බුදුරජුන් වන මෛත්‍රී සම්බුදු රජුන්ගේ පහළ වීම සිදුවේ. සැබැවින්ම එකම කල්පයකදී සම්මා සම්බුදුවරුන් පස්නමක් පහළවීම ඉතා අසිරිමත් නොවේද?

ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලොවෙහි වෙන කිසි දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ ශ්‍රමණබ්‍රාහ්මණයෙකුට හෝ මිනිසෙකුට හෝ සමාන නැත. එනිසා උන්වහන්සේලා ‘අසම’ වන සේක. සමාන වන්නේ සම්මා සම්බුදු කෙනෙකුටම බැවින් ‘සම’ වන සේක.

ඒ සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සම්බෝධියට පත්වන්නේ ගුරූපදේශ රහිතව තමන් වහන්සේලා විසින් උපදවා ගන්නා ලද ස්වයංභූ ඤාණයකිනි. දම්සක් පැවතුම් සුතුරෙහිලා අප භගවතාණන් මෙසේ වදාරණ සේක.

“පින්වත් මහණෙනි, යම් කලෙක මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මෙසේ (සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ, කෘත ඤාණ වශයෙන්) පරිවර්ත තුනකින් යුතුව යථාභූත ඤාණදර්ශනය මා හට අවබෝධ වූයේ වේද,

එකල්හි පින්වත් මහණෙනි, මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත වූ දෙව්මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බෝධියට පැමිණි බවට ප්‍රතිඥා දුන්නෙමි. මා හට ඤාණදර්ශනය පහළ විය. මගේ චිත්ත විමුක්තිය නොවෙනස් වන්නේය. මෙය මාගේ අවසාන උපත ය. යළිත් මා හට පුනර්භවයක් නැත්තේ ය.”

මෙය සියලු සම්මා සම්බුදුවරයන් වහන්සේලා ලබන පොදු අත්දැකීමකි. චතුරාර්ය සත්‍යාවබෝධය උන්වහන්සේලා තුළ ඇතිවන්නේ බාහිරින් ලත් ශ්‍රවණයෙකින් තොරවය.

“පෙර නොඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය” වශයෙන් උදන් අනන්නේ ඒ නිසාය.

පාරමී ධර්මයන් සම්පූර්ණ කරන ලද සියලු බෝසතාණන් වහන්සේලා අවසානයට වැඩ වසන්නේ තුසිත දෙව්ලොව ය. බුද්ධ කාලය පැමිණි කල්හී දෙව් බඹුන් පැමිණ උන්වහන්සේට මනුලොව උපදින්නට ඇරයුම් කරති.

ඉන්පසු ඒ සියලු බෝසතාණන් වහන්සේලා කාලය, ද්වීපය, දේශය, කුලය, මව් යන කරුණු පහ හොඳින් විමසා බලති. එම කාලය යනු මිනිස් ආයුෂ අවුරුදු ලක්ෂයට වැඩි නොවිය යුතුය. අවුරුදු සියයට අඩු නොවිය යුතුය. අප බුදුරජාණන් වහන්සේ මිනිස් ලොව උපදින විට මිනිසුන්ගේ පරම ආයුෂ වයස එකසිය විස්සක්ව පැවතිණ. ද්වීපය යනු ජම්බුද්වීපයයි. දඹදිවින් බැහැරව වෙනත් කිසි ද්වීපයක සම්මා සම්බුදුවරු පහළ නොවෙති. දේශය යනු බුදුවරු පහළ වීමට අදාළ ප්‍රදේශයයි. එනම් ජම්බුද්වීපයෙහි උතුරු දෙසට නැඹුරු වූ ඊසාන දිග ප්‍රදේශයයි. කුලය යනු බුදුවරයෙකු පහළ වන පවුල් පසුබිමයි. සියලු සම්මාසම්බුදුවරයන් වහන්සේලා පහළ වී තිබෙන්නේ බ්‍රාහ්මණ කුලයේ හෝ ක්ෂත්‍රිය කුලයේය. අපගේ භාග්‍යවතුන් වහන්සේ පහළ වූයේ ගෞතම ගෝත්‍රයට අයත් ඔක්කාක රාජ වංශය වන ක්ෂත්‍රිය කුලයේය. මව් යනු එකල ලොව සිටි ඉතා සිල්වත් මාතාවය. එමෙන්ම ඕ තොමෝ දස මසක් මව්කුස දරු සම්පත දරා සිට දරුවා බිහි කළ කල්හී සත් දිනකට ආයුෂ ඇති තැනැත්තියක් විය යුතු වන්නීය. මේ සියල්ල සම්පූර්ණ වී තිබීම පිළිබඳව සොයා බැලීම පස් මහ බැලුම් බැලීමයි.

ඒ සියලු මහබෝසත්වරු මනා සිහිනුවණින් දෙව්ලොවින් චුතවෙති. මනා සිහි නුවණින් යුතුව මව් කුසෙහි වැඩෙති. එමෙන්ම මනා සිහිනුවණින් මව් කුසින් බිහිවෙති. මෙය සියලු සම්මා සම්බුදුවරුන්ට පමණක් සිදුවන දෙයකි.

ඒ සියලු මහබෝසත්වරු දසමසක කාලයම සම්පූර්ණයෙන්ම මව්කුසෙහි වැඩවෙසෙති. එසේ දසමස ගත කරන කාලය තුළ රත්පළසක දිලි විදුරුමිණක් සේ බෝසත්මාතාව ඉතා සුවසේ තම දරුවාව දකී. මෙයද අද්භූත දෙයකි. ඒ දස මස ඇවෑමෙන් ඒ සියලු මහබෝසත්වරුන් උපත ලබන්නේ බෝසත් මාතාව සිටගෙන සිටියදී ය. මෙයද සියලු සම්මා සම්බුදුවරුන් හට පමණක් සිදුවන දෙයකි.

එමෙන්ම මහබෝසත්වරු මව්කුස පිළිසිඳ ගත් විට කිසිදු මනුෂ්‍යයකු ගෙන් හෝ අමනුෂ්‍යයකු ගෙන් හෝ අනතුරක් නොවීම පිණිස සතරවරම් දෙව්රජවරු බෝසතුන්ව හා බෝසත්මාතාව සිව්දිගින් රැකවල් ලා රැකගැනීම ද සියලු සම්බුදුවරුන්ට පමණක් සිදුවන දෙයකි.

එමෙන් මහබෝසත්වරු තුසිත ලොවෙන් චුත වී මව්කුස පිළිසිඳ ගනිත් ද එකල්හි දෙව්මිනිස් ලෝකයෙහි ඇති දිව්‍යානුභාවය මැඩලමින් මහත් වූ ආලෝකයක් පහළ වෙයි. එවිට සදා අඳුර පවතින ලෝකාන්තරික නිරයට පවා එළිය වැටෙයි. මෙය ද සම්මා සම්බුදුවරුන්ට පමණක් සිදුවන දෙයකි.

යම්විටෙක මහබෝසත්වරු මව්කුසින් නික්මෙත් ද, උන්වහන්සේලාගේ ශරීරයෙහි කිසිදු අපවිත්‍ර දෙයක් නොතැවරේ. මෙය ද සම්මා සම්බුදුවරුන්ට පමණක් සිදුවන දෙයකි.

ඒ මහ බෝසතාණන් වහන්සේලා මව්කුසින් නික්ම මහපොළොවට නොපැමිණ සිටියදී උන්වහන්සේලාව පළමුව පිළිගන්නේ සතරවරම් දෙවිවරු විසිනි. “පින්වත් බිසවුන් වහන්ස, සතුටු වන සේක්වා! මහේශාක්‍ය පුත්රුවනක් ඔබට උපන්නේ ය” කියා මව ඉදිරියට තබති. මෙය ද සම්මා සම්බුදුවරුන්ට පමණක් සිදුවන දෙයකි.

මහබෝසත්වරු බිහිවන මොහොතේ උණුසුමින් හා සිසිලසින් යුතු දියදහර දෙකක් පොළොවෙන් මතු වී බෝසත් පුතු හා මාතාවගේ දියකිස කෙරේ. මෙය ද සම්මා සම්බුදුවරුන් හට පමණක් සිදුවන දෙයකි.

ඒ මහබෝසත්වරු උපන් කෙණෙහි උතුරු දෙසට සත් පියවරක් තබා වැඩමකොට හාත්පස සිසාරා බලා දකුණත උඩට ඔසවා අභීත වදන් පවසති.

“මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මම ලොවට ජේ‍යෂ්ඨ වෙමි. මෙය අවසාන උපතයි. දැන් මා හට පුනර්භවයක් නැත්තේ ය” කියා පැවසීම සියලු සම්මා සම්බුදුවරුන් හට පමණක් සිදුවන දෙයකි.

සියලු මහබෝසත්වරුන් දෙතිස් මහාපුරුෂ ලකුණින් සමන්විත වූවාහු වෙති. උන්වහන්සේලා ගෘහවාසය සිඳ බිඳ දමා අභිනිෂ්ක්‍රමණය කරනු ලබන්නේ දෙවියන් විසින් පෙන්වනු ලබන සතර පෙර නිමිති දැකීමෙනි.

සියලු මහබෝසත්වරු දුෂ්කරක්‍රියා කෙරෙති. අවසානයෙහි කාමසුඛල්ලිකානුයෝගී අන්තයත්, අත්තකිලමථානුයෝගී අන්තයත් බැහැරකොට මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආර්ය ආෂ්ටාංගික මාර්ගය වඩති. මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගය ගුරූපදේශ රහිතව සොයාගනු ලබන්නේ උන්වහන්සේලා විසින් ය.

සියලු සම්බුදුවරු වෘක්ෂයක් සෙවණකදී චතුරංග සමන්නාගත වීර්යයෙන් යුතුව වජ්‍රාසනය මත වැඩහිඳ සේනා සහිත මරු පරදවා සම්මා සම්බෝධිය සාක්ෂාත් කෙරෙති. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බෝධිය ලබන මොහොතේදී සෙවණ ලබා දුන්නේ පිප්ඵලී වෘක්ෂය හෙවත් ඇසතු රුක නම් වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේය. මෙසේ බෝ සෙවණකදීම බුදුබව ලැබීම සම්බුදුවරුන්ට පමණක් විශේෂ වූ දෙයකි.

ඒ සම්මා සම්බුදුවරු කවරහු දැයි හඳුනාගැනීමට දෙවියන් සහිත ලෝකයා හට උපකාර වන්නේ උන්වහන්සේලා විසින් වදාරනු ලබන ධර්මය තුළිනි. ධර්මයෙන් තොරව සම්බුද්ධත්වය කුමක්දැයි ලොවට වටහාගැනීමට ක්‍රමයක් නැත. එනිසා බොහෝ අවස්ථාවන් හීදී උන්වහන්සේලා තම ස්වභාවය හෙළිදරව් කොට දක්වති. සේල බ්‍රාහ්මණයා හට අප බුදුරජුන් තමන්වහන්සේ ගැන පැවසූ ආකාරය මොනතරම් අසිරිමත්ද!

“සේලය, මම් වනාහී රජෙක් වෙමි. අනුත්තර වූ ධර්ම රාජයෙක් වෙමි. ලොවෙහි අන් කෙනෙකුට පැවැත්විය නොහැකි ආඥාචක්‍රය මම ධර්මයෙන් ආඥාව පවත්වමි.

මා විසින් විශිෂ්ට වූ ඤාණයෙන් අවබෝධ කළ යුතු දේ අවබෝධ කරන ලදී. සීල, සමාධි, ප්‍රඥා වශයෙන් වැඩිය යුතු දේ වඩන ලදී. අවිද්‍යා තෘෂ්ණාවන් ප්‍රහාණය කරන ලදී. එනිසා බ්‍රාහ්මණය, මම වනාහී ‘බුද්ධ’ වෙමි.

බ්‍රාහ්මණය, මාගේ සම්බුද්ධත්වය කෙරෙහි ඇති සැකය දුරලව. එය සත්‍යයක් බවට ශ්‍රද්ධාවට පැමිණෙව. සම්බුදුවරයන් වහන්සේලා නිතර දැක්ම අතිශයින්ම දුර්ලභ වේ.

බ්‍රාහ්මණය, ලොව සම්මා සම්බුදුවරුන්ගේ පහළවීම ඒකාන්තයෙන්ම දුර්ලභ දෙයකි. බ්‍රාහ්මණය, මම් වනාහී රාගාදී ක්ලේශ හුල් දෙව්මිනිස් හදවත් තුළින් ඉවත් කරනු ලබන අනුත්තර වූ ‘සම්බුද්ධ’ නම් ශල්‍ය වෛද්‍යවරයා වෙමි.

ශ්‍රේෂ්ඨත්වයට පත්ව, අසම බවට පත්ව, සේනාසහිත මාරයා පරදවා වැඩසිටින සියලු අකුසල පාක්ෂික පසමිතුරන් වසඟ කරගත් මා කිසිදු අයුරකින් නොබියව සතුටු වෙමි. සම්මා සම්බුද්ධ නම් වූ ශල්‍යවෛද්‍යවරයා වශයෙන්, කේශර සිංහයෙකු මෙන් අභීත හඬ පතුරුවමි.”

මෙසේ බලන කල්හී ලොව වෙනත් පසේබුදු හෝ රහතන් වහන්සේ නමක සමඟ හෝ සසඳාලිය නොහැකිය. එමෙන්ම වෙනත් දිව්‍ය, මනුෂ්‍ය, ගාන්ධර්ව ආදී සත්ව කෙනෙකුන් සමඟ හෝ සසඳාලිය නොහැකිය. උන්වහන්සේලාගේ ස්වභාවය ඒකාන්තයෙන්ම ආශ්චර්යය වේ.

එමෙන්ම අප බුදුරජාණන් වහන්සේ බෝධි මූලයෙහි වැඩසිට තමන්වහන්සේට ද ගුරුවරයෙකු අවශ්‍ය යැයි කල්පනා කළ සේක. තමන්වහන්සේ තුළ යම් සීලයක් අසම්පූර්ණ නම් එය සම්පූර්ණ වීම පිණිසත්, යම් සමාධියක් අසම්පූර්ණ නම් එය සම්පූර්ණ වීම පිණිසත්, යම් ප්‍රඥාවක් අසම්පූර්ණ නම් එය සම්පූර්ණ වීම පිණිසත් උපදේශ ගත හැකි කෙනෙක් දෙවියන් සහිත, බඹුන් සහිත ලොව සිටිත් දැයි විමසා බැලූ සේක. එවිට උන්වහන්සේට වැටැහී ගියේ තමන් වහන්සේ හා සමාන සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් සම්පූර්ණ වූ කෙනෙකු ලොව නැති බවයි. එනිසා ඒ සීලාදී ගුණධර්මයන් තමන්වහන්සේ තුළ ඉපිද වූ ධර්මයම ගුරු තනතුරෙහි තබා ගත් සේක. එකෙණෙහි සහම්පතී බ්‍රහ්මයා පෙනී සිට මෙසේ පැවසුවේය.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, එය එසේමය. සුගතයන් වහන්ස, එය එසේමය. අතීතයේ වැඩසිටි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ධර්මයම ගුරු තන්හි තබාගත් සේක. අනාගතයෙහි පහළ වන සම්මා සම්බුදුවරයන් වහන්සේලා ධර්මයම ගුරු තන්හි තබාගන්නා සේක. ඒ අයුරින්ම වර්තමානයෙහි සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන නුඹවහන්සේ ද ධර්මයම ගුරු තනතුරෙහි තබාගත් සේක.”

මෙසේ ලොවෙහි අන්පුද්ගලයන් හා අසම වූ, සම්මා සම්බුදුවරයන් හා සම වූ, අසමසම ගුණැති ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මාගේ නමස්කාරය වේවා!

ඔබට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

නමෝ බුද්ධාය!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

The post අසමසම භගවතාණෝ appeared first on Mahamevnawa Monastery.

Viewing all 149 articles
Browse latest View live